 |
මේ පින්තුරය ගුගල් එකෙන් |
ආයුබෝවන් යාලුවනේ, ඔන්න බොහොම කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා... මං තුමා ඉතින් ඔය එක එක විදිහේ මෙහෙයුම් කරනවානේ, මතක නේද අර
"Operation Eagle" මේකත් ඒ වගේ මෙහෙයුමක් තමයි, නමුත් ගලවා ගැනීමේ මෙහෙයුමක් (Rescue Mission) ගැන. එහෙනම් බලමු මොකක්ද මේ කියලා.
මතක ඇති නේද මම මිට කලින් ලියපු
"කිරලා මැනලා හදාපු කූඩුව" බලපු නැති උදවිය බලලා අවොතින් තමයි හොඳ. හ්ම්ම්.. මතක් උනා නේද? ඔන්න එහෙනම් කතාව.
මේ කිරල කූඩුව දැකලා ෆොටෝ කෑලි ටික අල්ලාගෙන ආපු මං තුමා ඇතුළු ගෙදර උදවිය පහුවෙනිදත් ඔතනට ගියා තව ෆොටෝ කෑලි කිහිපයක් ගන්න හිතාගෙන. නමුත් එතනට යනකොට කූඩුව තිබුන තැන හිස්. මට ඉවෙන් වගේ තේරුනා මේ කිරල පවුලට මොකක් හරි ඇබැද්දියක් වෙලා කියලා. ඉතින් අපි ටිකක් විපරම් කොරලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න ටිකක් ඇතට වෙන්න කිරල ජෝඩුව මරහඬ තියනවා. ..
මතක නේද කිරල කූඩුව ගැන ලියපු පොස්ට් එකදී මං තුමා කියලා තිබුනා , "මෙයාලා කූඩුව හදාපු තැන වැරදියි "කියලා. ඇත්තෙන්ම මේ කූඩුව හදලා තිබුන තැන නිසා තමයි මේගොල්ලන්ට මේ කරදරයට මුහුණ දෙන්න වුනේ. මේ කූඩුව හදලා තිබුනේ ශරීර සුවතාවය සඳහා පුරවැසියන්ට ඇවිදින්න හදලා තියෙන මංතීරුවක් අසල. මේ මං තීරුවේ එක පසෙකට වන්න ඇලක් ගලාගෙන යනවා. අනිත් පසින් අඩි දෙකක් විතර ගැඹුර තියෙන කොන්ක්‍රීට් කානුවක්, ඊට එහා පැත්තෙන් අඩි 6 පමණ උස කණ්ඩියක් සහ ඊට යාබදව ප්‍රධාන මාර්ගය. මෙම ප්‍රධාන මාර්ගයේ අනිත් පසින් වෙල් යායක්. ඔහොම කීවට හිතාගන්න බැහැ නේද? ඔන්න එහෙනම් මේ ෆොටෝඑක බලන්න.
දැන් තේරුනා නේද? ඔන්න ඕක තමයි කියන්න ඡායාරුපයක් වදන් දහසක් වටි ලියලා. එහෙනම් ඉතින් මං තුමා ඡායරුපකරණය ගැන ලියලා තියෙන පොස්ට් බලලා ෆොටෝ ගන්න පටන් ගත්තොතින් හොඳා. හා.. හා.. ෆොටෝ ගන්න පස්සේ පුළුවන්, දැන් යමු අපේ කතාවට. කිරලා කූඩුව හදලා තිබුනේ ඔය වැලි පාරේ ඇල අයිනට වෙන්න තියෙන තණකොළ තීරුවේ...
දැන් තේරෙනවා නේද කුවුව හදාපු තැනෙ ඇති ප්රශ්නය. පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් පැටවූ ටික ඇලට වැටෙනවා. නමුත් හොඳ වෙලාවට මේ පැටවූ ටික ඇලට වැටිලා නැහැ, නමුත් අනිත් පැත්තේ තියෙන කාණුවට වැටිලා.
මේ කානුව අඩි 2ක් විතර ගැඹුරුයි. මොනමවිදිහකින් වත් මේ පැටවුන්ට මේ කානුවෙන් ගොඩ එන්න බැහැ. ලොකු කිරිල්ලි පාර අද්දර ඉහලට වෙන්න ඉඳන් කෑ ගසමින් පැටවුනට අඬගසනවා. ඒ අතරම අනිත් කුරුල්ලා (තාත්තා වෙන්න ඇති) වටේ කෑ ගසමින් කිසිවෙකුටත් ලං වෙන්න දෙන්නේ නැහැ.
පැටවූ තුන්දෙනා පුදුමාකාර වෙහෙසක් ගන්නවා කානුවෙන් ගොඩවෙලා අම්මා ලඟට යන්න. ඒ විතරක් නෙවේ මුන් තුන්දෙනා කානුව දිගේ එහෙ මෙහේ දුවනවා ගොඩවන්න තැනක් හොයාගන්න. පැටවූ ටික ඉන්න අසලම කාණුවේ තියෙනවා විශාල ගලියක්, කාණුවේ වතුර එහා පැත්තේ තියෙන ඇලට යන්න හදාපු. මම වහාම එතන ඇති අනතුර දැක්කා. දැන් ප්‍රථම කාරිය විය යුත්තේ මේ ගලි කට වහන එක. කොහොම හරි ඒ අහල පහලින් ගෝනියක් හොයාගන්න හැකිවුනා. එක ගලිය අසලට පැටවුනට යන්න බැරි වෙන්න මග අහුරන්න උපයෝගී කරගත්තා.
දැන් විනාඩි 45 විතර මේ දෙස අපි බලාගෙන හිටියා. කිරලා අම්මා කෑ ගහමින් පාරෙන් එහා පැත්තේ තියෙන වෙල්යාය දෙසට පියාඹනවා. නැවත මුලින් සිටි තැනට ඇවිත් නැවතත් කා ගසනවා. අපි තේරුම් ගත්තා මේ පැටවූ ටික වෙල්යායට ගෙනියන්න තමයි මේ උත්සාහ කරන්නේ කියලා. පැටවුනට ඉතා වෙහෙස බවපෙනුනා. එකවරම පැටියෙක් ඇදගෙන වැටුනා. මම හිතුවේ ඌ වෙහෙසටම මැරුණා කියලා.අපි හැමෝටම බොහොම දුක හිතුනා. අපි තීරණය කළා මේ කිරල පවුලට උදවු කිරීමට.
මම පොඩි පුතාට කිවා අපි මේ පැටවූ ටික අල්ලාගෙන අනිත් පැත්තේ තියෙන වෙලට ගෙනියමු කියලා. ඒකට කැමති උන පොඩි පුතා කාණුවට බැස්සා විතරයි අනිත් පැටවූ දෙන්නා කානුව දිගේ දුවන්න ගත්තා. මැරිලා වගේ හිටපු එකා එහෙමම හිටියා. මෙයා ඉස්සෙල්ලම ඒ පැටියා අතට ගත්තා. ඌ මැරිලා නැති බව අපිට තේරුනා. මගේ බිරිඳ ඉක්මනටම සිරි මල්ලක් හොයාගත්තා. ඉස්සෙල්ලම මේ පැටියව ඒ මල්ලට දැම්මා.
අපි මේ වැඩේ කරනකොට කිරල ජෝඩුව තේරුම් ගත්තා අපි යම් ආකාරයකින් උදවු කරන්න සැරසෙන බව. ඒ දෙන්නාම පාරෙන් අනිත් පැත්තේ වෙල්යාය අසලට ඉගිල ගිහින් එතැන් ඉඳන් කෑ ගසන්න උනා.
දැන් කොහොම හරි බොහෝ වෙහෙස වෙලා අනිත් පැටවූ දෙන්නත් අපේ පොඩි පුතා අල්ලා ගත්තා. ඊට පස්සේ මේ තුන්දෙනාවම වෙල්යාය අසලින් ගෙනිහින් තැබුවා. එහෙම තැබුවා විතරයි කිරල ජෝඩුව ඒ අසලට ඇවිත් අපිටත් තැන්කිව් පාරක් දාහෙන පැටවූ ටික බොහොම පරිස්සමින් වෙල්යාය දිහේ ඒ අසල තිබුන ලඳු කැලෑවට රැගෙන ගියා.
 |
අම්මයි තාත්තයි පැටවූ මැදි කරන් යන අපුරුව.. |
මේ කරපු සත්කාරිය ගැන අපි තුන්දෙනාටත් බොහොම සතුටුයි. මේ වගේ උදවුවක් අවශ්‍ය උන වෙලාවක අපි හැමෝම ඒ අහිංසක සතුන්ට උදවු කලොත් ඉතා හොඳයි නේද.
ටෙලිපොන් නම්මරේ ගහක ගහල තියන්න.උදව් ඕන උනොත් ඉල්ලනියි නේ.. හැක්
ReplyDeleteඅයිලේ. ලස්සන පිත්තුර ටික. උඹල කරපු වැඩෙත් හොදා.. වල්කම් බැක් කිව්වා
ස්තුතියි දේශා
Deleteහොඳ වැඩක්. මිනිස්සුන්ගෙ අනවධානය හින්ද ඔය වගේ සත්තු කොච්චර මැරිල යනව ඇද්ද.
ReplyDeleteඔව් ඔබ හරි ප්‍රසන්න
Deleteඒ කරපු උදව්ව ඒ අසරණ සත්තුන්ට මොන තරම් ලොකු දෙයක්ද...
ReplyDeleteඒ සතුනට විතරක් නෙවේ ලොකු පුතේ, පරිසරයටත් එය උදවුවක් නේද
Deleteඅහිංසක සතෙකුට කරන උපකාරය විශාල පිනක්.
ReplyDeleteහැබැයි මෙයාලා නිසා යුද්ද කාලේ අපිට වාසි අවාසි දෙකම තිබුනා. අපේ කඳවුරු සීමාවට එපිටින් රෑට කිරල්ලු කෑ ගහනවානම් අපි විමසිලිමත් වෙනවා සතුරන්ගේ පැමිණීමක් බවට. එය ඇත්ත වූ අවස්ථා තිබෙනවා. එමෙන්ම සතුරාට පහරදීමට රාත්‍රියේ ඉදිරියට යනවිට මෙයාලා කෑගසමින් අපිට කරන බාධාව සතුරාට අනතුරු ඇඟවීමක් වෙනවා.
ඒ මේ සතුන්ට ජාති, ආගම්, කුල මල බේද නැති හින්දා. ඔවුන්ගේ පරිසරයට අමුත්තෙක් ඇතුළු උනාම ඒ අවට සියලු දෙනාටම දැනුම් දෙනවා...
Deleteඅයිලාෂ්ට පිං... අර අසරණ පවුලට උදව් කළාට. (ඒ කිරල්ලුන්ට පිං, අයිලාෂ් ආපහු ලියනවට...)
ReplyDeleteඩ්රැකීයාටත් පිං අපිව අමතක නොකලාට...
Deleteඅමතක වෙයිද, ඒ කාලෙ අපි කරපු බ්ලොග් කෙරුවාවෙ හැටියට?
Deleteහප්පා සෑහෙන කාලෙකින්.. හොල්මන් එහෙම කීයක් මේ පැත්තේ පදිංචි වෙලා හිටියද?
ReplyDeleteවැඩේ නම් පංකාදුයි. ඔය සත්තු ඉන්නවා නේද? උන් බොහොම නුවනක්කාරයි. තමන්ට උදව්වක් කරන්න එන කෙනෙක්ව ලේසියෙන් අඳුරගන්නවා..
ආ තව එකක්- ඒ දවස් වල නොකියා 6220 එකකින් ෆොටෝ ගහපු මම දැන් කැමරාවක හිමි කාරයෙක්!
ෂා.. අඟහරුවෝ කැමරාවක් ගත්ත එක නියමයිනේ, අඟහරු ලෝකේ ෆොටෝ ටිකක් දාපන් අපිටත් බලන්න.
Deleteතුරුහිස හාදු දිදී උන් කිරලුන්
ReplyDeleteකොහේ ගිහින්ද ඉගිල්ලී ……
දැන් නෙවැ තේරුනේ අයිලාෂ් බොස් උන්ට ට්‍රාන්සර් එකක් දීල කියල :D
මල්ලි මොකද උඹ ටියුබ් ලයිට් මොඩල් වෙලාද?
Deleteමේ කමෙන්ට් දකීද දන්නෙ නෑ ලේට් කමෙන්ට් නිසා. ඒත් ඔහොම ඒව ගන්න හම්බ වෙන්නෙ ටික දෙනාටයි.ඊටත් දුර ඉඳල ගන්න කොට පැහැදිලි නෑ. හැබැයි මේ පින්තූර නියමයි. පුදුමයි උන් ඉගිල්ලුන නැති එක පොටෝ ගද්දි.
ReplyDeleteමම උන්ට කිවා ඉගිල්ලෙන්නේ නැතිව ඉන්න ෆොටෝ ටිකක් අරන් බ්ලොග් එකට දාන්න යන්නේ කියලා.. එහෙම කියුවට පස්සේ මුන් ඉගිලුනේ නැහැ.
Delete