Monday, April 4, 2016

නරි හූව සහ බලු බිරීම ..


පින්තූරය ගුගල් ගෙන්..

"ඔන්න ළමයෝ අදත් නරි හූ කියනවා.. මේ ටිකේම රෑට රෑට නරි හූ කියනවා ඇහෙනවා.. මොකක් හරි නරක දෙයක් වෙන්න යන්නේ.."

අපි පොඩි කාලේ අපේ ආච්චි ඔහොම කියනවා මට මතකයි. ඒ කාලේ ඉඳන්ම මං තුමාට තිබුන පුරස්නේ තමයි මොකද මේ රෑට රෑට නරි ගම්මාන අසලට ඇවිත් හූ කියන්නේ කියන එක. ඕක විසඳා ගන්න කියලා ආයේ ඉතින් නරියෙක් ගෙන් අහන්න කියලද.  ඔන්න ඔහොම කාලේ ගත උනා කියමුකෝ..... මේ ලඟදි දවසක, මගේ පොඩි පුත්තරයා, මිනිහා ගැන දන්නවා නේද? මෙන්න මේතනින් බලාගන්න පුලුහන් මිනිහා කවුදැයි කියලා.ඇට දෙකම කැඩුනොත් දොස්තර මොකක්ද කරන්නේ? සහ පොලිසියෙන් කලා පොළ කයි. හා.. හා.. ඔය පරණ පොස්ට් දෙක පස්සේ බලමු. ඉතින් මිනිහා මගෙන් අහනවා..

" තාත්තා දන්නවද, මොකද මේ රෑට රෑට නරි, ගම් කිට්ටුවට ඇවිත් හූ කියන්නේ කියලා.?.."

යකෝ, ජාන වලින්  ළමයින්ට අපේ ප්‍රශ්න යන බවක් මම මිට කලින් දැනගෙන හිටියේ නැහැ නොව. මම ඉතින් මෙයාට මෙහෙම උත්තර දුන්නා.

" අනේ නැහැ පුතේ.. මටත් පොඩි කාලේ  ඔහොම ප්‍රශ්නයක් තිබුනා.. "

"ඉතින් උත්තරේ හොයා ගත්තා ද?"

"අනේ නැහැ ..මොකද හු කියන්නේ කියලා අහගන්න මට නරියෙක් හමු උනේ නැහැ..."

"හා තාත්තා දන්නේ නැති උනාට මම දන්නවා"

"මොකා..."

""ඔව් මම Biology පාඩම් කරනකොට මේකට හේතුව හොයාගත්තා."

" ආ එහෙනම් කියමු බලන්න..." 

ඔන්න එහෙනම් කතාව අහමු...

මේ කතාව දැනගන්න නම්  ආදී කල්පිත මිනිසා ගල්ගුහා වල දඩයමින් ජිවත්වන කාල වකවානුවට යන්න වෙනවා.



මේ කාලයේදී තමයි මුලින්ම බල්ලා හමුවෙලා තියෙන්නේ කියලා තමයි මානව විද්‍යාව ගැන දන්නා අය කියන්නේ.  හෝව්... හෝව්... පොඩ්ඩක් ඉවසලා ඉන්න. ට්‍රැක් පැන්නා  නෙවේ.. මේ කතාව කියන්න නම් මුලින්ම බල්ලා ගැන කියන්න වෙනවා.


ඉතින් ආදී මානවයා  දඩයම්  කරලා  රැගෙන එන සතුන්ගේ මස් කල් තියාගන්න ක්‍රමයක් තිබුනේ නැති නිසා, ඉක්මනින් නරක් වෙන්න ගත්තා. මේ නරක්  වුන  කොටස්, විටින් විට පාහේ  තමන්ගේ ගල්ලෙනෙන් ඉවත් කරන්න සිදු උනා. මේ ඉවත ලන මස් කන්න බල්ලන්  හිමින් සැරේ මිනිසුන් අසලට ආවා. දැන් උන්ට මහන්සියක් නැතිව ආහාර ලැබෙන නිසා මුන් මිනිසුන් අසල ගැවසෙන්න පුරුදු උනා. 

ආදී මානවයා මුල් කාලයේ දඩයම් සඳහා යනකොට, ගැහැණු පිරිමි බේදයක් නැතිව සැමෝම දඩයමේ ගියා. එතකොට වෙන්නේ මේ ගල්ලෙන් අසල ගැවසෙන බල්ලන් සහ අනිත් සතුන් ගල් ලෙන තුල ඇති මස් ටිකට වගකියන එක. මේ ප්‍රශ්නය විසඳාගන්න ඔවුන් කලේ මස් ආරක්ෂා කරගැනීමට ඔවුන්ගේ කෙනෙක් සෙකියුරිටි විදිහට පත්කළ එක. එතකොට දඩයම් කිරීම සඳහා ඔවුන්ට සිටි කෙනෙක් කැපකරන්න උනා.  ඒ වගේම ගැහැණු අයට දරුවන්  ලැබීමට අසන්න වන විටත්,  දරුවන් ලැබුන විටත් ඔවුන්ව දඩයමින් ඉවත්කර ගල්ලෙන තුල  රඳවන්න සිදු උනා.  මේනිසා  මොවුන්ගේ පිරිස් බලය ඉතා තදින් පිරිහුණා.

මෙයට විසඳුම ලෙස ඔවුන් කලේ තමන්ගේ ගල්ලෙන අසල ගැවසෙන බල්ලන් හිලෑ කරගෙන දඩයමට පුරුදු කිරීමයි. මෙමගින් ඔවුන් තමන්ට අහිමි වන පිරිස් බලය වෙනුවට නව කාර්යක්ෂම ආදේශකයක් යොදාගත්තා. එවිට ගැහැණුන්ව දරුවන්  බලාගැනීමට මෙන්ම අනිකුත් කාර්යයන් සඳහා ගල්ලෙනෙහි නතර කිරීමට හැකිවුනා.

ඔන්න ඔහොම තමයි මානව ශිෂ්ටාචාරය ගැන දන්නා අයවලුන් නම් කියන්නේ. ඔන්න දැන් තමයි අපේ කතාව පටන් ගන්නේ. 



ඔය මානව ශිෂ්ටාචාරය ගැන කවුරු කොහොම කිවත්  සැබවින්ම සිදු උනේ වෙන දෙයක්. කලින් කියපු කතාව හරි. නමුත් මුලින්ම ඔතැන හිටියේ බල්ලා නෙවේ නරියා. ඉතින් මේ නරි බොහොම මහන්සි වෙලා දඩයම් කරලා දුන්නට මොකද මිනිස්සු නරින්ට හොඳට සැලකුවේ නැහැ. දඩයමින් ඉතිරිවෙන දෙයක් යන්තමින් නරින්ට දුන්නා විතරයි. කවදාවත් වැස්සකටවත් මේ නරින්ට ගල්ලෙන ඇතුලට එන්න දුන්නේ නැහැ. ඔයවගේ කෙනෙහිලිකම් ඉවසන්න බැරි තැන නරි, මිනිසුන් අත්හැර  ආපහු කැලයටම  ගියා. 

ඔන්න ඔයවෙලේ  අවස්ථාව බලාගෙන හිටපු බලු රැල හිමින් සැරේ මිනිස්සුන්ට කිට්ටු වෙන්න ගත්තා.  එතකොට නරි එකතු වෙලා මේ බලු  රැලට  බොහොම කරුණාවෙන් මෙන්න මෙහෙම කිවා. 

"උඹලා ඔය මිනිස්සු කියන උන්ට උදවු කරන්න යන්න එපා. උන්  කවදාවත් කෙලෙහි ගුණ දන්නා සත්තු ජාතියක් නෙවේ. උන් අපිට කල දේම තමයි උඹලටත් කරන්නේ. ඒ නිසා දඩයමක් කරගෙන මේ අපි වගේ කැලේටම වෙලා හිටහන්."


"උඹලා කොහොම කිවත් අපි දන්නවා මිනිස්සුන්ගෙන් සැලකිලි ලබන විදිහ.අපි උඹලා වගේ නෙවේ. අපිට බුරන්න පුලුහන්. අපි දන්නවා මිනිස්සුන්ව ආරක්ෂා කරන්න. එතකොට අපිට මිනිස්සු බොහොම හොඳින් ආදරයෙන් සලකාවි. අපි ආයේ කවදාවත් කැලයට එන්නේ නැහැ."


නරි කොතරම් කරුණු පැහැදිලි කලත්, බල්ලන් ඔන්න ඔහොම කියලා හිමින් සැරේ මනුසතා ලඟට කිට්ටු කළා. මිනිසා සමග හිතවත් උනා. දඩයම් කරලා දුන්නා. වෙනත් සතුන් ගල්ලෙන් ලඟට එනකොට එම සතුන්ගෙන් ගල්ලෙන් ආරක්ෂා කිරීමට බුරන්න ගත්තා. මිනිසා දකිනකොට, හිතවත්කම පෙන්නන්න ඕන නිසා පස්ස හකුලුවාගෙන වල්ගය වනන්න උනා.

මේ මොනදේ කලත් මිනිසුන්  බල්ලාට සැලකුවෙත් නරියාට වගේමයි. නමුත් බල්ලන්ට නැවත කැලයට යන්න බැහැ.  එදා ඉඳන් අද වෙනකල්ම බල්ලා බලු වෙලා මිනිසුන් ළඟ ඉන්නවා.


ඉතින් හිටපු ගමන් නරින්ට මේ සිද්දිය මතක් වෙනවා. එතකොට නරි ටික රෑට රෑට ගම්මානය අසලට ඇවිත් බල්ලන්ට හූ කියන්න ගන්නවා... නරි ටික බල්ලන්ට හු කියනකොට ලැජ්ජාව ඉවසගන්න බැරිකමටම බල්ලන්ටත් ජුවල් ගිහින් බුරන්න පටන් ගන්නවා.  ඔන්න ඕකයි කතාව.

අපේ ආච්චි ජිවතුන් අතර හිටියානම්, උන්දැටත් මේ කතාව කියලා දීලා මෙහෙම කියන්න තිබුනා. "ආච්චි බයවෙන්න එපා නරි  හු කියන්නේ බල්ලන් කල මෝඩ වැඩේ නිසා බල්ලන්ට. උන් හු කිවා කියලා මොන අකරතැබ්බයක් වත් වෙන්නේ නැහැ."




Thursday, November 26, 2015

Operation Lapwing - A Rescue Mission

මේ පින්තුරය  ගුගල් එකෙන්
ආයුබෝවන් යාලුවනේ, ඔන්න බොහොම කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා... මං තුමා ඉතින් ඔය එක එක විදිහේ මෙහෙයුම් කරනවානේ,  මතක නේද අර "Operation Eagle"  මේකත් ඒ වගේ මෙහෙයුමක් තමයි, නමුත්  ගලවා ගැනීමේ මෙහෙයුමක් (Rescue Mission) ගැන. එහෙනම් බලමු මොකක්ද මේ  කියලා.

මතක ඇති නේද මම මිට කලින් ලියපු  "කිරලා මැනලා හදාපු කූඩුව" බලපු නැති උදවිය බලලා අවොතින් තමයි හොඳ. හ්ම්ම්.. මතක් උනා නේද?  ඔන්න එහෙනම් කතාව. 

මේ කිරල කූඩුව දැකලා ෆොටෝ කෑලි  ටික අල්ලාගෙන ආපු මං තුමා ඇතුළු ගෙදර උදවිය පහුවෙනිදත් ඔතනට ගියා තව ෆොටෝ කෑලි කිහිපයක් ගන්න හිතාගෙන. නමුත් එතනට යනකොට කූඩුව තිබුන තැන හිස්. මට ඉවෙන් වගේ තේරුනා මේ කිරල පවුලට මොකක් හරි ඇබැද්දියක් වෙලා කියලා. ඉතින් අපි ටිකක් විපරම් කොරලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න ටිකක් ඇතට වෙන්න කිරල ජෝඩුව මරහඬ තියනවා. ..

මතක නේද කිරල කූඩුව ගැන ලියපු පොස්ට් එකදී  මං තුමා කියලා තිබුනා , "මෙයාලා කූඩුව හදාපු තැන වැරදියි "කියලා. ඇත්තෙන්ම මේ කූඩුව හදලා තිබුන තැන නිසා තමයි මේගොල්ලන්ට මේ කරදරයට මුහුණ දෙන්න වුනේ.  මේ කූඩුව හදලා තිබුනේ ශරීර සුවතාවය සඳහා පුරවැසියන්ට ඇවිදින්න හදලා තියෙන මංතීරුවක් අසල. මේ මං තීරුවේ එක පසෙකට වන්න  ඇලක් ගලාගෙන යනවා. අනිත් පසින් අඩි දෙකක් විතර ගැඹුර තියෙන කොන්ක්‍රීට් කානුවක්, ඊට එහා පැත්තෙන්  අඩි 6 පමණ උස කණ්ඩියක් සහ ඊට යාබදව ප්‍රධාන මාර්ගය. මෙම ප්‍රධාන මාර්ගයේ අනිත් පසින් වෙල් යායක්. ඔහොම කීවට හිතාගන්න බැහැ  නේද? ඔන්න එහෙනම් මේ ෆොටෝඑක බලන්න.
දැන් තේරුනා නේද?  ඔන්න ඕක තමයි කියන්න ඡායාරුපයක් වදන් දහසක් වටි ලියලා. එහෙනම් ඉතින් මං තුමා ඡායරුපකරණය ගැන ලියලා තියෙන පොස්ට් බලලා ෆොටෝ ගන්න පටන් ගත්තොතින් හොඳා. හා.. හා.. ෆොටෝ ගන්න පස්සේ පුළුවන්, දැන් යමු අපේ  කතාවට. කිරලා කූඩුව හදලා තිබුනේ ඔය වැලි පාරේ ඇල අයිනට වෙන්න තියෙන තණකොළ තීරුවේ...

දැන් තේරෙනවා නේද කුවුව හදාපු තැනෙ ඇති ප්‍රශ්නය. පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් පැටවූ ටික ඇලට වැටෙනවා. නමුත් හොඳ වෙලාවට මේ පැටවූ ටික ඇලට වැටිලා නැහැ, නමුත් අනිත් පැත්තේ තියෙන කාණුවට වැටිලා.



මේ කානුව අඩි 2ක් විතර ගැඹුරුයි. මොනමවිදිහකින් වත් මේ පැටවුන්ට මේ කානුවෙන් ගොඩ එන්න බැහැ. ලොකු කිරිල්ලි පාර අද්දර ඉහලට වෙන්න ඉඳන් කෑ ගසමින් පැටවුනට අඬගසනවා.  ඒ අතරම අනිත් කුරුල්ලා (තාත්තා වෙන්න ඇති) වටේ කෑ ගසමින් කිසිවෙකුටත් ලං වෙන්න දෙන්නේ නැහැ.

  

පැටවූ තුන්දෙනා පුදුමාකාර වෙහෙසක් ගන්නවා කානුවෙන් ගොඩවෙලා අම්මා ලඟට යන්න. ඒ  විතරක් නෙවේ මුන් තුන්දෙනා කානුව දිගේ එහෙ මෙහේ  දුවනවා ගොඩවන්න තැනක් හොයාගන්න.  පැටවූ ටික ඉන්න  අසලම කාණුවේ තියෙනවා විශාල ගලියක්, කාණුවේ වතුර එහා පැත්තේ තියෙන ඇලට යන්න හදාපු.  මම වහාම එතන ඇති අනතුර දැක්කා.  දැන් ප්‍රථම කාරිය විය යුත්තේ මේ ගලි කට වහන එක. කොහොම හරි ඒ අහල පහලින් ගෝනියක් හොයාගන්න හැකිවුනා. එක ගලිය අසලට පැටවුනට  යන්න බැරි වෙන්න මග අහුරන්න උපයෝගී කරගත්තා. 

දැන් විනාඩි 45 විතර මේ දෙස අපි බලාගෙන හිටියා. කිරලා අම්මා කෑ  ගහමින් පාරෙන් එහා පැත්තේ තියෙන වෙල්යාය දෙසට පියාඹනවා. නැවත මුලින් සිටි තැනට ඇවිත් නැවතත් කා ගසනවා. අපි තේරුම් ගත්තා මේ පැටවූ ටික වෙල්යායට ගෙනියන්න තමයි මේ උත්සාහ කරන්නේ කියලා. පැටවුනට ඉතා වෙහෙස බවපෙනුනා. එකවරම පැටියෙක් ඇදගෙන වැටුනා. මම හිතුවේ ඌ වෙහෙසටම මැරුණා කියලා.අපි හැමෝටම බොහොම දුක හිතුනා. අපි තීරණය කළා මේ කිරල පවුලට උදවු කිරීමට. 

මම පොඩි පුතාට කිවා අපි මේ පැටවූ ටික අල්ලාගෙන අනිත් පැත්තේ තියෙන වෙලට ගෙනියමු කියලා. ඒකට කැමති උන පොඩි පුතා කාණුවට බැස්සා විතරයි අනිත් පැටවූ දෙන්නා කානුව දිගේ දුවන්න ගත්තා. මැරිලා වගේ හිටපු  එකා එහෙමම හිටියා. මෙයා ඉස්සෙල්ලම ඒ පැටියා අතට ගත්තා. ඌ මැරිලා නැති බව අපිට තේරුනා.  මගේ බිරිඳ ඉක්මනටම සිරි මල්ලක් හොයාගත්තා. ඉස්සෙල්ලම මේ පැටියව ඒ මල්ලට දැම්මා.

අපි මේ වැඩේ  කරනකොට කිරල ජෝඩුව තේරුම් ගත්තා අපි යම් ආකාරයකින් උදවු කරන්න සැරසෙන බව. ඒ දෙන්නාම පාරෙන් අනිත් පැත්තේ වෙල්යාය අසලට ඉගිල ගිහින් එතැන් ඉඳන් කෑ ගසන්න උනා.

දැන් කොහොම හරි බොහෝ වෙහෙස වෙලා අනිත් පැටවූ දෙන්නත් අපේ පොඩි පුතා අල්ලා ගත්තා. ඊට පස්සේ මේ තුන්දෙනාවම වෙල්යාය අසලින් ගෙනිහින් තැබුවා. එහෙම තැබුවා විතරයි කිරල ජෝඩුව ඒ අසලට ඇවිත් අපිටත් තැන්කිව් පාරක් දාහෙන පැටවූ ටික බොහොම පරිස්සමින් වෙල්යාය දිහේ ඒ අසල තිබුන ලඳු කැලෑවට රැගෙන ගියා.



අම්මයි තාත්තයි පැටවූ මැදි කරන්  යන අපුරුව..

මේ කරපු සත්කාරිය ගැන අපි තුන්දෙනාටත් බොහොම සතුටුයි.  මේ වගේ උදවුවක් අවශ්‍ය උන වෙලාවක අපි හැමෝම ඒ අහිංසක සතුන්ට උදවු කලොත් ඉතා හොඳයි නේද.

Wednesday, October 14, 2015

වනජීවී ඡායාරුප කිහිපයක්

කිරලා මැනලා හදාපු කූඩුව පොස්ට් එක අවසන් කලේ මේ කිරල පැටවුන් බේරාගන්න කල මෙහෙයුම ගැන විස්තරයක් දානවා කියලා නේ. ඔන්න ඉතින් අද ඒ පොස්ට් එක ලියන්න කියලා හිතුවා. කරුමෙක මහත... ඒ පොස්ට් එකට  අදාළ පින්තුර ටික නැහැ. ඉතින් මක් කොරන්නද... වෙන දවසක ඒ පොස්ට් එක ලියනවා මිසක.


එහෙනම් ඒ පොස්ට් එක ලියනකම් මෙන්න මේ ෆොටෝ ටික බලන්න.  මම හිතන්නේ මේ ෆොටෝ කීපය ඔයගොල්ලන්ට පෙන්නන්න බැරි  උනා..









දැන් බොහෝ දෙනෙක් අතේ කැමරාව තියෙන නිසා සතුන්ගේ ෆොටෝ ටිකක් ගන්න උත්සාහ කලොත් නරකද?

Monday, August 24, 2015

කිරලා මැනලා හදාපු කූඩුව

ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ  පැත්තේ ගොඩවුනා,  පෙන්නන්න දෙයක් අරගෙන.  මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද? හෑ... අමතක වෙලා... එහෙනම් මුලින්ම ගොහින් බලාගෙන එන්න. මෙන්න තියෙනවා යන පාර. කහ කුරුළු කූඩුවක්  ආ බලාගත්තා නේද? එහෙනම් මේකත් බලලම ඉන්න මෙයා දැකලා තියෙනවද?  හොඳයි එහෙනම් දැන් බලමු මොකක්ද අද පෙන්නන්න යන්නේ කියලා. 

පේනවා නේද පැට්ටා පැත්තක ඉන්න හැටි...

ඔන්න එහෙනම් බලාගන්න මෙයාට කියන්නේ කිරලා කියලා නිකම්ම කිරලා නෙවේ, රතු තැලි කිරලා (red wattled lapwing). මේ විස්තර මට දුන්නේ අපේ ගාමිණි අය්යා.. ගාමිණි ෆොන්සේකා නෙවේ අනේ ගාමිණි විජිත් සමරකෝන් අර ගාමිණීගේ විජිතය බොලොග් එක ලියන්නේ අන්න එයා තමයි. ඕනෑම සතෙකුගේ නියම නම දැනගන්න ඕන උනාම මම ඉස්සෙල්ලම කරන්නේ ඒ සතාගෙන්ම  නම අහන එක. ඒ උනාට මුන් හරිම ආඩම්බරයි, නම කියන්නෙම නැහැ. එතකොට ඉතින් ගාමිණි අය්යාට මෙසේජ් එකක් දාලා අහගන්න එක තමයි කරන්නේ. මැසේජ් එක ගහපු ගමන් සුටුස් ගාල මෙන්න නම ගම විස්තර ඔක්කොම මට එවනවා.  ඔයාට ගොඩාක් ස්තුතියි ගාමිණි අය්යේ.

 
පේනවා නේද, පැට්ටෝ  ටික

දැන් ටිකක් විතර කුඩුවෙන් එලියට ඇවිත්
මේකා ටිකක් විසේ කාරයා... හැමතැනම දුවනවා..

පේනවා නේද අනිත් අය කුඩුවේ, විසේකාරයා අම්මා පස්සේ දුවනවා..  

කොහොමහරි විසේකාරයාආම්බන් කරගෙන අපහු කුඩුවට ගෙනාවා..

ඔන්න ඉතින් බලාගත්තා නේද කිරලගේ කූඩුව සහ පැටවූ. මොනවා උනත් මෙයා කිරලා මැනලා කූඩුව හදපු තැන වැරදියි. පසුවෙනිදා යනකොට මෙයාලට විශාල ඇබැද්දියක් වෙලා තිබුනා. ඉතින් මේ පැටවූ ටික බේරාගන්න ෆුල් ඔපරේෂන් එකක් දෙන්න උනා.. හ්ම්ම්.. මොකක්ද එකට දාන නම ? "operation lapwing" - ඔපරේෂන් කිරලා.  ආ ඒ නම හොඳයි ඒ ගැන මීළඟට පොස්ට් එකක් දාන්නම්. එතකම් ඕනෑමනම් "Operation Eagle" බලන්න.

Wednesday, September 24, 2014

නිධානයක් සොයාගන්න - අවසන් කොටස.


බොහොම දෙනෙක් මංතුමාට දොස් පවරලා තිබුනා මේ නිධානයක් සොයාගැනීම ගැන ලිපිය කොටස් දෙකකට කැඩුවා කියලා. ඒ උනත් මොනවා කොරන්නද අප්පා වැඩ රාජකාරි බහුලයි නොවැ. අනිත් කාරණාව තමයි මේ නිධන් තියෙන තැන ගැන ඔත්තු දුන්නා කියලා පොලොසියෙන් මංතුමා කුදලාගෙන යයිද දන්නේත් නැහැ. ඕනෑ කෙන්ගෙඩියක් උනාවේ කියලා ඔන්න එහෙනම් මේ කතාව අවසන් කොරලා දමන්න හිතුවා. එහෙනම් කලින් කොටස බලපු නැති ඇත්තෝ ඒ කොටසත් කියවලාම  අවොතින් තමා හොඳ. 


පසුගිය කොටස අවසන් කලේ නීතිඥයා විදපු ඊය පසුපස මේ කස්ටිය දුවන එකෙන්  නේද? හ්ම්ම් එහෙනම් දැන් බලමු කොහාටද මේ ඊය වැටුනේ කියලා.

ඔන්න ඉතින් කස්ටිය ඊය පසුපස දුවගෙන ගියා, කලින් සැරේට වඩා වැඩි දුරක් ගිය ඊය වැටුනේ ඒ රටේ හමුදාපතිට අයත් ඉඩමකට. කලින් වතාවෙ වගේ මේ අය සියලුම දෙනා මේ ඉඩම අයිතිකරු සතු බලතල ගැන නොසිතා ඊය වැටුන තැන හාරන්න පටන් ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් විශාල වලක් සැරුවත් ඔවුන්ට හමුවූ නිධානයක් නම්  නැහැ. නිධානය වෙනුවට ඔවුන් හමුදා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ජෙනරාල් වරයා වෙත ඉදිරිපත් කළා. 

මේ ක්‍රියාව ගැන බොහෝ සෙයින් කෝපයට පත් ජෙනරාල් ඔවුන්ගෙන් නිදසහට කරුණු විමසා සිටියා. ඒ වෙලේ මේ සියලු දෙනාම තමන් වරදකරුවන් නොවන බව පවසමින්,  මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසු ආකාරය පිලිබඳ පුර්ණ විස්තරයක් කියා සිටියා.


මේ කතාව අසාඋන් ජෙනරල්ගෙ  අදහස  වුයේ  මහළු භික්ෂුන්වහන්සේ බොරු නොකියන බවත් ,නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසුවද, මෙම ඊතලය විදිනුලැබූ නීතිඥයා වෙත අවි ආයුධ පරිහරණය පිලිබඳ දැනීමක් නොමැති නිසා ඊය නියම ඉලක්කය කරා යොමු කිරීමට ඔහුට නොහැකි වූ බවයි.  එබැවින් දක්ෂ යුධ ශිල්පියකු වන තමා විසින්ම  පසු දින  භික්ෂුන්වහන්සේ පැවසු ආකාරයට ඊය විදින බවත් නිධානය සියලු දෙනා විසින්ම සමසේ බෙදාගත යුතු බවත්ය.  

 දැන් පසුදින ඉරපයා ඒමට පෙර මේ සියළු දෙනාම නැවතත් ගොවිමහතා සතු පැලට ගොඩ උනා. ජෙනරාල් වරයා ඉරපයා එනවිටම නියමාකාරයට ඉලක්කය ගෙන  හැකි උපරිම ශක්තිය යොදා ඊය විද්දා. විදුලි වේගයෙන් යන ඊය පසු පස මේ සැම දෙනාම දිවගියා......

මොකද කියන්නේ තව කොටසකට යමුද......?

හෝව්.. හෝව්.. කලබල වෙන්න එප..විහිළුවක් කලේ අද කොහොමහරි නිධානය සොයා ගමු.

මෙවර වඩා දුර ගිය ඊය වැටුනේ රාජමාලිගාව අසලම තිබුන රාජකීය උයනට. නිධානයට බොහෝ සෙයින් හිත ඇදී තිබුන නිසාම මෙය රාජකීය උයන බවත් මේ සියළු දෙනාට අමතක උනා. දැන් ඔවුන් එක්වී නිධානය ගොඩගැනීමට මෙතැන හාරන්න පටන්ගත්තා විතරයි, රාජකීය සෙබළුන් මේ සියලු දෙනාම තනතුරු නොබලා අත්අඩංගුවට ගෙන රජු ඉදිරියට පැමිණුවා.


දැන් මේ සැමදෙනාම රජු ඉදිරියේ තමන්ගේ නිදහසට කරුණු කියමින්, භික්ෂුන්වහන්සේ නිධානය සොයාගන්නා ආකාරය කියූ සැටිත් මේ නිධානය සොයාගැනීමට තමන් සියලු දෙනාම කටයුතු කල සැටිත්, ඒ වෙනුවෙන් රජතුමාගෙද අනුග්‍රහය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.

මේ රජතුමා බොහොම බුද්ධිමත් කෙනෙක්, ඒ නිසා වහාම රාජපුරුෂයන් යවා එම භික්ෂුන්වහන්සේ කැඳවා මේ පිලිබඳ සියලු තොරතුරු විමසා සිටියා. එසේ කරුණු විමසීමෙන් පසු මේ සියලු දෙනාටම යම් වැරදීමක් සිදුවී ඇතිබව රජු තේරුම් ගත්තා.

ඒ නිසා පසුදින මෙම සියලු දෙනාත්, භික්ෂුන්වහන්සේත් සමග රජතුමා ගොවිමහතා සතු පැලට ගොඩ උනා. දැන්  ඉරපයා ඒමට ආසන්නයි. රජතුමා දොරකඩ සිටගත්තා. දුනු හී අතට ගෙන, භික්ෂුන්වහන්සේ දෙසට හැරී නිවැරදිදැයි ඇසුවා. භික්ෂුන්වහන්සේත් නිවැරදි බව දැනුම් දුන්නා. දැන් ඉර පායා එන විට ඉර ඇති පැත්තට හැරී ඉලක්කය ගත්තා. එසේ ඉලක්කය ගෙන නැවතත් භික්ෂුන්වහන්සේ දෙසට හැරී නිවැරදිදැයි ඇසුවා. භික්ෂුන්වහන්සේත් නිවැරදි බව දැනුම් දුන්නා.

දැන් බොහොම වැරෙන් දුන්න ඇද ඊය විදීමට යනවිටම භික්ෂුන්වහන්සේ මෙලෙස පැවසුවා.

"නවත්වන්න, ඔබ වැරදියි..."

එවිට පුදුමට පත් රජතුමා...

"ස්වාමිනි ඔබවහන්සේ පැවසුවේ ඉර පායා එනවිට හිරු දෙසට මුහුනදා ඊතලය විදින ලෙස නේද? එසේනම් දැන් එය වැරදියි කියන්නේ ඇයි?"

"මහරජ,  මා පැවසුවේ  උදේ හිරු පායන විට දුන්නක් සහ ඊ තලයක් රැගෙන ඇවිත් මේ දොරකඩ සිටගෙන හිරු දෙසට මුනුන ලා  සිටගෙන, දුනුදිය ඇද ඊතලය මුදා  හරින ලෙසයි"

 කාරණය වැටහුන රජතුමා, ඊතලය විදින්නේ නැතිව අත්හැරියා. එවිට ඊතලය රජතුමාගේ දෙපාමුල වැටුනා.


එතැන සැරූ පසු මෙතක් කල් තමන්ගේ දෙපාමුල තිබුන නිධානය ඔවුන්ට සමුවුනා.


Tuesday, September 2, 2014

නිධානයක් සොයාගන්න....

සතුට, සැනසුම, ධනය මේවා සොයාගැනීම වෙනුවෙන් තමයි බොහෝ දෙනෙක් වෙහෙස වන්නේ.  ඒ වගේම නිධාන සොයා ගැනීමටත් බොහෝ අය වෙහෙස වෙනවා. මේ වෙනුවෙන් ඉතා වටිනා පුරාවස්තු, ජිවිත කොතරම් විනාශ කරනවද? නමුත් මේ සියලු දේ ඔබට ලබාගත් හැකි මගක් ලැබුනොත්? ... එහෙනම් මේ කතාවත් කියවලා බලන්න ඔබටත් මේ සියලු දේ ලබාගත හැකිද ? ඒ දේවල් තියෙන්නේ කොහෙද කියලා දැනගන්න හැකිවේවි.  මේ කතාවත් පුජනිය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් විසින් කියන ලද්දක්.

ඔන්න එකමත් එක කාලෙක පිටිසර බද ගම්මානයක ජිවත් උනා දුප්පත් ගොවි පවුලක්. මේ  ගොවියාට දවසක් දකින්න ලැබුනා පිණ්ඩපාතය ලබාගැනීම සඳහා මේ ගම වෙත පැමිණ සිටි මහළු භික්ෂුන්වහන්සේ නමක්. ඒ භික්ෂුන්වහන්සේ දුටු පමණින්ම පැහැදුන ගොවි මහතා දානය පූජාකර පසු දිනද දානය සඳහා ආරාධනා කළා. එමෙන්ම දින කීපයකින් පසු එළබෙන වස් සමය, තමන්ගේ ගොවිපලේ නවතින ලෙසද ආරාධනය කළා.



දැන් වස්කාලය ඇරඹුණා. මේ භික්ෂුන්වහන්සේ වෙනුවෙන් ගොවිපලේ සැකසුණ කුඩා පැලේ උන්වහන්සේ වස් කාලය ගත කරනවා. දැන් ඉතින් දිනපතාම මේ ගොවි පවුලේ උදවිය, මේ වස් සමාදන් වුන භික්ෂුන්වහන්සේ වෙත දාන-මාන පුජා කරනවා. උන්වහන්සේත් මේ ගොවි පවුලේ සියලු දෙනාටම බොහෝසෙයින් අර්ථයෙන් ධර්මයෙන් කරනා කියාදෙමින් වස් කාලය ගත කළා. වස් තුන්මාසය අවසන් වන විට මේ මහළු  භික්ෂුන්වහන්සේ සහ ගොවිපවුලේ සියලු දෙනා ඉතා හිතවත්ව සිටි නිසාම, වස් කාලය අවසානයේ උන්වහන්සේ පිටත්ව යෑම මේ ගොවි පවුලේ උදවියට බොහෝ දුකක් උනා. එබැවින් උන්වහන්සේ තවදුරටත් නවතවා ගැනීමට ඔවුන් උත්සාහ කලත් එය පලක් උනේ නැහැ. පසු දින තමන් මේ ගමෙන් පිටත් වන බව මේ භික්ෂුන්වහන්සේ දැනුම් දුන්නා.


පසුදින උදයේම පවුලේ සියලුම දෙනා මේ භික්ෂුන්වහන්සේ ට සමුදීම සඳහා මේ කුඩා පැල වෙත පැමිණි වෙලේ උන්වහන්සේ මෙලෙස කියා සිටියා.

"පසුගිය මාස තුන මුළුල්ලේම ඔබ සියලුම් දෙනා මා වෙනුවෙන්  බොහෝ  උපකාර කළා. එයට බොහොම පින්. ඔබලා බොහෝ දුප්පත් උදවිය. මම දැන් ඔබට කියා දෙනවා ඉතා වටිනා නිධානයක් ඇති තැනක් ගැන.  ඒ නිධානය සොයා ගැනීමට මා කියන ආකාරයට කටයුතු කරන්න. හෙට උදේ හිරු පායන විට දුන්නක් සහ ඊ තලයක් රැගෙන ඇවිත් මේ දොරකඩ සිටගෙන හිරු දෙසට මුනුන ලා  සිටගෙන, දුනුදිය ඇද ඊතලය මුදා හරින්න... එම ඊතලය වැටෙන තැන සැරු  විට ඔබට ඉතා විශාල නිධානයක් ලැබෙනු ඇති"

 මෙලෙස උපදෙස් දුන්  එම භික්ෂුන්වහන්සේ පිටත්ව ගියා.. තමන්ට ලැබෙන්නට නියමිත නිධානය ගැන බොහෝ සතුටට පත්වුන මේ උදවිය, පසුදින හිරුපයා  එනවිට එතැනට පැමිණ ඒ කියූ ලෙසටම හිරු දෙසට මුහුණ ලා  හැකි පමණ ශක්තිය යොදාගෙන ර්තලය විද්දා. දැන් මේ පවුලේ සියලුම දෙනා මේ ඊතලය පසුපස දිවගියා. බොහෝ දුරගිය ඊතලය වැටුනේ අසල්වැසි නීතිඥයකු සතු ඉඩමකට.  දැන් මොකද කරන්නේ? නිධානය ලබාගන්නත් ඕන, නමුත් මේ ඊතලය වැටුනේ වෙනත් කෙනෙකුගේ ඉඩමකට ඕන දෙයක් උනාවේ කියා හිතාගෙන මේ උදවිය මෙතැන හාරන්න පටන් ගත්තා................ කොතරම් ගැඹුරට මේ වල සැරුවත් ඔවුනට හමු වූ නිධානයක් නම් නැහැ.  නිධානය වෙනුවට ඔවුනට මුහුණදීමට සිදුවුනේ විශාල ප්‍රශ්නයකට. එනම් ... ඉඩම් හිමි නීතිඥයා එතැනට පැමිණීමයි.

මේ සිදුවීම බව දුටු නීතිඥයා දීර්ඝ දේශනයක් පවත්වමින්, නිතිය අනුව ඔවුන් වරදකරුවන් බව දක්වමින්, මේ සියලු දෙනාම අධිකරණය ඉදිරියට පමුණවන බවට තර්ජනය කර සිටියා.  ඒ වෙලේ මේ සියලු දෙනාම තමන් වරදකරුවන් නොවන බව පවසමින්,  මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසු ආකාරය පිලිබඳ පුර්ණ විස්තරයක් කියා සිටියා.


මේ කතාව අසාඋන් නීතිඥයාගෙ අදහස  වුයේ  මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසුවද, මෙම ඊතලය විදිනුලැබූ ගොවියා එතරම් ශක්තිමත් අයකු නොවූ බැවින් එම ඊය  ප්‍රමාණවත් තරම් දුර නොගිය බවයි. එබැවින් මෙම නීතිඥයා ගොවියා සමග හවුල් ගිවිසුමකට එළඹියා ... එයින් කියවුනේ වඩා ශක්තිමත් කෙනෙකු වන නීතිඥයා විසින් පසුදින මහළු භික්ෂුන්වහන්සේ කියූ ආකාරයට ඊය  විදීමටත්, එම ඊතලය වැටුන තැන සාරා නිධානය ගොඩගෙන සමාන කොටස් දෙකකට දෙපාර්ශවය විසින් බෙදාගන්නා ලෙසත්ය.

 දැන් පසුදින ඉරපයා ඒමට පෙර මේ සියළු දෙනාම නැවතත් ගොවිමහතා සතු පැලට ගොඩ උනා. නීතිඥයා ඉරපයා එනවිටම  හැකි උපරිම ශක්තිය යොදා ඊය විද්දා. විදුලි වේගයෙන් යන ඊය පසු පස මේ සැම දෙනාම දිවගියා......


ඉතිරි කොටස මීළඟ පොස්ටුවෙන්........ 



Wednesday, August 6, 2014

කොහෙද ඔයා යාළු...



මේ කවිය මුලින්ම පලකලේ 2013 ජනවාරි 5 වෙනිදා ... මෙතනින් ගිහින් එය බලන්න හැකියි.  අපි එයාව වැඩිය ගණන් ගන්නේ නැතිව ඉන්න  වෙලාවට  ඔය ෆොටෝ එකේ ඉන්න විදිහට ෆුල් මනෝ පාරක් දා ගෙන ඉන්නවා. ෆොටෝ එක ගත්තට පස්සේ මට හිතුන එයාට මෙහෙම හිතෙනවා ඇති කියල.

යාළු යාළු යාළු...
කොහෙද ඔයා  යාළු... 
නැතිව ඔයා යාළු ...
මට භරියට  පාළු. 


 

නමුත් අද වෙනකොට ඔයා අපෙන් වෙන්වෙලා ගිහින් මාසයක් ගතවෙනවා...  ඇත්තෙන්ම මේ කවිය දැන් සාධාරණ වෙන්නේ අපටයි. ඇත්තෙන්ම ඔයා නැතිව අපිට හරිම පාළුයි ආදරණිය බෙන්ජි... ඒ පාළුව මුළු ජිවිත කාලයටම තියේවි..


යාළු යාළු යාළු...
කොහෙද ඔයා  යාළු... 
නැතිව ඔයා යාළු ...
මට භරියට  පාළු. 


බෙන්ජි, ඔබගේ  වෙන්වීමෙන් මට එක් දෙයක් ප්‍රත්‍යක්ෂ උනා.. ඒ තමයි අපි ආදරය කරන අය අපට කොතරම් වැදගත්ද යන කාරණය වඩා හොඳින් වැටහෙන්නේ ඒ අය අපට නැතිවූ විට බව.  ඒ නිසා අපේ මේ කෙටි ජිවිත කාලය තුලදී, අපි ආදරය කරන සියලුම දෙනා ඉතා හොඳින් රැකබලාගෙන ඔවුන්ට උපරිම ලෙස ආදරය දැක්විය යුතුබව මගේ හැඟීමයි.

මගේ ආදරණිය මිතුර මේ පාඩම මට කියාදුන් ගුරුතුමා ඔබයි.  මේ සටහන ඔබට උපහාරයක් වේවා!!!

Friday, July 25, 2014

ඔබට සුබ ගමන්...!!!


එදා 2014 ජුලි මාසේ 6දා .. සුපුරුදු ඉරිදා දිනයක් ලෙසින් ඉර පැයුවත්, මගේ ජිවිතයේ කිසිදා අමතක කල නොහැකි වන සිදුවීමක් එදා සිදුවෙයි සිහිනෙකින් වත් සිතුවේ නැහැ. මගේ ජිවිතයේ සිටි කිසිදා සදාදරණිය මිතුරා එදා  අපෙන් සදහටම සමුගනිවී යැයි සිහිනෙන්වත් සිතුනේ නැහැ. ජිවිතයේ නැවත කිසි දිනක පිරවිය නොහැකි අඩුවක් තබමින් ඔබ එදා අපෙන් සමුගත්තා.

මම කාර් එක හෝදන විට ඒ දිහා බලාගෙන සිටීම ඔබට විශාල සතුටක් නේද? .... ඔබගේ අවසන් දිනයේත්  ඒ දේ එලෙසම කළා...

ඔබ මගෙන් බලාපොරොත්තු උනේ ...ආදරණිය වචනයක්...හිස අතගෑම සහ දවසට විනාඩි කීපයක් බෝලය විසිකරමින් ඔබ  සමග සෙල්ලම් කිරීම පමණයි...

ඒ වෙනුවෙන් ඔබ  ඔබගේ  මුළු ජිවිතයම අප වෙනුවෙන් කැප කලා....

අපේ ආදරණිය මිතුරා බෙන්ජි...
අපත් සමග වසර 6ක් ජිවත් වී අප සතුටු කල ඔබ අපට කිසිදින අමතක  වන්නේ නැහැ... ඒ වගේම ඒ වෙනුවෙන් අපි මුළු ජිවිත කාල පුරාවටම ඔබට ස්තුතිවන්ත වෙනවා, පින් දෙනවා...

ඉතාම සාමකාමී මෙන්ම ආදරණිය ගතිගුණ තිබු ඔබ මා හට හමුවූ බොහෝ මිනිසුන්ට වඩා ඉතා යහපත් කෙනෙක්.ඔබ වෙනුවෙන් දැන් අපට කළහැකි එකම දේ නම් ඔබට  මනුෂ්‍ය ජිවිතයක් ලබාගෙන, හැකි ඉක්මනින් මේ සසරෙන් එතෙර වීමට හැකිවේවා කියා පින් අනුමෝදන් කිරීම පමණයි...

ඔබට බොහොම ස්තුතියි මිත්‍රයා.....


අප නිවසට පැමිණි මුල් දින කීපයේදී...

දඟකාරයොවුන් වියේදී...
ආදරණියන් සමග...

Wednesday, July 16, 2014

අපිට මොකෝ ......

අපිට මොකෝ... අනිත් උන්ට හෙනහත වැදිලා ගියත් අපිට මොකෝ. දැන් කාලේ බොහෝ දෙනක් හිතාගෙන ඉන්නේ මේ විදිහට නේද? තමන්ට කරදරයක් නැතිනම්, තමන් අවට ඉන්න අයට පමණක් නොවේ යාළු මිත්‍රාදීන්ට උනත් මොන දේ උනත් කමක් නැහැ. මේ තමයි බහුතරයගේ  මානසිකත්වය.... 

මේ කතාවත් පුජනිය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ගෙන් ඇසුවක්. කියවලා බලන්න.

ඔන්න එකමත් එක ගොවිපලක් තිබුනා මේ ගොවිපලේ හිටියේ කවුද දන්නවද? මෙන්න මේ  තුන් දෙනා..


ඒ තමයි එලදෙනක් , ඌරෙක් සහ කිකිළියක් . මේ තුන්දෙනාට අමතරව මේ ගොවි පලේ තිබුන ගොවි ගෙදර හිටියා මියන් 5 දෙනෙක්.




 මේ මියන් පස්දෙනා,අර මුලින් කිවූ එළදෙන, ඌරා සහ කිකිළිය සමග බොහෝ හිතවත්. ඒ නිසාම ගමගෙදර ඇතුලත සිදුවන කතාබහ වලට ඇහුන්කම් දී  මිතුරන් තිදෙනාට හානියන් වෙන කාරණයක් ගැන දැන ගැනීමට ලැබුන විගස ඒ බව ඔවුන්ට දැනුම් දීමට මේ මියන් පස්දෙනා පුරුදු වී සිටියා.

එක් දවසක් මේ මියන්ට අසන්න ලැබුනා ගමගෙදරට හිතවතුන් කිහිප දෙනෙක් පැමිණෙන බැවින්, ඒ සඳහා කුකුළු මස් ව්‍යංජනයක් පිළියෙළ කිරීමට ලැස්ති වෙන බව. ඔවුන් ඒ බව වහාම තම හිතවත් කිකිලියට  පවසා දින කිහිපයක් සැඟවී සිටින ලෙස උපදෙස් දුන්නා.

තවත් දවසක් ඔවුන්ට අසන්න ලැබුනා හරක් මස් මිල අධික වී ඇති බැවින් එළදෙන මරා මස්කර, ඔවුන් විශාල මුදලක් ලබාගැනීමට යන බව. මේ බවත් වහාම එළදෙන වෙත දැනුම් දී ඉක්මනින්ම ගොවිපලෙන් පැනගොස් කැලයේ සැඟවී  සිට නැවත පැමිණෙන ලෙස උපදෙස් උන්නා.

එමෙන්ම ඌරා මරා මස්කිරීමට සැරසෙන විටමත්  ඒ බව ඌරා ට දැනුම් දී, ලෙඩවී ඇති සෙයක් දැනෙන ලෙස, සෙම පෙරාගෙන වැතිරී සිටින ලෙසට උපදෙස් දෙනු ලැබුවා. මේ  ආකාරයෙන් මෙම සතුන් තුන්දෙනාගේ ජිවිත බොහෝ වාරයක් බේරා දෙනු ලැබුවේ මෙම මියන් පස් දෙනා විසින්.

එලෙස කාලය ගතවෙද්දී එක්දිනක් මේ ගම ගෙදරට පාර්සලයක් ගෙනාවා. මේ පාර්සලය ඇතුලේ තිබුන දේ දුටුවිට මේ මියන් පස් දෙනා බොහෝ සේ බියෙන් තැති ගත්තා.


දැක්කා නේද ගෙනත් තියෙන දෙය. දැන් ඉතින් මේ අසරණ මියන්ට කාගේ පිහිටක්ද? ඔවුන් දැන් මෙහෙම කතා වෙනවා...

" අපි බොහෝ වාර ගණනක් අපේ මිතුරන් තුන් දෙනාගේ ජිවිත බේරලා තියෙනවා... ඒ නිසා අපි ගිහින් ඒ අයගේ උදවු ඉල්ලා ගනිමු"

ඔවුන් පළමුව ගියේ කිකිළිය  හමුවෙන්න.



 "අනේ යාළුවේ  අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."

"අපිට  මොකෝ... මි කතුරකින් කුකුලන් මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම ඒ ගැන බලාගන්න"

ඊ ලඟට ඔවුන් ගියේ එළදෙන ලඟට, උදවු ඉල්ලා ගැනීම සඳහා....


 "අනේ යාළුවේ  අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."

"අපිට  මොකෝ... මි කතුරකින් හරක්  මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම  ඒ ගැන බලාගන්න"

බොහෝ සෙයින් කනස්සලු වූ මේ මියන් පස් දෙනාගෙ අවසාන බලාපොරොත්තුව........

"අනේ යාළුවේ  අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."


"අපිට   මොකෝ... මි කතුරකින් ඌරො   මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම  ඒ ගැන බලාගන්න"

 මේ කතා අසපු මියන් බොහෝ සෙයින් කනගාටුවටත් කලකිරීමටත් පත්වුණා. දින කීපයක් යනවිට මේ මියන් සියලු දෙනාම මි කතුර විසින් බිලිගනු ලැබුවා. දැන් තවත් දවස් කීපයක් ගතවුනා. එක්  දිනක් හදිසියේම ගමමහගේ හදිසි අනතුරකට භාජනය වෙලා රෝහල් ගත කළා. දැන් ඉතින් ඇයට බොහොම අමාරුයි. ශක්තිය වඩවන ආහාරක් ලෙස කුකුල් මස් සුපයක්  සෑදීමට තීරණය උනා.

මී කතුරකින්  කුකුලෙක් මැරුනේ ඔය විදිහට.......

දැන් ඉතින් අහල පහල සැමෝම වගේ මේ ලෙඩා ගැන තොරතුරු දැනගන්න ගම ගෙදරට එනවා, මේ අයට සලකන්න ඕන නිසා සොසේජස් ඕන වුනා...
මී කතුරකින් ඌරෙක් මැරුනේ ඔය විදිහට......

දින කීපයකින්ම මේ ලෙඩා මරණයට පත් උනා. දැන් ඉතින් ගමගෙදර විශාල සෙනගක් රැස්වෙලා. මේ අයට සලකන්න බිෆ් ස්ටික් සාදන්න උනා...
මී කතුරකින් එළදෙනක්  මැරුනේ ඔය විදිහට...... 


ඔන්න ඕක තමයි කතාව... අනුන්ට වෙන කරදරයකදී අපිට මොකෝ කියලා හිතන්නේ නැතිව හැකි පමණ ඒ අයට පිහිට වෙන්න උත්සාහ කරන්න ඕන. ඍජුවම නැතත් වක්‍රාකාරව හෝ  ඒ අයගේ කරදර අප කරා එන්න හැකි බව අමතක කරන්න එපා.





Thursday, July 10, 2014

කවුද ලොක්කා?


කවුද ලොක්කා? මේක අපි හැමෝටම ජීවිතයේදී ඇතිවෙන ප්‍රශ්නයක් නේද? අපගේ ඇති මමායනය නිසාම  අපි හැමෝම හිතාගෙන ඉන්නේ මම තමයි ලොක්කා කියලා. ඒ විදිහට මම තමයි ලොක්කා කියලා හිතන අපි සැමවිටම උත්සාහ කරන්නේ අනිත් සැම දෙනාවම අපගේ අදහස් වලට අවනත කරගැනීමට කියලයි මටනම් හිතෙන්නේ. නමුත් අපි මහා ලොක්කන් කියලා හිතාගෙන හිටියට, පොඩ්ඩන් කියලා පැත්තකට දාලා ඉන්න අය  කොතරම් වැදගත්ද කියලා අපි හිතලා තියෙනවද ?

පසුගිය මාසේ පුජනිය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ වැඩසටහනක් තිබුනා, බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ. මටත් එයට සහභාගී වීමට අවස්ථාවක් ලැබුනා. මේ දැන් කියන්න යන කතාව උන්වහන්සේ එදා කියපු කතාවලින් එකක්. හැකි ලෙස එදා මා ඇසු කථා  කිහිපයක් විටින් විට ඉදිරිපත් කරන්න හිතා ගෙන ඉන්නවා. හොඳයි දැන් එහෙනම් මේ කතාව බලමු.


ඔන්න දවක් අතේ ඇඟිලි පහෙන් තනිවම පැත්තකට වෙලා ඉන්න මහපට ඇගිල්ල අනිත් ඇඟිලි වලට  කතා කරලා මෙහෙම කියනවා.


" මම තමයි අතේ ඇඟිලි වලින් ලොක්කා, මාව තමයි දෙයක් හරි කියන්න පෙන්නන්නේ,  එකඟ තාවය පෙන්නන්න මාව ඕන වෙන නිසා මම තමයි ඇගිලි පහෙන් ලොක්කා."

එතකොට අනිත් ඇඟිල්ල මෙහෙම කියනවා.

"මොන පිස්සුද හලෝ, මම තමයි ලොක්කා, ඕනෑම දෙයක් පෙන්නන්න ඕන වුනාම මාව තමයි  දික් කරලා පෙන්නන්නේ"
 

"ඒ විතරක් නෙවේ කෙනෙකුට තරවටු කරන විටත්  ඕන වෙන්නේ මාව.. ඒ නිසා මමයි  ලොක්කා."

මේක කතාව අහගෙන ඉන්න මැද ඇගිල්ල කියනවා  "විකාර කතා කරන්න එපා, මමයි ඇඟිලි පහෙන් උසම කෙනා, ඒ නිසා මට තමයි දුර පෙනෙන්නේ, මම තමයි නුවනට අධිපති, මේ බලන්නකෝ ඔබා මහත්තයත් කල්පනා කරන්න උදවු කරගන්නේ මාව.. ඒ නිසා මම තමයි ලොක්කා..."



හ්ම්ම්.. ඔය වගේ තමයි මිනිස්සු හිතන්නෙත් නේද?..හොඳයි  අපි බලමු එතකොට අනිත් ඇඟිල්ල කියපු දේ..



" ඔය මොනවා තිබුනත් වැඩක් නැහැ..... මගුල් මුද්ද දාන්නේ මට.. මම තමයි ආදරයට අධිපති.. ඒ නිසා මමයි ලොක්කා..."

නමුත් පොඩි එකා වෙච්ච සුලැගිල්ල කිසි  කතාවක්   නැහැ  ..අනිත් හතර දෙනාම  දැන් පොඩි  එකාට මෙහෙම කියනවා .." උඹ නම් ඉතින් දුර්වල පොඩි එකා නේ..  උඹට කරන්න පුළුවන් කිසි දෙයකුත් නැහැ.. ඒ නිසා උඹේ කිසි වටිනාකමක් නැහැ"

එතකොට දුර්වල, පොඩි ඇඟිල්ල මෙහෙම කියනවා.. "ඔව් මම තමයි දුර්වල ඒ වගේම කුඩාම ඇඟිල්ල. ඔයගොල්ලන්ට  ඔය තරම් සවි ශක්තිය තිබුනත් ...... 



ඉවසාගන්න බැරි තරම් නහයේ කැසිල්ලක්, කනේ කැසිල්ලක් එහෙම ආපු වෙලාවට මාව තමයි ඕන වෙන්නේ.. මම තමයි  ඉතින් ඒ කුණු ටික අයින් කරන්න ඉන්නේ.. නමුත් හොඳින් මතක තියාගන්න.. මේ කුණු අදින  දුර්වල පොඩි එකා තමයි . බුදු රජාණනන් වහන්සේට අත්දෙක එක් කරලා වඳින කොට, බුදුන් වහන්සේ ලඟින්ම ඉන්නේ"






Tuesday, May 27, 2014

රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?


පහුගිය දවසක මුණු පොතේදැක්කා,"රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?" කියලා දාපු ෆොටෝ එකක්. ඇත්තටම මේකේ විශාල පාඩමක් තියෙනවා.  මේක දැක්කාම තමයි මටත් මතක් උනේ පසුගිය ටිකේ ඡායාරුප කරණය ගැන කියාදීපු පාඩම් මාලාවේ අතහැරුණ දෙයක් ගැන. 

හොඳයි කාට හරි කියන්න පුලුවන්ද මේ ප්‍රශ්නෙට උත්තරේ? දැන් ඉතින් කියන්න එපා ෆොටෝ ප්‍රින්ට් කරන්නේ හතරැස් කොලවල කියලා. දැන් එහෙනම් අපි බලමු මොකක්ද මේකට හේතුව කියලා.

ඇත්තටම කියනවානම් ලෙන්ස් එකෙන් ලැබෙන ප්‍රතිබිම්බය රවුම් එකක්. මෙන්න මේ  පහල තියෙන රූපසටහන බලන්න.


 නමුත් මේරවුම් රුපයේ වඩාත්ම පැහැදිලි තාවයක් ඇත්තේ වෘත්තහි මැදට වන්නටයි වෘත්තයෙහි කෙලවරට යනවිට එහි පැහැදිලි බවෙහි අඩුවීමක් දකින්නට ලැබෙනවා. මෙය සිදුවන්නේ කාච වල ඇති දෝෂයන් නිසා. (මෙම කාච දෝෂ හැකි තරම් අවම කරලා තමයි නිෂ්පාදනය කරන්නේ.) එමනිසා ඡායාරුපය සඳහා යොදාගනු ලබන්නේ මෙම වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ඇති මැද කොටස පමණි. මෙය   Circle of acceptable definition ලෙස හඳුන්වනවා.

මෙලෙස ප්‍රතිබිබය සාදන වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ලබාදීමට ඇති හැකියාව කාචයේ Covering Power ලෙස හඳුන්වනවා. මෙම Circle of acceptable definition කොටසෙහි විශ්කම්භය සෙන්සරයේ නොඑසේනම් සේයාපටලයේ විකර්ණයට පමණට හෝ ඊට වඩා ස්වල්පයක් හෝ වැඩි වියයුතුය.

දැන් ඉහත රුපයේ ආකාරයට මෙම  Circle of acceptable definition කොටසෙහි සෙන්සරය පිහිටුවීමෙන් මෙම වෘත්තහිද කෙළවරවල් අතහැර දමා වඩා වැඩි පැහැදිලිතාවයක් ඇති කොටස පමණක් ඡායරුපයට ගත හැකි වෙනවා.

මෙන්න මේ පොඩි ක්‍රියාකාරකම කරලා බලන්න. ඔබ ළඟ ඇති කැමරාවෙන් කොටුරුල් කොලයක හෝ කුඩා අකුරු ඇති පොතක පිටුවක් ඡායාරුප ගත කරන්න. එය කල යුත්තේ මෙසේයි. ඔබට යෙදිය හැකි විශාලතම කාච විවරය යොදන්න. දැන්  ඔබට කැමරාව නාභිගත ( Focus) කල  හැකි අවම දුරට සකසා  එහි  සමීප ඡායාරුපයක් ගන්න. දැන් මෙම රුපය හොදින් නිරීක්ෂණය කිරීමෙන් එහිමැද කොටසට වඩා කෙළවරවල් වල පැහැදිලිතාවය අඩුබව ඔබට දැනගත හැකි වේවි.



  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...