මාත් එක්ක එකතු වෙන්න

Tuesday, July 16, 2013

මල්, පහන් , සුවඳ දුම් පුජාව


පසුගිය ලිපි කිහිපයකින් අපි ශ්‍රද්ධාව, තෙරුවන් සරණ, ප්‍රාණඝාත අකුසලය මෙන්ම නිවැරදි ලෙස නිවන් මග ගමන් කරන්නේ කෙසේද යන කරුණු පිළිබඳව සරල විමසීමක් කළා.  මෙම ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ මල් පුජාව, පහන් පුජාව සහ සුවඳ දුම් පුජාව සිදු කල යුත්තේ කෙසේද යන කාරණයයි.

 මිට පෙර පළවූ  නිවන් මග වැරදුනේ ඇයි  පොස්ට් එකේ තිබුන පින්තුරය මතකද? මේ පහල තියෙන ඒ පින්තුරය බලන්න. 
මේ පින්තුරය මම ගත්තේ කැළණි පන්සලේදී. ඔන්න බලන්න අපේ මිනිස්සු මල් පුජා කරණ ආකාරය.  මේකේ සුවඳ කුරු පත්තු කල   බවට ලකුණුත් පෙනෙන්නට තියෙනවා.

තව බොහෝ විට අපිට දකින්නට ලැබෙන දෙයක් තමයි අනිත් අය පෙරලගෙන බොහොම කලබලයෙන් පුජාසනය වෙත ඇවිත් මල් පුජාකරලා දුවන අය. මේ අය හිතගෙන ඉන්නවා ඇත්තේ ඒ මල් ටික පුජාකරන්න පරක්කු උනොත්  බුදුරජාණන් වහන්සේ තරහා වෙයි කියලා ද දන්නේ නැහැ.

ඔය වගේ කාරණා දිහා බැලුවහම හිතෙන්නේ අද බොහෝ දෙනෙක් මෙම පුජාවන් කරන්නේ නිසි අවබෝධයකින් නොවන බවයි.

මෙම පුජාවෙහි අනිසංස  සහ එය  නිසි අයුරින් කරන්නේ කෙසේද යන්න විමසා බලමු. මේ සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කරණ ලද දේශනාවක් විමසා බැලීම වටිනවා. එය තමයි අංගුත්තර නිකායේ සඳහන් වේලාම සුත්‍රය. අපි එය කෙටියෙන් විමසා බලමු.

"ගෘහපති  තුමනි, පෙර කල්හි වේලාම නමින් බ්‍රාහ්මණයෙක් සිටියේය. හෙතෙම මහා දානයක් දුන්නේය. එනම් රිදී පිරවූ රන් පාත්‍ර අසු හාරදහසක් දුන්නේය, රන් පිරවූ රිදී පාත්‍ර අසු හාරදහසක් දුන්නේය, අමු රන් පිරවූ පස්ලෝ පාත්‍ර අසු හාරදහසක් දුන්නේය, රනින් සැරසු ඇතුන් අසු හාරදහසක් දුන්නේය, රනින් සැරසු රථ අසු හාරදහසක් දුන්නේය, වටිනා අභරණයෙන්  සැරසු කිරි දෙනුන් අසු හාරදහසක් දුන්නේය,......... ................   ආහාර පාන, කැවිලි ආදිය ගැන කවර කතාද, එය ගඟක්  ගලන්නාක් මෙනි.

ගෘහපති  තුමනි, ඒ වේලාම නම්  බ්‍රාහ්මණ තෙමේ අන් කිසිවෙක් නොව තථාගතයන් වහන්සේමය. මම ම එම මහා දානය දුන්නෙමි.

ගෘහපති  තුමනි, එම දානය පිළිගැනීමට සුදුසු වූ  දක්ශිනාර්හ කිසිවෙක් නොවිය. එම දානය පිරිසිඳු කිරීමට හැකි කිසිවෙක් එයට නොපැමිණි යේය. ගෘහපති  තුමනි, වේලාම  බ්‍රාහ්මණ තෙමේ එබඳු වූ මහා දානයක් දුන්නේද, එයට වඩා එක් සෝතාපන්න උතුමෙකුට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, සෝතාපන්න උතුමන් සියයකට දෙන දානයට වඩා එක සකදාගාමී උතුමෙකුට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, සකදාගාමී  උතුමන් සියයකට දෙන දානයට වඩා එක අනාගාමි උතුමෙකුට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, සකදාගාමී  උතුමන් සියයකට දෙන දානයට වඩා එක රහතන් වහන්සේ නමකට  දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, රහතන් වහන්සේ  සියක් නමකට  දෙන දානයට වඩා එක පසේ බුදුරජාණන්  වහන්සේ නමකට  දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, පසේ බුදුරජාණන්  වහන්සේ  සියක් නමකට  දෙන දානයට වඩා එක සම්මාසම්බුදුරජාණන් වහන්සේ නමකට  දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, සම්මාසම්බුදුරජාණන් වහන්සේ  නමකට  දෙන දානයට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට  දෙන දානයට වඩා සතර දිගින් වඩින  මහා සංඝරත්නය උදෙසා විහාරයක් කරවා  පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, සතර දිගින් වඩින  මහා සංඝරත්නය උදෙසා විහාරයක් කරවා  පිලි ගැන්වීමට  වඩා යමෙක් පහන් සිතින් තෙරුවන් සරණ යන්නේ නම් එය මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, යමෙක් තෙරුවන් සරණ ගොස් පන්සිල් රකී නම් එය තෙරුවන් සරණ යාමටත් වඩා මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, යමෙක් මලක සුවඳ සිබින තරම් සුළු මොහොතක් මෙත් සිත වඩයි ද , එය තෙරුවන් සරණ ගොස් පන්සිල් රැකීමටත්  වඩා මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, යමෙක් අසුරක් ගසන තරම් සුළු මොහොතක් අනිත්‍ය සංඥාව  වඩයි ද , එයම සියල්ලටම වඩා මහත්පල මහානිසංස වන්නේය."

භාග්‍යවතුන් වහන්සේගේ ඉහත දේශනාව අනුව දානයට වඩා ශීලය ද , ශිලයට වඩා සමථ භාවනාව ද , ඒ සැමට වඩා විදර්ශනා භාවනාව ද ආනිසංස වන බව පෙනෙනවා නේද? ඔබ මිට පෙර  කල්පනා කරලා තියෙනවද  ,මේ මල් පුජාව, පහන් පුජාව, සුවඳ දුම් පුජාව යන පුජාවන් මහානිසංස අනර්ඝ පුජාවක් බවට පත්කරගන්නා ආකාරය ගැන.

ඔබ අවංකව මල් පුජාව සිදුකරනවා නම් ඒ වෙනුවෙන් එක මලක් උවත් ප්‍රමාණවත්. සන්සුන් සිතින් යුක්තව මල අතට ගෙන එහි ස්වභාවය දකින්න. ඉන්පසු එය පුජාකර ඒ මල පරවියන ආකාරය සිතින් දකින්න. එම මල මෙන්ම තමන්ගේ කයද වෙනස්වන ආකාරය නුවණින් දකින්න. කය පමණක් නොව තමන්ගේ සිතුවිලි ද ස්ථිර තාවයක් නොමැතිව වෙනස්  වන ආකාර මෙනෙහි කරන්න. මේ අයුරින් මුළු මහත් විශ්වයෙහි ඇති සියලු දේම අනිත්‍ය බව මොහොතක් මෙනෙහි කරන්න. (මල් පුජාව වෙනුවෙන් කිසි විටකත් ප්ලාස්ටික් මල් භාවිතා කරන්න එපා) ඔබට වැඩි වෙලාවක් මල් ආසනය අසල මේ වෙනුවෙන් කාලය ගත කිරීමට හැකිනම්, ඔබ පුජා කල  මල් පරවී යන ආකාරය ඔබටම දැකගත හැක. නිවසක ඇති බුදු මැදුරක මල් පුජා කරන්නේනම් එය වඩා පලදායක බව මගේ වැටහීමයි. මන්ද යත් කාලය ගතවීම සමග ඒ මල් පරවී යන ආකාරය ඔබට විටින් විට දකින්නට ලැබෙන නිසාත්, එලෙස දකින සැම විටකම   ඔබට අනිත්‍ය මෙනෙහි කිරීමට හැකියාව ලැබෙන නිසාත්ය.

පහන් සහ සුවඳ දුම් පූජාවද මේ ආකාරයෙන්ම සිදු කරන්න. ඒ පහනේ තිරය දැවී ගොස් පහන නිවී යන ආකාර හෝ සුවඳ කුර දැවී නිවියන ආකාරය දකිමින් ඉහත සඳහන් කල ආකාරයටම  අනිත්‍ය මෙනෙහි කරන්න.  අවම වශයෙන් සුවඳ කුරක් දැල්වී අවසන් වන කාලය වැනි කාලයක් හෝ මේ වෙනුවෙන් ගත කරන්න.

මේ පුජාවන් මේ ආකාරයට කරන්නේ නම්, ඔබ විසින් කර ඇත්තේ ඉහලම කුසලය වන අනිත්‍ය සංඥාව වැඩීමය. මුළු මහත් නිර්වාණ මාර්ගයම තම සිත පිලිබඳ කලයුතු මහා ගවේෂණයක් බව මොහොතකට වත් අමතක නොකරන්න. මේ ආකාරයෙන් ධර්ම මාර්ගයේ ගමන් ගන්නා විට මුළු මහත් ලෝකයම යනු සිතුවිලි සමුදායක් පමණක් බව ක්‍රමයෙන් වැටහී යනු ඇත.

ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!



55 comments:

  1. මල ගහේ තියෙද්දිම පුජා කරන විදියකුත් තියෙනවා නේද ගාතාවකුත් එක්කම..

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකට තණමල්විල මල් මතක්වෙලා උදේම. 18 එනවද

      Delete
    2. 18 ඒ මොකටෙයි.. තොපි මාව මරන්න උත්සාහයක් වත් ගන්නවද??? අඩේ නලියෝ උඹ දන්නෙත් නෑ.. ඒ මල් නෙමෙයි බං. කෝ මේ අයිලාෂා... කියහං බං මම කියපු එක ඇත්තය කියල ගාතාවත් එක්කම..

      Delete
    3. මම එහෙම දෙයක් නොදනිමි.

      Delete
  2. අනිවාර්යෙන්ම මමත් එකන්න්ගයි.ගොඩක් අය නිකන් කුසල් අකුසල් තමන්ගෙ එදිනෙදා අවශ්යතා කියල හිතාගෙන පන්සල් යන්නෙ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඔබේ පැමිණීම සහ අදහස් දැක්වීම ඉතා අගය කරනවා.

      Delete
  3. මල් පූජාකරන ගාථාවෙන් පැහැදිලි වෙන්නේත් මේකමනෙ.. හැබැයි ගිරවු වගේ කිවුවොත් ඒක සිතට එන්නේ නෑ. අනික පූජාව කරන මොහොතේදී සිත පිරිසිදුවී මොහොතක භාවනාවක් සිදුවෙනවා. කිරින්දේ ධම්මානන්ද හාමුදුරුවො කියන හැටියට එහෙම පූජා කිරීම නොදියුණු සිතට එක්තරා විදිහක භාවනාවක්..

    ReplyDelete
    Replies
    1. මල් පුජා කරණ ගාථාවේ අර්ථය මෙයය උනත්, පහන් පුජාවේ සහ සුවඳ දුම් පුජාව වෙනුවෙන් ඇති ගාථා වල අර්ථය මෙය නොවෙයි. එලෙස උවත් ඒ පුජාවන් දෙකඩ මෙලෙසින්ම මනසිකාර කල හැකිනම් ගාථා සජ්ජායනාවට වඩා අර්ථ සම්පන්නයි.

      Delete
  4. බොහෝම වැදගත් ලිපියක් අයියේ. ධර්මාවබෝධය පිණිස මෙවැනි දේවල් කරන්න ඕනෙමයි අද .. නැත්නම් හෙට වෙනකොට අපිට හරි දේ කෝකද , වැරදි දේ කෝකද කියලා අඳුනා ගන්න බැරුව යනවනේ..

    අවබෝධය ඇත්තාවුන් විසින් අවබෝධය ලැබීමට කැමැත්ත ඇත්තාවුන්ට කරුණු පැහැදිළි කිරීම බොහොම වටිනවා... පන්සල් ගිහින් මල් පූජා කරාම ලබන සැනසීම වගේම දෙයක් දැනුණා කියවලා ඉවර වෙද්දී...!

    ReplyDelete
    Replies
    1. බලං ඉදහං.. බොට අවබෝධ වෙයි.. මගුල...අහස කළු වෙලාවත් පන්සල් නොගිය හන්ටර්ලා.. හැක් හැක්..

      Delete
    2. අන්න බලන්න මම මලක් පූජා කරලා නිවී සැනසිල්ලේ වාඩි වෙලා ඉද්දි මෙයා ඇවිල්ලා මගේ ඇහැට ඇන්නා.. :(


      Delete
    3. එක එකා ඇහැට ඇන්නා කියලා අඩන්නේ නැතිව හිටහන් මලයෝ.

      Delete
  5. පැවිද්දන් අතින් විය යුතු මෙහෙයක් ගිහි අයිලාෂ් අතින් හො මෙසේ ඉටුවීම ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා නලින්, මෙකල බොහෝ ස්වාමින්වහන්සේලා නිවැරදි ලෙසින් ධර්මය පහදා දෙනවා. ඔබට අවශ්‍ය නම් එවන් අය වෙත යොමු කරවිය හැකියි.

      Delete
  6. මොනම ගාථාවක් උනත් ගිරවු වගේ කියවන්නෙ නැතුව ඒකෙ තේරුම හිතෙන් මෙනෙහි කරන ගමන් කියන එක තමයි සිද්ධ වෙන්න ඕන.

    ලක්ෂ ගණං මල් පූජ කරන එකටනං මම කොහෙත්ම එකඟ නෑ. මොකද ඒ මල්වලින් ජීවිතය රැකගන්න තවත් සතුන් විශාල ප්‍රමාණයක් ඉන්න නිසා එහෙම මල් විනාශ කරන එකෙන් වෙන්නෙ පවක්.

    ReplyDelete
    Replies
    1. මං කියන්න ආපු දේ ප්‍රසන්න කියල නෙ. අපේ ගමට එහා පැත්තෙන් තියන ගමේ අය පන්සල් යන්නෙ අපේ ගෙදර ලඟින්. ඒ අය අතරින් ඇතමෙක් හැමදාම මල් කඩා ගන්නෙ අපේ වත්තෙන්. [වත්ත කිව්වට මල් වත්තක් එහෙම නෙවෙයි :)]සාමන්‍යයෙන් අපේ ගේ අවට මල් ගස් ආශ්‍රිතව කුඩා සතුන් සෑහෙන ගණනක් ගැවසෙනවා. ඉතින් මට කල්පනා වුනු දේ තමයි ඒ මල් නොකඩා තිබුන නම්, සතුන් කී දෙනෙක් ඒකෙන් කුසගිනි නිවා ගන්නව නේද කියන එක.

      Delete
    2. ප්‍රසන්න, චන්දන ඔබ දෙදෙනාටම ස්තුතියි.

      ගස් වලින් මල් නෙලන් කොට ඒ ගහටත් මල් ඉතිරි කරන්න ඕන, සතුන්ගේ වගේම ගස්වල පැවැත්ම උදෙසාත්.

      Delete
  7. අවංකව මල් පූජා කරනවා නම් එක මලක් උනත් ප්‍රමාණවත් කියන කතාව නම් ඇත්තම ඇත්ත. ඒ උනාට ගොඩක් අය හිතන්නෙ මල් වට්ටියක පූජා කලාම තමයි හරි කියල. මම දැකල තියෙනව අනිත් අයගෙ ඉඩම් වලට හොරෙන් ඇතුල්වෙලා ඒ වත්තෙ තියෙන මල් ටික කඩාගෙන යන අයව...ඒ විදිහට මල් කඩන්නෙ පූජා කරන්නලු. මේ අය ඉන්නෙ ලොකු මායාවක පැටළිලා.
    මේ ධර්ම දානයට අයියට ගොඩක් පින්..

    ReplyDelete
    Replies
    1. හොරෙන් මල් කඩලා පුජා කරාම වෙන දේ දන්නවා ද?

      හොරකම් කිරීමෙන් වෙන අකුසලය වෙනවා වගේම මල් පුජාවේ අනිසංශ ද ලැබෙනවා. :D

      නමුත් නිවැරදි ලෙස ධර්ම මාර්ගයේ ගමන් කරණ කෙනෙක් නම් ඒ දේ කරන්නේ නැහැ.

      Delete
  8. කඩතිර අයින් කරල සත්‍යය පෙන්නල දෙන්න දරන උත්සාහයට පින් අයිලාෂ් අයියෙ.

    ReplyDelete
    Replies
    1. පින් අනුමෝදන් උමා මලේ.

      Delete
  9. බොහොම පිං අයිලාෂ් අයියේ මේ වගේ දහම් කරුණු අපිත් එක්ක බෙදා ගන්නවට..... ටිකෙන් ටික හරි මේ දේවල් අපේ ජිවිත වලට එක් කර ගෙන නිවැරදි මාර්ගයේ ගමන් කරන්න ඕනි. ගොඩක් වෙලාවට කරන්නේ මල් පුජා කරලා ගාථා ටික කියෝ ගෙන යන එක විතරනේ....

    ReplyDelete
    Replies
    1. සෑම දෙයම අවබෝධයෙන් කරන්න, එතකොට හරි.

      Delete
  10. අපි ගියා අනුරාධපුර පිච්ච මල් පූජාවට සමගාමීව කුණු ඉවත් කිරීමේ වැඩසටහනකට. මිනිස්සු ගැන පුදුම ආදරයක් හිතෙනවා. අපි වැඩේ නැවැත්තුවෙ කුණු එකතු කරන උර ඉවර උන හින්ද. එහෙම නැතුව කුණු ඉවර වෙලා එහෙම නෙවෙයි. තමන්ට පින් කරගන්න පරිසරයට කොච්චර හානියක් කරල තිබ්බද. සමහර තැන් වල කුනු අයින් කරන්න කැතයි ඒ තැන් වලට චූත් කරලා

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් නිවැරදි අවබෝධයකින් කටයුතු කරන්නේ නැහැ එකයි ප්‍රශ්නේ.

      කෙසේ වෙතත් ඔබලා කුණු ඉවත් කිරීම නම් ගොඩක් වැදගත්.

      Delete
  11. ඔබ, බොහොම සරල ලෙස, පැහැදිලිවෙන ආකාරයට ධර්ම කරුණු ලියනවා. බොහොම පින්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා.

      Delete
  12. වේලාම සුත්‍රයේ කරුණු ටික හරිම ලස්සනට ගලපලා තියනවා. ගොඩක් පින් මේ වගේ ලිපියක් ලිව්වට

    ReplyDelete
    Replies
    1. ඒ සුත්‍රය ඉතා වැදගත් නේද? ස්තුතියි ඔබට.

      Delete
  13. kathaawa aththa. godak aya mal pooja karanne nikan hariyata mal godak nothibunoth, mal wattiya lassanata hadala nathnam nikan paw sidda wenawa wage hangimakin.

    ReplyDelete
    Replies
    1. සයුරි, ඔයාගේ කොමෙන්ට් එකට් දිග පිළිතුරක් දෙන්න වෙනවා. නමුත් හැකි තරම් කෙටියෙන් කියන්නම් තේරුම් ගන්න උත්සාහ කරන්න.

      සයුරි, කිසි විටකත් අමතක කරන්න එපා මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියන්නේ තමන් තමන්ගේම සිත දිහා බලාගෙන එහි ඇතිවන ලෝභ, ද්වේශ, මෝහ දුරුවෙන පිළිවෙලට හිත සකස් කරණ එක කියලා. එහෙම සිතේ ඇති අකුසල් මුලයන් අඩු වෙනකොට සිතේ ඉස්මතු වෙන්නේ කුසල මුලයන් වන අලෝභ, අද්වේශ සහ අමෝහ. එවිට මේ කුසල මුලයන් තුලද නොඇලී ඒවා අනිත්‍ය වශයෙන් දකින්නට පුහුණු වෙන්න ඕන. මේ සියලුම දේවල් තමන්ගේ සිත පිළිබඳව මයි.

      කෙනෙක් ලොකු මට වට්ටියක් එහෙම නැත්නම් ලස්සනට සැකසු මල්වට්ටියක් පුජා කරන කොටත් අපි ඒ දෙස බලා වෙනත් අදහසක් ඇතිකරගන්න හොඳ නැහැ. එවිට නැවතත් වෙන්නේ අනිත් අය නිසා අපේ සිත තුල අකුසල් ඇතිවීම පමණයි. ඒ වගේ පුජාවක් කරණ අයගේ සිත තුල ඇත්තේ මොන වගේ අදහස්ද කියලා අපි දන්නේ නැහැ නේ. සමහර විට බොහොම නිවැරදි අදහස් තියෙන්නට පුළුවන්, එහෙම නැතිනම් මෝහයෙන් මුලාවෙලා අනුන්ට පෙනෙන්නට කරනවා වෙන්න පුළුවන්. ඒ කෙසේ උවත් එයින් අපිට ප්‍රයෝජනයක් නැහැ. එවැනි අවස්ථාවක උවත් එය දකින අපිට අපේ සිත සදා ගැනීමට එම මල් වට්ටිය උපයෝගී කරගන්න පුළුවන්නම් එයයි වඩා වැදගත් වන්නේ.

      තවත් දෙයක් තමයි එක මලක් පුජා කරනවට වඩා, ලස්සනට සකසපු මල් වට්ටියක් පුජා කිරීමේදී එහි ඇති ප්‍රිය තාවය වැඩියි නේද? එවිට එම වඩාත් ප්‍රිය වූ දෙයද සුළු මොහොතකින් පරවී යන අයුරු දැකීම වඩා ප්‍රබලව සිතට දැනෙනවා නේද? ඒ වගේ අරමුණකින් කරනවානම් එලෙස ලස්සන මල් වට්ටියක් පුජා කිරීම වඩාත් සුදුසුයි නේද?

      අපි බොහෝවිට පුරුදු වෙලා තියෙන්නේ අනිත් අය ගේ සිත දෙස බලන්න, ඒ අය කරණ කියන දේවල් තුලින් ඒ අයගේ සිල්වත් බව මනින්න. මෙතන තමයි අපිට වැරදුන තැන. අපි සැම විටම විමසිලිමත් විය යුත්තේ අපේ සිත ගැන මිස අනිත් අය ගැන නොවෙයි.

      මේ කාරනාව තේරුම් ගන්න ඇති කියලා හිතනවා.



      Delete
    2. මේක සයුරිව ඉලක්ක කරන් කියන දෙයක් නෙවේ..සයුරිට මේ ගැන හොඳ අවබෝදයක් තියෙනවා බව මන් දන්නවා.මම මේ පොදුවේ කියන්නේ ..

      01.සංසාරය පුරා අයාලේ ගිය කෙනෙක් කුමන හෝ අරමුණකින් බුද්ධ ප්‍රතිමාවක් දැකීමත් විශාල ජයක්.

      02.ඉන්පසු බුදුන්ට පුදන්න මලක් අතට ගන්න සිත් පහළ වීමත් ලොකු දෙයක්.

      03.ඊළඟ අවස්ථාවේදී වඩාත් හොඳින් සැකසු , ලොකු , වර්ණවත් , .... ..... ... ආදී වශයෙන් වූ මල් වට්ටියක් පූජා කිරීමට සිත් පහළ වීමත් ලොකු පියවරක්.

      04.ඉතත 3 වෙනි අවස්ථාවට ආවට පස්සේ පුළුවන් සිතට ලෝභ , ද්වේශ , මෝහ ගොඩ නැගෙන හැටි කියලා දෙන්න..

      05 ඉහත 4 වෙනි අවස්ථාවෙන් පස්සේ කල යුත්ත ගුරුවරයා දන්නවා. ( මෙන්න මේ 05 වෙනි අවස්ථාවට එනකම් කල්පනාකාරීව අධීක්ෂණය කරන්න ඕනේ )



      Delete
  14. හැමදේටම වඩා වටින්නේ හිත.. පුදන මලින්වත්, කියන ගාථාවේ සද්දෙන්වත් නෙවෙයි කියලයි මගේ නම් හැඟීම. ඔහොම දේවල් එදත් තිබ්බ, අදත් තියෙනවා, හෙටත් තියෙයි. ලංකාවේ පිංකම් කරන විදිය බැලුවාමත් පේනවා මිනිස්සු ඉන්නේ කොතැනද කියලා. තරඟෙට නේ දැන් පෙරහැර කරන්නේ.
    මල් පුජා කරන එක ගැන නම් මම දකින පැත්ත පොඩ්ඩක් සම්ප්‍රදායකයි. මල් පුජ කරලා අපි බලාපොරොත්තු වෙන්නේ අනිත්‍ය දැකීම. ආසාවෙන් ගෙනාපු මල් ටික මල් ආසනේ පරවෙන එක දැකල තමයි නිමිත්ත ඇති කරගන්නේ.
    මොනා කිව්වත් අන්තිමට කියන්න තියෙන්නෙත් 'හිත තමයි වැදගත්' කියලා
    මේක මගේ පුද්ගලික අදහස. ධර්මයේ මිට වැඩ ගොඩක් ගැඹුරුයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උපේක්ෂා, පළමුවෙන් ඔබව සාදරයෙන් පිලිගන්නවා.

      ඔබගේ අදහස් නිවැරදියි.

      Delete
  15. එක මලක් පූජා කලත් ආනිසංසය එකමයි කියන එක මම හැමදාම පිළිගත්ත දෙයක්. හැබැයි ඔය විදියට මල් පහන් පූජා කරන්න නම් මචං පාලු පංසලකට අවේලාවක යන්න ඕනෙ.
    උඹ දන්නවද දළදා මාලිගාවට යනකොට ඉස්සෙල්ලම මට නම් වෙන්නේ හිත අපිරිසිදු වෙන එක. එතන ඉන්න ආරක්ෂකයෝ අපිට සලකන්නේ මාලිගාවට බෝම්බ ගහන්න ආපු උන්ට වගේ. ඉස්සෙල්ලම පෝලිං ගස්සලා මිරිකලා අතගාලා එව්වාම මගෙ නම් බුද්ධාලම්බනප්‍රීතිය කොහෙන් ගියාද නෑ.
    හුඟක් පංසල් වටට ගියාම මට නිකමට හිතෙන දෙයක් දමයි මේක මේ අපිට අයිති තැනක්ද නැතිනම් දේශපාලුවන්ට අයිති තැනක්ද කියලා. සමහර වෙලාවට මට හිතෙන්නේ මේකත් නිකම් ව්‍යාපාරික ස්ථානයක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං, මේ තමයි මේ මාතෘකා යටතේ පළවුණා ලිපිවලට උඹෙන් ලැබුන පලවෙනි කොමෙන්ට් එක. නැවතත් ස්තුතියි.

      උඹ දන්නවද මචං දළදා මාලිගාව තියෙන්නේ අපේ ගෙදරට අතේ දුරින් උනත් මම යන්නේ නැහැ. ඒ උඹ ඔය කියන කාරණය නිසාමයි. නමුත් මචං ඔය විදිහට මල් පුජා කරන්න පුළුවන් තමන්ගේ ගෙදර ඉඳන්. එය වඩා පලදායකයි. මම මල් පුජා කරන්නේ ඒ විදිහට.

      මේ ධර්මය දකින්න තියෙන්නේ පන්සලේ වත් දළදා මාලිගාවේ වත් නෙවේනේ මචං. තමන්ගේ සිත තුල. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ "මහණෙනි ලෝකය බඹයක් තරම් වූ මේ ශරීරය තුලම පණවමි" කියලා දේශනා කලේ.

      Delete
    2. දළදා මාළිගාව ගැන නම් මම දරන්නේ වෙනම මතයක්.... වෙනස්
      ඒ චෙක් කිරිල්ල ගැන නම් මගෙත් ප්‍රසාදයක් නැහැ.. එත් අර සයිඩ් එකේ පඩිපෙළ නගිනකොට මට ඒවා ඔක්කොම අමතක වෙලා යනවා.... විශේෂයෙන්ම උඩ මළුවට ගියාම මට වෙනම ලෝකයක් මැවෙනවා... තෙරපුනත්, තනියෙම උන්නත් මගේ ඒ හැඟීම එක වගේ.... විකාරයි නේද ?

      Delete
    3. // තෙරපුනත්, තනියෙම් උන්නත් මගේ ඒ හැඟීම එක වගේ... විකාරයි නේද?//

      නැහැ උපේක්ෂා, එහි කිසිම විකාරයක් නැහැ. විය යුත්තේ එයයි. මගේ මනස නම් ඔය තරම් දියුණු නැහැ. ඒ නිසයි අපිට ප්‍රශ්න ඇතිවන්නේ. ඔවැනි වූ තත්වයකට මනස දියුණු කරගැනීමට තමයි මමත් උත්සහ කරන්නේ.

      Delete
    4. මාලිගාව අත ළඟ කිව්වා?? එහෙමනං නුවර පළාතේ කෙනෙක් වෙන්න ඕනේ නේ. :) මමත් කිට්ටුව පාත කෙනෙක්. ඒත් මං නම් මාලිගාවේ යනවා. ටිකක් උඩ මළුවට වෙලා ඉඳගෙන හිටියාම හිතේ කරදර ඔක්කොම කොහේ ගියාද නෑ. මං ලංකාවට ආවාම අනිවාර්යෙන්ම යන තැනක් මාලිගාව කියන්නේ.

      Delete
    5. ඔව් ඔව් නුවර ටවුමෙම තමයි... බොහොම සතුටුයි ඒ අසලම කෙනෙක් හඳුනා ගැනීමට ලැබීම.

      Delete
  16. පිං පිං පිං පිංම ලැබේවා!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි.

      උඹ කොච්චර කිවත් තාම සුභ උනෙත් නැහැ, රාජ සම්පත් ලැබුනෙත් නැහැ. :D

      Delete
  17. මල් ගස්වල තියෙත්දීම පූජා කරන්න ගාථාවක් නම් තියෙනවා . එත් මල් කඩලා අරගෙන ඒවා ගානට අහුරලා පූජා කරන එක තමයි කෙරෙන්න ඕන . ඒකෙන් සිත සමාධි ගත වෙනවා කියනවා . විමාන වත්තු කියන පොතේ තියෙනවා අපිළිවෙලට තිබ්බ මල් පිලිවෙලට හදලා කරගත්ත පිනෙන් දෙවියෝ වෙලා ඉපදිච්ච කතාවක් . මුල් කමෙන්ට් එක දැකලා මෙහෙම කිව්වේ .

    ඉතාම අගනා පොස්ට් එකක් . ඔබට ගොඩක් පින් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිලිගන්නවා, හැකි වේලාවට පරණ පොස්ට් ටිකත් කියවන්න.

      ඔබගේ අදහස් නිවැරදියි වයලීනො.

      Delete
  18. මම නම් ක‍තෝලික. ඒත් ලකුනු දාගන්න කියනවා නෙවේ බුදු දු දහමට මගේ ඉත ගෞරවයක් තියෙනවා.මගෙ සීය, මහප්පා බෞද්දයො. මමත් සාමාන්යයෙන් බුද්දාගම ගැන දන්නවා.

    මම මලක් පූජා කලොත් (ගාතා නොකියා) මට ලැබෙන්නෙ මොනවද? එහෙම නැතිනම් ගාතා නොකියා මලක් පූජා කරන එක වැ‍රැද්දක්ද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බ්ලු ලෝටස්, ඔබ ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතුකළා. මල් පුජා කරණකොට ගාථා කියන්න ඕනෙද? කියලා. අපි මේ ප්‍රශ්නය පොදු ප්‍රශ්නයක් බවට හරවලා එයට උත්තරය සොයමු. (මේ ප්‍රශ්නයට පිළිතුර ඉතා දීර්ග උවත්, හැකි තරම් කෙටියෙන් සහ සරලව පිළිතුර සපයන්න උත්සහ කරන්නම්.)

      බුද්ධ පුජාව වෙනුවෙන් ගාථා කියන්න ඕනද? (ඕනෑම පුජාවක් වෙනුවෙන් ගාථා කියන්න ඕනෙද?)

      මල්, පහන්, සුවඳ දුම්, ආහාර, දැහැත්, බෙහෙත්, ගිලන්පස පමණක් නොවේ අටපිරිකර සහ සෙසු සියලුම පිරිකර වර්ග බුද්ධ පුජාව වෙනුවෙන් පුජා කරණ නිසා, බුද්ධ පුජාව වෙනුවෙන් ගාථා කියන්න ඕනද? ලෙස ප්‍රශ්නය ගොඩ
      නැගීම වඩා හොඳයි.

      "චේතනාහං බික්ඛවේ කම්මං වදාමි" යන බුද්ධ වචනයට අනුව කර්මය වන්නේ චේතනාව මිස කරණ ක්‍රියාව නොවේ.

      මේ සරල උදාහරණය ගන්න, දෙදෙනෙක් බුදු මැදුරක් තුල පහන් දෙකක් දල්වනවා. පළමු පුද්ගලයාගේ චේතනාව වන්නේ බුදු මදුර තුල ඇති අඳුර දුරු කර ආලෝකය ඇති කිරීම. අනිත් පුද්ගලයාගේ චේතනාව වන්නේ බුදු මැදුර තුල සිටින මැස්සන්, මදුරුවන් වැනි කුඩා සතුන් පහන් දල්ලට අසුවී මැරේවා කියන චේතනාව. නමුත් ඉන්පසු මේ දෙදෙනාම පහන් පුජා කිරීමේ ගාථාවත් කියනවා. මේ සිදුවීම දකින තුන්වැන්නකුට අනුව නම් දෙදෙනෙක් බුදු මැදුර තුල පහන් පුජා කර වන්දනා කරනවා. දැන් මොකද වෙන්නේ ?
      * පළමු පුද්ගලයා කුසලයක් සිදුකරගන්නවා
      * දෙවන පුද්ගලයා අකුසල් සිදුකරගන්නවා. එම පහන් දල්ලට අසුවී සතෙක් මැරෙන වාරයක් පාසා ඔහුට ප්‍රාණඝාත අකුසලය සිදු වෙනවා.

      දැන් බලන්න මේ දෙදෙනාගේම ක්‍රියාව එක සමානයි . පහනක් පත්තු කර ගාථා කීම. නමුත් එකිනෙකට වෙනස් චේතනා නිසා එහි කර්මයේ ස්වභාවය වෙනස් උනා. දැන් පැහැදිලි වෙනවා නේද ගාථා කීම නිසා නෙවෙයි පින සිදුවන්නේ කියලා. ගාථා නොකීවාට පිරිසිඳු සිතින් එම පුජාව කිරීම ප්‍රමාණවත්.
      නමුත් ගාථා කීමේ සම්ප්‍රදායත් ඉතා වැදගත්. එලෙස කියන්නේ එසේ නොවුනානම් බොහෝ විට මේ පුජාවන් පුජාසනය මත තැන්පත් කරලා ඔහේ යන්න යාවි, කිසි හැඟීමක් නැතිව. නමුත් ගාථා කීම නිසා, එම පුජාව තැන්පත් කල පසු ඒ අසල ටික වෙලාවක් ගාථා කියමින් රැඳෙන නිසා යම් ආකාරයකින් හෝ සිත් ටිකක් හෝ සන්සුන් වෙනවා කියලා මට හිතෙන්නේ.
      නමුත් අවභෝධයක් තියෙන කෙනෙකුට ගාථා නොකියා උනත් මේ පුජාවන් ඉතා සාර්ථකව සිදුකර ගත හැකියි.


      මිට අමතරව ඉහත දැක්වූ උදාහරණයෙන් මතුකරගත යුතු තවත් ඉතා වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි තුන්වෙනි කෙනාගේ සිතේ ඇතිවන චේතනා ගැන සලකා බැලීම. මේ පහන් පත්තු කරණ ක්‍රියාව දකින ඔහු "අනේ හොඳයි මේ දෙන්නා ඉතා හොඳ පහන් පුජාවක් කරනවා" කියා සිතුවොතින් ඔහුට කුසලයක් අත්වෙනවා. එයට හේතුව වන්නේ එම සිතුවිල්ල ලෝභ, ද්වේශ, මෝහ වලින් තොර සිතුවිල්ලක් වීමයි. නමුටත් එම පුද්ගලයා "අනේ මේ පහන් පත්තු කරලා නිකන් තෙල් නාස්ති කරනවා" වැනි සිතුවිල්ලක් ඇතිකරගත හොත්, එම සිතුවිල්ල නිසා ඔහුට අකුසලයක් සිදුවෙනවා. එයට හේතුව වන්නේ එවැනි සිතුවිල්ලක් පහළ වන්නේ ලෝභ සහ මෝහ හෝ ද්වේශ සහ මෝහ යන අකුසල් මුලයන් මුලික වීමෙන් නිසා.

      මට වඩාත් ඉස්මතු කල යුතු වූ කරණය වුයේ මේ තුන්වැනි පාර්ශ්වය ඇතිකරගන්නා කුසල්, අකුසල් පිළිබඳව. අද බෝවිට සිදුවන්නේ මේ දෙයයි, වෙනත් අය කරණ දේවල් දිහා බලලා නිකන් පවු පුරවා ගන්නවා.

      මේ පිළිතුර ප්‍රමාණවත් කියලා සිතනවා.





      Delete
    2. ගාථාවකින් අදහස් කරන්නේ අදහස් ප්‍රකාශයක් (වචන වලට පෙරලනවා හිතන්න ඕනේ දේ....) නැත්තම් ඔය ගාථාවක් නොකිව්වා කියලා වෙනසක් නැහැ. හැබෙයි අන්තවාදී වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ මෙලෝ ගාථාවක් නැතුව 'මෙන්න බුදුන් මල්, ඔන්න අපි යනවා' වගේ කලොත් පිනට වඩා වෙන්නේ පවක් කියලයි මගේ අදහස.

      Delete
    3. උපේක්ෂා මම හිතන්නේ මම මතුකරන අදහස ඔබට හරියට තේරුම් ගියේ නැහැ කියලා. නැවත මේ පිළිතුර සහ පොස්ට් එක බලන්න.

      ගාථා නොදන්නා බොහෝ දෙනෙක් ඉන්නවා, එතකොට ඒ අයට පුජාවන් කරන්න හිතෙන්නේ නැති වෙනවා, වඩා වැදගත් වන්නේ ධර්මය නිවැරදි ලෙස ගැනීමයි. අනික බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලය ගැන පොඩ්ඩක් හිතන්න. ඒ කාලේ මොනතර දෙනෙක් උන්වහන්සේ බැහැ දකින්න ආවාද? ඒ අය උන්වහන්සේට වන්දනා කලේ ගාථා කියමින් නෙවේනේ.

      සරලව කිවොත් මෙයින් මා යෝජනා කරන්නේ, මෙම පුජාවන් භාවනාවක් කරගන්න කියලයි.

      Delete
  19. මම බෞද්ධ එත් සමහර දේ ගැන තියෙනවා කුකුසක්, ඒක බුදුදහම අනුව නම් විච්කිච්චාව, ඒක අකුසලයක්, එත් එහෙම හිතෙන ඒක නවත්තන්න බෑ,
    1. අසූහාරදාහේ පහන් පූජාව - මොකක්ද බුදු දහමට අනුව අවශ්‍යතාවය?
    2. සල්පිල් - මොකක්ද බුදු දහමට අනුව අවශ්‍යතාවය?
    තව තියෙනවා මම නම් හිතන්නේ හැමදේටම මුල් විය යුත්තේ ශ්‍රද්ධාව කියලයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉවාන් පව්ලූශා...

      විචිකිච්චාව කියන්නේ මෙවැනි කරූනු ගැන ඇතිවන කුතුහලය නොවේ. එය හඳුන්වන්නේ බුද්ධාදී අට තැන් පිලිබඳ සැකය කියායි.මෙය පසු ලිපියකින් පහදන්නම්. මෙය සසරට බැඳ තබන ආශ්‍රව 10 න් එකක්. එය පහවී යන්නේ සොවහන් මාර්ගඥාණයෙන් පමණයි.

      1:අසුහාරදාහේ පහන් පුජාව: තේරුමක් නැතිව කරනවානම් වැඩක් නැත. නමුත් එය මේ ආකාරයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුමක් ඇතිව එක පහනක් පුඋජා කලොත් කුසලයක් අත්වෙනවා නේද? එහෙනම් එලෙසම් පහන් දෙකක් පුජා කලොත් එහි ආනිසංශ 2ක් ලැබෙනවා, පහන් 3ක් පුජා කළහොත් ආනිසංශ 3ක් ලැබෙනවා...... ආදී ලෙස.

      2:සල්පිල් - බිස්නස් එකක් පමණයි.

      සැමදේට ම මුල්විය යුත්තේ ශ්‍රද්ධාව තමයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රද්ධාව බීජය ලෙස හඳුන්වා දී ඇත්තේ ඒ නිසයි. මිට කලින් "ධර්ම කරුණු" ලේබලය යටතේ පළවූ පොස්ට් කීපය කියවන්න.

      Delete
    2. ස්තුතියි අයිලාස් ,බුද්ධාගමේ වුනාට ආගම පිලිබඳ දැනුම ගොඩක් දුර්වලයි කියලා අවංකවම පිලිගන්නවා.

      Delete
  20. මේවගේ දහම් ලිපි අද විරලයි. මෙන්න කෙල්ලගේ ජංගිය වැනුවා වගේ ඒවා නං සුලභයි. ඒ නිසා ඔබට පිං. සබ්බ දානං ධම්ම දානං ජිනාති..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, ධර්මයට ගරහන බොහෝ දෙනෙක් ඉන්න මෙවැනි කාලයක ඔබ වැනි අය ඉතා වටිනවා.

      Delete
  21. කැලණි පන්සලේ පොකුණ ගාව තියෙන මේ ගලින් කරපු නිර්මාණය කවුරුන් හරි මල් තබන්න හදපු එකක් වෙන්න ඕනේ. ඒත් ඒක පස්සේ හරි පුදුම විදිහටනේ වෙනස් වෙලා තියෙන්නේ. පහුගිය දවසක කැලණි පන්සල් ගිය වෙලාවක කෙනෙක් කිව්වා ප්‍රාර්ථනා ගල ගාවටත් ගිහින් ප්‍රාර්ථනාවක් කරලා එමු කියලා. මමත් සාමාන්‍යයෙන් මාසෙකට දෙපාරක්වත් කැලණි පන්සල් යැවෙන නිසා මම බැලුවා මොකක්ද මේ මම නොදන්න, නොදැක්ක ප්‍රාර්ථනා ගල කියලා. බැලින් නම් මේක තමා ඒ ප්‍රාර්ථනා ගල. මේක අල්ලලා කරන ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙනවාලු. මේ වගේම ප්‍රාර්ථනා ගහක් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ගාවත් තියෙනවා. ඔන්න මිනිස්සු හදාගෙන තියෙන දේවල්

    ReplyDelete
    Replies
    1. මෝහෙන් මුලා වෙලා......

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

************ *************