Tuesday, February 19, 2013

කැමරාවේ Sensor Format සහ Crop Factor


කලින් පොස්ට් එකෙන්  අපි  කථා  කලේ ඩිජිටල් කැමරා බොඩි එකේ  තියෙන වැදගත්ම කොටස වන Image Sensor  එක ගැන.  බලන්න බැරි උනානම්  මෙතනින් ගිහින් බලන්න. 


ඒ පොස්ට් එකට කොමෙන්ට් කරපු දේශකයා කියලා තිබුනා සෙන්සර් ෆොර්මැට් එක ගැන චාර්ට් එකක් දෙන්න කියලා , එහෙනම් මේ චාර්ට් එක බලන්නකෝ.


පින්තුර  අංක 1




ඒ පොස්ට් එක ඉවර කලේ , Image  Sensor  එකටම අදාළ  වන Crop Factor  එක සහ Focal  Length  Multiplier කියන දේවල් ගැන ඊළඟ සැරේ කතා කරමු කියලා නේ ඔන්න එහෙනම් අද ඒ ගැන බලමු  ඔය ඉහල තියෙන chart  එකේ බලන්න අන්තිමට තියෙනවා crop factor  එක කියලා ඒ, ඒ සෙන්සර් ෆොර්මැට් වලට අදාලව.


මොකක්ද මේ crop  factor  එක ?


මෙන්න මේ විදිහට  සරලව හිතන්න,  දැන් අපි දන්නා විදිහට full frame  කියන සෙන්සොර් ෆොර්මැට් එකනේ ලොකුම, ඉතින් අපි හිතමු යම් ඡායාවක් ඔය full  frame  සෙන්සොර් එකට වැටෙනවා කියලා,  දැන් අපි ඊට වඩා කුඩා සෙන්සර් එකක් ඔය full frame  සෙන්සර් එකේ මැදින් තිබොත් ඒ සෙන්සොර් එකට වැටෙන්නේ මුල් ඡායාවෙන් කොටසයි නේද?  අන්න ඒ වැටෙන කොටසට අපි කියනවා cropped image එකක් කියලා. ඔන්න ඔය crop  වෙන ප්‍රමාණය තමයි crop factor  එක කියන්නේ, බලන්නකෝ මේ පහල තියෙන පින්තුරය. මම ගත්ත ෆොටෝ එකකට ඔය sensor formats  ටික දැම්මා. (මේ ෆොටෝ එකම දාන්න හේතු උනේ ලිහිණි කියලා තුබුණා රැට  මොන ෆොටෝග්‍රපි ද කියලා. ඔන්න බලන්න ලිහිණි රැට ෆොටෝ ගන්න පුළුවන්)

පින්තුර  අංක 2



දැන් වැඩේ පැහැදිලියි නේද? මුළු ෆොටෝ එක full  frame  නම් ඊට වඩා අඩු formats  වලදී අපිට ලැබෙන image  එකේ අඩුවක් වෙනවා. මෙන්න මේ අඩු වන ප්‍රමාණයට තමයි crop එක කියන්නේ. දැනට මේ ඇති ඉතිරි ටික ගැන කතා කරන්න කලින් Focal  Length  Multiplier එක ගැන ටිකක් අවබෝධ කරගමු.


 Focal  Length Multiplier 

දැන් බලමු මොකක්ද මේ Focal  Length  Multiplier කියන්නේ කියලා. හොඳයි එක අවබෝධ කරගන්න මෙන්න මේ විදිහට හිතන්න.  ඔය කලින් තියෙන ෆොටෝ එක බලන්න එකේ තියෙන four-third  කියන සෙන්සර් ෆොර්මැට් එකට අදාල කොටස බලන්න. එතන ලකුණු කරලා තියෙනවා 2x  කියලා, ඒ තමයි ඒ සෙන්සර් එකේ crop factor  එක.

හොඳයි දැන් අපි හිතමු four-third සෙන්සර් එකක් තියෙන කැමරාවකින් 50mm  ලෙන්ස්  එකක් දාලා ගත්තොත් ලැබෙන ෆොටෝ එක තමයි ඔය කොටුවෙන් සටහන් කරලා තියෙන කොටසින් පෙන්නේ කියලා.   නමුත් full  frame කැමරා එකකට 50mm  ලෙන්ස් එකක් දාලා ෆොටෝ එකක් ගත්තොත් ඔය මුළු ෆොටෝ එකේ තියෙනවා වගේ කොටසක් ලැබෙනවා.

 හොඳයි දැන් full frame  එකකට අර four-third එකක් 50mm  ලෙන්ස් එක දාලා ගත්තා වගේ කොටසක් විතරක් ගන්න ඕනේ නම් කරන්නේ වෙන්නේ මොකක්ද? අර crop factor එකෙන් 50mm  වැඩිකරන්න වෙනවා  50mm  x  2.0 = 100mm  ඔන්න උත්තරේ. ඒ කියන්නේ full frame  එකට 100mm  ලෙන්ස් එකක් දාන්න වෙනවා ඒ වගේ එකක් ගන්න.  ඒ නිසා මේ crop factor එකට Focal  Length  Multiplier කියලත් භාවිතා  කරනවා.

ටිකක් විතර මොලේ කචල් වෙනවා නේද? ඔන්න ඔය අපිට මොලේ ටිකක් කචල් වෙන එකේ වාසිය අරගෙන තමයි කැමරා නිෂ්පාදකයෝ bridge කැමරා වලට super zoom  එකක් තියෙනවා කියලා කියන්නේ.

පින්තුර  අංක 3


ඔය තියෙන්නේ Fuji HS20 කියන bridge  කැමරා එකක් බලන්න ඔය ලෙන්ස් බැරල් එකේ සටසන් කරලා තියෙන දත්ත. එක පැත්තක  Equl 135 කියලා 24mm  - 720mm  වෙනකල් zoom  range එකක් සටහන් කරලා තියෙනවා. නමුත් අනිත් පැත්තේ තමයි නිවැරදි  focal  length  එක තියෙන්නේ එක 4.2mm  - 126mm  මේ කැමරා එකේ  crop  factor එක 5.71 ඉතින් අර 4.2mm x 5.71 = 24mm  වගේම 126mm  x 5.71=720mm . ඔන්න ඔය කොම්පුටර් ජිල්මාල් එක දාල නිෂ්පාදකයා කියනවා 135 equal 24 - 720 zoom  එකක් තියෙනවා කියලා. නමුත් මේකේ ඇත්තටම තියෙන්නේ 4.2 -126 zoom  එකක් නමුත් මේ කැමරා එකේ තියෙන sensor  එක කුඩා එකක් නිසා අර  crop  factor එක හේතුවෙන්,  මිමි 35 කැමරාවක් භාවිතා කරනවානම් මිමි 720 ක ලෙන්ස් එකකින් ගන්න ෆොටෝ එකක් මිමි 126 ගන්න පුළුවන් වෙලා තියෙනවා.


දැන් අපි අපහු අර පින්තුර  අංක 2 වෙත යමු. දැන් මෙතැනදී ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා කුඩා සෙන්සර් එකක් තියෙන කැමරාවක් භවිතා කරනකොට අපිට 35mm  කැමරාවකින් ගන්න කොටසක් අහිමි වෙනවා නේද කියලා. නැහැ එහෙම වෙන්නේ නැහැ. එකට නිෂ්පාදකය කරන්නේ  crop factor  එකට අනුව අඩු focal  length  එකක් තියෙන ලෙන්ස් එකක් නිෂ්පාදනය කිරීම.

නැවත උදාහරණයක් බලමු. අපි හිතමු ඔය ෆොටෝ එකේ තියෙන්නේ හැම සෙන්සොර් එකක්ම 50mm  ලෙන්ස් භාවිතයෙන්  ගත්ත ඒවා කියලා. දැන් අපි බලමු කොහොමද මේ කුඩාම සෙන්සර් එක තියෙන කැමරාවට ඔය සම්පුර්ණ image එකම ගන්නේ කියලා. මෙන්න  ක්‍රමේ  ඔය සෙන්සර් එකේ crop  factor එක 5.7 නේ? ඉතින් 50/5.7=8.7mm  දැන් ඔය කැමරා  එකට යොදනවා 8.7mm  ලෙන්ස් එකක් එතකොට full frame එකේ 50mm  එකට අහුවෙන  කොටස ගන්න පුලුවන් .


FX format & DX format


DSLR  කැමරා වලදී Full  Fame (FX format) කැමරා වලට සහ APS-C (DX format) කැමරා වලට වෙන වෙනම ලෙන්ස් වර්ග නිෂ්පාදනය කරනවා. මෙහිදී APS-C (DX format)  සෙන්සර් භාවිතා වන කැමරා වලට අර මුලින් කියුවා වගේ crop  factor  එක බාවිතා කරලා අඩු focal length  එකක් තියෙන ලෙන්ස් භාවිතා කරන්නේ නැහැ. එතැනදී නිෂ්පාදකය focal length එක වෙනස් නොකර ලෙන්ස් එකේ field  of  view  කියන කෝණය වෙනස් කරමින් අදාල format  එක වෙනුවෙන් ලෙන්ස්  නිෂ්පාදනය කරනවා.






මෙම ලෙන්ස් වර්ග වලින් Full  Fame sensor වලට අදාළ FX format වර්ගය මිල අධික වන අතර එම ලෙන්ස් APS-C sensor සහිත කැමරා බොඩියක් සමග භවිතා කල  හැකි උවද,  APC sensor සහිත කැමරා වලට අදාළ DX format සහිත ලෙන්ස් Full  Fame කැමරා හන්දහා බාවිතා කල නොහැක. එහෙ භෝවිත කළහොත් වන්නේ Full  Fame සෙන්සර් එකෙහි APS-C  කොටසේ පමණක් ඡායාව සටහන් වන නිසා  ඡායාරුපය වටේ අඳුරු පැහැති  වලයාකාර කොටසක් පෙනීමයි.


සාරාංශය:
මේ පොස්ට් එක  ටිකක් බර සාර වැඩි වගේ හිතෙනවා. ඒ නිසා මේ සාරාංශය බලන්න මේ ටික හිතට ගත්තොත් ඒ ඇති. 


  • සෙන්සර් ෆොර්මැට් එක විශාල වන විට image quality  එක වැඩි වෙනවා.
  • Mega Pixel ගනනට  වඩා වැදගත් වන්නේ සෙන්සර් ෆොර්මැට් එක
  • විශාල සෙන්සර් ෆොර්මැට් එකක් සමග වැඩි Mega Pixel ගණනක් තියෙන විට image quality  එක වැඩි වෙනවා.
    • උදා:  APS-C  sensor  එකක් සහ 10 Mega  Pixel  සහිත කැමරාවකට වඩා  APS-C sensor  එකක් සහ 16 Mega  Pixel  සහිත කැමරාවකින් ගන්නා ෆොටෝ වල quality  එක වැඩි වේ.
  • සෙන්සර් ෆොර්මැට් එක කුඩා වන විට ඊට සාපේක්ෂව ලෙන්ස් එකේ Focal Length  එක හෙවත් නාභි දුර අඩුවෙන් භාවිතා කල හැක.  මේ නිසා bridge  කැමරා වලට අඩු මිලකට වැඩි Zoom  range එකක් ලබාදීමට හැකි වී ඇත.




Monday, February 18, 2013

කැමරාවේ මෙගා පික්සලේද? සෙන්සර් එකද?


අද මම කථා  කරන්න යන්නේ ඩිජිටල් කැමරා බොඩි එකේ  තියෙන වැදගත්ම කොටස වන Image Sensor  එක ගැන. මොකක්ද මේ Image Sensor  එකට ඉංගිරිසියෙන් කියන්නේ කියලා කවුරුවත් ඇහුවොත්  "ප්‍රතිබිම්බ සංවේදකය" එහෙමත් නැත්නම් "ප්‍රතිබිම්බ උත්තේජකය" කියලා කියන්න පුළුවන්.  නමුත් මම නම් මේ ෆොටෝග්‍රපි ගැන කතා කරන්නේ අපි දන්නා සිංහලෙන්,  බලන්නකො සිංහලෙන්ම  Image Sensor කියපුවහම කොච්චර ලේසිද? නැත්නම් අර universal joint  එක සර්වලෝක පුට්ටුව උනා වගේ වෙයි.

හොඳයි ළමයිනේ එහෙනම්  දැන් පාඩම පටාන් ගමු.

ඩිජිටල් කැමරා එකේ  තියෙන Image Sensor එකෙන් කරන්නේ optical image එකක්  electrical signal එකක් බවට පරිවර්තනය කරන එක. මේ  signal එක තමයි කැමරාවේ තියෙන පොඩි කොම්පුටර් කෑල්ලෙන් එහෙට මෙහෙට හරවලා, memory card එකේ ලියාගන්නේ. ඔය ක්‍රියාවලිය අපිට එතරම් වැදගත් නැහැ. නමුත් මේ  Image Sensor එක ගැනයි මේකේ size  එක ගැනයි දැනගන්න එක බොහොම වටිනවා.  අපි කැමරා එකක් මිලදී ගන්න කොට මේ ගැන තමයි වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.

ඩිජිටල් කැමරා වල  Image Sensor වර්ග දෙකක් භාවිතා කරනවා එක වර්ගයක් CCD image sensor  අනිත් එක CMOS  image sensor. මේ වර්ග දෙකෙන්ම කරන්නේ මේ මතට ලැබෙන ආලෝකය,  electrical signal (විද්‍යුත් ධාරාවක්) බවට පරිවර්තනය කරන එකයි.

ඔය පහලින් තියෙන්නේ ඒ වර්ග දෙක.
  • CCD – Charge Coupled Device is an analog device.

  • CMOS - Complementary Metal–Oxide–Semiconductor this also called as active-pixel sensor (APS)


මේ විදිහට සරලව හිතන්නකෝ, ඔය sensor  එක, ඉතා කුඩා ආලෝකයට සංවේදී කොටස් මිලියන ගණනාවකින් හැදිලා තියෙනවා. ඒ කුඩා කොටස් තමන්ට ලැබෙන ආලෝකයට අනුව විදුලියක් නිපදවනවා.  එතකොට ඔය මුළු  sensor  එකට වැටෙන පින්තුරය නැවත හදන්නේ කුඩා, කුඩා කොටස්  වලින් නිපදවෙන විදුලියෙන්. පැහැදිලියි නේද?

අපි කලින් කිවා වගේ මේ දෙකෙන්ම රකන්නේ එකම කාර්යය උනත් CCD  වර්ගයට වඩා CMOS වර්ගය කාර්යක්ෂම තාවය අතින් ඉහලයි.  නවීන කැමරා වල තියෙන්නේ මේ CMOS  වර්ගයයි.

Sensor Format

ඩිජිටල් ඡායාරුප ශිල්පයේදී Sensor Format කියන්නේ  Image Sensor එකේ ප්‍රමාණයට. නොයෙකුත් ප්‍රමාන වල  Image Sensors  ඩිජිටල් කැමරා වල භාවිතා වෙනවා. බොහෝ දෙනෙක් ළඟ තියෙන කුඩා point and shoot  ඩිජිටල් කැමරා වල තියෙන්නේ ඉතා කුඩා  Image Sensor එකක් නිසා, එම කැමරා වලින් high quality photos ගන්න හැකියාවක් නැහැ වගේම එම කැමරා වලින්  ගන්න ඡායාරුප විශාල කර (enlarge) මුද්‍රණය කිරීමේ හැකියාවකුත් නැහැ.


ඉහල තියෙන සටහන බලන්න.  එකේ තියෙනවා sensor formats  දක්වලා. ලොකුම sensor එක තමයි full frame කියන්නේ.මේකේ ප්‍රමාණය තමයි මි.මි.35 ෆිල්ම් කැමරා වල තිබුන negative ප්‍රමාණය වන මි.මි.36 x 24 ප්‍රමාණය. full frame කැමරා ඉතාම ඉහල මිලක් ගන්නවා. මේ තියෙන්නේ ඒ කැමරා කීපයක්.










 නමුත් අද අපි භාවිතා කරන බොහොමයක් DSLR කැමරා වල තියෙන්නේ APS-C  image  format   එකක්. මෙම APS-C  ෆෝර්මට්  එක සහිත කැමරා වලින් ඉතා හොඳ ෆොටෝ ගන්න පුළුවන්. නමුත්  bridge  වර්ගයේ කැමරා වල තියෙන්න ඔය සටහනේ තියෙන කුඩාම ප්‍රමාණ වන 1/1.7, 1/1.8 හෝ 1/2.5 වගේ sensor  එකක්. මේ නිසා තමයි bridge  වර්ගයේ කැමරා වලින් ගන්න  පින්තුර enlarge  කිරීමේදී ප්‍රශ්න  ඇතිවෙන්නේ.


මෙගා පික්සලේද? සෙන්සර් ෆොර්මැට් එකද?

දෙන්න පුලුවන්ද උත්තරේ?  අපි බොහෝවිට කැමරාවක් මිලදී ගන්න ගිය විට බලන්නේ මෙගා පික්සල් ගණන. නමුත් වඩා වැදගත් වන්නේ Sensor Format  එක. මේ නිසා තමයි මෙගා පික්සල් 24ක    කුඩා කැමරාවකින් ගන්න පින්තුරයකට වඩා  මෙගා පික්සල් 10ක  APS-C  sensor  එකක් තියෙන DSLR  එකකින් ගන්න ඡායාරුපය හොඳ වෙන්නේ.


පොස්ට් එක දිග වැඩියි වගේ හිතෙනවා ඒ නිසා Image  Sensor  එකටම අදාළ  වන Crop Factor  එක සහ Focal  Length  Multiplier කියන දේවල් ගැන ඊළඟ සැරේ කතා කරමු. මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක කැමරාවක් මිලදී ගැනීමේදී ඉතාම වටිනවා. නැත්නම් ඉතින් වෙළඳ ප්‍රචාරණයට තමයි අහුවෙන්නේ.



දෙවන කොටස මෙතනින් බලන්න 

Friday, February 15, 2013

වැලන්ටයින් දිනයට පමණක් ද?

DSC_0015

මෙය මගේ ආදරණිය බිරිඳ වෙනුවෙන්ම ලියුවෙකි, වැලන්ටයින් දිනයට පසු මෙය පලකිරීමට අදහස් කලේ, ආදරය එක්  දිනයකට පමණක් සීමාකළ  නොහැකි  මෙන්ම, වානිජ්‍ය කරණයට ද හසුනොවිය යුතුය යන්න, මගේ විශ්වාසය බැවිනි.

මවෙකි ඔබ මට 
පියෙකි ඔබ  මට 
තවත් විටකදී 
සොහොයුරෙකි  ඔබ මට,
නැවත විටකදී 
සොයුරියකි  මා හට ....
මවෙත සිටිනා 
යහළුවත් ඔබමැය,
යෙහෙළියත් ඔබ මිස, වෙනත් කවුරුද?
මගේ මුළු ලොව ඔබ පමණි මට.
සසර වසනා තුරුම ලැබුමට
බිරිඳ ලෙස මගේ 
පතමි සැම  කල.




රජාගේ පෙට්ටිය


මේ කතාවත් ඉතින් අර මං තුමා ළඟ තියෙන  කඳුළු දුපතේ රජ කතා කියන වටිනා පොතෙන් සොයා ගත්ත එකක් තමයි. ඔන්න ළමයිනේ මුලින්ම කියන්නේ මේ කතාව ඔය වෙන රටවල් වල රජවරුන්ට ගවා ගන්නවා එහෙම නෙවේ.

ඔන්න ඉතින් අර අපේ කඳුළු දුපතේ රජකම් කල ප්‍රසිද්ධ නාකි රජතුමා මැරෙන්න කලින් අපායට ගියානේ, යම රජතුමා යාලු  කරගන්න. කියවන්න බැරිඋන අය මෙතනින් කියවන්න. ඉතින් ඒ වැඩෙත් හරිගියේ නැති නිසා මෙයා  මැරෙන්න හරිම බයෙන් තමයි හිටියේ. මොකද ඉතින් මරුනයින්  පස්සේ, කොරපු වැඩ වල හැටියට ආයේ  ඉතින් අපායෙන් ගැලවීමක් නැහැ කියලා දන්නවනේ. ඔන්න ඔහොම මරණයට බයෙන් ඉන්න වෙලාවක එක පුරෝහිත කෙනෙක් මේ රජතුමාට මෙන්න මෙහෙම අදහසක් දෙනවා.

"මහා රජතුමනි ඔබ තුමා  අහලා තියෙනවා නේද අර  Snow White  ගේ කතාව.?"

"ඔව්, ඉතින් මොකද එක මේ වෙලේ මතක් උනේ."

"රජ තුමනි, ඔබ තුමත් ඒ වගේ විදුරු වලින් මිනී පෙට්ටියක් හදවන්න, ඔබ තුමා මැරුණම එකේ දාලා කැලේ ගිහින් තියන්න කියලා අණ  කරන්න, කවුරු හරි කැලේදී  ඔක දැකලා ඔබ තුමාට උම්මා එකක් දුන්නම ඔබ තුමාට පන එනවා, එතකොට අපහු මෙහෙ ඇවිත් රජකම් කරන්න පුළුවන්නේ. කොහොමද මගේ ටිකිරි මොලේ?"

පුරෝහිතලගේ ලණු  ගිල ගිල හිටපු මේ නාකි රජා, මේ ලනුවත් හුටස් ගාලා ගිල්ලා. දැන් රටේ ඉන්න දක්ෂම විදුරු භාණ්ඩ නිෂ්පාදන ශිල්පියා  කැඳවලා ඔහුට මෙහෙම උපදෙස් දෙනවා.

"තමා  මට විදුරු වලින් මිනී පෙටිටියක් හදන්න ඕනේ. මේ පෙට්ටිය ඉතාම ලස්සනට වගේම මගේ රජකීය විලාශයට ගැලපෙන විදිහට හදන්න ඕනේ, මගේ මිනිය මේකේ තැන්පත් කලාම, මහා ජනතාවට හොඳට පෙන විදිහට තියෙන්න ඕනේ'

"හොඳයි රජ තුමනි මේ සඳහා සති දෙකක කාලයක් අවශ්‍ය වන අතර, මේ අපුරු නිර්මාණය ඔබ තුමා වෙනුවෙන් කිරීම සඳහා වෙනමම කුටියක් අවශ්‍ය වෙනවා."

"ඔබට ඇවැසි සියලුම පහසුකම් රජයෙන් ලැබෙන අතර සති දෙකකදී මේ මිනීපෙට්ටියේ සියලු වැඩ නිමකළ යුතුය"

දැන් ඉතින් අපේ මේ ශිල්පියා  බරටම වැඩ. ඔන්න ඉතින් සති දෙකක ඇවෑමෙන් වැඩ කටයුතු අවසන් කල බව රජ තුමාට දැනුම් දුන් අතර , රජ තුමා මේ මිනි පෙට්ටිය තබා ඇති තැනට පැමිණ එහි අලංකාර නිමාව ගැන මෙම ශිල්පියාට ප්‍රසංශා කරමින් ඒ ගැන තොරතුරු මේසේ විමසයි.


"ෂා.. බොහොම ලස්සනට වැඩේ කොරලා තියෙනවා"

"එහෙමයි රජ තුමනි"

"වටේටම විදුරු නේද?"

"එහෙමයි, වෙඩි නොවදින විදුරු"

"බොහොම හොඳයි,  අර මොකක් ද පැත්තකින් හේත්තු කොරලා  තියෙන්නේ"

"රජ තුමනි,  ඒ මෙම පෙට්ටියේ විදුරු පියන"

"ඉතින් මොකද එකේ අර වයිපර් එකක් හයි කොරලා  තියෙන්නේ"

"රජතුමනි, එක ඔටෝ වැඩ  කරන වයිපර්  එකක්... ඔබ තුමාගේ  දේහය පෙට්ටියේ තැන්පත් කරලා පියන වැහුවම වතුර වගේ දෙයක් වැටුනොත් මේක ක්‍රියාත්මක වෙලා පිහ දැමෙනවා"

"ඇයි  මෝඩ මිනිහෝ, එහෙම වෙන්නේ කොහොමද? රාජකීය දේහය මහජනයාට ප්‍රදර්ශනය කොරන්නේ මණ්ඩපයක තැන්පත් කොරලානේ"

"ඒ උනාට රජ තුමනි, ඔබ තුමාගේ මිනිය බලන්න එන හැම එකාම මේකට තු.... තු... කියලා කෙල ගහනවනේ"



Tuesday, February 12, 2013

Z - ස්කෝර් අවුලට නව විශ්ව විද්‍යාලයක්

Z - ස්කෝර් අවුල යාන්තමින් බේරාගෙන ඇත්තේය. නමුත් මේ නිසා අසාධාරණයට ලක් වූ සිසුන් බොහෝය.  මෙවර වානිජ්‍යය විෂය ධාරාවෙන් A සමර්ථ 3ක් ලැබූ සමහර ශිෂ්‍යයන්ටද සරසවි වරම් අහිමි වන ලකුණු පෙනෙන්නේය.  මේ අසාධාරණයට විසදුමක් ලෙසත්, රටේ අනාගත සුභ සිද්ධිය  උදෙසාත්,  නව විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට පිළිබඳව මේ දිනවල ඉහල මට්ටමේ සාකච්චා පැවැත්වෙන බව ඉතා විශ්වාශ කටයුතු මාර්ගයකින් මං තුමා වෙත තොරතුරු ලැබී ඇත්තේය.  මේ  යෝජිත නව  විශ්ව විද්‍යාලය පිලිබඳ කෙරෙන පළමු හෙළිදරව්ව වන අතර සය්බර් අවකාශයේ හිතවතුන්ගේ අදහස් සහ  යෝජනා ඇත්නම් කරුණාකර ඉදිරිපත් කරන ලෙස මෙයින් දන්වා  සිටින්නේය. 

අ.පො.ස. (උ/පෙ) විද්‍යා සහ ගණිත අංශ වලින් ඉහලම ලකුණු ලබාගන්න සිසුන් ඇතුලත් කරගනු ලබන්නේ වෛද්‍ය සහ ඉංජිනේරු  පිඨයන්ටය. තම දරුවා වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් කිරීමට දෙමාපියන් බොහෝ සෙයින් උනන්දු වෙනවාය. එයට දොස් කිමට ද  බැරිය. තම දරුවන් සමාජයේ ඉහලට ගෙනයෑමට  සෑම දෙමාපියෙක්ම කැමතිය. සමාජයේ ඉහලම තලය හිමිකරගෙන සිටින්නේ දොස්තරය. Once a King always King කියා කියමනක් ඇත්තේය. දොස්තර කමත් එවගේය. ඌ මලත්  දොස්තරමය. රටේ ජනාධිපතිත් ධුර කාලය අවසන් වූ පසු හිටපු ජනාධිපති වන්නේය. නමුත් කොහෙවත් හිටපු දොස්තර කියා කියන්නේ නැත්තේය.

තත්වය මෙසේ උවද දැන් සිදුවෙන කාරනා  අනුව දොස්තරලගේ අනාගතය එතරම් සුභ නැත්තේය. මෙයට හේතුව වන්නේ අතක් අහිමි වූ නීති ශිෂ්‍යාවට ප්ලාස්ටරය දැමු දොස්තරගේ ප්‍රකාශය ය. මේකා කියා ඇත්තේ ඇගේ  වෙලාව හොඳ නැහැ කියාය.   

යෝජිත නව  විශ්ව විද්‍යාලය පිලිබඳ අදහස් නිලධාරිනට ලැබුනේ මේ ප්‍රකාශය නිසාය. ඔන්න දැන් අලුත් විස්ස විජ්ජාලේ අරඹන්න  යනවාය. ඒ කට ඇතුල් කරගනු ලබන්නේ අ.පො.ස. (උ/පෙ) සියලුම විෂය ධාරාවන්ගෙන් ඉහලම    Z -අගය ගන්නා  සිසුන්ය. (වෛද්‍ය ,ඉංජිනේරු සහ අනිකුත්  පිඨයන්ට ඇතුලත් කරන්නේ ඊට වඩා  අඩු ලකුණු  ලබාගන්න උන්වය.) නව විස්ස විජ්ජාලේ වසර 5ක කාලයේදීම උගන්නන්නේ  ජෝතිර් විද්‍යාවය. තත්කාලය  අනුව වෙලාව සැකසීමට ප්‍රමුක ස්ථානයක් ලැබෙනවාය. 

සියලුම ආයතනවල ඉහලම නිලය හිමිවන්නේ මේ ජෝතිර් වේදී උපාධි ධාරින්ටය. ප්‍රශ්නේ ඉවරය.  තත්කාලයට අනුව වෙලාව බලා සුදුසු දොස්තර වෙත ලෙඩා යොමු කරනු ඇත්තේය. එවිට වෙලාව හොඳය. ප්‍රතිකර්ම සාර්ථක වන්නේය. 

සෑම තැනකම මේ ලෙසම කරන්නේය. ගොඩනැගිල්ලක් සැදීමට පෙර වෙලාව බලන්නේය. ඒ අනුව ඉංජිනේරුවාට උපදෙස් දෙන්නේය. හුටස් ගා වැඩේ වෙන්නේය. කවදාවත් ගොඩනැගිල්ලක්, පාලමක් කඩා නොවැටෙන්නේය.

කොටින්ම කියනවනම් බ්ලොගයේ පොස්ට් එකක් පබ්ලිෂ් කිරීමට කලින් ද වෙලාව බලා ගන්නේය. සට සට ගා හිට්ස්   සහ කොමෙන්ට් වැඩි වෙන්නේය.

ඉහත ප්‍රකාශය කල දොස්තරයා දොස්තර කමට සුදුසු නැති උනත් ඌ ට ඇත්තේ පුදුම මොලයක්ය. වෙලාව හොඳ නැති බව කිවේ ඒ නිසාය. මේ  නව විස්ස විජ්ජාලේ හැදෙන්නෙත් මේ ප්‍රකාශය නිසාය. මේ දොස්තරයට රටේ ඉහලම රාජ්‍යය සම්මානයත්, ඉහලම ජනතා සම්මානයත් දෙන්නටම වටිනවය.

Monday, February 11, 2013

කැමරාව බේරගන්න -Dry Box එකක් හදාගන්න



මගේ කලින් ඡායාරුප කරණය පිලිබඳ පොස්ට් දෙක වන මං තුමාගේ ෆොටෝ සිහිනය සහ නොමිලයේ ඩිජිටල් කැමරාවක් යන පොස්ට් දෙකට කොමෙන්ට් කරපු ගොඩක් දෙනෙක් මේ ඡායාරුප ශිල්පය ගැන උනන්දුවක් දක්වන අය  , එහෙමත් නැත්නම් තමන්ට කැමරාවක් ලබාගැනීමට බලාගෙන සිටින අය. මේ අයගේ කොමෙන්ට් වලින් වගේම සමහර අය මට  ඊ  මේල එහෙමත් විදලා තිබුන, ෆොටෝග්‍රෆි ගැන පොස්ට් කීපයක් දමන්න කියලා. ඔන්න ඔය හේතු නිසා මං තුමා කල්පනා කළා මේ පොස්ට් එක ඉස්සෙල්ලම දාන්න.

මේ පොස්ට් එකෙන් මං තුමා කියලා දෙන්න යන්නේ අපේ කැමරා උපකරණ ටික කොහොමද නිවැරදිව ගබඩා කරලා තියාගන්නේ කියලා වගේම ඒ සඳහා අවශ්‍ය වන Dry Box එකක් කොහොමද ඉතම සුළු මුදලකට අපිම හදාගන්නේ කියන එක. බොහොම කාලයක් පෙරුම් පුරලා ලක්ෂ ගානක් වියදම් කරලා මිලදී ගත්ත කැමරාවට එහෙම නැත්නම් ලෙන්ස් වලට  හානියක් උනොත් ඉතින් හුටා තමයි නේද? 

මං  තුමා බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා අපේ කස්ටිය කැමරාව ඇඳුම් දමන අල්මාරියේ දාලා තියෙනවා, එහෙම නැත්නම් පොත් දාන කබඩ් එකක දාලා යතුරු දාලා තියෙනවා. මේක සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්. කවුරු හරි ඒ දේ කරනවානම් දැන්මම කැමරාව එතනින් එලියට ගන්න. 

අපේ වගේ රටවල් වල humidity  ඉංගිරිසියෙන්  ආර්ද්‍රතාවය කියලා කියන්නේ, අන්න  එක ගොඩක් වැඩියි. මේ humidity 50% වඩා වැඩිවන විට කැමරා ලෙන්ස් වල, sensor  එකේ වගේම අනිකුත් විදුරු මතුපිටවල් සහිත කොටස් (viewfinders, mirrors) වල නොයෙකුත් පුස් වර්ග හැදෙනවා. මේවට සිංහලෙන් කියන්නේ molds (fungus) කියලා. මේ පුස් වර්ග ඔය උපකරණ වල තියෙන glass coatings  විනාශ කරනවා.  කැමරා lens  එක හදලා තියෙන්නේ lenses කීපයක් එකතුකරලා, ඉතින් ඔය ඇතුලේ තියෙන ලෙන්ස් කෑල්ලකට ඔය පුස් අවොත් එහෙම සුද්ද කරන එක ලේසි නැහැ. බොහෝවිට අලුත් ලෙන්ස් එකක් ගන්න තමයි වෙන්නේ. ඔය fungus සුද්ද කරන අය  ඉන්නවා නමුත් මං  තුමාගේ පුද්ගලික අදහසනම් ඔය fungus සුද්ද කරපු ලෙන්ස් එකක් මුල් තත්වගේ තරම් හොඳ නැහැ කියන එකයි.



දැන් තේරෙනවා ඇති නේද, කැමරා සහ උපාංග  ඇඳුම්, පොත් වගේ දේවල් එක්ක තියන්න එපා කියලා කියුවේ ඇයි  කියලා. ඔය අල්මාරි, කබඩ් ඇතුලේ humidity එක වැඩි වගේම එලිය වැටෙන්නේ නැති නිසා මේ පුස් වර්ග ඉක්මනින් හැදෙනවා.

Dry Box එකක් ඇතුලේ මේ උපකරණ ටික තබාගන්න එක තමයි විසදුම. මේ Dry  Box  කියන්නේ අපිට අවශ්‍ය මට්ටමින් humidity % පාලනය කල ඇතුලට සාමාන්‍ය ලෙස ආලෝකය වැටෙන විදිහට සකස් කල පෙට්ටගමක්.

මේ තියෙන්නේ ඒ වගේ එකක්.

හැබැයි පුතෝ මේවා හරි ගණන්. ලංකාවේ නම් අඩුම මිල රුපියල් 9500/- විතර වෙනවා. ඉතින් මෙන්න මං තුමා dry box  එක හදපු හැටි. මේ විදිහට වහාම එකක් හදාගෙන කැමරාව එකේ දමන්න. 

මෙන්න උපකරණ ලැයිස්තුව සහ මං  තුමාට  වියදම් උන මිල ගණන්.

1. Air tight Container Box - රු. 950.00
2. Silica gel 250g              - රු. 125.00
3. Humidity මීටරයක්           - රු.500.00

මුළු වියදම = 1575.00  නරක නැහැ නේද?


මෙන්න සදා ගන්න පිළිවෙල:


ඔය තියෙන්නේ මං  තුමා ගත්ත පෙට්ටගම, සුපිරි වෙළඳ සලකින් ගන්න පුළුවන්.


පියනට ඔය වගේ රබර් බිඩින්  එකක් තියෙන්න ඕනේ එතකොට තමයි Air  Tight වෙන්නේ.

පෙට්ටියේ අඩියට ෆෙල්ට් රෙදි කෑල්ලක් දාන්න.


Silica gel ග්‍රැම් 100 විතර දාන්න. අනිත් ටික කට තදින් වැසූ බෝතලයක අරන් තියාගන්න.



දැන් ඊට උඩින් තවත් ෆෙල්ට් රෙදි කැල්ලක් දාන්න. 




ඔය  තියෙන්නේ Humidity මීටරය.


ඕවා නම් මෙහෙ ගන්න නැහැ. මං තුමාගේ යාලුවෙක් ඉන්නවා මාසයකට සැරයක් දෙකක් බැංකොක් යන එතුමාට කියල ගෙන්නවා ගත්තා. දැන් ඔය මීටරය එලියට පෙනෙන  විදිහට පෙටිය ඇතුලේ තියා ගන්න.

දැන් කැමරා එකයි ලෙන්ස් ටිකයි  අසුරගන්න.

පියන හොඳින් වසා මීටරය පෙනෙන ලෙස මේසයක් උඩින් තබාගන්න.


සැලකිය යුතුයි:

ඔය මීටරය 30% - 45% අතර තබාගන්න. 45% වඩා ඉහල යනවනම් සිලිකා ජෙල් තව ටිකක් එකතු කරන්න. 30% වඩා අඩු වෙනවනම් සිලිකා ජෙල් ප්‍රමාණය අඩුකරන්න.


සිලිකාජෙල් නිල්  පැහැයෙන්  යුක්ත වන අතර ජල  වාෂ්ප උරා ගැනීමෙන් රෝස පැහැයට හැරේ. එවිට  සිලිකා ජෙල් රත්කර ගැනීමෙන් නැවත සක්‍රිය කරගත හැක.


මේ තියෙන්නේ නිල්  පාටට, ජල වාෂ්ප උරා නොගත් සිලිකා ජෙල්. රෝස පාටට තියෙන්නේ ජල වාෂ්ප උරා ගත් සිලිකා ජෙල්.



Friday, February 8, 2013

නොමිලයේ ඩිජිටල් කැමරාවක්


මෙන්න නොමිලයේ ඩිජිටල් කැමරාවක් , මං  තුමාගේ ෆොටෝ සිහිනය පොස්ට් එක කියවපු ගොඩක් දෙනෙක් ගේ සිහිනයක් උනෙත් DSLR එකක් ගන්න එක කියලා තමයි කොමෙන්ට් වල තිබුනේ. ඔන්න ඒ හින්ද මං  තුමා ඕගොල්ලන්ට ඇතිවෙනකල් ෆොටෝ ගහලා ඉගෙනගන්න පුළුවන් විදිහේ camera simulator එකක්  නෙවේ දෙකක්ම ගෙනාවා.

මේ simulator එකේ තියෙන settings  මාරු කරමින් ෆොටෝ අරන් බලන්න.  මේකෙන් ඔයාලට aperture, shutter speed, ISO, Focal Length of the lens, Camera to subject distance,  hand held and tripod mounted shots කියන දේවල් වලින් කොහොමද ෆොටෝ එකට බලපෑමක් වෙන්නේ කියල බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවේ මේ settings මාරු වෙනකොට Exposure, Depth of Field, Motion blur and Noise  කියන දේවල් වෙනස් වෙන්නේ කොහොමද කියල තේරුම් ගන්න උත්සහ කරන්න.

DSLR එකක් ගත්ත දවසට කැමරා එක වැඩිය මරවන්නේ නැතිව ෆොටෝ ගහන්න මේක හොඳ අභ්‍යාසයක් වෙයි. එහෙනම් පටන් ගන්න. අහන්න දෙයක් තියෙනවනම්අහන්න.







Thursday, February 7, 2013

හලාල් සහ පවුල් සැලසුම් (18++)


මුසල්මානු ජනගහනය වැඩිවීම ගැන කරපු රහසිගත සමීක්ෂණයක   තොරතුරු මං  තුමාට දැනගන්න ලැබුනේ ඉතාම විශ්වාස කටයුතු මාර්ගයකින්.  මේ ක්‍රමය අනුගමනය කිරීම තුලින් ඕනෑම ජන කොට්ටාශයකට ඉතා සීග්‍ර  ජනගහන වර්ධන වේගයක් අත්කරගත හැකි බව මං  තුමා ගේ විශ්වාසයයි. එහෙනම් මේ  සමීක්ෂණය ගැන කියවලා බලමු.

එක්තරා මුසල්මනු ජනගනය අධික වගේම වර්ධන වේගය වැඩි ගමක් තමයි මේ සඳහා තෝරාගෙන තියෙන්නේ. එහෙම තෝරාගෙන මේ ගමේ ඉන්න අවුරුදු 18ට ඉහල හැමෝටම පවුල් සංවිධාන ක්‍රම ගැන අපේ මේ කස්ටිය දේශනා එහෙම පවත්වලා පුංචි පවුල රත්තරන් කියලා සංකල්පයක් එහෙම දීලා, පවුල් සංවිධාන උපකරණ විදිහට කොන්ඩම් නොමිලයේ බෙදා දීලා, පාවිච්චි කරන පිළිවෙල එහෙම කියල දීලා  තියෙනවා. 



ඊට පස්සේ මේ ගම ගැන නිතරම සෙවිල්ලෙන් ඉන්න පවුල් සංවිධාන නිලදාරීන් දෙන්නක් යොදවලා අවශ්‍ය සැම  විටකම නොමිලයේ කොන්ඩම් බෙදා දෙන ලෙස උපදෙස් දීලා තියෙනවා. මේ විදිහට කටයුතු කරලා අවුරුදු දෙකක් විතර ගියහම අපේ සමීක්ෂණයක කණ්ඩායම සංගණනයක් අරගෙන බලනකොට වර්ධන වේගයේ වැඩිවීමක් මිස කිසිම අඩුවක් දකින්නට ලැබිලා නැහැ. ඉතින් සම්පුර්ණ වැරැද්ද පටවල තියෙන්නේ අර පවුල් සංවිධාන නිලදාරීන් දෙන්නට තමයි.

"ඔය දෙන්නා නිකන් ඉඳලා පඩි අරගෙන තියෙන්නේ.. අපේ උපදෙස් පිළිපැදලා නැහැ.  කොන්ඩම් බෙදා දීම නිසි පරිදි කරලා තිබුනානම් මේ ගමේ වර්ධන වේගය අඩු වෙන්න ඕනේ"

ඔන්න ඔය විදිහට ඉහල නිලධාරීන් මේ දෙන්නට තදින් දොස් පවරලා තියෙනවා. ඔය වෙලේ මේ දෙන්න මෙහෙම තමයි කියල තියෙන්නේ.

"නැහැ සර්, අපි රාජකාරිය හරියටම කළා. ඉල්ලන ඕනෑම වෙලාවක නොමිලයේ කොන්ඩම් නිකුත් කළා. අපි මේ ගොල්ලෝ රැස්  කරලා අපහු නිවැරදි ලෙස කොන්ඩම් භාවිතය ගැන උපදෙස් දීලා ටිකක් කතා කරලා බලමු "

ඔය සාකච්චාවෙන් පස්සේ අපහු සැරයක් අර මුලින්  වගේ හැමෝම ගෙනල්ලා පවුල් සංවිධානයේ වටිනාකම ගැන නැවත පැහැදිලි කළා. ඊට පස්සේ මේ දේශනය පැවැත්වූ කෙනා මෙහෙම අහනවා.

"ඔය ගොල්ලන්ට අපි කියන දේ තේරෙනවද  ?"

"ඔව් සැර්, අප්පිට යොඳට තෙරුන්නා..."

"එහෙනම් කියන්න ඕගොල්ල අපි දුන්න කොන්ඩම් පාවිච්චි කරාද?"

"අප්පෝ ඔව් සැර්"

"අපිට කියන්න  බලන්න කොහොමද මේ කොන්ඩම් පාවිච්චි කරන්නේ කියලා"

"අප්පෝ සුළු දෙයක් නේ  සැර්,  පැකැට් යෙක   කඩලා කෙන්දොම් යෙක එලියට ගන්නවා, ඊට පස්සේ කතුරක් ගන්නවා. ඊට පශ්ශේ   යෙකේ කොන කප්පලා පාවිච්චියට ගන්නවා"





Wednesday, February 6, 2013

මතට තිත , තිතට මත සහ වැඩිහිටියන්ට වැඳීම

මේ සිදුවීම මට මතක් උනේ ඩුඩ් ගේ  ජාතික දිනයට පෙරවදනක් පොස්ට් එක කියවද්දී. ඩුඩ්  ඒ පොස්ට් එකෙන් ලස්සනට කියල තිබුනා අපේ රටේ මිනිස්සුන්ගේ කොන්දට කරලා තියෙන දේ ගැන. වැඩිහිටියන්ට ගරු කිරීම, වැඳීම  අපේ සගුස්කුරුතෙට සහ ආගම ට එකයි. මං තුමා නම් එකේ වරදක් දකින්නේ නැහැ, නමුත් වැඩිහිටි ඇත්තෝ අනික් අයගේ ගරුකිරීමට, වන්දනාවට සුදුසු තත්වයෙන් රැදෙන්න ඕනේ. ඔන්න ඔය ටික මං තුමා කොලුවෝ දෙන්නට කියල දීලා තියෙනවා.  මේ සිදුවීම කියවලා බලන්නකෝ, අපේ පොඩි එකා කරපු දෙයක් ගැන තමයි.

දැනට වසර හතරකට විතර පෙර මං තුමා ගේ බිරිඳගේ මාමා කෙනෙක් හදිසියේම පරලොව යන්න ගියා. මේ මළ  ගෙදර වැඩ කටයුතු තිබුනේ නුවර. ඔන්න ඉතින් අපේ ගෙදර කස්ටියත් මළගෙදර ගියයි  කියමුකෝ. දැන් ඉතින් මළගෙදර වැඩ රාජකාරි එහෙම අහවර වෙලා එකතු  උන නෑදෑයෝ කතා බහ කර කර ඉන්න අතරේ මං තුමා ගේ  බිරිඳගේ පුංචි අම්මලා දෙන්නකුගේ මහත්තුරු දෙන්නෙක් ඒ කියන්නේ  බාප්පොච්චිලා දෙතුන් දෙනකුයි, එක මාමා  කෙනෙකුයි එලියට වෙලා මත්වතුර බෝතලයක් තියාගෙන වැඩ. (මම හිතන්නේ හිතේ දුකට වෙන්න ඇති.) මං තුමා නම් ඒ පැත්ත පළාත බැලුවේ නැහැ ,මොකද කියනවනම් අපේ ගෙදර මතට තිත.

ඔන්න ඔය අතරේ මං තුමා  කීවා,  "දැන් ඉතින් කොළඹ යන්නත් තියෙන නිසා අපි පිටත් වෙමු" කියලා.  එහෙම කියපුවහම මං තුමා ගේ බිරිඳ කොලුවෝ දෙන්නට මෙහෙම කියනවා.

" පුතාලා එහෙනම් වැඩිහිටි අයට වැඳලා යනවා කියලා එන්න"

එහෙම කිව විතරයි පොඩි එකා සුටුස් ගාලා නැගිට්ටා, මෙන්න ඔක්කොටම දනගහලා වැඳගෙන යනවා. "ආච්චි අපි ගිහින් එන්නම්, ලොකු අම්මේ අපි ගිහින් එන්නම්, නැන්දේ අපි ගිහින් එන්නම්, ....." ඔහොම කියා කියා 
ඔක්කොටම වැන්දා.

ඊට පස්සේ ඇය  නැවත කියනවා ..

"එළියේ ඉන්න සීයලාටත් කියන්න ඕනේ පුතා"

"හොඳයි අම්මේ යමු, එළියේ ඉන්න සියලටත් ගිහිල්ලා කියමු.."

දැන් මේකා  අම්මත් එක්ක එලියට ගියා,  අර  කස්ටියට ටිකක් ලං වෙලා කියනවා 

"අපි එහෙනම් ගිහින් එන්නම් සියේ.."

දැන් ඇය  නැවත මෙහෙම කියනවා 

" හා හා එහෙම බැහැ පුතේ සියලට වැඳලා කියන්න ඕනේ"

දැන් මු මහා හයියෙන් මෙහෙම කියනවා

"සීයලා නෙවේ කවුරු උනත් මම මොකටද මේ ජරාව බොන අයට වඳින්නේ?  මම වඳින්නේ නැහැ."

ඔය කතාව කිව විතරයි එක බාප්පොච්චි කෙනෙක් සුටුස් ගාලා නැගිටලා මගේ  ලඟට ඇවිත් මෙහෙම කියනවා.

"අයිලාෂ් පුතේ, මගේ ජීවිතේට මෙහෙම කතාවක් ඇහුවේ නැහැ, මගේ ඩෝප් බැස්සා පොඩි එකාගේ කතාවට."



ප.ලි.: 
කොන්ද පමණක් පණ ඇති ජාතියක් නොව, මතින් තොරවූ කොන්ද පණ ඇති  ජාතියක් අපිට අවශ්‍ය බව මගේ පිළිගැනීමයි.








  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...