Monday, December 31, 2012

සිසන් ෆෝම්




ඔන්න ඉතින් ඒ දවස්වල අපි ඉස්කෝලේ ගියේ   ලං.ග.ම. සීසන් ටිකට් එකෙන්. මේ  සීසන් ටිකට් එකක් ගන්න පාසලෙන් ෆෝම් එකක් පුරවාගෙන අංශ බාර ප්‍රධානීගෙන් හරි උප විදුහල් පති තුමාගෙන් හරි අත්සන සහ නිල මුද්‍රාව තබාගෙන යන්න ඕනේ. (දැනුත් එහෙමද දන්නේ නැහැ)  ඔන්න සීසන් පතක් ලබාගන්න තිබුන ක්‍රමය. හොඳයි දැන් මම  කියන්න යන කතාවට මේ සීසන් ලබාගැනීමට  ඉතා ම සම්බන්දයි.

මගේ කලින් පොස්ටුවේ කියල තිබුණා නේ අළුත් ප්‍රින්සිපල් ගැන. බැලුවේ නැති අය මෙතනින් බලාගන්න. ඉතින් දැන් විදුහලේ විනය උපරිමහෙන් කෙරීගෙන යනවා. ඉස්කෝලේ ඇරෙන්න කලින් පනිනවා කියන එක බොරු. ප්‍රධාන ගේට්ටුවෙත් අනිකුත් අවධානම් කලාප වලත් ශිෂ්‍ය නායකයෝ මුර. කලින් යනව නම්  එකම විදිහ තමයි තමාට හදිසි  අසනීප තත්වයක් ඇති බව ලිපියකින් ඉදිරිපත්කර, අංශ බාර ප්‍රධානී ලවා  පරීක්ශා කරවාගෙන, ඔහුගේ අත්සන ලිපියේ සටහන් කරවාගෙන කලින් පිටවීමේ අනුමැතිය ලබා ගැනීම.

 ඔන්න ඉතින් එදා මොකක්දෝ අළුත් චිත්තරපටියක් ඇවිත්. දැන් පන්තියේ වැඩි දෙනෙක්ට මේක බලන්න යන්න ඕනේ උනත් පාසලෙන් පිටවෙන්න විදිහක් නැහැ.  මේ වෙලේ තමයි  ඔය ගැන්සියේ හිටපු එකෙක්ට ගණ දෙවි නුවණ පහල උනේ. දැන් මේ ගැන්සියේ උන් ඔක්කොම 20 දෙනෙක් විතර ලිපි ලියනවා තමාට අසනීප නිසා කලින් ගෙදර යන්න අවසර දෙන්න කියලා. දැන් මේ ඔක්කොමල මේ ලිපි අරගෙන අංශ ප්‍රධානි තැන වන ඊෂොප් (ඇත්ත  නම නෙවේ) සර් ලඟට පෝලිමේ යනවා. ඊෂොප් සර්ට සිංහල කියවන්න බැහැ. කතා කරන්නෙත් ඉංගිරිසියෙන් නැත්තන් බොහොම කැඩිච්ච සිංහලෙන්.

"what is these  letters  boys...?" 

දැන් කොල්ලෝ ටික මෙහෙම කියනවා 
"request letters  to  obtain season ticket, sir .. for  your approval " 

" oh good .. get it in time ..." 

ඔන්න ඔහොම කියපු සර් මේ සිංහලෙන් ලියපු ලියුම් ඔක්කොම අත්සන් කරලා දෙනවා බොහොම සත් භාවයෙන් යුක්තව. දැන් ඉතින් මුන් ටිකට රජකම ලැබුණා වගේ පොත් එහෙම අරගෙන එක එකා ප්‍රධාන ගේට්ටුවෙන්ම පිටවෙලා ගියා තමාගේ ප්‍රියතම චිත්තරපටිය බලන්න. 

දැන් ඉතින් පන්තියේ ඉන්නේ අපි 7 -8 දෙනෙක්, ඔන්න බෙල් එක වැදුනා. විනාඩි දෙක තුනකින් පන්තිය භාර ගුරුතුමී අවා. අපිට Zoology කලේ මේ ටීචර් තමයි. 

"කෝ මේ පන්තියේ අනිත් ළමයි"

"ගෙදර ගියා  ටීචර් .. "   මම උත්තර දුන්නා. මම තමයි මොනිටෝර්. හි... හි...

"කවුද යන්න දුන්නේ?"

" ඊෂොප්  සර් ලියුම් වලට අත්සන් කරලා තිබුණා.. මම ඒ ලියුම් බලල යන්න දුන්න.." 
 (මම ඉතින් කවදත් නීතියට වැඩ)

මේ  කතාව ඇහුවා විතරයි ටීචර් දැනගත්තා උන දේ. වෙසමුණි වරම් ලැබුණ යක්ෂ සේනාධිපතිනියක් වගේ ටීචර් ගියා  ඊෂොප්  සර් ලඟට.. මමත් පිටි පස්සෙන්. දැන් ටිචර් බනිනවා ඊෂොප් සර්ට, ඉංගිරිසියෙන්, ඇයි යකෝ සිංහලෙන් බැන්නොත් ඉතින් ඔක්කොම අහගෙන ඉඳල "Thank you" කියනවනේ.  ඔය ඉංගිරිසියෙන් බැන්න ඒ වා  මෙන්න මෙහෙම තමයි සිංහලේට පරිවර්තනය කලාම.

"සර් මොකටද මගේ පන්තියේ ළමයි ගෙදර ඇරියේ...? සිංහල කියවන්න දන්නේ නැත්තන් අත්සන් කරන්න එපා.. එක්කෝ වෙන කෙනෙක්ට කියලා කියව ගන්න ඕනේ.. මිට පස්සේ එහෙම ඔය වගේ වැඩ කරන්න එපා."

"මම කාටවත්  ගෙදර යන්න පර්මිෂන් දුන්නේ නැහැ. මම අත්සන් කලේ සීසන් ෆෝර්ම් වලට "

"සීසන් ෆෝම් කියලා අත්සන් කරලා තියෙන්නේ ගෙදර යන්න ඉල්ලපු ලියුම් වලට..මිට පස්සේ එහෙම ඔය වගේ වැඩ කරන්න එපා."  

ඔන්න ඉතින් ZOOLOGY  පීරියඩ්  එක ඔතනින් ඉවරයි. ඔන්න ඉතින් දැන් තමයි වැඩේ උනේ අපේ පන්තියේ ඉතිරිවෙලා හිටිය බොහොම අහිංසක එකෙක්ට (මු දැන් ඩොකෙක්, නිකම් නෙවේ ඉස්පේසැලීස්ට්)  සීසන් එන ගන්න ඕන වෙලා ලිපියක් ලියාගෙන ගියා  ජෝශප් සර් ලඟට. 

"what is this   letter  boy...?" 

"request letter to  obtain season ticket, sir .. for  your approval " 

" උම් ඹ  එනවද මට උගන්නන්ඩ ... උතුවද මට හිංගල බේ කියල...  මේ උම්ඹට ගෙඩර යන්ට ලියම් නේද  යකොඕ.." 

"චටාස් පටාස් ...... චටාස් පටාස් ...... චටාස් පටාස් ...... " 

කම්මුල් දෙකම රතුවෙලා.. මේකා  අඬ අඬා පන්තියට අවා 

Friday, December 28, 2012

හූ කීම සහ * කෑම (18+)



ඔන්න ඉතින් 18+ කියල දැම්මට මේ කතාවත් අපි ඉස්කෝලේ ගිය කාලේ එකක් තමයි. මේ කතාවේ කතානායකයා ඉතින් මං තුමා තමයි. මේ කියන දවස්වල අපේ විදුහලට  අළුත්  ප්‍රින්සිපල් කෙනෙක් අවා. අපිට  ප්‍රින්සිපල්  අළුත්  උනාට, ප්‍රින්සිපල්ට විදුහල අළුත් නැහැ ඒ කියන්නේ විදුහලේ ආදී ශිෂ්‍යයෙක් සහ ආදී ගුරුවරයෙක්. දැන් ඉතින් විනය සහ ඉගෙනුම උපරිමයෙන් කිරීම තමයි ප්‍රින්සිපල් ගේ නව දැක්ම. අපෙත් එක්ක කොහෙද එව්වා.....

ප්‍රින්සිපල් බොහෝවිට වේවැල් කෙටියත් අතින් දරාගෙන විදුහල් භුමියේ ඇවිදිමින් පන්තිවලින් පිට ඉන්න සිසුන් ගෙන් ප්‍රශ්න කිරිමත්, පන්තියක් පන්තියක් ගානේ ඇවිදිමින් ඒවායේ කටයුතු පරික්ෂා කිරීමත් දකින්නට ලැබුණා.

අපේ පන්ති පිහිටා තිබුන ගොඩනැගිල්ලේ එක පේලියට පන්ති කාමර 6ක් තිබුණා. එදා මේ සිදුවීම වෙන වෙලාවේ අපේ පන්ති කාමර 6යේම  කිසිම ගුරුවරයෙක් නැහැ. මොකක්දෝ සේමිනාර් එකකට ගිහින්. අපිටත් ඉතින් ෆුල් චුන් තමයි. හැම පන්තියකම වාගේ ගීත ගායනා, කොට්ට පොර, මල්ලව පොර, ලී කෙලි වැනි බාහිර ක්‍රියාකාරකම් ගොඩයි. මෙන්න මේ වෙලේ තමයි මං තුමා දැක්කේ ප්‍රින්සිපල් හිමින් හිමින්  අපේ පන්ති පැත්තට එනවග. ඔන්න පුතෝ ඒ වෙලාවේ මට ගණ දෙවි නුවණ පහල උණා. ඔන්න මම දැන් හැම පන්තියකටම ගිහින් මෙන්න මෙහෙම උපදෙස් දෙනවා. 

"ඔන්න ප්‍රින්සිපල් මේ පැත්තට එනවා.. අද අපි ප්‍රින්සිපල් ට හූ කියමු. උඹලට කරන්න තියෙන්නේ මෙච්චරයි, දැන් හූ ව පටන් ගනින්... ප්‍රින්සිපල් පන්තියට ලඟට එනකල්ම් නවත්තන්න  එපා. පන්තියට ලඟට  අපු ගමන් හූ ව නවත්තලා පාඩම් කරනවා වගේ හිටපන්. උඹල හූ කියන එක නැවැත්තුවත්  අනිත් පන්තිවලින් හූ ව දිගටම ගෙයනවා.  ප්‍රින්සිපල් පන්තියෙන් ගියගමන් අපහු හූ කියන එක පටන් ගනින්."

මේ මැසේජ් එක හැම පන්තියකටම දුන්නා.  දැන් වැඩේ පැහැදිලියි නේ.  ප්‍රින්සිපල් ඉන්න පන්තියේ අය  සද්ද නැතිව පාඩම් කරනවා වගේ ඉන්නවා, අනිත් උන් හූ කියනවා. ඔන්න මගේ මිෂන් එක. මේ සිද්දිය වෙනකොට අපි A/L පන්තිවල, අර කලින් සිද්දි වලදී වගේ පාවා දෙන්නෝ නැති නිසා මේ වගේ සමුහ ක්‍රියාකාරකම් බොහොම අපුරුවට කිරීමේ හැකියාව තිබුනා.

ඔන්න ඉතින් මගේ ප්ලැන් එක අකුරටම වැඩකලා. ප්‍රින්සිපල් කාරයත් අත ඇරියේ නැහැ, හැම පන්තියටම ගියා. අන්තිමටම තිබුනේ අපේ පන්තිය. ඉතින් අපේ පන්තියටත් ඇවිත් වැඩ එහෙම බලලා මෙන්න මෙහෙම කිවුවා.

" මේ ළමයි හූ කීවේ මටද ? ඕව මට ගානක් නැහැ,  මට හොඳට *කාල පුරුදුයි."

මුළු පන්තියම එක හඬින්

 "හු....... "


Monday, December 24, 2012

අපායට නඩු

පහුගිය දවසක මාතලන් මලයා පොස්ට් එකක් දාල තිබුනා "අනේ අපව බේරගන්න කවුරුත් නැත්දෝ " කියල. මමත් ඉතින් මගේ අදහස කොමෙන්ටුවකින් දල ආව. ඒ පොස්ට් එක කියවනකොට මට මේ පරණ කතාවක් මතක් උනා. කියවලම බලමුකෝ.

"යටගිය දවස මෙසිරිලක උන්නාවූ ඉංජිනේරු මානවකයෙක් අකාලයේ මිය පරලොව ගොස් අපායේ පහල වුවෝය........"

ඔන්න ඔහොමයි ළමයිනේ කතාව පටන් ගන්නේ.


ඉතින් මේ අපායේ පහල උන ඉංජා දඬුවම් සඳහා කටු ඉඹුල ලඟට ගෙනියනකොට එතන ෆුල් තදබදේ. ලේ පෙරාගෙන නිරී සත්තු කටු ඉඹුලේ නගිනවා, බහිනවා. යාම පල්ලොත් කස තියාගෙන ගහ ගහා කෑ ගහනවලු "නැගපියව්.... බැහැපියයව්... ඉක්මක් කරපියව්...."  මල කෙලියයි, මේක දැකපු අපේ ඉංජා යමයෙක්ට කියල පර්මිසන් අරගෙන මෙතන ලිෆ්ට් එකක් හලද තියෙනවා. දැන් ඔය යන්නේ ෂෝක් එකට... කස්ටිය ෆුල් චුන් එකේ ලිෆ්ට් එකෙන් කටු ඉඹුලේ නගිනවා.. බහිනවා.. 

මේක දැකපු යමයන්ටත් ෆුල් ෆන්.. ඇයි බොලේ දැන් කෑගහන්න දෙයක් නැහැනේ. ඉතින් එක යමයෙක් ඉන්ජා ලඟට ගිහින් කීවාලු 
"මල්ලි ඔයා මාර වැඩර් තමයි.. බැරිද මල්ලියේ ලෝදිය හැලිය ලගටත් සප් එකක් දෙන්නන? එතනත් මාර කචල් මල්ලි"

"අයියෝ ඔක සුළු දෙයක්නේ බොස්. මාව එතනට එක්කගෙන යන්න "  ඔන්න ඔහොම තමයි  ඉංජා උතර දුන්නේ.

දැන් ඉතින් යමයෝ ටික ඉංජාව ලෝදිය හැලිය ලගට අරගෙන ගියා. එතනත් මල කෙලියයි යමයෙක්  ලෝදිය බෙදනවා අනික් යමයෝ මෙතන ඉන්න නිරිසතුන්ට කසයෙන් ගහ ගහා පෝලිම් හදනවා එකම කාලගොට්ටියි. ඉතින් ඒ ගමන අපේ ඉංජා  "feasibility study" එකක් එහෙම කරලා මෙතන රොබෝවෙක් හැදුවා, ලෝදිය බෙදන්න. තව "conveyor belt" එකක් එහෙම දාලා, දැන් ඔය ලෝදිය කෝප්ප බෙල්ට් එක දිගේ යනවා. මුන් ටික බෙල්ට් එක  දෙපැත්තේ ඉඳගෙන ෆුල් ෆන් එකේ ලෝදිය බොනවා. දැන් යමයන්ටත් කරදරයක් නැහැ. අපායට  සුබ අනාගතයක්.
  
දැන් මේ වැඩ අපේ යම රජ්ජුරුවන්ට ආරංච් වෙලා බොහොම සතුටු උනා. ඊට පස්සේ ඉංජාගේ වදබන්දන වලින් නිදහස් කරලා "Staff" කියල අයිදෙන්ටියක් එහෙමත් දීල තියෙනවා. දැන් ඉතින් ඉංජා  අපායේ ෆුල් වැඩ.

ඔන්න ඔය අතරේදී මේ කතාව CID  එක මාර්ගයෙන් දිව්‍ය ලෝකෙට ආරංචි උනා. ඒ පාර දිව්‍ය ලෝකෙ රජ්ජුරුවෝ වන ශක්‍ර දෙවියෝ මේගැන සොයල බලලා මෙන්න මෙහෙම SMS  එකක් යවනවා    යම රජ්ජුරුවන්ට.

"ඔය ඉංජා  ඉන්නද ඕනේ අපායේ  නෙවේ, දිව්‍ය ලෝකෙ. වහාම මෙහෙට ට්‍රාන්සරයක් දෙන්න"

මේක දැකපු යම රජ්ජුරුවන්ට මල පැනපි, "ඇයි යකෝ මගේ විමානේ එයාර් කොන්දිසෝන් කොරන්න ගියා  විතරයි.., මේකා  යවල කොහොමද?" තමාටම කියාගෙන මේ විදිහට රිප්ලයි  එක යැවුවා.

"බොහොම කණගාටුයි, දැන් ඔහු මෙහේ ඉස්තිර සේවකයෙක්"

මේක දැකපු ගමන් ශක්‍ර දෙවියන්ට මලපැනල මෙහෙම අලුත් SMS  එකක් එවනවා.

"පැය 24ක් තුල ඉංජා දිව්‍ය ලෝකෙට එවුවේ නැතිනම් අපායට නඩු පැවැරීමට කටයුතු කරමි"

ඔන්න බලන්නකෝ යම රජ්ජුරුවන්ගේ රිප්ලයි එක.

"හු හු හූ ...... නඩු දාන්න දිව්‍ය ලෝකෙ කොහෙද ලොයර්ල... උන් ඔක්කොම මෙහේ"







Saturday, December 22, 2012

තීන්ත පාර




මේ කතාව අපේ ඉංගිරිසි සර් සහ තවත් කොලුවෙක් ගැන තමයි අපේ සගයාගේ නම ජයේ කියල කියමු. මේ සිද්දියට ඉතින් ඍජුවම නැති උනත් මං තුමාත් සම්බන්ධයි. ඉංගිරිසි සර් ටිකක් පොඩි පහේ සරිරයක් තිබුන තට්ටය පෑදුන හාදයා . නම ගැන ඉතින් අහන්න දෙයක් නැහැනේ ... තට්ටයා තමයි. මේ සර් අර යු. ජි. සර් වගේ නෙවේ. බොහොම නිවිච්ච මනුස්සයා. හබැයි  පුතෝ තරහ ගියොත් ඉතින් මළ යකා තමයි. මේ සර් අඳින්නේ බොහෝම ලා පාට ඇඳුම්. කලිසමේ ඉන ටිකක් ලොකුවට තමයි ඇන්දේ. 


මේ සර් ගේ ගෙවල් තිබුනෙත් අපේ ගෙවල් වලට බොහොම කිට්ටුව. අපේ නෑදෑ සනුහරේ ගොඩක් අය සර් ගේ බොහොම හිතවත් අය, ඒ නිසාවෙන් පන්තියේ දීත් මට සර් බොහොම ආදරෙන් හිටියා මේ සිදුවීම වෙනකල්ම.

සර් හැමදාම වගේ ගෙදර වැඩ පවරලා පහුවෙනිදට ඒ පැවරුම් බලලා පොත් පත් වල සටහන් තබනවා. සර්  පුරුද්දක් විදිහට මේ පැවරුම් ටික බලන්නේ ළමය ලඟට ඇවිත්, එතකොට ළමයා නැගිටිනවා සර් එම ළමයාගේ පුටුවේ වාඩිවෙලා තමයි පොත බලන්නේ. ඉතින් එදත් පුරුදු විදිහටම සර් පොත් බලනවා. ඔන්න දැන් මම ඉන්න තැනට ඉස්සරහ පුටුවේ සර් වාඩිවෙලා පොතක් ලකුණුකරනවා. ඔන්න ඔය වෙලේ තමයි වැඩේ උනේ. මම කලින් කීවනේ සර් කලිසමේ ඉන ටිකක් ලොකුවට අඳිනවා කියල, ඉතින් සර් අපිට‍ ඉස්සරහින් වාඩි උනහම සර්ගේ පිටිපස්සෙන් කලිසම ටිකක් නෙරලා ඇවිත් යට කලිසම ටිකක් විතර පේනවා. ඔන්න ඉතින් එවෙලේ මට එහා පැත්තෙන්  වාඩි වෙලා හිටපු ජයේ මගෙන් අහනවා 

"මචං සර් ගේ ජොකා පේනවා .. මම ජෝකාට තීන්ත ගහන්නද?"

(ඒ දවස් වල අපි ලියුවේ තීන්ත පෑන් වලින්. ඉස්කෝලේ කාබන් පැනෙන් ලියන්න දෙන්නේ නැහැ අකුරු කැත වෙනවා කියල. කොච්චර තීන්ත පෑනෙන් ලියුවත් තාමත් මගේ අකුරුනම් කැතයි. සමහරවෙලාවට මම ලියපුවා මටම කියවගන්න බැහැ. අපෝ මේ මොනවද කියවන්නේ. නැහැ නැහැ මගේ අකුරු ලස්සනයි.)

ඒ වෙලේ මට හිතාගන්න බැරිඋනා ජයේ කොහොමද කලිසමට යටින් තියෙන ජෝකාට තින්ත ගහන්නේ කියල. ඒක බලාගන්නත් එක්ක මම කියපි..

"හා පුලුවන්නම් කරපිය. කීයක් ඔට්ටුද ඕක කරන්න බැහැ"

මෙන්න ඒ ගමන මේකා  පැන ගලවල හිමින් සීරුවේ සර් ගේ කලිසම ඉදිරියට නෙරපූ තැනින් ඇතුලට දාල තීන්ත ටික ඔක්කොම කලිසම ඇතුලට මිරිකුවා.  සිදුවීම ඔතනින් ඉවරයි. වැඩේ වෙන්නේ පහුවෙනිදා.

ඔන්න ඉතින් පහුවෙනිදත් සුපුරුදු ලෙස සර් පොත් සලකුණු කරමින් ඇවිත් අර ඊයේ මට ඉදිරියෙන් හිටපුතැනම වාඩි වෙලා සර්ගේ පාඩුවේ පොත බලනවා. ඔන්න එදා  ජයේ කියපි  

"මචෝ අදනම් මට හිතෙනවා සර්ගේ shirt එකට තීන්ත ගහන්න"

මටත් නිකන් ඉන්න බැරි කමට මෙහෙම කියුවා 

"හොඳයි පුලුවන්නම් ගහපිය"

පැනේ මුඩිය ගැලවුණා......, විදුලි වේගයෙන් ජයාගෙ පැන ඒ මේ අත ගියා............ සර් ගේ කමිසයේ නිල් පාට කතිර ලකුණක් මතු උණා........... අපිට පිටුපසින් හිටපු හැමෝම මේ දේ දැක්කා. දැන් පිටිපස්සේ එවුන් ඔක්කොම මහා හඬින් හිනා වෙනවා. 

"අඩි මොකද තොපි කෑගහන්නේ.. කට වහගෙන හිටපියව්" 

ඔන්න මාරාවේශ උන සර් ගේ භාෂාවත් වෙනස් උණා. සර් ට තර ගියේ ළමයි හිනා උනාට. තීන්ත කතාව සර් දන්නේ නැහැ. ඔන්න කොහොමහරි පිටිපස්සේ පේලිවලත් පොත් ඔක්කොම බලල සර් ඉස්සරහ කළු ලෑල්ල ලඟට ගියා  විතරයි...

"සර් .. සර්..,   සර් ගේ කමිසයේ තීන්ත..." 

ඉස්සරහ පේලියේ කඩාකප්පල් කාරයෙක් කියපි. දැන් උන දේ හිතා ගන්න පුලුවන් නේද?   මෙන්න සර් shirt එක ගලවල බලනවා මෙන්න මේ විදිහට.


දැන් ඉතින් සර් නෙමේ, මාර දිව්‍ය පුත්තරය තමයි. shirt එක ගලවල ගුරු මෙසේ උඩ. බැනියම පිටින් තමයි  සර් ඉන්නේ.එහෙම ඉඳගෙන හොඳම ඉංගිරිසි වලින් බණිනවා. (ඒවා මේකේ ලියන්න බැරියෝ) 

"මුන් ඊයේ මගේ කලිසමටත් තීන්ත ගහල, අද කමිසෙට .... හිටු තොපිට කරන දේ බලන්න.. පන්තියේ හැම එකාටම ගහන්න කලින් කියපිය කව්ද මේ බලු වැඩේ කලේ.."

හොඳ වෙලාවට, කඩාකප්පල් කාරීන් ඉන්නේ ඉස්සරහ පේලි වල නිසා උන් දැක්කේ නැහැ  කලේ කවුද කියලා, නැත්තන් අමු පාවාදීම තමයි. පන්තියෙන් කිසිම සද්දයක් නැහැ, ජීවිතේට වැරද්දක් නොකරන උන් වගේ ඉන්නවා.

"හොඳයි කියන්නනේ බැරි.. මේක එකෙක් වත් දැක්කේ නැහැ වෙන්න බැහැනේ .. ගන්නවා හැමෝම කොළ කෑල්ල බැගින්.. දැන් මේක කරපු එකාගේ නම ලියල කොල කෑලි ටික නවල ගෙනත් මගේ මෙසේ උඩින් තියනවා එතකොට කියපු කෙනාව කවුරුත් දන්නේ නැහැ නේ "

කොහොමද සර් ගේ පොත ? දැන් හැමෝම තම තමාගේ කොලකැල්ල නවල ගුරු මෙසේ උඩින් ගිහින්  තියනවා. දැන් නවපු කොළ කැලි   ගොඩයි. සර් මේ එකින් එක දිග ඇර ඇර  බලන ගමන් මෙහෙම තනියම කියවනවා.."

"හ්ම් .. හිස් ,  එකෙත් නැහැ,.... මේකත් හිස්." 

එකපාරටම සර්ගේ ටෝන් එක වෙනස් උනා.. කෙලින් වෙලා ගියා..

"මොකක්.... තට්ටයා ...  කවුද යකෝ තට්ටයා  ... ගෙදර ගිහින් බලාපිය තොපේ අප්පගේ තට්ටේ තියෙනවද කියලා"

තවත් මොකෙක්දෝ එකෙක් ඇවිලෙන ගින්නට පිදුරු දාලා. කොළ කැලි බැලිල්ල එතනින් ඉවරයි. පටන්ගත්තා එතන ඉඳන් සබ්බුව මුළු පන්තියටම. අන්තිමටම  මම තමයි සර් ලඟටගියේ වේවැල් කසාය ලබාගන්න .

සර් වේවැල අතේ තියාගෙනම මගෙන් අහනවා ..

"කවුද පුතා මේ වැඩේ කලේ..?"

"දන්නේ නැහැ සර්"

"හැරියන්  යකෝ  අනිත් පැත්ත"

චාටස්...චාටස්...චාටස්...චාටස්...චාටස්...චාටස්...චාටස්... එක දිගට 10-12 මගේ පස්ස පැත්තට 

"මේ තොගේ ගෙදර  උන්ටත් එක්ක".

Friday, December 21, 2012

ලෝකවිනාසේ අද නෙවේ - ජනවාරි මාසේ අන්තිමට



මේ කතාව මම ඇහුවේ ඊයෙ හවස (20 වෙනිදා). වැඩ ඇරිලා ගෙදර යන ගමන් ලෝකවිනාසේට කලින් කාර් කවුවට පැස්ටෝල් ටිකක් එහෙම  ගහගෙන (හුටා එතකොට තමයි  ලෝකවිනාසේ  වෙලාකියල දැනගත්තේ, පැස්ටෝල් ගණන් ගිහින්...) සුපර් මාර්කට් එකට ගියා මාරයාගේ ලෝකවිනාශ ලැයිස්තුවේ බඩු ටික ගන්න කියලා. ඔන්න මේ වෙලේ කොල්ලෝ දෙන්නෙක් කතාවක්, අනුන්ගේ කතා වලට ඇහුන්කන් දෙන එක හොඳ වැඩක් උනේ නැති උනත්, ලෝකවිනාසේ ට කලින් අහන්න ලැබෙන අන්තිම දෙබස වෙන්න පුළුවන් නිසා මම මේකට ටිකක් ඇහුන්කන් දුන්නා.

"කොහෙද මචං ගිහිල්ලා හිටියේ... A/L  ඉවරුනත් හරි උඹව දැක්කේ අද."

"කොහේ යන්නද බං ..එග්සැම් ඉවරඋන ගමන් අම්මාගෙයි තාත්තගෙයි වදේ බැහැ රිවිෂන් පන්ති පල කියල.. දැනුත් මේ පන්ති ඉවරවෙලා එනගමන්... අම්මාට සුපර් මාර්කට් යන්න ඕනේ කීව නිසා තමා මෙහෙ ආවේ "

"අනේ මෝඩ ගොනෝ ... මොන රිවිෂන් පන්තිද? . අද තමයි ලෝකේ අන්තිම දවස.. හෙට ලෝකවිනාසේ වෙනවා"

හුටා .. මටම කියවුනා . මේක වැදගත් දෙබසක් නිසා මගේ ඇන්ටෙනාව ඒ පැත්තට ටිකක් වැඩිපුර සුසර කලා.

"මොන පිස්සුද බං " 

"නැහැ මචෝ අනිවාර්යයෙන් වෙනවා .. හෙටින් පස්සේ මායා වරුන්ගේ කැලැන්ඩරේ ඉවරයි..  අපේ ලෝකේ පැත්තට  විශාල ග්‍රහ වස්තුවක් වේගයෙන් එනවා  ඒක අපේ පෘතුවියේ  වැදිලා ලෝකය විනාශ වෙනවා.....   "

අනේ... අනේ...   නාසා එක මුගේ අප්පච්චිගේද දන්නෙත් නැහැ.  මූ තවත් කියවනවා 

" ඒ විතරක් නෙවේ මචෝ හෙට ග්‍රහලෝක කීපයක් සරල රේඛාවක පිහිටනවා, ඒ නිසා අපිට හිරු එලිය ලැබෙන්නේ නැහැ... තව පෘතුවියේ අක්ෂය මාරු වෙනවා.. එතකොට උතුර දකුර මාරු.. GPS  වැඩ නැහැ ....  ..... ......" (තව ගොඩක් දේවල්)

මේ කියන දේවල් ඇහුණාම මට සාධාරණ සැකයක් ඇති උනා ලෝකය මැවුවා කියන මහා බ්‍රහ්මයා  මුගේ තාත්තා වෙන්න ඇති කියලා. මේ කතා ඔක්කොම අහගෙන හිටපු අනික් කොලුවා බොහොම සාන්ත දාන්ත හඬකින් මෙහෙම කියනවා.

"ඔය මොනවා උනත් හෙට ලෝකවිනාසේ වෙන්නේ නැහැ මචං ... ඒක වෙන්නේ ජනවාරි මාසේ අන්තිමට"

මොනවා... මේකාට නිල්ගල කැලේ තාපසතුමාගේ ආවේසයක් වත් ලැබිලද දන්නේ නැහැ. දැන් මටම නොදැනී මම මුන් දෙන්නා දිහා බලාගෙන ඉන්නවා මේ අලුත්  අනාවැකිය දැනගන්න.

"ඈ.. උඹ කොහොමද එහෙම කියන්නේ"

"ඔව් මචෝ...  ජනවාරි මාසේ අන්තිමට A/L  රිසල්ස් එනවා"

Thursday, December 20, 2012

නැගිටපු ගමන් මොකක්ද කරන්නේ ?



මේ කතාවත් අපේ යු.ජි. සර් සහ ලන්දයා ගැන තමයි. මේ දෙන්න ගැන මගේ කලින් වේවැල් කෝටු නාරං සියඹලා අතු පොස්ට් එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් යු. ජි. සර් ගේ දින චරියාව දන්නවනේ, ඉස්සෙල්ලාම ආචාර කරලා ලේන්සු දෙක සහ නියපොතු පෙන්නන්න ඕනේ. ඊට පස්සේ පාඩම පටන්ගන්න කලින් සර් මොකක් හරි ප්‍රශ්නයක් අහනවා දන්නා අය අත උස්සගෙන ඉන්න ඕනේ, මෙන්න මේ වගේ.

 සර්  අහන එක්කෙනා විතරයි  උත්තර දෙන්ඩ ඕනේ. ඊට පස්සේ උත්තර වැරදුන අයටයි උත්තර දන්නේ නැති අයටයි හොඳට සලකලා තමයි  පාඩම පටන් ගන්නේ.  සෞඛ්‍යය පාඩම කියන්නේ ගුටිකන එකම තමයි.

ඔන්න එදාත් සුපුරුදු ලෙස ලේන්සු  සහ නියපොතු වෙනුවෙන් සලකලා  එහෙම සර් මේ ප්‍රශ්ණය අහපි.

"ළමයි කියන්ඩ උදේම නැගිටපු ගමන් මොකක්ද කරන්න ඕනේ කියලා...හා උත්තරේ දන්නා අය  අත උස්සන්න "

මේක ටිකක් අමුතු ප්‍රශ්නයක් නිසා හැමෝම වගේ තුෂ්නිම්භූත වෙලා ගියා. ඇයි දෙය්යනේ මේකට මොකක්ද දෙන උත්තරේ. මොන දේ කීවත් ගුටි නම් ශුවර් තමයි මේ අහපු දේ හැටියට . පිටිපස්සෙන්ම ඇහෙනවා ලන්දයා ගේ හඬ.

"සර්... සර්..."

මෙන්න මේකා කවදාවත්ම නැතිව බොහොම උනන්දුවෙන් අත උස්සගෙන ඉන්නවා. සර්ටත් පුදුම හිතෙන්ට ඇති.


" ආ බොහෝම හොඳයි... වෙන කාටවත් උත්තර නැද්ද ?...  හා.. එහෙමනම් ලන්දයා කියනවා බලන්න උදේම නැගිටපු ගමන් මොකක්ද කරන්නේ කියලා"

දැන් හැමෝම ලන්දයා දිහා බලාගෙන. සර්ත් ලන්දයා ළඟ. මෙන් මේකා  මෙහෙම කියාපි.

"සර්... උදේම නැගිටපු ගමන්  කරන්නේ ටෙන්ට් එක බාන එක"

චටාස්... පටාස්... චටාස්...

ලන්දයාගේ කම්මුල් දෙකම රතු පාට වෙලා.

Wednesday, December 19, 2012

වේවැල් කෝටු නාරං සියඹලා අතු



එකදාස් නමසිය බර ගණන් වල සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ කියන්න යන්නේ.  අපේ ඉස්කෝලේ මහනුවර නගරයේ තියෙන ප්‍රසිද්ධ එකක්. මේ සිද්දිය වෙනකොට මම හිටියේ හයේ පන්තියේ. මම තමා පන්තියේ මොනිටෝර්. ඉතින් එදා මේ සිද්දිය වෙන වෙලේ අපිට තිබුනේ සිංහල පාඩම හැබැයි සිංහල උගන්නන ගුරුතුමී නිවාඩු ගිහින් පන්තියේ කොල්ලන්ට හරිම ජොලි වෙලාවක් තමයි ටීචර් නැති පීරියඩ් එක, දැන් කොල්ලන්ගේ බහුතරයකගේ කැමැත්ත තමයි පිට්ටනියට සෙල්ලම් කරන්න යන එක. මම ඉතින් කවදත් ප්‍රොජාතන්තරයට ගරු කරන එකානේ, ඉතින් මමත් එක පයින්ම මේකට කැමති උනත් පාසලේ ආණ්ඩුක්‍රම වියවස්ථාවට අනුකුල දැයි කියල බලන්ඩත් ඔනේනිසා අග්‍ර විනිශ්චයකාර තුමාගෙන් (විදුහල්පති) අවසර එහෙම අරගෙන කොල්ලන්ව පිට්ටනියට දක්කන්න පටන් ගත්ත විතරයි කඩාකප්පල් කාරී කිහිපදෙනෙක් ගෙන් අති ප්‍රබල විරුද්ධතාවයක්  අවා. මෙන්න මුන් කියනවා "පිට්ටනියට යන උන් පලයන් අපි පන්තියේ ඉඳන් පාඩම් කරනවා" අනේ මෙහෙම උන්. මමත් ඉතින්  ප්‍රොජාතන්තරයට අනුව වැඩකරන්න ඕනේ නිසා පන්තියේ මැරයා උන "ලන්දයා" ට වැඩේ බාර දුන්නා. ලන්දයත් ඉතින් බොහොම දැහැමින් සෙමින් මේ එකෙක්ගේ දෙන්නෙක්ගේ බෙල්ලෙන් අල්ලලා "මොකද යකෝ පිට්ටනියට යනවද නැත්තන් මම යවන්නද" කියල  ආදර  ගෞරවයෙන් අහපු නිසා මේ කඩාකප්පල් කාරි පිරිසත් පිට්ටනියට ගියා. කොහොමද අපේ ප්‍රොජාතන්තරය?

ඉතින් කොහොමහරි පිට්ටනියට ගියයි කියමුකෝ, දැන් ඉතින් යන්ඩ බැහැ කියපු එකාලයි යන්ඩ උනන්දුව තිබුන එවුනුයි ඔක්කොම සෙල්ලම. ඔය කොහොමින් කොහොමින්  හරි වෙලාව ඉවර වෙලා බෙල් එකත් ගහලා හැබැයි අපි එකෙක්වත් බෙල් එක ගැහුවා කියල දන්නේ නැහැ.  ඊට පස්සේ තිබුනේ සෞඛ්‍යය පාඩම. ගුරු තුමා තමයි  යු.ජි. සිරිසේන සර් . අපි කියුවේ යු ජි කියලා. (අපේ ඉස්කෝලේ ගිය එකෙක් මේ බ්ලොග් ඒක කියවුවොත් ඉතින් මේ නම අහපු ගමන් විස්තරේ ඔක්කොම දන්නවා.) 

යු.ජි. සිරිසේන සර්  කියන්නේ ජාතික ඇඳුම අඳින විනය උපරිම කරගත්ත කෙනෙක් තමයි. පන්තියට අපු ගමන් ම හැමෝම නැගිටලා ආචාර කරලා ලේන්සු දෙකක් (එකක් තිබ්බොතින් ඉවරයි. සර් කියන්නේ එකක් මුහුණ පිහදන්නත් අනික් එක හදිසියෙන් හොටු ආවොත් පිහදන්නත් තියෙන්න ඕනේ කියල. සිරිසේන සර් ගෙන් ඉගෙන ගත්ත උන් හැමෝම තාමත් ලේන්සු දෙකක් පාවිච්චිකරනවා ) ඩෙස්ක් උඩ  තියලා අත්  දෙක ඩෙස්ක් එක උඩ  තියාගෙන ඉන්න ඕනේ නියපොතු පේන  විදිහට. වැරදිලාවත් නියපොතු ටිකක් හරි වැවිලා තිබුනොත් එහෙම නැත්තන්  ලේන්සු දෙකක් නොතිබුනොත් ඇඟිලි කැඩෙනකල් අඩි රූලෙන් ගහනවා. 
ඔන්න ඉතින් යු. ජි. සර් ගේ හැටි. දැන් ඉතින් හිතගත්තහැකි නේද උන දේ. 

ඔන්න ඉතින් ඉතුරු ටික වෙච්ච විදිහ. බෙල් එක වැදුනා  විතරයි  සර් එනවා අපේ පන්තියට. ළමයි එක්කෙනෙක්වත් පන්තියේ නැහැ.

 සර්ට යකා  නැගලා පන්තියේ ළමයි හොයනවා ඉස්කෝලේ හැමතැනම. අන්තිමේදී ළමයි ටික පිට්ටනියේ කියලා දැනගෙන වෙනත් පන්තියක ළමයෙක් මගින් පණිවිඩයක් එවනවා වහාම පන්තියට එන්න කියලා. ඔන්න දැන් අපි ඔක්කොම පන්තියට එනවා වෙවුලමින් මොකද වෙනදේ දන්නවානේ. ඔන්න ඉතින් කොහොම හරි අපි පන්තියට එනකොට විනාඩි 15ක් විතර ගිහින්. හැමෝම  පූස් පැටව් වගේ ගිහින් වාඩි උනා.


 "ආයුබෝවන් සර්", "ආයුබෝවන්" සර් ගෙන් ප්‍රතිචාර.

"මොනිටර් ඉස්සරහට එනවා" මම හිමින් සීරුවේ සර් ලගට ගියා නෙවෙයි යැවුනා. " දැන් office එකට ගිහිල්ලා  වේවැල  අරගෙන එනවා"  මම ඉතින් කීකරු බලු කුක්කා වගේ වේවැල අරගෙන අවා. දැන් තමයි නඩු විභාගය. ඉස්සෙල්ලම මම. යම රජු ඉදිරියට පැමිණුන නිරී සතෙක් වගේ සර් ඉදිරියේ ඉන්නවා. 

"මොකද මගේ පන්තිය වෙලේ පිට්ටනියට ගියේ"

"සර් කලින් පීරියඩ් එකේ තිබුනේ සිංහල, ටීචර් ඇවිත් නැති නිසා ප්‍රින්සිපල් ගෙන් පර්මිෂන් අරගෙන තමයි ගියේ" .මම නියම ලෝ පොඉන්ට් එකක් දෙනවා.

"බොහොම හොඳයි,  බොහොම හොඳයි  ප්‍රින්සිපල් ගෙන් පර්මිෂන් ගත්තේ සිංහල  පීරියඩ් එකේදී පිට්ටනියට යන්න නේ, මගේ පාඩම වෙලේ පිට්ටනියේ ඉන්න නෙවේනේ"

දැන් දීපන්කෝ උත්තර, මමත් ඇරියේ නැහැ හැබැයි  දැන් මගේ දනිස් දෙක මැඩලින්  ගහනව. මම බොහොම පහත් හඬින් මෙහෙම කියනවා 

"බෙල් එක ඇහුනේ නැහැ සර්"

"අල්ලපන් අත" මාර දිව්‍ය පුත්‍රයා වගේ සර් කෑ ගහපි. "චාටස් ....." තරු දාහක් විසිඋනා.

 "යනවා ගිහින් වාඩිවෙනවා" මම අතට පිඹිමින් ගිහින් වාඩි උනා. ඔයින්  ගියා ඇති මම හිතින් කියවනවා. 

මම හිතපු විදිහට වැඩේ ඉවර උනේ නැහැ. සර් පන්තියේ කොනකින් පටන් ගත්තා.

"තමා එනවා ඉස්සරහට " කොනේම ඉස්සරහ පේලියේ හිටපු බුවා සර් ලඟට ගියා. කරුමෙක මහත මේකා මම අර මුලින් කියපු කඩාකප්පල් කාරයෙක්. මේකා දැන් මෙහෙම කියනවා 

"අනේ සර් අපි ඔක්කොම යන්න බැහැ කීවා මොනිටෝර් තමයි  අපිව එක්කගෙන ගියේ, ගියේ නැත්තම් බලාගෙනයි කියලා "ලන්දයා" අපිට බල කරා"

"මොනිටෝර්, ලන්දයා දෙන්නම එනවා ඉස්සරහට, ඇත්තද මේ කියන්නේ" අපි දෙන්නම නිහඬයි. 

"ලන්දයා අල්ලනවා අත ...  චටාස්..."  දැන් ඒ ගමන සර් මෙහෙම කියනවා

"දැන් දෙන්නම හැරෙනවා අනිත්  පැත්ත." 

" චටාස්.." මගේ පස්ස පැත්තට එකයි , "චටාස්.. චටාස්.." ලන්දයාගේ පස්ස පැත්තට දෙකයි . අපි දෙන්නා ඇරුනම පන්තියේ ළමයි 35 දෙනෙක් හිටියා ඒ 35 දෙනාගේම අතට එක බැගින් මගේ පස්ස පැත්තට 35 යි , ලන්දයාගේ  පස්ස පැත්තට 70යි".  අප්පා පශ්චාත් භාගයට ඒ වෙලේ දැනුන සනීපය 

සියලු දඬුවම් අහවර කල අදුරුතුමෝ මෙසේ පැවැසීය

 " එක ගානේ අතට ගැහුවේ පිට්ටනියට ගියාට නෙවේ, ගිය වැඩේ වෙලාවට ඉවරකරලා අනිත් වැඩේට වෙලාවට අවේ නැති නිසා. මොනිටෝර්ට ළමයි 35 දෙනා  වෙනුවෙන් පිටිපස්සට 35 ගැහුවේ වෙලාවට ළමයි 35 නැවත පන්තියට එක්කගෙන ඒමේ වගකීම පැහැරහැරීමට, ලන්දයාට ළමයි 35 දෙනා  වෙනුවෙන් (35 x 2) 70  ගැහුවේ බලහත්කාරකම් සහ චන්ඩිකම් වලට."

අදටත් වගකීමක් බාරගන්නකොට මේ සිද්දිය මතක් වෙනවා. ඒ නිසා හැකි උපරිමයෙන් එම වගකීම වෙලාවට ඉටුකිරීමට කටයුතු කරනවා. (හැබැයි මගේ මංගල දිනයේදීනම් නැකතට යන්න බැරි උනා.   හි.. හී..  හික් ...)

මේ සටහන යු. ජි. සර් ට උපහාර පිණිස. මෙවන් වූ ගුරු දෙවිවරු මතු බුදුවේවා !! 

පසු සටහන:
දැනට වසර 5 කට පමණ පෙර ගුරු උපහාරක් තිබුණා . එදා මම  යු. ජි. සර් ට වැඳලා එහෙම මෙසිද්ධිය මතක්කරලා කීවා "සර්ට පින් සිද්ද වෙන්න අදටත් මම වෙලාවට වැඩකරනවා සර් " කියලා. එතකොට සර් කියපි "අනේ කොල්ලෝ මම ඔච්චර් ගහල තියෙනවද" කියලා.

සැමරුම් – පළමු සටහන

සුන්දර අතීතයේ  මතකයන් කිහිපයක්  සටහන් තැබීමේ අදහසින් මෙම බ්ලොග් අඩවිය අරබන වග මෙසේ දැන්වා  සිටිමි.

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...