මාත් එක්ක එකතු වෙන්න

Thursday, December 19, 2013

වසර 1යි , පොස්ට් 100යි, හිට්ස් 36800යි.


මේක ගත්තේ ගුගල් කේක් කඩෙන්.
අනේ මන්දා කාලය ගතවෙන ඉක්මන නේද, අද වෙනකොට මේ බ්ලොග් එක පටන් අරගෙන හරියටම වසරක් ගත වෙනවා. ඒ එක්කම මේ පොස්ට් එක තමයි 100 වෙනි එක. මේ වෙනකොට හිට්ස් 36800 ට ටිකක් වැඩියි.

ඉතින් මේ තරම් දුරක් එන්න  තරම් සවියක් උනේ මගේ මේ බ්ලොගයට ගොඩවදින ඔයාලා නිසාමයි. ඒ නිසා මේ බ්ලොගයට ගොඩවදින සැමෝටම

බොහොම ස්තුතියි 


කියන්න තමයි මේ කෙටි සටහන ලිවේ. මගේ 50වෙනි පොස්ටුවේදී නම් සැම දෙනාගේම නම් ගම් සහිතව ස්තුති කළා. නමුත් දැන් කස්ටිය ගොඩාක් වැඩි නිසා එලෙස නම් ගම්  සටහන් කරන්න ගියොත් මේක ඉතා දීර්ඝ වෙන නිසා මෙලෙස සැමෝටම ස්තුති කරනවා.


Friday, December 13, 2013

බෝලයක ෆොටෝ එකක් ගනිමු ... ප්‍රායෝගික ක්‍රියාකාරකමක්


ෆොටෝ එක ගුගල් එකෙන්
ඡායාරුපකරණය ගැන ලිපි ගණනාවක් කියවීම නිසා, ඔබ සැමට මේ විෂය පිළිබඳව සැහෙන දැනුමක් තියෙනවා. අද  පොස්ට් එකෙන් ඉදිරිපත් කරන්න යන්නේ විශේෂ දෙයක්. ඒ  තමයි මේ විෂය ගැන උනන්දුවක් ඇති අයට කල හැකි ඉතා වැදගත් ප්‍රායෝගික ක්‍රියාකාරකමක්.

බෝලයක් අරගන්න. දැන් මේ බෝලය මේසයක් උඩින් තබන්න. දැන් ඔබ එම බෝලය දිහා සැම පැත්තකින්ම බලන්න. මොන පැත්තෙන් බෝලය බැලුවත් ඔබට දකින්නට ලැබෙන්නේ එකම ආකාරයේ දර්ශනයක්.  දැන් ඔබට කරන්න තියෙන්නේ මේ බෝලය එකිනෙකට වෙනස් ආකාර 8 කින් පෙනෙන ලෙස ඡායාරුපගත කිරීමයි.

ඔන්න වැඩේ මෙතෙක් කල් ඉගෙන ගත් දැනුම දැන් ප්‍රායෝගිකව පරික්ෂාකර බලන්න හැකියි. මේ සඳහා ඔබට ඕනෑම කැමරාවක් භාවිතා කරන්න පුළුවන්. මෙතැනදී වැදගත් වන්නේ ඔබ භාවිතා කරණ කැමරාව නොව ඔබ මේ සඳහා යොදාගන්නා තාක්ෂණයයි. මේ ප්‍රායෝගික දැනීම ඉදිරියෙදී   බොහෝ ප්‍රයෝජනවත් වෙනවා.


හැකිනම් ඔබ ගන්නා ඡායාරුප කමෙන්ට් වලින් ඉදිරිපත් කරන්න එවිට ඒ ගැන අපිට වැඩිදුර සාකච්චා කරන්න පුළුවන්

එහෙනම් දැන් වැඩේ කොරන එකයි ඇත්තේ.


Thursday, November 21, 2013

Food Photography


බ්ලොග් ලියන අපේ හිතවතුන් බොහෝ දෙනෙක්  ආහාර වර්ග හදන විදිහ ගැන පොස්ට් දමනවානේ. මට හිතෙන විදිහට ඒ අතින් මුල් තැනට ඉන්නේ  අපේ කුක්කු මාර හෙවත් මාරයා තමයි. මොනවා උනත් උගේ රෙසිපි නම් මාර රෙසිපි තමයි. 

 දැන් ඉතින් හැමෝම වගේ මේ කෑම ගැන උනන්දු වන එකේ මං තුමා විතරක් අහවල් දේකටද මේගැන නොලියා ඉන්නේ කියලා හිතුනා.ඔන්න එහෙනම් මමත් අත දැම්මා වැඩේට. හෝව්... හෝව්.. කලබොල වෙන්න කාරී නැහැ. මේ පොස්ට් එක ආහාර හදන හැටි කියලා දෙන්න නම් නෙවෙයි. ආහාර වර්ග ෆොටෝ අල්ලන හැටි කියලා දෙන්න. එහෙනම් වැඩේ පටාන් ගමු.

Food Photography කියන්නේ ඡායාරුප කලාවේ තවත් එක අංගයක්. මෙය වාණිජ ඡායාරුප කරණය යටතට ගන්න පුළුවන්. මේ අංශය දියුණු කලොත් හොඳ ආදායමක් එහෙමත් ලබන්න බැරි කමක් නැහැ.

Food Photography වල මුලික දේ වන්නේ අපි ගන්නා ඡායාරුපය ඉතා සජීවී ලෙස දැක්වීමයි. කොටින්ම කියනවානම් ෆොටෝ එක දැක්ක  ගමන් කටට කෙල ඇවිත් ෆොටෝ එක හරි කන්න හිතෙන්න ඕන.  ඉතින් මේ සඳහා අපි ඡායාරුප ගත කරණ වස්තුවට ඉතා හොඳ ආලෝක කරණයක් ලබාදෙන්න ඕන. ඒ තුලින් අපිට එම ආහාර වල නැවුම් බව ඉස්මතු කරලා පෙන්නන්න පුලුහන්.

ඒ වගේම වැදගත් අනිකුත් කාරණය වන්නේ ආහාර සකසන ආකාරයයි (arrangement) . මේ සැකසීමේදී ආහාර වල වර්ණ සමබර කරගැනීමද ඉතා වැදගත්. ඒ තුලිනුත් ඡායරුපයට විශාල බලපෑමක් කරන්න පුලුහන්.

මම දැකපු තවත් දෙයක් තමා,  බොහෝවිට ආහාර පිගානකට බෙදලා එයට ඉහලින් කෙලින්ම කැමරාව මානලා ෆොටෝ ගන්න එක. මේ තියෙන්නේ ඒ වගේ එකක්.


නමුත් මං තුමාගේ පුද්ගලික අදහස නම් ඉහත ආකාරයට ඡායාරුප ගැනීම ඉතරම් හොඳ මදි කියන එකයි. ඒ ඡායරුපයෙන් අපිට හැඟෙන්නේ නිකම්ම නිකම් කෑම පිගානක්. නමුත් කැමරා කෝණය වෙනස්කිරීම හෝ සම්පුර්ණ පිගාන වෙනුවට ඉන් කොටසක් පමණක් පෙනෙන ලෙස ඡායාරුප ගත කිරීම වඩා සාර්ථක බව මං තුමාගේ අදහසයි. මේ පහල තියෙන ෆොටෝ එක වඩා සාර්ථකයි නේද?


මේ පහල තියෙන ෆොටෝ කීපය බලන්න. මේ සැම ෆොටෝ එකක්ම DSLR එකකින් ඉතා හොඳ ලෙන්ස් එකක් සහිතව ගත්ත ඒවා.






මේ පහල තියෙන ෆොටෝ එක අරගත්තේ ෆෝන් කැමරා එකකින්. නමුත් ඒ ෆොටෝ එක ඉතා හොඳ තත්වයේ තියෙනවා.
ඒ නිසා, අනේ අපිට කොහින්ද DSLR කියලා හිතන්නේ නැතිව, තමන් අත තියෙන ඕනෑම කැමරාවකින් ෆොටෝ ගන්න උත්සාහ කරන්න. මං තුමා සැමදාම කියනවා වගේ ඔබව හොඳ ඡායාරුප ශිල්පියෙක් බවට පත් කරන්නේ ඔබගේ උනන්දුව, කැපකිරීම, දක්ෂතාවය වැනි කරුණු මිස ඔබ අත ඇති කැමරාව නොවන බව කිසි විටකත් අමතක කරන්න එපා.

Wednesday, November 13, 2013

ඇට දෙකම කැඩුනොත් දොස්තර මොකක්ද කරන්නේ?

ඇට දෙකම කැඩුන වෙලාවක දොස්තරලා කරපු වැඩක් ගැන මං තුමා කලින් ලියලා තියෙනවා. අමතක අය මෙතනින් ගොහින් බලාන අවොතින් හොඳා. අපොයි මගේ ඇ* (18+)

නමුත් මේ ලියන්නේ  ඒ වගේ එකක් ගැන නෙවේ. සත්‍ය සිදුවීමක්. සැමෝටම වෙන්න පුලුහන් අකරතැබ්බයක්, දොස්තරලාගේ නොසැලකිලිමත් කම ගැන.  ඒ නිසා හැමෝම මේ ගැන විමසිලිමත් උනොත් හොඳා. මේක වෛද්‍ය විද්‍යාව ගැන පොස්ට් එකක් නොවයි.

මතක ඇති නේ අපේ පොඩි එකා මේ වසරේ ජනවාරි මාසේ අත කඩා ගත්තා. මෙන්න මේ ලිපියට ගිහින් බලන්න පොලිසියෙන් කලා පොළ කයි එකා අත කඩාගෙන ඉන්න ෆොටෝ එකක් දෙකක් එකේ තියෙනවා. ඒ සැරේ අත කඩා ගත්තා කීවට එක බොහොම සුළු අස්ථි බිඳීමක් (hairline fracture) ඒ කියන්නේ අස්ථියක ඇතිවන ඉතාම සුළු ඉරි තැලීමක්. එවැනි අවස්ථාවක කරන්නේ ඒ අස්ථිය පිහිටි කොටස  නොසෙල්වන සේ තබා, කැල්සියම් ලබාදීම. එවිට සති කිහිපයකදී එම ස්‌ථානය  වැසි යනවා.

ඔන්න ඉතින් දැනුයි කතාව පටන් ගන්න යන්නේ, ඔය කලින් කිව අස්ථි බිඳීම පොඩිඑකාට මදි උනාද මන්දා, සැප්තැම්බර් මාසේ 6 වෙනිදා මේකා අපහු අත කඩා ගත්තා. පාසැලේ සිට මට දුරකථන ඇමතුමක් ලබාදුන් ගුරුවරයෙක් කියා සිටියා "පුතා  පාසලේදී  වැටිලා වහාම එන්න" කියා. ඉතින් මගේ ඔෆිස් එකේ ඉඳන් කොලුවගේ පාසැලට තියෙන්නේ හුවක විතර දුරක්. ගිහි බලනකොට වැටුන පාරට අපහු අත කැඩිලා.  වහාම x-කිරණ සටහනක්  ලබාගත්තා. මේ තියෙන්නේ ඒක.

කොහොමද වැඩේ ඇට දෙකම කැඩිලා. වහාම ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුල් කළා. එදිනම රාත්‍රී 12.00 ට පමණ මේ කැඩුණු අස්ථි නැවත සකස් කරලා ප්ලාස්ටරයක් (POP) දැම්මා.

ඔය අවසානයට තියෙන්නේ POP එක දැමීමෙන් පසුගත් x-කිරණ සටහන. හොඳින් බලන්න එහි එක අස්ථියක් නියමාකාරයෙන් සවි වී නොමැති බව පැහැදිලිව පෙනෙනවා.

පසු දින උදේ විශේෂඥ වෛද්‍යවරයා ගෙන් මේ ගැන විමසු විට ඔහු කියා සිටියේ මෙය ඉතා සාර්ථ බවයි. ඔහු සමග සිදු වූ සංවාදය මේ ආකාර උනා.

මේ x-කිරණ සටහනට අනුව එක අස්ථියක් නියමාකාරයෙන් සවිවී නැහැ මේ ගැන ඔබ මොකක්ද කියන්නේ?

අස්ථි දෙකම නියාමාකාරයෙන් සවි කිරීම අනවශ්‍යයයි , මෙය ඉතා සාර්ථකයි.

එසේ නම් එක අස්ථියක් පමණක් බිඳුන රෝගියෙක් පැමිණි විට ඔබ එම අස්ථිය යතා තත්වයට පත් කරන්නේ නැතිද?

එවිට අපි එම අස්ටිය නියමාකාරයෙන් සකස් කරනවා.

එසේනම් ඔබ මෙහිදී අස්ථි දෙකම නියමාකාරයෙන් සකස් නොකළේ ඇයි?

අස්ථි දෙකම නියාමාකාරයෙන් සවි කිරීම කලනොහැකියි, අස්ථි දෙකම බිඳුන විට අප කරන්නේ එක අස්ථියක් නියමාකාරයෙන් සකස් කිරීමයි,
එසේනම් දැන් ඔහු පසුවන්නේ එක අස්ථියක් බිඳුන කෙනෙකුගේ තත්වයෙන් නොවේද? ඔබ නැවත දිනක එම අස්ථිය යතා තත්වයට සකස් කරනවාද?

එසේ කරීමට අවශ්‍ය නැහැ, එක කාලයත් සමග හරියාවි.

දැන් ඉතින් මගේ මල ඉතා හොඳින් පැන ඇත, දොස්තරයා ගේද පුෂ්පය විකසිත වීමට ආසන්නව ඇති බව මට දැනුනි. මේ සංවාදය මෙතම් දුරක් හෝ පැවැත්වීමට හැකි වුයේද  සුද්දාට පින් සිදුවන්න උගේ භාෂාව භාවිතා කල බැවිනි. තව දුරටත් මේ සංවාදය පැවැත් වීමෙන් සිදු වන්නේ අනිවාර්යයෙන් දොස්තරගේ කන හරහා පහරක් ගැසීමට සිදුවීමත්, එහි අතුරු ප්‍රතිපල ලෙස රිමාන්ඩ් බන්ධනාගාරය පිලිබඳ බ්ලොග් සටහනක් ලිවීමට සිදුවීමත් බව වැටහුණු නිසා සංවාදය එතකින් නිමා කරන ලදී.


දැන් ඉතින් දින 5ක් දිවා රාත්‍රී රෝහලේ ගත කරන්න උනා. මුන්ගේ වැඩ ගැන කිසිම ලෙසකින් සෑහීමකට පත්වීමට නොහැකි නිසා, විටින් විට ඔහුගේ ඇඟිලි වල රුධිර ගමනාගමනය සිදුවන ආකාරය නිරීක්ෂණය කරමින්, සැක සහිත අවස්ථාවන් වල හෙදියන්ට දන්වමින් එම දින 5 ගත කළා. 

රෝහලෙන් පිටවූ වහාම නැවත කලේ x-කිරණ සටහනක් ගැනීමයි. මේ තියෙන්නේ එම සටහන.


එම x-කිරණ සටහනට අනුව, නියමාකාරයෙන් සවි නොවූ අස්ථිය සම්පුර්ණයෙන්ම විසන්දී වී ඇති ආකාරය පැහැදිලිවම දක්නට ලැබෙනවා. ඉන් පසු එම x-කිරණ හටහන විශේෂඥ වෛද්‍යවරයා වෙත පෙන්වූ  විට ඔහුගේ පිළිතුර පෙර පරිදිම උනා. 

මෙම විශේෂඥ වෛද්‍යවරයා වන්නේ  වෛද්‍ය ප්‍රදීප් ෆර්නැන්ඩෝ. 

මේ x-කිරණ සටහන් වලට අනුව කොළඹ ජාතික රෝහල මගින් ලබාදුන් ප්‍රතිකාර පිලිබඳ  කිසිසේත් සෑහීමකට පත්වීමට නොහැකියි. ඒ නිසා මේ සියලුම x-කිරණ සටහන්, වෙනත් රෝහලක විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයකු වෙත යොමු කළා. 

එවිට ඔහු කියා සිටියේ,ජාතික රෝහලේ සිදුකල ක්‍රියාව සම්පුර්ණයෙන්ම අසාර්ථක බවත්, එලෙස එම අස්ථින් සවිවිමට ඉඩ ලබා දුනහොත් රෝගියාට කිසිදිනක තම අත හැරවීමට නොහැකි  වන බවත්ය. ඔහුගේ අදහස උනේ වහාම ශල්‍ය කර්මයක් කොට අස්ථි දෙක නියමාකාරයෙන් සකස් කොට ඇට මිදුළු හරහා K-wire නම් වන කම්බි දෙකක් ඇතුල් කල යුතු බවත් මාස 6 ට  පමණ පසු එම කම්බි දෙක ඉවත් කිරීමට හැකි බවත්ය. ඒ අනුව ඔහු කෙරෙහි සම්පුර්ණ විශ්වාසය තබා එම ශල්‍ය කර්මය සිදු කිරීමට අවසර ලබා දුන්නා. ඔහු විසින් එදිනම සවස පැය 2 ක පමණ කාලයක් වැය  කරමින් සාර්ථක ලෙස එම ශල්‍ය කර්මය සිදුකලා. මේ තියෙන්නේ ඊට පසු ලබාගත් x-කිරණ සටහන. (ජාතික රෝහලේ ක්‍රියාව පිළිබඳව, වෛද්‍ය ප්‍රදීප් ෆර්නැන්ඩෝට එරෙහිව  නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තුවන නිසා දෙවන වර ශල්‍ය කර්මය සිදුකල රෝහල හෝ වෛද්‍ය විශේෂඥවරයා පිළිබඳව මෙහිදී සඳහන් නොකරමි)



එම ශල්‍ය කර්මයෙන් පසු දාමු POP එක ඉවත් කලේ දැනට සුමාන දෙකකට කලින්. දැන් ඔහුට දිනපතාම භෞතචික්තිසාව (physiotherapy) ලබාදීම සිදුවෙනවා. එය දිනපතා මාස දෙකක් පමණ කාලයක් ලබාදිය යුතු බව තමයි පවසන්නේ.

දැන් කාලයේ හැටියට නම්  වෛද්‍යවරයකු වෙත යාමට පෙර රෝගියා සහ ඥාතින් රෝගය පිළිබඳවත් එයට ලබාදිය යුතු නිවැරදි ප්‍රකිකාර පිළිබඳවත් යම්  හෝ දැනුවත් වීමක් ලබාගැනීම වඩාහොඳ බව මගේ පුද්ගලික වැටහීමයි.

ඔන්න ඔය සිදුවීම නිසා තමයි පහුගිය මාස දෙකක පමණ කාලයක් මේ පැත්තේ  ගොඩවෙන්න නොහැකි උනේ. ඒ කාලය තුල බොහෝ දෙනක් මා ගැනසොයා බැලුවා. සමහර අය ඊමේල් වලින් වගේම, දුරකතනයෙන් පවා විටින් විට කතාකලා. මගේ ඊමේල් සහ දුරකථන අංක නැති අය කමෙන්ට් වලින් සොයා බැලුවා. ඒ සැමෝම දැක්වූ සහෝදරත්වය ඉතා අගය කරනවා.

Thursday, September 5, 2013

මොකක්ද මේ VR ?



ඔන්න ලමයි පොඩි විවේකයක් ඕනා කියපු නිසා විහිළු කතා දෙකක්ම දුන්නා, දැන් ඉතින් ආපහු අපේ ෆොටෝ පාඩමට යමු. පසු  ගිය දිනක  පල කල "zoom එක මදිද?" පොස්ට් එකට කොමෙන්ට් කරලා සෙන්නා අහල ප්‍රශ්නෙකුයි එයම මං තුමා දුන්න උත්තරෙයි මෙන්න තියෙනවා.


මේ ගැන පසුව පොස්ට් එකකින් පැහැදිලි කරන්නම් කීවට මං තුමාට එක අමතක වුනා. අද මට ඊයක් විදලා අමිල නිරෝෂන් මලයා මේ ගැන මතක් කරලා තිබුනා. මේ ගැන මතක් කලාට ඔබට බොහොම ස්තුතියි අමිල.

අපි බොහෝ විට ඡායාරුප ගන්නේ කැමරාව අතේ තියාගෙන (hand held) එවිට අඩු ද්වාර වේගයන් (slow shutter speed) භාවිතා කිරීමේදී, අපේ අතේ ඇතිවන සුළු සෙලවීමක් (camera shake) නිසා වුවද ඡායාරූපයේ පැහැදිලි තාවයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. මෙවැනි ඡායාරුප අපි blur image ලෙස හඳුන්වනවා. පහත ඇති ඡායාරුපය බලන්න.
camera shake දෝෂය සහිතයි.
දැන් අපිට ඇතිවන ප්‍රශ්නය තමයි කැමරාව අතේ තියාගෙන ෆොටෝ ගැනීමේදී camera shake දෝෂය නැතිව ෆොටෝ ගත හැකි  අවම ද්වාර වේගය (shutter speed)  කුමක් ද යන කාරණය. මේ අවම ද්වාර වේගය අපි භාවිතා කරණ කාචයේ නාභි දුර අනුව වෙනස් වනවා.  මේ සඳහා ඉතා සරල සමීකරණයක් තියෙනවා එය හඳුන්වන්නේ rule of thumb ලෙසයි.  එනම්

අවම  ද්වාර වේග =  1/ කාචයේ නාභි දුර 

 මි.මි. 18 කාචයක් භාවිතා කිරීමේදී  1/18 
 මි.මි. 50 කාචයක් භාවිතා කිරීමේදී  1/50 
 මි.මි.  100 කාචයක් භාවිතා කිරීමේදී  1/100 
 මි.මි. 300  කාචයක් භාවිතා කිරීමේදී  1/300

නමුත් පළපුරුදු දක්ෂ ඡායාරුප ශිල්පියෙකුට මිට වඩා අගයන් දෙකක් හෝ තුනක් පමණ පහලින් සිටින සේ ද්වාර වේග සකසා සාර්ථක ඡායාරුපයක් ගැනීමට හැකියාව තිබෙනවා.

මොකක්ද මේ VR  එහෙම නැතිනම් IS ලෙන්ස් කියන්නේ?

අපි ඉහත ඉගෙනගත්ත rule of thumb එකට අනුව දැන් අපි දන්නවා කාචය අනුව, කැමරාව අතේ තබාගෙන ෆොටෝ ගැනීමේදී යොදාගන්න ඕන කරණ අවම ද්වාර වේගය (shutter speed)  කුමක් ද කියා. මේ VR එහෙමත් නැතිනම් IS ලෙස හඳුන්වන්නේ කාචයට යොදා ඇති තාක්ෂණික ක්‍රමයක් මගින් මේ අවම ද්වාර වේගය (shutter speed)   තවත් දුරට අඩුකර දීමයි. VR  වලදී  සාමාන්‍ය අගයට වඩා අගයන් දෙකක් ද VR -II වලදී අගයන් හතරක් ද ලෙස ද්වාර වේගය අඩු කල හැකියි)

VR සක්‍රිය නොකර

VR සක්‍රිය කර
මෙම තාක්ෂනය  Canon හඳුන්වන්නේ   IS (Image Stabilization) ලෙස සහ Nikon හඳුන්වන්නේ   VR (Vibration Reduction) ලෙසයි. නමුත් මේ දෙකේම ඇත්තේ එකම තාක්ෂණයයි.  එනම් කාචය තුල ඇති එක ලෙන්ස් එකක් VR unit එකක්  ලෙස සකස් කර තිබීමයි. මෙහිදී  කැමරාවේ ඇතිවන සෙලවීම දැනගත හැකිවන මෝෂන් ඩිටෙක්ටරයක් මගින් එහි ඇතිවන සෙලවිමෙහි ප්‍රමාණය සහ දිශාව තීරණය කර ඒ අනුව එයට ප්‍රතිවිරුධව මෝටරයක් මගින් මේ කාචය චලනය කරවීමෙන්, සෙන්සරය මතට ලැබෙන ප්‍රතිබිම්බය ස්ථාවරව තබාගැනීමයි.




ඉහත තිබෙන flash applet එකේ තිබෙන play එක ඔබලා බලන්න. ඊට අමතරව මේ පහත තියෙන වීඩියෝ දෙක බලන්න, එවිත ඔබට මේ VR ක්‍රියාකරන ආකාරය ගැන හොඳ වැටහීමක් ලැබේවි.





Wednesday, August 21, 2013

නොමිලයේ Zoom ලෙන්ස් එකක්


කලින් පොස්ට් එකෙන් අපි කතා කලේ ටෙලි ලෙන්ස් එකක නාහි දුර වැඩි කරගැනීම පිණිස යොදාගන්න පුළුවන් ටෙලි කන්වර්ටර් ගැන. මීළඟ පොස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අඩු නාභි දුරක් ඇති කාව ගැන සහ මේ එක එක වර්ගයේ කාචයන් භාවිතා කරන්නේ කුමන අවස්ථාවන් හි ඡායාරුප ගැනීම සඳහාද යන කාරණයයි.

ඉහත රුපයෙන් දැක්වෙන්නේ Nikon විසින් නිෂ්පාදනය කර ඇති මි.මි. 800 නාභි දුරක් ඇති ටෙලි ලේන්සයයි. මෙය තමයි නිකොන් වල දැනට ඇති විශාලතම ටෙලි ලේන්සය. මෙහි මිල ඩොලර් 17,899.95  පමණ වෙනවා. ඉතින් මෙතරම් මිලක් ගෙවා මෙවැනි කාච ලබාගන්නේ ඇයි? නාභි දුර වෙනස් වීමේදී අපට ලැබෙන රුපය වෙනස්වන ආකාරය කෙබඳුද? වැනි කාරනා ගැන බොහෝ දෙනෙක්ට අත්දැකීම් නැහැ. ඒ නිසා මේ කාච වල හැසිරීම පිලිබඳ පොඩි ප්‍රායෝගික අත්දැකීමක් තිබුනොත් හොඳයි කියලා හිතුනා. ඒ ගැන සොයා බලාන කොට නිකොන් වෙබ් අඩවියේ ඉතා හොඳ simulator එකක් තිබුනා. ඔන්න ඕගොල්ලන්ගේ පහසුව සඳහා එම සිමියුලේටර් එක සහිත පිටුව මෙම අඩවියේම ඇතුල් කළා.

දැන් ඉතින් මේ simulator එකට ගිහින් කාච වල නාභි දුර වෙනස්කරමින් බලන්න. ඒ වගේම කැමරා බොඩි එක FX සහ DX ලෙස වෙනස් කරමින් බලන්න. FX කියන්නේ Full Frame සෙන්සරයක් සහිත කැමරා සහ DX කියන්නේ APS සෙන්සරය සහිත කැමරා.  සෙන්සර් ෆොර්මැට් ගැන මේ පොස්ට් එක බලන්න 

එමෙන්ම ඒ ඒ වර්ග වෙනුවෙන්  FX සහ DX ලෙස ලෙන්සයන් තිබෙනවා. FX කැමරාවක් වෙනුවෙන් යොදාගත යුත්තේ FX ලෙන්ස් වන අතර DX ලෙන්ස් යොදාගැනීමේදී රුපයේ සිදුවෙන වෙනස දකින්න. නමුත් DX කැමරා සඳහා මේ දෙවර්ගයේම ලෙන්ස් යොදාගන්න පුළුවන්.

දැන් එහෙමනම් මේ පහල තියෙන simulator එක සමග ටිකක් කාලය ගත කරන්න.

Friday, August 16, 2013

Zoom එක මදිද?

 

මිට කලින් අපි කථා කලේ ෆෝන් කැමරා එකට ටෙලිෆොටෝ ලෙන්ස් එකක් සවිකරන ආකාරය ගැන. අද මේ පොස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වන්නේ කැමරාවේ ඇති ලෙන්ස් එකේ නාභි දුර (focal length) එක වැඩි කරගන්න හැකි ක්‍රමයක් ගැන.

මෙතෙක් අපි ඉගෙන ගත් කරුණු අනුව අපි දැන් දන්නවා, වැඩි නාභි දුරක් ඇති කාච ටෙලි ෆොටෝ ලෙන්ස් ගණයට වැටෙන බවත්,  නාහි දුර වැඩි වන විට,  වැඩි දුරකින් ඇති වස්තුවක් ඡායරුපයට නැගිය හැකි බවත්. මේ පහත තියෙන ෆොටෝ කිහිපය බලලා ඒ පිලිබඳ මතකය අලුත් කරගන්න. ඔය  ෆොටෝ කීපය මාලිගාතැන්න අරණ්‍ය සේනාසනය ගැන ලියවුන පොස්ට් එකේදී දකින්න ඇති නේද? 

18 මි.මි. ලෙන්ස් එක යොදාගෙන 

 50 මි.මි. ලෙන්ස් එක යොදාගෙන 

 300 මි..මි. ලෙන්ස් එක යොදාගෙන 

දැන් අපිට මීටත් වඩා මේ රුපය ලංකර ඡායාරුපයක් ගැනීමට අවශ්‍ය වූ විට කරන්න තියෙන්නේ මි.මි. 300 වඩා වැඩි නාභි දුරක් ඇති කාචයක් කැමරාවට සවිකර ගැනීමයි. නමුත් එය කල හැකිවන්නේ කැමරා කාච මාරුකිරීමේ පහසුකම ඇති DSLR හිමියන්ට පමණයි. නමුත් මි.මි. 300 වඩා වැඩි නාභි දුරක් ඇති කාච ඉතාම මිල අධික වෙනවා. Nikon කැමරා සඳහා මිට පසුව ඇත්තේ මි.මි. 400 කාචයක්.

400 mm Nikon 



ඉහත රුපරාමුවලින් දැක්වෙන්නේ මි.මි. 400 නිකොන් ලෙන්ස් එකක් සහ එය කැමරාවට සවිකර ඇති ආකාරය. මේ ලෙන්ස් ඉතාම මිල අධික වෙනවා. US $ 3000 කට වඩා වැඩි මිලක් ගන්නවා. එමෙන්ම බ්‍රිජ් සහ point & Shoot කැමරා භාවිතා කරණ අය එම කැමරාවේ ඇති ලෙන්ස් එකට සිමාවෙනවා.  මේ සීමාවන්ට ඇති සරල සහ මිල අඩු විසඳුම වන්නේ Teleconverter එකක් භාවිතා කිරීමයි.

Teleconverter

Teleconverter එකක්  යනු විශේෂිත ලෙන්ස් එකක්. මෙය ආකාර දෙකකට නිෂ්පාදනය වෙනවා. එනම්, කැමරා බොඩිය  සහ ලෙන්ස් එක අතරට යෙදිය හැකි මාදිලිය  සහ කැමරා ලෙන්ස් එකට ඉදිරියෙන් ෆිල්ටර් යොදන කොටසට සවිකල හැකි මාදිලිය ලෙසට.

කැමරා බොඩිය  සහ ලෙන්ස් එක අතරට 

කැමරා ලෙන්ස් එකට ඉදිරියෙන් Teleconverter සවිකර ඇත 

මෙම Teleconverter විවිධ විශාලනයන් ගෙන් නිෂ්පාදනය කරනවා එනම් 1.2X, 1.5X, 2X, 3X යනාදී වශයෙන් .  මෙහි  x ලෙස සඳහන් වන්නේ එහි විශාලනයයි. මේ පහත දැක්වෙන්නේ විවිධ ප්‍රමාණ වල Teleconverter කිහිපයක්. 


ඉහත දක්වා තියෙන්නේ කැමරා බොඩිය  සහ ලෙන්ස් එක අතරට  සවිකරන DSLR සඳහා භාවිතා කරණ, විශාලනයන් කිහිපයකින් යුක්ත  Teleconverter කිහිපයක්. පහත රුපයෙන් දැක්වෙන්නේ කැමරා කාචයට ඉදිරියෙන් සවිකරන මාදිලියේ ටෙලි කන්වර්ටර කිහිපයක්.


බ්‍රිජ් කැමරා සඳහා යොදාගත හැකිවන්නේ ඉහත ආකාරයේ කැමරා කාචයට ඉදිරියෙන් සවිකළ හැකි මාදිලියයි.

වැදගත් :
මෙලෙස Teleconverter යොදාගැනීමෙන් ඔබගේ optical zooම එකේ විශාලත්වය වැඩිකරගත හැකි වේ. නමුත් Teleconverter මිලදී ගැනීමේදී ඉතාම ඉහල තත්වයේ නිෂ්පදානම මිලදී ගන්න. මෙම උසස් තත්වයේ Teleconverter මිල අධික වුවත් ඔබගේ ඡායරුපයේ ගුණාත්මක භාවය රැක දෙණු ඇත. මිල අඩු Teleconverter කිසිවිටකත් මිලදී ගන්න එපා. ඒ මහින් ලබාගන්නා ඡායාරුප තත්වයෙන් ඉතාම පහල මට්ටමක් ගන්නවා.

Sunday, August 11, 2013

එළවලු කඩේ නිවුන්නු....

මේ දෙන්නා ගුගල් එකෙන් 
මං තුමා පහුගිය දොහක එළවලු පලතුරු ටිකක් ගන්න ගියා.  සුපුරුදු ලෙස මේ ගමනට අයිලාශිනි සහභාගී වුනා. එදා රියදුරු තනතුරේ වැඩ බැලුවේ ලොකු පුතණ්ඩියා. ඉතින් අපි තුන්දෙනා දැන් එළවලු තෝරනකොට මං තුමාගේ උකුසු ඇසට හසුවුණා එළවලු ගොඩක් අසල පොඩි නිවුන්නු දෙන්නෙක්. කිසි කෙනෙක් මේ දෙන්නා දිහා බලන්නේ නැහැ. මේක දැක්කා විතරයි මගේ පපුව හෝස් ගාලා ගියා. "අනේ පවු අසරණයෝ දෙන්නා" මටම කියාගනිමින් මේ දෙන්නා අතට ගත්තා.

"අනේ තාත්තේ හරිම ෂෝක් .. අපි ගෙනියමු"

"අපෝ ඔව් මොන හිතකින් මෙතැන දාලා යන්නද, කිසි කෙනෙක් ගේ හව් හරණක් නැහැ.. කඩේ අයට සල්ලි දීලා හරි මේ දෙන්නා ගෙනියමු"

"අනේ අයිලාෂ්.... ඔය මොන ජරාවක්ද? තියන්න, තියන්න, ඕවා ගෙදර අරගෙන යන්න බැහැ.. ඔයාට ඉතින් මොන දේ දැක්කත් ගෙදර අරන් යන්න ඕන.. :("

"එහෙම කියන්න එපා අයිලාශිනි, ඔයා කොහොම කිවත් මේ දෙන්නා නම් මම මෙතැන දාලා යන්නේ නැහැ"

"අනේ ඔව් අම්මේ අපි ගෙනියමු...., පවුනේ, අනික තාත්තාගේත් හිත රිදෙනවා ඔය දෙන්නා මෙතැන දාලා ගියොත්"

වැඩේ 2/3 චන්දෙන් සම්මත උනා. දැන් මේ දෙන්නා මගේ අතේ. ඒ ගොල්ලන්ගේ ඇඟේ ගෑවිලා තිබුන පස් එහෙම මම ටිකින් ටික මගේ අතින්ම පිස දමමින් බොහොම පරිස්සමින් අතේම තියාගෙන හිටියා. එළවලු ගන්න ආපු අනිත් මිනිස්සුත් දැන් මේ ගැන විපරම.

අවසානයේ අපි එළවලු වලට මුදල් ගෙවලා අහවර උනහම, මම මුදලාලිගෙන් මෙහෙම ඇහුවා.

"මුදලාලි, මේ දෙන්නට කියක් ඕනෙද?"

"කියක් හරි දීලා ගෙනියන්න මහත්තයා, අම්මාපා..., මමත් මෙච්චර හිටියට දැක්කේ නැහැ නේ?"

මුදලාලියෙක් නිකන්ම දෙයි අහක දාන දෙයක්වත්.  මුගේ දැන් කතාව දැක්කේ නැහැ කියලා.  හුහ්..

දැන් ඉතින් ඉතිරි බඩු ටිකත් අරගෙන ගෙදර ආපු මම ඉසේල්ලම කලේ මේ දෙන්නව නාවලා එහෙම ෆොටෝ එකක් දෙකක් ගන්න රාජකාරිය ලොකු පුතාට පවරපු එක. මිනිහත් ඇරියේ නැහැ වැඩේ, බේසමකට දාලා සඳුන් මිශ්‍ර ෂැම්පු  වතුරෙන් නෑවුවා ගඳ යන්නත් එක්ක කියලා.

ඔන්න එහෙනම් බලන්න මේ දෙන්නා බේසමට බැහැලා සන්තෝෂෙන් ඉන්න හැටි.








Wednesday, August 7, 2013

සල්ලි, දෙය්යන් ගේ මල්ලි


මම කලින් රැකියාව කල ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක වරයා නිතරම කිවේ  "මගේ සල්ලි වලින් කරන්න බැරි දෙයක් නැහැ" කියලා. නමුත්  මං තුමා නම් ඒ කියමන කිසිසේත් විශ්වාස කලේ නැහැ.  ඔහු පමණක් නොවෙයි ,බොහෝ ධන කුවේරයන්  සිතාගෙන සිටින්නේ ද  "මගේ සල්ලි වලින් කරන්න බැරි දෙයක් නැහැ" කියායි.

නමුත් සල්ලි බලෙන් කරන්න බැරි දේවල් බොහෝම  තිබෙනවා. මේ තියෙන්නේ  මට විද්ද ඊයක තිබුන,  සල්ලි වලින් කල හැකි සහ නොකළ හැකි දේවල් කිහිපයක්. ඉතින් ඒ ටික මම දන්නා විදිහට සිංහල වලට හැරෙවුවා.  එහෙනම් කියවලා බලන්න. ඩුඩ් සෑර්, අඩුපාඩු  පෙන්නලා දෙනවානම් බොහොම පිං.


1. මුදලින්  ඔබට තනතුරු ලබාගත හැකි වුවත් ගෞරවය ලබාගත නොහැක.
With Money you can buy a position but not respect


2. මුදලින් ඔබට පොත් මිලදී ගත හැකි මුත් දැනුම මිලදී ගත නොහැක.
With Money you can buy a book but not knowledge


3. මුදල් ඇත්නම් ඔබට ඇඳක්  මිලදී ගත හැක නමුත්  නින්ද මිලට ගත නොහැක.
With Money you can buy a bed but not sleep


4 . ඔරලෝසුවක් මිලදී ගත හැකි මුත් කාලය මිලදී ගත නොහැක.
With Money you can buy a clock but not time


5. මුදල් ගෙවා වෛද්‍ය උපදෙස් ලබාගත හැකි වුවද, ඔබගේ සෞඛ්‍යය මිලදී ගත නොහැක.
With Money you can see a doctor but not good health


6.මුදල් ගෙවා රුධිරය ලබාගත හැකිමුත් ජීවිතය ලබාගත නොහැක.
With Money you can buy blood but not life


7. මුදල් වැයකර සත්‍ය සැඟවිය හැකිවුවද,  එය ඔබගේ හෘර්ද සාක්ෂියෙන් සැඟවිය නොහැක.
With Money you can hide the truth but not from your soul and heart


8. මුදල් වැයකර චන්දය ලබාගත හැකි මුත් මහජන ප්‍රසාදය ලබාගත නොහැක.
With Money you can win elections but not the respect from citizen


Sunday, August 4, 2013

කැමරා ෆෝන් එකට ටෙලිෆොටෝ ලෙන්ස් එකක්

මිට කලින් පලකල මෙයා දැකලා තියෙනවද?පොස්ට් එකට උකුස්සා මෙන්ට් කමෙන්ට් එකක් දාලා, අහලා තිබුණා කැමරා ෆෝන් එකට ටෙලි ෆොටෝ ලෙන්ස් එකක් සවිකරන්න පුලුවන්ද කියලා. ඒ වෙලේ මං තුමා පොරොන්දු උනා ඒ ගැන වෙනම ම විස්තරයක් පින්තුර සහිතව පලකරන්නම් කියලා. අද ඒ පොරොන්දුව ඉෂ්ට කොරන්න තමයි මේ ලක ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් මේ පහළ තියෙන පින්තුර වලින් බලාගන්න ෆෝන් කැමරා එකට අමතර ලෙන්ස් එකක් සවිකරන හැටි.


  






මං තුමාගේ ලොකු පුතණ්ඩියා ට මේ ජාතියේ එකක් අවශ්‍ය වෙලා තිබුණා. මේ විදිහේ ලෙන්ස් ලංකාවෙන් හොයාගන්න බැරි උන නිසා, මං තුමාගේ හිතවතෙක් මාර්ගයෙන් ගෙනල්ලා දුන්නා. වැඩි මිලක් උනෙත් නැහැ. මේ ෆොටෝ වල උපකරණය සවිකරන්නේ ඒ ගොයියා තමයි.

මේ උපකරණය සවි කරහම ෆෝන් එක ට්‍රයිපොඩ් එකකට සවි කරන්නත් පුළුවන්.


ඒ විතරක් නෙවේ පොඩි වීඩියෝ කෑල්ලක් එහෙමත් කොරලා දුන්නා මේක සවි කොරන හැටි පෙන්නලා, එකත් කැමති කෙනෙක් බලා ගන්නකෝ.



එහෙනම් ඉතින් මං තුමාගේ පොරොන්දුව ඉෂ්ට කොලා. කැමති අය දැන් ෆෝන් එකට අමතර ලෙන්ස් එකක් හයි කොරගන්න එකයි ඇත්තේ.


************ *************