Saturday, March 30, 2013

ෆිල්ම් කැමරා එකේ වයිට් බැලන්ස්



වර්ණ උෂ්ණත්වය ගැන ලියපු කලින් පොස්ට් එකෙන් වර්ණ උෂ්ණත්වය ඡායරුපයකට සිදුකරන බලපෑම සහ ඩිජිටල් කැමරාවක් අදාල ආලෝකයට අනුව සුසර කරගැනීම ගැන කරුණු ඉදිරිපත් කළා. මේ පොස්ට් එකෙන් කතා කරන්නේ   "ෆිල්ම් කැමරා එකේ වයිට් බැලන්ස්  කරන්නේ කොහොමද " යන කරුණ.

දැන් බොහෝ විට  ෆිල්ම් භාවිතා නොකරන නමුත් දැනුම සඳහා මෙය වැදගත් වනවා මෙන්ම ෆිල්ම් රෝල් භාවිතා කරපු කාලේ අපි කාපු කට්ට ගැනත් මේ තුලින් යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්.

ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න පුලුවන්ද? - කැමරාවෙන් බැහැ 

ඒ කියන්නේ, ෆිල්ම් රෝල් වලට  වර්ණ උෂ්ණත්වයේ බලපෑමක් නැතිද ? - මේ විදිහෙම බලපෑමක් තියෙනවා 

ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න බැරි ඇයි ?, ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්නත් බැරිනම්, වර්ණ උෂ්ණත්වයේ බලපෑමත් තියෙනවා නම් ඉතින් කොහොමද ෆොටෝ ගත්තේ?

දැන් දීපන්කො උත්තර.

පළමුවෙන්ම අපි බලමු ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න බැරි ඇයි  කියලා. මේ ගැන තේරුම් ගන්න අපි නැවතත් ඩිජිටල් කැමරාව වෙත යමු. අපි දන්නවා ඩිජිටල් කැමරාවේ ඡායාව සටහන් කරගන්නේ එහි ඇති සෙන්සර් එක මගින් බව. මේ පොස්ට් දෙක කියවන්න බැරි උන අය  මෙතනින් කියවන්න. "කැමරාවේ මෙගා පික්සලේද? සෙන්සර් එක ද?" සහ "කැමරාවේ Sensor Format සහ Crop Factor"  ඉතා සරලව කිවොතින් ,මේ සෙන්සර් එක මතට වැටෙන ආලෝකය විද්‍යුත් ධාරාවක්  බවට පරිවර්තනය කර එය කැමරාවේ  ඇති ප්‍රොසෙසරය මගින් රුපයක්  බවට පරිවර්තනය කරනවා.  ඉතින් මේ ඩිජිටල් ක්‍රියාදාමය  තුලදී එයට නොයෙකුත් විධානයන් ලබා දී අපට අවශ්‍ය ලෙස රුපය සකසා ගත හැකියි.

නමුත්  ෆිල්ම් කැමරාවකට අපි දමන්නේ ෆිල්ම් රෝල් එකක්, ඒ ෆිල්ම් රෝල් එක නිශ්පාදනයේදීම එහි ISO  අගය, භාවිතා කලයුතු වර්ණ උෂ්ණත්වය තීරණය වෙලා ඉවරයි.  එහෙනම් අපි  කරන්න ඕන, අපිට අවශ්‍ය කරන ආලෝකයට අදාළ  වර්ණ උෂ්ණත්වය ඇති ෆිල්ම් රෝල් එකක් භාවිතා කිරීමයි. (ISO  අගයත් එහෙමම තමයි අවශ්‍ය වන්නේ අඩු ආලෝක තත්වයන් මත ෆොටෝ ගන්න නම් , වැඩි ISO  අගයක් සහිත රෝලක් ගන්න වෙනවා )


ඉහත රුපය බලන්න එම ෆිල්ම් රෝල් එකේ සටහන් කරලා තියෙනවා DAYLIGHT OR BLUE FLASH කියලා.

දැන් පහත රුපය බලන්න  එහි සටහන් කරලා තියෙනවා TUNGSTEN ලෙසට


එකල බොහෝ සුලබව  ලබාගත හැකිව තිබුනේ "DAYLIGHT" සහ "TUNGSTEN"යන වර්ණ උෂ්ණත්වයන් වෙනුවෙන් නිෂ්පාදිත  ෆිල්ම්රෝල්, නමුත් ඉතා කලාතුරකින් "FLUORESCENT " ලෙස ටියුබ් ලයිට් වෙනුවෙන් නිෂ්පාදිත ෆිල්ම් රෝල් තිබුනා.

දැන් ප්‍රශ්නේ හරි නේද? නැහැ,  තාම හරි නැහැ. අපි දන්නවා සුර්යාලොකයත් සවස් සහ උදේ කාලයේදී අඩු වර්ණ උෂ්ණත්වයක් ලබාදෙන බව. එහෙනම් ඉතින් Daylight  type  එකක් අරගෙන සවස් කාලයේදී එහෙම නැත්නම් උදේ කාලයේදී ෆොටෝවක් ගන්නේ කොහොමද? එහෙම ෆොටෝ එකක් ගත්තොත් මොකද වෙන්නේ?

පසුගිය පාඩම නැවත මතක් කරලා බලන්න එතකොට උත්තරේ ලැබෙයි, උදේ සහ සවස වර්ණ උෂ්ණත්වය අඩුවෙන නිසා මේ Daylight  type එකකින් ඒ වගේ වෙලාවක ෆොටෝ එකක් ගත්තොත් කහ පැහැයක් ගන්නවා. බැරි වෙලාවත් ෆ්ලෑෂ් කරන්නේ නැතිව ගේ ඇතුලේ තියෙන ලයිට් එළියෙන් ෆොටෝ එකක් ගන්න උනොත්? ෆිල්ම් රෝල මාරුකරලා Tungsten  type එකක් දමන්නත්  බැහැනේ. ඔන්න ඔතන දී තමයි මේ වර්ණ උෂ්ණත්වය සකස් කරන්න වෙන්නේ. නමුත් මේක කැමරාවෙන් කරන්න බැහැ කියලා දැන් අපි දන්නවනේ, එහෙනම් කොහොමද මේක කරන්නේ? මෙතැනදී අපිට කරන්න වෙන එකම දේ තමයි කැමරාවට ඇතුල්වන ආලෝකයේ වර්ණය වෙනස්කිරීම.

පළමුව මේ උදාහරණය බලමු.

 Daylight  type ෆිල්ම් එකකින් සවස් කාලයේදී ෆොටෝ එකක් ගැනීම, දැන් අපි දන්නවා අපි ගන්න ෆොටෝ එකේ අවසන්  පුතිපලය කහ පැහැය වැඩිවෙන බව.එතකොට අපි කරන්නේ කැමරා ලෙන්ස් එකට ඉදිරියෙන්  නිල්  පැහැ  ෆිල්ටර් එකක් එකතු කිරීම. එවිට කැමරාවට ඇතුල්වන ආලෝකයෙහි වැඩි නිල්  පැහැයක් ඇති බැවින් කහ පැහැය නැති වෙනවා.

මේ පහල තියන colour wheel එක බලන්න


දැන් තේරෙනවානේ වැඩේ, අපිට අඩුකරන්න ඕන වන වර්ණයට විරුද්ධ වර්ණය ඇති ෆිල්ටර් එකක් යෙදීමෙන් තමයි ඒ දවස් වල ඔය වැඩේ ගොඩ දාගත්තේ. නමුත් වැඩේ හිතන තරම් ලේසි නැහැ. අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කොපමණ ප්‍රමාණයක density එකක් තියෙන ෆිල්ටර් එකක්ද යොදාගන්න ඕන කියන එක. එහෙම නුනොත් වැඩේ සුං. අඩු density එකක් තියෙන ෆිල්ටර් එකක් දැම්මොත්  colour  cast  එක සම්පුර්ණයෙන් නැති වෙන්නේ නැතිව, අඩුවීමක් වෙනවා, වැඩි density එකක් තියෙන ෆිල්ටර් එකක් දැම්මොත්, ඒ දාන ෆිල්ටර් එකේ පාට colour  cast  එකක් එනවා.

ඉතින් ඉතාම ගැලපෙන නිවැරදි ෆිල්ටරය යොදන්න ඕන. ඒ දවස්වල කැමරාවට අමතරව මේ ෆිල්ටර් වෙනුවෙන්ද විශාල මුදලක් දැරීමට සිදුවුනා. මේ තියෙන්නේ ෆිල්ටර් කීපයක්.
Colour Filters 
මේ තියෙන්නේ Negatives 

ෆිල්ටරයක් තුලින් ආලෝකය ගමන් කිරීමේදී එම ආලෝකයේ යම් ප්‍රමාණයක අඩු වීමක් සිදුවෙනවා. මේ අඩුවන ප්‍රමාණය filter  factor  ලෙස නිෂ්පාදකයා විසින් ෆිල්ටරයේ සටහන් කර තියෙනවා. ඒ අනුව අනවරණයද සකස් කල යුතු වෙනවා.

ෆිල්ටර් භාවිතා කලේ මේ ලෙස වර්ණ උෂ්ණත්වයේ වෙනස නිසා ඇතිවන බලපෑම නිවැරදි කරගැනීමටම පමණක් නෙවේ. වෙනත් නොයෙකුත් කාර්යයන් සඳහා විශේෂයෙන් කලාත්මක ඡායාරුප සඳහා ෆිල්ටර් භාවිතා කිරීම සිදු උනා.

පසු සටහන:
ඔබේ  ලෙන්ස් එකේ ප්‍රමාණයට ගැලපෙන කලර් ෆිල්ටර් කීපයක් (විශේෂයෙන් නිල්  සහ කහ) සොයාගත හැකිනම්,  ඔබේ ඩිජිටල් කැමරාවේ වයිට් බැලන්ස් භාවිතා නොකර ෆිල්ටර් භාවිතයෙන්  වර්ණ උෂ්ණත්වය නිවැරදි කිරීමට උත්සාහ කර මේ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් ලබාගන්න.


23 comments:

  1. අපිනං ඒ කාලෙ ඔය ෆිල්ම් රෝල් ගන්නකොට ඔය මොකවත් බැලුවෙ නෑනෙ. :D

    ReplyDelete
    Replies
    1. ඔය මුකුත් බලන්නේ නැතිව, ෆිල්ම් රෝල් විකුණන තැනකට ගිහිල්ල, ෆිල්ම් රෝල් එකක් දෙන්න කිවම දෙන්නේ ISO 200 සහ Daylight Type ෆිල්ම් රෝලක්.

      Delete
  2. හ්ම්ම්....මමනම් ඇත්තටම ෆිල්ටර් මොකුත් පාවිච්චි කරලා නෑ..මොකෝ ඒ කාලේ ඒ ගැන වැඩිය දන්නේ නෑනේ!

    ReplyDelete
    Replies
    1. එකේ ඇත්ත. අද පරපුර මේ දේවල් දැකලා නැහැ, බොහෝවිට අහලත් නැහැ.

      Delete
  3. ඩිජිටල් කැමරා තියෙන අය මේක නොබැලුවට කමක් නෑනේද? :D:D

    ReplyDelete
    Replies
    1. ඔයා අකමැතිනම් නොබලා ඉන්න අනේ. :D

      Delete
  4. හරි සංකීර්ණයි ආහ් :D

    ReplyDelete
    Replies
    1. තේරෙනවා ඇති නේද ඒ දවස්වල අපි කාපු පරිප්පුවේ තරම.

      Delete
  5. හයියෝ රීල්. ඒව ගැන නම් කතා කරල වැඩක් නෑ. දවසක් ට්‍රිපක් ගිහින් ඇවිත් රීල් එක ආපහු ඔතන බට්න් එක එබුවම ඒක වැඩ නෑ. අපේ හිටපු එකෙක් රීල් එක ගලවල අතින් ඔතල. හිතගත්තැකිනේ මොකද උනේ කියල

    ReplyDelete
    Replies
    1. අපෝ ඔය රීල් ගැන මහා කතා තියෙනවා.

      Delete
  6. මමත් ඔය ‍ෆිල්ම් කාට්‍රිජ් දාන ෆූජි‍ෆිල්ම් ෆූජිකා කැමරා එකකින් තමයි මුලින්ම ඔය ශිල්පෙ කරන්න ගත්තෙ. අනේ මචං ඒ කාලෙ අතෑරලා ඩිජිටල් යුගයට ආපු එක ගැන මටනම් තියෙන්නෙ පුදුමාකාර සතුරක්. මම ඉස්සෙල්ලම ගත්ත ඩිජිටල් කැමරාව 3.1MP Mercury එකක්. ඊට පස්සෙ ගත්ත Olympus එකක්. අපරාදේ කියන්න බෑ ඒ දෙකේම rechargeable බැටරි කැමරාවලට වඩා කාලයක් ජීවත් වෙනවා. ඒ කැමරා දෙකම කෙටි කාලෙකින් වැඩ නොකර ගියා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මචන් ඩිජිටල් යුගය තිබුනේ නැතිනම් ඉවරයි. මේ තාක්ෂනය නිසා කොතරම් පහසුද, ඒ වගේම මිලත් අඩුයි නේ මචන්.

      ඇත්ත ඩිජිටල් කැමරා අර ෆිල්ම් කැමරා තරම් කල් පාවිච්චි කරන්න බැහැ. මගේ ළඟ තියෙන Yashica FX-3 එකට දැන් අවුරුදු 25 කටත් වැඩියි.

      Delete
  7. දැන් අවශ්‍යනොවුවත් දැනගෙන ඉන්න හොද කරුණක්. සමහරු අදටත් කැමතියි ෆිල්ම් කැමරා භාවිතයට.
    නිවැරදි Scene mode සහ ඩිජිටල් කැමරාවකින් ජායාරුපගනිමේදී අතසෙලවීම නිසා නිවැරදිව ජායාරූපයක් ගන්න ගොඩක අයට අමාරු කරුණක්, ඊට කැමරාවේ සෙටින්ග්ස් මගින් කළහැකි දෙයක් වේ නම් පැහැදිලි කරන්න පුල්වන්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත අමිල මේ දේවල් දැනගෙන ඉන්න ඕනේ.

      1.අත සෙලවීමේ ප්‍රශ්නයට කරන්න තියෙන්නේ 1/125 ට වඩා වැඩි ශටර් ස්පීඩ් එකක් යොදාගන්න එක.
      2.බොහෝ දෙනෙක් සාටර් බටන් එක මහා හයියෙන් ඔබලා එකපාරටම අත ඉවත්කරනවා, එතකොට කැමරාව සෙලවෙනවා, බොහෝ සෙමින් බටන් එක තද කරන්න ෆොටෝ එක වදෙනකල් තත්පරයක් විතර එහෙමම ඉන්න.

      අනික බොහෝ දෙනෙක් කැමරාව අල්ලන විදිහ වැරදියි. මේ ගැන ෆොටෝ ටිකක් අරගෙන පසුව පොස්ට් එකක් දාන්නම්

      Delete
    2. scene mode වලින් වලකින්න. හැකිතරම් shutter priority හෝ aperture priority පාවිච්චි කරන්න

      Delete
  8. කැමරාවක් අරගෙන මිසක් ආපසු මේ පැත්තේ නොඑමි.. @යමින්..

    ReplyDelete
    Replies
    1. යනගමන්ම එකක් අරගෙන ඉක්මනට අපහු එන්න.

      Delete
  9. කොයි විෂයයක වුනත් ඉගෙන ගන්න මොන තරම් දේ තියනව ද.. මං නම් ඔය ෆිල්ටර් ගැන මොකුත්ම දැනගෙන හිටියේ නෑ. ස්තුතියි අයියා.

    ReplyDelete
    Replies
    1. ඩිජිටල් තාක්ෂණයත් සමග post processing කියන දේ බොහෝ බලගතු වුනා. විශේෂයෙන් Light Room සහ Photoshop මෘදුකාංග සමග. ඒ නිසා filters යොදාගෙන කරගත්ත කාර්යයන් බොහොමයක් මේ මෘදුකාංග වලින් කරගන්නවා. නමුත් සමහර අවස්ථාවන් වල තවමත් filters භාවිතා නොකරනවා නොවේ.

      Delete
  10. මම පොඩි කාලේ ෆොටෝ ගත් කැමරාවක ෆිල්ම් රෝල් එක ඇරලා බැලුවා. ඒ ගොන් වැඩේ අද වගේ දවසක කීම වඩා සුදුසුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කරලා බලපු එකත් හොඳයි...

      Delete
  11. මිල දී ගන්නනම් නොවේ. නමුත්, පුළුවනි නම් උපකරණවල (හැකි අවස්ථාවල) වෙළඳපොලේ සමාන්‍ය මිල ගණනුත් කියන්න. හේතුව අපේ අවශ්‍යතාවය ආර්ථික ෆිල්ටර් එකෙනුත් බලනවානේ.

    ReplyDelete
    Replies
    1. මිල ගණන් ගොඩක් වෙනස් පරාසයක පැතිරෙනවා.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...