Tuesday, January 16, 2018

මස් මාංශ අනුභවය පිළිබඳව බෞද්ධ සංකල්පය



අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ කාලයේ බොහෝ දෙනෙක්ට ඇතිවී තිබෙන ප්‍රශ්නයක් වන මස් මාංශ අහාරයට ගැනීම බෞද්ධයන්ට සුදුසුද යන මාතෘකාව පිළිබඳව.  මේ පිලිබඳ නිගමනයකට පැමිණීමට පෙර මෙම ලිපිය සම්පුර්ණයෙන්ම කියවන්න.

මේ ලිපියේ පරමාර්ථය මස් මාංශ අහාරයට ගැනීමෙන්  වැලැක්වීමට හෝ ඒ සඳහා පෙළඹවීමට අනුබල දීමක් නොවන අතර , අද බොහෝ දෙනෙකුන් මහා ප්‍රශ්නයක් කරගෙන තියෙන මෙම මාතෘකාව පිළිබඳව සරලව මෙන්ම ධර්මානුකුලව විමසා බැලීමක් පමණි.

මස් මාංශ අහාරයට ගැනීම බෞද්ධයන්ට සුදුසුද යන සැකය ඇතිවීමට මුලික හේතු වෙලා තියෙන්නේ, මස් මාංශ අහාරයට ගැනීම නිසා ; ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම, සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයි.

මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විස්තරයන් ආමගන්ධ සුත්‍රය, ජිවක සුත්‍රය, මහා සිහනාද සුත්‍රය ආදිය පරිශිලයන කිරීමෙන් ලබාගත හැකිවන අතර විනය පිටකයට අයිති වන මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධ වග්ගය ද මේ සම්බන්ධයෙන් ඉතා වටිනා කරුණු ගෙනහැර දක්වනවා. නමුත් මෙම ලිපියෙන් ඉහත සඳහන් දේශනා මුළුමනින්ම ගෙනහැර දැක්වීමක් නොකරන අතර, අවැසි කෙනෙකුන් හට එම ග්‍රන්ථයන් පරිශීලනය කර කරුණු දැනගත හැක.

මස් මාංශ ආහාරයට ගැනීම නිසා ප්‍රාණඝාතයට අනුබල දීමක්  සිදුවේද?

මේ ගැන දැනගැනීම සඳහා ප්‍රාණඝාත අකුසලය සිදුවෙන ආකාරය ගැන පැහැදිලි දැනීමක් ඇති කරගත යුතුය.

කිසියම් සත්වයකුගේ ජීවිතය, යම් කෙනෙකුගේ උපායක් මගින් අවසන් කිරීම ප්‍රාණඝාත වෙයි, පර පණ නැසීම යනුවෙන්ද මෙය හඳුන්වා ඇත. මෙලෙස ප්‍රාණඝාත අකුසලය සිදුවීමට නම් කරුණු කාරනා පහක් (5) සම්පුර්ණ වෙන්න ඕන.
1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු  බව දැනීම
3. මරන්නට කැමති සිත
4. මරන්නට උපායක් සැකසීම
5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.

මෙම අංග පහ සම්පුර්ණ උනේ නැතිනම් ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නැහැ. මේ ගැන උදාහරණ ඔබ බොහෝ අසා ඇතිවාට සැක නැහැ. ගමන් බිමන් යාමේදී පෑගී මැරෙන සතුන්, පහනක් පත්තු කිරීමේදී එම පහනේ දල්ලට හසු වී මැරෙන සතුන් ආදිය නිසා ප්‍රාණඝාත අකුසලය සිදුනොවේ. නමුත් යම් අයෙකු ගමන් කිරීමේදී මගේ පයට පෑගී සතුන් මැරේවා යන අදහසක් ඇතිකරගත හොත් පයට පෑගී මැරෙන සතුන් ගන්නට ප්‍රාණඝාත අකුසලය සිදුවේ. පහනක් දැල්වීමේදී ද මේ පහන් දැල්ලට අසුවී සතුන් මියදේවා යන අදහසින් පහනක් දල්වුවහොත් එම දල්ලට හසුවී මියයන සතුන් ප්‍රමාණයට ප්‍රාණඝාත අකුසලය  සිදුවේ. නමුත් යම් විටක මෙසේ සිතුවහොත් "මේ දැල්ලට මදුරුවන් හසුවී මැරේවා." එවිට එම දල්ලට හසුවී මැරෙන මදුරුවන් නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවුවත් වෙනත්  සතුන් එම දැල්ලට හසුවී මැරුණද, ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

ප්‍රාණඝාතයේ මුලික අංග ගැන මෙසේ දැනගත යුතු අතර ප්‍රාණඝාතයේ ප්‍රයෝගයන් සයක් (6) වේ.
1. ස්වාහස්තික ප්‍රයෝගය - මැරීම සඳහා ගැසීම්, කැපීම ආදිය තම අතින්ම සිදු කිරීම
2. ආඥා ප්‍රයෝගය - අනෙකෙකු ලවා කරවීම
3. නිස්සර්ගික ප්‍රයෝගය - ආයුධය දමා ගැසීම, වෙඩි තැබීම වශයෙන් තමාගේ අතින් මුදාහැර මැරීම.
4. ස්ථාවර ප්‍රයෝගය - උගුල් ඇටවීම, තුවක්කු බැඳීම ආදිය
5. විද්‍යාමය ප්‍රයෝගය - සුනියම් කිරීම්, වස්කවි ආදිය මගින් මරණයට පත් කිරීම.
6. ඍධිමය ප්‍රයෝගය -  අමනුෂ්‍යයන් විසින්  බියකරු වේශයක් මවාපෑමෙන්  ආදියෙන් වන මරණය.

ආඥා ප්‍රයෝගය සය ආකාරයකින් සිදුකල හැක.
1. වස්තුව: යනු මරනු ලබන සත්වයාය. යමෙකු කුකුලෙකු දක්වා මරණ්නට අණ කල විට නොවරදවාම එම සත්වයා මරනු ලැබුවහොත් අණ කල සහ මරණය සිදුකල දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවේ. එම සත්වයා නැතිව වෙනත් සතෙකු මරුවහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය  සිදුවේ.
2. කාලය: මරණය සිදුකිරීමට නියම කරණ කාලය. කාලය ඉක්ම ගියහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය  සිදුවේ. නැතහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය  සිදුවේ.
3. අවකාශය: යනු මරණය සිදුකල යුතු තැන.(අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
4. ආයුධය:  යනු මරණය සිදුකල යුතු  ආයුධය වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
5. ඉරියවුව:  මරනු ලබන සත්වයා සිටිය යුතු ඉරියවුව වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
6. ක්‍රියාව : මැරීම සඳහා කරණ උපක්‍රමය. වෙඩි තැබීමට අණ කල කල්හි එසේ කිරීමෙන් මරණයට පත්කළහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර, වෙනත් ක්‍රමයකින් මරණයට පත්කළහොත් අණ කල තැනැත්තා මිදෙන අතර ක්‍රියාව කල තැනැත්තා හට පමණක් අකුසලය සිදුවේ.

මේ අනුව ප්‍රාණඝාත අකුසලය සිදුවන ආකාරය පැහැදිලි වෙන අතර වෙනත් කිසිම හේතුවක් නිසා  ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. මෙයට අමතර හේතුවක් නිසා  ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ යයි ගිහි හෝ පැවිදි කෙනෙකුන් ප්‍රකාශ කරන්නේ නම් එය බුද්ධ වචනය ඉක්මවා යෑමක් වනු ඇත.

දරුවෙකු නිදා සිටින විට, ඒ අසල කැරකෙන මදුරුවෙක් දකින මව ඒ මදුරුවා දෂ්ට කිරීමෙන් දරුවාට අනර්ථයක් සිදුවේ යැයි සිතා එම මදුරුවා මරුවහොත්,  ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ එම මදුරුවා මැරුව මවට පමණි. නමුත් මේ මදුරුවා මැරුවේ දරුවා නිසා උවත් එම දරුවාට එයින්  ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. එසේ දරුවාට  ප්‍රාණඝාත අකුසලය සිදු නොවන්නේ, මා වෙනුවෙන් මේ සතා මරන්න යයි අණ කිරීමක් හෝ, මා නිසා මේ සතා මැරුවොත් හොඳා යයි චේතනාවක් නො නොමැති බැවිනි.

මස් මාංශ පිළිබඳවද මේ කාරණය මේ ආකාරයෙන් ම වේ. මස් අනුභව කරණ අය වෙනුවෙන් මැරුවද, ඒ අනුභව කරණ අය විසින් අණ කිරීමක් හෝ අවම වශයෙන් මා වෙනුවෙන් මේ සතා මරන්නේ නම් හොදයයි චේතනාවක් හෝ නොමැති නම්, අනුභව කරන්නාට හෝ මිලදී ගන්නාට  ප්‍රාණඝාත අකුසලය  සිදු නොවේ.

එපමණක් නොවේ අද ශාකමය ආහාර නිපදවිමේදීද ඇති විශාල වශයෙන් කෘමි නාශක භාවිතා වනවා. ඒ නිසා බත් කටක්  කන්නත් බොහෝ සතුන්ගේ ජිවිත අහිමි  වන බව දන ගැනීම වැදගත් වෙනවා. මස් කෑමෙන් වක්‍රාකාරව ප්‍රාණඝාත අකුසලය සිදුවෙනවා යයි සිතනා  අය,බත් කටක්  කැවත් ප්‍රාණඝාත අකුසලය සිදුවෙන්න පුලුවන්ද යන කාරණයත් විමසීම වටිනවා.

මස් මාංශ අනුභව කරන්නාට සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි ද?

මේ පිළිබඳව කතා කිරීමට පෙර සත්වයා  යනු කවරේදැයි විමසා බැලීම සුදුසු වේ. සියලුම සත්වයන් සෑදී ඇත්තේ නාම රූප කොටස් දෙකින් වේ. මෙය නැවත   රුප, වේදනා, සංඥා, සංකාර, විඥාන ලෙස බෙදිය හැක. (මේ එක එක අංගයන් උපාදාන ස්කන්ධ ලෙස දැක්වේ. ඒ පිළිබඳව වෙනත් අවස්ථාවක විමසා බලමු.)

රුප කොටස නැවත ආපෝ, තේජෝ, වායෝ, පඨවි, අවකාශ ලෙස බෙදිය හැක. (මෙය නැවතද රුප කලාප ලෙස බෙදිය හැකි වුවද මේ අවස්ථාවට මේ ප්‍රමාණවත් වේ)

යම් සත්වයකු මරණයට පත්වන විට මෙම නාම රුප දෙක බෙදී යයි, එම අවස්ථාවේදී  නාම කොටස නැතිවී යන අතර සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටස පමණක් ඉතිරි වේ. 

එනම් මස් මාංශ යනු මෙසේ නාම කොටස නැතිවූ, සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටසක් පමණි. එහිද ශාකමය ආහාරයකද වෙනසක් නැත, දෙකේම ඇත්තේ සතරමහා ධාතුන්ගෙන් සකස් වූ, සුළු කාලෙකින්  කුණුවී විනාශ වී යන කොටසක් පමණි.

කරුණු කාරනා එසේ හෙයින් සතුන් වෙත  මෛත්‍රිය පහල කිරීමට සතරමහා ධාතුන්ගෙන් සකස් වූ ආහාරයක් බලපෑම් සිදු කරනවා යයි සිතීම මිත්‍යාවක්. මෛත්‍රිය පහල  කරගත යුත්තේ සිතෙහි මිස ආහාරයෙහි නෙවේ. එමෙන්ම මෛත්‍රිය පහල කල යුත්තේද සත්වයන් හට මිස මළකුණු කෙරෙහි නොවේ.  මස් කැබැල්ලට, කරවල, උම්බලකඩ කැබැල්ලට මෛත්‍රිය පහල කරණ බොහෝ දෙනෙක් ජිවත් වන සතුන්  වෙත මෛත්‍රිය පහල කරන්නේ නැහැ. අතේ වහන  මදුරුවා සතෙක් බව හිතන්න. ඌ චප්ප කර දැමීමෙන් නම් අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර, ඔබගේ මෛත්‍රිය නැති වෙනවා. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය ඇත්නම් මදුරුවෙක්, කුබියෙක් හෝ මරණයට පත්කරන්න බැහැ.


ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවේ ද?

ශිලය ගැන බුදුරජානන් වහන්සේ තරම් දන්නා තවත් කෙනෙක් නැහැ. එතරම් ශිලය ගැන දන්නා බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පනවා ඇති නිත්‍ය ශිලය වන්නේ පංච ශීලයයි. එයට අමතරව උපෝසථ අෂ්ඨාංග ශිලය සහ ගිහි දස ශිලය පනවා තිබෙනවා. මින් එකම සිල් පදයකවත් මස් මාංශ කෑමෙන් වැලකීම නම් සිල් පදයක් දක්වලා නැහැ. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් උන් වහන්සේ අනිවාර්යයෙන්ම එලෙස වූ සිල් පදයක් පනවනවා. 

බුදුරජාණන් වහන්සේ පැනවූ සිල්පද ඉවත් කිරිමටත්, නොපැනවූ සිල්පද පැනවීමටත් කිසිවෙකු උත්සාහ කරනවානම්, එය බුදු රජාණන් වහන්සේ ඉක්මවා යාමක් ලෙස දකින්න වෙනවා.

මේ ගැන කතා කිරීමේදී අපි සලකා බලන්න ඕන දෙයක් තමයි නිඝන්ථ නාථ පුත්‍ර සහ ඔහුගේ අනුගාමිකයන්. ඔවුන් ශාකමය ආහාර පමණක් ගනිමින් සියලු සතුන් වෙත මෛත්‍රිය පහල කරනවා කියපු කොටසක්. නමුත් ඔහු බුදුරජාණන් වහන්සේ  කෙරෙහි කොතරම් ද්වේෂයකින් කටයුතු කලාද කියන කාරණය ඉතාම් ප්‍රචලිත දෙයක්. ඉතින් ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් ඔහුට ඒ ආකාර ද්වේශ සහගත තත්වයන් ඇතිවන්නට හැකියාවක් නැහැ.

තවද මේ කරුණ ගැන සැලකීමේදී අපි විමසා බලන්න ඕන සුත්‍රයක් තමයි මහා සිහනාද සුත්‍රය. මෙහිදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දුෂ්කරක්‍රියා කාලය ගැන සැරියුත් මහා රහතන් වහන්සේට පවසමින් කියා සිටිනවා එම දුෂ්කරක්‍රියා කාලය තුල තමන් වහන්සේ ආහාරය ගත් ආකාරය ගැන. එසේ පවසමින් උන් වහන්සේ පැහැදිලි කරනවා එසේ ආහාරය නිසා තමන්ට කිසිම විශේෂිත වූ අධිගමනයක් නොලැබූ බව.

මේ කරුණු කාරණා සැලකීමෙන් පෙනීයන්නේ ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා යන කරුණ මිත්‍යාවක් බවත්, යමෙක් එය එලෙස වෙයි සිතා එම මත අතනොහැර හිටීම සීලබ්බත පරාමාස ලෙස හඳුන්වන වැරදි  වෘතයන් ට අයත්  බවයි. එයද එකල සීල විසුද්ධිය වෙනුවෙන ඇතැම් අය පැවැත්  වූ ගෝ වෘත, අජ වෘත, සුනඛ වෘත වැනිම වෘතයක් බවයි.

 බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා තිබේද?

බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා බොහොමයක් විනය පිටකයට අයිති වන මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධ වග්ගය පරිශිලයන කිරීමෙන් සොයා ගත හැකියි. එහි එක්තරා අවස්ථාවකදී, අමනුෂ්‍ය දෝෂයකදී ආතුරයාට අමු මස් කෑමට හෝ අමු ලේ බිමට සිදුවුවහොත් එය අනුමත කරමි කියා දක්වා ඇත. වැඩි විතර මේ ග්‍රන්ථයන් පරිශීලනය කිරීමෙන් ලබා ගන්න.


බුදුරජාණන් වහන්සේ මස් මාංශ වාරණය කර නැතිද?

බුදුරජාණන් වහන්සේ මස් මාංශ වර්ග දහයක් අනුභව කිරීම තහනම් කර ඇති බව ද මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධය ඇසුරෙන් සොයාගන්න පුළුවන්. පහත තියෙන්නේ ඒ මස් වර්ග දහය.
1. මිනි මස්
2. අලි මස්
3. අශ්ව මස්
4. බලු මස්
5. සර්ප මස්
6. සිංහ මස්
7. ව්‍යාඝ්‍ර මස්
8. දිවි මස්
9. වලස් මස්
10 තරස් මස් (සමහර තැනෙක  මෙය කරබානා වලසා යනුවෙන් සඳහන් කරයි)

බුදුරජාණන් වහන්සේලාගේ වක්‍රාකාර දේශනා විලාශයක් නැත. ධර්මයේ ගුණ ගැන කියවෙන ස්වාක්ඛාත ගුණයේ තේරුම වන්නේද, මුල මැද  අග පිරිසිඳු, සැගවුන අරුත් නැති, අර්ථ ව්‍යංජන සහිත... ආදී වශයෙනි. එසේ හෙයින් මස් වර්ග 10ක් පමණක් තහනම් කිරීමෙන් පැහැදිලි වන්නේද අනිකුත් මස් මාංශ අනුභවයට තහනමක් නැති බවය. මේ වර්ග 10 තහනම් කලේද විටින් විට යම් යම් හේතුන් මත වේ.

බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකය

මෙය නම් සැක නොකළ යුතුම කාරණයකි. උන්වහන්සේලා ආහාරය අනුභව කරනුයේ එය ආහාරයක් වශයෙන් පමණක් සලකාගෙන මිස, අප මෙන් රස තෘෂ්ණාවෙන් නොවේ.  එම අවස්ථවේදී උන් වහන්සේලාට එම ආහාරයේ ඇත්තේ ධාතු සමුහයක් පමණි. මේ බව ආහාර අනුභවයට පෙර භික්ෂුන් වහන්සේලාට ඒ  ආහාරය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කල යුතු අන්දම ගැන පනවා ඇති අයුරු සලකා බැලීමෙන් පැහැදිලි වෙනවා.

බුදුරජාණන් වහන්සේ මස් මාංශ පිළිගත් බව පිළිබඳව කියවන ජිවක සුත්‍රය සීහ සේනාපති ගේ දානය ගැන බොහෝ විට අසන්නට ලැබෙනවා. මේ ඒ වැනි තවත් අවස්ථාවක්, 


එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කුටාඝාර ශාලාවෙහි වැඩ වසන කල, සොවහන් පලයෙහි පිහිටි උග්ග නම් ගෘහ පතියා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන්  දානයක් සකස් කරලා එම දානය පිලිගන්න්වන අවස්ථාවේදී මෙලෙස ප්‍රකාශ කරනවා.

"ස්වාමිනි මා විසින් ඔබ වහන්සේ ගෙන්ම අසන ලද ධර්ම කරුණක් තියෙනවා, ඒ තමයි තමන් මනාප දේ දන් දෙන තැනැත්තා මනාප දෙයම ලබන්නේය" යන්නයි එබැවින් භාග්‍යවතුන් වහන්ස මනාප දේම ලබනු පිණිස මට මනාප දේම සහිතව මේ දානය පිළියෙළ කරණ ලද්දේය.
ඔය විදිහට කියන මේ උග්ග ගෘහ පතියා  ඒ දේවල් වල නම් කිය කියා මේ දානය පුජා කරනවා. මෙහෙම් පුජා කරණ අතෙරේ දී  
"භාග්‍යවතුන් වහන්ස, මම ඩෙබර පල මුසු කල ඌරු මසට ඉතා මනාපයි, එබැවින් භාග්‍යවතුන් වහන්ස මා කෙරේ අනුකම්පා කර මේ ඩෙබර පල මුසු කල ඌරු මස පිළිගන්නා සේක්වා"
භාග්‍යවතුන් වහන්ස ඔහු කෙරෙහි අනුකම්පා උපදවා පිළිගත් සේක.

මෙය අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ සඳහන් කරුණක්.

මස් මාංශ අනුභවය මෙන්ම ආහාරය  අකුසලයක් වන අයුරු?

භාග්‍යවතුන් වහන්සේ දේශනා කල මේ ශ්‍රී සද්ධර්මය අප භාවිතා කල යුත්තේ අපහේ සිතේ ඇතිවන ලෝභ, ද්වේශ මෝහ යන අකුසල මුලයන් දුරුවන ආකාරයට බව අපි දන්නවා.  මස් මාංශ අනුභවය ඉතා ගිජු කමින් සිදුකරණ විට ඒ රසය වෙනුවෙන් පහල වන්න වූ ලෝභ සහගත සිතුවිලි නිසා අනිවාර්යයෙන්ම අකුසල් සිදුවෙනවා. 

මස් මාංශ පමණක් නොවේ ශාකමය ආහාර සඳහා උවත් අධික ගිජු බවක් දක්වනවා නම් එතනදිත් පහල වන්නේ අකුසල් මුලයක් වන ලෝභ සහ ගත සිතුවිලි. එබැවින්  මොනයම් හෝ ආහාරයක් ගැනීමේ දී ඒ ගැන අධික ලෙස ගිජු  නොවී එම ආහාරය ගැනීම ඉතා වැඩදායක වෙනවා.

එමෙන්ම ආහාරය ගැනීමට පෙර එම ආහාරය ගැන තමන්ට හැකි පමණින් ප්‍රත්‍යවේක්ෂා කිරීමක් කරන්න 

" මා මේ ආහාරය ගන්නේ රස විදීමට නොවේ, ශරීරය වර්ධනය කිරීමට නොවේ,  ජවය පිනිස නොවේ, ඇති වූ කුස ගින්න නිවා ගැනීම පිණිසත්, කාය ජිවිත දෙක ආරක්ෂා කර ගෙන මේ ලද ජිවිතයෙදී ධර්මය අවබෝධ කිරීම පිණිසත්  පමණයි. මේ ආහාරය පඨවි, ආපෝ, තේජෝ, වයෝ යන සතරමහා ධාතුන්ගෙන් සැදුනක්. ශරීරයට ඇතුල් වී සැනෙන් මේ ආහාරය අපවිත්‍ර බවට පත් වන්නක් .."

ඔය ආකාර වූ ප්‍රත්‍යවේක්ෂා කිරීමක් භික්ෂුන් වහන්සේලා ට අනිවාර්යය කර ඇති නමුත්, ගිහියන්ට උවත්   මෙහෙම හිතන්න පුලුවන්නම් ඕනෑම නීරස ආහාරයක් ඉතාම පහසුවෙන්, සතුටෙන්  අනුභව කරන්න පුළුවන්. ආහාරයක රස විදීම කිසිසේත්ම නොකළ යුත්තක් යැයි වරදවා වටහා නොගන්න. ඔබ ගන්නා ආහාරය උපරිම ආකාරයෙන් රස විදින්න, නමුත් ඒ රසයට ගිජු නොවීමට උත්සාහ කරන්න.  ආහාර අනුභවයේදී අකුසල් සිදුවන තවත් අවස්ථාවක් තමයි එම ආහාරයේ රසය මද වීම, ලුණු ඇඹුල් අඩු වැඩි වීම වැනි අවස්ථාවන් හීදී ඇතිවන ද්වේශය.  මෙයත් ආහාරය නිසා අකුසල් සිදුවන අවස්ථාවක්. ඉහත දැක්වූ ආකාරයට  ආහාරය ගැන නුවණින්  සලකා ආහාර ගැනීමට හැකිනම්, ආහාරය නිසා ඇතිවන අකුසල් සහගත සිතිවිලි නැති කරගන්න පුළුවන්.

මේ ආකාරය හැකිනම් එක දවසක් ආහාරය පිලිබදව නුවණින් මෙනෙහි කරලා බලන්න. මේ ධර්මය තමන්ම අත් දකින්න ඕන දෙයක් එහි අසිරිමත් භාවය එයයි.


මේ පිළිබඳව තවත් බොහෝ කරනා ඇති මුත් මේ ලිපිය සඳහා කරුණු දැක්වීම ප්‍රමාණවත් යයි  හැඟෙනවා.   මස් මාංශ අනුභව කිරීම හෝ නොකිරීම  තනිකරම පුද්ගලික කාරණයක්. එලෙස අනුභව කළා කියා ඔවුන්ව ගර්හාවට ලක් කිරීම නොකළ යුතු අතර ශාක ආහාර පමණක් අනුභව කරන්නවුන් ඒ පිළිබඳව  අනවශ්‍ය මාන්නයක්ද ඇති නොකර ගත  යුතුය.


පසු සටහන:

මීළඟ පොස්ට් එකෙන්  නිවන් මග වැරදුනේ ඇයි කියා සරල විමසීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙම ලිපි දෙක කියවීමට නොහැකි වුවානම් ඒ ලිපි  කියවන්න, ඒවාට ලැබුන ප්‍රතිචාර සහ ඒ වෙනුවෙන් ලබාදුන් පිලිතුරුත් අනිවාර්යයෙන් කියවන්න.
1. දුශ්ෂිල භික්ෂුව කෙරෙහි ගිහියන් පිළිපැදිය යුතු අයුරු 
2. සැබෑ බෞද්ධයා යනු කවරෙක්ද? සහ බල්ලෝ මරලා හරි නිවන් දැකීම...
3.බුදුරජාණන් වහන්සේට ඇති අන්වර්ථ නාම


සැමට ධර්මාවබෝධය ලැබේවා !!!!

100 comments:

  1. හරි අපූරු ලිපියක්.මම නම් ධර්මය ගැන ගොඩක් දේවල් දන්නේ නෑ.ඒ වුනාට සරලව ගත්තොත් අපි හොඳ මිනිහෙක් නැත්නම් සිල්වත් මිනිසෙක් වෙන්නෙ අපි කියන කරන දේවල් අනුව මිසක් කන බොන දේවල් අනුව නෙවෙයිනෙ.දැං හිට්ලර් මස් මාලු කෑවේ නෑ.දේවදත්ත හාමුදුරුවො මස් මාලු කෑවෙත් නෑ.ඒ වුනාට අපි ඒ අය සිල්වත් කියලා පිලිගන්නේ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔයා මේ පැත්තේ ගොඩවුන පළමු වතාව නේද? සාදරයෙන් පිලිගන්නවා.

      ඔයාගේ අදහස ඉතාම නිවැරදියි, සරලයි, සුගමයි.

      Delete
    2. දෙව් දත් පසුව රහත් බව ලැබුවා නොවෙද,

      Delete
    3. නැත සොයුර, ආනන්තරිය පාප කර්ම කල බැවින් අවීචි මහා නරකයේ පහල වුන බැව් තමයි සඳහන් වන්නේ. මහා කල්පයකට පසු, ඉන් මිදී පසේ බුදුවරයෙක් වී (නම මතක නැත), පසේ බුද්ධත්වය ලැබූ කෙනෙහිම පිරිනිවන් පාන බව තමයි සඳහන් වන්නේ.

      Delete
    4. ඒකත් මාර සීන් එක නේ. අංගුලිමාලට අවුලක් නෑ.. දෙව්දත්ට තමයි අප්ෂට්..

      Delete
    5. බුද්දාන්තර 29 කට පසු තමයි පසේ බුද්ධත්වය ලබන්නේ...

      Delete
    6. සට්ඨිස්සර නමින් පසේ බුදු වෙන්නෙ

      Delete
  2. වැදගත් තොරතුරු ටිකක්. ඔය හාමුදුරුවරු කියාගන්න අයට ඇයි මේ වගේ පැහැදිලිව මිනිස්සුන්ට ඔය බුදුදහමෙ තියෙන ඒව වටහල දෙන්න බැරි කියන එකයි මට ප්‍රශ්නෙ.

    අනික මස්කඩ වලට පැනල ගිනි තියල කඩ කුඩු කරල තව කෙනෙක්ගෙ දේපල වලට හානිකරල ඒකෙන් නිවන් යන්න පුලුවං කියල තියෙන බුදු දහමක් දේශනා කළේ කවුද කියන එකත් ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න ඔබගේ අදහස් දැක්වීමට.

      පසුගිය වසර 50 හෝ ඊටත් ටික වැඩි කාලයක නිවැරදි ලෙස බුදු දහම ජනතාව අතරට ගියේ නැහැ. බොහෝ හාමුදුරුවරු කලේ ජාතක කතාවක් අරගෙන් බණ ටිකක් කියපු එක. ඒ නිසාම තමයි බොහෝ දෙනෙක්ට නියම ධර්මය ගැන අවභෝධයක් නැත්තේ. නමුත් මැතක සිට නැවත සුත්‍ර, විනය අනුව ධර්ම දේශනා කරණ ප්‍රවනතාවයක් තියෙනවා. බොහෝ විඔට දැන් විවරදී ධර්මය එලි දකිනවා. නමුත් මාධ්‍ය තුලින් එලියට එන බොහෝ ජනප්‍රිය හාමුදුවරුන් ගෙන් නම් තවමත් එහෙම දෙයක් දකින්න නැහැ, ඒ අය බුදු ගහම ලෙස තමන්ගේ මත වපුරමින් ලාභ සත්කාර ඔස්සේ යන වගක් පෙනෙන්නට තියෙනවා.

      මස්කඩ කඩන සහ එවැනි අති ධාවනකාරී හාමුදුරුවරු අතින් වෙන්නේ විශාල වරදක් වගේම ඉතාම නරක පුර්වාදර්ශයක් සැපයුමක්. මට මේ සම්බන්ධයෙන් නොතේරෙන ප්‍රශ්න දෙකක් තියෙනවා
      1.හරකා මැරුවහම විතරද ප්‍රාණඝාතය සිදුවෙන්නේ ?
      2.සුපිරි වෙළඳ සැල්වල හරක් මස් විකිණීම කලාට කමක් නැතිද?

      අනේ අනුකම්පා කරලා ඔය හාමුදුරුවෝ කෙනෙක් මේ ගැන මට පහදලා දෙනවද.

      Delete
  3. අද ඉන්න අපේ හාමුදුරුවරු වැඩි හරියක් දේශනා කරන්නේ වැදී බණ!මේ මෙතරම් නිදහස්, නිවැරදි දර්ශනයක් වැරදි පැත්තෙන් අල්ලාගෙන, ධර්මය සොයන මිනිස්සුන්ව මුල කරලා, තම තමන්වත්, අනෙක් අයවත් සංසාරේ අතරමන් කරවන පැලැස්තර දර්ශනයක් තමයි දැන් ප්‍රසිද්ධ කරගෙන තියෙන්නේ......

    මට හිතෙන්නේ, මෙහෙම වෙන්න ඇති නිර්මල බුදුදහම විනාශයට පත්වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. නිවැරදි ධර්මය තවමත් නොනැසී පතිනවා, නිවැරදි ධර්මය දේශනා කරණ ස්වාමින් වහන්සේලාත් බොහෝ දෙනෙක් ඉන්නවා.

      Delete
  4. සෙද්ද... හදිසිකට වචන දෙක තුනක් කපාගෙන ඇවිල්ල ක්වෝට් කරල ඒකට අනුව කතා කරන්න දෙන්න තරං වත් පරාර්තකාමි හැගීමක් නැති බෞද්ධයෙක් නෙව තෝ.. හැක්..

    අර කෑම ගැන දේශනා කරපු විදිය “රස විදිමට නොවේ“ කොටස. දැක්කම මතක් උනේම මැට්රික්ස් ෆිල්ම් එක.

    ReplyDelete
    Replies
    1. බුදු දහම අධ්‍යයනය කරන කොට මැට්රික්ස් ෆිල්ම් එක මතක් නොවෙන වෙලාවක් නෑ මටත්. මං අයිලාෂ් ගේ පහුගිය ලිපි කියවද්දි කල්පනා වුනේ, හරි විදිහට මේ ලෝකය අවබෝධ කරගත්ත බුදුන්ට ත්, මැට්රික්ස් එක අවබෝධ කරගත්ත නියෝ ට වගේ ලෝකයේ යටින් දිවෙන යථාර්ථය පේන්න ඇත්තෙ මොන විදිහට වෙන්න ඇත්ද කියලා.

      Delete
  5. මම නම් කන්නේ බඩගින්න සහ සෞඛ්‍යය ගැන හිතලා. වෙන මොනාත් ගැන හිතන්නේ නෑ.:)

    තමන් කන කෑම එක ගැන තර්ක කරන එක විහිලුවක් කියලයි මට හිතෙන්නේ. බුද්ධාගමේ හැටියට අපිට අවශ්‍ය නිදහස ලැබිලා තියෙන්නේ කැමති දෙයක් කරන්ට. ඉතින් මොලේ පාවිච්චි කරලා හරි කියලා හිතෙන දේ හිතට එකඟව කලා නම් හරි. මට හිතෙන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. හරි කියලා හිතෙන දේ නෙවෙ, හරි දෙයි කරන්න ඕන.
      සමහර මිනිසුන්ට හිතට එකඟව මත් වතුර බොන එක හරි කියලා හිතෙනවා, හමහර අයෙක්ට හොරකම, පගාව වගේ දේවල් හරි කියලා හිතෙනවා. නමුත් මේ දේවල් හරි කියලා ඒ අයට හිතුනට වැරදි දේවල් නේද?

      Delete
  6. අගනා ලිපියක් අයිලාෂ්. මෙතැන මා කවදාවත් අසා නැති දෙයක් දැන ගත්තා. මස් වර්ග 10ක් තහනම් කොට තිබූ බව තමයි එය. ඒ ගැන දැනුවත් කළාට ස්තුතියි. මහාවග්ග පාලිය ගැන දැනුමැති කෙනකු සමග තව දුරටත් මේ ගැන කතා කළ යුතුයි. කෙසේ වෙතත් ඔබ විශ්ෂ්ට අයුරින් එක් මතවාදයක් වෙනත් දිශානතියකට හරවා තිබෙනවා. මේ කරුණු මොනවා වුණත් සතුන් මරන එකට මං විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. නලින් මේ මස් වර්ග 10 පවා තහනම් කොට ඇත්තේ වරින් වරමතු වූ හේතු සාධක මත. එමෙන්ම මේ මාංශ වර්ග 10 පවා තනහම් කර ඇත්තේ පැවිද්දන්ට මිස ගිහියන්ට නොවේ.

      සතුන් මැරීම මහා පවක් (මදුරුවා, කුහුබියා පවා). සතුන් මැරීම හෝ එයට මොනයම් ආකාරයකින් හෝ අනුබල දීමක් බුදු දහමේ අනුමත නැහැ.

      Delete
    2. ඒ තහනම් කරපු හේතුත් දැනගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි..ලහිරු ගේ බ්ලොග් එකෙත් ඔය ගැන ලියලා තිබුනා. ඒත් තවත් පැහැදිලි කරගන්න පුලුවන්නම් හොඳයි.

      Delete
    3. මේ හේතු ලියන්න ගියොත් වෙනමම පොස්ට් එකක් වේවි, නමුත් ඉතාම කෙටියෙක් ලියන්නම්.

      * අලි සහ අශ්වයා යන සතුන් අයිති උනේ රජුට (කැලයේ සිටියත්) ඒ නිසා තමයි මේ මාංශ වර්ග තහනම් කලේ.
      * බලු මස් තහනම් කලේ පහත් යයි සම්මත නිසා, ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකයන් බලු මස් කන අය ලෙස නිග්‍රහ වන බැවින්.
      *සර්ප මස්, නාග රජෙකුගේ ඉල්ලීම මත.
      * සිංහ, ව්‍යාඝ්‍ර, දිවි, වලස්, තරස් මස් පිණ්ඩපාතය ලැබී වැළඳු බික්ෂුන් වහන්සේලාගේ සිරුරෙන් දහදිය සමග එම ගන්ධය වහනය වීම නිසා එම සතුන්ගේ පහර කෑමට ලක්ව මරණයට පත් වූ අවස්ථාවල.

      * මිනි මස් : දිග කතාවක්.
      එක්තරා අවස්ථාවක ගිලන් වූ භික්ෂුන් වහන්සේ නමකට විරේක බෙහෙතක් ගන්න වෙනවා. මේ විරේක බෙහෙතෙන් පසු මස් යෙදු ආහාරයක් ගැනීමට සිදු වෙනවා. මෙදින ආරාමයට යන සුප්පියා කියන සොවහන් පලයේ පිහිටි උපාසිකාවකට මේ බව දැනගන්න ලැබිලා, ඒ ආහාරය පිළියෙළ කර එවන්න පොරොන්දු වෙනවා. නමුත් එදින වෙළඳ පොලේ කිසිම මසක් සොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ භික්ෂුවගේ නිරෝගීවීම ගැන සිතා මේ සුප්පියා උපාසිකාව තම කලවයේ මස් කැබැල්ලක් කපා, ඒ මස සහිතව ආහාරය සකස් කරවා දාසියක් අත යවනව.

      මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ ඒ කාරණය නිසා මිනි මස් කෑම තහනම් කරනවා පමණක් නොවේ, තමන්ට ලැබෙන මස් වර්ගය කුමක්ද කියා විමසා පිළිගත යුතු බවට විනය නීතියක්ද පනවනවා.

      (මේ ගැන විස්තර සොයාගෙන කියවන්න)

      Delete
    4. මේ ගැන තියනවා කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ මාංශ ප්‍රශ්නය කියන පොතේ බොහොම පැහැදිලිව විග්‍රහ කරලා.

      Delete
  7. කමෙන්ට් එකක් දැම්මා. ස්පෑම් වෙලා ඇති. පොඩ්ඩක් බලනවද?

    ReplyDelete
    Replies
    1. දැන් හරි, ස්පෑම් වලට අවෙත් ගොඩාක් පරක්කු වෙලා. බ්ලොගර් අන්කල් ගේ වැඩ තමයි :D

      Delete
  8. මලේ, අනුභවයට සුදුසු මාංශයක් ගැන බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා නේද ? මට ඒ වචනය මතක නෑ. '.... කෝටික මාංශය' කියලා ඒක ඉවර වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ඒ කියන්නේ තමන් උදෙසා මරූ බව නොදුටු නොඇසූ නොදැනුනු ලෙස තුන් තැනකින් පිරිසිදු වූ යන අරුතින් මේ ලින්ක් එකට යන්න
      http://www.lakehouse.lk/budusarana/2007/12/31/tmp.asp?ID=fea03

      http://dharmanidhaana.wordpress.com/tag/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%9A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%B8%E0%B7%8F%E0%B6%82/

      Delete
    2. ගාමිණි අය්යේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියලා තමයි කියන්නේ මෙතන කෝටි කියන වචනය යෙදෙන්නේ අන්තය, උපරිමය වැනි අදහසකින්. ඒ කියන්නේ අන්ත තුනකින් පිරිසිඳු වූ මාංශය කියන එකයි. එය අදිට්ඨ , අසුත , අපරිසංඛිත වශයෙන් තමයි දක්වලා තියෙන්නේ.

      මේ ගැන අපිට මජ්ජිම නිකායේ ජිවක සුත්‍රයේ දී මෙන්ම මහාවග්ග පාලියේ භේසජ්ජක්ඛන්ධ වග්ගයේ සීහ සේනාධි පති තුමාගේ දානය ගැන කියවෙන අවස්ථාවේදීත් දකින්නට ලැබෙනවා. මේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය අනුදැන වදාළේ සීහ සේනාධි පති තුමාගේ දානය පිලිබඳ ඇතිවූ ගැටලුවෙන් පසු.

      මෙතනදී කියවෙන්නේ තමා වෙනුවෙන් මැරූ බව දුටු, තමා වෙනුවෙන් මරණ ලදැයි අසු හෝ තමා වෙනුවෙන් මරණ ලදැයි සැක කටයුතු නම් ඒ මාංශය නොපිළිගත යුතු බවයි.

      මෙය මේ සරල උදාහරණ වලින් වටහාගන්න පුළුවන්.

      අපි හිතමු ඔබ යහලුවකුගේ නිවසට කෑම සඳහා යනවා. ඒ ගෙදර කුකුලෙක් ඉන්නවා මේ අය එම සතා ඔබට ආහාරය පිණිස මරනවා ඔබ දැක්කා කියා මෙය තමන් වෙනුවෙන් මැරූ බව දැකීමක්.

      ඔබගේ යහළුවෙක් ඉස්සන් ගොවිපලක් පවත්වාගෙන යනවා. මේ යහළුවා ඔබ හමුවීමට එන විටක ඉස්සන් පාර්සලයක් ගෙනවිත් ඔබට දෙනවා, එසේ දීලා කියනවා මේ මම ඔබ වෙනුවෙන්ම මගේ ඉස්සන් වගාවෙන් ගත් කොටසක්.මේ තමන් වෙනුවෙන් මැරූ බව ඇසීම.

      මේ සිදුවීමේ දී ඔහු ඔබට ඉස්සන් පාර්සලය දීලා කිසිවක් කියන්නේ නැහැ.නමුත් ඔබට සැකයක් ඇතිවෙන්න පුළුවන් මේ ඉස්සන් මැරුවේ ඔබ වෙනුවෙන්මද කියා. එසේනම් එය ඔබ වෙනුවෙන් මැරූ බවට සැක ඇති තැනක්. එවැනි අවස්ථාවක ඔබට ඒ පිලිබඳවා විමසිය හැකියි. එවිට ඔහු කිවොත් , මේ මම වෙළදාම පිණිස මැරූ සතුන්. පසුව ඔබ හමු වෙන්න එන නිසා ඔබටත් කොටසක් ගෙනාවා කියලා. එවිට ඒ සතුන් මරලා තියෙන්නේ ඔබ වෙනුවෙන් නොවෙන බව සැක හැර ගන්න පුළුවන්.

      මේ තුන් අවස්ථාවේදීම ඔබට ප්‍රාණඝාත අකුසලය සිදු නොවන අතර,එම සතුන් මැරූ යටම එම අකුසලය සිදුවේ. මේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය පිළිබඳව විනය ශික්ෂාව පැනවුයේ මා පෙර සඳහන් කල ආකාරයට සීහ සේනාධිපති තුමාගේ දානය අවස්ථාවේදී ඇති වූ පුශ්නය නිසා.

      Delete
    3. හාස්‍ය රසයට ප්‍රසිද්ධ කුංකුනාවෙ හාමුදුරුවොත් ඒ වගේ කතාවක් කියලා තිබුණා.

      හාමුදුරු වරු 100 නමකට රජ්ජුරුවො දානයක් පිළියෙල කරලා, දැනය බෙදද්දි, හාමුදුරුවරු 99 නමක් ම තමන්ට බෙදන බිත්තරය පාත්‍රය අතින් වැසීමෙන් ප්‍රතික්ෂේප කළාලු. ඒත් අන්තිමට හිටිය කුංකුනාවෙ හාමුදුරුවො තමන්ට බෙදූ බිත්තරය පිළිගෙන, පාත්‍රය විවෘත කරගෙනම සිටියාලු. ඉතින් රජු තවත් බිත්තරයක් බෙදුවාලු. ඒ විදිහට බිත්තර 99 ක් ම පිළිගත් කුංකුනාවෙ හාමුදුරුවො අවසාන බිත්තර බෙදීමෙදි පාත්‍රව අතින් වසා එය ප්‍රතික්ෂේප කළාලු. රජතුමා ඒ ගැන විමසූ විට, හාමුදුරුවො කිව්වලු, ‘කලින් බිත්තර 99 ම මුල් හාමුදුරුවරුන් උදෙසා පිළීයෙළ කළ ඒවා. ඒකෙදි ප්‍රාණඝාත පව සිදු වෙන්නේ අරක්කැමියට සහ රජුට. නමුත් අවසන් බිත්තරය මා සඳහා පිළියෙල කළ එකයි. ඒක පිළිගත්තොත් මටත් අකුසලයක් සිද්ධ වෙනවා‘ කියලා.

      අයිලාෂ් ගේ ලිපිය කියවද්දි මේ ගැන සැකයක් ඇතිවුණත්, මේ කමෙන්ට් එක කියෙව්වට පස්සෙ ඒක නැති වුණා.

      Delete
    4. ඔය කතාව හරිම රසවත් කතාවක් තමයි. පොඩි කාලේ සිටම මමත් ඔය කතාවට ඉතා ප්‍රිය කළා.

      Delete
    5. මොරබ්බා, ඩ්‍රැකී, අයිලාස් මලේ පැහැදිලි කිරීම්වලට ස්තුතියි.

      මමත් මෑතක ඉඳලා මසුයි මාලුයි කෑම අතෑරියා. පව් පිං කෙසේ වෙතත් ඒකෙන් පොඩි සතුටක් දැනෙනවා. බිත්තර නම් කනවා, කුකුල් ෆාම්වල ඉන්නෙ කිකිලියො විතරයි කියලා හිතාගෙන.

      Delete
    6. පැහැදිලිවම ශාකමය ආහාර පමණක් ගැනීමෙන් විශාල සතුටක් ඇතිවෙනවා පමණක් නොවෙයි අහ්හාරයේ පුදුමාකාර රසවත් බවක් දැනෙනවා. මට නම් ඒ ගැන පුද්ගලිකව හිතෙන්නේ මස් ආහාරයට ගැනීමේදී එහි රසය එළවලු වල රසය ඉක්මවා යන නිසා එළවලු වල රසයට වඩා මස් මාංශ වල රසය ඉස්මතු වෙනවා කියලයි.

      ඔබ ගැනනම් මට කිසිම සැකයක් නැහැ ගාමිණි අය්යේ , ඔබ කුරා කුබියෙකුගේ වත් ජීවිතයකට හානියක් නොකරන වා පමණක් නොවේ ඔවුන්ගේ ජිවිත රැක දෙන බවටත් මට ඉර හඳ මෙන් විශ්වාසයි.

      Delete
  9. දෙව්දත් තෙරුන්ගෙ ඉල්ලීම් ගැනත් පෝස්ට් එකේ දැම්ම නම් ලිපිය අංග සම්පූර්නයි අයිලාශ්. මම මේකට ආවෙ කැමරාකරනය ගැන තිබුන ලිපි හින්දා. හැබැයි මේකෙන් තේරුනා අයිලාශ් කියන්නේ ඊට වඩා දැනුම් තේරුම් ඇති නමුස්සයෙක් කියලා. පෝස්ට් එක නියමයි. මමත් ඉන්නෙ හරක් පමනක් නෙමෙයි සියලුම සතුන්ට ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි කියන තැන. හැබැයි කවුරුවත් ලව්ව බලෙන් කරවලා නෙමෙයි. තමන් තේරුම් අරගෙන. ප්‍රාර්තනා කරනව ඔය බොරුවට ගිරිය පුප්පගෙන මහ අසංවර විදියට කෑගහන ස්වාමීන් වහන්සේලා මේක දකිත්වා කියල. දැකල තව දුරටත් හදාරල මිනිස්සුන්ට පිරිසීදු දර්මය දේශනා කරයි කියලා. අයිලාශ්ට පින් දර්ම දානය දුන්නට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට අදහස් දැක්වීම පිළිබඳව.

      මෙයට දෙව්දත් තෙරුන් ගේ ඉල්ලීම් මෙන්ම උත්පලවන්නා රහත් තෙරණින් වහන්සේට අන්ධ වනයේදි ලැබුන මස් දානය ගැනද සඳහන් කල යුවූ වුවත් පොස්ට් එක බොහෝ සෙයින් දිග වැඩි වීමට ඉද තිබුන නිසා මෙපමණක් ප්‍රමාණවත් යැයි සිතුවා.

      Delete
  10. ඔබේ ලිපිය අගයනවා.....
    මම කියන්නේත් තමන් කැමති අයට මස් මාංස කෑමට නිදහස මෙන්ම අකමැති අයට නොකැමේ නිදහසත් තිබිය යුතුයි. එහෙත් මම නිර්මාංස වන්නේ සතුන් වේදනා විඳ අකමැත්තෙන් මරාදැමීම නිසයි. ඕනෑම සතෙකු කැමැත්තෙන් මරණයට බිලිවන්නේ නැහැ. එය හුදෙක් උසස් මනුස්ස ආචාර්ය ධර්මයක් ලෙස සලකා තමයි අප නිර්මාංස වියයුත්තේ... එය අප තුල සව්භාවයෙන්ම මතු විය යුතු ගුනාoගයක් මිස බලෙන් ඇති කළහැක්කක් නොවේ. සමහර යුරෝපීයයන් තමන් මිලදී ගන්න නිෂ්පාදන (ආහාරමය නොවන) පවා අත්තනෝමතික ලෙස මිනිස් ශ්‍රමය යොදා නිපදවනවාද මින් පරිසරයට හානි වනවාද යන්න පවා හදුනාගන්න නිර්නායක තිබෙනවා. ඒවත් මෙලෙස ආචාර ධර්ම ගණයට වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. // මම නිර්මාංස වන්නේ සතුන් වේදනා වින්ද අකමැත්තෙන් මරා දැමීම නිසයි //

      මගෙත් අදහස මේක තමයි. මස් කෑම නිසා මට අකුසලයක් නොවුනත් ඒ මියයන සතුන් ගැන අනුකම්පාවක් මට තිබේ.

      Delete
    2. ඔබ දෙදෙනාගේම අදහස් වලට ගරු කරමි.

      Delete
  11. ඒ පාර උඹත් බන දේශණා කරන්න පටන් ගත්තද. වෙන මොනවා කරන්නද බණ කියන්න ඉන්න උන් බයිලා ගහන කොට...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බන්, උඹ කියනවා වගේ දැන් අපි වත් හරි වැරැද්ද පෙන්නන්න එපාය.

      Delete
  12. හොඳ පැහැදිලි විග්‍රහයක් අයිලාෂ්.. ස්තූතියි..

    අර නොකෑ යුතු මංශ වර්‍ග 10 පිළිබඳව මෙතන තියනවා.. ඒක කියවපුවමනම් මට හිතුනෙ ඒක කාලීනව පණවපු නීතියක් මිසක් සදාකාලික එකක් නෙමෙයි කියලයි.

    මස් මිළදී ගෙන බුදීමෙන් අකුසලයක් නොවන්නේ කොහොමද කියන එක පැහැදිලි මදි. අපවම ඉලක්ක කරගෙන නොමැරුවත් ඔවුන් විසින් බලාපොරොත්තු වෙන ගැනුම් කරුවන් ගොඩේ මිළදී ගෙන බුදින්නන් ඉන්නවා නේද ? කෙලින්ම මේ සතා අප වෙනුවෙන් මරන්නයැයි විධානයක් නොදුන්නද, ඉල්ලීම මත ඇතිවෙන සැපයුම විසින් වක්‍රාකාරයෙන් එය සම්පූර්ණ වී තිබෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක අමතක වුනා.

      http://www.budurashmiya.net/2011/01/blog-post_31.html

      Delete
    2. සෙන්නා, මස් වර්ග 10 පිළිබඳව කාලෙන් කාලෙට නීති පැනවුවත්, ඉන් පසු මේ සාසනය පවතින තුරු ඒ නීති වලංගු වෙනවා. පළමුවෙනි ධර්ම සංගායනාවේදී මහා රහතන් වහන්සේලා තීරණය කළා කිසිම් කුඩා සික පදයක් හෝ වෙනස් කිරීමක් හෝ ඉවත් කිරීමක් නොකරන බවට.

      අර මම දීලා තියෙන උදාහරණය බලන්න. තම දරුවා වෙනුවෙන් ඔහු ඉලක්ක කරගෙන මව මදුරුවා මරණ එක. සහ ප්‍රාණ ඝාත අකුසලය ගැන නැවත කියවන්න. එවිට ඔබට මෙය තේරුම් යනු ඇත.

      තනුජගේ අඩවියට මම නිතරම ගොඩවෙනවා. මට මතකයි වරක් එහි සෙන්නා නගපු ප්‍රශ්නයකටත් මම ඔබට පිළිතුරු දුන්නා.



      Delete
    3. Obath mee pirisa athare vimasum nuwanak ettek mas anubhava kala hekke. Rabat.budu. yana dekotasata pamani. Satva puggala sanghaawa neti nisa. Mee pilibanda lipiyak Mama sakas karamin inne

      Delete
  13. සෑහෙන්න වටින පොස්ට් එකක්.. !! පැහැදිලිව කියලා තියෙනවා කරුණු සියල්ලක්ම,, ස්තූතියි අය්යණ්ඩි

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිණීම අගය කරනවා ශම්මි.

      Delete
    2. ඇයි මම වෙනදට එන්නෙ නැතුව ඉන්නවයැ :/ මේ ටිකේ බ්ලෝග් එක ලියවෙන්නෑ අප්පා,, ම්ම්ම්, පෝස්ට් ලියන්න වෙලාවක් නෑ, බලන්න එන්නත්, ඒකයි :( අම්මා අසනීප නිසා ගෙදර වැඩ වැඩී මට :D

      Delete
    3. සැම පොස්ට් එකෙක් වෙනුමෙන්ම පැමිණින හින්දා තමයි ස්තුති කලේ ශම්මි.

      Delete
  14. බොහොම හොඳ ලිපියක්..මට තවත් දෙයක් දැනගන්න ඕනේ,

    ඕනෑම සතෙක් මැරුවොත් සිදුවෙන අකුසලය එකමද? අපිට මදුරුවෙක් මරන එක වැඩි දුර නොහිතා කරන්න පුළුවන් උනත් හරකෙක් මරන්න හිත හදා ගන්න බැහැ. එහෙම වෙන්න හේතුවක් තියද? සතා බුද්ධි මට්ටමෙන් වැඩි වෙද්දී, ඌට මරණ බය/වේදනාව දැනෙන ප්‍රමාණය වැඩි වෙද්දී, ඌ ජෛවමය වශයෙන් උසස් නම් (කෘමි -> මත්ස්‍ය -> පක්ෂි -> ක්ෂීරපායි පිළිවෙල අනුව), එහෙම සතෙක් මැරුවම සිදුවන අකුසලයේ වෙනසක් තියනවද? නැතිනම් මදුරුවෙක් මැරුවත් මිනිහෙක් මැරුවත් වෙනසක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රාණඝාත අකුසලය සැම විටම එක හා සමාන වෙන්නේ නැහැ. මරනු ලබන සත්වයාගේ ගුණ අනුවද මැරීම සඳහා භවිතා කරණ උපක්‍රමය අනුවද, අකුසලය සිදුකරන්නාගේ එම අවස්ථවේදී ඇතිවන කෙලෙස් අනුවද මේ අකුසලය වෙනස් වෙනවා. එය අල්ප සාවද්‍ය සහ මහා සාවද්‍ය ලෙස දක්වනවා.

      ඉතාම සරල උදාහරණයක් ගන්න,මව්පියන් හෝ රහතන් වහන්සේලා මැරූ විට එය ආනන්තරිය අකුසලයක් වේ. එය මහා කල්පයක් අවිචියේ දුක් විදීමට හේතු වේ. එසේ වන්නේ ඔවුන්ගේ ගුණයන් ඉතා ඉහල බැවින්.

      ගුණයෙන් සමාන වන කල්හි විශාල සරිරයක් ඇති සතකු මැරීම මහා සාවද්‍ය වෙනවා.

      කෙසේ උවත් මොනයම් කුඩා සතෙකු මැරුවත් ප්‍රාණඝාත අකුසලය සිදුවෙනවාමයි. එබැවින් මොනම හේතුවක් නිසා හෝ ඉතා කුඩා සතෙකු හෝ නොමරා ඉන්න හැකිනම් එය ඉතා වටිනවා. කෙසේ හෝ එය කරන්න උත්සාහ ගන්න.

      Delete
    2. ඒ කියන්නේ ගුණයෙන් වැඩි කෙනෙකුට හානියක් කරන්න හිත ගොඩක් දරුණු කරගන්න වෙනවා ඒ මොහොතේ හිතේ ඇතිවන හැගීම තමා අකුසලයේ ප්‍රභල බව තීරණය කරන්නේ එහෙම නේද........?

      Delete
    3. එහෙමමත් නොවේ මොරබ්බා.

      ගුණයෙන් වැඩි වීම ම හේතුවක්
      උපක්‍රමයේ අඩු වැඩි වීම
      ද්වේශයේ අඩු වැඩි වීම
      ශරීර ප්‍රමාණය අඩු වැඩි වීම

      මේවා වෙන වෙනමම බලපානවා.

      ආනන්තරිය පාපකර්මය සිදුවෙන ආකාරය හරිම පුදුම සහගතයි මොරබ්බා. එහෙම වන්නේ ඒ අයගේ ගුණය නිසාමයි.
      මවු පියන් මැරීම වෙනුවෙන් ඒලක චතුෂ්කය, චෝර චතුෂ්කය, සංග්‍රාම චතුෂ්කය, පලාල චතුෂ්කය වශයෙන් ආකාර හතරක් දක්වා තියෙනවා.

      එහි චෝර චතුෂ්කයෙහි දක්වනවා සොරෙකැයි සිතා මව හෝ පියා මරණ අයෙකුට ආනන්තරිය පාපකර්මය වෙන බවත්, මව හෝ පියා යයි සිතා සොරකු මරණ්නාට ආනන්තරිය පාපකර්මය සිදු නොවන බවත්. මේ අනුව පෙනෙනවා මෙතැනදී උපක්‍රමය නොවේ ගුණය මේ කෙරෙහි බලපාන බව.


      මේ ගැන පසුව වේනම ලිපියක් ලියන්න වෙයි වගේ :D


      Delete
    4. එක ඇත්ත ඉක්මනට ලියන්නකෝ එහෙනම්. බොහෝ කරුණු දැනගත්තා ඔබේ ලිපියෙන්. ස්තුතියි අයිලාෂ්...

      Delete
    5. ස්තුතියි අයිලාෂ් අයියා.. වෙනම ලිපියක් දානවනම් මාත් කැමතියි...

      එතකොට මට කුකුල්ලුන්ට වඩා හරක් ගැන අනුකම්පාවක් හිතෙන එක සාධාරණයි එහෙනම්.

      Delete
    6. වඩා වැදගත් වන්නේ ජිවත් වන සතුන්ගේ ජිවිත තොර කිරීමෙන් වැළකීමයි සයුරි. මම හිතනවා ඔයත් අවම වශයෙන් මදුරුවෙක් වත් මරණ කෙනෙක් නෙවේ කියලා.

      Delete
  15. පෙනවනේද මේ පොස්ට් එකේ වටිනාකම අයිලාෂ් අයියා.. ඔයාට ගොඩක් පින් !!!!!!!!
    ඇත්තටම අපේ සමහර හාමුදුරුවරුවත් මේකරුණු ගැන ගිහියන්ව දැනුවත් කරන්නේනෑ හරි විදියට.
    මේ ලිපියෙත් සමහර ජාතියක් ආගමක් නැති අමනයෝ විසින් විහිලුවට අරන්තියෙනවා. ඒ උන්ගේ නොදැනුවත්කම මොකද උන් බුද්ධාගමේ හරය තේරුම් අරගෙන නැති නිසා, උන්ට අනුකම්පාකරනවා හැර මොනවා කරන්නද
    නැවත ඔබට පින් පතනවා මෙවන් හරවත් ලිපියක් ලියා තැබීමගැන.!!

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොමත් ස්තුතියි මලේ.

      ඔබ කිවූ ආකාර අය ගැන අප මොනවා කරන්නද? මේ ලෝකේ සැමදාම ඔවැනි අය බොහොමයක් ඉන්නවා. ඔබ කියනවා වගේ ඔවුන් වෙත අනුකම්පාවෙන් බලනවා හැර වෙන කලයුතු දෙයක් නැහැ.

      Delete
  16. අයිලාෂ් ගේ ගැඹුරු විග්‍රහය කාලෝචිතයි. ඒ වගේම පැහැදිළියි. නොදත් කරුණු රැසක්ම පැහැදිළි කර අවබෝධ කරගන්න හැකි වුනා. ස්තූතියි අයිලාෂ්, මේ කාර්යය දිගටම කරගෙන යන්න. අපැහැදිළි තැන් තිබුණොත් මම විමසනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට. ඕනෑම අවස්ථාවක අපැහැදිලි තැනක් තිබුනොත් විමසන්න. හැකි පමණින් පැහැදිලි කරන්නම්.

      Delete
  17. වැදගත් කතාවක්. මමත් එකගයි. කැමති අය ඉන්නවා නම් මේ පොතත් කියවන්න. සේරම ගැටළු නිරාකරණය කරන්න පුළුවන්.
    https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&ved=0CCwQFjAA&url=http%3A%2F%2Fxa.yimg.com%2Fkq%2Fgroups%2F15187796%2F2100639339%2Fname%2FNirmansha_Prashnaya.pdf&ei=3tTDUeb1N8TwrQfYnoHgAw&usg=AFQjCNH8R07KvGAiJsUnvrTp0-AHEi2r2w&sig2=0ZBo6oC0WRvvBHpeWQcp6A&bvm=bv.48293060,d.bmk&cad=rja

    ReplyDelete
    Replies
    1. ඔය පොතේ ගොඩාක් තැන් නිවැරදියි, නමුත් අවසානයේදී හලාල් ගැන කතා කරන්න ගිහින් ඔය ස්වාමින් වහන්සේ වැඩේ වරද්දාගෙන. එතැනදී උන්වහන්සේ කියනවා

      "හලාල් මස් සොයමින් අනුභව කරණ සියලු දෙනා ප්‍රාණඝාතයට අසුවීම වැලක්විය නොහැකිය. එයට හේතුව ඉස්ලාම් භක්තිකයන් 'සබ්හ්' පිළිවෙලට සතුන් මරන්නේ හලාල් මස අනුභව කරන්නන් උදෙසාය.එනිසාය එම මස සොයමින් යන සියලු දෙනා ප්‍රාණඝාතයට හසු වන්නේ..
      ඒ නිසා බෞද්ධ ජනතාව හලාල් මස අනුභවයෙන් වැලකි සිටිය යුතුය. එම මස බෞද්ධයන් හට අකැපය."

      මේ බලන්න කොතරම් මුලාවක්ද, බුද්ධ වචනය කොතරම් විකෘති කර තිබේද? මේ ස්වාමින් වහන්සේ කියන විදිහට මටනම් තේරෙන්නේ උන් වහන්සේ මේ පොතේ මුල් කොටස් ලියා ඇත්තේ කිසිම් අවභෝධයකින් නොවන බවයි. නැතිනම් මු කොටසේ ප්‍රාණඝාතය සිදුවෙන ආකාරය නිවැරදි විදිහට විග්‍රහ කර පහුව වෙනස් දෙයක් කියන්නේ ඇයි?

      ඔහු කියන විදිහට බෞධයන්ට කැප වන ආකාරයට වෙනම සතුන් මැරීමක් සිදුකල යුතුද? මේ ස්වාමින් වහන්සේ ගැන මම කතා කරන්න කැමති නැහැ. ධර්මය විකුති කරමින් මහා සාසන විනාශයක් කරණ කෙනෙක් පනමක් බව කියන්නම්.

      ධර්මය ගැන ඉගෙනීමේදී හැකිතරම් ත්‍රිපිටක ග්‍රන්ථ පරිහරණය කරන්න. බුදු වදන් කවදාවත්ම මෙලෙස මුලින් කියූ දෙය පසුව ප්‍රතික්ෂේප වන විදිහට නැහැ. ස්වාක්කත ලක්ෂණය එයයි මුල, මැද, අග පිරිසිඳුයි.

      Delete
  18. විශිෂ්ට සාරගර්භ පෝස්ටුවක්. බුදු දහම ගැන ගැඹුරින් හදාරා ඇති හැඩයි. තමාගේ ජීවිත ආරක්ෂාවට සතෙකු මැරැවත් බුදු දහමට අනුව පවක්. පෘතග්ජන මිනිසුන්ට කවදාවත් මින් වැළකිය නොහැක. මා අසා ඇති හැටියට රහතන්වහන්සේලනම් කවදාවත් පව් කරන්නේ නැතිලු. මන්ද උන්වහන්සේලාට එවන් අවස්ථාවන් එළැඹීම වැළකෙන නිසා. ඇවිදින මගේ කුහුඹියෙක්වත් නැතිලු. සිරැරේ මදුරැවෙක්වත් මැස්සෙක්වත් වහන්නේ නැතිලු. ඇත්තටම හරක් මස් පමණක් නෙවෙයි, කුකුල්මස්, මුව මස්, ගෝන මස්, ඌරැ මස්, හා මස්, ඉබි මස්, වවුල් මස් (අපේ රටේ ප්ර්සිද්ධ සහ අප්රකසිද්ධ මස්) පමණක් නොව මාළු පරිභෝජනයෙන් වැළකෙන්න පුළුවන් නම් කොපමන හොඳද ? ඒ බුදු දහම අනුව හිතල නෙවෙයි. ඒ සතුන් මරණයට පත් කිරීමේදී විඳින අන්ත දුක් වේදනා ගැන හිතලා. අපිට පොඩි තුවාලයක් උනත් දැඩි වේදනාවක් දැනේනම්, ඒ වේදනාවම නේද සතුන්ටත් දැනෙන්නේ. අපිට දැනෙන මරණ බියම තමයි උන්ටත් දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තරු අරුණ ඔබගේ අදහස් දැක්වීමට.

      //පෘතග්ජන මිනිසුන්ට කවදාවත් මින් වැළකිය නොහැක. //
      මේ අදහසනම් මිත්‍යාවක්. පෘතග්ජන මිනිසුන්ට පවා මින් වැළකිය හැකියි. ඉතාම වගකීමෙන් කියන්නේ. උත්සහ කර බලන්න ඔබටත් අනිවාර්යයෙන්ම මෙය කල හැකියි.

      මස් මාංශ වලින් වැලකීම හොඳයි, නමුත් එයින් වැලකීම ශීලයක් විදිහට වරදවා ගැනීම තමයි ගැටලුව. එසේ වැලකිම් නිසා තමන් කෙරෙහි විශේෂිත ශීලයක් වැඩෙන්නේ නැති බව දැනගත යුතු වන අතර ඒ පිළිබඳව මාන්නයක් ඇතිකරගැනීම හෝ අනුභව කරන අය ගැන පහත් කොට සැලකීමක් නොකළ යුතු වෙනවා.

      Delete
  19. මමත් මස් මාලු නොකා ඉන්නෙ අර කලින් මොරබ්බායි සයුරියි කියල තියෙනවා වගේ ඒ සතුන් ගැන ඇති අනුකම්පාව නිසයි. මට අකුසලයක් නොවුනත් ඒ සතුන් මරණ මොහොතෙ විඳින වේදනාව ගැන හිතද්දි වගේම, මේත් අපි වගේම වද වේදනාවලින් තොරව නිදහසේ ජීවත් වෙන්න කැමති සත්ව පිරිසක් නේද කියන කාරණා ගැන හිතද්දි මස් මාලු කන්න හිත හදාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චම්ස්, ඔබගේ අදහස් දැක්වීමට.

      ඒ අදහස බොහොම හොඳයි, නමුත් මස් මාංශ නොකන කෙනෙකු මදුරුවෙකු හෝ මරනවා නම්, ඔවුන්ගේ මුල් අදහසින් වැඩක් නැහැ. (මේ කොමෙන්ට් එක ඔයාව පුද්ගලිකව එල්ල කරලා කරන කොමෙන්ට් එකක් නෙවේ,මම හිතන්නේ නැහැ ඔයා කුරා කුබියෙක්වත් මරනවා කියලා.)

      ‍‌‌ෛමත්‍රි කරන්න ඕන ජිවත්වන සතුන්ට බව ඉතා හොඳින් මතක තියා ගන්න ඕන දෙයක්. නමුත් මස් මාංශ නොකන බොහෝ දෙනෙක් ප්‍රාණඝාතය සිදුකරනවා. මස් මාංශ නොකා සිටීම ආභරණයක් කරගෙන ඉන්නේ.

      Delete
    2. මම මේ ලඟකදී ඉඳන් නිර්මාංශ වුනා.. මේක කියෙව්වට පස්සෙ දැන් ආයෙ දෙගිඩියාවක ඉන්නෙ.. එහෙම මස් නොකා ඉන්න එකේ තේරුමක් තියනවාද කියලා.. මදුරුවොනම් මගෙ අතිනුත් මැරෙනවා..උන්ව නොමරා පිටුදකින්න විදිහක් තියනවද ?

      Delete
    3. දෙගිඩියාවක් ඇති කරගන්න එපා සෙන්නා. පෙ පොස්ට් එකේ අරමුණ කිසිම කෙනෙකු මස් මාංශ සඳහා පෙළඹවීම නොවේ, ධර්මනුකුලව කරුණු පැහැදිලි කිරීමක් පමණයි. බොහෝ දෙනෙක් මෙය විශේෂිත ශීලයක් වගේම තමන් හුවා දැක්වීමට ආභරණයක් කරගෙන තියෙනවා. එය වැරදියි.

      මස් මාංශ නොකා සිටිමට වඩා පණ ඇති සතුන් නොමරා සිටීමයි වඩා වැදගත් වන්නේ. ඔබට අකුසලයක් වන්නේ පණ ඇති සතෙකුගේ පණ තොර කිරීමෙන්. එයින් වැළකීමයි ශීලයක් වන්නේ.

      පැහැදිලිවම කිසිම සතෙක් නොමරා ඉන්න පුළුවන් සෙන්නා. මිනිසා ඇතුළු ඕනෑම සතෙකුසේ ඇසි පිය ගැසීමේ පටන් සියලුම ක්‍රියාවන් සිදුවන්නේ සිතේ ක්‍රියාකාරීත්වයෙන්. සිතෙ ක්‍රියාකාරීත්වයෙන් තොර කිසිදු ක්‍රියාවක් වන්නේ නැහැ. ඉතින් මදුරුවන් මැරීම පිළිබඳව ඔබට කරන්න තියෙන්නේ ඔබගේ සිත පාලනය කරගැනීමයි.

      මදුරුවෙක් ඔබේ ඇඟේ වැසූ විට උට නිදහසේ ලේ උරා බොන්න ඉද දෙන්න කියලා මම කියන්නේ නැහැ. එය කල යුතුත් නැහැ. මේ වගේ අවස්ථාවක වන්නේ ඔබ නිතර පුරුදු කර ඇති බැවින් අතැහැ වේගයෙන් ඇවිත් ඒ සතට පඝර දෙන එකයි. සිහි නුවණින් යුක්තව ඒ සත්ව එලවා දමන්න, පහර් නොදී .ඔබට ටික දවසක් බොහොම කල්පනාවෙන් මෙය කරන්න වෙනවා. පසුව එය පුරුද්දක් වේවි.

      අනිත් කරණය තමයි මදුරුවෙක් දක්කම් බොහෝ දෙනෙක් එලවාගෙන් ගිහින් පහර දෙනවා. මෙය කරන්න එපා. කලක් වෙහෙස වී පුරුදු කරන්න වෙනවා. මෙය ඔබට කල හැකියි.

      Delete
    4. ස්තූතියි අයිලාෂ්.. අද සිටම උත්සහා කරණවා.. නැත්නම් නිර්මාංශ වීමේන් පලක් නෑ තමා.

      Delete
    5. ඔබට පොහොම පින්. මේ පොස්ට් එකෙන් මම මට දෙන්න අවශ්‍ය වුන පණිවිඩය මේක තමයි. මම ඉතාම සතුටු වෙනවා ඔබ ගැන.

      Delete
  20. අගනා පැහැදිලි කිරීමක්.. බොහොම ස්තුතියි..!

    ReplyDelete
  21. අයිලාෂ් මේ ලිපිය මුද්‍රණය කරගැනීමට කැමතියි. මන්ද මස් කෑම ප්‍රාණගාතයට සම්බන්ධයි කියලා කියන කිහිප දෙනෙකුට පෙන්වන්න. එය කරගත හැක්කේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ගන්න. ඔබට අවශ්‍ය ලෙස මුද්‍රණය කරගන්න කිසිම් ප්‍රශ්නයක් නැහැ.

      Delete
  22. දැං ඉතිං අපේ උනුත් කියන්න පටන් ගනිවි මං මේ මස් කන්නෙ රස තෘෂ්ණාවෙන් නොවේ, ආහාරයක් ලෙස පමණක් සලකාගෙන කියලා

    ReplyDelete
    Replies
    1. හිතේ එකක් තියාගෙන තව දෙයල් කියලා වැඩක් නැහැ යසිත්. මේ ධර්මය තනිකරම සිත හදාගන්න වැඩ පිළිවෙලක්.

      Delete
  23. දහම් පාසල් යන එක නැවත්තුවට පස්සේ මේ වගේ තොරතුරු ගොඩක් එකතැනකින් කියෙව්වමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි ගොඩ දවසකින් මේ පැත්තේ ගොදවුනාට, ඔයාට පොස්ට් කීපයක් මග ඇරුනා.

      බොහෝ දහම් පාසල් වල නම් ධර්මය කියලා දෙන්නේ නැහැ හරියට. දහම් පාසල් යන එක නම් දෙලොවටම වැඩක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ.

      Delete
  24. හැමෝම හොදයි හොදයි කිය කිය ඔළුව වැනුවට ඇති වැඩක් නෑ. ඕනම මසක් අපිට කන්න පර්මිෂන් දීලයි තියෙන්නේ.. අර පැද්ද්න්ට එපාය කියපු මස් අපිත් කොහොමත් කන්නේ නෑ නෙව..

    ReplyDelete
  25. නියමයි මචං, මේ පොස්ට් එක මට කොහොම මග ඇරුනද මන්දා...
    මගෙත් අදහසක් තියෙනවා නිර්මාංශ වෙන්න ...

    ReplyDelete
    Replies
    1. නිර්මාංශ වීමේ කිසිම වරදක් නැහැ චමි, නමුත් මතක තබා ගන්න වඩා වැදගත් වන්නේ කුඩා හෝ සතෙකුගේ දිවි තොරකිරීමෙන් වැලකි සිටීම මෙන්ම, අවශ්‍ය විට ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කිරීමට උදවු කිරීම බව.

      Delete
  26. මට ඇති ප්‍රශ්නය - දානයක් දීමේ අදහසින් (සාංඝික) යමෙකු සතෙක් (හාවෙකු, මුවෙකු...) මැරුවොත් කුමක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත අකුසලය සිදුවෙනවා ඉවාන්. එය බුදුරජාණන් වහන්සේ ජිවක සුත්‍රයේදී පැහැදිලිව දේශනා කරලා තියෙනවා.

      Delete
  27. මමත් පොස්ට් එක හරි උනන්දුවෙන් කියෙව්ව. මම නම් මස් මාලු හැම එකම කනව. නමුත් නිතරම නොවේ.
    අපි මදුරුවෙක් මැරුවත් පව් නම් මදුරුවා විදල කෙනෙක් මැරුනොත් ඒකට කමක් නැද්ද? ඒ විදියට ඩෙංගු මදුරුවා විනාශ කලත් ඒකත් පව්ද? ඒක ප්‍රායෝගික නෑනෙ.

    ReplyDelete
  28. //මදුරුවා විදල කෙනෙක් මැරුනොත් ඒකට කමක් නැද්ද?//

    මානෙල් බුදුදහම අනුව මොනම හේතුවකට වත් අපිට සතෙක් මරන්න බැහැ, අවම වශයෙන් ජීවිතය රැකගැනීම වෙනුවෙන් වත් වෙනත් සතෙකුගේ ජීවිතය නැති කරන්න බැහැ. එහෙම කලොත් ප්‍රාණඝාත අකුසලය සිදුවෙනවා.

    පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ, මෙහෙම් තමයි ජීවිතය. ජීවිතය නැති වෙන්නේ ඩෙංගු මදුරුවා ගෙන් විතරද? ජීවිතය නැති වීමට හේතු බොහෝ වන අතර එයට හේතු වන සතුන්ද බොහෝ ගනනාවක් වෙනවා, (මදුරුවන්, මියන්, සර්පයන්, කොටි වලසුන්, අලි ඇතුන් තව නොයෙක්...) ඔබගේ ජීවිතය වෙනුවෙන් ලෝකයේ ඉන්න ඔබගේ ජිවිතයට හානි විය හැකි සියලුම සතුන් විනාශ කල යුතුද? ඔබගේ ජිවිතයට හානි සිදුවෙයි සිතන සියලුම සතුන් ලෝකයෙන් තුරන් කර දැම්මත් ඔබගේ ජීවිතය සදාකාලික නැහැ නේද?

    ඩෙංගු මදුරුවා බෝවිය හැකි ස්ථාන ඇති කරන්නේ අපිමයි. මේ වගේ තැන් ඇති නොකර සිටින්න.








    ReplyDelete
  29. ගොඩක් වැදගත් ලිපියක් අයිලාෂ් අයියේ. මේ පෝය දවසේ මං ඇහුව බණකටත් ඔය සත්තු මැරීමෙන් පව් සිදු වන්නේ කොහොමද කියලා කියා දුන්නා. ඔයා උඩින් සදහන් කරලා තියෙන ගොඩක් කරුණු ඒ හාමුදුරුවොත් උදාහරණ සහිතව බොහොම ලස්සනට පැහැදිලි කරලා දුන්නා. නැවත වතාවක් ඔබට බොහොම පිං!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලී, ගොඩ දවසකින් නේද? ඔයාගේ දැනුම අලුත් උනානම් එය වැදගත්.

      Delete
  30. සත්තු මරනකොට ඡීවිතයක් නැති වෙනවා වගේම ඒ සතාට වේදනාවක් දැනෙනවා ඒ බව ඇත්ත. ඒ ගැන මමත් පුන්චි කාලේ ඉදන්ම සංවේදී බවක් දක්වනවා. ඒ නිසා මම අඩුගානේ බිලී බාන්නෙවත් නෑ. ඒ මාලුවා පන අදිනවා බලන් ඉන්න බැරි නිසයි. ඒවා කොහොම උනත් මස් කන එක ගැන මමනම් දරන්නෙ වෙනම මතයක්. ප්රාන ඝාතන නතර කරන්න හැම ආගමකින්ම විවිධ ධාර්මික සංකල්ප ගෙනාව. ඒක හොද වැඩක් ඒත් මේ පෘතුවියේ මූලාරම්භය සහ ඡීවීන්ගේ මූලාරම්භය සහ පරිනාමය ගැන උගත් අය ඉන්නවා නම් ඡෛව විවිධත්වය සහ ඡීවී සමතුලිතතාව වගේ දේවලුත් ආහාර දාම ගැනත් දන්නවා ඇතිනේ. ආහාර දාමයක වැඩිම උනොත් 2වෙනි පුරුක ශාක භක්ෂක වේවි නමුත් එතනින් එහාට ඇති සියලු පුරුක් මාංශ භක්ශක බව දන්නවා නේද... ඒක තමයි සොබාදහම කියන්නේ.... ඹීක වෙනස් කරන්න පුලුවන් කිසිවෙකු මේ මිහිපිට සිටීද?....
    (සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවෙකු නෑ......)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට චාමර.

      මස්මාංශ අනුභවයට වඩා වැදගත් වන්නේ සතුන් නොමරන එකයි.

      Delete
  31. කලින් නම් මමත් සත්තු මැරුවා. මදුරුවෝ කැරපොත්තෝ මීයෝ එහෙම. ඒත් දැන් නෑ. මං ගොඩක් දේ තේරුම් ගත්දී මටම දුකක් අනුකම්පාවක් දැනුනා ඒ හැම සතෙක් එක්කම. මගේ දේවල් කාල විනාස කරන මීයෝ වුනත් මං අල්ලලා ගිහින් කැලේට දාන්න ගත්තා. කැරපොත්තෝ නොමරා සුද්ධ කරන්න ගත්ත. මකුළු දැලක් කැඩුවත් මං ඒ ගැන හිතන්නේ මං ගෙදර කැඩුවා නෙවෙයි අනවශ්‍ය දේ ඉවත්කලා කියල.

    කොහොම වුනත් මේ ලිපිය මේ ආකාරයටම (කමෙන්ට්ස් ඇතුළු සියල්ලම ) මුද්‍රණය කරලා බෙදන්න අවසරය ඉල්ලනවා මං.

    ඒ එක්කම ඔබට බොහොමත්ම පිං සිද්ධ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ ගැන මට ඉතා සතුටුයි..

      ඔබ සතුන් මැරීමෙන් වැළකුණ පසු, ඔවුන් ගෙන් ඔබට වෙන් හිරිහැර, හානි ඉබේම අඩුවුණා බව ඔබට වටහුනාද?

      මකුළුදැල් කැඩීමට බුදුරජානන් වහන්සේ අනුදැන වදාළ ක්‍රමයක් තියෙනවා, ඒ තමයි මකුළු දැල් ඉහල සිට පහලට කැඩීම. එවිට එම දැල්වල ඉන්න මකුළුවන්ට වෙනත් තැනකට යන්න අවස්ථාවක් ලැබෙනවා.

      මේ ධර්මය ගැන ලියවුන ඕනෑම පොස්ට් එකක් උපුටාගැනීමට හෝ බෙදාහැරීමට ඕනෑම කෙනෙකුට හැකියි, මේ ධර්මය අයිති බුදුරජානන් වහන්සේට මිසක් මට නෙවේනේ මිත්‍රයා. ඉතින් උන්වහන්සේගේ ධර්මයට අපි කොහොමද කොපි රයිට් දාන්නේ?

      නමුත් කමෙන්ට්ස් මුද්‍රණය කරනවානම් ටිකක් කල්පනාකාරී වෙන්න, එක්කෙනෙක් දෙන්නෙක් බොහොම ධර්ම විරෝධී අය, ඒ අය ඉතාම් ද්වේෂ සහගත කමෙන්ට්ස් පලකරලා තියෙනවා. ඒ කමෙන්ට්ස් ඉවත් කලොත් හොඳයි කියලා හිතෙනවා.

      මේ පහල තියෙන පොස්ට් එකේ කමෙන්ට්ස් බලන්න, එවිට ඔබට තේරුම් යයි සමහර අය කොතරම් ද්වේශ සහගත ද කියලා.
      දුශ්ශිල භික්ෂුව කෙරේ ගිහියන් පිළිපැදිය යුතු අයුරු.

      Delete
    2. ඇත්ත. මට සත්තුන්ගේ කරදරයක් නැතිම තරම්. මං ඒත් ඒක එච්චර හිතුවේ නෑ ඔය කියනකං. මං එහෙමට ම දැල් කඩන්නේ නෑ. ඒත් ඔය ක්‍රමේ දැනගෙන හිටියේ නෑ මං. බොහොම ස්තුතියි ඒ ගැන.

      බුද්ධ ධර්මයට කොපි රයිට්ස් නෑ වුනාට මෙතන මේ පෙළගැස්මට මහන්සියට අයිතියක් තියනවා නේ. ධර්ම කරුණු තියන කමෙන්ට්ස් විතරක් මං උපුටාගෙන වෙනම ප්‍රශ්නෝත්තර විදියට ලබා දෙන්නම්. මොකද මෙතන කරුණු ගොඩක් තියනවා.

      පාර පෙනෙත්දී ඇවිද යන්නේ නැත්ද, යන්නා වෙත ගර්හා කරයිද, ද්වේශ කරයි ද, ඕතොමෝ පාපයේම ඇලී සිට විපාක විඳත්.

      ධර්ම දානයේ පින ඔබට ලැබේවා..

      Delete
    3. සතුන්ට සැබෑවටම කරුණාව දක්වන කෙනාට ලැබෙන අනිසංශයක් තමයි උන්ගෙන් කරදර නොමැති වීම.

      කිසිම් අවුලක් නැහැ, ධර්මය පිලිබඳ ඕනෑම දෙයක් උපුටාගන්න. මේ පොස්ට් කීපය සරලව ලිවේ තනිකරම ධ‍ර්ම දානය පිණිසයි.

      Delete
  32. Hmmmmmmmmm machoo mama me post ekai, siyalu Comments tikai oyage reply tikai kiyewwa.... thiyena 99% comments wallin eaya oyage post ekata 100% ekagai... eth mama 75% wada oyage post ekata ekaga ne... budu dahama kiyanne dharshanayak... "Enna Dharmaya Dakinna"... mata penne machooooo uba dharmaya dekala ne... nikan katapadan karala withari... (mamath nikan rasthiyadu karayek witharai... mara cilwath porak neme =D )

    ReplyDelete
    Replies
    1. මගේ පොස්ට් එකට එකඟ වීම හෝ නොවීම ඔබගේ කැමැත්තක්. මේ ලිපිය ටිකක් කියවන්න.
      http://maharahathunwadimagaosse.org/article-21/

      Delete
  33. තෝරාගත් මාංශ කීපයක් තහනම් කිරීමට හේතුව කුමක්විය හැකිද?

    ReplyDelete
  34. හොඳ වටිනා ලිපියක් බෞද්ධ දර්ශනයේ වැදගත් පැහැදිලි කිරීමක්
    විචාරක දියණිය

    ReplyDelete
  35. මේ මොකද අයිලාස්? ඔයා අලුතෙන් මොනව හරි දාල ඇති කියල ආවෙ. පෝස්ට් එකේ දිනය 2018. ඒ උනාට කමෙන්ට් 2013-2014...

    ReplyDelete
  36. කියන්න වචන නෑ බන් 😟😟😟

    ReplyDelete
  37. බොහොම වටින ලිපියක් ඔබට ගොඩක් ස්තුතියි ...

    ReplyDelete
  38. කඩෙන් මස් ගන්නේ එකෙන් සත්තු මැරීමට "අනුබල" දීමක් වෙන්නේ නැද්ද?

    මොකද කඩෙන් කුකුල් මස් ගත්තම ඒ සේල් එක රෙකෝඩ් වෙනවා.

    ඒ ගැන සපයන මනුස්සය. නැත්තන් ආයතයන වෙත ඒවා යනවා.

    ඉතකොට ඒගොල්ලෝ දන්නවා තාම ඩිමාන්ඩ් එකක් තියෙනවා කියල. ඊට පස්සේ ඒ හින්ද තවත් මරනවා.

    ඒ වෙන්නේ මන් කුකුල් මස් ගත්ත හින්දනේ.

    ඉතින් ඒක අනුබල කිරීමක් නෙමෙයිද?

    ReplyDelete
  39. ඒ කියන්නේ බුදුරජාණන්වහන්සේ සූකර මස් වැලදුවාද?

    ReplyDelete
  40. මේවාගේ තොරතුරු ගත්ත මූලාශ්‍රත් නිවැරදිව පෙන්නලා තිබ්බානම් ඉගන ගන්න අයට ගොඩාක් වටිනවා (හාවඩ් ක්‍රමය,පුට් නෝට් ක්‍රමේට වගේ මොකක් හරි ක්‍රමයකට)

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...