Tuesday, January 1, 2013

ශ්‍රී දළදා පහස ලත් මාලිගා තැන්න අරණ්‍ය සේනාසනය

ඔන්න ඉතින් අදනම් ලක ලැස්ති වෙන්නේ  යන්නේ පරණ සිදුවීමක්  ගැන කියන්න නෙවේ, ලඟදි (දෙසැම්බර් 30දා ) ගිය ගමනක් ගැන කියන්නයි. මේ ගමන යන්න අපේ උන්දැයිකොල්ලෝ දෙන්නයි මායි ලෑස්තිවෙලා  හිටියත් අන්තිම මොහොතේ අපේ උන්දැයිලොකු කොලුවයි හැලුනා. ඉතින් අවසානේ පොඩි කොලුවයි මමයි අපි දෙන්නගේ කැමරා දෙකයි මේ ගමන යන්න පිටත් උනා.

 අපි මේ යන්න පිටත් උනේ "මාලිගා තැන්න අරණ්‍ය සේනාසනයට". මම හිතන්නේ ගොඩක් අය මෙහෙට හිහින් ඇති. ගියේ නැති අය ඉන්නවනම් ගිහින් බලන්න බොහොම හොඳ තැනක්. මාලිගා තැන්න අරණ්‍ය  පිහිටලා තියෙන්නේ කොළඹ-නුවර පාරේ මිරිස්වත්ත හන්දියෙන් හැරිලා වතුරුවිල  වතුරුගම පාරේ කි. මීටර 8 ක් විතර ගියහම තමයි. ඔන්න බලා ගන්න කෝ ඇතට උඩ  මළුවේ චෛත්‍යය දිස්වෙන ආකාරය. 

ඔය කන්ද මුදුනින්ම බොහොම පුංචියට පෙනෙන්නේ උඩ  මළුවේ චෛත්‍යය තමයි. ඔන්න මම රතු පාටින් රවුම් කළා 

ඉන්ටකෝ තවත් ටිකක් ලං කරලා පෙන්නන්න.


පොඩ්ඩක් ඉන්නකෝ තවත් ටිකක් ලං කරලා පෙන්නන්නම්,  මගේ මි.මි. 300 ලෙන්ස් එක දාලා  එකක් ගත්තා,  ඔන්න එකත් බලාගෙනම යමු එහෙනම්.

මෙතන ඉඳන් කි.මි.3 විතර තියෙනවා. පොඩ්ඩක් වහින්නත් වගේ. පහුගිය ටිකෙම නම් වැස්ස හොඳටම. යමු යමු වැස්සට කලින් කන්ද නගින්න ඕනේ නේ.

හොඳයි  යන ගමන් මේ පොඩි විස්තරේ අහ ගන්නකො. මේ මාලිගා තැන්න අරණ්‍ය සේනාසනය අයත් වන්නේ අපේ වළගම්බා මහරජ තුමාගේ කාලයට තමයි. මේ ස්ථානයේ ඇති ගල් ලෙන් වල බොහොම අපුරුවට කටාරම් එහෙම කොටලා තියෙනවා. පහු කාලයකදී දොන් ජුවන් ධර්මපාල ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමෙන් පසු බුද්දාගමට නරක කාලයක් එළඹුණා. මේ කාලයේදී ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කරන්න මෙ ස්ථානයට වැඩම කරවල තියෙනවා. ඒ වගේම රහතන් වහන්සේලා එහෙමත් වැඩ සිටිය පින් බිමක් තමයි මේ මාලිගා තැන්න අරණ්‍යය.

ඔන්න ඉතින් කතාවෙන් කතාවෙන් අරණ්‍යය ළඟටම අවා. දැන් ඉතින් අපි දෙන්න කාර් එක කිට්ටුව පහල තිබුන ගෙයක් ළඟ නවත්තල ගමන පටන් ගත්තා. දැන් ඉතින් කකුල් දෙකට දෙය්යන්ගේ පිහිට තමයි. ඔන්න ඇතුල් වෙන තැන තියෙන බෝර්ඩ් ලෑල්ල සහ පඩිපෙළ.  ඔය ෆොටෝ දෙක ගැහුවේ මගේ පොඩි එකා. 



ඔය පඩි පෙලේ උඩටම යනකොට මම දැක්ක යාලුවෙක් බලන්නකෝ කවුද කියලා. මම බොහොම අස කරන දෙයක් තමයි කුරුල්ලන්ගේ පින්තුර ගන්න එක. පස්සේ දවසක ඒ වැඩේ කොරන්නේ කොහොමද? මොනවද ඕනේ කරන උපකරණ? යන දේවල් ගැන කතා කරමු කෝ.

ඔය ෆොටෝ එක ගත්ත තැන ඉඳල උඩ  බලපුවහම ප්‍රධාන දොරටුව පෙනෙන්නේ මේ විදිහට තමයි.

ප්‍රධාන දොරටුව දෙපැත්තේ ගලේ ඉර සහ හඳ දකුණු පැත්තෙනත් වගේම කපුටා සහ බල්ලා වම් පැත්තට වෙන්නත් කොටලා තියෙනවා.  ඉතාම මෑත කාලයේදී මේ රුප පාට  කරලා තියෙනවා (අපරාදේ). ඉර සහ හඳ දෙකෙන්  සංකේතවත් වෙන්නේ බොහෝ කලක් පවතින බව.  නමුත් කපුටා සහ බල්ලා සටහනේ තේරුම දන්නේ නැහැ. (දන්නා කෙනෙක් ඉන්නවානම් කියන්නට හොඳේ)




ඊට පස්සේ අපි පහත මාලයේ පිහිටා ඇති චෛත්‍යය, බෝධීන් වහන්සේ එහෙම වන්දනා කලා. මේ අරණ්‍ය සේනාසනයේ බුද්ධ මන්දිරය පිහිටා තියෙන්නේ ගල් පියස්සක් යට. ගල් පියස්සේ බොහොම ලස්සන චිත්‍ර ඇඳලා  තියෙනවා.  අපි ගිය වෙලේ නම් බුද්ධ මන්දිරය අගුළු දා වහල තිබුනා.


පහත මාලයේ පිහිටා  ඇති චෛත්‍යය සහ එම මළුවේ සිට පහල පෙනෙන අයුරු.

 


බෝධීන් වහන්සේ ගේ ෆොටෝ එකක් මට ගන්න බැරි උනා,  හොඳ වෙලාවට පොඩි එකා  එකක් අරගෙන. ඔය සෙල් ලිපියත් තිබුනේ බෝධීන් වහන්සේ ළඟ.



ඔය තියෙන්නේ කටාරන් කොටපු ගලක්. පහත මාලයේ බොහොමයක් ගොඩනැගිලි වල පියසි මේවගේ තමයි.

ඔන්න දැන් තමයි වැඩේ පුතෝ.  මෙතන ඉඳන් උඩ  මාලෙට යන්න ඕනේ ඉතින් කකුල් දෙකට වැඳ වැඳ  තමයි. මාර්ගය හරිම දුෂ්කරයි විතරක් නෙවේ පහුගිය දින වැස්සට ගල් දිගේ වතුර ගලාගෙන එනවා. බොහොම ලිසස්න සුළුයි. ඒ විතරක් නම් මදැයි කිලෝ 3 ක්  විතර බර කැමරා අම්පන්න ටිකත් උස්සගෙන යන්න ඕනේ නේ.

 ඉස්සෙල්ලම ඔය ගල් පොත්ත යටින් යන්න ඕනේ. බයේ බැහැ ඔලුවට කඩා  වැටෙයි කියලා. හොඳ වෙලාවට කොල්ලෙක් කොටුකැල්ලක් ගහලා තිබුනා එක පැත්තකට, එක දෑක්කට  පස්සේ බය නැතිව  ගල්පොත්ත යටින් ගියා. 



ඔය යන්නේ මං  තුමා  බඩගාගෙන. අපේ පොඩි එකාගේ නම් ඉතින් අලුත් එන්ජිම නේ..., හිටු කියල නැග්ගා විතරක් නෙවේ අපහු දුවගෙන ඇවිත් මට පොඩි සප් එකක් එහෙමත් දුන්නා.

ඔය ගල් දෙබොක්කාව පහු උනා  විතරයි මම දැක්ක මෙයා වතුරේ වැටිලා දගලනවා. ඊට පස්සේ කෝටු කෑල්ලකින් අරගෙන වෙන ගහකින්  තියල බලාගෙන හිටිය. තටු වේළුන ගමන් අපිට තැන්කිව් කියාගෙන ගියා.


 මෙයා  දෙඹරා ද බඹරා ද දන්නේ නැහැ. ගාමිණී ගේ විජිතය ලියන ගාමිණී අය්යා මේක බලපු දවසට අපිට කියා දෙන්ට මෙයා  ගැන. ( ඒ ඉන්නෙ දෙබරෙක් වගේ මට පේන්නෙ. උන්ගෙ දීප්තිමත් කහ වර්ණය අනතුරු ඇඟවීමක් (warning color). විස සහිත සත්තු හුඟ දෙනෙක්ගෙ ඒ වගේ දීප්තිමත් වර්ණ තියෙනවා. ඔන්න ගාමිණී ගේ කොමෙන්ටුවෙන් කැල්ලක්, මෙයා ගැන ) මම ඉතින් පොඩි කාලේ ඉඳලම කූබියෙක්  හරි වතුරේ වැටිලා ඉන්නවා දැක්කොත් කොහොම හරි බේරනවා. මේ පොස්ට් එක කියවන ඕගොල්ලොත් මිට පස්සේ එහෙම කරන්ට ඕනේ හොඳේ.


 ඉහල මාලයේ තමයි අර මුලින්ම පෙන්නපු ෆොටෝ එකේ තියෙන චෛත්‍යය පිහිටලා තියෙන්නේ. ඒ විතරක් නෙවේ ඉහල මාලෙට ගියහම වටේටම බොහොම ලස්සනට පේනවා. එක පැත්තකින් මුහුද පේනවා අනික් පැත්තෙන් සිරිපාදේ පේනවා. හැබැයි  අහස බොහොම පැහැදිලි දවසට.  ඔන්න බලා  ගන්ටකෝ.  සිරි පාදේ නම් පෙනුනේ නැහැ.


පොඩි එකාගේ නම් ඉතින් අලුත් එන්ජිම නේ..., හිටු කියල නැග්ගා... 
...

උඩ  මළුවේ චෛත්‍යය ඔන්න ඕක තමයි  අර පලවෙනි ෆොටෝ එකේ රතු පාටින් ලකුණු කරලා තිබ්බේ.

වට පිටාවත් ටිකක් බලලම පහලට බහිමු, මෙච්චර අමාරුවෙන් නැග්ග එකේ.




ඔය යන්තමට පෙනෙන්නේ ගෝල්ෆේස් එක හරියේ තිහෙන ගොඩනැගිලි. අහස පැහැදිලි දවසට හොඳට බලාගන්න පුළුවන්.

මේ පැනරෝමා  එක පොඩි එකා ගෙන් 

එහෙනම් ඉතින් දැන් බහිමු වැස්සට කලින් ගෙදර යන්ටත් ඕනේ නේ. ඔන්න ඔහොම කියල පහලට බැහැ ගෙන එනකොට මෙන්න මෙයා පාර අයිනට වෙන්න පොඩි වලක් හදලා, බිත්තර දාලා වහනවා. අපිව දැක්ක ගමන් ඒ වැඩේ නවත්තල ගහකට නැග්ගා. අපිත් ඉතින් මෙයාගෙත් ෆොටෝ එකක් එහෙම අරගෙන පහලට බැහැල අවා.


ඔය මදැයි, ඔයිට වඩා දැනගන්න ඕනේ නම් ගිහිල්ලම බලන්ට.

ෆොටෝ ටි ලොකු වැඩිද මන්දා? ඕව සයිස් කරකර ඉන්ට කම්මැලියි. ලෝඩ් උනේ නැතිනම් මට කොරන්න දෙයක් නැහැ ඉන්ටර් නෙට් එක ස්පීඩ්  කොරගන්න එකයි ඇත්තේ.

එහෙනම් අපි දෙන්න ගෙදර යනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා.!!!









14 comments:

  1. 30 වෙනිදා මාත් මාළිගාතැන්න ගාවින් ගියානේ දෙවංගියක්ම... අපි පොඩි කාලේ ඉදන් පුට් සයිකල්වල නිතර යන එන තැනක්නේ ඔය...

    බලු කපුටු රූප වලින් කියන්නේ සඝ සතු දේ කෑවොත් ඒ අය බලු කපුටන් වී උපදින බවයි... ඕක ඇවිල්ලා අනතුරු ඇගවීමේ සලකුණක් නෙව... සාංඝික සීමාවන්වල දකින්න ලැබෙන සටහනක්... පොලොන්නරු ගිය වෙලේක බලන්න වටදාගේ බලන්න මළුවට නගින තැන පාර අයිනේ පඩි පෙලේ පැත්තකත් ඇති ඔය සටහන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලයෝ.. බලු කපුටු කතාව ගැන කියල දුන්නට බොහොම පින්. අපරාදේ මාරයා ලඟින් ගිහින් නේ... දැක බලා ගන්න තිබුණා.

      Delete
  2. ලස්සන ෆොටෝ ටික... අපේ රටේ අපි නොබලපු තැන් කොච්චරක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. බොහොම ලස්සන තැන් තියෙන රටක් තමයි මේ. හැබැයි ඒ ලස්සන දකින්නත් පුරුදු වෙන්න ඕනේ.

      Delete
  3. ලස්සනම ලස්සන පින්තූර. මං නම් තාම ගිහින් නෑ.. පින්තූර ටික බා ගත්තා..
    ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ. දවසක ඔතනට ගිහිල්ලා බලන්න.

      Delete
  4. නියමයිනෙ අයිලාස්.ඔය කියන දවසෙ අපේ පවුලෙ හැමෝම A4 මාර්ගය දිගේ රෝඩ්ට්‍රිප් එකක් ගියා. ඔව් කැමරාත් එක්ක.

    මම ආසම අර කහ කුරුල්ලාගේ පින්තූරෙට. ඒක නම් මාරයි.

    ඔය අපේ ගම් ප්‍රදේශය තමයි. අපිත් ඔතනට ගිහින් ගත්ත ෆෝටෝස් මහ ගොඩක් තියෙනවා.

    මම ගාමිණීට කියන්නම්.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හෙන්රි. මරු වැඩේ තමයි එදා හෙන්රි, මාරයා, මම අපි ඔක්කොම එම කිට්ටුව තමයි ඉඳලා තියෙන්නේ.

      මමත් ආසම කහ කුරුල්ලා ගේ ෆොටෝ එකට තමයි. මොකද මගේ ආසම දේ තමයි Bird Photography.

      Delete
  5. ඔය බල්ලයි කපුටයි කියන්නේ මේවා හාමුදුරුවොන්ට අයිති දේපල මේවා පාවිච්චි කරන උන් මැරිලා බල්ලෝ කපුටෝ වෙනවා කියන එක කියල මම අහල තියෙනවා. හරිද දන්නේ නැහැ ලස්සන පින්තූර ටිකක් අරන් තියෙන්නේ දක්ෂ කැමරා කරුවෙක් වගෙයි. කහකුරුල්ලගේ පොටෝ එකත් එල. කොහෙද ලන්කාවට් එන මාසෙට කරන්න වැඩ කප්පරක් යන්න තැන කප්පරක් ඔලුවේ තියන් ආවට යන්න වෙන්නේ තැන දෙකතුනකට විතරයිනේ. ඔන්න ලංකාවේ ඉන්නවනම් යන්න පුළුවන්. සෑහෙන්න ආසාවක් ආව මට ඔය පුදබිමට යන්න.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් අපේ කෝරළේ මහත්තයත් පින් අනුමෝදන් උනා....

      ඔබ හරි, ඔය ටික බල්ලා කපුටා ගැන මාරයා ඔය කතාවම කිවා.

      Delete
  6. මලේ, හෙන්රියා (Dude) ඊමේලක් එවලා තිබුනා මේ පොස්ට් එකේ ලිංක් එකත් එක්ක. මේ දවස්වල ගෙදර වැඩට ඇවිල්ලා නිසා වැඩිය නෙට් එක පැත්තේ යැවුනේ නෑ. ඒකයි ටිකක් ප්‍රමාද උනේ.

    එල පෝස්ට් එක. පින්තූර ටික අපූරුයි. මගේ නම් වැඩියෙන්ම හිත් ගත්තේ බලු කපු‍ටු සංකේතය සහ මාරයා මල්ලිගෙ අර්ථ දැක්වීම. අපේ පැරණි ඇත්තො සන්නිවේදනයෙදි අපූරුවට සංකේත යොදාගෙන තියෙනවා.

    ඒ ඉන්නෙ දෙබරෙක් වගේ මට පේන්නෙ. උන්ගෙ දීප්තිමත් කහ වර්ණය අනතුරු ඇඟවීමක් (warning color). විස සහිත සත්තු හුඟ දෙනෙක්ගෙ ඒ වගේ දීප්තිමත් වර්ණ තියෙනවා.

    මලේ, මිරිස්වත්ත හන්දියෙන් 'වතුරුගම' පාරට හැරිලයි මාලිගාතැන්නට යන්න ඕනෑ. (වතුරුවිල නෙමෙයි). කාලෙකට ඉස්සර මම ගිහින් තියෙනවා.

    නව වසරේ පවුලේ සැමට ජයම වේවා ...!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගාමිණි.

      මේ කොමෙන්ට් එක දක්කයින් පස්සේ මම මේ කල්පනා කලේ මිනිස්සුන්ට මොකද දීප්තිමත් වර්ණ නැත්තේ කියලා. ආ... එක වෙන්න ඇති ඔය සමහර ඇයො දීප්තිමත් වර්ණ වලින් තොල්, නිය පාට කරන්නේ.

      නව වසරේ ඔබ ඇතුළු පවුලේ සැමට කිරි ඉතිරේවා...!!!

      Delete
  7. ඉර හඳ සළකුණ සහ බලු කපුලු සංකේත ගැන හුඟක් දෙනා කතා කරලා තියෙනවා. ඒත් මමත් යමක් එකතු කරන්නම්. අතීතයේ අද කාලේ වගේම අක්ෂර කලාව තිබුණත් දැන් කාලේ වගේ බොහොම දිගු වාක්‍ය නම් තිබිලා නැහැ. උදාහරණයක් ලෙස "පැමිණි නොපැමිණි සතර දිසාවේ සංඝයාට පූජා කරන ලදී" කියන අර්ථය සෙල්ලිපිවල දක්වලා තියෙන්නේ "අගත අනගත චතුදිස ශගශ දිනෙ" කියන වාක්‍යයෙන්.

    ඒ වගේමයි සංකේත ආශ්‍රයෙනුත් යම් යම් නිවේදන ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ඉර හඳ සළකුණෙන් කියන්න උත්සහ කරලා තියෙන්නේ ඒ ලබාදීපු ප්‍රදානය ඉර හඳ පවතින තාක් කල් සංඝයා සතු [සාංඝික] දේපලක් වන බව. අපේ මුතුන්මිත්තන් විශ්වාස කළා ඉර හඳ කියන්නේ ලෝකය අවසානය දක්වාම පවතින ලෝකාවසානයේදී විනාශ වෙන දෙයක් විදිහට. ඒක නිසා තමා දිගු කාලීන පරිත්‍යාගයකට එය යොදලා තියෙන්නේ.

    බලු කපුටු සළකුණෙන් කියන්නේ යම් විදිහකින් මේ සාංඝික දේපළ අනිසි විදිහට කවුරුන් හෝ භාවිතා කරනවා නම් ඔවුන් බලු කපුටන් වෙලා උපදිනවා කියලා. ලාංකීය බෞද්ධ මූලාශ්‍ර බොහොමයක සාංඝික දේපළ අනිසි අන්දමින් පරිහරණය කරන අය ප්‍රේත, සත්ව තත්වවලට පත්වුණු ආකාරය තිබෙනවා. ඒක නිසා අක්ෂර නොදන්න කෙනෙක්ට වුණත් ඒ පණිවුඩය සන්නිවේදනය කරන්න තමා මේ සංකේත යොදලා තියෙන්නේ.

    මාළිගාතැන්නේ ගිය ගමන්ම ඒ කිට්ටුව තියෙන වාරණ, අත්තනගල්ල, පිළිකුත්තුව කියන පන්සල් ටිකටත් යන්න තිබුණේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ..
      //දැන් කාලේ වගේ බොහොම දිගු වාක්‍ය නම් තිබිලා නැහැ. උදාහරණයක් ලෙස "පැමිණි නොපැමිණි සතර දිසාවේ සංඝයාට පූජා කරන ලදී" කියන අර්ථය සෙල්ලිපිවල දක්වලා තියෙන්නේ "අගත අනගත චතුදිස ශගශ දිනෙ" කියන වාක්‍යයෙන්. //

      දැනුත් එහෙම තමයි මලේ ඔය SMS එකක් කියවල බලන්නකෝ.. කෙටි කරලා ලියන හැටි... හික් හික්.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...