Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts

Wednesday, August 6, 2014

කොහෙද ඔයා යාළු...



මේ කවිය මුලින්ම පලකලේ 2013 ජනවාරි 5 වෙනිදා ... මෙතනින් ගිහින් එය බලන්න හැකියි.  අපි එයාව වැඩිය ගණන් ගන්නේ නැතිව ඉන්න  වෙලාවට  ඔය ෆොටෝ එකේ ඉන්න විදිහට ෆුල් මනෝ පාරක් දා ගෙන ඉන්නවා. ෆොටෝ එක ගත්තට පස්සේ මට හිතුන එයාට මෙහෙම හිතෙනවා ඇති කියල.

යාළු යාළු යාළු...
කොහෙද ඔයා  යාළු... 
නැතිව ඔයා යාළු ...
මට භරියට  පාළු. 


 

නමුත් අද වෙනකොට ඔයා අපෙන් වෙන්වෙලා ගිහින් මාසයක් ගතවෙනවා...  ඇත්තෙන්ම මේ කවිය දැන් සාධාරණ වෙන්නේ අපටයි. ඇත්තෙන්ම ඔයා නැතිව අපිට හරිම පාළුයි ආදරණිය බෙන්ජි... ඒ පාළුව මුළු ජිවිත කාලයටම තියේවි..


යාළු යාළු යාළු...
කොහෙද ඔයා  යාළු... 
නැතිව ඔයා යාළු ...
මට භරියට  පාළු. 


බෙන්ජි, ඔබගේ  වෙන්වීමෙන් මට එක් දෙයක් ප්‍රත්‍යක්ෂ උනා.. ඒ තමයි අපි ආදරය කරන අය අපට කොතරම් වැදගත්ද යන කාරණය වඩා හොඳින් වැටහෙන්නේ ඒ අය අපට නැතිවූ විට බව.  ඒ නිසා අපේ මේ කෙටි ජිවිත කාලය තුලදී, අපි ආදරය කරන සියලුම දෙනා ඉතා හොඳින් රැකබලාගෙන ඔවුන්ට උපරිම ලෙස ආදරය දැක්විය යුතුබව මගේ හැඟීමයි.

මගේ ආදරණිය මිතුර මේ පාඩම මට කියාදුන් ගුරුතුමා ඔබයි.  මේ සටහන ඔබට උපහාරයක් වේවා!!!

Friday, April 26, 2013

මියන් මර්ධනයට බෙහෙතක්.


මම කලින් පොස්ට් එකක ලියුවනේ දලබුවන් මර්ධනය කරපු  විදිහ.  නමුත් මේ කතාව ඊට වැඩ වෙනස් විදිහකට මියන් මර්ධනය කරපු විදිහක් ගැන. අත්හදා බලන්න මේක ඉතාම සාර්ථක ක්‍රමයක්.

මේ දැනට අවුරුදු හතරකට විතර කලින්, මම මේ දැන් වැඩ කරන office එකට ඇවිත් දින කීපයකින් උන දෙයක්. මම මෙතන වැඩට අපු දවසේ ඉඳලම බොහෝවිට මුලින්ම  එන්නේ මම. ඒ අවහම තමයි ඔය නන්දසිරියා දොරවල් එහෙම අරින්නේ. මම එනකල් ඔය  cleaning  service එකෙන් යොදවලා තියෙන දෙන්නා කාර්යාලය අවට අතු පතු ගාල එහෙම තියෙනවා. ඔන්න ඉතින් එදා දොරවල් ඇරියා .. මම ඇතුලට ගිය විතරයි .... අම්මෝ එහෙම ගඳක් ... 

"නන්දසිරි ඉක්මනට අර ක්ලීනින් සර්විස් එකේ දෙන්නට එන්න කියන්න..."

ඔන්න  දැන් උන් දෙන්න එනවා.

"මොකද මේ ඉවසන්න බැරි ගඳ .... "

"සර් ඔය මියෙක්  මැරිලා.. අපි ඉක්මනට හොයලා  කරලා අයින් කරන්නම්....  එයාර් ප්රෙස්නර්  ගැහුවම හරි...."

"හරි... හරි...  ඕන මගුලක් ගහලා ඔය ගඳ නැති කරනවා..."

එදා සිද්දිය ඔතනින් ඉවරයි.  ඊට  දවස් දෙක තුනකට  විතර පස්සේ  අපහු එම කතන්දරේම  තමයි.

"මොකද මේ අදත් මීයෙක් මැරිලද..?"

"ඔව් සර්..."

"ඇයි  මේ මියන්ට මැරෙන්න වෙන තැනක් නැත්ද? මුන් මෙහෙටම එන්නේ මැරෙන්න...."

" නෑ  සර් .. අපි මියන් මැරෙන්න වස තියනවනේ...."

ඔන්න මගේ මාරය ආවේශ උන් වෙලාව.

"කවුද ඔය වැඩේ කරන්න කියුවේ... ඔයගොල්ල ඉන්නේ මෙතන සුද්ද පවිත්‍ර කරන්න මිසක් එක එකාට වස දෙන්න නෙවේ.."

" නෑ  .... සර්.... , සර් දන්නේ නැහැ ... මේකේ ඉන්න බැහැ පුදුම මි කරදරයක් තියෙන්නේ"  නන්ද සිරි මැදට පැන්නා 

"ඉතින්..."

"සර් එන්න කලින් ඉඳලම උන්ට මෙහෙම කරනවා සර්... දවස්  දෙක තුනකට සැරයක් මුන් අයින් කරලා සුද්ද කරනවා"

"හ්ම්.. ඉතින් ඔච්චරකල් ඔය වැඩේ කරලත් මියෝ ඉවර උනේ නැත්ද ?"

"මුන් ඉවර කරන්න බැහැ  සර්.. කොහෙන් එනවද දන්නේ නැහැ.... , මැනේජර්  මහත්තයා තමයි ඔය කොම්පැනියකින් බෙහෙත් ගෙන්නලා දෙන්නේ.  මේ මිනිස්සු දෙන්නා හැමදාම ඔය බෙහෙත් අහුමුලු වල තියනවා"

"ඉවර කරන්න බැරිනම් මොකටද මිනිහෝ මේක කරන්නේ. හ්ම් තුන් දෙනාම යමු මගෙත් එක්ක ඔය තියල තියෙන ඒවා බලන්න"

දැන් මුන් හැම අස්සක් මුල්ලක් ගානෙම පෙන්න පෙන්න ඇවිදිනවා... නිල්පාට කැට වගයක්.. පොඩි කාඩ් බෝඩ් පියන් වල දාලා.. මම වහාම ක්‍රියාත්මක වන පරිදි මේ සියල්ලම එකතු කරවලා මා ඉදිරියේම වල දැමීමට කටයුතු කළා. 

දැන් ඔන්න සුපුරුදු පරිදි මිස්ටර් කොරේරා (නියම නම නොවේ)  උදේ 8.10 විතර අව..

"ගුඩ් මොර්නින්ග් මිස්ටර් අයිලාෂ්"

" ආ ගුඩ් මොර්නින්ග් මිස්ටර් කොරේරා.. මොකද මේ මියන්ට වස ජාතියක් මෙහෙ තියනවා කියන්නේ  හැමදාම..."

"ඔව්.. ඔව්.. මුන් ගෙන් පුදුම කරදරයක් නේ.. රෙකොර්ඩ් රුම් එකේ කිසිම දෙයක් තියන්න බැහැ.  ඒ  නිසා ඔය  .......පේස්ට් කොන්ට්‍රෝල් කොම්පනියත් එක්ක ඇග්රීමන්ට් එකක් ගහල තියෙන්නේ."

" කෝ කොහෙද දැන් ඔය දීල තියෙන වස ජාතිය.."

මේ බුරුවා බොහොම උජාරුවෙන් යකඩ කබඩ් එකක් ඇරලා මල්ලක් අරගෙන මට පෙන්නුවා. මම වහාම ඔය ක්ලිනින්ග් සර්විස් එකේ එකෙක් ට කතා කරලා මේ මල්ල දීල කිවා

"මේ ටිකත් දැන්මම වල දානවා...."

"අපෝ.. අපෝ..  මිස්ටර් අයිලාෂ්.. ඔය මොනවද කරන්නේ. ඕවට සල්ලි ගෙවල තියෙන්නේ."

"සල්ලි ගෙවලා... එහෙනම් ගෙදර අරගෙන ගිහින් තමුසේ කනවා... මම මේ ඔෆිස් එකේ ඉන්නකල් ආයේ ඔය වැඩේ කරන්නේ නැහැ. වහාම ඔය ඇග්රීමන්ට් එක කැන්සල් කරන්නට ලියුමක් යවන්න."  මගේ උපරිම බලය මුට පෙන්නුවා.

දැන් මේක කටු කුටු ගගා කට අස්සෙන් අපේ අම්මටත් එක්ක බනිනවා කියල මට තේරුනා.  ඊට පස්සේ ඔෆිස් ස්ටාෆ් එක ඔක්කොම ගෙන්නලා හොඳ දේශනයක් එහෙම දිලා  පොඩි ශ්‍රම  දාන පාරක් දැම්මුවා.  සුමානයක් දෙකක් යනකොට ඔෆිස් එකේ එක මීයෙක්, කරපොත්තෙක් නැහැ. අදටත් මියන්ගේ කරදරේ නැහැ. ඔය මියෝ, කැරපොත්තෝ , මදුරුවෝ වගේ සත්තු මරන්නේ නැති උනහම, උන්ගෙන් කරදරයක් නැහැ කියන එක මම ගොඩක් කාලයක් ඉඳලා දැනගෙන හිටි දෙයක්.

ඔය අන්තිම ෆොටෝ එකේ ඉන්නේ මගේ කැමරාවට අහුඋන එක්කෙනෙක්. මටනම් ඔය මියගෙයි, ලේනගෙයි  දෙන්නගේම පෙනෙන්නේ අහිංසක කමක් විතරයි. ඔය ගොල්ලන්ටත් එහෙමද?

*** දලබුවන් මර්ධනයට අත්දුටුවයි සත්තයි පොස්ට් එක අනිවා කියවන්න.****


Sunday, March 17, 2013

අම්මා එනතුරු ...

අපේ මිදුලේ තියෙන  පේර  ගසටත් , ඒ අසලම තියෙන තවත් මල් ගසකටත් පනිමින්  අතු අතරේ  සැඟවී සිටින මෙම කොන්ඩ  කුරුළු පැටියා දුටු  ගමන්, කැමරාවත්  අරගෙන නිසොල්මනේ බලාගෙන හිටියා මෙයාගේ හැසිරීම  ගැන. ටික වෙලාවක් ඔහොම විපරමින්  ඉන්නකොට තේරුනා, විටින් විට අම්මා කෑම  ගෙනල්ල මෙයාට  කවන බව.  අම්මා කෑම ගෙනත් දීලා , ඉගිල ගිහින් නැවත එනකල් මෙයාගේ හැසිරීම් මම කැමරාවට අසුකරගත්තා. ඔන්න එහෙනම් ඒ ෆොටෝ කීපය  බලන්න . මේ ෆොටෝ ගත්තේ Fuji HS20 බ්‍රිජ් කැමරාවෙන්.

අතු අතර සැඟවෙමින් අම්මා එනකල් 

අම්මා කොහෙද දන්නේ නැහැ, පල්ලෙහවත් ඉන්නවද?

අම්මා පහල අත්තේ  නැහැ,   මේ පැත්තෙවත් ඉන්නවද?

අම්මා පෙනෙන්න නැහැ, කරදරයක් වත් වෙලාද?

තව ටිකක් වෙලා ඉඳලා බලමු....

ඈතින් කවුදෝ එනවා ...

ආ.. ඒ මගේ අම්මා...,  කෑම ගෙනෙනවා...

ඇති යාන්තන්, අම්මා ළඟ ඉනවානම් බයක් නැහැ.

හ්ම්ම්ම්ම්... හරිම රසයි අම්මේ.

අම්මා අපහු ගියා, අයෙත් තනියෙම ඉන්න වෙනවා.



Friday, February 15, 2013

වැලන්ටයින් දිනයට පමණක් ද?

DSC_0015

මෙය මගේ ආදරණිය බිරිඳ වෙනුවෙන්ම ලියුවෙකි, වැලන්ටයින් දිනයට පසු මෙය පලකිරීමට අදහස් කලේ, ආදරය එක්  දිනයකට පමණක් සීමාකළ  නොහැකි  මෙන්ම, වානිජ්‍ය කරණයට ද හසුනොවිය යුතුය යන්න, මගේ විශ්වාසය බැවිනි.

මවෙකි ඔබ මට 
පියෙකි ඔබ  මට 
තවත් විටකදී 
සොහොයුරෙකි  ඔබ මට,
නැවත විටකදී 
සොයුරියකි  මා හට ....
මවෙත සිටිනා 
යහළුවත් ඔබමැය,
යෙහෙළියත් ඔබ මිස, වෙනත් කවුරුද?
මගේ මුළු ලොව ඔබ පමණි මට.
සසර වසනා තුරුම ලැබුමට
බිරිඳ ලෙස මගේ 
පතමි සැම  කල.




Saturday, January 19, 2013

Operation Eagle - මෙතෙක් නොකළ හෙළිදරව්වක්



මේ සිදුවීම වෙනකොට අපි හිටියේ  රාගම කිට්ටුව තිබුන  නිවසක. අපේ ගෙදරට යාබද තිබුන ගෙදර හිටියේ හමුදාවේ හිටපු නිලධාරියෙක්. මගෙත් එක්ක බොහොම හිතවත් හාදයා. හැමදාම වගේ  උදේම මට good  morning පාරක් දාන්න කවදාවත්ම අමතක කලේ නැහැ. බොහෝවිට ගමනක් එහෙම යන්න ඕන උනහමත් මගෙත් එක්ක සෙට් වෙනවා.  හැබැයි මටනම් මුගේ සමහර වැඩ ගැන  එච්චර පැහැදීමක් නැහැ. විශේෂයෙන්ම ඔය සත්තුන්ට හිරිහැර කරන උන් මට දිරවන්නේ නැහැ.

ඔන්න දවසක් මේකා කොහෙන්දෝ උකුස්සෙක් අල්ලාගෙන අවා.  ඇවිල්ල මුගේ කකුල දම්වැලකින් ගැටගහල අපේ ගෙවල් දෙක වෙන්වෙන බැම්ම අයිනේ ගහක ගැට ගහල, මට කතා කරලා කියනවා;

"මචං, ආයිලෂ් මම උකුස්සෙක් ගෙනාවා හුරතලේට ඇතිකරන්න"

"හපෝ ඔය මොන අපරාදයක් ද. ඔය නිදහසේ ඉගිල්ලෙන සතෙක්නෙ. උන්ගේ ලස්සන බලන්න ඕනේ උන් නිදසසේ උන්ගේ පරිසරයේ ඉන්නකොට "

"මොන පිස්සුද? මුගේ ලස්සන බලන්න පුළුවන් මෙහෙම ළග තියාගෙන විතරයි...ආයේ මුට කවදාවත්  ඉගිල්ලෙන්න බැරි වෙන්න මම මුගේ තටු කැපුවා."

ඔහොම කියපු මේ කාලකන්නියා, අර අහිංසක සතාගේ     අත් තටු දෙක  උස්සලා පෙන්නුවා. ඇතුලට වෙන්න තියෙන පිහාටු ටික ඔකොම බාගෙට කපලා. අනේ මු ලස්සන බලන විදිහ කියල මට හිතුනා. දැන් මේක අපේ   පවුලේ ඔක්කොටමත් හරිම දුකක්. දැන් මේ සතා  හැම වෙලේම ඉන්නේ අපේ බැම්ම උඩ.  සමහර දවස් වලට මේකව බැම්මෙන් ලිස්සල වැටෙනවා එතකොට මුට තටු ගහල උඩට එන්න බැරුව  දම්වැලෙන් එල්ලිලා ඉන්නවා. ඔන්න ඒ වෙලාවට අපි අර යකාට කතා කරලා කියනවා,

" මෙන්න  මේ සතා  දම්වැලෙන් එල්ලිලා"

" මු මහා යක්ෂ සතෙක් දෙන දේ කාලා බිලා ඉන්න බැරි දැඟලිල්ල..."

 ඔහොම කියල ආපහු මේකව අපේ බැම්මෙන් තියෙනවා.. දැන් මුට කන්න දෙන්නේ බත්, අනේ අපො, අර මාළු  කන සතා  බත් කයිද?  ඉතින් ඌ  කන්නේ නැහැ. මේක බලන් ඉන්න බැරි නිසා අපි ඔය සාලයෝ වගේ පොඩි මාළු ගෙනත් මුට කන්න දුන්නා.

" පුතාලා මු කෑම  කන දිහා බලන්න ආසයි නේද? ඒකනේ කෑම  ගෙනත් දෙන්නේ. කමක් නැහැ එහෙනම් අපි ආයේ කෑම දෙන්නේ නැහැ. පුතාලම දිපුදෙන්, පොඩි උන්ගේ ආසාවනේ..."

මේකාගේ ගෑණි දවසක් ඔහොම කියුවා.  මට කුණුහරුප තමයි මතක් උනේ මොනවා කරන්නද ඉවසගෙන හිටිය. ඔන්න ඔය විදිහට මාස  කීපයක් ගත උනා. එක දවක්  මොකක්දෝ හේතුවක් නිසා මට වැඩට යන්න බැරි උනා. පොඩි උන් දෙන්නත් ඉස්කෝලේ ගිහින්..

"අයිලාෂ් .. එහා ගෙදර ඔක්කොමල ගමනක් යනවා කියල ගියා ... අපි අර උකුස්සා නිදහස් කරලා යවමුද ...?"

Operation Eagle, පළමු අදහස මගේ බිරිඳගෙන් .

" බැහැ.. වැඩක් නැහැ... ඌට පියාබන්න  බැහැ.. තටු කපලා නිසා"

" අනේ ඉක්මනට මොනවහරි දෙයක් හිතන්න... ආයේ මෙහෙම  චාන්ස් එකක් එන්නේ නැහැ.."

ඔයා  මට telephone directory  එක ගෙනත් දීලා ඉක්මනට පෙට්ටියක් හොයන්න මේකව දාගන්න"

මටත් ඉතින් හිටපු ගමන්  ගණ දෙවි නුවණ  පහල වෙනවා.  directory  එක පෙරලලා වනජීවි කාර්යාලයේ නොම්බරය හොයාගෙන කෝල් එකක් ගත්තා. ඒ දවස් වල වනජීවී කාර්යාලය තිබුනේ ග්‍රෙගරි පාරේ.  ඔතන  ඊට කලින් තිබුනේ මම කලින් වැඩකරපු වැවිලි සංස්ථාවේ ඔෆිස් එක. කෝල් එක අරගෙන සම්පුර්ණ විස්තරය වනජීවී අධ්‍යක්ෂ තුමාටම කියුව. 

"අපි නිලධාරීන් එවල ඔය කියන කෙනාට නීති මගින් කටයුතු කරන්නම්"

" හපෝ එපා.. එහෙම කලොත් මට මෙහෙ ඉන්න හම්බවෙන්නේ නැහැ, මට ඕන කරන්නේ ඔය මිනිහ උසාවි ගෙනියන්න නෙවේ, මේ සතාව මේ අපායෙන් මුදවන්න. මේකට මට උදවු කරන්න"

" එහෙනම් අපි මොනවද කරන්නේ, ඔයා  දැන් ඔය තැන අපිට කියන්නෙත් නැහැ නේ..."

මටත් මල පැනපි.. මුන් නම් මහා පුදුම වනජීවී  නිලධාරීන්.. නමුත් වැඩේ කරගන්නත් ඕන නිසා බොහොම ශේප් එකෙන් මෙහෙම් කියුවා.

" හරි මම කියන්නම් වැඩක් මේකට මට උදවු කරන්න. මේ සතා  මට මෙතන ලිහන්න පුළුවන් නමුත් ඌට ඉගිලෙන්න බැහැ. තටු කපලා   ඒ විතරක් නෙවේ මේකා  බොහොම දුර්වල වෙලා ඉන්නේ .. මම මේකව ගලවල  ගෙනෙන්නම් , ඔබතුමා  zoo  එකට බාරදෙන්න ක්‍රමයක් සකස් කරන්න"

" හා එක මම කරන්නම්.. ඔයා  කෙලින්ම zoo එකට ගෙනියන්න.. මම එතන දැනුවත් කරන්නම්.... ඔයාට බොහොම  ස්තුතියි ඔය වගේ වැඩක් කරන්න හිතපු එකට.."

දැන් අපි දෙන්න ඉක්මනට මේකව  ගලවලා පෙට්ටියට  දා ගෙන zoo  එකට ගිහින් බාර දුන්නා.  ඊට පස්සේ ගෙදර එනකොට අල්ලපු ගෙදර උන් ඇවිත් උකුස්ස හොයනවා. මුන් අපිට මෙහෙම කියනවා 

"අනේ බලන්නකෝ නරක වෙලාවට ඕගොල්ලොත් ගෙදර ඉඳල නැහැ. උකුස්සා  කඩාගෙන ගිහින්........."

Thursday, January 10, 2013

දැලබුවන් මර්ධනයට- අත්දුටුවයි සත්තයි



එදා මම ඔෆිස් එකේ ගේට්ටුවෙන් ඇතුල් උනා   විතරයි,   නන්දසිරියා   (නම දැම්මට ඌ මගෙත් එක්ක තරහා වෙන එකක් නැහැ)  බොහොම  කලබලෙන් දුවගෙන අවා. නන්දසිරි කියන්නේ දැනට වසරකට පමණ පෙර අපේ ඔෆීස්  එකේ  හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා.  ඉතාම හිත හොඳ මිනිහෙක්. ආයතනයේ වැඩකරන හැම දෙනාටම පුදුමාකාර ආදරයක් මූ ළඟ තිබුනා. ඔය ගතිය නිසාම සමහර වෙලාවට මුගේ රාජකාරියත් අතපසු වෙලා මගෙන් බැනුම් අහලා එහෙමත් තියෙනවා. කොච්චර බැන්නත් උගේ ඒ ගතිය නම්  නැති උනෙ නැහැ. උදේට මම එනකල් ගේට්ටුව ලඟට වෙලා ඉදලා "good  morning " කියන්න කවදාවත් අමතක නොකරපු මේකට මොකද අද මේ උනේ කියලා මට  හිතුනා.

"මාර වැඩේ තම යි සර් වෙලා තියෙන්නේ..."

"මොකද නන්දසිරි අද good morning  නෙවේ ද?   bad  morning  ද?"  මමත් හැමදාම කොරනවා වගේ පොඩි  පහේ විහිළුවක් දැම්මා.

"මොන good morning  ද සර්.. අර බලන්නකෝ අර ගහ දිහා.."  

"මොකද බන් ගහේ යකෙක් ඉන්නවද? නැත්තම් උදේම උඹව බලන්න සුරංගනාවියක් වත්  ගහට ඇවිල්ලද ?" 

"විහිළු නෙවේ.. ඇවිත් බලන්නකෝ.. සේපාලිකා ගහේ දැලබුවෝ පිරිලා..."

"ෂා  මරු නේ.. මම කිවේ නන්දසිරි  බලන්න සුරංගනාවියෝ ඇවිල්ල කියලා..."

"ඔය ඉතින් බැහැ නේ... මොනවා කියුවත් විහිළු තමයි.  මෙතන ඉන්න හම්බවෙන්නේ නැහැ... මොනවහරි කරලා මුන් ටික විනාස කරන්න ඕනේ."

"එක පස්සේ බැරියැ.. දැන් යමු ඇතුලට . මගේ කොම්පුටර් එකෙන් පෙන්නනම් මුන් විනාස කරන විදිහ."

දැන් මූ මගේ පස්සෙන් ඇවිත් ඉන්නවා  දැලබුවෝ විනාශ කරන විදිහ බලාගන්න. මමත් හින් සැරේ වාඩිවෙලා කොම්පියුටරේ ඕන්  කරලා මෙන්න මේ වගේ පින්තුර ටිකක්   පෙන්නුවා. මගේ ළඟ ඕන වෙලාවක ඉතින් බඩු රේඩි නේ.






"සර්...  හරි ලස්සන සමනලයෝ ටික නේද?"

"හ්ම්ම්... නන්දසිරි කැමතිද මේ වගේ සමනලයන් මරන්න ?"

"හපෝ ඒ මොන කාලකන්නි වැඩක්ද?.. අහිංසක, ලස්සන සත්තු නේ සර්..."

"හා එහෙනම් ටික දවසක් කබල නොකර ඉන්න.. ඔය දැලබුවෝ තමයි සමනලයෝ වෙලා අපේ පරිසරය ලස්සන කරන්නේ"


පසු සටහන:
ඊට පස්සේ නන්දසිරි පුදුම කැපවීමකින් මුන් ටික ආරක්ෂා කරා. ඒ දස්වල කොළඹ තිබුනේ තද පෑවිල්ලක්, ඒ පෑවිල්ල නිසාමදෝ  කොහේද මේ දැලබුවෝ  ඔක්කොම විනාශ උනා, පරිසරයට එක සමනලයෙක්වත් ඉතිරි නොකර.

*** මියන් මර්ධනයට බෙහෙතක් *** පොස්ට් එක කියවන්න 

Thursday, January 3, 2013

ගලේ ගැහුවත්.......




"සර්... සර් ..."

මම ගේට්ටුවෙන්  මෝටර් සයිකලය ( ඒ දවස්වල මම වැඩට ගියේ  මෝටර් සයිකලයෙන්) ඇතුල්  කලා විතරයි  සෙකියුරිටි මහත්තයා මගේ පස්සෙන් පන්නනවා. මම බයිසිකලය පාර්කින් එකට දාලා මම අපහු මුර කුටිය පැත්තට ගමන් කළා.

"සර්.. සර්ට පාර්සලයක් අවා."

" කෝ.. කාගෙන්ද?"

"තලවා## වත්තෙන් ගෙනත් දුන්නේ......,  පුස් පැටවූ දෙන්නෙක්......., වැඩක් නැහැ සර්... , සර් දවස් 3ක් ඔෆිස් අවේ නැහැනේ. සෙනසුරාදා යි ඉරිදායි  එක්ක දවස් 5ක් ... ඊයේ හවස තමයි සද්දයක් නැති නිසා පාර්සලේ ඇරලා බැලුවේ. එකෙක් මැරිලා.. අනික පණ  අදිනවා.. මම කුණු ගොඩට විසි කළා."

"ඇයි ##තෝ, ඔකේ ඉන්නේ සතෙක් කියලා දන්නවනම් තොට ඕක ඇරලා වතුර ටිකක් හරි දෙන්න තිබුණා නේද? නැත්තන් ඔෆිස් එකේ වෙන කාට  හරි  කියන්න තිබ්බනේද යකෝ?"

කවදාවත්ම මිහිහෙක්ට බනින්නේ නැති මට ඔය විදිහට ඉබේටම කියවුණා. මේකත් දැන් බිරන්තට්ටුවෙලා බලාගෙන ඉන්නවා.

"කෝ කොහෙද .. ඉක්මනට මෙහෙට අරගෙන එනවා"

"වැඩක් නැහැ සර් .. අනික් එකත් දැන් මැරිලා ඇති"

"මගෙන් තව කුණුහබ්බ අහගන්නේ නැතිව අරන් වරෙන් බන්.."

ලස්සනට ඔතල වටේට හිල් විදලා with best compliments from Dr ....... කියල ලස්සනට ලියල තිබුණ එක දැක්ක ගමන් "අනේ උගේ දොස්තරකම මොලේ නැති බුරුව ... මෙහෙම එකක් එව්වා කියල මට කෝල් කරන්න තිබුන නේ?" මට ඉබේටම කියවුනා.

මේ සිද්දිය වෙනකොට මම වැඩකලේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ.(රට කොරවපු උන්ට පින්සිදු වෙන්නට ඕව ඔක්කොම විකුණන් කාලා  ඉවරයි) මට මතක් උනා ඊට මස කීපයකට කලින් නුවර එලිය පැත්තේ තිබුන එක්තරා  තේ වත්තකට ගියවෙලාවක එහි දොස්තර මහතාගේ ගෙදර සිටි ලස්සන පර්ශියන් බැළලිය. 


"මේකා හරිම ලස්සනයි ඩොක්ටර් .. මමත් මුන්ට හරිම ආසයි"

"ඊ  ළඟ සැරේ මු පැටවූ දාපුගමන් මම ඔයාට පැටියෙක් දෙන්නම්.. ඕක මහා වැඩක් නෙවේ"

ඔන්න ඕක තමයි වෙලා තිබුනේ. මම පෙට්ටිය ඇරලා බැලුවම දැකපු දේ හරිම දුකයි. පුංචි පුස් පැටවූ දෙන්නෙක්, එක පැටියෙක් මැරිලා.. අනිකා පැත්ත වැටිලා පන අදිනවා. මැරුණු එකා කුණුවෙලා ගලාගෙන යන ඕජස් වලින් පන අදින පැටිය නැවිලා.  ඉක්මනට මේ පැටිය අරගෙන රෙදි කැල්ලක ඔතා ගත්ත  මම දවස් බාගයක් නිවාඩු දාල  මේකවත් අරගෙන පශු වෛද්‍ය වරයෙක් හොයාගෙන ගිය. ග්‍රෙගරි පාරේන්  පටන් ගත්ත මට පශු වෛද්‍ය වරයෙක් හමු උනේ කොහුවල හන්දියේදී. 

"අපි බලමු...  injection දෙකක් දෙන්නම්.. මු විජලනය වෙලා. ග්ලුකෝස් දියකරලා වතුර විතරක් පාන්කඩයකින් පොවන්න... හෙට කිරිටිකක් පොවන්න පුළුවන්"

ඔන්න ඒ වැඩේ කරගෙන මගේ බෝඩිමට අවා. දැන් මුගේ ගඳ මට ඉවසන්න බැහැ. වතුර බාල්දියක් අරගෙන මේකව හිමින් නාවල හෙයාර් ඩ්‍රයර් එකෙන් වේලලා ගත්තම තමයි හැටි දැක්කේ. සුදුම සුදු පුළුන් ගුලියක් වගේ, බුල් පිරිලා. ඊට පස්සේ  දොස්තර කියපු විදිහට ග්ලුකෝස් වතුර ටිකක් පොවලා මේකව පොඩි කාඩ් බෝඩ් පෙට්ටියක දාල කාමරය වහල ඔෆිස් ගියා. දැන් මගේ හිත නිදහස් මු මැරුණත් මම කල යුතු දේ කළා කියල හිත හදාගත්තා.

ඔෆිස් ඇරිලා අපහු බෝඩිමට ආවේ දැන් මේකා මැරිලා ඇති. කොහේ හරි වලදාන්නත් ඕනේ කියල හිතාගෙන. කාමරය ඇරලා බැලුවා පෙටිය ඇතුලේ මේකා නැහැ. හැම තැනම හෙවුවත් හමු උනේ නැහැ. මම හිතුව මොකෙක් හරි සතෙක් වහලෙන් බැහැල මේකව කන්න ඇති කියලා. එතකොටම මට මේකා කෑ ගහන සද්දේ ඇහුණා. බලනකොට මගේ සපත්තුවක් ඇතුලට බැහැලා ඉන්නවා. දැන් මුට බොහොම සනීපයි. 


මේ පැටියා අවුරුදු ගණනාවක්ම මගෙත් එක්ක හිටියා. අදටත් මේ සිදුවීම මතක් වෙනකොට ලොකු සතුටක් දැනෙනවා මැරෙන්ට ගිය එකෙක් බේරගත්ත කියලා. ඒ වගේම අදටත්  මුගේ ජීවිතය බේරපු දොස්තරටත් (නම මතක නැහැ) පින් දෙනවා.


පසු සටහන:
මේ සත්තු කියන්නෙත් අපි වගේම හැඟීම් දැනීම් තියෙන අය. එකම වෙනසකට තියෙන්නේ අපිට වගේ කථා කරන්න බැරි එක විතරයි. යම් විදිහකින් උන්ට කථා කරන්න පුළුවන් උනානම් අපිට  කෑගහල කියයි "උඹලා  අපිට ඇයි මෙහෙම සලකන්නේ" කියල. 

තම තමන්ගේ ගෙවල් වල ඉන්න සත්තුන්ට අසනීපයක් උනහම බලාගෙන ඉන්නේ නැතිව ඉක්මනට බේත් හේත් කරන්න ඕනේ. ඒ වගේම ඔය කුඩු කරලා හදන සත්තුන් නිදහස් කරන්නත් කටයුතු කරන්න ඕනේ. කැලේ ඉන්න අහිංසක කුරුල්ලෝ විශේෂයෙන් ගිරවු, වී කුරුල්ලෝ වගේ සත්තු අල්ලලා විකුණන එකට විරුද්ද වෙන්න ඕනේ. ඔන්න දැන් පාණ්ඩුවෙන්  මේ වගේ කාලකන්නි වැඩ වලට ලයිසොන් දෙන්න යනවා. ඔය කුරුල්ලෝ ජිවත් වෙන්නේ පවුල් වශයෙන් ඔහොම අල්ලපුවහම උන්ගේ පවුලේ එවුනුත්,  මුළු පරිසරයත් උන්ට අහිමි මෙනවා.  මේවා කියවල විතරක් මදි, අහිංසක සත්තුන්ව  ආරක්ෂා කරන  ගමන් අනිත් අයවත් දැනුවත් කරන්නට ඕනේ.

පහත පොස්ට් අනිවා කියවන්න  *** දලබුවන් මර්ධනයට අත්දුටුවයි සත්තයි ***
*** මියන් මර්ධනයට බෙහෙතක් ***





  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...