මාත් එක්ක එකතු වෙන්න

Thursday, November 21, 2013

Food Photography


බ්ලොග් ලියන අපේ හිතවතුන් බොහෝ දෙනෙක්  ආහාර වර්ග හදන විදිහ ගැන පොස්ට් දමනවානේ. මට හිතෙන විදිහට ඒ අතින් මුල් තැනට ඉන්නේ  අපේ කුක්කු මාර හෙවත් මාරයා තමයි. මොනවා උනත් උගේ රෙසිපි නම් මාර රෙසිපි තමයි. 

 දැන් ඉතින් හැමෝම වගේ මේ කෑම ගැන උනන්දු වන එකේ මං තුමා විතරක් අහවල් දේකටද මේගැන නොලියා ඉන්නේ කියලා හිතුනා.ඔන්න එහෙනම් මමත් අත දැම්මා වැඩේට. හෝව්... හෝව්.. කලබොල වෙන්න කාරී නැහැ. මේ පොස්ට් එක ආහාර හදන හැටි කියලා දෙන්න නම් නෙවෙයි. ආහාර වර්ග ෆොටෝ අල්ලන හැටි කියලා දෙන්න. එහෙනම් වැඩේ පටාන් ගමු.

Food Photography කියන්නේ ඡායාරුප කලාවේ තවත් එක අංගයක්. මෙය වාණිජ ඡායාරුප කරණය යටතට ගන්න පුළුවන්. මේ අංශය දියුණු කලොත් හොඳ ආදායමක් එහෙමත් ලබන්න බැරි කමක් නැහැ.

Food Photography වල මුලික දේ වන්නේ අපි ගන්නා ඡායාරුපය ඉතා සජීවී ලෙස දැක්වීමයි. කොටින්ම කියනවානම් ෆොටෝ එක දැක්ක  ගමන් කටට කෙල ඇවිත් ෆොටෝ එක හරි කන්න හිතෙන්න ඕන.  ඉතින් මේ සඳහා අපි ඡායාරුප ගත කරණ වස්තුවට ඉතා හොඳ ආලෝක කරණයක් ලබාදෙන්න ඕන. ඒ තුලින් අපිට එම ආහාර වල නැවුම් බව ඉස්මතු කරලා පෙන්නන්න පුලුහන්.

ඒ වගේම වැදගත් අනිකුත් කාරණය වන්නේ ආහාර සකසන ආකාරයයි (arrangement) . මේ සැකසීමේදී ආහාර වල වර්ණ සමබර කරගැනීමද ඉතා වැදගත්. ඒ තුලිනුත් ඡායරුපයට විශාල බලපෑමක් කරන්න පුලුහන්.

මම දැකපු තවත් දෙයක් තමා,  බොහෝවිට ආහාර පිගානකට බෙදලා එයට ඉහලින් කෙලින්ම කැමරාව මානලා ෆොටෝ ගන්න එක. මේ තියෙන්නේ ඒ වගේ එකක්.


නමුත් මං තුමාගේ පුද්ගලික අදහස නම් ඉහත ආකාරයට ඡායාරුප ගැනීම ඉතරම් හොඳ මදි කියන එකයි. ඒ ඡායරුපයෙන් අපිට හැඟෙන්නේ නිකම්ම නිකම් කෑම පිගානක්. නමුත් කැමරා කෝණය වෙනස්කිරීම හෝ සම්පුර්ණ පිගාන වෙනුවට ඉන් කොටසක් පමණක් පෙනෙන ලෙස ඡායාරුප ගත කිරීම වඩා සාර්ථක බව මං තුමාගේ අදහසයි. මේ පහල තියෙන ෆොටෝ එක වඩා සාර්ථකයි නේද?


මේ පහල තියෙන ෆොටෝ කීපය බලන්න. මේ සැම ෆොටෝ එකක්ම DSLR එකකින් ඉතා හොඳ ලෙන්ස් එකක් සහිතව ගත්ත ඒවා.






මේ පහල තියෙන ෆොටෝ එක අරගත්තේ ෆෝන් කැමරා එකකින්. නමුත් ඒ ෆොටෝ එක ඉතා හොඳ තත්වයේ තියෙනවා.
ඒ නිසා, අනේ අපිට කොහින්ද DSLR කියලා හිතන්නේ නැතිව, තමන් අත තියෙන ඕනෑම කැමරාවකින් ෆොටෝ ගන්න උත්සාහ කරන්න. මං තුමා සැමදාම කියනවා වගේ ඔබව හොඳ ඡායාරුප ශිල්පියෙක් බවට පත් කරන්නේ ඔබගේ උනන්දුව, කැපකිරීම, දක්ෂතාවය වැනි කරුණු මිස ඔබ අත ඇති කැමරාව නොවන බව කිසි විටකත් අමතක කරන්න එපා.

Wednesday, November 13, 2013

ඇට දෙකම කැඩුනොත් දොස්තර මොකක්ද කරන්නේ?

ඇට දෙකම කැඩුන වෙලාවක දොස්තරලා කරපු වැඩක් ගැන මං තුමා කලින් ලියලා තියෙනවා. අමතක අය මෙතනින් ගොහින් බලාන අවොතින් හොඳා. අපොයි මගේ ඇ* (18+)

නමුත් මේ ලියන්නේ  ඒ වගේ එකක් ගැන නෙවේ. සත්‍ය සිදුවීමක්. සැමෝටම වෙන්න පුලුහන් අකරතැබ්බයක්, දොස්තරලාගේ නොසැලකිලිමත් කම ගැන.  ඒ නිසා හැමෝම මේ ගැන විමසිලිමත් උනොත් හොඳා. මේක වෛද්‍ය විද්‍යාව ගැන පොස්ට් එකක් නොවයි.

මතක ඇති නේ අපේ පොඩි එකා මේ වසරේ ජනවාරි මාසේ අත කඩා ගත්තා. මෙන්න මේ ලිපියට ගිහින් බලන්න පොලිසියෙන් කලා පොළ කයි එකා අත කඩාගෙන ඉන්න ෆොටෝ එකක් දෙකක් එකේ තියෙනවා. ඒ සැරේ අත කඩා ගත්තා කීවට එක බොහොම සුළු අස්ථි බිඳීමක් (hairline fracture) ඒ කියන්නේ අස්ථියක ඇතිවන ඉතාම සුළු ඉරි තැලීමක්. එවැනි අවස්ථාවක කරන්නේ ඒ අස්ථිය පිහිටි කොටස  නොසෙල්වන සේ තබා, කැල්සියම් ලබාදීම. එවිට සති කිහිපයකදී එම ස්‌ථානය  වැසි යනවා.

ඔන්න ඉතින් දැනුයි කතාව පටන් ගන්න යන්නේ, ඔය කලින් කිව අස්ථි බිඳීම පොඩිඑකාට මදි උනාද මන්දා, සැප්තැම්බර් මාසේ 6 වෙනිදා මේකා අපහු අත කඩා ගත්තා. පාසැලේ සිට මට දුරකථන ඇමතුමක් ලබාදුන් ගුරුවරයෙක් කියා සිටියා "පුතා  පාසලේදී  වැටිලා වහාම එන්න" කියා. ඉතින් මගේ ඔෆිස් එකේ ඉඳන් කොලුවගේ පාසැලට තියෙන්නේ හුවක විතර දුරක්. ගිහි බලනකොට වැටුන පාරට අපහු අත කැඩිලා.  වහාම x-කිරණ සටහනක්  ලබාගත්තා. මේ තියෙන්නේ ඒක.

කොහොමද වැඩේ ඇට දෙකම කැඩිලා. වහාම ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුල් කළා. එදිනම රාත්‍රී 12.00 ට පමණ මේ කැඩුණු අස්ථි නැවත සකස් කරලා ප්ලාස්ටරයක් (POP) දැම්මා.

ඔය අවසානයට තියෙන්නේ POP එක දැමීමෙන් පසුගත් x-කිරණ සටහන. හොඳින් බලන්න එහි එක අස්ථියක් නියමාකාරයෙන් සවි වී නොමැති බව පැහැදිලිව පෙනෙනවා.

පසු දින උදේ විශේෂඥ වෛද්‍යවරයා ගෙන් මේ ගැන විමසු විට ඔහු කියා සිටියේ මෙය ඉතා සාර්ථ බවයි. ඔහු සමග සිදු වූ සංවාදය මේ ආකාර උනා.

මේ x-කිරණ සටහනට අනුව එක අස්ථියක් නියමාකාරයෙන් සවිවී නැහැ මේ ගැන ඔබ මොකක්ද කියන්නේ?

අස්ථි දෙකම නියාමාකාරයෙන් සවි කිරීම අනවශ්‍යයයි , මෙය ඉතා සාර්ථකයි.

එසේ නම් එක අස්ථියක් පමණක් බිඳුන රෝගියෙක් පැමිණි විට ඔබ එම අස්ථිය යතා තත්වයට පත් කරන්නේ නැතිද?

එවිට අපි එම අස්ටිය නියමාකාරයෙන් සකස් කරනවා.

එසේනම් ඔබ මෙහිදී අස්ථි දෙකම නියමාකාරයෙන් සකස් නොකළේ ඇයි?

අස්ථි දෙකම නියාමාකාරයෙන් සවි කිරීම කලනොහැකියි, අස්ථි දෙකම බිඳුන විට අප කරන්නේ එක අස්ථියක් නියමාකාරයෙන් සකස් කිරීමයි,
එසේනම් දැන් ඔහු පසුවන්නේ එක අස්ථියක් බිඳුන කෙනෙකුගේ තත්වයෙන් නොවේද? ඔබ නැවත දිනක එම අස්ථිය යතා තත්වයට සකස් කරනවාද?

එසේ කරීමට අවශ්‍ය නැහැ, එක කාලයත් සමග හරියාවි.

දැන් ඉතින් මගේ මල ඉතා හොඳින් පැන ඇත, දොස්තරයා ගේද පුෂ්පය විකසිත වීමට ආසන්නව ඇති බව මට දැනුනි. මේ සංවාදය මෙතම් දුරක් හෝ පැවැත්වීමට හැකි වුයේද  සුද්දාට පින් සිදුවන්න උගේ භාෂාව භාවිතා කල බැවිනි. තව දුරටත් මේ සංවාදය පැවැත් වීමෙන් සිදු වන්නේ අනිවාර්යයෙන් දොස්තරගේ කන හරහා පහරක් ගැසීමට සිදුවීමත්, එහි අතුරු ප්‍රතිපල ලෙස රිමාන්ඩ් බන්ධනාගාරය පිලිබඳ බ්ලොග් සටහනක් ලිවීමට සිදුවීමත් බව වැටහුණු නිසා සංවාදය එතකින් නිමා කරන ලදී.


දැන් ඉතින් දින 5ක් දිවා රාත්‍රී රෝහලේ ගත කරන්න උනා. මුන්ගේ වැඩ ගැන කිසිම ලෙසකින් සෑහීමකට පත්වීමට නොහැකි නිසා, විටින් විට ඔහුගේ ඇඟිලි වල රුධිර ගමනාගමනය සිදුවන ආකාරය නිරීක්ෂණය කරමින්, සැක සහිත අවස්ථාවන් වල හෙදියන්ට දන්වමින් එම දින 5 ගත කළා. 

රෝහලෙන් පිටවූ වහාම නැවත කලේ x-කිරණ සටහනක් ගැනීමයි. මේ තියෙන්නේ එම සටහන.


එම x-කිරණ සටහනට අනුව, නියමාකාරයෙන් සවි නොවූ අස්ථිය සම්පුර්ණයෙන්ම විසන්දී වී ඇති ආකාරය පැහැදිලිවම දක්නට ලැබෙනවා. ඉන් පසු එම x-කිරණ හටහන විශේෂඥ වෛද්‍යවරයා වෙත පෙන්වූ  විට ඔහුගේ පිළිතුර පෙර පරිදිම උනා. 

මෙම විශේෂඥ වෛද්‍යවරයා වන්නේ  වෛද්‍ය ප්‍රදීප් ෆර්නැන්ඩෝ. 

මේ x-කිරණ සටහන් වලට අනුව කොළඹ ජාතික රෝහල මගින් ලබාදුන් ප්‍රතිකාර පිලිබඳ  කිසිසේත් සෑහීමකට පත්වීමට නොහැකියි. ඒ නිසා මේ සියලුම x-කිරණ සටහන්, වෙනත් රෝහලක විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයකු වෙත යොමු කළා. 

එවිට ඔහු කියා සිටියේ,ජාතික රෝහලේ සිදුකල ක්‍රියාව සම්පුර්ණයෙන්ම අසාර්ථක බවත්, එලෙස එම අස්ථින් සවිවිමට ඉඩ ලබා දුනහොත් රෝගියාට කිසිදිනක තම අත හැරවීමට නොහැකි  වන බවත්ය. ඔහුගේ අදහස උනේ වහාම ශල්‍ය කර්මයක් කොට අස්ථි දෙක නියමාකාරයෙන් සකස් කොට ඇට මිදුළු හරහා K-wire නම් වන කම්බි දෙකක් ඇතුල් කල යුතු බවත් මාස 6 ට  පමණ පසු එම කම්බි දෙක ඉවත් කිරීමට හැකි බවත්ය. ඒ අනුව ඔහු කෙරෙහි සම්පුර්ණ විශ්වාසය තබා එම ශල්‍ය කර්මය සිදු කිරීමට අවසර ලබා දුන්නා. ඔහු විසින් එදිනම සවස පැය 2 ක පමණ කාලයක් වැය  කරමින් සාර්ථක ලෙස එම ශල්‍ය කර්මය සිදුකලා. මේ තියෙන්නේ ඊට පසු ලබාගත් x-කිරණ සටහන. (ජාතික රෝහලේ ක්‍රියාව පිළිබඳව, වෛද්‍ය ප්‍රදීප් ෆර්නැන්ඩෝට එරෙහිව  නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තුවන නිසා දෙවන වර ශල්‍ය කර්මය සිදුකල රෝහල හෝ වෛද්‍ය විශේෂඥවරයා පිළිබඳව මෙහිදී සඳහන් නොකරමි)



එම ශල්‍ය කර්මයෙන් පසු දාමු POP එක ඉවත් කලේ දැනට සුමාන දෙකකට කලින්. දැන් ඔහුට දිනපතාම භෞතචික්තිසාව (physiotherapy) ලබාදීම සිදුවෙනවා. එය දිනපතා මාස දෙකක් පමණ කාලයක් ලබාදිය යුතු බව තමයි පවසන්නේ.

දැන් කාලයේ හැටියට නම්  වෛද්‍යවරයකු වෙත යාමට පෙර රෝගියා සහ ඥාතින් රෝගය පිළිබඳවත් එයට ලබාදිය යුතු නිවැරදි ප්‍රකිකාර පිළිබඳවත් යම්  හෝ දැනුවත් වීමක් ලබාගැනීම වඩාහොඳ බව මගේ පුද්ගලික වැටහීමයි.

ඔන්න ඔය සිදුවීම නිසා තමයි පහුගිය මාස දෙකක පමණ කාලයක් මේ පැත්තේ  ගොඩවෙන්න නොහැකි උනේ. ඒ කාලය තුල බොහෝ දෙනක් මා ගැනසොයා බැලුවා. සමහර අය ඊමේල් වලින් වගේම, දුරකතනයෙන් පවා විටින් විට කතාකලා. මගේ ඊමේල් සහ දුරකථන අංක නැති අය කමෙන්ට් වලින් සොයා බැලුවා. ඒ සැමෝම දැක්වූ සහෝදරත්වය ඉතා අගය කරනවා.
************ *************