Monday, April 29, 2013

Smoke Photography - දුමක් ගහමුද?


ඡායාරුප ශිල්පය ගැන බොහෝ කාලයකින් පොස්ට් එකක් ලියන්න බැරි උනා. ඒ නිසා අද පොස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ Smoke Photography ගැන. Light Painting  Photography  ගැන මිට කලින් පොස්ට් එකකින් කියලා දුන්නා මතක ඇති නේ. අමතකනම් ඔය දීලා තියෙන ලින්ක් එකෙන් ගිහින් බලාගෙන එන්න.

අද කියලා දෙන Smoke Photography ක්‍රමය මගින්ද  ඉතාම සිත්ගන්නා  සුළු ඡායාරුප නිර්මාණය කරගන්න පුළුවන්.  මේ සඳහා, ඉතාම සුළු ප්‍රයත්නයකින් ඔබගේ කාමරය studio එකක් බවට සකස් කරගන්නට පුළුවන්.

මේ සඳහා අවශ්‍ය උපකරණ:

  • DSLR හෝ බ්‍රිජ් වර්ගයේ කැමරාවක් 
  • Slave Flash  එකක් හෝ Spot Light  එකක් 
  • Flash Trigger එකක් ( Slave Flash  එක ක්‍රියාත්මක කිරීම සඳහා)
  • Tripod  එකක් 
  • Light Stand එකක් (ෆ්ලෑෂ් එක හෝ ස්පෝට් ලයිට් එක රැදවීමට)
  • හඳුන් කුරු සහ රඳවනයක්.
  • කළු පහැති පසුබිමක් 

පහත දැක්වෙන ඡායාරුප දෙකෙන්, මං  තුමා මේ වෙනුවෙන් කැමරා ආම්පන්න  අටවාගත් ආකාරය බලන්න.



ඔබගේ ෆ්ලෑෂ් එක හෝ ස්පොට්  ලයිට් එකෙන් වස්තුව වෙත ලබාදෙන ආලෝකය පැති  ආලෝකයක් ලෙස ලබාදෙන්න. එමෙන්ම පසුබිම වෙත ආලෝකය නොවැටෙන ලෙස ආලෝක ප්‍රභවය සකස් කිරීම ඉතා වැදගත් වන බව සලකන්න. මේ සඳහා, මං  තුමා ෆ්ලෑෂ් එක කළු කඩදාසියකින් ආවරණය කර, එක්  දිශාවකට පමණක් ආලෝකය ලැබෙන ලෙස සකස් කරගත් ආකාරය පළමු ෆොටෝවෙන් බලන්න.

අනිකුත් වැදගත්ම සාධකය වන්නේ, මෙම කාමරය තුල පවතින පාරිසරික තත්වයයි. කාමරය තුල සුළං ගලායෑම  අවම තත්වයක පැවතිය යුතුය. මේ සඳහා විදුලි පංකා, වායු සමීකරණ ආදිය ක්‍රියා විරහිත කරන්න. සියලුම දොර ජනෙල් වසා දමන්න. කාමරය තුල ඇති වාතයේ කැළඹිලි ස්වභාවය ඉතා අවම වූ විට, හඳුන් කූර  දල්වන්න. ඉන්  ඇතිවන දුම නොයෙකුත් රටා මවන ආකාරය දකින්නට පුළුවන්.

දැන් test shots කීපයක් මගින් අනාවරණය සහ ආලෝකය ලබාදිය යුතු දිශාව තීරණය කරන්න. ඡායාරුප ගැනීමෙන් පසු Photoshop  හෝ Light Room  මෘදුකාංග භාවිතයෙන් සුළුවශයෙන් සකසාගන්න.

මේ තියෙන්නේ මං  තුමා ගත්ත ෆොටෝ කීපයක්. ඕගොල්ලොත් මේ ක්‍රමය අත්හදා බලන්න.








Friday, April 26, 2013

මියන් මර්ධනයට බෙහෙතක්.


ම කලින් පොස්ට් එකක ලියුවනේ දලබුවන් මර්ධනය කරපු  විදිහ.  නමුත් මේ කතාව ඊට වැඩ වෙනස් විදිහකට මියන් මර්ධනය කරපු විදිහක් ගැන. අත්හදා බලන්න මේක ඉතාම සාර්ථක ක්‍රමයක්.

මේ දැනට අවුරුදු හතරකට විතර කලින්, මම මේ දැන් වැඩ කරන office එකට ඇවිත් දින කීපයකින් උන දෙයක්. මම මෙතන වැඩට අපු දවසේ ඉඳලම බොහෝවිට මුලින්ම  එන්නේ මම. ඒ අවහම තමයි ඔය නන්දසිරියා දොරවල් එහෙම අරින්නේ. මම එනකල් ඔය  cleaning  service එකෙන් යොදවලා තියෙන දෙන්නා කාර්යාලය අවට අතු පතු ගාල එහෙම තියෙනවා. ඔන්න ඉතින් එදා දොරවල් ඇරියා .. මම ඇතුලට ගිය විතරයි .... අම්මෝ එහෙම ගඳක් ... 

"නන්දසිරි ඉක්මනට අර ක්ලීනින් සර්විස් එකේ දෙන්නට එන්න කියන්න..."

ඔන්න  දැන් උන් දෙන්න එනවා.

"මොකද මේ ඉවසන්න බැරි ගඳ .... "

"සර් ඔය මියෙක්  මැරිලා.. අපි ඉක්මනට හොයලා  කරලා අයින් කරන්නම්....  එයාර් ප්රෙස්නර්  ගැහුවම හරි...."

"හරි... හරි...  ඕන මගුලක් ගහලා ඔය ගඳ නැති කරනවා..."

එදා සිද්දිය ඔතනින් ඉවරයි.  ඊට  දවස් දෙක තුනකට  විතර පස්සේ  අපහු එම කතන්දරේම  තමයි.

"මොකද මේ අදත් මීයෙක් මැරිලද..?"

"ඔව් සර්..."

"ඇයි  මේ මියන්ට මැරෙන්න වෙන තැනක් නැත්ද? මුන් මෙහෙටම එන්නේ මැරෙන්න...."

" නෑ  සර් .. අපි මියන් මැරෙන්න වස තියනවනේ...."

ඔන්න මගේ මාරය ආවේශ උන් වෙලාව.

"කවුද ඔය වැඩේ කරන්න කියුවේ... ඔයගොල්ල ඉන්නේ මෙතන සුද්ද පවිත්‍ර කරන්න මිසක් එක එකාට වස දෙන්න නෙවේ.."

" නෑ  .... සර්.... , සර් දන්නේ නැහැ ... මේකේ ඉන්න බැහැ පුදුම මි කරදරයක් තියෙන්නේ"  නන්ද සිරි මැදට පැන්නා 

"ඉතින්..."

"සර් එන්න කලින් ඉඳලම උන්ට මෙහෙම කරනවා සර්... දවස්  දෙක තුනකට සැරයක් මුන් අයින් කරලා සුද්ද කරනවා"

"හ්ම්.. ඉතින් ඔච්චරකල් ඔය වැඩේ කරලත් මියෝ ඉවර උනේ නැත්ද ?"

"මුන් ඉවර කරන්න බැහැ  සර්.. කොහෙන් එනවද දන්නේ නැහැ.... , මැනේජර්  මහත්තයා තමයි ඔය කොම්පැනියකින් බෙහෙත් ගෙන්නලා දෙන්නේ.  මේ මිනිස්සු දෙන්නා හැමදාම ඔය බෙහෙත් අහුමුලු වල තියනවා"

"වර කරන්න බැරිනම් මොකටද මිනිහෝ මේක කරන්නේ. හ්ම් තුන් දෙනාම යමු මගෙත් එක්ක ඔය තියල තියෙන ඒවා බලන්න"

දැන් මුන් හැම අස්සක් මුල්ලක් ගානෙම පෙන්න පෙන්න ඇවිදිනවා... නිල්පාට කැට වගයක්.. පොඩි කාඩ් බෝඩ් පියන් වල දාලා.. මම වහාම ක්‍රියාත්මක වන පරිදි මේ සියල්ලම එකතු කරවලා මා ඉදිරියේම වල දැමීමට කටයුතු කළා. 

දැන් ඔන්න සුපුරුදු පරිදි මිස්ටර් කොරේරා (නියම නම නොවේ)  උදේ 8.10 විතර අව..

"ගුඩ් මොර්නින්ග් මිස්ටර් අයිලාෂ්"

" ආ ගුඩ් මොර්නින්ග් මිස්ටර් කොරේරා.. මොකද මේ මියන්ට වස ජාතියක් මෙහෙ තියනවා කියන්නේ  හැමදාම..."

"ඔව්.. ඔව්.. මුන් ගෙන් පුදුම කරදරයක් නේ.. රෙකොර්ඩ් රුම් එකේ කිසිම දෙයක් තියන්න බැහැ.  ඒ  නිසා ඔය  .......පේස්ට් කොන්ට්‍රෝල් කොම්පනියත් එක්ක ඇග්රීමන්ට් එකක් ගහල තියෙන්නේ."

" කෝ කොහෙද දැන් ඔය දීල තියෙන වස ජාතිය.."

මේ බුරුවා බොහොම උජාරුවෙන් යකඩ කබඩ් එකක් ඇරලා මල්ලක් අරගෙන මට පෙන්නුවා. මම වහාම ඔය ක්ලිනින්ග් සර්විස් එකේ එකෙක් ට කතා කරලා මේ මල්ල දීල කිවා

"මේ ටිකත් දැන්මම වල දානවා...."

"අපෝ.. අපෝ..  මිස්ටර් අයිලාෂ්.. ඔය මොනවද කරන්නේ. ඕවට සල්ලි ගෙවල තියෙන්නේ."

"සල්ලි ගෙවලා... එහෙනම් ගෙදර අරගෙන ගිහින් තමුසේ කනවා... මම මේ ඔෆිස් එකේ ඉන්නකල් ආයේ ඔය වැඩේ කරන්නේ නැහැ. වහාම ඔය ඇග්රීමන්ට් එක කැන්සල් කරන්නට ලියුමක් යවන්න."  මගේ උපරිම බලය මුට පෙන්නුවා.

දැන් මේක කටු කුටු ගගා කට අස්සෙන් අපේ අම්මටත් එක්ක බනිනවා කියල මට තේරුනා.  ඊට පස්සේ ඔෆිස් ස්ටාෆ් එක ඔක්කොම ගෙන්නලා හොඳ දේශනයක් එහෙම දිලා  පොඩි ශ්‍රම  දාන පාරක් දැම්මුවා.  සුමානයක් දෙකක් යනකොට ඔෆිස් එකේ එක මීයෙක්, කරපොත්තෙක් නැහැ. අදටත් මියන්ගේ කරදරේ නැහැ. ඔය මියෝ, කැරපොත්තෝ , මදුරුවෝ වගේ සත්තු මරන්නේ නැති උනහම, උන්ගෙන් කරදරයක් නැහැ කියන එක මම ගොඩක් කාලයක් ඉඳලා දැනගෙන හිටි දෙයක්.

ඔය අන්තිම ෆොටෝ එකේ ඉන්නේ මගේ කැමරාවට අහුඋන එක්කෙනෙක්. මටනම් ඔය මියගෙයි, ලේනගෙයි  දෙන්නගේම පෙනෙන්නේ අහිංසක කමක් විතරයි. ඔය ගොල්ලන්ටත් එහෙමද?

*** දලබුවන් මර්ධනයට අත්දුටුවයි සත්තයි පොස්ට් එක අනිවා කියවන්න.****


Friday, April 19, 2013

ආ මඟ දුරයි......



බොහොම ඈතට  දිවෙන, ඉමක්  නොපෙනෙන  වැල් පාලමක්  මතින්  මේ තරම් දුරක් ආවෙත්  බොහොම අමාරුවෙන්. මේ ගමන  මෙතරම් දුෂ්කර වුයේ  පාලම තදින්ම හෙල්ලෙන නිසාම   පමණක් නොව,  බොහෝ  අවස්ථාවන්හිදී  පහල ඇති ප්‍රපාතය වෙත ඇද  දැමීමට නොයෙක් අය  ගත්  උත්සාහයන් ද වළක්වමින් ගමන් කිරීමට සිදු වූ නිසා යැයි මට සිතේ.

තැනින් තැන දිරාපත්වූ  ලෑලි  කැබලි මෙන්ම, සමහර තැන්වලදී   එම දිරාපත්වූ  ලෑලි කැබලි ද  ගැලවිලා ගොස් ඒ තුලින් පෙනෙන්නාවූ  භයානක ප්‍රපාතය දකිමින් , සිත ශක්තිමත්  කරගෙන බොහොම සීරුවෙන් ආ ගමනක්. ඉදිරිය බැලුවිට  තවත් බොහෝ දුර බවත්, නොපැහැදිලි බවත් පෙනෙනවා.

මේ පාලම මතින් තව කොතෙක් දුර ගමන්  කල හැකි වේද යන්න අවිනිශ්චිත නමුත්, විටින් විට නැවතී ආපසු හැරී  බැලූ සෑම  විටකම මට විශාල සතුටක් උනේ, ම විසින්  කිසිවෙකුත් ප්‍රපාතය කරා  තලුකර නොදමා මෙතරම් දුරක් පැමිණී නිසා මෙන්ම, මේ ආ ගමනේ බොහෝ දුරක් මට සහය වෙමින් මා  සමගම ආ මගේ ආදරණිය බිරිඳ සහ දරු දෙදෙනා ද  සෑම විටම මා අසලම සිටි බැවිනි.

අද උපන් දිනය සමරන මේ අවස්ථාවේදී , මේ ගමනේදී මට උපකාරී වූ සැමටත්, බ්ලොග් අවකාශයේ මා  සමඟ සිටි මිතුරු, මිතුරියන්ටත් මගේ ස්තුතිය පිරිනමින් මේ දුෂ්කර ගමනේ නිමාව සොයා  ඉදිරියටම  පිය නගන්නෙමි.




Wednesday, April 17, 2013

මස් කඩේ බෝඩ් ලෑල්ල

අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා ලියන පොස්ට් එක නිසා සැමෝටම සුබ නව වසරක් වේවා! මත්තලින් ගුවන් ගත වීමට හැකිවේවා! කියලා ප්‍රර්ථනා කරලම වැඩේ පටන් ගන්නවා.

අපේ චන්දන මලයා "බුරු වෙළදාම" කියන පොස්ට් එක බලන්න ඇති නේද? බැලුවේ නැති අය ඉන්නවනම් ඔය දීලා තියෙන ලින්කුවට කොටලා බලා එන්නකෝ. ඒ කතාවෙන් ඉතා අපුරුවට කියවෙනවා, සැමදෙනාගේම උපදෙස් වලට කන්දීලා, ඒවා කරන්න ගියාම වෙන අබග්ගේ. මේ ඉතින් අවරුදු කාලේ හින්දා බොහෝ උපදෙස් ලැබෙනවා. මං  තුමා නම් පොඩි කාලේ ඉඳන්ම කලේ ලැබෙන උපදෙස් ඔක්කොම අහන් ඉඳලා, ඒවා ගානකට නොගෙන  මං  තුමාට ඕන කරන දේ කිරීමයි. 

මේ කතාවත් ඉතින් හැමෝම දෙන උපදෙස් අහන්න ගිය කෙනෙක්ට උන් අබග්ගයක් ගැන තමයි, මේ කතාව බොහෝ දෙනෙක් අහලා ඇති, නව පරපුරේ උදවිය සමහර විට අහලා නැතිවත් ඇති. කොහොම උනත් කියවල බලලා මතකය අලුත් කරගන්නකො.

ඔන්න එකෝමත් එක කාලයක තම්බි කෙනෙක් මස් කඩයක් කරගෙන ගියා. ඉතින් ඔහොම මේ කඩය කරගෙන යන අතරේ  මෙතනට එන ගනුදෙනු කාරයෝ මෙහෙම කියන්න ගත්තා.

"මොකද තම්බි මේ මස් කඩේ බෝඩ් ලෑල්ලක් වත් හයි කරන්නේ නැත්තේ,  බෝඩ් ලෑල්ලක්  දාන්නකෝ"

මේ කතාව අහපු තම්බි කල්පනා කරා මේ කියන්නේ ඇත්ත තමයි, මේකට හොද ලස්සනට බෝඩ් ලෑල්ලක්  හයි කරන්න ඕන කියලා. එහෙම හිතපු අපේ තම්බි මුදලාලි මේ වගේ බෝඩ් ලෑල්ලක්  අන්දලා කඩේ සවි කරා.


දැන් ඉතින් තම්බි මුදලාලිට හරි සතුටුයි. බොහොම උජාරුවෙන් කඩේ වැඩ කරගෙන යනවා. දැන් මේ බෝඩ් ලෑල්ල දැක්ක ගනුදෙණු  කාරයෙක් මෙහෙම කියනවා;


"මොකක්ද තම්බි මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ, තමුසේ ඉතින් සිංහල දන්නා එකක් යෑ, මෙහි හොඳ මස් විකිණීමට  තිබේ කියන්න ඕන නැහැ නේ, මොකද කඩේ නැතිව තමුසේ ගෙදරත් මස් විකුණනවද? ඔය බෝඩ් එකේ මෙහි කියන වචනේ ඕනේම නැහැ."

තම්බි මුදලාලියත් කල්පනා කරා ඇත්ත නේන්නම් මේ මනුස්සයා කියන්නේ කියලා. එහෙම හිතලා තීන්ත ටිකක් අරගෙන බොඩ් එකේ මෙහි කියන වචනය කපලා දැම්මා. දැන් බෝඩ් ලෑල්ල තියෙන්නේ මේ විදිහට.


මේ බෝඩ් එක  දැකපු තවත් ගනුදෙණු  කාරයෙක් මෙහෙම අදහසක් දෙනවා;

" ආ මුදලාලි.. බෝඩ් එකක් දාලා තියෙන්නේ... ඇත්තටම තමුසෙට පිස්සුද, හොඳ මස් විකිනීමට තිබේ කියලා දාන්න, ඇයි  ඔයි මෙච්චර දවසක් තමුසේ වික්කේ නරක මස් ද?"

මේ කතාව ඇහුවා විතරයි තම්බියගේ ඉහ මොළ රත් වුනා. කැපුවා බෝඩ් එකේ තියෙන හොඳ කියන වචනය 
දැන් ඉතින් හරි 

ටික වෙලාවක් යනකොට තවත් කෙනෙක් ඇවිත් මෙහෙම කියනවා ;

"මොකද තම්බි තමුසේ මේ කඩේ එළවලු එහෙමත් විකුණනවද? මස් විතරනේ විකුනන්නේ. ඉතින් මස් විකිනීමට තිබේ කියන්නේ මොන එහෙකටද?"

මුදලාලිත් කල්පනා කරා ඇත්ත නේනම් මේ මිනිහා කියන්නේ, මේ මස් කියන වචනේ බෝඩ් එකට ඕනේ නැහැ. ඔන්න ඉතින් කලින් වගේම මස් කියන කොටසත් කැපුවා.


තවත් ටික වෙලාවක් යනකොට අපු කෙනෙක් මෙහෙම කියනවා;

"මොකද තම්බි මේ විකිණීමට තිබේ කියලා බෝඩ් එකක්, තමුසේ නොමිලයෙත් දෙනවද?"

තම්බි මුදලාලියා කල්පනා කරා, ඇත්ත නේන්නම් මම කවදාවත් නිකන් මස් දෙන්නේ නැහැ නේ, එහෙම හිතලා කැපුවා  විකිණීමට  කියන වචනෙත්. දැන් ඉතින් බෝඩ් එක මේ වගේ;



මේ විදිහට බෝඩ් එකේ වෙනස්කම්  කරපු තම්බි අන්තිමේදී ඔලුව කස කසා බෝඩ් එක දිහා බල බලා ඉන්නවා හැමෝටම දකින්න ලබුනාලු.


Sunday, April 14, 2013

නෑ...... මහත්තයෝ මම මේ රෙන්ට යන ගමන්


මේ කතාව දැන  ගත්තේ මන් තුමාගේ බප්පොච්චි කෙනෙක් ගෙන්. උන්නැහේ ගුරුවරයෙක්. බොහෝ කාලයකට පෙර රාජකාරි කරලා තියෙන්නේ, අම්පාර කිට්ටුව තිබුන පිටිසර බද ගැමි පාසලක. මෙයාට සැමදාම, නවාතැනේ  සිට පාසැලට දක්වා, ගම මැදින් ටික දුරක් පයින් ගමන් කරන්න සිදුවුනාලු . එසේ යන අතර මගදී හමුවන  ගැමියෙක් සමග වචනයක් දෙකක් කතා කරන්න අපේ කතා නායකයා මැලි  වුනේ නැහැලු .  එක දවසක් දා උදේ, සුපුරුදු පරිදි පාසල් යන විට, බාල්දියක් අතින් ගත් මහලු ගැමියෙකු තමා ඉදිරියට එනු දුටු ඔහු මෙහෙම ඇහුවලු;

 "ආ..... ලොකු උන්නැහේ උදෙන්ම බැරැක් වගේ"

"නෑ...... මහත්තයෝ මම මේ රෙන්ට යන ගමන්"

කියූ ගැමියා කැලය තුලට වහන් වුනාලු.

මේ කතාව මම කීවේ පැරණි ගැමියාගේ අව්‍යාජත්වය මෙන්ම එකිනෙකා හමු වන විට අප අතර ඇති, නිකමට මොනවා හරි කීමේ පුරුද්ද ගෙන හැර දැක්වීමටයි.

මේ වගේ නිකමට කියන කතා කොච්චරනං තියනවද, උදේට කෙනෙක් දැක්ක ගමන් ගූඩ් මොර්නිග් කිවම අනිකත් මෝර්නින්... මෝර්නින්... කියාගෙන යනවා එහෙම කිව්වා කියල ගූඩ් මෝනින් එකක් වෙනවද, ආයිබෝං

ඒවිතරක් යෑ............  ගූඩ් ඉවිනිග්, ගූඩ් නයිට්, හැපී බර්ත්ඩේ ඔය එකක්වත්  කිව්වා කියල එහෙම වෙනවද මන් අහන්නේ, නෑ නොවැ. මේ ඔක්කොම කියනවට කියන කතා තමයි.

ඇයි බන් අලුත්ම එක "විකසිත අනාගතයක්" ඔහොම කිව්වා කියල අනාගතය විකසිත වෙයි යෑ, මේ යන විදිහට කෙලවෙලාම යනවා මිස! ඕවත්  ඉතින් කියනවට කියන කතා තමයි.

ආ එකෙන් මේකෙන් මට අමතක වුනා අලුත් අවුරුද්දකුත් ලැබුවා නේද

සුබ අලුත් අවුරුද්දක් වේවා!


මේක මේ කියනවට කියනවා නෙවෙයි බොක්කෙන්ම කියන්නේ.....

ඔන්  එහෙනම් අපි කිරි උතුරපු හැටි බලා ගන්නකො.



Friday, April 12, 2013

නත්තල් තෑග්ග



 "උඹ නම් මහා ගොනෙක්", "බූරුවෙක්", "ඔය වගේ අපරාද වැඩ කරන්න එපා යකෝ" මේ කතාව අහපු බොහෝ දෙනෙක්ගෙන්  ඔය වගේ නොයෙකුත්  ගරු නම්බු නාම ලැබුනත් අවසානයේදී හැමෝම වගේ කියුවේ "උඹ කරලා තියෙන වැඩෙත් එක අතකට හරි මචන්" කියපු එක උනත්, එකෙක් නම් කියුවේ " ඔය කරපු වැඩේට උඹට හෙන ගහන්න ඕන යකෝ.." කියලයි. ඔන්න එහෙනම් බලාගන්න කෝ, මොකක් ද මේ මම කරපු අපරාධය කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ අදහසත් කියලාම යන්න. මොකෝ මොනවා කියුවත් මම වෙන දෙයක් කරන එකක් යැ , අපහු සැරයක් කරන්නෙත් ඔය දේම තමයි.


මේ සිදුවීම උනේ 2010 වසරේ දෙසැම්බර් මාසයේ එක දවසක. එදා මම වැඩ ඇරිලා  ගෙදර යනකොට සාලය  මැද  ලොකු වේවැල් වලින් වියපු පෙට්ටියක් ලස්සන සැරසිල්ල එක්ක . මේක දැක්ක ගමන් මම දැනගත්තා hamper එකක් බව.

"ඔන්න අයිලාෂ් හැම්පර්  එකක් ගෙනත් දීල ගියා.  අපි එක ඇරියේ නැහැ ඔයා  එනකල් තිබ්බා" 

" හා පස්සේ බලමු" 


කියපු මම ඇඟපත එහෙම හෝදාගෙන  ඇවිත් මේක කාගෙන්ද කියලා බලනකොට තමයි දැනගත්තේ අපේ ආයතනයට අනුබද්ධ තවත් ආයතනයක ඩිරෙක්ටර්  කෙනෙක්ගෙන් කියලා. මුන්ටත් ඉතින් සල්ලි වලට කරන්න දෙයක් නැහැනේ කියල තනිවම කල්පනා කරමින් මම පියන ඇරියා. අප්පේ එකේ තිබුන දේවල්, බිස්කට් පැකට් එකයි , චොකලට් පැකට් එකයි, චීස් ටින් එකයි, නොයෙකුත් ජාති වල මත්  වතුර  බෝතල් කීපයක් සහ බිය කැන්  දෙකක්.

"අප්පට සිරි මේකා බෝම්බයක් එවුවානම්  මිට වැඩ හොඳයි" 

ඔහොම කියපු මම අර මත්  වතුර   බෝතල් ටික එලියට ගත්තා. අපේ ගෙදර මත්   වතුර සහ දුම් පානයෙන් තොර කලාපයක් වගේම ඔය ජරාව කටේ ගාගෙන මොන එකා ආවත්  ගෙටුවෙන් ඇතුලට එනවනම් බොරු. කොටින් ම කියුවොත් මතට තිත.  එහෙව් එකේ  දැන් මේ මගුලට මොකද කරන්නේ කියලා කල්පනාව. බිරිඳගෙන් සහ ලොකු පුතාගෙන් විවිධ යෝජනා අතරේ පොඩි එකා චොකලට් එක ගැන වග බලාගන්නවා. ඔය අතෙර් මම කලේ වහාම උපදෙස් ගැනීම සඳහා මගේ හිතවත් ස්වාමින් වහන්සේ නමකට කෝල් එකක් ගැනීම.

" තෙරුවන් සරණයි...!"

"තෙරුවන් සරණයි!, ස්වාමින්  වහන්ස, මම අයිලාෂ්"

" ආ මහත්තයා මොකද හදිසියේම"

ස්වාමින්  වහන්ස,  මම මේ කතා කලේ උපදෙසක් ගන්න, මට තෑග්ගක් ලැබිලා එකේ මත් වතුර බෝතල් වගයක් තියෙනවා මම මොකක්ද දැන් මේකට කරන්නේ"

"හ්ම්.. මහත්මය ම තමයි කල්පනා කරලා බලල සුදුසු දෙයක් කරන්න ඕනේ.."

"ස්වාමින්  වහන්ස,  මම මේක වෙනත් කෙනෙක්ට දුන්නොත්?"

"මහත්තයා  සුරා පානයට අනුබල දුන්න වෙනවා."

" එහෙනම් මේක විකුණලා  දැම්මොත්"

"විකුණලා මුදල් හරි ඒ හිලව්වට වෙන බඩු  මුට්ටු ටිකක් හරි  ගත්තොත්  එක නොකළ යුතු වෙළදාමක් බවට පත්වෙනවා"

" හරි ස්වාමින්  වහන්ස, මට දැන් තේරෙනවා මේක විනාශ කරන්න ඕනේ.."

"හරියට හරි මහත්තයා, හැබැයි වතුරටවත්, වෙන සතෙක්ට පෙවෙන විදිහකටවත් දමන්න එපා.."

"හොඳමයි ස්වාමින්  වහන්ස, එහෙනම් මට අවසරයි"


දැන් ඉතින් හරි හිත සුද්දෙන්  වැඩේ දෙන්න පුළුවන් පොඩි උන් දෙන්නත් එක්ක මේ බෝතල් සහ බියර් කෑන් ටික අරගෙන  ගියා  ගෙදරින් එලියට. අපේ ගෙදර එලිය පැත්තක ඔය පොඩි වැසිකිලි කැල්ලක් හදලා තියෙනවා, අර අපේ බලු යාළුවා බාන බඩු දාන්න.  ඔන්න ඔතෙන්ට ගිහිල්ල කොල්ලෝ දෙන්නට බලාගෙන ඉන්න කියලා  අර බෝතල් ටිකයි බියර් කෑන් දෙකයි  ගලවලා ඔය කියපු වැසිකිලිවලට හැලුවා.

මට නම් හිතෙන්නේ ඕවට  කොහොමත් සුදුසු තැන වැසිකිලි වල කියල. 

මේ අවුරුදු කාලේ  ලැබෙන ඔවැනි තෑගි වලට මේ වගේ සත්කාරයක් කරන්න පුළුවන් අය  ඉන්නවද?

 ප.ලි.:  කමක් නැහැ දැන් ඉතින් බනින උන් බැනලා හරි පලයල්ලා.

Thursday, April 11, 2013

ආලෝකයෙන් ඇඳීම - Light Painting Photography


අපි කලින් ඉගෙනගෙන තියෙනවා Photography කියන වචනය හැදුන  ආකාරය,  අමතකද? හොඳයි එහෙනම් අපහු කියන්නම්  ෆොටෝස්  සහ ග්‍රෆෝස්  කියන ග්‍රීක වචන දෙකින් තමයි  Photography කියන වචනය  හැදිලා තියෙන්නේ. 

ෆොටෝස් = ආලෝකය
ග්‍රෆෝස් = ලිවිම, ඇඳීම

Photography කියන වචනයේ තේරුම තමයි ආලෝකයෙන් ඇඳීම එහෙම නැත්නම් ආලෝකයෙන් ලිවීම කියන එක. අද පොස්ට් එකෙන් මම කියලා දෙන්න යන්නේ අපි සාමාන්‍යයෙන් ෆොටෝ ගන්න ක්‍රමයට වෙනස් වූ  Light Painting Photography (ආලෝකයෙන් ඇඳීම)  කියන ක්‍රමය. 

ඇත්තෙන්ම මේ Light Painting Photography වලදී අපි කරන්නේ, අපිට ලැබෙන ආලෝක ප්‍රභවය උපයෝගි කරගෙන abstract art  එකක් විදිහට වර්ණ සහ හැඩතල යොදාගෙන අපේ ෆොටෝ එක නිර්මාණය කරගැනීමයි. මේ Light Painting Photography කියන ක්‍රමය Abstract Photography යටතට ගන්නත් පුළුවන්.

Light Painting Photography වලදී අපි කරන්නේ දීර්ග අනාවරණ කාලයක් (longer exposure time ) ලබාදෙමින් (බොහෝ විට තත්පර කිහිපයක්) කැමරාව අපිට අවශ්‍ය කරන රටාව ග්‍රහණය කරගත හැකි අයුරින් චලනය කිරීමයි. කැමරාව නිශ්චලව තබා ආලෝක ප්‍රභවය චලනය කිරීමෙන්ද මේ ආකාර ඡායාරුප නිර්මාණය කල හැක. 

 මේ ක්‍රමය සාර්ථකව සිදුකල හැක්කේ රාත්‍රී කාලවලදී හෝ කළුවර කාමරයක් තුලදීය. මෙහිදී ශිල්පියා තම අත  ඇති කැමරාව පේන්ට් බ්‍රෂ් එකක් ලෙසද, ආලෝකය වර්ණ ලෙසද යොදාගනිමින්, තමන්ගේ දක්ෂතාවය සහ නිර්මාණශිලිත්වය මත සාර්ථක නිර්මාණයක් සිදුකරනු ලබයි.

මං තුමා කොතෙකුත් උත්සාහ  කලත් මේ Light Painting Photo එකක්වත් සාර්ථකව නිර්මාණය කරන්න බැරි උනා. නමුත් මං  තුමාගේ පොඩි කොලුවා මේ වැඩේට බොහොම දක්ෂයි. මම හිතන්නේ ඒ හැකියාව තියෙන්නේ එකා චිත්‍ර ශිල්පියා නිසා කියලයි. මේ Light Painting Photos  කීපය එයාගේ නිර්මාණ එකතුවෙන්.










මේ අවුරුදු සමයේ බොහොතැන් විදුලි බුබුළු වලින් ආලෝකමත් වන නිසා මේ ක්‍රමය අත්හදා බලන්න. තවත් ඡායාරුප ගන්නා ක්‍රමයක් ඊළඟ පොස්ට් එකෙන් කියලා දෙන්නම්.

Monday, April 8, 2013

කථාකරන ගිරවා (18 ++)


එකෝමත් එක කාලෙක  උන සිදුවීමක් තමයි අද මං  තුමා කියන්න යන්නේ.  මේ කතාව අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් නිසා පොඩිහිටියෝ  මේ කතාව කියවීමෙන් වැලකි සිටිය යුතුය. මෙහෙම අනතුරු හැඟවීමක් කළා කියලා උන් මේක නොබලා ඉඳීවිද?  හොඳයි දැන් එහෙනම් මේ කතාව කියවලා බලමු.

ඔන්න එකෝමත් එක කාලෙක එකෝමත් එක ගෙදරක ගිරවු ජෝඩුවක් ඇතිකළා. මේ දෙන්න ඔය පේනවා වගේ බොහොම නිදහසේ තමයි මේ ගෙදර ජිවත් උනේ. කවදාවත් කුඩු කලේ නැති උනත් මේ දෙන්නත් කිසිම දවසක මේ ගෙදර සීමාවෙන්  පිට පියාඹා ගියේ නැහැ. මේ ගිරවු දෙන්නාටම ඉතාම හොඳට කථා  කිරීමේ හැකියාවත් තිබුන අතර මේ දෙන්නා හරියටම නිවුන්නු වාගේ, පෙනුමෙන් එක සමානයි.

මේ ගෙදර හිටිය කොලු ගැටයෙක්, දන්නවනේ ඉතින් කොල්ලන්ගේ හැටි.... මේ කොලුවත් ඒ වගේ තමයි, ඕනේ නැති දෙයක් නැහැ. දැන් මේකාට තියෙන එකම ආසාව තමයි මේ ගිරවු දෙන්නගෙන් පිරිමි සතා මොකාද  කියලා දැනගන්න එක.  මේ උනන්දුව නිසාම මේ කොලුවත් ගිරවු  දෙන්න දිහා ඇහැ  ගහගෙනම තමයි හිටියේ.  

ඔන්න ඔහොම ඉන්න අතෙරේ දවසක් මේ කොලුව දැක්කා මේ ගිරවු දෙන්නා පෙම් සුව විඳින හැටි. දැන් මේකාට හරිම සතුටුයි,  පැනපු ගමන් අල්ලා ගත්තා උඩ  හිටපු ගිරවා. එහෙම අල්ලාගෙන කියනවා.

"ඇ ... බන් ගිරවෝ,  උඹ මෙච්චරකල්  මට හොරෙන් ඔය වැඩේ කලත් අද අතටම අහු උනා."

දැන් කොල්ල තමන්ටම මෙහෙම කියා ගන්නවා.

"මම දැන් මේකාව අත  හැරියොත් මුන් දෙන්නම එක වගේ නිසා අපහු මට මේ පිරිමි සතා අඳුනා ගන්න බැරි වෙනවා. .. හ්ම්ම් .. මොකද කරන්නේ ?... "

ඔය විදිහට කල්පනා කරලා එයට  විසඳුමක් විදිහට මේ ගිරවාගේ බෙල්ලේ   පටියක් බැඳලා අත  හැරියා. දැන් ඉතින් ඕන වෙලාවක පිරිමි සතා අඳුනා ගන්න පුළුවන් බෙල්ලේ  පටියක් තියෙන නිසා.

ඔය සිද්ධියෙන් පස්සේ ගිරවා නම් හිටියේ ටිකක් හිතේ අමාරුවෙන්, මොකද ඉතින් වැඩේ කරනකොට අහු උනානේ.  දැන් ඉතින් ඔය විදිහට කාලය ගෙවී  ගෙන යනවා. ඔය අතරේ  දවසක්  අපේ මේ කොලුවාට ඉන්ටර්විව් එකකට යන්න සිදු උනා. ඉතින් මේ කොලුවත් හොඳට ඇඳ  පැළඳගෙන ටයි පටියක් එහෙම බෙල්ලේ එල්ලාගෙන ගෙදරින් එලියට බැස්සා, ඉන්ටර්විව් එකකට යන්න හිතාගෙන,  ගෙදර දොර ගාවම තියෙන ගිරා කුඩුවේ හිටපු ගිරවා, මෙයාව  දැක්ක ගමන් ඔලුව හරවලා හොඳට බලල මෙහෙම කිවලු.

"ආ... හා... ඔයාත්   *කලා  අහු උනා නේද? "

**** මේ පොස්ට් එක කියවපු අය කළු පටියද? සුදු පටියද? (18+) පොස්ට් එක අනිවා කියවන්න... *****


Wednesday, April 3, 2013

කුරුල්ලන්ගේ ඡායාරුප ගනිමු.


මිට කලින් පොස්ට් කීපයකම කුරුල්ලන්ගේ ඡායාරුප පලකලානේ. අද මේ පොස්ට් එකෙන්, මගේ ප්‍රියතම අංශය වන  කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම ගැන කෙටි හැඳින්වීමක් කරන්න හිතුවා.

වනජීවීන්  අතර බොහෝ සුලබව දකින්නට ලැබෙන සත්ව කොටස තමයි කුරුල්ලන් කියන්නේ. ගෙවත්තේද බොහෝ කුරුළු විශේෂ දකින්නට පුළුවන්. මේ අය  හඳුන්වන්නේ ගෘහාශ්‍රිත පක්ෂීන් එහෙම නැත්නම් Garden Birds ලෙසටයි.  කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීමට කැමති ආධුනිකයන්  මුලින් මේ ගෘහාශ්‍රිත පක්ෂීන්ගේ ඡායාරුප ගැනීම  වඩා සුදුසු වන්නේ, ඔවුන් අනිකුත් පක්ෂීන්ට වඩා මිනිසුන්ට දක්වන බිය සහ කුලෑටි ගතිය අඩු නිසයි.  කෙසේ වෙතත් වනජීවී ඡායාරුප කරණයේදී කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම ඉතාම දුෂ්කර බව කිවයුතු වෙනවා.


කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීමේදී  ඔබ;

1. පරිසරය තුල සැඟවී සිටීමට දක්ෂ විය යුතුයි: මේ සඳහා කොළ පැහැති යුත් ඇඳුම් භාවිතය සුදුසු වෙනවා, දීප්තිමත් වර්ණ සහිත ඇඳුම් කිසිසේත් අදින්න එපා. සමහර විට  Sniper කෙනෙක් වගේ වෙස්වලා ගන්නත් සිදුවෙනවා. හැකිනම් ඔබේ කැමරාවට  කොළ පැහැ  ආවරණයක් යොදන්න.

2.ඔවුන්ගේ චර්යා රටාවන් ඉතා හොඳින් අධ්‍යයනය කල යුතු වෙනවා.  බොහෝවිට ඔවුන් එන්නේ එකම ගසකට, සමහර විට එකම අත්තකට. මේ රටාවන් හඳුනාගැනීමෙන් ඔබේ කාර්යය වඩා පහසු වෙනවා පමණක් නොව ඔවුන්ගේ දුර්ලභ අවස්ථාවන් ග්‍රහණය කරගත හැකි වෙනවා.

3.ඉතා දැඩි ඉවසීමක් තිබිය යුතුයි. පක්ෂීන් ඉතාමත් සංවේදී කොටසක්. අපේ සුළු සෙලවීමක් උනත් මේ අය ඉතා හොඳින් හඳුනාගන්නවා. එමෙන්ම ඉතා සුළු ශබ්දයකින්  උනත් පක්ෂීන් ඉතා දැඩි ලෙස තැතිගැනිමකට ලක්වෙනවා.කිසිම විටක ඔවුන් බිය වෙන ආකාරයේ චලනයක් හෝ ශබ්දයක් කරන්න එපා. සමහර විට ඔබට එක ඡායාරුපයක් ගැනීම වෙනුවෙන් කැමරාව මානාගෙන පැයක් හෝ ඊට මදක්  අඩු වැඩි කාලයක් ගතකිරීමට වුවද සිදුවනු ඇත. ඔබගේ නිසොල්මන් තාවය මත ඔවුන්ගේ බිය පහව  යනු ඇත.

4. ඔවුන් ගේ බිය දැක්වෙන සීමාව ( circle of fear ) හඳුනාගන්න. සමහර කුරුළු විශේෂ වෙත මීටර 2ක් පමණ ලඟා විය හැකි වුවත් සමහර විශේෂයන් වෙත මීටර 20 කට වඩා ලඟා වීම අපහසු වේ.

5. කුඩු සැදීමේ යෙදී සිටින සහ බිත්තර රකින අවස්ථාවන්ගේ ඡායාරුප ගැනීම කලයුත්තේ ඔබ ඒ ගැන මනා අවබෝධයක් ඇත්නම් පමණි. ඡායරුපයට වඩා පරිසරයට එකතුවීමට සිටින කුරුළු පැටවුන් ඉතා වටිනා බව සිහි තබාගන්න.

6. ඔබගේ ඡායාරුපය වෙනුවෙන් ගහක කොලයක් හෝ කැඩීමෙන් වැලකි සිටිමට තරම් කාරුණික වන්න. පරිසරයට ආදරය කරන කෙනෙකු වන්න.



අවශ්‍ය උපකරණ;

1. DSLR හෝ High-end Bridge කැමරාවක් 
2. ටෙලි ෆොටෝ ලෙන්ස් - මි.මි. 300 හෝ ඊට වඩා වැඩි නාභි දුරක් සහිත. මෙයට වඩා අඩු නාභි දුරක් ඇති විට අවශ්‍ය තරම් ඔබගේ වස්තුව (subject) වෙත ලඟා විය නොහැකි වීමෙන් හොඳ ප්‍රතිපල ලබාගත නොහැක. නමුත් ගෘහාශ්‍රිත පක්ෂීන් ඡායාරුප ගත කිරීමට නම් මි.මි.150 වැනි කාචයක් උවද සෑහේ.
3. හොඳ Tripod (තෙපාවක්) එකක්.


මේ පහත තියෙන්නේ මගේ කැමරාවට හසුකරගත්, මම ඉතා ආසාකරන ඡායාරුප කීපයක්.





තවත් කුරුළු කුඩු දෙකක් ෆොටෝ ගන්න අවස්ථාව ලැබුනා, කහ කුරුල්ලා ගේ සහ කවුඩා ගේ. ඒ ෆොටෝ පසුව පෙන්නන්නම්.

Monday, April 1, 2013

කුරුළු කුඩුව


මම කලින් පොඩි කවි පන්තියක් දාලා තිබුනා අප "ඉන්නම් බඩගින්නේ ළඟ ඉන්නකෝ අම්මේ" කියලා, මම ගත්ත කුරුළු පැටවුන්ගේ ඡායාරුපයක් එක්ක. බලපු නැති අය  ගිහින් බලලම එන්න. ඒ පොස්ට් එකට අපේ DDT සහෝදරයා  මෙන්න මෙහෙම කොමෙන්ට් එකක් දැම්මා, ඔය තියෙන්නේ පහල.


ඉතින් එදා උන පොරොන්දුව අද ඉටුකරන්න හිතා ගත්තා. ඒ කොමේන්ට් එකට දාපු රිප්ලයි එකම තමයි මේ පොස්ට් එකට සුදුසු කියලා හිතෙන නිසා සුළු වෙනස්කම් සහිතව මේ පොස්ට් එකෙත් පලකලා. ඔන්න එහෙමනම්  ෆොටෝ ටික ඔක්කොම බලන්න.

මගේ කාර්යාලය අසල තිබුන කුඩා ගසක කොන්ඩ කුරුල්ලන් දෙදෙනෙක් නිතර ගැවසෙනවා දෑකලා බළනකොට මේගොල්ල කුඩුවක් හදනවා. නමුත් මේ අවස්ථාවේදී මම කිසිම ෆොටෝ එකක් ගන්න ගියේ නැහැ , එහෙම කළා නම් උන් බයවෙලා එය  අත්හරින බව දැනගෙන හිටියා. මේ ගස පිහිටලා තිබුනේ කාර්යාලයේ එක කාමරයක ජනේලයක් අසලමයි. අපේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නන්දසිරිට (නන්දසිරි ගැන මෙතනින් බලන්න) උපදෙස් දුන්නා මොනම හේතුවකටවත් ඒ ජනේලය අරින්න එපා කියලා. ජනේලයට තිරයක් දාලා තිබුන නිසා උන්ට ජනේලහෙන් මෙපිට පෙනෙන්නේ නැහැ වගේම මෙම කාමරය කිසි කෙනෙක් පාවිච්චි කලේ නැති නිසා උන්ට කිසි කරදරයක් උනේ නැහැ. ඔය ජනේලයට උඩින් පොඩි කවුළු කීපයක් තිබුනා, ඉතින් මම ජනේලය ළඟ මේසයක් තියල ඒ මේසය උඩ තව කුඩා මේසයක් තියලා එකේ උඩ try prod එක සහ මගේ කැමරා අම්පන්න ටික අටවා ගත්තා.

ඔය කවුළුවක් අස්සෙන් ෆොටෝ ගහන්න උන හින්දා මගේ කැමරා කෝණය ඉතාම සිමා සහිත උනා. ඒ වගේම ඔය පින්තුර ඉස්සරහින්ම පෙනෙන්න තියන කොලය මට ලොකු බාදාවක් උනත්, එය කඩා ඉවත් කිරීමට මට කිසිම ලෙසකින් ආචාර ධර්ම වලට අනුව ඉඩක් නැහැ. කෙසේ උනත් ඔය සීමාවන්ට යටත්ව බිත්තරයේ සිට පැටවුන් ඉගිල යන තෙක්ම දිනපතා ඡායාරුප ගැනීමේ හැකියාව ලැබුනා. බොහෝවිට ආලෝක තත්වයන් පැවතුනේ ඉතාම නරක ලෙස නමුත් Flash light එකක් බාවිතා කලේ නැහැ. මුලින්ම Flash එකක් බාවිතා කලේ ඔය පැටවුන් ඇස් ඇරපු මුල්ම දවසෙයි.  ඒ වෙනකොට මොනම හේතුවකටවත් ලොකු උන් පැටවුන් අතහැර නොයන බව මම දැනගෙන හිටියා.

කුරුල්ලන්ගේ ඡායාරුප ගන්නා ශිල්පියෙකුට, ඔවුන්ගේ  හැසිරීම් ගැන මනා අවබෝධයක් තිබීම ඉතාම වැදගත්, එසේ නොමැතිව බිත්තර රැකීම හෝ පැටවුන්ගේ ඡායාරුප ගැනීම නොකළ යුත්තක්. ඉතාම වැදගත් වන්නේ කෙසේ හෝ ඡායාරුපය ගැනීම නොව, ඔවුන්ගේ ජිවන රටාවට කිසිසේත් හානියක් නොකර ඔවුන්ට නොදැනී ඡායාරුපය ගැනීම බව ඉතාම හොඳින් මතකයේ තබාගත යුත්තක්.

ඔන්න එහෙනම් ෆොටෝ ටික බලන්න. දින දාලා තියෙනවා කාල පරාසය ගැන අවබෝධයක් ලබාගන්න.


කුරුල්ලයි කිරිල්ලයි අපරුවෙන් හදාගත්ත කැදැල්ල 

 මේ බිත්තර දින කීපයක් රැකලා තියෙන්නේ   - දිනය: ජුනි මාසේ 13 දා


 සා පිපාසා  නොතකා - දිනය: ජුනි මාසේ 13 දා

පළමු පැටියා බිහිවී    - දිනය: ජුනි මාසේ 15 දා

පැටවුන් දෙදෙනම් බිහිවී අවසන්     - දිනය: ජුනි මාසේ 15 දා

පළමු ආහාර වේල   - දිනය: ජුනි මාසේ 15 දා

පෙරදාට වඩා වැඩුණු පැටවුන් - දිනය: ජුනි මාසේ 16 දා

පිහාටු මතුවන ලකුණු  - දිනය: ජුනි මාසේ 16 දා

පිහාටු මතුවඇත, හිස මදක් ඍජුව තබහත හැක. - දිනය: ජුනි මාසේ 18 දා


වේගවත් වර්ධනයට අවැසි පෝෂණය . - දිනය: ජුනි මාසේ 18 දා



තවමත් ඇස් පෑදී නැත. වේගවත් ආහාර ගැනීම  - දිනය: ජුනි මාසේ 18 දා

පිහාටු මෙන්ම ශරීර ප්‍රමාණය බොහෝ වර්ධනය වී ඇත   - දිනය: ජුනි මාසේ 19 දා

මෙලොව එලිය දුටු දා   - දිනය: ජුනි මාසේ 19 දා

වර්ධනයට අවැසි පෝෂණයසහ විවේකය  - දිනය: ජුනි මාසේ 20 දා


බොහෝ  පිහාටු වර්ධනයවී,  විවේකයයෙන්  - දිනය: ජුනි මාසේ 21 දා

 බඩගිනි කාරයෝ   - දිනය: ජුනි මාසේ 21 දා

මේ තමයි අවසන් රුප රාමුව. ඉන්පසු දින තුනක් මාහට ඔෆිස් යන්න බැරි වුනා. තුන්වන දිනයේ ඔෆිස් ගියගමන් කලේ කුරුලුකුඩුව බලපු එක. මට මගේ ඇස්  අදහා ගන්න බැරි උනා, කුරුළු පැටවූ දෙන්නා කුඩුවෙන් එලියට ඇවිත් අත්තක වහලා ඉන්නවා. මම ඉක්මනට කැමරාව අරගෙන ආවා, කැමරාව එලියට  අරගන්න ටිකට මේ දෙන්නා අම්මත් එක්ක ඒ අසල තිබුන විශාල ගසකට පියඹා ගියා. අවසන් ෆොටෝ එක ගන්න බැරි උනත්, ඒ දෙන්නා පියඹා ගිය ආකාරය දැක්කම මට හරිම සතුටක් ඇති වුනා.

මේ පහල තියෙන වීඩියෝ එක බලන්න.



පසු සටහන:
මේ ෆොටෝ ටික ගත්තේ ඉතාම අමාරුවෙන්. ඒ ජනේලයට ඉහලින් තිබුන කවුළුවේ වීදුරුවක් සවිකරලා තිබුන නිසා ෆොටෝ එතරම් පැහැදිලි නැහැ. මේ ඡායාරුප සමුහයේම හොඳ තත්වයේ ෆොටෝ තියෙන්නේ දෙකයි නමුත් මේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ඡායාරුප ගත කිරීමට ලැබීම විශාල සතුටක්.

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...