මාත් එක්ක එකතු වෙන්න

Friday, March 8, 2013

ඡායාරුපයක අනාවරණය - Exposure


අපේ ගියවර පොස්ට් එකෙන් කතා කලේ ඡායාරුපයේ සැකැස්ම - composition  ගැන.  අද පොස්ට් එකෙන් කතා කරන්න යන්නේ  අනාවරණය එහෙම නැත්නම් Exposure එක ගැන. මොකක්ද මේ අනාවරණය කියන්නේ? අපි හැමෝම දන්නවා ඡායාරුපයක් හැදෙන්නේ කාචය තුලින් ගමන් කරන ආලෝකය, කැමරාව තුල ඇති සෙන්සර් එක මතට (ෆිල්ම් කැමරාවක නම් ෆිල්ම් එක මතට )  පතිත වීමෙන් කියලා. මෙලෙස සෙන්සර් එකට හෝ ෆිල්ම් එක  මතට ආලෝකය ලබාදීම තමයි අනාවරණය කියන්නේ. 

නිවැරදි ඡායාරුපයක්  ලබා ගැනීමට මේලෙස සෙන්සර් එක මතට පතිත වන ආලෝක ප්‍රමාණය පාලනය කලයුතු වෙනවා.  එනම් අනාවරණය  පාලනය (exposure control)  කලයුතු වෙනවා. එලෙස අනාවරණය පාලනය නොකළහොත්  සෙන්සරය මතට වැඩි ආලෝකයක් ලැබුන විටදී  (over expose) ලැබෙන ඡායාරුපය සුදු පැහැ  වැඩි වෙන අතර, අඩු ආලෝකයක් ලැබීමෙන් (under expose) ඡායාරුපය     අඳුරු වේ. පහත ඡායාරුප බලන්න. 

නිවැරදි අනාවරණය 

අධික අනාවරණය 

මන්ද අනාවරණය 

ඉහත රුප අධ්‍යයනය කිරීමෙන් නිවැරදි අනාවරණයක්  ලබා දීම ඉතා වැදගත් බව පෙනේ. අනාවරණය පාලනය කිරීම සඳහා පහත හඳහන් ක්‍රම යොදාගන්නා අතර එය  exposure  triangle ලෙස හැඳින්වේ.
  • කාච  විවරය : Aperture 
  • ද්වාර වේගය :Shutter Speed 
  • සංවේදීතාවය:  ISO  (Sensitivity) ඩිජිටල් කැමරා වල පමණි. 

කාච  විවරය : Aperture (අනාවරණය සහ ශේෂ්ත්‍ර ගැඹුර D.O.F පාලනය කරයි)

කාච  විවරය : Aperture ලෙස හඳුන්වන්නේ කැමරා කාචය තුල ඇති ඩයප්‍රමයක්  මගිත් පාලනය කරන කාචයේ ඇති විවරයේ ප්‍රමාණයයි. 

එක ජනේලයක් ඇති කාමරයකට ලැබෙන ආලෝකය එම ජනේලයේ විශාලත්වය අනුව අඩු වැඩි වෙන ලෙසම මෙම කාච විවරයේ විශාලත්වය මත සෙන්සරයට හෝ ෆිල්ම් එක මතට ලැබෙන ආලෝකයේ ප්‍රමාණය අඩු වැඩි කල හැක. 

මෙම කාච විවරයේ ප්‍රමාණය f -stop  number  ලෙස හැදින්වේ. එම අගයන් දක්වන්නේ මෙවැනි වූ ආකාරයකටයි. f/22, f/16, f/11, f/8, f/5.6, f/4, f/3.5..... f හි අගය විශාල වන විට විවරයේ ප්‍රමාණය කුවා වන අතර f අගය කුඩා වන විට  විවරයේ ප්‍රමාණය විශාල වේ. උදා: f /22 කුඩා කාච  විවරයක් වන අතර f /2. 8 විශාල කාච විවරයක් වේ.

  • විශාල කාච විවරය (small f-stop number) :සෙන්සරයට වැඩි  ආලෝකයක්  + අඩු  (shallow) D.O.F 
  • කුඩා කාච විවරය (large f-stop number) :සෙන්සරයට අඩු ආලෝකයක්  + වැඩි   (large ) D.O.F 


Depth of Field හෙවත් ශේෂ්ත්‍ර ගැඹුර ගැන මෙතනින් කියවන්න.: Depth of field in Photography



ද්වාර වේගය : Shutter Speed (අනාවරණය සහ චලනය පාලනය කරයි)


කාච විවරය මෙන්ම ද්වාර වේගය හෙවත් shutter speed මගින් සිදුකරනු ලබන  කාර්යය වන්නේද සෙන්සරය සෝ ෆිල්ම් එක මතට ලැබෙන ආලෝකයේ ප්‍රමාණය පාලනය කිරීමයි. මෙහිදී සිදුවන්නේ සෙන්සරය වසා සිටින shutter curtain එක විවෘත  වී නැවත වැසියාමයි. මෙලෙස ශටරය  විවෘත වී තිබෙන කාලය අනුව සෙන්සරය මතට ලැබෙන ආලෝකයේ ප්‍රමාණය අඩු, වැඩි වේ.

මෙලෙස ශටරය විවෘත වී තැබෙන කාලය තත්පරයෙන්  කොටස් ලෙස  දක්වනු ලැබේ. එය shutter speed ලෙස හැඳින් වේ. එම ශටර් වේගයන්  දක්වනු ලබන්නේ 1/4000, 1/2000, 1/1000, 1/500, 1/250, 1/125, 1/60, 1/30, 1/15, 1/8, 1/4, 1/2, 1 ......B  ලෙසයි. 

මෙහි 1/4000 යනු  තත්පරයකින් 4000න්  එකක කාලයක් ෂටරය විවෘත වී තිබීමය. ,  1/30 යනු තත්පරයකින් 30න්  එකක කාලයක් ෂටරය විවෘත වී තිබීමය,  1/2 යනු තත්පර බාගයක කාලයක් ෂටරය විවෘත වී තිබීම වන අතර  1 යනු සම්පුර්ණ තත්පරයක කාලයකි.  B (බල්බ්) ලෙස දැක්වෙන අවස්ථාවේදී , ෂටරය ක්‍රියාත්මක කරන button  එක ඔබාගෙන සිටින  මුළු කාලය තුලදීම ෂටරය විවෘත වී තිබේ.

Focal Plane Shutter

DSLR කැමරාවක Focal Plane ෂටරය  වැඩකරන ආකාරය 


ද්වාර වේගය වැඩි කරන විට සෙන්සරය හෝ  ෆිල්ම් එක මතට ලැබෙන ආලෝකයේ ප්‍රමාණය අඩු වේ. අඩු ආලෝක තත්වයන් හිදී වැඩි ද්වාර වේගයන්  යොදාගැනීමට නොහැකි වන අතර එවිට අඩු ද්වාර වේගයක්  භාවිතා කිරීමට සිදුවේ. නමුත් 1/60 වඩා අඩු  වේගයන් භාවිතයේදී, අතේ ඇතිවන සුළු චලනයකින් මුළු ඡායරුපයේ ම  චලනයක් සටහන් වේ. මෙය camera shake ලෙස හඳුන්වන අතර එය ඡායාරුප කරණයේදී  විශාල දෝෂයකි.
camera shake දෝෂය  සහිත  ඡායාරුපයක් 
මෙම දෝෂය මගහරවා ගැනීමට tripod එකක් භාවිතා කල හැක. නමුත් එවැනි අවස්ථාවන්හිදී, නිසල වස්තුන් චලනය රහිතව ඡායරුපයෙහි සටහන් වන අතර, චලනයක් සහිත වස්තුන්ගේ චලනය ඡායරුපයෙහි සටහන් වේ. මෙම චලනය සටහන් වීම  motion  blur ලෙස හැදින්වේ.

කිසිම චලනයක් සටහන් නොවූ, ඉතා පැහැදිලි ඡායාරුප සෑම  විටම ඉතාම හොඳ යැයි  කිව නොහැක. සමහර අවස්ථාවන්හිදී ඡායාරුපයක චලයන පෙන්වීම තුලින් එහි අදහස වඩා ඉස්මතු කර පෙන්විය හැක. අඩු  ද්වාර වේගයක් භාවිතා කිරීමෙන් චලනය සටහන් කරගත්  පහත ඡායාරුපය බලන්න.


මෙහිදී චලනය සටහන් වී ඇත්තේ ගමන් කරන තැනැත්තියගේ පමණි. එම රුපයේ ඇති අනිකුත් වස්තුන් නිසලව තිබේ. එබැවින් මෙය නරඹන කෙනෙකුට, මෙම තැනැත්තිය  ගමන් කරන බව තේරුම් ගත හැක.

යම් ලෙසකින් මෙම තැනැත්තියගේ චලනය සටහන් නොවුනානම්, ඇය ගමන් කරන්නේද, නැතහොත් නිසලව සිටගෙන සිටින්නේදැයි කීමට නොහැක.

දැන් පහත රුපය බලමු.


මෙහිදී , බයිසිකලයේ චලනය සටහන් නොවුවද ,පසුබිමේ චලනය සටහන් කිරීම් තුලින් , බයිසිකලයේ වේගය සහ එය ගමන්කරන බව පෙන්වා ඇත.
  • වැඩි  ද්වාර වේගය (high shutter speed) :සෙන්සරයට අඩු  ආලෝකයක්  + චලනය නැත / අඩු 
  • වැඩි  ද්වාර වේගය (slow shutter speed) :සෙන්සරයට වැඩි  ආලෝකයක්  + චලනය ඇත  

කාච විවරය සහ  ද්වාර වේගය පාලනය කිරීම තුලින් අනාවරණය (Exposure) පාලනය කරන ආකාරය පැහැදිලි ඇතැයි  සිතන අතර ඩිජිටල් ඡායාරුප කරණයේදී, මිට අමතරව සෙන්සරයේ සංවේදීතාවය වෙනස් කිරීම මගින්ද අනාවරණය සකසා ගත  හැක.

සංවේදීතාවය : ISO (අනාවරණය සහ Noise පාලනය කරයි)

ISO යනුවෙන් හඳුන්වන්නේ සෙන්සරයේ සංවේදීතාවය මනින ඒකකයයි. ISO අගය අඩු වන විට සෙන්සරයේ සංවේදීතාවය අඩු වන අතර, ISO  අගය වැඩි වන විට සෙන්සරයේ සංවේදීතාවය වැඩි වේ. සාමාන්‍යයෙන් වැඩි ISO  අගයන් භාවිතා කරන්නේ අඩු ආලෝක තත්වයන් යටතේ, වැඩි ද්වාර වේගයක්  භාවිතා කිරීමටය. නමුත් ISO  අගය වැඩි වන විට ඡායරුපයේ Noise ප්‍රමාණය වැඩි වේ. Noise ලෙස හදුන්වන්නේ ඡායරුපහේ දක්නට ලැබෙන තිත් වැනි වූ ස්වභාවයයි.

පහත ඡායාරුප බලන්න.

ISO 800


ISO  3200

ISO  3200 යොදා ගත්  ඡායරුපයේ  Noise ප්‍රමාණය වැඩිවී ඇති ආකාරය බලන්න. මෙසේ Noise වැඩි වීම ඡායරුපයේ දෝෂයක් වන අතර, හැකි සැම  විටම අඩු ISO  අගයන් යොදා ගනිමින් Noise අඩුකිරීමට උත්සාහ කරන්න. නමුත් ඉතා අඩු ආලෝක තත්වයක් මත  ඡායාරුපය ගැනීමට අවශ්‍යනම්, Noise ගැන අමතක කර ෆොටෝ එක ගන්න. 
  • අඩු ISO  අගය  (low ISO ) :සෙන්සරය  ආලෝකයට අඩුවෙන්  සංවේදී වීම   + අඩු Noise ප්‍රමාණය
  • වැඩි ISO  අගය  (high ISO ) :සෙන්සරය  ආලෝකයට වැඩියෙන්  සංවේදී වීම  +වැඩි  Noise ප්‍රමාණය

දැන් නැවතත් නොමිලයේ ඩිජිටල් කැමරාවක්   පොස්ට් එකේ ඇති කැමරා සිමියුලේටරය වෙත ගොස්  මේ අගයන් වෙනස් කරමින් ෆොටෝ ගන්න. ඒවායේ වෙනස්කම් හොඳින් බලා අවබෝධ කරගන්න.

ඊළඟ පොස්ට් එකෙන් කලාත්මක  ඡායාරුපයක් සකසා ගැනීමට බලපාන අනිකුත් ප්‍රධාන කරුණු වන ආලෝකය සහ කාච පිළිබඳව කතා කරමු.



41 comments:

  1. මටත් ඔය නොයිස් ප්‍රශ්නෙ සෑහෙන්න ඇවිල්ල තියෙනව. බලමු මේ ක්‍රම වලට උත්සාහ කරල.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ඔයා කැමරා එකේ auto ISO set කරලා කියලා. ISO අගය 100 සෙට් කරලා ෆොටෝ අරන් බලන්න.

      Delete
  2. ස්තුතියි අයිලාෂ්..අදත් හොඳ පාඩම් මාලාවක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිහිණි...,
      ෆොටෝ ටිකක් ගන්න වෙලාව හදා ගත්තද?

      Delete
  3. Aperture, Shutter Speed ගැන දැනං හිටියත් ISO ගැන වැඩි අවබෝධයක් තිබ්බේ නෑ. සෑහෙන දෙයක් දැන ගත්තා. ඉඩක් ඇතොත්, මගේ අන්තිම පෝස්ට් එකේ තියන ඡායාරූප ටික ටිකක් බලලා එන්න. ගොඩක් ෆොටෝස් අරං පුරුද්දට කරනවා මිසක් මම ඕකෙ තාක්ෂණය ගැන වැඩි අවබෝධයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ ෆොටෝ බැලුවා. ගොඩක් හොඳයි.

      ඔයාගේ ෆ්ලිකර් සයිට් එකක් තියෙනවනම් කියන්න.

      Delete
  4. ස්තුතියි අයිලාෂ් ගුරු මුෂ්ඨි නැතුවම දැනුම බෙදාගන්නවට. මට දැනගන්නම ඕනෙ කරන හරියක් තියෙනවා තව ඉස්සරහට. උඹ එතනට ආවාම කියන්නම්.

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු කිවලු.... මේ ගැන ලියන එක නවත්තන එක හොඳයි වගේ.

      මචං ඊයක් විදලා අහපන්. ayilas419@gmail.com එකට.

      උඹට ගොඩක් ස්තුතියි මචං, පටන් ගත්ත දවසේ ඉඳන් හැම පොස්ට් එකම බලලා මොනවා හරි කියන්න අමතක කරන්නේ නැති එකට.

      Delete
    2. මචං, තාක්ෂණික පෝස්ට් තියෙනවා නේද? ඒවා කියෙව්වාම මට වෙන්නෙ අර හරීගේ හරි හසිතගෙ හරි පෝස්ට් කියෙව්වාම වෙන සන්තෑසියමයි.

      ඒ කියන්නෙ මචං. ඒ පෝස්ට් මම කියවනවා. ඒවයෙ තියෙන්නෙ යම් කරුණු ටිකක්නෙ. නැතුව අපේ අදහස් විමසන මත විමසුමක් නෙවෙයිනෙ. ඉතින් මොනවද කියන්නෙ?
      උඹලා කියන දේ එක්කො අලුතින් ඉගෙනගත්තා. නැතිනම් දැනටමත් දන්න දේ මතක් වුනා.

      දැන් කමෙන්ට් එකක් දාන්නත් ඕනෙ මොකද අපි කවුරුත් කැමතියිනෙ අපේ උත්සාහයට අනිත් උන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දැනගන්න. මාත් එහෙමයි. ඒකෙ කිසි වරදක් නෑ. දැන් මොකද කරන්නෙ, උඹලා හැම දේම ලස්සනට පැහැදිලි කරලත් තියෙනවා නම්? එක්කො පට්ට පට පට. නැතිනම් කියෙව්වා. ස්තුතියි. එහෙමත් නැතිනම් මොකක් හරි ගොං ප්‍රශ්ණයක් අහන්න ඕනෙ.

      දැන් උඹට තේරුණා නේද?

      දැන් මට මේ උඹ කියලා තියෙන දේවල් ගැන වෙන අහන්න දෙයක් ඉතුරු වෙලා නෑ. නමුත් මම ඉන්නම් උඹ Preserving Digital Photographs.
      How To Recover Corrupted Photos Successfully,
      Why The Hell DO The Digital Photos Get Corrupted.
      "Hell! NOOO! I Thought Digital Images Are More Stable, Damn It" වගේ මාතෘකාවල් දානකල්.
      :D :D :D

      Delete
    3. හි හි හික් ..

      අඩෝ දැන් මම ඕව ගැන ලියන්නේ නැහැ හිහි....

      ඇත්තටම කියනවනම් මචන්, මම කොහොමත් ඔය ටික ලියන්න නෙවේ හිටියේ. මොකද බන් කොහොමත් තමන් ගන්න ෆොටෝ තමන් පරිස්සම් කරගන්න ඕනෙනේ. උඹ දන්නවද මචන් මගේ ළඟ තිබුන ඩිජිටල් ෆොටෝ ගොඩක් නැති උනා හාඩ් ඩිස්ක් එකට කෙලවෙලා, ඒවා කොපි කරලා තිබුන CD එකක් වත් read කරන්න බැහැ. හික්ස්... මොනවා කොරන්නද දුක තමයි.

      කරන්න තියෙන එකම වැඩේ නෙට් එකට අප් ලෝඩ් කරලා තියන එක. දැන් තියෙන ඒවත් එහෙම කරන්න ඕනේ කියලා හැමදාම හිතුවට තවම කරන්න බැරි උනා.

      ඇත්තම කතාව ඕකයි. ඉතින් බන් මමත් කොරන්නේ නැතිව අනික් උන්ට උපදෙස් දෙන්නේ කොහොමද?

      දැන් උඹ මේක අහපු නිසා ලියන්නේ නැතිව ඉන්නත් බැහැ. ඒ නිසා මට උන අබග්ගේ කියලම උපදෙස් ටිකක් දෙමු නේ.

      Delete
  5. ඔය noise සීන් එකනම් මටත් ඇවිත් තියනවා..මේ විදිහට කරලා බලමු.... බොහොම ස්තුතියි ඈ!

    ReplyDelete
    Replies
    1. හැබැයි මල්ලි සමහර කැමරා වලින් ISO 400 ට විතර වඩා ගත්තම නොයිස් ගොඩාක් එනවා. එක කැමරාවේ දෝෂයක්.

      Delete
  6. මට කාලයක් පිස්සුවක් තිබුනා..ෆොටෝ අරන් ඇන ගත්ත විදියටම කියවලා ගොද දා ගත්ත ගොඩක් කොටස් වෙන් වෙන් වෙලා තිබ්බෙ..දැන් නම් සෑහෙන්ඩ සෙට් උනා මේ ලිපිය කියෙව්වහම..නියමයි අයිලාස්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳයි මලේ.

      Delete
  7. ඇත්තටම කැමරාවෙ ISO කියල දෙයක් තියෙනව දැක්කට ඒකෙන් වෙන්නෙ මොකක්ද කියන එක පැහැදිළිව දැනගත්තෙ මේ පෝස්ට් එකෙන්. ගොඩක් ස්තූතියි අයිලාශ් අයියෙ

    ReplyDelete
    Replies
    1. depth of field, composition, exposure triangleගැන ලියපු පොස්ට් ටිකයි ඊළඟ එකෙන් කියන lightnings ගැනයි හොඳට තේරුම් ගන්න ඒ ඇති.

      Delete
  8. ආධුනික කැමරා ශිල්පීන්ට ගොඩාක් වැදගත්....(අනේ මට නම් මුකුත්ම තේරුනේ නෑ...) පුළුවන් නම් අතේ ඇති ගානට හොද කැමරාවක් තෝර ගන්න විදිය පෝස්ට් එකක් දාන්නකෝ....

    ReplyDelete
    Replies
    1. ඇයි මල්ලි, කලින් පොස්ට් ටික බැලුවේ නැතිද? ඒ ගැන කලින් පොස්ට් වල දාලා තිබුනා.

      කලින් පොස්ට් ටිකයි, ඒවගේ කොමෙන්ට්ස් වලට දුන්න රිප්ලයි ටිකයි බලන්න.

      Delete
  9. කැමරාව අතට ගත්ත ම නම් ප්‍රශ්ණ කොටියයි.දැන් නම් කියලා දිලා තියෙන ටික ඇති කියලා හිතෙනවා

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. [si="4"]මටත් එහෙම හිතෙනවා, ඊළඟ පොස්ට් එකෙන් පස්සේ ෆොටෝග්‍රපි ගැන පොස්ට් නවත්තමු ද? [/si]

      Delete
    2. අපෝ එපා. සරලව කියා දෙන්න. මේ දැනුම හරි වටිනවා අපි වගේ මේ ගැන දන්නේ නැති අයට....

      Delete
    3. ඉ ළඟ පොස්ට් එකත් එක්කම පොඩි මත විමසුමක් කරන්න හිතාගෙන ඉන්නේ සමනලී, ඕනෑම දෙයක් ඕනවට වඩා හොඳ නැහැ කියලා තියෙනවනේ.

      Delete
    4. කියලා දිපු ටික ඇති කිව්වේ කියලා දෙන කොටසේ ප්‍රශ්ණයක් නැ කියලා.මේ වගේ ලිපි වැදගත් අපට එක නිසා නවත්වන්න ඒපා.මොකද කැමර් එක අතට ගත්තම ප්‍රශ්ණයක් ආ ගමන් නැවත අයිලාෂ් ගේ අඩිවියෙන් තමයි ප්‍රශ්ණය විසදා ගන්නේ

      මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

      Delete
  10. ජායාරූපකරණය ඉගෙන ගන්න කෙනෙක්ට වටිනවා මේ ලිපිය මාරම විදියට සහෝ.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා නිශාන්.

      Delete
  11. ඉතා වැදගත් පෝස්ට් එකක්. බොහොම ස්තුතියි. :) මට දැනගන්න පුලුවන්ද Shutter speed එක B(බල්බ්) යොදාගන්නා අවස්ථාවන් කිහිපයක්?

    ReplyDelete
    Replies
    1. [co="red"]වැඩි කාලයක් අනාවරණය ලබා දිය යුතු අවස්ථා වල B යොදාගන්නවා.[/co] multi expose කියලා ක්‍රමයක් තියෙනවා කීපවතාවක් එකම frame එක expose කරන. ඩිජිටල් තාක්ෂණයේදී බොහෝ දෙනෙක් මේ වෙනුවට කරන්නේ ෆොටෝෂොප් භාවිතා කිරීම. (මේ ගැන වෙනම පොස්ට් එකක් ලියමු) එවැනි අවස්ථාවලදීත් භාවිතා කරනවා.

      [im]http://farm9.staticflickr.com/8094/8540141829_6270e361cb.jpg[/im]

      camera : fuji HS20
      shutter speed : 5 sec.
      aperture : f 10
      ISO : 100

      ඔය තියෙන්න අනාවරණ දත්තයන්. ආලෝකය ලබා දුන්නේ 3W LED Spot bulb 2 කින්

      තත්පර 5ක් පමණ කාලයක් shutter එක ඇරලා තියන්න ඕන නිසා B යොදාගත්තා.

      අනාවරණ කාලය තත්පර 5 වඩා අඩු කරන්න තිබුනා f අගය 2.8 වගේ ලොකු කරානම්, නමුත් එතකොට depth of field එක අඩුවෙන නිසා ඔය ඔක්කොම ටික පැහැදිලිව ගන්න බැහැ.

      අනිත් ක්‍රමය: ISO අගය 100 වෙනුවට වඩා වැඩි අගයක් යොදාගෙන, f අගයත් 10 ලෙසම තියාගෙන අනාවරණ කාලය අඩු කරන්න තිබුනා. නමුත් එතකොට noise ගොඩක් වැඩි වෙනවා.

      මේ ඡායාරුපය still life හෙවත් නිසල ජීවි වර්ගයේ එකක් නිසා එහි චලනයක් නැහැ නේ, ඉතින් දිගු අනාවරණයක් ලබා දීමෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.


      මිට අමතරව රාත්‍රී ඡායාරුප වලදීද B mode එක යොදා ගන්න පුළුවන්. එවිට චලනව ව වස්තුන්ගේ චලනය සටහන් වීමද කලාත්මක ලෙස යොදාගත හැක.

      [co="red"]ISO, shutter speed, aperture කැමති ලෙස වෙනස් කරමින් ඡායාරුපය සකස් කල හැකියි, එකම නිතිය වන්නේ මේ කරුණු තුන බැලන්ස් කරගෙන නිවැරදි අනාවරණයක් ලබා දීමයි, [/co]

      පැහැදිලි කිරීම් ප්‍රමාණවත්ද?



      Delete
    2. ප්‍රමාණවත් අයිලාස්. වැඩිත් එක්ක.. :D .ඉතා පැහැදිලියි. බොහොම ස්තුතියි මේ පිලිබඳව දීර්ඝ ලෙස විස්තරයක් කලාට..

      Delete
  12. අයිලාස්ගෙ පාඩම් ටික මම දැක්ක, ඒත් දිගටම කමෙන්ට් නොකළෙ කියවන්න උනේ නැති නිසා. හදිසියට කියවල බෑ. ටිකක් පහුවෙල හරි එකදිගට කියවන්න ඕන හොඳට නිවාඩු තියෙන වෙලාවක. කියවපු වෙලාවක පරණ පෝස්ට් එකක ප්‍රශ්නයක් අහල කමෙන්ට් කළොත් උත්තර ලැබෙයි නේද?

    ReplyDelete
    Replies
    1. අනිවා දන්න උපරිමයෙන් උත්තරේ ලබා දෙනවා. ඒ විතරක් නෙවේ මෙතෙක් පල නොවූ දෙයක් ගැන උනත් ගැටළුවක් තියෙනවනම් අහන්න.

      Delete
  13. විශේෂයෙන්ම ISO ගැන කිසිවක් දැන සිටියේ නැහැ.
    කාචයේ විවර ප්‍රමාණය බලනකොට බළලාගේ ඇස මතක් වෙන්නේ. ආලෝකය හොදින් තිබෙන විට ඇසේ බබා කුඩා ලපයකි.

    ReplyDelete
    Replies
    1. එක හරියටම හරි, ඇසේ බබාට කියන්නේ iris කියලා, කාච විවරයට කියන තවත් නමක් තමයි iris. ඇත්තටම කියනවනම් ඇසේ බබාගෙන් සිදුවෙන ක්‍රියාව තමයි කාච විවරයෙන් වෙන්නේ. දෙකෙන්ම සිදුවන්නේ එය තුලින් ගමන් කරන ආලෝකය පාලනය කිරීම.

      Delete
  14. කැමරාවේ මූලික අන්ග ගැන මනා දැනුමක් ලැබුනා. නොඉස් කියන්නෙ මොකක්ද කියලා දැනගෙන හිටියෙ නැ.දැන් නම් හොඳම දේ කැමරාවක් ගන්න එකයි. බ්‍රිජ් කැමරාවකටවත් යමුද?ඒකෙන් මට ලඟ පඳුරු අස්සෙ ඉන්න කුරුල්ලන්ගෙ පොටෝ ගන්න පුලුවන් වේද?(අපේ ගේ ලඟට පොඩි පොඩි කුරුල්ලො ගොඩක් එනව.)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.

      බ්‍රිජ් එකකට යනවනම් high end එකකට යන්න. ලොකු zoom එකක් තියෙන NIKON 510 වගේ එකකට.
      කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම seriously කරනව නම් DSLR එකකට යන්න.

      Delete
  15. මට අහම්බෙන් මේ බ්ලොග් එක සෙට් උනේ. එදා දාපු කොමෙන්ටුවට රිප්ලයි එක මතක් වෙලා බලද්දි තමා මතක් උනේ බ්ලොග් එක රීඩරේට දාගත්තෙ නෑනෙ කියල. හොයල හොයල හොයල හොයල අද තමා හම්බුනෙ. දැන් ඉතින් හිමීට කියවන්න පටන් ගන්නම්. මම එදා ඇහුවෙ ෆෝන් කැමරාව ගැන නෙමෙයි. ගැලැක්සි ස්මාර්ට් කැමරාව ගැන
    http://www.youtube.com/watch?v=0SYMXxTNbUc

    ReplyDelete
  16. මම අමාරුවෙන් මේකට ගහපු කමෙන්ට් එක කලින් පෝස්ට් එකේ භූතයෙක් ගිලල.
    මේ බ්ලොග් එක අහම්බෙන් සෙට් උනේ. කමෙන්ටුවක් දැම්මට රීඩරේට දාගන්න අමතක උනා. පස්සෙ හොයල හොයල ඊයෙ තමා අහු උනේ. දැන් ඉතින් දිගටම මේ පැත්තෙ එනව. මාව වදයක් වෙලා බ්ලොක් කරේ නැත්තම් :P
    .
    මම කලින් පෝස්ට් එකෙත් මේ ප්‍රශ්නෙ වැරදි විදියට ඇහුවා. Samsung Galaxy Camera (Smart Camera) ගැන ඔබේ අදහස මොකද්ද? මම කැමරාවක් ගන්න ඉන්නෙ. මේකෙ ගානත් 60,000ක් විතර වෙනවා. මේකෙනුත් DSLR එකකින් කරන දේම ලේසියෙන් මට කරන්නපුලුවන් වෙයිද? නැත්තම් මුදල් අපරාදයක් වගේද?
    පහත තියෙන්නෙ ඒකෙ ලින්ක් එක
    http://www.youtube.com/watch?v=0SYMXxTNbUc

    ReplyDelete
    Replies
    1. කලින් පොස්ට් එකෙක්ට ගපහු කොමෙන්ට් එක තියෙනවා මම එකට රිප්ලයි කළා. නමුත් ප්‍රශ්නේ හරියට තේරුනේ දැන්.

      දිගටම මේ පැත්තේ එක්ක. වදයක් කියලා හිතන්නේ නැහැ කැමති දෙයක් අහන්න, දන්නා විදිහට කියලා දෙන්නම්.

      Samsung Galaxy Camera එක DSLR එකක් වෙනුවට ආදේශ කරන්න බහ. serious photography කරනවානම් DSLR එක තමයි. නමුත් මේ Samsung Galaxy Camera එක හොඩක් පහසුකම් තියෙනවා.

      පහල මට්ටමේ බ්‍රිජ් කැමරාවක් සමග සැසදීමේදී Samsung Galaxy Camera එක ඉදිරියෙන්, පහත ලින්ක් එක බලන්න
      Samsung Galaxy Camera Vs Fuji S2950

      නමුත් ඉහල මට්ටමේ බ්‍රිජ් එකක් සමග සැසදීමේදී Samsung Galaxy Camera එකට වඩා බ්‍රිජ් කැමරාව බොහෝ ඉදිරියෙන්
      Samsung Galaxy Camera Vs Nikon P510

      එතකොට DSLR එකක් එක්ක සසදන්න බැහැනේ නේද? Photography කිරීම බලාපොරොත්තුව නම් DSLR එකකට යන්න. මගේ කලින් පොස්ට් ටික කියවන්න, විශේෂයෙන් සෙන්සර් ෆොර්මට්ස් ගැන කියලා තියෙන පොස්ට් එක නැවත කියවන්න.

      අමතක කරන්න එපා Samsung කියන්නේ කැමරා නිෂ්පාදකයෙක් නෙවේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නෑ නෑ, මම එහෙම සීරියස් විදියට Photography වලට එන්නෙ නෑ. මගේ ආතල් එකට ෆොටෝ ගන්නෙ. මට අත්දැකීම් නැති එකේ DSLR එකකට යනවට වඩා මේක ලේසි වෙයි කියලා හිතුන. තැන්කූ මචෝ, මම හිතන්නෙ මට උත්තරේ හම්බුන
      මම ඒ ටිකත් කියෙව්ව. දැන් බලන්න ඕන ඒ විස්තර ටිකත් කොහොමද කියල.. Thanks again

      Delete
  17. අයියේ කියල වැඩක් නැහැ. මටනම් පට්ට වටිනවා. මම මේ ඔක්කොම ට්‍රයි කරමින් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය ටික master කරහම උඹට තේරෙයි, අතේ තියෙන කැමරාවේ වටිනාකම.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

************ *************