නිවන් මග වැරදුනේ ඇයි යන මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අප විසින් වරදවාගෙන ඇති ඉතාම සරල කරණා කිහිපයක්. මෙම ලිපියේ කරුණු පැහැදිලි කිරීමේදී, පෙර ලිපි වල මෙන් සුත්‍ර උපයෝගී කර නොගෙන සරල උපමා කීපයක් තුලින් කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.
අද බොහෝ පන්සල්, විහාර ආදියෙහි බණ භාවනා කරමින් සිටින බොහෝ පිරිසක් දකින්නට හැකි උවත්, ගුණ දම් අතින් එතරම් දියුණුවක් නොපෙනෙන බව නොරහසකි. එයට හේතුව කුමක්ද? අකාලික වූ ධර්මයකින් ප්‍රතිපල නොලබන්නේ ඇයි? මේ සඳහා පොඩි උදාහරණ කීපයක් ගනිමු.
වෙදදුරෙක් සොයා යාම.
බොහොම තද බල මාරාන්තික රෝගයකින් පෙලෙන රෝගීන් පිරිසක් , තම මාරාන්තින රෝගය නිට්ටාවට සුවකළ හැකි වෙදදුරෙක් සොයාගෙන යනවා. මොවුන්ට බොහොම ප්‍රසිද්ධ, එම රෝගය නිට්ටාවට සුවකළ හැකි වෙදදුරෙක් හමුවෙනවා. කරුණු කරණා විමසීමෙන් පසු මේ රෝගින් දැනගන්නවා මේ වෙදදුරාට එම රෝගය සුව කල හැකි බව. දැන් මොවුන් බෙහෙත් වට්ටෝරුව ලබාගන්නවා. ඒ සමගම ඔවුනට බෙහෙත් පාවිච්චි කල යුතු පිළිවෙල, පත්තියම් වියයුතු ආකාරය වැනි කාරනා මෙම වෙදදුරා බොහොම කරුණාවෙන් කියලා දෙනවා.
දැන් තම තමන්ගේ මේ බෙහෙත් වටෝරු අරගෙන මේ රෝගීන් පිරිස ගමට යනවා එහෙම ගමට ගිය එක් එක් අය හැසිරෙන ආකාර පහත දැක්වෙනවා.
වෙදාගේ ගුණ කීම
මින් කොටසක් තමන්ගේ බොහෙත් වට්ටෝරුව තබාගෙන. එම බෙහෙත් පාවිච්චියෙන් වැලකි වෙද මහතාගේ ගුණ ගායනා කිරීම පටන් ගන්නවා. බොහොම කරුණාවන්ත, බොහෝ ලෙඩුන් සනීප කරපු වේද මහත්තයෙක්, අනේ අපෙන් සල්ලි ගත්තෙත් නැහැ, ඉතාම ගුණ සම්පන්න උතුමෙක් ආදී වශයෙන්. නමුත් කවදාවත් වෙදමහතා දුන්න බෙහෙත පාවිච්චි කරන්නේ නැහැ.
බෙහෙත් වට්ටෝරුවේ ගුණ කීම
තවත් කොටසක් ඉන්නවා බෙහෙත් පාවිච්චි කරන්නේ නැහැ, අර දුන්න බෙහෙත් වට්ටෝරුව ගැන බොහොම පැහැදෙනවා, එහි අඩංගු ඖෂධ වර්ග වල වැදගත් කම, වටිනාකම ආදිය පිරික්සමින්, බෙහෙත් වට්ටෝරුවේ වටිනාකම කියමින් සිටිනවා.
බෙහෙත් වට්ටෝරුව කියවීම
තවත් කොටසක් මේ බෙහෙත් පාවිචි නොකර උදේ සවස, බෙහෙත් වට්ටෝරුව කියවමින් ඉන්නවා. ඔවුනට අඩුම තරමේ මේ වට්ටෝරුවේ අඩංගු ඖෂධ වර්ග ගැන හෝ දැනීමක් නැහැ.
රෝගය නිසා බෙහෙත් නොබීම
මේ තවත් කොටසක්, ,මේ අය කියනවා අනේ ඒ වෙදමහතා හරිම හොඳයි, බෙහෙත් හරිම ගුණයි, ඒ බෙහෙත් බීපු හැමෝම නිට්ටාවට සනීප වෙලා. මගේ කරුමෙක මහත, මේ ලෙඩේ හින්දා මට මේ බෙහෙත වෙලාවට කරගන්න බැහැ. මේ ලෙඩේ නැතිනම් මේ බෙහෙත අපුරුවට බොන්න තිබුනා කියලා. ලෙඩේ නැතිනම් බෙහෙත් ඕන නැහැ කියලා මේ අයට තේරුමක් නැහැ.
බොන්න දුන්න බෙහෙත හිසේ ගෑම
තවත් කොටසක් ඉන්නවා මේ වට්ටෝරුව අනුව බෙහෙත හදලා, බෙහෙත බොන්නේ නැතිව හිසේ ගානවා.
පත්තියම් නොවන කොටස
මේ අය බෙහෙත් හදලා නියම ආකාරයට බොනවා, නමුත් වේද මහතා කියපු විදිහට පත්තියම් වන්නේ නැහැ. තමන්ට නුසුදුසුයි කියු දේවල්ම ආහාරයට ගන්නවා, පරිහරණය කරනවා.
බාගෙට බෙහෙත් බිම.
තවත් කොටසක් ඉන්නවා නියම ආකාරයට බොහෙත සකස් කරලා, නිවැරදි වෙලාවල් වලට බෙහෙත් බිලා, අගුණ ආහාර පාන ගන්නේ නැතිව, පත්තියම් වෙන කොටසක්. නමුත් ලෙඩේ ටිකක් සුව වේගෙන එනකොටම මේ අය බෙහෙත් බිම නවත්වනවා.
සත් හට වන බව දුකට වෙදානන්
භව දුකට මහා වෙදනා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඖෂධය ගත්ත බොහෝ දෙනෙක්ට දැන් වෙලා තියෙන්නේ ඔය ටික. ඉතින් මදක් සිතන්න. ඔබ ඉන්නේ කොතනද? ඔය කොටස් වලින් මිදී නිවැරදි ලෙස ධර්ම ඖෂධය පානය කරන්න.
මේ ධර්මයෙන් ප්‍රතිපල ලබාගැනීම ඉතාම පහසුයි. මේ ධර්මයෙහි ඔබ හැසිරෙන්නේ කොතරම්ද, එතරම් ප්‍රතිපල ඔබට ලැබෙනවා. නමුත් නිවැරදි ආකාරයට ධර්මය ග්‍රහණය කර නොගැනීම නිසා තමයි, එහි ප්‍රතිපල නොලැබී ගොස් තිබෙන්නේ. නිවැරදි පිරිසිඳු ධර්මය දැකිය යුතු වෙනවා. නමුත් බොහෝ දෙනෙක් කරන්නේ තමන්ගේ මතවාදයන් හිස මත තබාගෙන එයට අනුව ධර්මය ගලපන්නට යාමක්. එය සාර්ථක වන්නේ නැහැ.
මේ ධර්මය ඉතාම සියුම් දෙයක්, එහි සියුම් බව නිසාම තමයි මේ ධර්මය තමන්ගේ ජිවිත වලට ගලපාගන්න බැරිවෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකය ලෙස පනවලා තියෙන්නේ තමන්ගේ සරිරයයි, ලෝකය වටහා ගෙන ලෝකයෙන් එතෙරවීම කල යුතු වන්නේ තමන් තුලින්මයි. තමන්ගේ සිතේ තියෙන ලෝභ, ද්වේශ, මෝහ ඉවත් කිරීම තමයි කල යුතු වන්නේ. එසේ ඉවත් කිරීමට පෙර මේ ධර්මතා තමන්ගේ සිතේ තියෙන බවවත් දැනගත යුතු වෙනවා.
බොහෝ දෙනෙක්ට තමන්ගේ සිතේ තියෙන මෙම ධර්මතා දකින්න තරම් පැහැදිලි නිරවුල් මනසක් නැහැ. ඒ අයගේ මනස එතරම් අවුල්, බොහෝවිට ද්වේශයෙන්, මෝහයෙන් පිරිලා. ඒ හේතුව නිසාම අන් අයට දොස් කියමින්, අන් අයගේ වැරදි සොයමින් ඔවුන් නිවැරදි කරන්න උත්සාහ ගන්නවා විනා, තමන්ගේ නිවැරදි වීම ගැන හිතන්නේ නැහැ. ඒ අය හිතන්නේ තමන් නිවැරදි පිරිපුන් අය ලෙසයි. එවැනි අයට කිසිදා මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ.
එබැවින් පළමුව නිරවුල් මනසක් ඇතිකරගන්න. තමන් කරණ, කියන සැම ක්‍රියාවක් ම නුවණින් දකින්න උත්සාහ ගන්න. ඒ තුල ඇත්තේ ලෝභ, ද්වේශ, මෝහ (මෙම අකුසල මුලයන් තුනම එකවර එක සිතක නොයෙදේ, එකවර යෙදෙන්නේ ලෝභ, ද්වේශ හෝ ලෝභ, මෝහ පමණි. ද්වේශ සහ මෝහ එකවර එක සිතක නොයෙදේ) ,යන අකුසල මුල්ද, නො එසේනම් අලෝභ, අද්වේශ, අමෝහ යන කුසල මුල්ද කියා විමසිලිමත් වන්න.
මෙය එකවර ඔබට කල නොහැකි වුවත් ක්‍රම ක්‍රමයෙන් පුහුණු කල හැක. මුලදී ඔබ යම් ක්‍රියාවක් සිදු කරණ විට මෙලෙස මෙනෙහි කිරීමට නොහැකි වේවි. නමුත් එම ක්‍රියාව කල පසු හෝ ඔබට එම ක්‍රියාව සිදු වුනේ අකුසල මුලයන් නිසාද නොඑසේනම් කුසල මුලයන් නිසාද කියා විමසිය හැකිනම්, ක්‍රම ක්‍රමයෙන් ඕනෑම ක්‍රියාවක් කිරීමට සිතෙන විටම ඒ ගැන මෙනෙහි කිරීමේ හැකියාව ලැබේවි. එවිට ඔබට අකුසල මුලික ක්‍රියා හඳුනාගෙන එයින් වැලකි සිටීමට හැකි වේවි. මෙලෙස ඔබගේ සිත පුහුණු කිරීමට තැනක්, වෙලාවක් අවශ්‍ය නොවන අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබගේ කැපවීම පමණි.
සැමට ධර්මාවබෝධය ලැබේවා !!!!