මාත් එක්ක එකතු වෙන්න

Friday, May 31, 2013

දුශ්ශිල භික්ෂුව කෙරේ ගිහියන් පිළිපැදිය යුතු අයුරු.


අද බ්ලොග් අවකාශයේ පමණක් නොව බොහෝ මාධ්‍යයන් හරහා  භික්ෂුන් වහන්සේලාට ගැරහීම කලාවක් කරගෙන ඇති ආකාරයක් පෙනීයයි.  භික්ෂුවකට ගැරහීම තුලින් හෝ ධර්මයට ගැරහීම තුලින් තමා මහා වීරයකු බව පෙන්වීමට බොහෝ දෙනෙක් කිසිදු බියක් සැකක්  නැතිව කටයුතු කරනුයේ ඉන් අත්වන මහත්වූ දුර්විපාක පිළිබඳව නොදත් කම හෝ ඒ පිළිබඳව බියක් නැතිකම ම වේ. මෙම අකුසල කර්මය පිළිබඳව   නොදත්කම  හෝ කර්මය  කර්මඵලය පිළිබඳව විශ්වාශය නොමැති වීම,  එහි විපාකයෙන් මිදීමට හේතුවක් නොවනු ඇත.

එක්   භික්ෂුවකට හෝ ගැරහීම මුළු මහත් සංඝ රත්නයටම ගැරහීමක් වන්නේය. එය මහා නරකයෙහි දීර්ඝ කාලයක් දුක්විඳීමට සිදුවන බරපතල අකුසලයක් වන්නේය. 

බොහෝවිට චීවර ධාරියා ලෙස  භික්ෂුන් වහන්සේලාට අගෞරවයෙන් ආමන්ත්‍රණය කිරීම දක්නට ලැබේ. චීවර ධාරියා ලෙස හැඳින්විය හැක්කේ සතර පාරජිකාවන්ට ලක්වී, ඒ බව සඟවාගෙන සිටින කෙනෙකුන් හට හෝ විනයානුකුල නොවන ආකාරයට පැවිදි වූවකු හෝ තමන්ම සිවුරු පොරවාගත් කෙනෙකුන්  හට පමණි. මේ සතර පාරාජිකාව සිදුවන ආකාරය ගැන බොහෝ අය පැහැදිලි අවබෝධයක් නැති බව දක්නට ලැබේ. පසුගිය  දිනක මාරයා විසින් ලියන ලද "අපි දන්නේ ඉතින් වැදී බණ  නෙව .." පොස්ට් එක කියවීමෙන් මට හැඟී ගියේ, වසර ගණනාවක් පැවිදි ජිවිතයක් ගතකල මාරයා උනත් මේ ගැන හරි අවබෝධයකින් තොර බවයි.

(උපුටාගැනීම මාරයාගේ පොස්ට් එකෙන්.)

"භික්ෂුවකගේ භික්ෂූත්වය ගිලිහිලා යන කාරණා හතරක් තියෙනවා කියනවා නෙව... අර සතර පාරාජිකා කියලා හදුන්වන්නේ එව්ව තමා... ඕකට අයත් වන එක කාරණයක් තමා ප්‍රාණ ඝාතය... ඒ කියන්නේ පණක් නසන කෙනාට භික්ෂුත්වය අහිමි වෙනවා..."  (උපුටාගැනීම අවසන්)

එය ප්‍රාණ ඝාතය නෙවෙයි, මනුෂ්‍ය ඝාතනයයි. නමුත් සිය පණ නසාගැනීමෙන් පාරාජිකා ඇවතකට පත්වෙන්නේ නැහැ. අති පුජනිය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත නම් ග්‍රන්ථයේ පිටු අංක 55 හි  මේ ගැන පැහැදිලිව සඳහන්  කර ඇත. පාරාජිකා ඇවතට පත්වෙන ආකාරය ගැන සවිස්තරාත්මක සටහනක් පසුව ලිවීමට බලාපොරොත්තු වෙනවා.

කෙසේවුවත් දුශ්ෂිල භික්‍ෂුවකට හෝ අපහාස කිරීම නුසුදුසුය. එවැනි භික්ෂුන් කෙරෙහි පිළිපැදිය යුතු පිළිවෙල   තථාගතයන් වහන්සේ විසින් දක්වා තියෙනවා.

(උපුටාගැනීම: බෞද්ධයාගේ අත්පොත පි.38 - 39)

"අට්ඨහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතස්ස  බික්ඛුනෝ ආකඞඛමානා අප්පසාදං පවෙදෙය්‍යුං කතමෙහි අට්ඨහි? ගිහීනං  අලාභය පරිසක්කන්ති, ගිහීනං  අනත්ථාය  පරිසක්කන්ති, ගිහීනං අක්කොසති පරිභාසති, ගිහී  ගිහීහි භේදේති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඝස්ස අවණ්ණං භාසති, අගොචරේච  ච නං පස්සන්ති, ඉමේහි ඛෝ භික්ඛවේ අට්ඨහි ධම්මේහි සමන්නාගතස්ස බික්ඛුනෝ ආකඞඛමානා උපාසකා අප්පසාදං පවෙදෙය්‍යුං"

යනුවෙන් ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ  කරන්නා වූ ද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට ආක්‍රෝෂ පරිභව කරන්නා වූ ද, ගිහියන් ගිහියන්  හා බිඳවන්නා වූ ද, බුදුන්ගේ අගුණ කියන්නා වූ ද, ධර්මයේ අගුණ කියන්නා වූ ද, සංඝයාගේ අගුණ කියන්නා වූ ද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූ ද භික්ෂුන්හට කැමති නම් අප්‍රසාදය දැක්වීමට තථාගතයන් වහන්සේ විසින් උපාසකවරුන්ට අනුදැන වදාරා තිබේ. අප්‍රසාදය දැක්වීම යනු ඒ භික්ෂුන්ට ගර්හා කිරීම නොව දුටුකල හුනස්නෙන් නොනැගිට සිටීම, පෙර ගමන් නොකිරීම, නො වැඳීම, දන්  නොදීම යන මේවයින් තමාගේ නොසතුට දැක්වීමය.
(උපුටාගැනීම අවසන්)

කරුණු කාරනා එසේ හෙයින් භික්ෂුන්ගේ යම් වරදක් දුටු තැන ගර්හා නොකර, එම වරද කිරීම පුද්ගල දෝෂයක් ලෙස සලකා කැමති නම් තථාගතයන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට තමාගේ නොසතුට දැක්වීම මගින් විශාල අකුසලයක් කරගැනීමෙන් වැලකිසිටිය හැක.

එමෙන්ම භික්ෂුන් වහන්සේලාගේ ශිලය පිළිබඳව බොහෝ සෙයින් උනන්දු වෙමින් ගර්හා කරන මෙම ගිහියන් , ගිහියකුගේ නිත්‍ය ශිලය වන පන්සිල් වත් රැකගත් අය  නොවන බව නොබියව කිව හැක. රාත්‍රී කාලයට හෝ උත්සව අවස්ථාවකදී උවත් මත් වතුර කටේ හලාගන්න අයගේ පංච ශිලය ගිලිහි ඇත. එමෙන්ම බොරුව කොතරම් භාවිතා කරනවද යන්න ඔබ ඔබම තමන්ගෙන් විමසා බලන්න. අවම වශයෙන් සිල්පද පහක්වත් රැකගත නොහැකි නම්, නව දහස් එකසිය අසු කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශිලය ආරක්ෂා කිරීමට කැපවූ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ සීලය විමසීමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? එමෙන්ම භික්ෂුන් වහන්සේලා ගේ ශිලය ගැන විමසමින්  සහ ධර්මයට ගර්හා කරමින් තමන්ගේ බ්ලොගයේ පොස්ට් පලකිරීමට  අන්‍ය ආගමිකයකුට ඒ  ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද?

කෙසේ උවත් බුද්ධිමත් බෞද්ධයන් විසින් කලයුත්තේ, භික්ෂුන් වහන්සේ නමක්  දුටු කල්හි, ඒ භික්ෂුව හේ ශිලය ගැන නොවිමසා, මේ භික්ෂුන් වහන්සේ දරා  ගෙන සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ චීවරයයි, සැරියුත්, මුගලන්, නන්ද, රාහුල වැනි අග්‍ර ශ්‍රාවකයන්,  මහා ශ්‍රාවකයන් වහන්සේලා මෙන්ම ආර්ය මහා සංග රත්නය දරු චීවරයයි කියා මහා සංග රත්නය කෙරේ හිත පහදවා ගැනීමයි. අනාගතයේදී පහල වන කසාව ඛන්ටක නම් වන සිවුරු පටියක් පමණක් අතේ ගැට ගසාගෙන, අනික් සියලුම කාර්යයන් ගිහියන් ගේ කරන්නා වූ කොටසට හෝ ආර්ය මහා සංග  රත්නය අරමුණු කරගෙන, දානයක් පිළිගැන්වීමෙන් ආර්ය මහා සංග රත්නය වෙත දානයක් පිළිගැන්වීමෙන් ලැබෙන ආනිසංස ම ලැබෙන බව බුද්ධ දේශනාවයි. එසේනම් භික්ෂුන් වහන්සේ නමක් මේ අරහත් ධජය දරා සිටීමම උන්වහන්සේ ගරු බුහුමනට ලක්වීමට ප්‍රමාණවත් නොවන්නේද? ( මේ පිළිබඳව වැඩි විස්තර ඇවැසි  කෙනෙකු ඇත්නම් මිලින්දප්‍රශ්නය විමසනු මැනවි)

තවද, අන් අයගේ ශීලයන් ගැන විමසීමට කාලය වැය නොකර තමන්ගේ ශීලයේ ඇති අඩුපඩු කම් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වෙමින්, එහි අඩුපාඩු සකස්කර ගනිමින් තමන්ගේ ශීලය ඍජු කරගැනීම වඩා බුද්ධිමත් ක්‍රියාවක් බවද සඳහන් කරනු කැමැත්තෙමි.

නොහික්මුනා වූ ගිහියන් හික්මවීම පිණිස තථාගතයන් වහන්සේ විසින් පනවන ලද පත්ත  නික්කුජ්ජන කර්මය නම් වූ දඬුවම ගැන දැනගැනීමද  ඉතා අගනේය.

(උපුටාගැනීම: බෞද්ධයාගේ අත්පොත පි.47 - 48)

මහණෙනි! අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්ත  නික්කුජ්ජනය කළ  යුත්තේය.
  1. භික්ෂුන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේ ද,
  2. භික්ෂුන්ට අනර්ථ  කරනු පිණිස උත්සා කෙරේ ද,
  3. භික්ෂුන් වහන්සේලාට ආවාසයෙහි නො විසිය හැකි වනු පිණිස  උත්සා කෙරේ ද,
  4. භික්ෂුන්ට ආක්‍රෝෂ පරිභව  කෙරේ ද,
  5. භික්ෂුන් භික්ෂුන් හා බිඳවා ද,
  6. බුදුන්ගේ අගුණ කියා ද,
  7. ධර්මයේ අගුණ කියා ද,
  8. සංඝයාගේ අගුණ කියා ද,
මහණෙනි මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්ත  නික්කුජ්ජනය කිරීමට අනුදනිමි.

පත්ත  නික්කුජ්ජනය  යන වචනයේ තේරුම පාත්‍රය මුනින් නැවිමය යනු යි. යම්කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කලේ නම් එකල්හි සංඝයා රැස්ව කාර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ  යුතු ය. එය කළ පසු ඒ තැනැත්තා හට සියලුම භික්ෂුන් විසින් පත්‍රය මුනින් නවන ලද්දේ වේ. එකම භික්ෂුවකට වත් ඉන් පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නො හැකිය. කර්මය කරනු  ලැබූ උපාසක  තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටිය හොත් නැවත සංඝයා රැස් ව ඒ කර්මය සංසිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂුන්ට සිව්පසය පිළිගැන්වීමට අවකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මේ පමණ ය. 
(උපුටාගැනීම අවසන්)

භික්ෂුන් වහන්සේලාට ගර්හා වන පරිදි ප්‍රකාශ කරන අය  හට මෙම කර්මය සිදුකරනු ලැබුවහොත් ඉන් අත්වන අලාභය කොතරම් ද, නමුත් තමන්  වහන්සේලාට කොපමණ අපහාස කලත් ගිහියන් කෙරේ පතල කරුණාවෙන් භික්ෂුන් වහන්සේලා මෑත කාලයේදී මේ පත්ත  නික්කුජ්ජනය කර නොමැති බව මගේ වැටහීමයි.

බොහෝ විට භික්ෂුන් වහන්සේලාට ගර්හා වන පරිදි ප්‍රකාශ කරනුයේ බෞද්ධයන් යයි කියාගන්නා අයම වේ. අන්‍ය ආගමිකයන්ගේ දියුණුවට අදාළ මුලික කරුණක් වන්නේ ඔවුන් තමන්ගේ ආගමට කිසිම විටක ගර්හා නොකිරීමය. එසේ හෙයින් අන්‍ය ආගමිකයන්ගේ දියුණුවට ඉරිසියා නොකර ඔවුන්ගේ මෙම උතුම් ගුණාංගය වත් ඉගෙන ගෙන භික්ෂුන් වහන්සේලාට සහ ධර්මයට ගර්හා නොකර සිටින්නේ නම් ඉතා මැනවි.

සියලු දෙනාට ම ධර්මාවබෝධය ලැබේවා!!  තෙරුවන් සරණයි!!!.

Tuesday, May 28, 2013

බුදු බණ ඇසුවා නිරන්තරේ.....


වෙසක් පෝය වෙනදා වගේම ගෙවිලා ගියා. වෙනදා වගේම කියලා කිවේ මුදලාලිලාට, දේශපාලකයන්ට වගේම හමහර  පන්සල් ආරාම වල ඕනා එපාකම් අනුව බුදු දහමේ නියම යථාර්තය යටපත් කරමින් වානිජ්‍යය කරණය වූ වෙසක් උත්සවයක් මෙවරත් දකින්නට ලැබුන නිසා. 

සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ආමිස පුජාව කිසිසේත්ම ප්‍රතික්ෂේප නොකල දෙයක්, නමුත් ප්‍රතිපත්ති පුජාව වඩා උතුම් ලෙස උන්වහන්සේ වර්ණනා කළා. මේ ආමිසය, පුතිපත්තිය යන දෙක එකම කාසියක දෙපැත්තක් වගේ. 

තථාගතයන් වහන්සේ මේ ආමිස පුජාව අනුමත කලේ කුමන හේතුවක් නිසාද යන්න පළමුව විමසා බලමු. යමෙකු මල්, පහන්, සුවඳ දුම්, ආහාර, ගිලන්පස ආදිය හෝ වෙසක් කුඩුවක්, වෙසක් සැරසිල්ලක් සකස් කර එය තථාගතයන් වහන්සේ වෙනුවෙන් පුජා කරනු ලබයිද, එසේ කරන්නා වූ පුජාවකින් , පිරිනිවන් පා වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට  ප්‍රයෝජනයක් නැත. නමුත් යමෙක් මෙලෙස යම් බුද්ධ පුජාවක් සිදු කිරීමේදී ඒ තැනැත්තා ගේ චිත්ත සන්තානයේ පහල වනුයේ අලෝභ,අමෝහ, අද්වේශ යන කුසල මුලයන්ය. එබැවින් එම පුජාව, පුජාව සිදුකරන්නාගේ සිත සුව පිණිසම  පවතී. මෙන්න මේ කාරණය නිසා තමයි තථාගතයන් වහන්සේ මේ ආමිස පුජාව අනුමත කලේ.

නමුත්  වානිජ්‍යය පරමාර්ථයන් සඳහා වෙසක් කුඩුවක්, සැරසිල්ලක් හෝ වෙසක් කලාපයක් සකස්  කරන්නේ නම් ඒ තුල මුලින් සඳහන් කල ආකාරයට චේතනා පහල වීමක් සිදු නොවේ. එකිනෙකා පරයා තමන්ගේ සැරසිල්ල පළමු ස්ථානයට පත්කරගැනීමේ චේතනාවේදී පහල වනුවේ අකුසල මුලයන් වන ලෝභ, ද්වේශ සහ මෝහ යන සිතුවිලි වේ. එවිට ඉන් සිදුවන්නේ අකුසලයක් මිස කුසලයක් නොවේ. එමෙන්ම එය  බුද්ධ පුජාවක්  ලෙසද සැලකිය හැකි නොවේ.

මේ වෙසක් කලාප නම්වූ ව්‍යාපාර තුලින් සිදුවන්නේ මෙලෙස අකුසල වර්ධනයක්  බව මහේ හැඟීමයි.  යම් යම් ආයතන , දේශපාලකයන් මෙන්ම සමහර  පන්සල්  ආරම ආදියෙන් වෙන් වෙන් වශයෙන් වෙසක් කලාප සංවිධානය නොකර තම තමන්ගේ නිවෙස් වල බුධ්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව වෙසක් සැරසිලි ආදිය කරමින් එය බුද්ධ පුජාවක් ලෙස පැවැත්වීමට  බෞද්ධයන් පෙළඹවීම වඩා සුදුසු බව මගේ වැටහීමයි.







Tuesday, May 21, 2013

රාත්‍රී ඡායාරුප.

අද කතා කරන්න බලාපොරොත්තු වන රාත්‍රී  ඡායාරුප කරණය   " Long -exposure photography " ලෙස හඳුන්වන්න පුළුවන් . මෙහිදී  සිදුකරනුයේ දිගු අනාවරණ කාලයක් ලබාදීමයි.(slow shutter speed) මෙම ක්‍රමයෙන්, නිසල වස්තුන් ඡායරුපහේ පහැදිලිව සටහන් වන අතර චලිතයන් සහිත වස්තුන්හි චලනය ඡායරුපයේ වේ. චලනය වන ආලෝක ධාරාවන්හි ගමන් මාර්ගය පැහැදිලිව ඡායාරූපයේ සටහන් වීම තුලින්  ඡ්යාරුපයට අධික ආකර්ෂණයක් ලැබේ.

දිගු අනාවරණයක් ලබාදීම සඳහා කැමරාව tripod එකක් මත ස්ථානගත කලයුතු වෙනවා. එමෙන්ම ෂටරය ක්‍රියාත්මක කිරීම සඳහා remote shutter release එකක් යොදාගැනීම මගින් ෂටරය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි සුළු චලනයන් මගහරවා ගත හැක.  remote shutter release එකක් නොමැතිනම් මේ සඳහා self timer එක යොදා ෂටරය ක්‍රියාත්මක කරන්න.






පසු සටහන:

ඉදිරියේදී පැමිණෙන වෙසක් උත්සව සමයේදී මෙම ක්‍රමය මගින් ඡ්යරුප නිර්මාණය කිරීමට උත්සහ ගන්න.

Wednesday, May 8, 2013

Silhouette Photography


අද අපි කතා කරන්න යන්නේ  Silhouette Photography ගැන. මෙය ආලෝකයට විරුද්ධව ඡායාරුප ගැනීම යන අර්ථයෙන් Against the light  photography  කියාත් හඳුන්වනවා.  සිලුවට් ඡායරුපයකදී, අපි ඡායාරුප ගත කරණ  වස්තුව තනි පැහැයකින්, බොහෝ විට කළු පැහැයෙන්  යුක්ත වන අතර පසුබිම සුදු හෝ දීප්තිමත් වර්ණයක් ගනී.

සිලුවට් ඡායාරුපයක් ගැනීම සඳහා ආලෝකයට විරුද්ධව ඡායාරුපය ගතයුතු වෙනවා. තවත් විදිහකින් කියනවා නම්, අපි සාමාන්‍යයෙන් ඡායාරුප ගැනීමේදී, ආලෝක ප්‍රභවය, ඡායාරුප ශිල්පියාගේ පිටුපසින් සිටින ලෙස ස්ථාන ගත කලත් මෙහිදී කරන්නේ ආලෝක ප්‍රභවය ඡායාරුප ශිල්පියාගේ  ඉදිරියෙන් සිටින ලෙස ස්ථාන ගත කිරීමයි.

ස්වාභාවික ආලෝක තත්ත්ව යටතේදී මෙන්ම ස්ටුඩියෝ එකක්  තුල  කෘතීම ආලෝක යටතේදීද සිලුවට් නිර්මාණය කල හැක. සිලුවට් ඡායාරුපයක් නිර්මාණය කිරීම සඳහා එහි අඳුරු  සහ ආලෝකමත් කොටස් අතර ආලෝකයේ වෙනස (contrast) ඉතා වැඩි විය යුතුයි. මෙලෙස ආලෝක වෙනස වැඩිවීම නිසාම අඳුරු කොටස් වල විස්තර (details) සටහන් නොවීම සිදුවෙනවා. 

සිලුවට් ඡායාරුපයක් නිර්මාණයේ අනිකුත් වැදගත් සාධකය වන්නේ අනාවරණයයි. මෙහිදී අපි අනාවරණය ලබාදිය යුත්තේ පසුබිමට නිවැරදි අනාවරණයක් ලැබෙන ලෙසයි,  එවිට වස්තුව මන්ද අනාවරණයට ලක්වීම නිසා තනි කළු පැහැයක් ගන්නවා 

සිලුවට් ඡායාරුපයන්  හි ඇති වස්තුන්ගේ details නොපෙනීම  නිසාම එම ඡායාරුප වලට නොයෙකුත් අර්ථකතනයන් දිය හැකිවෙනවා. පහත ඇති ඡායාරුපය බලන්න.


මෙම ඡායරුපයට දිය හැකි අර්ථකථනයන් මොනවාද?

ඇය දුකෙන් සිටිනවා ?
ඇය   තනිකමින් සිටිනවා?
ඇය නිදසහේ සිටිනවා?

මෙවැනි නොයෙකුත් අර්ථකතනයන් දියහැකි වෙනවා. එම නිසාම මේ සිලුවට් ඡායාරුප බොහෝ සෙයින් භාවාත්මක ස්වභාවයක් ගන්නා බව මගේ හැඟීමයි..

පහත ඇති සිලුවට් කිහිපය බලන්න.





Monday, May 6, 2013

-Focus කරන්න අමාරුනම් මෙන්න උත්තරේ. Lytro - Light Field Camera



අපි හිතමු යම් අවස්ථාවක අපි ගත්ත ඡායාරුපයක සටහන්වුන රුපයක අපිට අවශ්‍යම  පුද්ගලයෙක් හෝ වෙනත් දෙයක් ෆෝකස් වෙලා නැතිනම් මොකද කරන්නේ. කරන්න කිසිම දෙයක් නැහැ නේද, මෙන්න දැන් එකට විසඳුමක් විදිහට අලුත් කැමරාවක් එළිදක්වලා තියෙනවා. මේ කැමරාවට කියන්නේ Lytro - Light Field Camera කියලා.

Lytro - Light Field Camera  එකෙන්  ගන්න ෆොටෝ එකේ ඇති ඕනෑම තැනක්  පසුව නැවත ෆෝකස් කරන්න පුළුවන්.

මං තුමා මේ කැමරාව ගැන දැනගත්තේ විකියෙන්, ඉතින් මං තුමාට හිතුනා, මේ බ්ලොග් එක කියවන ඔයගොල්ලන්ගේ දැනගැනීම පිණිස මේ ගැන පොඩ්ඩක් කියන්න. පහල ලින්ක් එක දීලා තියෙනවා විස්තර එතනින් බලාගන්න. 

මං තුමාටත් මේ කැමරාවක් ගන්න හිතිලා හොයලා බැලුවා, තාම ලංකාවේ මිලදී ගන්න නැහැ. ඒ නිසා අදසහ අතහැර දැම්මා. මේ කැමරාවේ දියුණුවත් සමග ඡායාරුප කරණයේ ලොකු වෙනසක් වෙන්නත් ඉඩ තියෙනවා.




මේ ගැන වැඩි තොරතුරු පහත ලින්ක් වලින්  කියවන්න.


Lytro Experience

පහත තියෙන ෆොටෝ වල out of focus  වෙලා තියෙන තැනක් focus  කරන්න ඕන නම් එතැන ක්ලික් කරන්න.


























Thursday, May 2, 2013

නිල් පැහැ වුන මැයි දිනය

   

කම්කරුවන්ගේ ලේ තැවරුණ රතු පාට
ධජයකි පෙරට ආවේ මැයි දිනදාට
අපේ කම්කරුවන්ට දැන් නැහැ ලේ රතුපාට
එකයි අපේ මැයි දින දැන් නිල් පාට
  
************ *************