Wednesday, September 24, 2014

නිධානයක් සොයාගන්න - අවසන් කොටස.


බොහොම දෙනෙක් මංතුමාට දොස් පවරලා තිබුනා මේ නිධානයක් සොයාගැනීම ගැන ලිපිය කොටස් දෙකකට කැඩුවා කියලා. ඒ උනත් මොනවා කොරන්නද අප්පා වැඩ රාජකාරි බහුලයි නොවැ. අනිත් කාරණාව තමයි මේ නිධන් තියෙන තැන ගැන ඔත්තු දුන්නා කියලා පොලොසියෙන් මංතුමා කුදලාගෙන යයිද දන්නේත් නැහැ. ඕනෑ කෙන්ගෙඩියක් උනාවේ කියලා ඔන්න එහෙනම් මේ කතාව අවසන් කොරලා දමන්න හිතුවා. එහෙනම් කලින් කොටස බලපු නැති ඇත්තෝ ඒ කොටසත් කියවලාම  අවොතින් තමා හොඳ. 


පසුගිය කොටස අවසන් කලේ නීතිඥයා විදපු ඊය පසුපස මේ කස්ටිය දුවන එකෙන්  නේද? හ්ම්ම් එහෙනම් දැන් බලමු කොහාටද මේ ඊය වැටුනේ කියලා.

ඔන්න ඉතින් කස්ටිය ඊය පසුපස දුවගෙන ගියා, කලින් සැරේට වඩා වැඩි දුරක් ගිය ඊය වැටුනේ ඒ රටේ හමුදාපතිට අයත් ඉඩමකට. කලින් වතාවෙ වගේ මේ අය සියලුම දෙනා මේ ඉඩම අයිතිකරු සතු බලතල ගැන නොසිතා ඊය වැටුන තැන හාරන්න පටන් ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් විශාල වලක් සැරුවත් ඔවුන්ට හමුවූ නිධානයක් නම්  නැහැ. නිධානය වෙනුවට ඔවුන් හමුදා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ජෙනරාල් වරයා වෙත ඉදිරිපත් කළා. 

මේ ක්‍රියාව ගැන බොහෝ සෙයින් කෝපයට පත් ජෙනරාල් ඔවුන්ගෙන් නිදසහට කරුණු විමසා සිටියා. ඒ වෙලේ මේ සියලු දෙනාම තමන් වරදකරුවන් නොවන බව පවසමින්,  මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසු ආකාරය පිලිබඳ පුර්ණ විස්තරයක් කියා සිටියා.


මේ කතාව අසාඋන් ජෙනරල්ගෙ  අදහස  වුයේ  මහළු භික්ෂුන්වහන්සේ බොරු නොකියන බවත් ,නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසුවද, මෙම ඊතලය විදිනුලැබූ නීතිඥයා වෙත අවි ආයුධ පරිහරණය පිලිබඳ දැනීමක් නොමැති නිසා ඊය නියම ඉලක්කය කරා යොමු කිරීමට ඔහුට නොහැකි වූ බවයි.  එබැවින් දක්ෂ යුධ ශිල්පියකු වන තමා විසින්ම  පසු දින  භික්ෂුන්වහන්සේ පැවසු ආකාරයට ඊය විදින බවත් නිධානය සියලු දෙනා විසින්ම සමසේ බෙදාගත යුතු බවත්ය.  

 දැන් පසුදින ඉරපයා ඒමට පෙර මේ සියළු දෙනාම නැවතත් ගොවිමහතා සතු පැලට ගොඩ උනා. ජෙනරාල් වරයා ඉරපයා එනවිටම නියමාකාරයට ඉලක්කය ගෙන  හැකි උපරිම ශක්තිය යොදා ඊය විද්දා. විදුලි වේගයෙන් යන ඊය පසු පස මේ සැම දෙනාම දිවගියා......

මොකද කියන්නේ තව කොටසකට යමුද......?

හෝව්.. හෝව්.. කලබල වෙන්න එප..විහිළුවක් කලේ අද කොහොමහරි නිධානය සොයා ගමු.

මෙවර වඩා දුර ගිය ඊය වැටුනේ රාජමාලිගාව අසලම තිබුන රාජකීය උයනට. නිධානයට බොහෝ සෙයින් හිත ඇදී තිබුන නිසාම මෙය රාජකීය උයන බවත් මේ සියළු දෙනාට අමතක උනා. දැන් ඔවුන් එක්වී නිධානය ගොඩගැනීමට මෙතැන හාරන්න පටන්ගත්තා විතරයි, රාජකීය සෙබළුන් මේ සියලු දෙනාම තනතුරු නොබලා අත්අඩංගුවට ගෙන රජු ඉදිරියට පැමිණුවා.


දැන් මේ සැමදෙනාම රජු ඉදිරියේ තමන්ගේ නිදහසට කරුණු කියමින්, භික්ෂුන්වහන්සේ නිධානය සොයාගන්නා ආකාරය කියූ සැටිත් මේ නිධානය සොයාගැනීමට තමන් සියලු දෙනාම කටයුතු කල සැටිත්, ඒ වෙනුවෙන් රජතුමාගෙද අනුග්‍රහය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.

මේ රජතුමා බොහොම බුද්ධිමත් කෙනෙක්, ඒ නිසා වහාම රාජපුරුෂයන් යවා එම භික්ෂුන්වහන්සේ කැඳවා මේ පිලිබඳ සියලු තොරතුරු විමසා සිටියා. එසේ කරුණු විමසීමෙන් පසු මේ සියලු දෙනාටම යම් වැරදීමක් සිදුවී ඇතිබව රජු තේරුම් ගත්තා.

ඒ නිසා පසුදින මෙම සියලු දෙනාත්, භික්ෂුන්වහන්සේත් සමග රජතුමා ගොවිමහතා සතු පැලට ගොඩ උනා. දැන්  ඉරපයා ඒමට ආසන්නයි. රජතුමා දොරකඩ සිටගත්තා. දුනු හී අතට ගෙන, භික්ෂුන්වහන්සේ දෙසට හැරී නිවැරදිදැයි ඇසුවා. භික්ෂුන්වහන්සේත් නිවැරදි බව දැනුම් දුන්නා. දැන් ඉර පායා එන විට ඉර ඇති පැත්තට හැරී ඉලක්කය ගත්තා. එසේ ඉලක්කය ගෙන නැවතත් භික්ෂුන්වහන්සේ දෙසට හැරී නිවැරදිදැයි ඇසුවා. භික්ෂුන්වහන්සේත් නිවැරදි බව දැනුම් දුන්නා.

දැන් බොහොම වැරෙන් දුන්න ඇද ඊය විදීමට යනවිටම භික්ෂුන්වහන්සේ මෙලෙස පැවසුවා.

"නවත්වන්න, ඔබ වැරදියි..."

එවිට පුදුමට පත් රජතුමා...

"ස්වාමිනි ඔබවහන්සේ පැවසුවේ ඉර පායා එනවිට හිරු දෙසට මුහුනදා ඊතලය විදින ලෙස නේද? එසේනම් දැන් එය වැරදියි කියන්නේ ඇයි?"

"මහරජ,  මා පැවසුවේ  උදේ හිරු පායන විට දුන්නක් සහ ඊ තලයක් රැගෙන ඇවිත් මේ දොරකඩ සිටගෙන හිරු දෙසට මුනුන ලා  සිටගෙන, දුනුදිය ඇද ඊතලය මුදා  හරින ලෙසයි"

 කාරණය වැටහුන රජතුමා, ඊතලය විදින්නේ නැතිව අත්හැරියා. එවිට ඊතලය රජතුමාගේ දෙපාමුල වැටුනා.


එතැන සැරූ පසු මෙතක් කල් තමන්ගේ දෙපාමුල තිබුන නිධානය ඔවුන්ට සමුවුනා.


Tuesday, September 2, 2014

නිධානයක් සොයාගන්න....

සතුට, සැනසුම, ධනය මේවා සොයාගැනීම වෙනුවෙන් තමයි බොහෝ දෙනෙක් වෙහෙස වන්නේ.  ඒ වගේම නිධාන සොයා ගැනීමටත් බොහෝ අය වෙහෙස වෙනවා. මේ වෙනුවෙන් ඉතා වටිනා පුරාවස්තු, ජිවිත කොතරම් විනාශ කරනවද? නමුත් මේ සියලු දේ ඔබට ලබාගත් හැකි මගක් ලැබුනොත්? ... එහෙනම් මේ කතාවත් කියවලා බලන්න ඔබටත් මේ සියලු දේ ලබාගත හැකිද ? ඒ දේවල් තියෙන්නේ කොහෙද කියලා දැනගන්න හැකිවේවි.  මේ කතාවත් පුජනිය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් විසින් කියන ලද්දක්.

ඔන්න එකමත් එක කාලෙක පිටිසර බද ගම්මානයක ජිවත් උනා දුප්පත් ගොවි පවුලක්. මේ  ගොවියාට දවසක් දකින්න ලැබුනා පිණ්ඩපාතය ලබාගැනීම සඳහා මේ ගම වෙත පැමිණ සිටි මහළු භික්ෂුන්වහන්සේ නමක්. ඒ භික්ෂුන්වහන්සේ දුටු පමණින්ම පැහැදුන ගොවි මහතා දානය පූජාකර පසු දිනද දානය සඳහා ආරාධනා කළා. එමෙන්ම දින කීපයකින් පසු එළබෙන වස් සමය, තමන්ගේ ගොවිපලේ නවතින ලෙසද ආරාධනය කළා.



දැන් වස්කාලය ඇරඹුණා. මේ භික්ෂුන්වහන්සේ වෙනුවෙන් ගොවිපලේ සැකසුණ කුඩා පැලේ උන්වහන්සේ වස් කාලය ගත කරනවා. දැන් ඉතින් දිනපතාම මේ ගොවි පවුලේ උදවිය, මේ වස් සමාදන් වුන භික්ෂුන්වහන්සේ වෙත දාන-මාන පුජා කරනවා. උන්වහන්සේත් මේ ගොවි පවුලේ සියලු දෙනාටම බොහෝසෙයින් අර්ථයෙන් ධර්මයෙන් කරනා කියාදෙමින් වස් කාලය ගත කළා. වස් තුන්මාසය අවසන් වන විට මේ මහළු  භික්ෂුන්වහන්සේ සහ ගොවිපවුලේ සියලු දෙනා ඉතා හිතවත්ව සිටි නිසාම, වස් කාලය අවසානයේ උන්වහන්සේ පිටත්ව යෑම මේ ගොවි පවුලේ උදවියට බොහෝ දුකක් උනා. එබැවින් උන්වහන්සේ තවදුරටත් නවතවා ගැනීමට ඔවුන් උත්සාහ කලත් එය පලක් උනේ නැහැ. පසු දින තමන් මේ ගමෙන් පිටත් වන බව මේ භික්ෂුන්වහන්සේ දැනුම් දුන්නා.


පසුදින උදයේම පවුලේ සියලුම දෙනා මේ භික්ෂුන්වහන්සේ ට සමුදීම සඳහා මේ කුඩා පැල වෙත පැමිණි වෙලේ උන්වහන්සේ මෙලෙස කියා සිටියා.

"පසුගිය මාස තුන මුළුල්ලේම ඔබ සියලුම් දෙනා මා වෙනුවෙන්  බොහෝ  උපකාර කළා. එයට බොහොම පින්. ඔබලා බොහෝ දුප්පත් උදවිය. මම දැන් ඔබට කියා දෙනවා ඉතා වටිනා නිධානයක් ඇති තැනක් ගැන.  ඒ නිධානය සොයා ගැනීමට මා කියන ආකාරයට කටයුතු කරන්න. හෙට උදේ හිරු පායන විට දුන්නක් සහ ඊ තලයක් රැගෙන ඇවිත් මේ දොරකඩ සිටගෙන හිරු දෙසට මුනුන ලා  සිටගෙන, දුනුදිය ඇද ඊතලය මුදා හරින්න... එම ඊතලය වැටෙන තැන සැරු  විට ඔබට ඉතා විශාල නිධානයක් ලැබෙනු ඇති"

 මෙලෙස උපදෙස් දුන්  එම භික්ෂුන්වහන්සේ පිටත්ව ගියා.. තමන්ට ලැබෙන්නට නියමිත නිධානය ගැන බොහෝ සතුටට පත්වුන මේ උදවිය, පසුදින හිරුපයා  එනවිට එතැනට පැමිණ ඒ කියූ ලෙසටම හිරු දෙසට මුහුණ ලා  හැකි පමණ ශක්තිය යොදාගෙන ර්තලය විද්දා. දැන් මේ පවුලේ සියලුම දෙනා මේ ඊතලය පසුපස දිවගියා. බොහෝ දුරගිය ඊතලය වැටුනේ අසල්වැසි නීතිඥයකු සතු ඉඩමකට.  දැන් මොකද කරන්නේ? නිධානය ලබාගන්නත් ඕන, නමුත් මේ ඊතලය වැටුනේ වෙනත් කෙනෙකුගේ ඉඩමකට ඕන දෙයක් උනාවේ කියා හිතාගෙන මේ උදවිය මෙතැන හාරන්න පටන් ගත්තා................ කොතරම් ගැඹුරට මේ වල සැරුවත් ඔවුනට හමු වූ නිධානයක් නම් නැහැ.  නිධානය වෙනුවට ඔවුනට මුහුණදීමට සිදුවුනේ විශාල ප්‍රශ්නයකට. එනම් ... ඉඩම් හිමි නීතිඥයා එතැනට පැමිණීමයි.

මේ සිදුවීම බව දුටු නීතිඥයා දීර්ඝ දේශනයක් පවත්වමින්, නිතිය අනුව ඔවුන් වරදකරුවන් බව දක්වමින්, මේ සියලු දෙනාම අධිකරණය ඉදිරියට පමුණවන බවට තර්ජනය කර සිටියා.  ඒ වෙලේ මේ සියලු දෙනාම තමන් වරදකරුවන් නොවන බව පවසමින්,  මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසු ආකාරය පිලිබඳ පුර්ණ විස්තරයක් කියා සිටියා.


මේ කතාව අසාඋන් නීතිඥයාගෙ අදහස  වුයේ  මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසුවද, මෙම ඊතලය විදිනුලැබූ ගොවියා එතරම් ශක්තිමත් අයකු නොවූ බැවින් එම ඊය  ප්‍රමාණවත් තරම් දුර නොගිය බවයි. එබැවින් මෙම නීතිඥයා ගොවියා සමග හවුල් ගිවිසුමකට එළඹියා ... එයින් කියවුනේ වඩා ශක්තිමත් කෙනෙකු වන නීතිඥයා විසින් පසුදින මහළු භික්ෂුන්වහන්සේ කියූ ආකාරයට ඊය  විදීමටත්, එම ඊතලය වැටුන තැන සාරා නිධානය ගොඩගෙන සමාන කොටස් දෙකකට දෙපාර්ශවය විසින් බෙදාගන්නා ලෙසත්ය.

 දැන් පසුදින ඉරපයා ඒමට පෙර මේ සියළු දෙනාම නැවතත් ගොවිමහතා සතු පැලට ගොඩ උනා. නීතිඥයා ඉරපයා එනවිටම  හැකි උපරිම ශක්තිය යොදා ඊය විද්දා. විදුලි වේගයෙන් යන ඊය පසු පස මේ සැම දෙනාම දිවගියා......


ඉතිරි කොටස මීළඟ පොස්ටුවෙන්........ 



Wednesday, August 6, 2014

කොහෙද ඔයා යාළු...



මේ කවිය මුලින්ම පලකලේ 2013 ජනවාරි 5 වෙනිදා ... මෙතනින් ගිහින් එය බලන්න හැකියි.  අපි එයාව වැඩිය ගණන් ගන්නේ නැතිව ඉන්න  වෙලාවට  ඔය ෆොටෝ එකේ ඉන්න විදිහට ෆුල් මනෝ පාරක් දා ගෙන ඉන්නවා. ෆොටෝ එක ගත්තට පස්සේ මට හිතුන එයාට මෙහෙම හිතෙනවා ඇති කියල.

යාළු යාළු යාළු...
කොහෙද ඔයා  යාළු... 
නැතිව ඔයා යාළු ...
මට භරියට  පාළු. 


 

නමුත් අද වෙනකොට ඔයා අපෙන් වෙන්වෙලා ගිහින් මාසයක් ගතවෙනවා...  ඇත්තෙන්ම මේ කවිය දැන් සාධාරණ වෙන්නේ අපටයි. ඇත්තෙන්ම ඔයා නැතිව අපිට හරිම පාළුයි ආදරණිය බෙන්ජි... ඒ පාළුව මුළු ජිවිත කාලයටම තියේවි..


යාළු යාළු යාළු...
කොහෙද ඔයා  යාළු... 
නැතිව ඔයා යාළු ...
මට භරියට  පාළු. 


බෙන්ජි, ඔබගේ  වෙන්වීමෙන් මට එක් දෙයක් ප්‍රත්‍යක්ෂ උනා.. ඒ තමයි අපි ආදරය කරන අය අපට කොතරම් වැදගත්ද යන කාරණය වඩා හොඳින් වැටහෙන්නේ ඒ අය අපට නැතිවූ විට බව.  ඒ නිසා අපේ මේ කෙටි ජිවිත කාලය තුලදී, අපි ආදරය කරන සියලුම දෙනා ඉතා හොඳින් රැකබලාගෙන ඔවුන්ට උපරිම ලෙස ආදරය දැක්විය යුතුබව මගේ හැඟීමයි.

මගේ ආදරණිය මිතුර මේ පාඩම මට කියාදුන් ගුරුතුමා ඔබයි.  මේ සටහන ඔබට උපහාරයක් වේවා!!!

Friday, July 25, 2014

ඔබට සුබ ගමන්...!!!


එදා 2014 ජුලි මාසේ 6දා .. සුපුරුදු ඉරිදා දිනයක් ලෙසින් ඉර පැයුවත්, මගේ ජිවිතයේ කිසිදා අමතක කල නොහැකි වන සිදුවීමක් එදා සිදුවෙයි සිහිනෙකින් වත් සිතුවේ නැහැ. මගේ ජිවිතයේ සිටි කිසිදා සදාදරණිය මිතුරා එදා  අපෙන් සදහටම සමුගනිවී යැයි සිහිනෙන්වත් සිතුනේ නැහැ. ජිවිතයේ නැවත කිසි දිනක පිරවිය නොහැකි අඩුවක් තබමින් ඔබ එදා අපෙන් සමුගත්තා.

මම කාර් එක හෝදන විට ඒ දිහා බලාගෙන සිටීම ඔබට විශාල සතුටක් නේද? .... ඔබගේ අවසන් දිනයේත්  ඒ දේ එලෙසම කළා...

ඔබ මගෙන් බලාපොරොත්තු උනේ ...ආදරණිය වචනයක්...හිස අතගෑම සහ දවසට විනාඩි කීපයක් බෝලය විසිකරමින් ඔබ  සමග සෙල්ලම් කිරීම පමණයි...

ඒ වෙනුවෙන් ඔබ  ඔබගේ  මුළු ජිවිතයම අප වෙනුවෙන් කැප කලා....

අපේ ආදරණිය මිතුරා බෙන්ජි...
අපත් සමග වසර 6ක් ජිවත් වී අප සතුටු කල ඔබ අපට කිසිදින අමතක  වන්නේ නැහැ... ඒ වගේම ඒ වෙනුවෙන් අපි මුළු ජිවිත කාල පුරාවටම ඔබට ස්තුතිවන්ත වෙනවා, පින් දෙනවා...

ඉතාම සාමකාමී මෙන්ම ආදරණිය ගතිගුණ තිබු ඔබ මා හට හමුවූ බොහෝ මිනිසුන්ට වඩා ඉතා යහපත් කෙනෙක්.ඔබ වෙනුවෙන් දැන් අපට කළහැකි එකම දේ නම් ඔබට  මනුෂ්‍ය ජිවිතයක් ලබාගෙන, හැකි ඉක්මනින් මේ සසරෙන් එතෙර වීමට හැකිවේවා කියා පින් අනුමෝදන් කිරීම පමණයි...

ඔබට බොහොම ස්තුතියි මිත්‍රයා.....


අප නිවසට පැමිණි මුල් දින කීපයේදී...

දඟකාරයොවුන් වියේදී...
ආදරණියන් සමග...

Wednesday, July 16, 2014

අපිට මොකෝ ......

අපිට මොකෝ... අනිත් උන්ට හෙනහත වැදිලා ගියත් අපිට මොකෝ. දැන් කාලේ බොහෝ දෙනක් හිතාගෙන ඉන්නේ මේ විදිහට නේද? තමන්ට කරදරයක් නැතිනම්, තමන් අවට ඉන්න අයට පමණක් නොවේ යාළු මිත්‍රාදීන්ට උනත් මොන දේ උනත් කමක් නැහැ. මේ තමයි බහුතරයගේ  මානසිකත්වය.... 

මේ කතාවත් පුජනිය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ගෙන් ඇසුවක්. කියවලා බලන්න.

ඔන්න එකමත් එක ගොවිපලක් තිබුනා මේ ගොවිපලේ හිටියේ කවුද දන්නවද? මෙන්න මේ  තුන් දෙනා..


ඒ තමයි එලදෙනක් , ඌරෙක් සහ කිකිළියක් . මේ තුන්දෙනාට අමතරව මේ ගොවි පලේ තිබුන ගොවි ගෙදර හිටියා මියන් 5 දෙනෙක්.




 මේ මියන් පස්දෙනා,අර මුලින් කිවූ එළදෙන, ඌරා සහ කිකිළිය සමග බොහෝ හිතවත්. ඒ නිසාම ගමගෙදර ඇතුලත සිදුවන කතාබහ වලට ඇහුන්කම් දී  මිතුරන් තිදෙනාට හානියන් වෙන කාරණයක් ගැන දැන ගැනීමට ලැබුන විගස ඒ බව ඔවුන්ට දැනුම් දීමට මේ මියන් පස්දෙනා පුරුදු වී සිටියා.

එක් දවසක් මේ මියන්ට අසන්න ලැබුනා ගමගෙදරට හිතවතුන් කිහිප දෙනෙක් පැමිණෙන බැවින්, ඒ සඳහා කුකුළු මස් ව්‍යංජනයක් පිළියෙළ කිරීමට ලැස්ති වෙන බව. ඔවුන් ඒ බව වහාම තම හිතවත් කිකිලියට  පවසා දින කිහිපයක් සැඟවී සිටින ලෙස උපදෙස් දුන්නා.

තවත් දවසක් ඔවුන්ට අසන්න ලැබුනා හරක් මස් මිල අධික වී ඇති බැවින් එළදෙන මරා මස්කර, ඔවුන් විශාල මුදලක් ලබාගැනීමට යන බව. මේ බවත් වහාම එළදෙන වෙත දැනුම් දී ඉක්මනින්ම ගොවිපලෙන් පැනගොස් කැලයේ සැඟවී  සිට නැවත පැමිණෙන ලෙස උපදෙස් උන්නා.

එමෙන්ම ඌරා මරා මස්කිරීමට සැරසෙන විටමත්  ඒ බව ඌරා ට දැනුම් දී, ලෙඩවී ඇති සෙයක් දැනෙන ලෙස, සෙම පෙරාගෙන වැතිරී සිටින ලෙසට උපදෙස් දෙනු ලැබුවා. මේ  ආකාරයෙන් මෙම සතුන් තුන්දෙනාගේ ජිවිත බොහෝ වාරයක් බේරා දෙනු ලැබුවේ මෙම මියන් පස් දෙනා විසින්.

එලෙස කාලය ගතවෙද්දී එක්දිනක් මේ ගම ගෙදරට පාර්සලයක් ගෙනාවා. මේ පාර්සලය ඇතුලේ තිබුන දේ දුටුවිට මේ මියන් පස් දෙනා බොහෝ සේ බියෙන් තැති ගත්තා.


දැක්කා නේද ගෙනත් තියෙන දෙය. දැන් ඉතින් මේ අසරණ මියන්ට කාගේ පිහිටක්ද? ඔවුන් දැන් මෙහෙම කතා වෙනවා...

" අපි බොහෝ වාර ගණනක් අපේ මිතුරන් තුන් දෙනාගේ ජිවිත බේරලා තියෙනවා... ඒ නිසා අපි ගිහින් ඒ අයගේ උදවු ඉල්ලා ගනිමු"

ඔවුන් පළමුව ගියේ කිකිළිය  හමුවෙන්න.



 "අනේ යාළුවේ  අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."

"අපිට  මොකෝ... මි කතුරකින් කුකුලන් මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම ඒ ගැන බලාගන්න"

ඊ ලඟට ඔවුන් ගියේ එළදෙන ලඟට, උදවු ඉල්ලා ගැනීම සඳහා....


 "අනේ යාළුවේ  අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."

"අපිට  මොකෝ... මි කතුරකින් හරක්  මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම  ඒ ගැන බලාගන්න"

බොහෝ සෙයින් කනස්සලු වූ මේ මියන් පස් දෙනාගෙ අවසාන බලාපොරොත්තුව........

"අනේ යාළුවේ  අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."


"අපිට   මොකෝ... මි කතුරකින් ඌරො   මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම  ඒ ගැන බලාගන්න"

 මේ කතා අසපු මියන් බොහෝ සෙයින් කනගාටුවටත් කලකිරීමටත් පත්වුණා. දින කීපයක් යනවිට මේ මියන් සියලු දෙනාම මි කතුර විසින් බිලිගනු ලැබුවා. දැන් තවත් දවස් කීපයක් ගතවුනා. එක්  දිනක් හදිසියේම ගමමහගේ හදිසි අනතුරකට භාජනය වෙලා රෝහල් ගත කළා. දැන් ඉතින් ඇයට බොහොම අමාරුයි. ශක්තිය වඩවන ආහාරක් ලෙස කුකුල් මස් සුපයක්  සෑදීමට තීරණය උනා.

මී කතුරකින්  කුකුලෙක් මැරුනේ ඔය විදිහට.......

දැන් ඉතින් අහල පහල සැමෝම වගේ මේ ලෙඩා ගැන තොරතුරු දැනගන්න ගම ගෙදරට එනවා, මේ අයට සලකන්න ඕන නිසා සොසේජස් ඕන වුනා...
මී කතුරකින් ඌරෙක් මැරුනේ ඔය විදිහට......

දින කීපයකින්ම මේ ලෙඩා මරණයට පත් උනා. දැන් ඉතින් ගමගෙදර විශාල සෙනගක් රැස්වෙලා. මේ අයට සලකන්න බිෆ් ස්ටික් සාදන්න උනා...
මී කතුරකින් එළදෙනක්  මැරුනේ ඔය විදිහට...... 


ඔන්න ඕක තමයි කතාව... අනුන්ට වෙන කරදරයකදී අපිට මොකෝ කියලා හිතන්නේ නැතිව හැකි පමණ ඒ අයට පිහිට වෙන්න උත්සාහ කරන්න ඕන. ඍජුවම නැතත් වක්‍රාකාරව හෝ  ඒ අයගේ කරදර අප කරා එන්න හැකි බව අමතක කරන්න එපා.





Thursday, July 10, 2014

කවුද ලොක්කා?


කවුද ලොක්කා? මේක අපි හැමෝටම ජීවිතයේදී ඇතිවෙන ප්‍රශ්නයක් නේද? අපගේ ඇති මමායනය නිසාම  අපි හැමෝම හිතාගෙන ඉන්නේ මම තමයි ලොක්කා කියලා. ඒ විදිහට මම තමයි ලොක්කා කියලා හිතන අපි සැමවිටම උත්සාහ කරන්නේ අනිත් සැම දෙනාවම අපගේ අදහස් වලට අවනත කරගැනීමට කියලයි මටනම් හිතෙන්නේ. නමුත් අපි මහා ලොක්කන් කියලා හිතාගෙන හිටියට, පොඩ්ඩන් කියලා පැත්තකට දාලා ඉන්න අය  කොතරම් වැදගත්ද කියලා අපි හිතලා තියෙනවද ?

පසුගිය මාසේ පුජනිය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ වැඩසටහනක් තිබුනා, බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ. මටත් එයට සහභාගී වීමට අවස්ථාවක් ලැබුනා. මේ දැන් කියන්න යන කතාව උන්වහන්සේ එදා කියපු කතාවලින් එකක්. හැකි ලෙස එදා මා ඇසු කථා  කිහිපයක් විටින් විට ඉදිරිපත් කරන්න හිතා ගෙන ඉන්නවා. හොඳයි දැන් එහෙනම් මේ කතාව බලමු.


ඔන්න දවක් අතේ ඇඟිලි පහෙන් තනිවම පැත්තකට වෙලා ඉන්න මහපට ඇගිල්ල අනිත් ඇඟිලි වලට  කතා කරලා මෙහෙම කියනවා.


" මම තමයි අතේ ඇඟිලි වලින් ලොක්කා, මාව තමයි දෙයක් හරි කියන්න පෙන්නන්නේ,  එකඟ තාවය පෙන්නන්න මාව ඕන වෙන නිසා මම තමයි ඇගිලි පහෙන් ලොක්කා."

එතකොට අනිත් ඇඟිල්ල මෙහෙම කියනවා.

"මොන පිස්සුද හලෝ, මම තමයි ලොක්කා, ඕනෑම දෙයක් පෙන්නන්න ඕන වුනාම මාව තමයි  දික් කරලා පෙන්නන්නේ"
 

"ඒ විතරක් නෙවේ කෙනෙකුට තරවටු කරන විටත්  ඕන වෙන්නේ මාව.. ඒ නිසා මමයි  ලොක්කා."

මේක කතාව අහගෙන ඉන්න මැද ඇගිල්ල කියනවා  "විකාර කතා කරන්න එපා, මමයි ඇඟිලි පහෙන් උසම කෙනා, ඒ නිසා මට තමයි දුර පෙනෙන්නේ, මම තමයි නුවනට අධිපති, මේ බලන්නකෝ ඔබා මහත්තයත් කල්පනා කරන්න උදවු කරගන්නේ මාව.. ඒ නිසා මම තමයි ලොක්කා..."



හ්ම්ම්.. ඔය වගේ තමයි මිනිස්සු හිතන්නෙත් නේද?..හොඳයි  අපි බලමු එතකොට අනිත් ඇඟිල්ල කියපු දේ..



" ඔය මොනවා තිබුනත් වැඩක් නැහැ..... මගුල් මුද්ද දාන්නේ මට.. මම තමයි ආදරයට අධිපති.. ඒ නිසා මමයි ලොක්කා..."

නමුත් පොඩි එකා වෙච්ච සුලැගිල්ල කිසි  කතාවක්   නැහැ  ..අනිත් හතර දෙනාම  දැන් පොඩි  එකාට මෙහෙම කියනවා .." උඹ නම් ඉතින් දුර්වල පොඩි එකා නේ..  උඹට කරන්න පුළුවන් කිසි දෙයකුත් නැහැ.. ඒ නිසා උඹේ කිසි වටිනාකමක් නැහැ"

එතකොට දුර්වල, පොඩි ඇඟිල්ල මෙහෙම කියනවා.. "ඔව් මම තමයි දුර්වල ඒ වගේම කුඩාම ඇඟිල්ල. ඔයගොල්ලන්ට  ඔය තරම් සවි ශක්තිය තිබුනත් ...... 



ඉවසාගන්න බැරි තරම් නහයේ කැසිල්ලක්, කනේ කැසිල්ලක් එහෙම ආපු වෙලාවට මාව තමයි ඕන වෙන්නේ.. මම තමයි  ඉතින් ඒ කුණු ටික අයින් කරන්න ඉන්නේ.. නමුත් හොඳින් මතක තියාගන්න.. මේ කුණු අදින  දුර්වල පොඩි එකා තමයි . බුදු රජාණනන් වහන්සේට අත්දෙක එක් කරලා වඳින කොට, බුදුන් වහන්සේ ලඟින්ම ඉන්නේ"






Tuesday, May 27, 2014

රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?


පහුගිය දවසක මුණු පොතේදැක්කා,"රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?" කියලා දාපු ෆොටෝ එකක්. ඇත්තටම මේකේ විශාල පාඩමක් තියෙනවා.  මේක දැක්කාම තමයි මටත් මතක් උනේ පසුගිය ටිකේ ඡායාරුප කරණය ගැන කියාදීපු පාඩම් මාලාවේ අතහැරුණ දෙයක් ගැන. 

හොඳයි කාට හරි කියන්න පුලුවන්ද මේ ප්‍රශ්නෙට උත්තරේ? දැන් ඉතින් කියන්න එපා ෆොටෝ ප්‍රින්ට් කරන්නේ හතරැස් කොලවල කියලා. දැන් එහෙනම් අපි බලමු මොකක්ද මේකට හේතුව කියලා.

ඇත්තටම කියනවානම් ලෙන්ස් එකෙන් ලැබෙන ප්‍රතිබිම්බය රවුම් එකක්. මෙන්න මේ  පහල තියෙන රූපසටහන බලන්න.


 නමුත් මේරවුම් රුපයේ වඩාත්ම පැහැදිලි තාවයක් ඇත්තේ වෘත්තහි මැදට වන්නටයි වෘත්තයෙහි කෙලවරට යනවිට එහි පැහැදිලි බවෙහි අඩුවීමක් දකින්නට ලැබෙනවා. මෙය සිදුවන්නේ කාච වල ඇති දෝෂයන් නිසා. (මෙම කාච දෝෂ හැකි තරම් අවම කරලා තමයි නිෂ්පාදනය කරන්නේ.) එමනිසා ඡායාරුපය සඳහා යොදාගනු ලබන්නේ මෙම වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ඇති මැද කොටස පමණි. මෙය   Circle of acceptable definition ලෙස හඳුන්වනවා.

මෙලෙස ප්‍රතිබිබය සාදන වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ලබාදීමට ඇති හැකියාව කාචයේ Covering Power ලෙස හඳුන්වනවා. මෙම Circle of acceptable definition කොටසෙහි විශ්කම්භය සෙන්සරයේ නොඑසේනම් සේයාපටලයේ විකර්ණයට පමණට හෝ ඊට වඩා ස්වල්පයක් හෝ වැඩි වියයුතුය.

දැන් ඉහත රුපයේ ආකාරයට මෙම  Circle of acceptable definition කොටසෙහි සෙන්සරය පිහිටුවීමෙන් මෙම වෘත්තහිද කෙළවරවල් අතහැර දමා වඩා වැඩි පැහැදිලිතාවයක් ඇති කොටස පමණක් ඡායරුපයට ගත හැකි වෙනවා.

මෙන්න මේ පොඩි ක්‍රියාකාරකම කරලා බලන්න. ඔබ ළඟ ඇති කැමරාවෙන් කොටුරුල් කොලයක හෝ කුඩා අකුරු ඇති පොතක පිටුවක් ඡායාරුප ගත කරන්න. එය කල යුත්තේ මෙසේයි. ඔබට යෙදිය හැකි විශාලතම කාච විවරය යොදන්න. දැන්  ඔබට කැමරාව නාභිගත ( Focus) කල  හැකි අවම දුරට සකසා  එහි  සමීප ඡායාරුපයක් ගන්න. දැන් මෙම රුපය හොදින් නිරීක්ෂණය කිරීමෙන් එහිමැද කොටසට වඩා කෙළවරවල් වල පැහැදිලිතාවය අඩුබව ඔබට දැනගත හැකි වේවි.



Saturday, April 26, 2014

ෆෝකස් නොකර ෆොටෝ ගමුද?

මිට වසරකට පමණ කලින් ලියපු "-Focus  කරන්න අමාරුනම් මෙන්න උත්තරේ. Lytro - Light Field Camera" පොස්ට් එක මතකද? නැහැ නේද, කමක් නැහැ ඔය උඩ තියෙන ලින්ක් එක ක්ලික් කොරලා එකත් බලාගෙනම එන්න. ඇත්තෙන්ම අද කියන්න යන්නේ ඒ පොස්ට් එකෙන් කියලා දුන්න Lytro Light Field කැමරා එකේ අලුත්ම නිෂ්පාදනය වන Lytro Illum කැමරා එක ගැන.

ඉතින් කලින් පොස්ට් එකේ තියෙන මුල් කැමරාව මතකයි නේද හරියට අර දත් බෙහෙත් පෙට්ටියක් වගේ එක.

නමුත් දැන් බලන්න ඒ කැමරාව දියුණු වෙලා තියෙන ආකාරය. මේ අලුත් Lytro Illum කැමරා එක බොහෝ දුරට බ්‍රිජ් කැමරාවකට සමානයි. 





මේ Lytro Illum කැමරාවේ තියෙන්නේ 1/3" ප්‍රමාණයේ  සෙන්සර් එකක්.  දැන් ඉතින් මගෙන් අහන්න එපා මොකක්ද මේ සෙන්සර් එක කියන්නේ? කියලා. මේ ගැන සම්පුර්ණ විස්තරයක් මිට කලින් කරලා තියෙනවා. "කැමරාවේ Sensor Format  සහ Crop Factor" පොස්ට් එකෙන් එකත් ගොහින් බලාගෙන දැනුම අලුත් කරගත්තොත් හොඳා.

දැන් මේ කැමරාවට zoom ලෙන්ස් එකක් ඇතුලත් කර තියෙනවා. මේ  ලෙන්ස් එක DSLR කැමරාවක ඇති මි. මි 30 - 250 දක්වා වන zoom ලෙන්ස් එකකට සමාන වන එකක්. නමුත් හොඳින් මතක තියාගන්න මේ තියෙන ලෙන්ස් එකේ තියෙන්නේ  මි.මි. 30 - 250 ප්‍රමාණයේ නාභි දුරක් නොව ඊට වඩා අඩු නාභි දුරක් බව. නමුත් සෙන්සර් එකේ ප්‍රමාණයන් වල වෙනස නිසා තමයි මේ සමාන තත්වයන් පෙන්වන්න හැකියාව තියෙන්නේ.මේ ගැනත් "කැමරාවේ Sensor Format  සහ Crop Factor" පොස්ට් එකෙන් පැහැදිලි කරලා තියෙනවා.

මේ කැමරාව මෙගාපික්සල් 5 ක එකක්. ඒ පමණක් නොවේ බොහෝ ඩිජිටල් කැමරාවල ඇති ISO priority, shutter priority, සහ full manual shooting යන  modes ඇතුලත් කර තියෙනවා. මෙම කැමරාවේ දර්ශන තලය අගල් 4ක touchscreen LCD එකක් වන අතර එය  800×480 pixel resolution සහිත වෙනවා.එමෙන්ම මේ කැමරාවේ මුදුකාංග දැන් Android මතද භාවිතා කල හැකි වෙනවා.

ඉතින් මේ සියලුම දේවල් වලට වඩා විශේෂිත පසුකම  වන්නේ ඡායාරුපය ගැනීමේදී ෆෝකස් නොකර එය සටහන්  කරගෙන පසුව තමන්ට කැමති ස්ථානයක් ෆෝකස් කරගැනීමේ ඇති සුවිශේෂී හැකියාවයි.

මේ වසරේ ජුලි මාසයේ මේ කැමරාව වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතව ඇති අතර එහි මිළ ඩොලර් 1500 පමණ වනු ඇත. දැන් ඉතින් මේ කැමරාව මිල අධිකයි  කියලා මට බනිනවා එහෙම නොවෙයි.

Friday, April 18, 2014

ඡායාරුප තරගයක් ...


http://travel.nationalgeographic.com/travel/traveler-magazine/photo-contest/2014/rules/




සැම දෙනාටම සුභ නවවසරක් වේවා!


අද පොස්ට් එක ලියන්න හිතුවේ ඡායාරුප කරණය ගැන උනන්දුවක් ඇති යට පොඩි ඔත්තුවක් දෙන්න ඒ තමයි National Geographic එකෙන් පවත්වන ඡායාරුප තරගයක් ගැන


ඔය තියෙන පින්තුරය උඩ click කොරලා බලන්න. මේ තරගයට ඡායාරුප ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න.

මිට කාලෙකට පෙර සිංහල වෙබ් අවකාශයේ  ඡායාරුප ප්‍රදර්ශනයක්  පැවැත්වීමක් ගැන මා යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ ගැන උනන්දු අය ඉන්නවානම් මේ වසර තුල එය පවත්වමු නේද?


Tuesday, January 21, 2014

නවතම ඩිජිටල් කැමරාව.

මේ තියෙන්නේ සෝනි සමාගමෙන් නිෂ්පාදනය කරන ලද නවතම ඩිජිටල් කැමරාවයි. පේනවා නේද, දුටු පමණින් නම් ලෙන්ස් එකක්වගේ, නමුත් මේක ඩිජිටල් කැමරාවක්. මේ කැමරාවෙහි විශේෂත්වය වන්නේ මෙය ස්මාර්ට් ෆෝන් එකක් සමග භාවිතා කල යුතු වීමයි. එම නිසාම මෙය Smartphone Attachable Lense Camera ලෙස තමයි හඳුන්වන්නේ.

මේ කැමරාව WI-fi තාක්ෂණය මගින් Smartphone එක සමග සම්බන්ද කිරීමෙන් පසු ෆෝන් එක හරහා මෙය පාලනය කල හැකියි. එමෙන්ම මෙම කැමරාවට LCD screen එකක් නැහැ. ඒ වෙනුවට භාවිතා කරන්න වෙන්නේ ෆෝන් එකේ තිරය.


ඉහත රුප වල දැක්වෙන ආකාරයට මෙමෙ කැමරාව ෆෝන් එකට සවිකර හෝ වෙනමම තබාගෙන ඡායාරුප ගැනීම කල හැකි වෙනවා.

 මෙම කැමරාව මාදිලි දෙකකින් හඳුන්වා දී තිබෙනවා, Sony QX 100 සහ Sony QX 10 ලෙසට. මේ මාදිලි දෙකෙහි  වෙනස වන්නේ එහි ඇති ලේන්සයයි. QX 100 වර්ගයට ලොව ඉස්තරම්ම කාව වන Carl Zeiss ලේන්ස යොදා තිබෙන අතර එහි මිල ඩොලර් 500 ක් පමණ වන අතර, QX 10 වර්ගයටයොදා ඇති කාචය වන්නේ සෝනි කාචයයි. එහි මිල ඩොලර් 200 ක් පමණ වෙනවා.

Sony QX 100
Sony QX 10 
මේ පහල තියෙන්නේ එම කැමරා මාදිලි දෙකෙන් ගත් ෆොටෝ දෙකක්.

Sony QX 100 Sample Image
Sony QX 10 Sample Image


(මෙහි ඇති සියලුම ඡායාරුප අන්තර් ජාලයෙන් ලබාගත් බව සලකන්න.)


Monday, January 13, 2014

නොවරදවා බලන්න.....

අමිලගේ අලුත්ම අඩවියෙන් මා සිත් ගත් එක්සේයාරුවක්.
මේ ෆොටෝ එක බාගත්තේ අපේ අමිල නිරෝෂන් මලයා පටන් ගත්ත අලුත්ම ෆොටෝ බ්ලොග්  එකෙන්. මෙතනින් ගිනින් බලන්න මේ තියෙන්නේ ලින්ක් එක http://anwsphotos.blogspot.it/.

අමිල, මම ෆොටෝග්‍රෆි ගැන ලියන්න පටන්ගත්ත දවසේ ඉඳන් බොහොම උනන්දුවෙන් ෆොටෝග්‍රෆි ගැන ලියපු සැම පොස්ට් එකක්ම කියවපු කෙනෙක්. එමෙන්ම ඔහුට ගැටළු ඇතිවුන සමහර අවස්ථාවන් වලදී ඒ ගැන ඊමේල් මගින් පුද්ගලිකව අසා දැනගැනීමට කිසිසේත්ම පසුබට උනේ නැහැ. ඔහුගේ උනන්දුව සහ කැපවීම නිසාම අමිල මෙතරම් දුරක් ඡායාරුප ශිල්පය නම් මගේ ගමන් කරලා තියෙනවා.

මේ බ්ලොග් අඩවියේ තියෙන බොහොමයක් ඡායාරුප ඉතාම හොඳ තත්වයේ ඡායාරුප ලෙස මම දකිනවා. ඔහු හොඳ ඇසක් තියෙන කෙනෙක්. අපි සැම දෙනාම අමිලගේ මේ උත්සාහය අගය කල යුතු වෙනවා. සියලු දෙනාම නොවරදවා  මේ අඩවියට ගොඩවන්න. ඔබට ඉතා හොඳ ඡායාරුප එකතුවක් දකින්න පුළුවන්.

අමිල, ඔබට ඉතා දක්ෂ ඡායාරුප ශිල්පියෙක් වීමට ශක්තිය ලැබේවා කියා පතනවා.

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...