Thursday, June 13, 2013

සැබෑ බෞද්ධයා යනු කවරෙක්ද? සහ බල්ලෝ මරලා හරි නිවන් දැකීම...


මේ පොස්ට් එක  ආරම්භය සඳහා මිට කලින් මා විසින් පලකල දුශ්ෂිල භික්ෂුව කෙරෙහි ගිහියන් පිළිපැදිය යුතු අයුරු පොස්ට් එකේ කොමෙන්ට් එකකට ලියපු පිලිතුරකින්ම පටන් ගැනීමට සිතුවා.  පළමුව ඒ කොටස කියවා සිටින්න.

ඉදිරි පොස්ට් කීපයකින් ධර්ම කරුණු කීපයක් සරලව ඉදිරිපත් කරනවා එම පොස්ට් කියවීමේදී නිරවුල් මනසකින් කියවන්න.. භාග්‍යවතුන්  වහන්සේ කාලම සුත්‍රයේදී දේශනා කල අයුරින් විමසන්න, විමසීම සඳහා උන්වහන්සේ දේශනා කල ක්‍රමවේදය යොදාගන්න. 

පහත දැක්වෙන මානසික මට්ටම් වල සිටින අය හට ගැන බලන්න 

1 අධික ශ්‍රද්ධාව  පමණක් ඇති අය :

උදේ පාන්දර 5 පමණ සිට අඳුර වැටෙන තෙක්ම පන්සල් විහාර ආදියෙහි ගැවසෙමින් මල් පෙරහැරවල් පවත්වමින් ඒ මල් පෙරහැරේම නිවන් පුර රුවන් දොරටුව දක්වා බොහෝ පහසුවෙන් ගමන් කල හැකි බව විශ්වාශ කරන සැදැහැතියන්.

උම්බලකඩ කැබැල්ලට මෙන්ම හාල් මැස්සාගේ පටන් දියළුම මස් මාංශ වලට අධික මෛත්‍රියක්   පළකරමින්,පන්සලට ගෙන එනු ලබන දාන වේලක ඇති කට්ට සම්බෝලයක උවද උම්බලකඩ කැබැල්ලක් තිබුනොත්, එය ගෙනා තැනැත්තන් කෙරෙහි අධික කෝපයට පත්වන, බණ මඩුවේ බණ අසමින් සිටින විට අතක වසන මදුරුවා චප්ප කර දමන සැදැහැතියන්.

2. 
ශ්‍රද්ධාව  නොමැති අධික ප්‍රඥාවන්තයින් 

පටිච්චසමුප්පාදය, පංච උපාදනස්කන්ද වැනි තම නුවනින් විමසිය යුතු ඝම්භිර ධර්මයන් අනන්ත තිබියදී 
භාග්‍යවතුන් වහන්සේ මස් මාංශ වැළඳුවේ දැයි තමන්ගේ රුචි අරුචි කම් වෙනුවෙන් මුළු ත්‍රිපිටකයම පෙරලමින් සොයන්නන්.

තමන්ගේ මතයට අනුකුල වන අවස්ථාවන්හිදී එය බුද්ධ වචනය ලෙසත්, එසේ නොවන විට එය 
ත්‍රිපිටකයට   ඇතුලත් වූ බමුණු මත ලෙස දකින්නන්.

ආචාර්ය, මාහාචාර්ය පදවියක් ලැබූ විට එය 
භාග්‍යවතුන්  හන්සේගේ උතුම් සර්වඤතා ඤාණය ද ඉක්මවා යන්නක් බව විශ්වාෂ කරන සමහරක් අය ද (බොහෝ අය එසේ නොවේ)


තර්කය සඳහා ම වචන සොයමින්  අනවශ්‍ය තර්ක කරන අය .

3. හුදෙක් භෞතික වාදින් ද යන කොටස් වලට අයත් වන්නන් හට මේ ඉදිරි පොස්ට් කීපය ගෝචර නොවනු ඇත.

කිසියම් කාරනාවක් ගැන කතා කිරීමේදී පදනම් විරහිත ලෙස සිදුකිරීම නුසුදුසු වන අතර විශේෂයෙන් ධර්මය ගැන කතා කිරීමේදී පැහැදිලි පදනමක් මත සිටම කලයුතු වෙනවා.මේ වෙනුවෙන් මගේ පදනම වන්නේ 
භාග්‍යවතුන්  වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගැනීම, උන් වහන්සේ දේශනා කල ධර්මය පිළිගැනීම, ආර්ය මහා සංගරත්නය පිළිගැනීම සහ ත්‍රිපිටකය බුද්ධ වචන ලෙස පිළිගැනීම වේ.

එබැවින් ඉදිරි පොස්ට් කීපය නිරවුල් මනසකින් කියවන්න. එසේ නොමැති වූ විට සිදුවන දේ ගැන එක උදාහරණක් දෙන්නම්.
භාග්‍යවතුන් වහන්සේගේ චරිතය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ උන්වහන්සේ පිළිම වල දකින්නට ලැබෙනවා වගේ සමාධි සුවයෙන්ම වැඩසිටි කෙනෙක් ලෙස නමුත් උන්වහන්සේගේ චරිත ලක්ෂණ තුල දක්ෂ ගුරුවරයෙක්, සැබෑ යහළුවෙක්, සෙනෙහෙවන්ත පියෙක් දකින්නට ලැබුනේ නැතිද? මේ සිදුවීම සලකන්න 

එක් දවසක් මහා කාශ්‍යප  මහා රහතන් වහන්සේ, ඉතා වටිනා සිවුරක් පොරවාගෙන 
භාග්‍යවතුන්  හන්සේ හමුවෙන්න එනවා. ඒ අවස්ථාවේදී උන් වහන්සේ පොරවාගෙන ඉන්නේ පරණ වූ රළු සිවුරක්. උන් වහන්සේ සහ මහා කාශ්‍යප  මහා රහතන් වහන්සේ අතර මේ දෙබස බලන්න 
"
කාශ්‍යප  ඔබගේ සිවුර ඉතාම සියුමැලි අලංකාර එකක්"
"
භාග්‍යවතුන් වහන්ස මේ සිවුර පොරවා ගන්න සේක්වා, ඔබ වහන්සේගේ ඔය සිවුර මට දෙන්න"
"
කාශ්‍යප ඔබට මේ දළ සිවුර සුදුසුද?"
"
භාග්‍යවතුන් වහන්ස ඔබගේ දළ සිවුර මට ඉතා ප්‍රියයි "

ඉන්පසු ඔවුන් දෙදෙනා සිවුරු මාරුකර ගන්නවා.. බලන්න කොතරම් සමීප මිතුරන් ද කියා. මේ තුල කොතරම් දෙයක් ගන්න පුලුවන්ද කියලා. නමුත් අධික 
ශ්‍රද්ධාවන්තයට මේක දරන්න බැහැ. ඔවුන් කියන්නේ එලෙස හැඟීමක් බුදුරජානන් වහන්සේට ඇති වෙන්න බෑ ඕක අපහාස කරන්න බමුණන් ඇතුල්කල මතයක්.අනිත් කොටස කියන්නේ කෙලෙස් ඇති බවයි.(මේවා ගැන ඉදිරියේදී පැහැදිලි කරන්නම්)

මේ එක උදාහරණයක් පමණයි. මේ ධර්මය හඳුනා ගැනීම, බුද්ධ චරිතය හඳුනා ගැනීම ඉතා නිරවුල් මනසකින් කලයුත්තක්. 



දැන් පොඩි  කතාවක් කියන්න යන්නේ. මේ කතාව මට කිවේ මගේ පොඩි පුතා, ඒ ගොල්ලන්ගේ පන්තියේ යහළුවන්ගෙන් අහපු විහිළු කතාවක් විදිහට. නමුත් මේ කතාවේ ගතයුතු වැදගත් ආදර්ශයක් තිබෙන නිසා මේ කතාව මුලින් ම ලියන්න හිතුනා.

ඔන්න එක්තරා පලාතක මනුස්සයෙක් පෝය දවසට සිල් ගන්න ඕන කියලා හිතාගෙන පන්සලට ගියා. මෙයට අපි සිරිපාල කියලා කියමු. ඉතින් සිරිපාල  සිල් අරගෙන බොහොමයක් දෙනෙක් කරනවා වගේ බණ මඩුවේ මුල්ලක් අල්ලගෙන් වාඩිවෙලා හිටියා. ඔහොම ඉන්නකොට මෙයාට නොදැනීම නින්ද ගියා.  දැන් ඔය අතරේ හාමුදුරුවෝ ඇවිත් ධර්ම දේශනයක් පටන් ගන්න ලැස්ති වෙනකොට ම සිරිපාලට ඇහැරුනා. දැන් ඉතින් මෙයත් බණ  අහන්න ලැස්ති උනත් නැවතත් නින්ද ගියා. එහෙම උනත් සිරිපාලට   විටින් විට ඇහැරෙනවා.

ඔහ්න් ඔන්න ඉතින්දන් හාමුදුරුවෝ බන කියාගෙන යනකොට මෙතනට බල්ලෙක් ආවා. දැන් ඉතින් බණ  මඩුවේ ඉන්න මිනිස්සුන්ට මේ බල්ලගෙන් ටිකක් හිරිහැර නිසා හාමුදුරුවෝ මෙහෙම කිවා.

"කවුරු හරි කෙනෙක් ඔය බල්ලා එළවලා දැමුවොත් හොඳයි"

ඔය ටික කියනකොටම නිදි කිරමින් සිටි සිරිපාලට ඇහැරුනා, ඒ ගමන්ම මෙයාට බල්ලා  කියන එක ඇහුනා,   නමුත් අපහු නින්ද ගියා.

දැන් ඉතින් හාමුදුරුවෝ  මෙන්න මෙහෙම දෙයක් කියනවා.

"පින්වතුනි මව හෝ පියා මැරුවොත් නම් අනිවාර්යයෙන්ම ඊළඟ උපත නිරයේ .."

මේක  කියනකොට සිරිපාලට  අපහු සැරයක් ඇහැරුනා, ඒ ගමන්ම මෙයාට මැරුවොත් නම්  කියන එක ඇහුනා,  මේ වචන තදින් හිතට වැදුනා උනත්  අපහු නින්ද ගියා.

දැන් ඉතින් හාමුදුරුවෝ මේ විදිහට බණ  අවසන් කරනවා.

"පින්වතුනි ඔය කියපු ආකාරයට පවෙන් වැළකිලා සතිපට්ඨානය නියම ආකාරයට වැඩුවොත් නිවන් දකින්න පුළුවන්"

මේක  කියනකොට සිරිපාලට  අපහු සැරයක් ඇහැරුනා, ඒ ගමන්ම මෙයාට නිවන් දකින්න පුළුවන්  කියන එක ඇහුනා,  මේ වචන තදින් හිතට වැදුනා. දැන් ඉතින් බණ  ඉවරයි කට්ටිය ටිකක් නැගිටලා එලියට පහලට යන්න ගත්තාම් ළඟ හිටපු කෙනෙක් සිරිපාලගෙන් මෙහෙම් අහනවා.

"අපුරු බණ  ටික නේද? හොඳට ත්රුම් කරලා දුන්නා නේද?"

එතකොට සිරිපාල මෙහෙම කියනවා 

"අපොයි ඔව් අද තමයි මට හොදට තේරුනේ බල්ලා මැරුවොත් නම්  නිවන් දකින්න  පුළුවන් කියලා"

ඔන්න ඕක තමයි කතාව. පොඩ්ඩක් හිතන්න, අද බොහෝ දෙනෙක් බණ  අහන්නේ ඔය විදිහට, තේරුම් ගන්නේ ඔය විදිහට. ඉතින් කොහොමද මේ අපුරු ධර්මය තේරුම් ගන්නේ. 

සැබෑ බෞද්ධයා යනු කවරෙක්ද?

අද මේ රටේ බහුතරය බෞද්ධයන්  වී ඇත්තේ උපතින් මිස සැබෑ අවබෝධයකින් නොවේ.  අවබෝධයෙන් තෙරුවන් සරණ යාමෙන්ම එම පුද්ගලයා උපාසකයෙක් වේ. උපාසක යන නාමය භාග්‍යවතුන් වහන්සේ බෞද්ධයා හැදින්වීමට යොදාගත් නාමයයි.

යතෝ ඛෝ මහානාම බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සංඝං සරණං ගතො හොති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හොති. යන බුද්ධ වචනයෙන් මේ සරනාගමනයෙන්ම කෙනෙක් උපාසකයෙක් බව දක්වා ඇත.

සරණාගමනය යනු කුමක්ද යන බව ඉතා හොඳින් වටහා ගත යුතු වෙනවා. බොහෝ දෙනෙක් මේ සරණාගමනය ආශිර්වාදයක් හෝ ආශිර්වාද පාඨයක් කරගෙන ඇති බව දකින්නට පුළුවන්.  නමුත් බුද්ධං සරණං  ගච්ඡාමි යන්නේ අදහස් වන්නේ, බුදුරජානන් වහන්සේ ගමන්ගත් මග යන බව මිසක්, වෙනත් දෙයක් නොවේ.  බුදු සරණ ලැබීම යනු උන් වහන්සේ කියාදුන් නිවැරදි මග ඔස්සේ ගමන් කර තමන් විසින් තමන්ගේ  විමුක්තිය ලබාගැනීම මිස වෙනත් ආශීර්වාදයක් ලබාගැනීම නොවේ.  එසේ නොමැතිව මුළු දවස පුරාවටම බුද්ධං සරණං  ගච්ඡාමි කියමින් සිටියත් බුදු සරණක් නොලැබෙනු ඇත.

ධර්මය සහ ආර්ය මහා සංග  රත්නය සරණයැම ද මේ ආකාරයටම වටහා ගත යුතුය.

සරණාගමනය යනු කුමක්දැයි අපි සරලව දැනගත්තා,මෙය  ලෝකෝත්තර සරණාගමනය සහ ලෞකික සරණාගමනය ලෙස දෙවැදෑරුම් වෙනවා. ලෝකෝත්තර සරණාගමනය යනු මාර්ග ඵල අවභෝධයේදී  ඇතිවන්නාවු සරණාගමනයවේ, මාර්ග ඥාණයන් පහල වීමේදී ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇති සැකයන් පහා වීම නිසා ලෝකෝත්තර සරණාගමනය කිලිටි නොවනවා මෙන්ම එහි  බිදීමක් නොමැති වේ.

මාර්ග ඥාණයන්ට මෙපිටින් ඇති සරණාගමනය ලෞකික වේ. මෙහි කිලිටිවිමක් මෙන්ම බිදීයාම සිදුවිය හැක. තෙරුවන්  කෙරෙහි සැක  ඇතිවීමෙන්, තෙරුවන් කෙරෙහි දුර්මත ඇතිවීමෙන් සහ තෙරුවන් ෙකෙරෙහි  දැනීම මඳ  වීමෙන්  ලෞකික සරණාගමනය  කිලිටි වන අතර පහත කාරණා  නිසා එහි බිඳී යාම සිදු වේ.
1. ධර්මය ප්‍රතික්ෂේප කිරීමෙන්
2. අන්‍ය ආගමක් පිළිගැනීමෙන්
3. මරණයෙන්.

ආර්ය ශ්‍රාවකයන් මරණයෙන් මතු ද වෙනත් වූ දහමක් පිළිනොගන්නා බැවින් ලෝකෝත්තර සරණාගමනය මරණයෙන් හෝ බිඳී යමක් සිදු නොවේ.

මේ උපසකත්වය නැවත උපාසක චණ්ඩාල  සහ උපාසක රත්නය ලෙස කොටස් දෙකකට බෙදෙනවා. ඒ ගැන පසුව විමසා බලමු.

ශ්‍රද්ධාව යනු කුමක්ද?

ශ්‍රද්ධාව යනු කුමක් දැයි කියා ද පළමුව නිවැරදිව දැනගත යුතු වෙනවා. මෙය නොදනිම නිසාම බොහෝ දෙනෙක් ශ්‍රද්ධාව යනුවෙන් අර්ථ දක්වනුවේ ආමිස පුජාවන්ය . එමෙන්ම  ශ්‍රද්ධාව යනු කුමක්දැයි නොදන්නා කම නිසාම මේ ශ්‍රද්ධාව නම් වචනය ඇසු  පමණින් ක්‍රෝධය වපුරමින් ඒ කෙරෙහි ගර්හා කරන පුද්ගලයන්  ද බොහෝ සේ දැකගත හැකි වෙනවා.

"සද්දා  හති තථාගතස්ස බෝධි" ලෙස තමයි ශ්‍රද්ධාව හඳුන්වා දෙන්නේ. එනම් තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගැනීමයි.  සම්මා සම්බුද්ධත්වය  යනු කුමක් දැයි කෙටියෙන්  හඳුන්වාදීම ඇති දුෂ්කර කාර්යයක් උවත් අවම වශයෙන් උන් වහන්සේ ලෝභ, දේවේශ, මෝහ සම්පුර්ණයෙන්ම දුරුකලා යැයි  හෝ විශ්වාශ කල හැකි නම් එය  ශ්‍රද්ධාව ලෙස හඳුන්වන්න පුළුවන්. අවම ලෙස මේ අකුසල මුලයන් සම්පුර්ණයෙන්ම දුරුකලා යයි හෝ විශ්වාශ කල නොහැකි නම් උන් වහන්සේ තමන්ගේ සාස්තෘන්  ලෙස පිලි ගැනීමට නොහැකි වෙනවා.

ශ්‍රද්ධාව නැවත කොටස් දෙකකට බෙදෙනවා , අමුලිකා  ශ්‍රද්ධාව සහ ආකාරවතී  ශ්‍රද්ධාව යනුවෙන්. මෙයින් පළමු වැන්න හේතුවක්, මුලයක් ඇතිව නැතිව බොහෝවිට බාහිර දේවල් මත ඇතිවන්  ශ්‍රද්ධාවක්  බැවින් එයට අමුලිකා  ශ්‍රද්ධාව යයි කියනු ලබනවා.

නමුත් වඩා වැදගත් වන්නේ ආකාරවතී  ශ්‍රද්ධාවයි. එය ධර්මය අවභෝධ කර ගැනීම තුලින් හේතු සහගතව ඇතිවන  ශ්‍රද්ධාවක්. සමහර දෙනෙක් මේ ආකාරවතී  ශ්‍රද්ධාව ඇති වන්නේ සොවාහන් පුද්ගලයාට යයි කියනවා. එසේ  පැවසීමට හේතු වන්නේ මෙය කලින් කි ආකාරයට ධර්මය අවබෝධ කරගැනීම තුලින් ඇතිවන බව කියවෙන නිසා. නමුත් මගේ පුද්ගලික අදහස නම එය එසේ නොවන බවයි. ධර්මය අවබෝධ තම තම නැණ පමණින් දැනගත යුතු දෙයක් බැවින්, සෝවාහන්  පලය ලැබීමට  පෙරත් ක්‍රමානුකුලව වැඩි යන ධර්මය අවබෝධයක් තියෙනවා. එසේ නැතිව ගහෙන් ගෙඩි එන්නාක්  මෙන් සෝවාහන්  වීමක් වෙන්න හැකියාවක් නැහැ.

මේ අනුව ශ්‍රද්ධාවන්ත බෞද්ධයා යනු, බුදුරජාණන්  වහන්සේ  ගුරු උපදේශයන් රහිතව  ලෝභ, ද්වේශ, මෝහ සහ මුලින්ම දුරුකළ උත්තමයන්  වහන්සේ නමක් ලෙසද,  ශ්‍රී සද්ධර්මය යනු  ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මුලයන් සහමුලින් නැති කිරීම පිණිස උන් වහන්සේ දේශනා කල  ක්‍රමවේදය බවද, ආර්ය මහා සංග  රත්නය යනු එම ප්‍රතිපදාව අනුව යමින් එහි පල ලබාගත් උතුමන් බව පිළිගනිමින්, ඒ අනුව ගමන් කරමින් තමන් තුල ඇති ලෝභ,ද්වේශ, මෝහ දුරුකිරීමට උත්සාහ  ගන්නා පුද්ගලයාය.

ශ්‍රද්ධාව හා තිසරණය වරදවා ගෙන කටයුතු කරන ගිහි හෝ පැවිදි අය කරන කාර්‍යයන් දෙස බලා, ඔවුන් කෙරෙහි ද්වේශ සහගතව කටයුතු කිරීම  බෞද්ධ ප්‍රතිපදාව නොවන  (එසේ කිරීම තුලින් සිදුවනුයේ තමන්ගේ ලෝභ,ද්වේශ, මෝහ  තව තවත් වඩා වර්ධනය වීමයි.) අතර ඒ වැනි විටක කලයුතු වන්නේ ඔවුන් කෙරෙහිද ද්වේශ සහගත නොවී හැකිනම් ඔවුන්ටද නිවැරදි ධර්මය වටහා දීමට කටයුතු කිරීමයි.

ඉදිරි ලිපියකින් මස් මාංශ අනුභවය සහ ආහාරය පිළිබඳව සලකා බැලිය යුතු අයුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

සැමට ධර්මාවභෝධය ලැබේවා!!!


29 comments:

  1. මේ විදිහට සැබෑ බෞද්ධයා යනු කවරෙක්ද , ඔහුගේ භූමිකාව කුමක්ද කියන කාරණාව ගැන අවබෝධයක් එන්න ලිපි මාලාවක් පල කිරීම ගැන මුළින්ම ස්තූතියි අයිලෂ් අයියේ..ඇත්තෙන්ම විය යුත්තේත් මේකයි..අද වෙනකොට බුදුන් දෙසු ධර්මය නොයෙක් දෙනා තම තමන්ගේ අවශ්‍යතාවය සඳහා නොයෙක් අර්ථ දක්වමින් වෙනස් කරමින් යනවනේ..සාමාන්‍ය අපිව අතරමන් වෙනවා එවැනි දේවල් ඇහෙන්න ඇහෙන්න , දකින්න දකින්න..

    එවැනි මොහොතක ඔයා මේ කරන දේ නම් හදවතින්ම අගය කරනවා..අද වෙද්දී දකින මූලික ප්‍රශ්න තුනක් තමයි

    01.එක පිරිසක් ත්‍රිපිටකය කියවලාවත් නැතුව , එයට සුවඳ දුම් අල්ල අල්ලා සිටීම..( කවදාවත් එහි අර්ථය දකින්නේ නැහැ )

    02.තව පිරිසක් ත්‍රිපිටකයේ අහු මුළු වලින් අල්ලන්, තමන්ගේම බණ දේශනා කරමින් අනිත් අයවත් මුලා කිරීම.. ( අර්ථය දකින්නෙත් නැහැ , දකින්න අසාවෙන් කැමැත්තෙන් ඉන්න අයගෙත් අවස්ථාව විනාශ කරනවා ..)

    03.තව පිරිසක් මහා ලොකු ධර්ම කතා පටලන් , තමන් මහා ලොකුයි කියලා පෙන්නන්න ගිහින් ධර්මය විකෘති කරනවා.. ( මගදී ඇණ ගැනීම කියලා කියමුකෝ )

    මෙවැනි පිරිස් ඉන්න යුගයක ඔයා මේ විදිහට ටිකෙන් ටික හරි වැරැද්ද කියා දීම ගැන අනේක වාරයක් ස්තූතියි...අනිත් වැදගත්ම දේ තමයි මේ සියල්ල සරළව ඉදිරිපත් කිරීමත් සෑහෙන්න වටිනවා .. වර්තමානයේ බොහෝ දෙනෙක් ධර්මයෙන් ඉවත් වීමට බලපාන තවත් එක දෙයක් තමයි , හරි විදිහට එකින් එක ධර්ම කරුණු ලිහා දෙන්න දක්ෂ අය නැති වීම ...

    එවැනි යුගයක , එවැනි වටපිටාවක ඔබතුමා මේ කරන දේ සැබවින්ම අගය කරනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහන් මල්ලි ඔබගේ කොමෙන්ට් එකට. මේකට පිළිතුරක් දීම කෙටියෙන් කරන්න හරිම අපහසුයි. පොස්ට් කීපයකින් කතා කරන්න ඕන දේවල් ගැන ඔයා කියලා තියෙනවා. ඉදිරි ලිපි කීපයකින් මේ ගැන දීර්ඝව කතා කරන්නම්.

      //01.එක පිරිසක් ත්‍රිපිටකය කියවලාවත් නැතුව , එයට සුවඳ දුම් අල්ල අල්ලා සිටීම..( කවදාවත් එහි අර්ථය දකින්නේ නැහැ )//

      මේ වගේ බොහෝ දෙනෙක් ඉන්නවා. එකට එක හේතුවක් වෙලා තියෙන්නේ ඒ අයගේ ප්‍රඥාව අඩු බවයි, මේ කොටසට ප්‍රඥාව දියුණු වෙන විදිහට ධර්මය ලැබිලා නැහැ. සමහර විට ධර්මය කියා දුන්නත් පිළිගන්න කැමති නැහැ. හරියට මුනින් නවාපු කලයක් වගේ.

      නමුත් ඒ අය කවදා හරි වටහාගන්න ඕන දෙයක් තමයි සුවඳ දුම් අල්ල අල්ලා සිටීම, මල් පුජා තුලින් පමණක් කවදාවත් මේ උතුම් ධර්මය අවභෝධ කරගන්න බෑ කියන එක. අනිත් කාරණය තමයි මල්ලි මේ ධර්මය අවබෝධ කරගන්න ත්‍රිපිටකය කියවන්න ඕනෙත් නැහැ. අන්තගාමි නොවී මධ්‍යස්තව හිතන්න වගේම වැඩකරන්න පුළුවන් වෙන්න ඕන. මේ මධ්‍යස්ත භාවය නැතිවීම තමයි මුලිකම හේතුව, මේ ගොල්ලන් හිතාගෙන ඉන්න මතය වෙනස් කරන්න කැමති නැහැ.


      //02.තව පිරිසක් ත්‍රිපිටකයේ අහු මුළු වලින් අල්ලන්, තමන්ගේම බණ දේශනා කරමින් අනිත් අයවත් මුලා කිරීම.. ( අර්ථය දකින්නෙත් නැහැ , දකින්න අසාවෙන් කැමැත්තෙන් ඉන්න අයගෙත් අවස්ථාව විනාශ කරනවා ..)//

      මෙ කොටසට අයත් බොහෝ දෙනෙක් ත්‍රිපිටකය ගැන මනා දැනීමක් තියෙන අය . නමුත් තමන් ගේ ලාභ අපේක්ෂාවන් වෙනුවෙන් ධර්මය විකෘති කරමින් තමන්ගේම බණ කියනවා. මෙතැනදී අපි පරිස්සම් වෙන්න ඕන, ,ඒ කියන්නේ බුදුන් වහන්සේ ගේ දේශනාවක් ද නැතිද යන බව තේරුම් ගන්න ඕන.

      නමුත් බොහෝ දෙනෙක්ට වෙලා තියෙන්නේ සැබෑවටම ඔවුන් තිසරණයේ පිහිටා නැති කම. ඔවුන් සරණ ගිහින් තියෙන්නේ සමහර ප්‍රසිද්ධ හාමුදුරුවරු, එතකොට ඒ ඇත්තා මොන දේ කිවත් පිලිගන්නවා. මේ වගේ හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත් සිටියා.

      //03.තව පිරිසක් මහා ලොකු ධර්ම කතා පටලන් , තමන් මහා ලොකුයි කියලා පෙන්නන්න ගිහින් ධර්මය විකෘති කරනවා.. ( මගදී ඇණ ගැනීම කියලා කියමුකෝ )//

      මෙහෙම අයත් බොහොම ඉන්නවා, ඔවුන් ද ත්‍රිපිටකය හොඳින් දන්නවා. තමන්ගේ මතය තහවුරු කරන්න වගේම පණ්ඩිත කම පෙන්වන්න මෙහෙම කරනවා.

      අවසානයට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ ධර්මය තියෙන්නේ තමන්ගේ ටිකින් ටික සිත හදාගෙන සතුටින් අනුන්ට කරදරයක් නොවී ජිවත් වීමටත් අවසාන ප්‍රතිපලය ලෙස අධ්‍යාත්මික විමුක්තිය අත්කර ගැනීමටත් මිස වෙනත් දෙයකට නොවන වගයි.

      Delete
  2. බොහෝම පින් ...ඔබේ ලිපිවල අන්තර්ගතය සමහරක් දුර්මත ඉවත් කරනවා. මස් මාංශ පිලිබඳ ඊලඟ ලිපිය එනකල් බලං ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සරත් ඔබගේ පැමිණීමට. මේ ධර්මය බොහොම මධ්‍යස්තව සිත තබාගෙන තේරුම් ගන්න ඕන දෙයක්. ඉදිරි ලිපි කිහිපයකින් අද සමාජයේ පවතින මතවාදයන් කීපයක් ගැන කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ලම කියවන්න. හොඳින් විමසන්න.

      Delete
  3. බල්ලා මැරුවොත් නම් නිවන් දකින්න පුළුවන්.... බල්ලා සිටින්නේද තමන් තුලමය.

    ReplyDelete
    Replies
    1. විවිධාකාරයෙන් නිර්වචනය කරන්න පුළුවන්.

      Delete
  4. දැනට කියපු ටිකට එකඟයි. ඉදිරියේදී බලමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ පැමිණීමට සහ අදහස් දැක්වීමට.

      Delete
  5. අයිලාෂ්ගේ මේ විස්තරාත්මක ලිපිය හරි වැදගත්. ශ්‍රද්ධාව හැකි පමණ කෙටියෙන් විස්තර කර තිබෙනවා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් මෙන්ම සරලව පැහැදිලි කරන්න තමයි වඩාත්ම උනන්දු උනේ.

      Delete
  6. මට නම් මේ ලිපිය අලුත්ම මාතෘකාවක්.එක පාරින් තේරුම් ගන්න අමාරුයි. නැවත සැරයක් කියවන්න බුක්මාර්ක් කර ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිණීමට බොහොම ස්තුතියි.

      Delete
  7. මට නං හිතෙන්නේ පොළවේ පය ගහල සාදාරණව, මිනිස් කමින් යුතුව, ධාර්මිකව තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න සරල මනුස්සයෙකුට මොනම ආගමක්වත් ඕන නැතිය කියලයි.. එක් ආගමක් උසස්, තවත් එකක් පහත් ලෙස සැලකීම කරන්න බෑ නේ.. හැම දේම සාපේක්ෂයි. හරියට බෞද්ධයෝ බුද්ධාගම ලෝකේ තියෙන හොදම ආගමෙයි කියල කියනව වගේ..

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිණීමට මෙන්ම අදහස් දැක්වීමට බොහොම ස්තුතියි දේශකයෝ.

      Delete
    2. හැක් හැක්.. බය උනාද.. නෑ නෑ ආයේ මොකටෙයි වාද..

      Delete
    3. කාට බය වෙන්නද මචං....

      Delete
  8. ධර්මය නැවත සංගායනා කරන්න ඕන යුගයක අපි ඉන්නේ. පැහැදිලි අවබෝධයකින් සියල්ල අත් විඳිනවිට අප තුලින්ම හොද නරක වෙන්කරගන්න පුළුවන් වෙනවා.එක තමයි ජීවත් වෙන්න තියන සරලම හා හොදම මාර්ගය කියලයි මම හිතන්නේ.
    ඔබගේ උත්සාහය ඉතාම වටිනවා.අනෙක් ලිපියත් ලගදිම බලාපොරොත්තු වෙනවා... :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මොරබ්බා

      //පැහැදිලි අවබෝධයකින් සියල්ල අත් විඳිනවිට අප තුලින්ම හොද නරක වෙන්කරගන්න පුළුවන් වෙනවා.//

      මේක තමයි පැහැදිලි සත්‍යය. නමුත් බොහෝ දෙනෙක්ට පහැදිලි අවබෝධයකුත් නැහැ, හොඳ නරක තෝරාගන්න යන්නේ තමන් තුලින් නොවෙයි අනුන් තුලින්.

      Delete
  9. සමහරු ශ්‍රද්ධාව ඇති කරගන්නෙ තමන්ට එතුලින් භෞතික වාසියක් ලබාගන්න පුලුවන් වේවි කියන අදහසින්. උදාහරණයක් විදිහට විභාගයට සති ගානකට කලින් ඉඳන් සමහරු බෝධි පූජා සහ අනෙකුත් ආගමික වතාවත්වල නිරත්වෙනවා. ඒ කරල ඉල්ලනේ අනේ මට කොහොම හරි පාස් වෙන්න පුලුවන් වෙන්න කියල. නමුත් පාඩම් නොකිරීම හෝ විභාගයට සාර්ථකව පිළිතුරු නොලිවීම මත විභාගයෙන් ෆේල් උනොත් ධර්මය කෙරෙහි තියෙන විශ්වාසය, ශ්‍රද්ධාව ඒ අයගෙන් ඈත් වෙනව.
    මේ වගේ සරලව ධර්මය ගැන ලියවෙන ලිපි මාලාවක් පළකරන එක ගොඩක් වටිනවා අයිලාශ් අයියෙ. විශේෂයෙන් ඊළඟට දාන්න බලාපොරොත්තුවෙන මාතෘකාව බොහොමයක් දෙනාගෙ අවධානයට ලක්වෙයි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චම්ස්.

      ඔය කියලා තියෙන කොටස තුල ඇත්තේ ශ්‍රද්ධාවක් නෙවේ. ඒ අය අර දේව ඇදහිල්ලක් වගේ දෙයක් තමයි කරන්නේ, ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රර්ථනා කරලා, හරි ඉල්ලලා හරි ගැනීමක් මේ ධර්මය එහෙම දෙයක් නොවේ කියලා ඒ යට වැටහීමක් නැහැ වගේම වටහාගන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඒ අයගේ මතයේම ඉන්නවා. එක තමයි ලෝක ස්වභාවය එදාත්, අදත් හෙටත් එහෙම තමයි.

      මින් ඉදිරියට ලියන ලිපි අවධානයට ලක් වෙනවාට වඩා අන්තදෙකේ පැටලිලා ඉන්න උදවියට ගෝචර වෙන එකක් නැහැ. නමුත් මේ තුලින් මම උත්සහ කරන්නේ නිවැරදිව සහ සරලව ධර්ම කරුණු සටහන් කර තැබීමක් පමණයි. කවදා හරි කාට හෝ ප්‍රයෝජනවත් වේවි යයි සිතා.

      ඇත්තටම චම්ස් මේ ගැන ලියන්න මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. මගේ හිතවතෙක් ගේ ඉල්ලීමක් මත තමයි මේ කරුණු ලියන්න ගත්තේ. ඔහුගේ අදහස උනෙත් මෙලෙස සටහන් තැබීම තුලින් "කවදා හරි කාට හෝ ප්‍රයෝජනවත් වේවි" කියන දේ. ඒ මිසක් කිසිම කෙනෙකුගේ මතවාදයකට පහර ගැසීමට හෝ මගේ මතයක් වැපිරීමට නොවේ.

      ෆොටෝග්‍රෆි ගැන ලියන්න ගත්තෙත් කාට හරි මගේ දැනීමෙන් ප්‍රයෝජනයක් වේවි කියන අදහසින්. බොහෝ දෙනෙක්
      එයින් ප්‍රයෝජන ගත්තා කියලා මම දන්නවා.

      දිගටම රැදී සිට අදහස් දක්වන්න චම්ස්.




      Delete
  10. පෝස්ට් එක මගඇරිලා හත්වලාමේ... පස්සේ එන්නම් කියවන්න.. @දුවමින්..

    ReplyDelete
  11. පුතාගේ කතාව නම් නියමයි. ඒකේ ලොකු ධර්ම දේශනාවකට වඩා පණිවිඩයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා ම තමයි එම කතාව මෙතනට ඇතුලත් කලේ. අද සමහර දෙනෙක්ට ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ ඔය ආකාරයට ධර්මයට ඇහුන්කන් දෙන නිසා.

      Delete
  12. වැදගත් කරුණු ගනණාවක් ගැන ඉතාම නිරවුල් පැහැදිලි කිරීමක්, මලේ. ඊ ලඟ පෝස්ට් එක එනකම් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි ගාමිණි අයියේ, වැඩ රාජකාරි බහුලව තිබුනත් මේ පැත්තේ ගොඩවෙන එකට.

      Delete
  13. බොහොම ස්තුතියි අයියෙ.. නොදන්නා දේ ගොඩක් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. මෙවැනි කරුණු ගැන නිවැරදි අවභෝධයක් ලබාගන්න එක බොහොම වටිනවා, නැතිනම් වෙන්නේ තමන්ගේ මතයන් තුල සිරවිමයි.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...