මාත් එක්ක එකතු වෙන්න

Thursday, June 20, 2013

මස් මාංශ අනුභවය පිළිබඳව බෞද්ධ සංකල්පය



අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ කාලයේ බොහෝ දෙනෙක්ට ඇතිවී තිබෙන ප්‍රශ්නයක් වන මස් මාංශ අහාරයට ගැනීම බෞද්ධයන්ට සුදුසුද යන මාතෘකාව පිළිබඳව.  මේ පිලිබඳ නිගමනයකට පැමිණීමට පෙර මෙම ලිපිය සම්පුර්ණයෙන්ම කියවන්න.

මේ ලිපියේ පරමාර්ථය මස් මාංශ අහාරයට ගැනීමෙන්  වැලැක්වීමට හෝ ඒ සඳහා පෙළඹවීමට අනුබල දීමක් නොවන අතර , අද බොහෝ දෙනෙකුන් මහා ප්‍රශ්නයක් කරගෙන තියෙන මෙම මාතෘකාව පිළිබඳව සරලව මෙන්ම ධර්මානුකුලව විමසා බැලීමක් පමණි.

මස් මාංශ අහාරයට ගැනීම බෞද්ධයන්ට සුදුසුද යන සැකය ඇතිවීමට මුලික හේතු වෙලා තියෙන්නේ, මස් මාංශ අහාරයට ගැනීම නිසා ; ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම, සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයි.

මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විස්තරයන් ආමගන්ධ සුත්‍රය, ජිවක සුත්‍රය, මහා සිහනාද සුත්‍රය ආදිය පරිශිලයන කිරීමෙන් ලබාගත හැකිවන අතර විනය පිටකයට අයිති වන මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධ වග්ගය ද මේ සම්බන්ධයෙන් ඉතා වටිනා කරුණු ගෙනහැර දක්වනවා. නමුත් මෙම ලිපියෙන් ඉහත සඳහන් දේශනා මුළුමනින්ම ගෙනහැර දැක්වීමක් නොකරන අතර, අවැසි කෙනෙකුන් හට එම ග්‍රන්ථයන් පරිශීලනය කර කරුණු දැනගත හැක.

මස් මාංශ ආහාරයට ගැනීම නිසා ප්‍රාණඝාතයට අනුබල දීමක්  සිදුවේද?

මේ ගැන දැනගැනීම සඳහා ප්‍රාණඝාත අකුසලය සිදුවෙන ආකාරය ගැන පැහැදිලි දැනීමක් ඇති කරගත යුතුය.

කිසියම් සත්වයකුගේ ජීවිතය, යම් කෙනෙකුගේ උපායක් මගින් අවසන් කිරීම ප්‍රාණඝාත වෙයි, පර පණ නැසීම යනුවෙන්ද මෙය හඳුන්වා ඇත. මෙලෙස ප්‍රාණඝාත අකුසලය සිදුවීමට නම් කරුණු කාරනා පහක් (5) සම්පුර්ණ වෙන්න ඕන.
1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු  බව දැනීම
3. මරන්නට කැමති සිත
4. මරන්නට උපායක් සැකසීම
5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.

මෙම අංග පහ සම්පුර්ණ උනේ නැතිනම් ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නැහැ. මේ ගැන උදාහරණ ඔබ බොහෝ අසා ඇතිවාට සැක නැහැ. ගමන් බිමන් යාමේදී පෑගී මැරෙන සතුන්, පහනක් පත්තු කිරීමේදී එම පහනේ දල්ලට හසු වී මැරෙන සතුන් ආදිය නිසා ප්‍රාණඝාත අකුසලය සිදුනොවේ. නමුත් යම් අයෙකු ගමන් කිරීමේදී මගේ පයට පෑගී සතුන් මැරේවා යන අදහසක් ඇතිකරගත හොත් පයට පෑගී මැරෙන සතුන් ගන්නට ප්‍රාණඝාත අකුසලය සිදුවේ. පහනක් දැල්වීමේදී ද මේ පහන් දැල්ලට අසුවී සතුන් මියදේවා යන අදහසින් පහනක් දල්වුවහොත් එම දල්ලට හසුවී මියයන සතුන් ප්‍රමාණයට ප්‍රාණඝාත අකුසලය  සිදුවේ. නමුත් යම් විටක මෙසේ සිතුවහොත් "මේ දැල්ලට මදුරුවන් හසුවී මැරේවා." එවිට එම දල්ලට හසුවී මැරෙන මදුරුවන් නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවුවත් වෙනත්  සතුන් එම දැල්ලට හසුවී මැරුණද, ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

ප්‍රාණඝාතයේ මුලික අංග ගැන මෙසේ දැනගත යුතු අතර ප්‍රාණඝාතයේ ප්‍රයෝගයන් සයක් (6) වේ.
1. ස්වාහස්තික ප්‍රයෝගය - මැරීම සඳහා ගැසීම්, කැපීම ආදිය තම අතින්ම සිදු කිරීම
2. ආඥා ප්‍රයෝගය - අනෙකෙකු ලවා කරවීම
3. නිස්සර්ගික ප්‍රයෝගය - ආයුධය දමා ගැසීම, වෙඩි තැබීම වශයෙන් තමාගේ අතින් මුදාහැර මැරීම.
4. ස්ථාවර ප්‍රයෝගය - උගුල් ඇටවීම, තුවක්කු බැඳීම ආදිය
5. විද්‍යාමය ප්‍රයෝගය - සුනියම් කිරීම්, වස්කවි ආදිය මගින් මරණයට පත් කිරීම.
6. ඍධිමය ප්‍රයෝගය -  අමනුෂ්‍යයන් විසින්  බියකරු වේශයක් මවාපෑමෙන්  ආදියෙන් වන මරණය.

ආඥා ප්‍රයෝගය සය ආකාරයකින් සිදුකල හැක.
1. වස්තුව: යනු මරනු ලබන සත්වයාය. යමෙකු කුකුලෙකු දක්වා මරණ්නට අණ කල විට නොවරදවාම එම සත්වයා මරනු ලැබුවහොත් අණ කල සහ මරණය සිදුකල දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවේ. එම සත්වයා නැතිව වෙනත් සතෙකු මරුවහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය  සිදුවේ.
2. කාලය: මරණය සිදුකිරීමට නියම කරණ කාලය. කාලය ඉක්ම ගියහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය  සිදුවේ. නැතහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය  සිදුවේ.
3. අවකාශය: යනු මරණය සිදුකල යුතු තැන.(අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
4. ආයුධය:  යනු මරණය සිදුකල යුතු  ආයුධය වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
5. ඉරියවුව:  මරනු ලබන සත්වයා සිටිය යුතු ඉරියවුව වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
6. ක්‍රියාව : මැරීම සඳහා කරණ උපක්‍රමය. වෙඩි තැබීමට අණ කල කල්හි එසේ කිරීමෙන් මරණයට පත්කළහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර, වෙනත් ක්‍රමයකින් මරණයට පත්කළහොත් අණ කල තැනැත්තා මිදෙන අතර ක්‍රියාව කල තැනැත්තා හට පමණක් අකුසලය සිදුවේ.

මේ අනුව ප්‍රාණඝාත අකුසලය සිදුවන ආකාරය පැහැදිලි වෙන අතර වෙනත් කිසිම හේතුවක් නිසා  ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. මෙයට අමතර හේතුවක් නිසා  ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ යයි ගිහි හෝ පැවිදි කෙනෙකුන් ප්‍රකාශ කරන්නේ නම් එය බුද්ධ වචනය ඉක්මවා යෑමක් වනු ඇත.

දරුවෙකු නිදා සිටින විට, ඒ අසල කැරකෙන මදුරුවෙක් දකින මව ඒ මදුරුවා දෂ්ට කිරීමෙන් දරුවාට අනර්ථයක් සිදුවේ යැයි සිතා එම මදුරුවා මරුවහොත්,  ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ එම මදුරුවා මැරුව මවට පමණි. නමුත් මේ මදුරුවා මැරුවේ දරුවා නිසා උවත් එම දරුවාට එයින්  ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. එසේ දරුවාට  ප්‍රාණඝාත අකුසලය සිදු නොවන්නේ, මා වෙනුවෙන් මේ සතා මරන්න යයි අණ කිරීමක් හෝ, මා නිසා මේ සතා මැරුවොත් හොඳා යයි චේතනාවක් නො නොමැති බැවිනි.

මස් මාංශ පිළිබඳවද මේ කාරණය මේ ආකාරයෙන් ම වේ. මස් අනුභව කරණ අය වෙනුවෙන් මැරුවද, ඒ අනුභව කරණ අය විසින් අණ කිරීමක් හෝ අවම වශයෙන් මා වෙනුවෙන් මේ සතා මරන්නේ නම් හොදයයි චේතනාවක් හෝ නොමැති නම්, අනුභව කරන්නාට හෝ මිලදී ගන්නාට  ප්‍රාණඝාත අකුසලය  සිදු නොවේ.

එපමණක් නොවේ අද ශාකමය ආහාර නිපදවිමේදීද ඇති විශාල වශයෙන් කෘමි නාශක භාවිතා වනවා. ඒ නිසා බත් කටක්  කන්නත් බොහෝ සතුන්ගේ ජිවිත අහිමි  වන බව දන ගැනීම වැදගත් වෙනවා. මස් කෑමෙන් වක්‍රාකාරව ප්‍රාණඝාත අකුසලය සිදුවෙනවා යයි සිතනා  අය,බත් කටක්  කැවත් ප්‍රාණඝාත අකුසලය සිදුවෙන්න පුලුවන්ද යන කාරණයත් විමසීම වටිනවා.

මස් මාංශ අනුභව කරන්නාට සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි ද?

මේ පිළිබඳව කතා කිරීමට පෙර සත්වයා  යනු කවරේදැයි විමසා බැලීම සුදුසු වේ. සියලුම සත්වයන් සෑදී ඇත්තේ නාම රූප කොටස් දෙකින් වේ. මෙය නැවත   රුප, වේදනා, සංඥා, සංකාර, විඥාන ලෙස බෙදිය හැක. (මේ එක එක අංගයන් උපාදාන ස්කන්ධ ලෙස දැක්වේ. ඒ පිළිබඳව වෙනත් අවස්ථාවක විමසා බලමු.)

රුප කොටස නැවත ආපෝ, තේජෝ, වායෝ, පඨවි, අවකාශ ලෙස බෙදිය හැක. (මෙය නැවතද රුප කලාප ලෙස බෙදිය හැකි වුවද මේ අවස්ථාවට මේ ප්‍රමාණවත් වේ)

යම් සත්වයකු මරණයට පත්වන විට මෙම නාම රුප දෙක බෙදී යයි, එම අවස්ථාවේදී  නාම කොටස නැතිවී යන අතර සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටස පමණක් ඉතිරි වේ. 

එනම් මස් මාංශ යනු මෙසේ නාම කොටස නැතිවූ, සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටසක් පමණි. එහිද ශාකමය ආහාරයකද වෙනසක් නැත, දෙකේම ඇත්තේ සතරමහා ධාතුන්ගෙන් සකස් වූ, සුළු කාලෙකින්  කුණුවී විනාශ වී යන කොටසක් පමණි.

කරුණු කාරනා එසේ හෙයින් සතුන් වෙත  මෛත්‍රිය පහල කිරීමට සතරමහා ධාතුන්ගෙන් සකස් වූ ආහාරයක් බලපෑම් සිදු කරනවා යයි සිතීම මිත්‍යාවක්. මෛත්‍රිය පහල  කරගත යුත්තේ සිතෙහි මිස ආහාරයෙහි නෙවේ. එමෙන්ම මෛත්‍රිය පහල කල යුත්තේද සත්වයන් හට මිස මළකුණු කෙරෙහි නොවේ.  මස් කැබැල්ලට, කරවල, උම්බලකඩ කැබැල්ලට මෛත්‍රිය පහල කරණ බොහෝ දෙනෙක් ජිවත් වන සතුන්  වෙත මෛත්‍රිය පහල කරන්නේ නැහැ. අතේ වහන  මදුරුවා සතෙක් බව හිතන්න. ඌ චප්ප කර දැමීමෙන් නම් අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර, ඔබගේ මෛත්‍රිය නැති වෙනවා. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය ඇත්නම් මදුරුවෙක්, කුබියෙක් හෝ මරණයට පත්කරන්න බැහැ.


ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවේ ද?

ශිලය ගැන බුදුරජානන් වහන්සේ තරම් දන්නා තවත් කෙනෙක් නැහැ. එතරම් ශිලය ගැන දන්නා බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පනවා ඇති නිත්‍ය ශිලය වන්නේ පංච ශීලයයි. එයට අමතරව උපෝසථ අෂ්ඨාංග ශිලය සහ ගිහි දස ශිලය පනවා තිබෙනවා. මින් එකම සිල් පදයකවත් මස් මාංශ කෑමෙන් වැලකීම නම් සිල් පදයක් දක්වලා නැහැ. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් උන් වහන්සේ අනිවාර්යයෙන්ම එලෙස වූ සිල් පදයක් පනවනවා. 

බුදුරජාණන් වහන්සේ පැනවූ සිල්පද ඉවත් කිරිමටත්, නොපැනවූ සිල්පද පැනවීමටත් කිසිවෙකු උත්සාහ කරනවානම්, එය බුදු රජාණන් වහන්සේ ඉක්මවා යාමක් ලෙස දකින්න වෙනවා.

මේ ගැන කතා කිරීමේදී අපි සලකා බලන්න ඕන දෙයක් තමයි නිඝන්ථ නාථ පුත්‍ර සහ ඔහුගේ අනුගාමිකයන්. ඔවුන් ශාකමය ආහාර පමණක් ගනිමින් සියලු සතුන් වෙත මෛත්‍රිය පහල කරනවා කියපු කොටසක්. නමුත් ඔහු බුදුරජාණන් වහන්සේ  කෙරෙහි කොතරම් ද්වේෂයකින් කටයුතු කලාද කියන කාරණය ඉතාම් ප්‍රචලිත දෙයක්. ඉතින් ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් ඔහුට ඒ ආකාර ද්වේශ සහගත තත්වයන් ඇතිවන්නට හැකියාවක් නැහැ.

තවද මේ කරුණ ගැන සැලකීමේදී අපි විමසා බලන්න ඕන සුත්‍රයක් තමයි මහා සිහනාද සුත්‍රය. මෙහිදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දුෂ්කරක්‍රියා කාලය ගැන සැරියුත් මහා රහතන් වහන්සේට පවසමින් කියා සිටිනවා එම දුෂ්කරක්‍රියා කාලය තුල තමන් වහන්සේ ආහාරය ගත් ආකාරය ගැන. එසේ පවසමින් උන් වහන්සේ පැහැදිලි කරනවා එසේ ආහාරය නිසා තමන්ට කිසිම විශේෂිත වූ අධිගමනයක් නොලැබූ බව.

මේ කරුණු කාරණා සැලකීමෙන් පෙනීයන්නේ ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා යන කරුණ මිත්‍යාවක් බවත්, යමෙක් එය එලෙස වෙයි සිතා එම මත අතනොහැර හිටීම සීලබ්බත පරාමාස ලෙස හඳුන්වන වැරදි  වෘතයන් ට අයත්  බවයි. එයද එකල සීල විසුද්ධිය වෙනුවෙන ඇතැම් අය පැවැත්  වූ ගෝ වෘත, අජ වෘත, සුනඛ වෘත වැනිම වෘතයක් බවයි.

 බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා තිබේද?

බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා බොහොමයක් විනය පිටකයට අයිති වන මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධ වග්ගය පරිශිලයන කිරීමෙන් සොයා ගත හැකියි. එහි එක්තරා අවස්ථාවකදී, අමනුෂ්‍ය දෝෂයකදී ආතුරයාට අමු මස් කෑමට හෝ අමු ලේ බිමට සිදුවුවහොත් එය අනුමත කරමි කියා දක්වා ඇත. වැඩි විතර මේ ග්‍රන්ථයන් පරිශීලනය කිරීමෙන් ලබා ගන්න.


බුදුරජාණන් වහන්සේ මස් මාංශ වාරණය කර නැතිද?

බුදුරජාණන් වහන්සේ මස් මාංශ වර්ග දහයක් අනුභව කිරීම තහනම් කර ඇති බව ද මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධය ඇසුරෙන් සොයාගන්න පුළුවන්. පහත තියෙන්නේ ඒ මස් වර්ග දහය.
1. මිනි මස්
2. අලි මස්
3. අශ්ව මස්
4. බලු මස්
5. සර්ප මස්
6. සිංහ මස්
7. ව්‍යාඝ්‍ර මස්
8. දිවි මස්
9. වලස් මස්
10 තරස් මස් (සමහර තැනෙක  මෙය කරබානා වලසා යනුවෙන් සඳහන් කරයි)

බුදුරජාණන් වහන්සේලාගේ වක්‍රාකාර දේශනා විලාශයක් නැත. ධර්මයේ ගුණ ගැන කියවෙන ස්වාක්ඛාත ගුණයේ තේරුම වන්නේද, මුල මැද  අග පිරිසිඳු, සැගවුන අරුත් නැති, අර්ථ ව්‍යංජන සහිත... ආදී වශයෙනි. එසේ හෙයින් මස් වර්ග 10ක් පමණක් තහනම් කිරීමෙන් පැහැදිලි වන්නේද අනිකුත් මස් මාංශ අනුභවයට තහනමක් නැති බවය. මේ වර්ග 10 තහනම් කලේද විටින් විට යම් යම් හේතුන් මත වේ.

බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකය

මෙය නම් සැක නොකළ යුතුම කාරණයකි. උන්වහන්සේලා ආහාරය අනුභව කරනුයේ එය ආහාරයක් වශයෙන් පමණක් සලකාගෙන මිස, අප මෙන් රස තෘෂ්ණාවෙන් නොවේ.  එම අවස්ථවේදී උන් වහන්සේලාට එම ආහාරයේ ඇත්තේ ධාතු සමුහයක් පමණි. මේ බව ආහාර අනුභවයට පෙර භික්ෂුන් වහන්සේලාට ඒ  ආහාරය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කල යුතු අන්දම ගැන පනවා ඇති අයුරු සලකා බැලීමෙන් පැහැදිලි වෙනවා.

බුදුරජාණන් වහන්සේ මස් මාංශ පිළිගත් බව පිළිබඳව කියවන ජිවක සුත්‍රය සීහ සේනාපති ගේ දානය ගැන බොහෝ විට අසන්නට ලැබෙනවා. මේ ඒ වැනි තවත් අවස්ථාවක්, 


එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කුටාඝාර ශාලාවෙහි වැඩ වසන කල, සොවහන් පලයෙහි පිහිටි උග්ග නම් ගෘහ පතියා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන්  දානයක් සකස් කරලා එම දානය පිලිගන්න්වන අවස්ථාවේදී මෙලෙස ප්‍රකාශ කරනවා.

"ස්වාමිනි මා විසින් ඔබ වහන්සේ ගෙන්ම අසන ලද ධර්ම කරුණක් තියෙනවා, ඒ තමයි තමන් මනාප දේ දන් දෙන තැනැත්තා මනාප දෙයම ලබන්නේය" යන්නයි එබැවින් භාග්‍යවතුන් වහන්ස මනාප දේම ලබනු පිණිස මට මනාප දේම සහිතව මේ දානය පිළියෙළ කරණ ලද්දේය.
ඔය විදිහට කියන මේ උග්ග ගෘහ පතියා  ඒ දේවල් වල නම් කිය කියා මේ දානය පුජා කරනවා. මෙහෙම් පුජා කරණ අතෙරේ දී  
"භාග්‍යවතුන් වහන්ස, මම ඩෙබර පල මුසු කල ඌරු මසට ඉතා මනාපයි, එබැවින් භාග්‍යවතුන් වහන්ස මා කෙරේ අනුකම්පා කර මේ ඩෙබර පල මුසු කල ඌරු මස පිළිගන්නා සේක්වා"
භාග්‍යවතුන් වහන්ස ඔහු කෙරෙහි අනුකම්පා උපදවා පිළිගත් සේක.

මෙය අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ සඳහන් කරුණක්.

මස් මාංශ අනුභවය මෙන්ම ආහාරය  අකුසලයක් වන අයුරු?

භාග්‍යවතුන් වහන්සේ දේශනා කල මේ ශ්‍රී සද්ධර්මය අප භාවිතා කල යුත්තේ අපහේ සිතේ ඇතිවන ලෝභ, ද්වේශ මෝහ යන අකුසල මුලයන් දුරුවන ආකාරයට බව අපි දන්නවා.  මස් මාංශ අනුභවය ඉතා ගිජු කමින් සිදුකරණ විට ඒ රසය වෙනුවෙන් පහල වන්න වූ ලෝභ සහගත සිතුවිලි නිසා අනිවාර්යයෙන්ම අකුසල් සිදුවෙනවා. 

මස් මාංශ පමණක් නොවේ ශාකමය ආහාර සඳහා උවත් අධික ගිජු බවක් දක්වනවා නම් එතනදිත් පහල වන්නේ අකුසල් මුලයක් වන ලෝභ සහ ගත සිතුවිලි. එබැවින්  මොනයම් හෝ ආහාරයක් ගැනීමේ දී ඒ ගැන අධික ලෙස ගිජු  නොවී එම ආහාරය ගැනීම ඉතා වැඩදායක වෙනවා.

එමෙන්ම ආහාරය ගැනීමට පෙර එම ආහාරය ගැන තමන්ට හැකි පමණින් ප්‍රත්‍යවේක්ෂා කිරීමක් කරන්න 

" මා මේ ආහාරය ගන්නේ රස විදීමට නොවේ, ශරීරය වර්ධනය කිරීමට නොවේ,  ජවය පිනිස නොවේ, ඇති වූ කුස ගින්න නිවා ගැනීම පිණිසත්, කාය ජිවිත දෙක ආරක්ෂා කර ගෙන මේ ලද ජිවිතයෙදී ධර්මය අවබෝධ කිරීම පිණිසත්  පමණයි. මේ ආහාරය පඨවි, ආපෝ, තේජෝ, වයෝ යන සතරමහා ධාතුන්ගෙන් සැදුනක්. ශරීරයට ඇතුල් වී සැනෙන් මේ ආහාරය අපවිත්‍ර බවට පත් වන්නක් .."

ඔය ආකාර වූ ප්‍රත්‍යවේක්ෂා කිරීමක් භික්ෂුන් වහන්සේලා ට අනිවාර්යය කර ඇති නමුත්, ගිහියන්ට උවත්   මෙහෙම හිතන්න පුලුවන්නම් ඕනෑම නීරස ආහාරයක් ඉතාම පහසුවෙන්, සතුටෙන්  අනුභව කරන්න පුළුවන්. ආහාරයක රස විදීම කිසිසේත්ම නොකළ යුත්තක් යැයි වරදවා වටහා නොගන්න. ඔබ ගන්නා ආහාරය උපරිම ආකාරයෙන් රස විදින්න, නමුත් ඒ රසයට ගිජු නොවීමට උත්සාහ කරන්න.  ආහාර අනුභවයේදී අකුසල් සිදුවන තවත් අවස්ථාවක් තමයි එම ආහාරයේ රසය මද වීම, ලුණු ඇඹුල් අඩු වැඩි වීම වැනි අවස්ථාවන් හීදී ඇතිවන ද්වේශය.  මෙයත් ආහාරය නිසා අකුසල් සිදුවන අවස්ථාවක්. ඉහත දැක්වූ ආකාරයට  ආහාරය ගැන නුවණින්  සලකා ආහාර ගැනීමට හැකිනම්, ආහාරය නිසා ඇතිවන අකුසල් සහගත සිතිවිලි නැති කරගන්න පුළුවන්.

මේ ආකාරය හැකිනම් එක දවසක් ආහාරය පිලිබදව නුවණින් මෙනෙහි කරලා බලන්න. මේ ධර්මය තමන්ම අත් දකින්න ඕන දෙයක් එහි අසිරිමත් භාවය එයයි.


මේ පිළිබඳව තවත් බොහෝ කරනා ඇති මුත් මේ ලිපිය සඳහා කරුණු දැක්වීම ප්‍රමාණවත් යයි  හැඟෙනවා.   මස් මාංශ අනුභව කිරීම හෝ නොකිරීම  තනිකරම පුද්ගලික කාරණයක්. එලෙස අනුභව කළා කියා ඔවුන්ව ගර්හාවට ලක් කිරීම නොකළ යුතු අතර ශාක ආහාර පමණක් අනුභව කරන්නවුන් ඒ පිළිබඳව  අනවශ්‍ය මාන්නයක්ද ඇති නොකර ගත  යුතුය.


පසු සටහන:

මීළඟ පොස්ට් එකෙන්  නිවන් මග වැරදුනේ ඇයි කියා සරල විමසීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

මිට පෙර  පලකල ලිපි දෙක කියවීමට නොහැකි වුවානම් ඒ ලිපි දෙක කියවන්න, ඒවාට ලැබුන ප්‍රතිචාර සහ ඒ වෙනුවෙන් ලබාදුන් පිලිතුරුත් අනිවාර්යයෙන් කියවන්න.
1. දුශ්ෂිල භික්ෂුව කෙරෙහි ගිහියන් පිළිපැදිය යුතු අයුරු 
2. සැබෑ බෞද්ධයා යනු කවරෙක්ද? සහ බල්ලෝ මරලා හරි නිවන් දැකීම...


සැමට ධර්මාවබෝධය ලැබේවා !!!!

Thursday, June 13, 2013

සැබෑ බෞද්ධයා යනු කවරෙක්ද? සහ බල්ලෝ මරලා හරි නිවන් දැකීම...


මේ පොස්ට් එක  ආරම්භය සඳහා මිට කලින් මා විසින් පලකල දුශ්ෂිල භික්ෂුව කෙරෙහි ගිහියන් පිළිපැදිය යුතු අයුරු පොස්ට් එකේ කොමෙන්ට් එකකට ලියපු පිලිතුරකින්ම පටන් ගැනීමට සිතුවා.  පළමුව ඒ කොටස කියවා සිටින්න.

ඉදිරි පොස්ට් කීපයකින් ධර්ම කරුණු කීපයක් සරලව ඉදිරිපත් කරනවා එම පොස්ට් කියවීමේදී නිරවුල් මනසකින් කියවන්න.. භාග්‍යවතුන්  වහන්සේ කාලම සුත්‍රයේදී දේශනා කල අයුරින් විමසන්න, විමසීම සඳහා උන්වහන්සේ දේශනා කල ක්‍රමවේදය යොදාගන්න. 

පහත දැක්වෙන මානසික මට්ටම් වල සිටින අය හට ගැන බලන්න 

1 අධික ශ්‍රද්ධාව  පමණක් ඇති අය :

උදේ පාන්දර 5 පමණ සිට අඳුර වැටෙන තෙක්ම පන්සල් විහාර ආදියෙහි ගැවසෙමින් මල් පෙරහැරවල් පවත්වමින් ඒ මල් පෙරහැරේම නිවන් පුර රුවන් දොරටුව දක්වා බොහෝ පහසුවෙන් ගමන් කල හැකි බව විශ්වාශ කරන සැදැහැතියන්.

උම්බලකඩ කැබැල්ලට මෙන්ම හාල් මැස්සාගේ පටන් දියළුම මස් මාංශ වලට අධික මෛත්‍රියක්   පළකරමින්,පන්සලට ගෙන එනු ලබන දාන වේලක ඇති කට්ට සම්බෝලයක උවද උම්බලකඩ කැබැල්ලක් තිබුනොත්, එය ගෙනා තැනැත්තන් කෙරෙහි අධික කෝපයට පත්වන, බණ මඩුවේ බණ අසමින් සිටින විට අතක වසන මදුරුවා චප්ප කර දමන සැදැහැතියන්.

2. 
ශ්‍රද්ධාව  නොමැති අධික ප්‍රඥාවන්තයින් 

පටිච්චසමුප්පාදය, පංච උපාදනස්කන්ද වැනි තම නුවනින් විමසිය යුතු ඝම්භිර ධර්මයන් අනන්ත තිබියදී 
භාග්‍යවතුන් වහන්සේ මස් මාංශ වැළඳුවේ දැයි තමන්ගේ රුචි අරුචි කම් වෙනුවෙන් මුළු ත්‍රිපිටකයම පෙරලමින් සොයන්නන්.

තමන්ගේ මතයට අනුකුල වන අවස්ථාවන්හිදී එය බුද්ධ වචනය ලෙසත්, එසේ නොවන විට එය 
ත්‍රිපිටකයට   ඇතුලත් වූ බමුණු මත ලෙස දකින්නන්.

ආචාර්ය, මාහාචාර්ය පදවියක් ලැබූ විට එය 
භාග්‍යවතුන්  හන්සේගේ උතුම් සර්වඤතා ඤාණය ද ඉක්මවා යන්නක් බව විශ්වාෂ කරන සමහරක් අය ද (බොහෝ අය එසේ නොවේ)


තර්කය සඳහා ම වචන සොයමින්  අනවශ්‍ය තර්ක කරන අය .

3. හුදෙක් භෞතික වාදින් ද යන කොටස් වලට අයත් වන්නන් හට මේ ඉදිරි පොස්ට් කීපය ගෝචර නොවනු ඇත.

කිසියම් කාරනාවක් ගැන කතා කිරීමේදී පදනම් විරහිත ලෙස සිදුකිරීම නුසුදුසු වන අතර විශේෂයෙන් ධර්මය ගැන කතා කිරීමේදී පැහැදිලි පදනමක් මත සිටම කලයුතු වෙනවා.මේ වෙනුවෙන් මගේ පදනම වන්නේ 
භාග්‍යවතුන්  වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගැනීම, උන් වහන්සේ දේශනා කල ධර්මය පිළිගැනීම, ආර්ය මහා සංගරත්නය පිළිගැනීම සහ ත්‍රිපිටකය බුද්ධ වචන ලෙස පිළිගැනීම වේ.

එබැවින් ඉදිරි පොස්ට් කීපය නිරවුල් මනසකින් කියවන්න. එසේ නොමැති වූ විට සිදුවන දේ ගැන එක උදාහරණක් දෙන්නම්.
භාග්‍යවතුන් වහන්සේගේ චරිතය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ උන්වහන්සේ පිළිම වල දකින්නට ලැබෙනවා වගේ සමාධි සුවයෙන්ම වැඩසිටි කෙනෙක් ලෙස නමුත් උන්වහන්සේගේ චරිත ලක්ෂණ තුල දක්ෂ ගුරුවරයෙක්, සැබෑ යහළුවෙක්, සෙනෙහෙවන්ත පියෙක් දකින්නට ලැබුනේ නැතිද? මේ සිදුවීම සලකන්න 

එක් දවසක් මහා කාශ්‍යප  මහා රහතන් වහන්සේ, ඉතා වටිනා සිවුරක් පොරවාගෙන 
භාග්‍යවතුන්  හන්සේ හමුවෙන්න එනවා. ඒ අවස්ථාවේදී උන් වහන්සේ පොරවාගෙන ඉන්නේ පරණ වූ රළු සිවුරක්. උන් වහන්සේ සහ මහා කාශ්‍යප  මහා රහතන් වහන්සේ අතර මේ දෙබස බලන්න 
"
කාශ්‍යප  ඔබගේ සිවුර ඉතාම සියුමැලි අලංකාර එකක්"
"
භාග්‍යවතුන් වහන්ස මේ සිවුර පොරවා ගන්න සේක්වා, ඔබ වහන්සේගේ ඔය සිවුර මට දෙන්න"
"
කාශ්‍යප ඔබට මේ දළ සිවුර සුදුසුද?"
"
භාග්‍යවතුන් වහන්ස ඔබගේ දළ සිවුර මට ඉතා ප්‍රියයි "

ඉන්පසු ඔවුන් දෙදෙනා සිවුරු මාරුකර ගන්නවා.. බලන්න කොතරම් සමීප මිතුරන් ද කියා. මේ තුල කොතරම් දෙයක් ගන්න පුලුවන්ද කියලා. නමුත් අධික 
ශ්‍රද්ධාවන්තයට මේක දරන්න බැහැ. ඔවුන් කියන්නේ එලෙස හැඟීමක් බුදුරජානන් වහන්සේට ඇති වෙන්න බෑ ඕක අපහාස කරන්න බමුණන් ඇතුල්කල මතයක්.අනිත් කොටස කියන්නේ කෙලෙස් ඇති බවයි.(මේවා ගැන ඉදිරියේදී පැහැදිලි කරන්නම්)

මේ එක උදාහරණයක් පමණයි. මේ ධර්මය හඳුනා ගැනීම, බුද්ධ චරිතය හඳුනා ගැනීම ඉතා නිරවුල් මනසකින් කලයුත්තක්. 



දැන් පොඩි  කතාවක් කියන්න යන්නේ. මේ කතාව මට කිවේ මගේ පොඩි පුතා, ඒ ගොල්ලන්ගේ පන්තියේ යහළුවන්ගෙන් අහපු විහිළු කතාවක් විදිහට. නමුත් මේ කතාවේ ගතයුතු වැදගත් ආදර්ශයක් තිබෙන නිසා මේ කතාව මුලින් ම ලියන්න හිතුනා.

ඔන්න එක්තරා පලාතක මනුස්සයෙක් පෝය දවසට සිල් ගන්න ඕන කියලා හිතාගෙන පන්සලට ගියා. මෙයට අපි සිරිපාල කියලා කියමු. ඉතින් සිරිපාල  සිල් අරගෙන බොහොමයක් දෙනෙක් කරනවා වගේ බණ මඩුවේ මුල්ලක් අල්ලගෙන් වාඩිවෙලා හිටියා. ඔහොම ඉන්නකොට මෙයාට නොදැනීම නින්ද ගියා.  දැන් ඔය අතරේ හාමුදුරුවෝ ඇවිත් ධර්ම දේශනයක් පටන් ගන්න ලැස්ති වෙනකොට ම සිරිපාලට ඇහැරුනා. දැන් ඉතින් මෙයත් බණ  අහන්න ලැස්ති උනත් නැවතත් නින්ද ගියා. එහෙම උනත් සිරිපාලට   විටින් විට ඇහැරෙනවා.

ඔහ්න් ඔන්න ඉතින්දන් හාමුදුරුවෝ බන කියාගෙන යනකොට මෙතනට බල්ලෙක් ආවා. දැන් ඉතින් බණ  මඩුවේ ඉන්න මිනිස්සුන්ට මේ බල්ලගෙන් ටිකක් හිරිහැර නිසා හාමුදුරුවෝ මෙහෙම කිවා.

"කවුරු හරි කෙනෙක් ඔය බල්ලා එළවලා දැමුවොත් හොඳයි"

ඔය ටික කියනකොටම නිදි කිරමින් සිටි සිරිපාලට ඇහැරුනා, ඒ ගමන්ම මෙයාට බල්ලා  කියන එක ඇහුනා,   නමුත් අපහු නින්ද ගියා.

දැන් ඉතින් හාමුදුරුවෝ  මෙන්න මෙහෙම දෙයක් කියනවා.

"පින්වතුනි මව හෝ පියා මැරුවොත් නම් අනිවාර්යයෙන්ම ඊළඟ උපත නිරයේ .."

මේක  කියනකොට සිරිපාලට  අපහු සැරයක් ඇහැරුනා, ඒ ගමන්ම මෙයාට මැරුවොත් නම්  කියන එක ඇහුනා,  මේ වචන තදින් හිතට වැදුනා උනත්  අපහු නින්ද ගියා.

දැන් ඉතින් හාමුදුරුවෝ මේ විදිහට බණ  අවසන් කරනවා.

"පින්වතුනි ඔය කියපු ආකාරයට පවෙන් වැළකිලා සතිපට්ඨානය නියම ආකාරයට වැඩුවොත් නිවන් දකින්න පුළුවන්"

මේක  කියනකොට සිරිපාලට  අපහු සැරයක් ඇහැරුනා, ඒ ගමන්ම මෙයාට නිවන් දකින්න පුළුවන්  කියන එක ඇහුනා,  මේ වචන තදින් හිතට වැදුනා. දැන් ඉතින් බණ  ඉවරයි කට්ටිය ටිකක් නැගිටලා එලියට පහලට යන්න ගත්තාම් ළඟ හිටපු කෙනෙක් සිරිපාලගෙන් මෙහෙම් අහනවා.

"අපුරු බණ  ටික නේද? හොඳට ත්රුම් කරලා දුන්නා නේද?"

එතකොට සිරිපාල මෙහෙම කියනවා 

"අපොයි ඔව් අද තමයි මට හොදට තේරුනේ බල්ලා මැරුවොත් නම්  නිවන් දකින්න  පුළුවන් කියලා"

ඔන්න ඕක තමයි කතාව. පොඩ්ඩක් හිතන්න, අද බොහෝ දෙනෙක් බණ  අහන්නේ ඔය විදිහට, තේරුම් ගන්නේ ඔය විදිහට. ඉතින් කොහොමද මේ අපුරු ධර්මය තේරුම් ගන්නේ. 

සැබෑ බෞද්ධයා යනු කවරෙක්ද?

අද මේ රටේ බහුතරය බෞද්ධයන්  වී ඇත්තේ උපතින් මිස සැබෑ අවබෝධයකින් නොවේ.  අවබෝධයෙන් තෙරුවන් සරණ යාමෙන්ම එම පුද්ගලයා උපාසකයෙක් වේ. උපාසක යන නාමය භාග්‍යවතුන් වහන්සේ බෞද්ධයා හැදින්වීමට යොදාගත් නාමයයි.

යතෝ ඛෝ මහානාම බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සංඝං සරණං ගතො හොති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හොති. යන බුද්ධ වචනයෙන් මේ සරනාගමනයෙන්ම කෙනෙක් උපාසකයෙක් බව දක්වා ඇත.

සරණාගමනය යනු කුමක්ද යන බව ඉතා හොඳින් වටහා ගත යුතු වෙනවා. බොහෝ දෙනෙක් මේ සරණාගමනය ආශිර්වාදයක් හෝ ආශිර්වාද පාඨයක් කරගෙන ඇති බව දකින්නට පුළුවන්.  නමුත් බුද්ධං සරණං  ගච්ඡාමි යන්නේ අදහස් වන්නේ, බුදුරජානන් වහන්සේ ගමන්ගත් මග යන බව මිසක්, වෙනත් දෙයක් නොවේ.  බුදු සරණ ලැබීම යනු උන් වහන්සේ කියාදුන් නිවැරදි මග ඔස්සේ ගමන් කර තමන් විසින් තමන්ගේ  විමුක්තිය ලබාගැනීම මිස වෙනත් ආශීර්වාදයක් ලබාගැනීම නොවේ.  එසේ නොමැතිව මුළු දවස පුරාවටම බුද්ධං සරණං  ගච්ඡාමි කියමින් සිටියත් බුදු සරණක් නොලැබෙනු ඇත.

ධර්මය සහ ආර්ය මහා සංග  රත්නය සරණයැම ද මේ ආකාරයටම වටහා ගත යුතුය.

සරණාගමනය යනු කුමක්දැයි අපි සරලව දැනගත්තා,මෙය  ලෝකෝත්තර සරණාගමනය සහ ලෞකික සරණාගමනය ලෙස දෙවැදෑරුම් වෙනවා. ලෝකෝත්තර සරණාගමනය යනු මාර්ග ඵල අවභෝධයේදී  ඇතිවන්නාවු සරණාගමනයවේ, මාර්ග ඥාණයන් පහල වීමේදී ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇති සැකයන් පහා වීම නිසා ලෝකෝත්තර සරණාගමනය කිලිටි නොවනවා මෙන්ම එහි  බිදීමක් නොමැති වේ.

මාර්ග ඥාණයන්ට මෙපිටින් ඇති සරණාගමනය ලෞකික වේ. මෙහි කිලිටිවිමක් මෙන්ම බිදීයාම සිදුවිය හැක. තෙරුවන්  කෙරෙහි සැක  ඇතිවීමෙන්, තෙරුවන් කෙරෙහි දුර්මත ඇතිවීමෙන් සහ තෙරුවන් ෙකෙරෙහි  දැනීම මඳ  වීමෙන්  ලෞකික සරණාගමනය  කිලිටි වන අතර පහත කාරණා  නිසා එහි බිඳී යාම සිදු වේ.
1. ධර්මය ප්‍රතික්ෂේප කිරීමෙන්
2. අන්‍ය ආගමක් පිළිගැනීමෙන්
3. මරණයෙන්.

ආර්ය ශ්‍රාවකයන් මරණයෙන් මතු ද වෙනත් වූ දහමක් පිළිනොගන්නා බැවින් ලෝකෝත්තර සරණාගමනය මරණයෙන් හෝ බිඳී යමක් සිදු නොවේ.

මේ උපසකත්වය නැවත උපාසක චණ්ඩාල  සහ උපාසක රත්නය ලෙස කොටස් දෙකකට බෙදෙනවා. ඒ ගැන පසුව විමසා බලමු.

ශ්‍රද්ධාව යනු කුමක්ද?

ශ්‍රද්ධාව යනු කුමක් දැයි කියා ද පළමුව නිවැරදිව දැනගත යුතු වෙනවා. මෙය නොදනිම නිසාම බොහෝ දෙනෙක් ශ්‍රද්ධාව යනුවෙන් අර්ථ දක්වනුවේ ආමිස පුජාවන්ය . එමෙන්ම  ශ්‍රද්ධාව යනු කුමක්දැයි නොදන්නා කම නිසාම මේ ශ්‍රද්ධාව නම් වචනය ඇසු  පමණින් ක්‍රෝධය වපුරමින් ඒ කෙරෙහි ගර්හා කරන පුද්ගලයන්  ද බොහෝ සේ දැකගත හැකි වෙනවා.

"සද්දා  හති තථාගතස්ස බෝධි" ලෙස තමයි ශ්‍රද්ධාව හඳුන්වා දෙන්නේ. එනම් තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගැනීමයි.  සම්මා සම්බුද්ධත්වය  යනු කුමක් දැයි කෙටියෙන්  හඳුන්වාදීම ඇති දුෂ්කර කාර්යයක් උවත් අවම වශයෙන් උන් වහන්සේ ලෝභ, දේවේශ, මෝහ සම්පුර්ණයෙන්ම දුරුකලා යැයි  හෝ විශ්වාශ කල හැකි නම් එය  ශ්‍රද්ධාව ලෙස හඳුන්වන්න පුළුවන්. අවම ලෙස මේ අකුසල මුලයන් සම්පුර්ණයෙන්ම දුරුකලා යයි හෝ විශ්වාශ කල නොහැකි නම් උන් වහන්සේ තමන්ගේ සාස්තෘන්  ලෙස පිලි ගැනීමට නොහැකි වෙනවා.

ශ්‍රද්ධාව නැවත කොටස් දෙකකට බෙදෙනවා , අමුලිකා  ශ්‍රද්ධාව සහ ආකාරවතී  ශ්‍රද්ධාව යනුවෙන්. මෙයින් පළමු වැන්න හේතුවක්, මුලයක් ඇතිව නැතිව බොහෝවිට බාහිර දේවල් මත ඇතිවන්  ශ්‍රද්ධාවක්  බැවින් එයට අමුලිකා  ශ්‍රද්ධාව යයි කියනු ලබනවා.

නමුත් වඩා වැදගත් වන්නේ ආකාරවතී  ශ්‍රද්ධාවයි. එය ධර්මය අවභෝධ කර ගැනීම තුලින් හේතු සහගතව ඇතිවන  ශ්‍රද්ධාවක්. සමහර දෙනෙක් මේ ආකාරවතී  ශ්‍රද්ධාව ඇති වන්නේ සොවාහන් පුද්ගලයාට යයි කියනවා. එසේ  පැවසීමට හේතු වන්නේ මෙය කලින් කි ආකාරයට ධර්මය අවබෝධ කරගැනීම තුලින් ඇතිවන බව කියවෙන නිසා. නමුත් මගේ පුද්ගලික අදහස නම එය එසේ නොවන බවයි. ධර්මය අවබෝධ තම තම නැණ පමණින් දැනගත යුතු දෙයක් බැවින්, සෝවාහන්  පලය ලැබීමට  පෙරත් ක්‍රමානුකුලව වැඩි යන ධර්මය අවබෝධයක් තියෙනවා. එසේ නැතිව ගහෙන් ගෙඩි එන්නාක්  මෙන් සෝවාහන්  වීමක් වෙන්න හැකියාවක් නැහැ.

මේ අනුව ශ්‍රද්ධාවන්ත බෞද්ධයා යනු, බුදුරජාණන්  වහන්සේ  ගුරු උපදේශයන් රහිතව  ලෝභ, ද්වේශ, මෝහ සහ මුලින්ම දුරුකළ උත්තමයන්  වහන්සේ නමක් ලෙසද,  ශ්‍රී සද්ධර්මය යනු  ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මුලයන් සහමුලින් නැති කිරීම පිණිස උන් වහන්සේ දේශනා කල  ක්‍රමවේදය බවද, ආර්ය මහා සංග  රත්නය යනු එම ප්‍රතිපදාව අනුව යමින් එහි පල ලබාගත් උතුමන් බව පිළිගනිමින්, ඒ අනුව ගමන් කරමින් තමන් තුල ඇති ලෝභ,ද්වේශ, මෝහ දුරුකිරීමට උත්සාහ  ගන්නා පුද්ගලයාය.

ශ්‍රද්ධාව හා තිසරණය වරදවා ගෙන කටයුතු කරන ගිහි හෝ පැවිදි අය කරන කාර්‍යයන් දෙස බලා, ඔවුන් කෙරෙහි ද්වේශ සහගතව කටයුතු කිරීම  බෞද්ධ ප්‍රතිපදාව නොවන  (එසේ කිරීම තුලින් සිදුවනුයේ තමන්ගේ ලෝභ,ද්වේශ, මෝහ  තව තවත් වඩා වර්ධනය වීමයි.) අතර ඒ වැනි විටක කලයුතු වන්නේ ඔවුන් කෙරෙහිද ද්වේශ සහගත නොවී හැකිනම් ඔවුන්ටද නිවැරදි ධර්මය වටහා දීමට කටයුතු කිරීමයි.

ඉදිරි ලිපියකින් මස් මාංශ අනුභවය සහ ආහාරය පිළිබඳව සලකා බැලිය යුතු අයුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

සැමට ධර්මාවභෝධය ලැබේවා!!!


Monday, June 10, 2013

මැක්රෝ ඡායාරුප - Macro photography


මැක්රෝ  ඡායාරුප ( Macro Photography)  ප්‍රවීනයන්ට  මෙන්ම ආධුනිකයන්ට  ද  ඉතා සිත් ගන්නා අංශයක් වේ.  මැක්රෝ ඡායාරුප ගැනීම අපහසු කාර්යයක් නොවුවද ඒ වෙනුවෙන් විශේෂිත උපකරණ යොදාගැනීමට සිදුවීම සමහරක් අවස්ථාවන්හිදී ආධුනිකයන් හට ගැටළුවක් වන අවස්ථාවක් වේ.

බොහෝ අවස්ථාවන්හිදී මැක්රෝ  ඡායාරුප ඉතා සමීප ඡායාරුප සමග පටලවා ගැනීමක්  දක්නට ලැබේ. එබැවින්  පළමුව මැක්රෝ  ඡායාරුප යනු කුමක් දැයි අර්ථ විග්‍රහ කරගැනීම වටි.

මැක්රෝ  ඡායාරුප යනු අප ඇසට පෙනෙන ඉතා කුඩා වස්තුන්ගේ අති සමීප ඡායාරුපයක් වන අතර, එහි ප්‍රතිබිම්බයේ විශාලනය (සෙන්සරය හෝ සේයාපටලය මත ඇතිවන) සජීවී ප්‍රමාණයේ (1:1) හෝ ඊට වඩා විශාල විය යුතුය.


උපකරණ සහ තාක්ෂණික ක්‍රම 

මැක්රෝ  ඡායාරුප ගැනීම සඳහා ඒ සඳහා විශේෂයෙන් සැකසු  මැක්රෝ කාච (Macro  Lens) භාවිතා කල යුතු වෙනවා, මෙම කාච ඉතා මිල අධික වෙනවා.

මැක්රෝ කාච (Macro  Lens) 

මෙම මිල අධික මැක්රෝ කාච (Macro  Lens) යොදා නොගෙන මැක්රෝ  ඡායාරුප ගැනීමේ ක්‍රම කීපයක් ද ඇත. එම ක්‍රම ගැන ද දැනගැනීම වැදගත් වෙනවා. මැක්රෝ කාච යොදා නොගෙන මෙම ක්‍රම මගින්ද ඉතා හොඳ තත්වයේ ඡායාරුප නිර්මාණය කරගත හැක.

Extension Tubes: සෙන්සරය සහ කාචය අතර දුර වැඩි වන පරිදි කාචයත් කැමරා බොඩි එකත් අතරට Extension Tub යෙදීම  මගින්ද මැක්රෝ  ඡායාරුප ගැනීම සිදුකල හැක. මෙය ඉතා ජනප්‍රිය ක්‍රමයක් වගේම මිල අඩු ක්‍රමයක් වශයෙන් ද දක්වන්න පුළුවන්. එමෙන්ම මෙහිදී කාචය ඉදිරියෙන් හෝ පිටිපසින් වෙනත් කාචයක් හෝ පෙරනයක් (optics) සවි නොවන  නිසා ඔබගේ කාචයේ ගුණාත්මක භාවය කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොවීම ඉතා විගාල වාසියක් වේ.

Extension Tubes

Close-up lens එකක් හෝ Close-up filter  එකක් කැමරා කාචයට ඉදිරියෙන් සවිකිරීම මගින්ද මැක්රෝ  ඡායාරුප ගැනීම කළ හැකි වුවද එය මහින් කාචයේ ගුණාත්මක භාවය කෙරෙහි අති විශාල බලපෑමක් සිදුකල හැක. බොහෝවිට මේ ආකාරයෙන් ගනු ලබන ඡායාරුප වල ගුණාත්මක භාවය, මැක්රෝ කාච  හෝ Extension Tub යොදා ගනු ලබන ඡායාරුප වලට වඩා අඩු වේ.



Reversing Ring : කැමරාවේ සාමාන්‍ය කාචය, එහි ඉදිරිපය කොටස කැමරා බොඩි එකට සවිවන සේ සකස් කර ඇති reversing ring  නමැති උපකරණය මගින් කැමරාවට සවිකිරීම ද තවත් එක්  ක්‍රමයකි.

Reversing Ring එකක් යොදා කැමරා කාචය සවිකර ඇති අයුරු.

Macro Coupler නම් උපකරණය මගින් සාමාන්‍ය කැමරා කාචය එලෙසම තිබියදී එයට ඉදිරියෙන් තවත් කාවයක්  පෙර කි අයුරින්  එහි ඉදිරිපස සසුපසට පිහිටන ආකාරයට සවිකිරීම මගින්ද ඉතා විශාලනයක් සහිත  මැක්රෝ  ඡායාරුප ලබාගත හැක. කැමරා කාච දෙකෙහි ෆිල්ටර් සඳහා ඇති කොටස් දෙක එකට යා කල හැකි ලෙස මෙම Macro Coupler ring එක සකසා ඇත.





බ්‍රිජ් සහ "point and  shoot" කැමරා වල ලෙන්ස් මාරු කිරීමේහැකියාව නොමැති නිසා, ඒ කැමරා වල මැක්රෝ  ඡායාරුප ගැනීම සඳහා වෙනමම බොත්තමක්  ඒ වෙනුවෙන් ලබා දී ඇත. මෙවැනි අවස්ථාවකදී එම බොත්තම එබීමෙන් මැක්රෝ සක්‍රිය කරගත හැක. 



මැක්රෝ  ඡායාරුප කරණයේ අංශ කීපයක්.

සමනලුන් : ඉතා කුඩා සමනලුන් මැක්රෝ  ඡායාරුප කරණයේ ඉතාම සිත් ගන්නා  අංශයක් වන අතර මොවුන් වෙත ලඟා වීම ඉතා ඉවසීමෙන් මෙන්ම සීරුවෙන් කල යුත්තක් වෙනවා.




ජල බිඳු : වර්ෂාවකට පසු හෝ හිමිදිරි පාන්දර දකින්නට ලැබෙන ජල  බිඳු ද ඔබගේ මැක්රෝ  ඡායාරුප  වලට ඇතුලත් කරගත හැක.




මල්: ඉතා කුඩා මල් සහ කොළ වර්හ ද සිත් ගන්නා සුළු මැක්රෝ  ඡායාරුපයන්  වේ.




කෘමින්: ඉතා කුඩා කෘමින් ද ඔවුන්ගේ වර්ණ සහ හැඩතල ඉස්මතුවන ආකාරයට මැක්රෝ  ඡායාරුප වලට ලක් කල හැක.




Thursday, June 6, 2013

යමන් බන්ඩෝ වෙසක් බලන්න.

ISO 100, f 7.1, 1/15"

ISO 800, f 4, 1/60"

ISO 3200, f 5.3, 1/10"

ISO 3200, f 5.6, 1/13"

ISO 3200, f 5.3, 1/25"

ISO 3200, f 3.5, 1/25"

ISO 100, f 13, 5"

ISO 100, f 20, 5"

ISO 800, f 5.6, 1/5"

ISO 800, f 5.6, 1/3"

************ *************