මාත් එක්ක එකතු වෙන්න

Tuesday, November 15, 2016

ගත සිත නිවා....


ලමයි ශ්‍රී ලංකාවේ උසම කන්ද මොකක්ද?
පිදුරුතලාගල කන්ද

හොඳයි එහෙනං කියමු බලන්න ශ්‍රී ලංකාවේ දිගම කඳු වැටිය කුමක්ද?
මොකද උත්තර නැත්තේ? ඒ තමයි ගල්ගිරියාකන්ද....
  
දන් ඉතින් කට්ටිය බලනවා ඇති මොකද මේ එකපාරටම ශ්‍රී ලංකාවේ උසම කන්ද මොකක්ද? දිගම කඳු වැටිය කුමක්ද? වගේ ප්‍රශ්න අහන්නේ කියලා.එකට හේතුව තමයි මේ පසුගිය ඉරිදා, ඔව් ඔව් නොවැම්බර් 13 දා තමයි. මං තුමාට ඔය කියපු ගල්ගිරියාකන්දට යන්න වුනා.  වෙන මොකකටවත් නෙවේ, ගල්ගිරියාකන්දේ පිහිටා තිබෙන ආරණ්‍ය සේනාසනයක තිබුන පිංකමකට සහභාගී වෙන්න ලැබුනා.

මං තුමාට මේ සහභාගී වෙන්න ලැබුන පිංකම බොහොම වටිනා එකක්. ඒ තමයි  සැදැහැවත් පිංවත් පිරිසක් විසින් ඉතා අලංකාරවත්ව නිමකල  දාන සාලාව, සඟසතු කොට, ආරණ්‍ය සේනාසනයට පුජා කිරීම නිමිත්තෙන් පැවැත්වූ පිංකම.

මේ ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ ඉතා රමණිය පරිසරයක. මේ පරිසරයේ 60 දෙනෙකුගෙන් පමණ වන අලි රංචුවක් ඉන්න බව දැනගන්න ලැබුන නමුත් එදින ඔවුන් දැකගැනීමේ හැකියාවක් තිබුනේ නැහැ, මේ ගමනේදී ගත්ත පින්තුර ටිකක් අපේ  මිතුරන් සමග බෙදාගන්න හිතුනා...


ගමන යන අතරමග  දුටු පතොක් මල්
 පිටුපසින් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දිගම කඳු වැටිය වන ගල්ගිරියාකන්ද.
 පිටුපසින් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දිගම කඳු වැටිය වන ගල්ගිරියාකන්ද
 ආරණ්‍ය සේනාසනය වෙත යන අතරමග.....
දාන ශාලාව පිහිටි ගල්තලාව  මත සිට අවට බැලුවිට පෙනෙන අයුරු

දාන ශාලාව පිහිටි ගල් තලාව  මත සිට අවට බැලුවිට පෙනෙන අයුරු..
දාන ශාලාව  සහිත නව ගොඩනැගිල්ල
පිණ්ඩපාත දාන ශාලාවේ සිට ආරණ්‍ය සේනාසනයට යන පාර
ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම
ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම

ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම

ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම

ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම
ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය - කුටි සෙනසුන්

ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය - කුටි සෙනසුන්


ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය
ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය - පුස්ථකාලය සහ ධාතු මන්දිරය
 
ශ්‍රී ලංකාවේ දිගම ලෙන් ලිපිය පිහිටා ඇති ලෙන





Friday, September 2, 2016

වනජීවී ඡායාරුප ප්‍රදර්ශනය - 2016


වනජීවී අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වනජීවී භාරය මගින් සංවිධානය කරන ලද, 2016 වනජීවී ඡායාරුප ප්‍රදර්ශනය, සැප්තැම්බර් මස 5 වන දින සිට 7 වන දින දක්වා, කොළඹ 07, ලයනල් වෙන්ට් කලාගාරයේ පැවැත්වේ.

වනජිවින්ට ආදරය කරන අය මෙන්ම දුර්ලභ මෙන්ම කලාත්මක වනජීවී ඡායාරුප දැකගැනීමට කැමති නම් නොවරදවාම එන්න. වසර ගණනාවකට  පසු මං තුමාත් ඡායාරුපයක්  ඉදිරිපත්කලා. (මේ ඉහත ඡායාරුපය නෙවේ).

එහෙනං ඉතින් එදාට හමුවෙමු...


Monday, April 4, 2016

නරි හූව සහ බලු බිරීම ..


පින්තූරය ගුගල් ගෙන්..

"ඔන්න ළමයෝ අදත් නරි හූ කියනවා.. මේ ටිකේම රෑට රෑට නරි හූ කියනවා ඇහෙනවා.. මොකක් හරි නරක දෙයක් වෙන්න යන්නේ.."

අපි පොඩි කාලේ අපේ ආච්චි ඔහොම කියනවා මට මතකයි. ඒ කාලේ ඉඳන්ම මං තුමාට තිබුන පුරස්නේ තමයි මොකද මේ රෑට රෑට නරි ගම්මාන අසලට ඇවිත් හූ කියන්නේ කියන එක. ඕක විසඳා ගන්න කියලා ආයේ ඉතින් නරියෙක් ගෙන් අහන්න කියලද.  ඔන්න ඔහොම කාලේ ගත උනා කියමුකෝ..... මේ ලඟදි දවසක, මගේ පොඩි පුත්තරයා, මිනිහා ගැන දන්නවා නේද? මෙන්න මේතනින් බලාගන්න පුලුහන් මිනිහා කවුදැයි කියලා.ඇට දෙකම කැඩුනොත් දොස්තර මොකක්ද කරන්නේ? සහ පොලිසියෙන් කලා පොළ කයි. හා.. හා.. ඔය පරණ පොස්ට් දෙක පස්සේ බලමු. ඉතින් මිනිහා මගෙන් අහනවා..

" තාත්තා දන්නවද, මොකද මේ රෑට රෑට නරි, ගම් කිට්ටුවට ඇවිත් හූ කියන්නේ කියලා.?.."

යකෝ, ජාන වලින්  ළමයින්ට අපේ ප්‍රශ්න යන බවක් මම මිට කලින් දැනගෙන හිටියේ නැහැ නොව. මම ඉතින් මෙයාට මෙහෙම උත්තර දුන්නා.

" අනේ නැහැ පුතේ.. මටත් පොඩි කාලේ  ඔහොම ප්‍රශ්නයක් තිබුනා.. "

"ඉතින් උත්තරේ හොයා ගත්තා ද?"

"අනේ නැහැ ..මොකද හු කියන්නේ කියලා අහගන්න මට නරියෙක් හමු උනේ නැහැ..."

"හා තාත්තා දන්නේ නැති උනාට මම දන්නවා"

"මොකා..."

""ඔව් මම Biology පාඩම් කරනකොට මේකට හේතුව හොයාගත්තා."

" ආ එහෙනම් කියමු බලන්න..." 

ඔන්න එහෙනම් කතාව අහමු...

මේ කතාව දැනගන්න නම්  ආදී කල්පිත මිනිසා ගල්ගුහා වල දඩයමින් ජිවත්වන කාල වකවානුවට යන්න වෙනවා.



මේ කාලයේදී තමයි මුලින්ම බල්ලා හමුවෙලා තියෙන්නේ කියලා තමයි මානව විද්‍යාව ගැන දන්නා අය කියන්නේ.  හෝව්... හෝව්... පොඩ්ඩක් ඉවසලා ඉන්න. ට්‍රැක් පැන්නා  නෙවේ.. මේ කතාව කියන්න නම් මුලින්ම බල්ලා ගැන කියන්න වෙනවා.


ඉතින් ආදී මානවයා  දඩයම්  කරලා  රැගෙන එන සතුන්ගේ මස් කල් තියාගන්න ක්‍රමයක් තිබුනේ නැති නිසා, ඉක්මනින් නරක් වෙන්න ගත්තා. මේ නරක්  වුන  කොටස්, විටින් විට පාහේ  තමන්ගේ ගල්ලෙනෙන් ඉවත් කරන්න සිදු උනා. මේ ඉවත ලන මස් කන්න බල්ලන්  හිමින් සැරේ මිනිසුන් අසලට ආවා. දැන් උන්ට මහන්සියක් නැතිව ආහාර ලැබෙන නිසා මුන් මිනිසුන් අසල ගැවසෙන්න පුරුදු උනා. 

ආදී මානවයා මුල් කාලයේ දඩයම් සඳහා යනකොට, ගැහැණු පිරිමි බේදයක් නැතිව සැමෝම දඩයමේ ගියා. එතකොට වෙන්නේ මේ ගල්ලෙන් අසල ගැවසෙන බල්ලන් සහ අනිත් සතුන් ගල් ලෙන තුල ඇති මස් ටිකට වගකියන එක. මේ ප්‍රශ්නය විසඳාගන්න ඔවුන් කලේ මස් ආරක්ෂා කරගැනීමට ඔවුන්ගේ කෙනෙක් සෙකියුරිටි විදිහට පත්කළ එක. එතකොට දඩයම් කිරීම සඳහා ඔවුන්ට සිටි කෙනෙක් කැපකරන්න උනා.  ඒ වගේම ගැහැණු අයට දරුවන්  ලැබීමට අසන්න වන විටත්,  දරුවන් ලැබුන විටත් ඔවුන්ව දඩයමින් ඉවත්කර ගල්ලෙන තුල  රඳවන්න සිදු උනා.  මේනිසා  මොවුන්ගේ පිරිස් බලය ඉතා තදින් පිරිහුණා.

මෙයට විසඳුම ලෙස ඔවුන් කලේ තමන්ගේ ගල්ලෙන අසල ගැවසෙන බල්ලන් හිලෑ කරගෙන දඩයමට පුරුදු කිරීමයි. මෙමගින් ඔවුන් තමන්ට අහිමි වන පිරිස් බලය වෙනුවට නව කාර්යක්ෂම ආදේශකයක් යොදාගත්තා. එවිට ගැහැණුන්ව දරුවන්  බලාගැනීමට මෙන්ම අනිකුත් කාර්යයන් සඳහා ගල්ලෙනෙහි නතර කිරීමට හැකිවුනා.

ඔන්න ඔහොම තමයි මානව ශිෂ්ටාචාරය ගැන දන්නා අයවලුන් නම් කියන්නේ. ඔන්න දැන් තමයි අපේ කතාව පටන් ගන්නේ. 



ඔය මානව ශිෂ්ටාචාරය ගැන කවුරු කොහොම කිවත්  සැබවින්ම සිදු උනේ වෙන දෙයක්. කලින් කියපු කතාව හරි. නමුත් මුලින්ම ඔතැන හිටියේ බල්ලා නෙවේ නරියා. ඉතින් මේ නරි බොහොම මහන්සි වෙලා දඩයම් කරලා දුන්නට මොකද මිනිස්සු නරින්ට හොඳට සැලකුවේ නැහැ. දඩයමින් ඉතිරිවෙන දෙයක් යන්තමින් නරින්ට දුන්නා විතරයි. කවදාවත් වැස්සකටවත් මේ නරින්ට ගල්ලෙන ඇතුලට එන්න දුන්නේ නැහැ. ඔයවගේ කෙනෙහිලිකම් ඉවසන්න බැරි තැන නරි, මිනිසුන් අත්හැර  ආපහු කැලයටම  ගියා. 

ඔන්න ඔයවෙලේ  අවස්ථාව බලාගෙන හිටපු බලු රැල හිමින් සැරේ මිනිස්සුන්ට කිට්ටු වෙන්න ගත්තා.  එතකොට නරි එකතු වෙලා මේ බලු  රැලට  බොහොම කරුණාවෙන් මෙන්න මෙහෙම කිවා. 

"උඹලා ඔය මිනිස්සු කියන උන්ට උදවු කරන්න යන්න එපා. උන්  කවදාවත් කෙලෙහි ගුණ දන්නා සත්තු ජාතියක් නෙවේ. උන් අපිට කල දේම තමයි උඹලටත් කරන්නේ. ඒ නිසා දඩයමක් කරගෙන මේ අපි වගේ කැලේටම වෙලා හිටහන්."


"උඹලා කොහොම කිවත් අපි දන්නවා මිනිස්සුන්ගෙන් සැලකිලි ලබන විදිහ.අපි උඹලා වගේ නෙවේ. අපිට බුරන්න පුලුහන්. අපි දන්නවා මිනිස්සුන්ව ආරක්ෂා කරන්න. එතකොට අපිට මිනිස්සු බොහොම හොඳින් ආදරයෙන් සලකාවි. අපි ආයේ කවදාවත් කැලයට එන්නේ නැහැ."


නරි කොතරම් කරුණු පැහැදිලි කලත්, බල්ලන් ඔන්න ඔහොම කියලා හිමින් සැරේ මනුසතා ලඟට කිට්ටු කළා. මිනිසා සමග හිතවත් උනා. දඩයම් කරලා දුන්නා. වෙනත් සතුන් ගල්ලෙන් ලඟට එනකොට එම සතුන්ගෙන් ගල්ලෙන් ආරක්ෂා කිරීමට බුරන්න ගත්තා. මිනිසා දකිනකොට, හිතවත්කම පෙන්නන්න ඕන නිසා පස්ස හකුලුවාගෙන වල්ගය වනන්න උනා.

මේ මොනදේ කලත් මිනිසුන්  බල්ලාට සැලකුවෙත් නරියාට වගේමයි. නමුත් බල්ලන්ට නැවත කැලයට යන්න බැහැ.  එදා ඉඳන් අද වෙනකල්ම බල්ලා බලු වෙලා මිනිසුන් ළඟ ඉන්නවා.


ඉතින් හිටපු ගමන් නරින්ට මේ සිද්දිය මතක් වෙනවා. එතකොට නරි ටික රෑට රෑට ගම්මානය අසලට ඇවිත් බල්ලන්ට හූ කියන්න ගන්නවා... නරි ටික බල්ලන්ට හු කියනකොට ලැජ්ජාව ඉවසගන්න බැරිකමටම බල්ලන්ටත් ජුවල් ගිහින් බුරන්න පටන් ගන්නවා.  ඔන්න ඕකයි කතාව.

අපේ ආච්චි ජිවතුන් අතර හිටියානම්, උන්දැටත් මේ කතාව කියලා දීලා මෙහෙම කියන්න තිබුනා. "ආච්චි බයවෙන්න එපා නරි  හු කියන්නේ බල්ලන් කල මෝඩ වැඩේ නිසා බල්ලන්ට. උන් හු කිවා කියලා මොන අකරතැබ්බයක් වත් වෙන්නේ නැහැ."




Thursday, November 26, 2015

Operation Lapwing - A Rescue Mission

මේ පින්තුරය  ගුගල් එකෙන්
ආයුබෝවන් යාලුවනේ, ඔන්න බොහොම කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා... මං තුමා ඉතින් ඔය එක එක විදිහේ මෙහෙයුම් කරනවානේ,  මතක නේද අර "Operation Eagle"  මේකත් ඒ වගේ මෙහෙයුමක් තමයි, නමුත්  ගලවා ගැනීමේ මෙහෙයුමක් (Rescue Mission) ගැන. එහෙනම් බලමු මොකක්ද මේ  කියලා.

මතක ඇති නේද මම මිට කලින් ලියපු  "කිරලා මැනලා හදාපු කූඩුව" බලපු නැති උදවිය බලලා අවොතින් තමයි හොඳ. හ්ම්ම්.. මතක් උනා නේද?  ඔන්න එහෙනම් කතාව. 

මේ කිරල කූඩුව දැකලා ෆොටෝ කෑලි  ටික අල්ලාගෙන ආපු මං තුමා ඇතුළු ගෙදර උදවිය පහුවෙනිදත් ඔතනට ගියා තව ෆොටෝ කෑලි කිහිපයක් ගන්න හිතාගෙන. නමුත් එතනට යනකොට කූඩුව තිබුන තැන හිස්. මට ඉවෙන් වගේ තේරුනා මේ කිරල පවුලට මොකක් හරි ඇබැද්දියක් වෙලා කියලා. ඉතින් අපි ටිකක් විපරම් කොරලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න ටිකක් ඇතට වෙන්න කිරල ජෝඩුව මරහඬ තියනවා. ..

මතක නේද කිරල කූඩුව ගැන ලියපු පොස්ට් එකදී  මං තුමා කියලා තිබුනා , "මෙයාලා කූඩුව හදාපු තැන වැරදියි "කියලා. ඇත්තෙන්ම මේ කූඩුව හදලා තිබුන තැන නිසා තමයි මේගොල්ලන්ට මේ කරදරයට මුහුණ දෙන්න වුනේ.  මේ කූඩුව හදලා තිබුනේ ශරීර සුවතාවය සඳහා පුරවැසියන්ට ඇවිදින්න හදලා තියෙන මංතීරුවක් අසල. මේ මං තීරුවේ එක පසෙකට වන්න  ඇලක් ගලාගෙන යනවා. අනිත් පසින් අඩි දෙකක් විතර ගැඹුර තියෙන කොන්ක්‍රීට් කානුවක්, ඊට එහා පැත්තෙන්  අඩි 6 පමණ උස කණ්ඩියක් සහ ඊට යාබදව ප්‍රධාන මාර්ගය. මෙම ප්‍රධාන මාර්ගයේ අනිත් පසින් වෙල් යායක්. ඔහොම කීවට හිතාගන්න බැහැ  නේද? ඔන්න එහෙනම් මේ ෆොටෝඑක බලන්න.
දැන් තේරුනා නේද?  ඔන්න ඕක තමයි කියන්න ඡායාරුපයක් වදන් දහසක් වටි ලියලා. එහෙනම් ඉතින් මං තුමා ඡායරුපකරණය ගැන ලියලා තියෙන පොස්ට් බලලා ෆොටෝ ගන්න පටන් ගත්තොතින් හොඳා. හා.. හා.. ෆොටෝ ගන්න පස්සේ පුළුවන්, දැන් යමු අපේ  කතාවට. කිරලා කූඩුව හදලා තිබුනේ ඔය වැලි පාරේ ඇල අයිනට වෙන්න තියෙන තණකොළ තීරුවේ...

දැන් තේරෙනවා නේද කුවුව හදාපු තැනෙ ඇති ප්‍රශ්නය. පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් පැටවූ ටික ඇලට වැටෙනවා. නමුත් හොඳ වෙලාවට මේ පැටවූ ටික ඇලට වැටිලා නැහැ, නමුත් අනිත් පැත්තේ තියෙන කාණුවට වැටිලා.



මේ කානුව අඩි 2ක් විතර ගැඹුරුයි. මොනමවිදිහකින් වත් මේ පැටවුන්ට මේ කානුවෙන් ගොඩ එන්න බැහැ. ලොකු කිරිල්ලි පාර අද්දර ඉහලට වෙන්න ඉඳන් කෑ ගසමින් පැටවුනට අඬගසනවා.  ඒ අතරම අනිත් කුරුල්ලා (තාත්තා වෙන්න ඇති) වටේ කෑ ගසමින් කිසිවෙකුටත් ලං වෙන්න දෙන්නේ නැහැ.

  
 
පැටවූ තුන්දෙනා පුදුමාකාර වෙහෙසක් ගන්නවා කානුවෙන් ගොඩවෙලා අම්මා ලඟට යන්න. ඒ  විතරක් නෙවේ මුන් තුන්දෙනා කානුව දිගේ එහෙ මෙහේ  දුවනවා ගොඩවන්න තැනක් හොයාගන්න.  පැටවූ ටික ඉන්න  අසලම කාණුවේ තියෙනවා විශාල ගලියක්, කාණුවේ වතුර එහා පැත්තේ තියෙන ඇලට යන්න හදාපු.  මම වහාම එතන ඇති අනතුර දැක්කා.  දැන් ප්‍රථම කාරිය විය යුත්තේ මේ ගලි කට වහන එක. කොහොම හරි ඒ අහල පහලින් ගෝනියක් හොයාගන්න හැකිවුනා. එක ගලිය අසලට පැටවුනට  යන්න බැරි වෙන්න මග අහුරන්න උපයෝගී කරගත්තා. 

දැන් විනාඩි 45 විතර මේ දෙස අපි බලාගෙන හිටියා. කිරලා අම්මා කෑ  ගහමින් පාරෙන් එහා පැත්තේ තියෙන වෙල්යාය දෙසට පියාඹනවා. නැවත මුලින් සිටි තැනට ඇවිත් නැවතත් කා ගසනවා. අපි තේරුම් ගත්තා මේ පැටවූ ටික වෙල්යායට ගෙනියන්න තමයි මේ උත්සාහ කරන්නේ කියලා. පැටවුනට ඉතා වෙහෙස බවපෙනුනා. එකවරම පැටියෙක් ඇදගෙන වැටුනා. මම හිතුවේ ඌ වෙහෙසටම මැරුණා කියලා.අපි හැමෝටම බොහොම දුක හිතුනා. අපි තීරණය කළා මේ කිරල පවුලට උදවු කිරීමට. 

මම පොඩි පුතාට කිවා අපි මේ පැටවූ ටික අල්ලාගෙන අනිත් පැත්තේ තියෙන වෙලට ගෙනියමු කියලා. ඒකට කැමති උන පොඩි පුතා කාණුවට බැස්සා විතරයි අනිත් පැටවූ දෙන්නා කානුව දිගේ දුවන්න ගත්තා. මැරිලා වගේ හිටපු  එකා එහෙමම හිටියා. මෙයා ඉස්සෙල්ලම ඒ පැටියා අතට ගත්තා. ඌ මැරිලා නැති බව අපිට තේරුනා.  මගේ බිරිඳ ඉක්මනටම සිරි මල්ලක් හොයාගත්තා. ඉස්සෙල්ලම මේ පැටියව ඒ මල්ලට දැම්මා.

අපි මේ වැඩේ  කරනකොට කිරල ජෝඩුව තේරුම් ගත්තා අපි යම් ආකාරයකින් උදවු කරන්න සැරසෙන බව. ඒ දෙන්නාම පාරෙන් අනිත් පැත්තේ වෙල්යාය අසලට ඉගිල ගිහින් එතැන් ඉඳන් කෑ ගසන්න උනා.

දැන් කොහොම හරි බොහෝ වෙහෙස වෙලා අනිත් පැටවූ දෙන්නත් අපේ පොඩි පුතා අල්ලා ගත්තා. ඊට පස්සේ මේ තුන්දෙනාවම වෙල්යාය අසලින් ගෙනිහින් තැබුවා. එහෙම තැබුවා විතරයි කිරල ජෝඩුව ඒ අසලට ඇවිත් අපිටත් තැන්කිව් පාරක් දාහෙන පැටවූ ටික බොහොම පරිස්සමින් වෙල්යාය දිහේ ඒ අසල තිබුන ලඳු කැලෑවට රැගෙන ගියා.



අම්මයි තාත්තයි පැටවූ මැදි කරන්  යන අපුරුව..

මේ කරපු සත්කාරිය ගැන අපි තුන්දෙනාටත් බොහොම සතුටුයි.  මේ වගේ උදවුවක් අවශ්‍ය උන වෙලාවක අපි හැමෝම ඒ අහිංසක සතුන්ට උදවු කලොත් ඉතා හොඳයි නේද.

************ *************