Thursday, August 1, 2013

මුහුදු වෙරළේ ඡායාරුප ගමු - Beach Photography

මුහුදු වෙරළේ ඡායාරුප ගැනීම නැතහොත්  Beach Photography කියූ විගස අපේ මතකයට එන්නේ sunset, sunrise නැතහොත්  seascape  වගේ දේවල්




ඔබ වෙරළට ගිය විට බොහෝ විට කරන්නේ මුහුද දෙස බැලීම, නමුත් ඔබ  වෙරල දෙස බැලුවහොත්, එහි සිටින අයගේ නොයෙකුත් හරිම රටා ඔබගේ කාචයට ග්‍රහණය කරගන්න පුළුවන්. මේ වෙනුවෙන් භාවිතාකල හැකි හොඳම කාචය වන්නේ ඔබගේ 18-55 m.m. කාචයයි. වෙරළේ සිටින පුද්ගලයින්ගේ හැසිරීම් ග්‍රහණය කිරීමට උත්සහ කරන්න. එක රුපරාමුවක් වෙනුවෙන් තත්පර 30-45 කට වඩා වැඩි කාලයක් ගන්න එපා. එවිට ඔවුන්ගේ අවධානය ඔබවෙත යොමු වීමට  හැකියි.  පුද්ගලයින් ඡායාරුප ගත කිරීමේදී ඔවුන්ගේ පුද්ගලිකත්වයට හානි වන ලෙස ඡායාරුප ගැනීමෙන් වලකින්න. එමෙන්ම high angle මෙන්ම low angle shots  ගැනීමට උත්සාහ කරන්න.









ප්‍රසිද්ධ ස්ථානයකදී කෙනෙකුගේ ඡායාරුපයක් ගැනීමට ඔබට නීතිමය අවකාශ ඇතත්, යම් කෙනෙකු තමන්ගේ ඡායාරුපයක් ගැනීම පිළිබඳව විරෝධය පලකළහොත්, එම තැනැත්තාගේ පුද්ගලිකත්වයට ගරුකර එම ඡායාරුපය ගැනීමෙන් වැලකිය යුතුය. 

ඔබගේ කැමරාව ඉතා හොඳින් ආරක්ෂා කරගන්න, මුහුදු වතුර  සහ මුහුදු සුළඟ නිසා කැමරාවට දැඩි හානි සිදුවිය හැකියි. බොහෝ දෙනෙක් ළඟ ඇත්තේ වෙදර් ෂිල්ඩ් කැමරා නොවන බව අමතක කරන්න එපා. එබැවින් සැම විටම කැමරාවේ පටිය ඔබගේ ගෙලවටා පැළඳ සිටින්න. මොනම හේතුවක් නිසාවත් කාච මාරු කිරීමෙන් වලකින්න. අනිවාර්යයෙන්ම UV ෆිල්ටරයක් හෝ Neutral Colour NC ෆිල්ටර් එකක් ලේන්සයේ ආරක්ෂාව වෙනුවෙන් යොදන්න. ඡායාරුප නොගන්නා සැම විටම ලෙන්ස් කැප් එකෙන් කාචය වසා තබන්න.

Monday, July 29, 2013

බුදුරජාණන් වහන්සේට ඇති අන්වර්ථ නාම


බුදුරජාණන් වහන්සේට අන්වර්ථ නාම  කොපමණක් ඇත්දැයි ඔබ සොයා බලා තිබේද?  ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගුණ කිර්තිය වෙනුවෙන් අන්වර්ථ නාම 108 ඇති බව ඔබ මිට පෙර දන සිටියාද?

පුරාණ පඬිවරයෙක් විසින් බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම පිණිස, උන් වහන්සේගේ ගුණ කිර්තිය දැක්වෙන්නා වූ අන්වර්ථ නාම එකසිය අටක් (108) සංග්‍රහ කරණ ලදී. එම කුඩා පුස්තක "නාමාෂ්ට ශතකය" නම් වේ.  මෙය ඉන් පුටා ගන්නා ලදී.

නාමෂ්ට ශතකය 

  1. සම්බුද්ධං  :  සර්ව ධර්මයන් අචිපරිත කොට (ස්වයම්භු ඥානයෙන්) අවබෝධ කළා වු
  2. පුන්ඩරිකාක්‍ෂං :  (පුබුදු) හෙළ පියූමකට බඳු චූ ඇස්  ඇති
  3. කරුණාස්පදං :  කරුණාවට ප්‍රතිෂ්ඨා කර වූ
  4. සමන්තභද්‍රං :  සර්ව ප්‍රකාරයෙන් යහපත් වු
  5. ශාස්තාරං :  දෙවි මිනිසූන්ට අනුශාසනා කරන හෙයින් "ශාස්තෘ" නම් වු
  6. ශාක්‍යසිංහං :  ශාක්‍ය වංශයට උතුම් වු
  7. සර්වඥං :  සර්වඥයන් වහන්සේ
  8. ශ්‍රිඝනං :  ශොභාවෙන් ගැවසි ගත්තා චූ
  9. ශ්‍රීමතිං : ස්වාර්ථ පරාර්ථ සම්පත්  සාදා දෙන්නා වු යහපත් නුවණ ඇති
  10. ශ්‍රේෂ්ඨං :  අතිශයින් ප්‍රශස්ත වූ
  11. ශීලරාශිං :  ශීලස්කන්ධයක් ඇත්තා වු
  12. ශිවංකරං :   කල්‍යාණ කර වු හෙවන් (අනුන්ට) ශුභ කරන්නා වු
  13. ශ්‍රීකරං :  ලකෂ්මීකර වු හෙවන් ශ්‍රී ඇති කරවන්නා වූ
  14. ශ්‍රී මන්තං 
  15. ශාන්තං :   සන්සූන් ලීලා ඇත්තා වු
  16. ශාන්ත වෙශං :  සන්සුන් වෙස්  ඇත්තා වු
  17. නෛරාන්මවාදිනං :  අනාත්මවාදී හෙවත් පරමාථියෙන්ආත්මයක් නැතැයි යහපත් ධර්මයක්  දේශනා කරන්නා වු
  18. සිද්ධං :  පරිනිෂ්පන්න වු
  19. නිරවද්‍යං : කිය යුතු ස්වල්ප දෝෂයකුත් නැත්තා වූ
  20. තිරාශ්‍රමං :
  21. නීතිඥං :
  22. නිර්මලාත්මානං  :   පිරිසිදු චූ සිත් ඇති
  23. නිෂ්කලංකං    : කැළලක් නැත්තා වූ
  24. නිර්වාදං :   කලහ රහිත වු
  25. නිරහංකාරං :   අහංකාර රහිත වු
  26. නිර්විකල්පං : චිකල් රහිත වු නොහොන් වැරදි රහිත වූ
  27. නිර්ධුත නිබිලක්ලේශං :  පහ කරන ලද සියලූ කෙලෙසූන්  ඇත්තා වු
  28. නිෂ්ප්‍රපක්චං :  (තෘෂ් ණා, මාන, දෘෂ්ටි සංඛ්‍යාත) විපර්යාස තරහිත වූ
  29. තථාගතං : පළමු බුදුවරයන් වහන්සේලා මෙන් ආ හෙයින් තථාගත නම් වූ 
  30. චිශ්වේ ස්වරං :  ලෝක නායක වු
  31. චිමුක්තිඥං : නිවන් දත්නා වූ
  32. විශ්වරූපං :  අනෙකප්‍රකාර (ප්‍රාතිහාර්ය රූපයෙන්) යූක්ත වු
  33. චිනායකං :  තමා හට නායකයෙක් නැත්තා වූ
  34. චිශ්වලක්‍ෂණ සම්පූර්ණං :  සියලූ ලක්‍ෂණයෙන් පිරැණා  වු
  35. වීතරාගං : පහ වු රාගාදී දෝෂ ඇති
  36. විද්‍යාචරණ සම්පන්නං :  (අෂ්ට) චිද්‍යා (පසළොස්) චරණ ධර්මයන්ගෙන් යුක්ත වු
  37. චිශ්වෙශං :    ත්‍රෛලෝක්‍යනාථ වූ
  38. චිමලප්‍රභං :  නිර්මල වූ කාන්ති ඇති
  39. විනිතවෙශං : සං සුං වෙස් ඇති
  40. චිපූලං :  (ගුණයෙන්) මහත්  වු
  41. වීතදෝෂං  :  පහ වු (රාගාදී) දෝෂ ඇති
  42. දුර්දාන්තදමතං :   දමනය නොකටහැකි පුරුෂයන් භික්මවන්නා වූ
  43. සර්වං :  සියල්ලන්ටම හිත වූ
  44. ශුද්ධං : නිර්මල  වු
  45. ශෞධොදනං : සුද්ධෝදන මහරජහුගේ පූත්‍ර  වූ
  46. මූනිං  :  ඥානයෙන් යුක්ත වූ
  47. සුගතිං  :  (මනාකොට සර්වඥතාඥානයට පැමිණ් හෙයින්) සුගති නම් වු
  48. සුගතං : ශෝභන වු ගමන් ඇති
  49. සෞම්‍යං : සෞම්‍ය වූ 
  50. ශුභකීර්තිං :  අවදාත වූ කීර්ති ඇති
  51. යොශිග්වරං :  සමාධී භාවනා කරන්නවුන්ට නායක වු
  52. දශබල : දශචිධී කාය බලයක් හා දශවිධ ඥාණ බලයක් ඇන්තා වු
  53. ලොකඥ : තුන් ලොව දන්තා වු
  54. ලොක පූජීතමං :  ලෝ වැස්සන් චිසින් පූදන ලද්දා වූ
  55. ලොකාචාර්යං : තුන්ලොවට ඇදුරු වූ
  56. නිරාචාර්යං : (තමන්ට) ආචාර්ය්‍ය කෙනෙක් නැත්තා වූ
  57. ලොකනාථං : ලොකස්වාමීන් වහන්සේ වූ
  58. කලංකමුක්තං : (අපවාද සංඛ්‍යාත) කළලින් මිදූණා වු
  59. කාමාරි : මාර විරෝධී වූ
  60. අකලංකං : නිෂ්කලංක වූ
  61. කලාධරං : සිවු සැට කලා දත් නුවණ දරන්නා වූ
  62. කාන්තමුර්තිං : මනොඥ ශරීර ශොභා ඇති
  63. දයාපාත්‍රං : කරුණාවට භාජනය වූ
  64. කනකාහං : ස්වර්ණයකට බඳු වූ පැහැ ඇති
  65. පරමාර්ථං : උත්තම වස්තු වූ
  66. පරජ්‍යොතිං : විශිෂ්ට වු ප්‍රභා ඇති
  67. පරමං : උතුම් වූ 
  68. පරමෙශ්වරං : උත්තමයන්ට නායක වූ
  69. භවාභවකරං :  භවයාගේ අභාවය කරන්නා වූ
  70. භව්‍යං : යෝග්‍ය වූ
  71. භගවන්තං : භාග්‍යවතුන් වහන්සේ
  72. මහා මතිං : මහත් වූ (අර්ථධර්මාදියෙහි පවත්නා) නුවණ ඇති
  73. මහා විය්‍ය්ර්‍ : මහත් වූ විය්‍ය්ර්‍ ඇති
  74. මහාභිඥං : මහත් වූ (ෂඩ් අභිඥා සංඛ්‍යාත) විශිෂ්ට වූ දැනුම් ඇති
  75. මහා බලං : මහත් වූ බල ඇති 
  76. මහොද්‍යමං :  මහත් වූ උත්සාහ ඇති
  77. මහාධෛය්‍ය්ර්‍ : මහත් වූ ධෛය්‍ය්ර්‍ ඇති
  78. මහාබාහුං : මහත් වූ බාහු යුග්මයක් ඇති
  79. ආද්‍යං : (පළමුවෙන් මාර්ගඥානය ලත් හෙයින්) ආදී වු
  80. පචිත්‍රං : (රාග, ද්වේෂ, මොහ යෙන් දුරු  වු හෙයින්) පිරිසිදු වු
  81. සර්වීයං :  සියල්ලන්ට භිත වූ
  82. අපරාජිතං :  (කෙලෙස්  සතුරන් චිසින්) නොපරදවන ලද්දා වූ
  83. අව්‍යුත :  සත්තිස් බෝධි පාක්‍ෂික  ධර්‍මයන්ගෙන්  යූක්ත හෙයින් අව්‍යුත වූ
  84. මිතං :  (ශික්‍ෂාඥප්ති ආදියෙන්) ප්‍රමාණභුත වූ
  85. පරහිතං : අනුනට හිත්කරන්නා වූ
  86. නාථං :  ලොකස්වාමි වූ
  87. අමිතාහං :  අප්‍රමාණ දේහප්‍රභා ඇති
  88. චතුර්මාරාරිචිජීතං : සතර මරසතුරන්  (බිඳ) ජයගත්තා වු
  89. තත්වඥං : (තුන්ඉලාව) ස්වභාව දන්තා වු
  90. ශංකරං : ලොවට සැප ඇති කරන්නා වු
  91. ශිවං :  ශුභ වූ
  92. සත්වසාරං : සත්වයන්ට උතුම් වූ
  93. සදාචාරං : මනා වූ ආචාර ගුණ ඇති
  94. සාර්ථවාහං : (ජාතිකාන්තාරාදියෙන්) සත්වයන් එතෙරකොට නිර්වාණක්‍ෂම භූමියට පමුණුවන හෙයින් සාර්ථවාහක නායකයෙක් බඳු වූ
  95. දෙවදෙවං : දෙවියන්ට දෙවි වු
  96. මහා දෙවං :  මහා දෙවි වූ
  97. දෙව වන්දිතං : දෙචියන් විසින් වඳින ලද්ද වූ
  98. අව්‍යයං : විනාහ රහිත වු
  99. ප්‍රමාණාතීත දෙවෙශං : අප්‍රමාණ දෙවියන්ට නායක වු
  100. දිව්‍ය රෑපං : දෙව ස්වරෑප වු
  101. ජිතෙන්ද්‍රියං : දිනන ලද ඉඳුරන් ඇති
  102. ජීතජක්ලෙශං : දිනන ලද කෙලෙසුන් ඇති 
  103. ජිනේන්ද්‍රං : ජීනයන්ට නායක වු
  104. පූරුෂොත්තමං :  පූරැෂයන්ට උතූම් වු
  105. උත්තමං  : සියල්ලන්ට උතූම් වූ
  106. සත්තමං :  අතිශයින් ශාන්ත වු
  107. බ්‍රහ්මං : ලොකොත්තම වු නොහොත්  බ්‍රහ්මයා චිසින් ජාතකාලයෙහි පිළිගන්නා ලද්ද වු
  108. පූණ්‍යකේ‍ෂත්‍රං : පින්  කෙතක් වු


මෙසේ අනන්ත වූ ගුණ ස්කන්ධයකින් හෙබිය වූ, ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!


Friday, July 26, 2013

ඩිජිටල් කැමරාවේ ඔටෝ ෆෝකස්


අපි භාවිතා කරණ ඩිජිටල් කැමරා වල ඔටෝ ෆෝකස් (Auto Focus System) පද්ධතිය  ක්‍රියා කරන්නේ කෙසේදැයි යන කරුණ  පිළිබඳව සරල දැනුමක්  ලබා ගනිමු.

ඩිජිටල් කැමරා වල ඔටෝ ෆෝකස් (Auto Focus System) පද්ධතිය  වෙනුවෙන් සෙන්සර, පාලක පද්ධතියක් (Control unit) සහ  මෝටරයක් අවශ්‍ය වේ.  මෝටරය අවශ්‍ය වනුයේ කාචය නාභිගත කිරීම (Focusing) සඳහා වන  අතර, එම මෝටරය කැමරා බොඩිය තුල හෝ ලේන්සය තුල ඇතුලත් කර ඇත.

ප්‍රධාන වශයෙන් ඔටෝ ෆෝකස් ක්‍රමවේදයන් දෙකක් භාවිතා වේ.
1. Active Auto-focus system
2. Passive Auto-focus system

Active Auto-focus system:  මෙම ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ  point and shoot cameras වල වන අතර, ඒ සඳහා  අතිධ්වනි තරංග (ultra sonic sound wave)  හෝ අධෝරක්ත කිරණ  (Infra Red (IR) beam) ධාරාවක්  කැමරාවේ සිට වස්තුව වෙත නිකුත්කර, එහි පරාවර්තයන මැනීමෙන්  එම වස්තුවට ඇති දුර පිළිබඳව ගණනය කිරීමක් සිදු කරණ අතර එම ගණනය කිරීමෙන් ලැබෙන දුර ප්‍රමාණයට සරිලන ලෙස කැමරා කාචය නාභිගත කිරීම සඳහා මෝටරය වෙත සංඥාව පාලක පද්ධතිය මගින් ලබා දේ. (දැන් මේ සඳහා බොහෝවිට භාවිතා වන්නේ  අධෝරක්ත කිරණ වේ.)

Passive Auto-focus system: මෙම ක්‍රමය  භාවිතා කරනුයේ  DSLR සහ  Hybrid  කැමරා සඳහාය.  මෙහිදී කැමරාව වෙතින් වස්තුව කරා අතිධ්වනි තරංග  හෝ අධෝරක්ත කිරණ වැනි බලශක්තියක්  නිකුත් නොකෙරේ.   (ආලෝකය මඳ අවස්ථාවන්හිදී  පමණක් Auto-focus assist beam එකක්  ආලෝකය සැපයීම වෙනුවෙන් යොදා ගනී.)  මෙම ක්‍රමයේදී සිදුකරනු ලබන්නේ කැමරාව එම වස්තුව දකිමින් එයට සරිලන පරිදි කාචය නාභිගත කරගැනීමයි. Passive AF ක්‍රමය තවදුරටත් Contrast Detection සහ  Phase Detection. ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.


ඉහත දැක්වෙන්නේ Nikon D80 කැමරාවේ AF modes වේ.

Contrast Detection

මෙම ක්‍රමයේදී, කැමරාවේ ලේන්සය තුලින් විත්  එහි ප්‍රධාන සෙන්සරය (main sensor) මත ඇතිවන ප්‍රතිබිම්බයේ ඇති ආලෝකයේ වෙනස (Contrast) එම  ප්‍රධාන සෙන්සරය මගින්ම මැනීමක් සිදුකරනවා. නිවැරදි නාභිගත වීමකදී, ප්‍රතිබිම්බයේ එක ළඟ ඇති පික්සල් ( pixels) අතර ඇති ආලෝකයේ තිව්රතාවයේ වෙනස (intensity difference)  වැඩි වෙනවා. පාලක පද්ධතිය එහි  ඇති විශේෂිත ඇල්ගොරිදමයක් (algorithm) උපයෝගි කරගනිමින් මෙම ආලෝක තිව්රතාවයේ වෙනස මානනය කරමින්, ලේන්සය ඉදිරියට සහ පසුපසට ගෙනයාම සඳහා මෝටරය වෙත සංඥා නිකුත් කරණ අතර, ආලෝක තිව්රතාවයේ වෙනස  උපරිම වන අවස්ථාව නිවැරදි නාභිගත කිරීම ලෙස තීරණය කරනවා.

සාමාන්‍යයෙන් මෙම Contrast Detection Auto-focus ක්‍රමය සාපේක්ෂ වශයෙන් මන්දගාමී බවක් දක්වනවා. විශේෂයෙන් අඩු ආලෝක තත්වයන් හීදී නාභිගත කිරීමට ගතවන කාලය අධික වන අතර, නාභිගත කිරීමට නොහැකි වීමටද පුළුවන.

බොහෝවිට බ්‍රිජ් කැමරා සඳහා මෙම ක්‍රමය යොදාගන්නා අතර, මුල් කාලයේ DSLR කැමරා සඳහාද මෙම ක්‍රමය යොදා ගනු ලැබුවා.

පහත  ආදර්ශයෙහි ඇති sliding bar එක වෙනස් කරමින් Contrast Detection Auto-focus ක්‍රමය ගැන වඩාත් නිවැරදි අවභෝධයක් ලබාගන්න.



Phase detection.

මෙම ක්‍රමයේදී, කාචය තුලින් ලැබෙන ආලෝක ධාරාව, කුඩා මයික්‍රෝ කාච දෙකක් මගින් දෙකට බෙදා, මේ වෙනුවෙන්ම ඇති සෙන්සර දෙකක් වෙත යොමුකර, එම සෙන්සර දෙකෙහි  ඇතිවන ප්‍රතිබිම්බ දෙක සංසන්දනය කිරීමක් කරනු ලබයි. මෙහිදී පාලක පද්ධතිය මෙම ප්‍රතිබිම්බ දෙකෙහි ඇති ආලෝක තිව්රතාවයේ වෙනස සහ වෙන්කුරු දෝෂය (separation error) මැනීමක් සිදුකර ඒ මත කාචය නාහිගත කිරීම වෙනුවෙන් මෝටරය වෙත සංඥා නිකුත් කරයි. මෙම වෙන්කුරු දෝෂය (separation error) මැනීම මගින් කාචය නාභිගත කිරීම සඳහා කරකැවිය යුතු දිශාව (ඉදිරියට හෝ පසුපසට) තීරණය කිරීමේ හැකියාවක්ද ඇත. එබැවින් මෙම ක්‍රමය ෆෝකස් කිරීමේදී වඩා කාර්යක්ෂම වන අතර, දැනට ඇති  සාර්ථකම ක්‍රමය වේ.

පහත  ආදර්ශයෙහි ඇති sliding bar එක වෙනස් කරමින් Phase detection  Auto-focus ක්‍රමය ගැන වඩාත් නිවැරදි අවභෝධයක් ලබාගන්න. එමෙන්ම එහි  flip mirror to take picture ලෙස නම්කර ඇති  check box එක මත click කර බලන්න.

Wednesday, July 24, 2013

ඩිජිටල් ඡායරූප රැකගන්නේ කෙසේද? - Preserving Digital Photographs


මේ ලිපිය ලිවිම පිළිබඳව මගේ අවධානය මුලින්ම යොමු කලේ අපි සැමගේම මිත්‍රයෙක් වන ඩුඩ් හෙවත් හෙන්රි බ්ලොග්වොකර් විසින්, මම මිට කාලෙකට පෙර පලකල පොස්ට් එකකට කොටපු කොමෙන්ට් එකකින් මේ තියෙන්නේ ඒ කොමෙන්ට් එක

මචං, තාක්ෂණික පෝස්ට් තියෙනවා නේද? ඒවා කියෙව්වාම මට වෙන්නෙ අර හරීගේ හරි හසිතගෙ හරි පෝස්ට් කියෙව්වාම වෙන සන්තෑසියමයි. ඒ කියන්නෙ මචං. ඒ පෝස්ට් මම කියවනවා. ඒවයෙ තියෙන්නෙ යම් කරුණු ටිකක්නෙ. නැතුව අපේ අදහස් විමසන මත විමසුමක් නෙවෙයිනෙ. ඉතින් මොනවද කියන්නෙ? උඹලා කියන දේ එක්කො අලුතින් ඉගෙනගත්තා. නැතිනම් දැනටමත් දන්න දේ මතක් වුනා. දැන් කමෙන්ට් එකක් දාන්නත් ඕනෙ මොකද අපි කවුරුත් කැමතියිනෙ අපේ උත්සාහයට අනිත් උන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දැනගන්න. මාත් එහෙමයි. ඒකෙ කිසි වරදක් නෑ. දැන් මොකද කරන්නෙ, උඹලා හැම දේම ලස්සනට පැහැදිලි කරලත් තියෙනවා නම්? එක්කො පට්ට පට පට. නැතිනම් කියෙව්වා. ස්තුතියි. එහෙමත් නැතිනම් මොකක් හරි ගොං ප්‍රශ්ණයක් අහන්න ඕනෙ. දැන් උඹට තේරුණා නේද? දැන් මට මේ උඹ කියලා තියෙන දේවල් ගැන වෙන අහන්න දෙයක් ඉතුරු වෙලා නෑ. නමුත් මම ඉන්නම් උඹ Preserving Digital Photographs. How To Recover Corrupted Photos Successfully, Why The Hell DO The Digital Photos Get Corrupted. "Hell! NOOO! I Thought Digital Images Are More Stable, Damn It" වගේ මාතෘකාවල් දානකල්. :D :D :D on ඡායාරුපයක අනාවරණය - Exposure

ඉතින් පළමුවෙන්ම ඩුඩ් ට ස්තුතිවන්ත වෙනවා.

මේ පොස්ට් එක කලින් පලකරන ලද පොස්ට් වලට වෙනස් ව සාකච්චාවක් ලෙස ගෙනයාම සුදුසුයි කියලා හිතුනා. එතකොට සැම දෙනාටම  වෙලා තියෙන අලකලංචි සහ ඒවාට යොදාගත් පිළියම් ගැන අපි සැමට දැනගත හැකියි.

ඩිජිටල් ඡායරූප රැකගන්නේ කෙසේද? - Preserving Digital Photographs කියනකොට මෙය කොටස් දෙකකට බෙදෙනවා.
1. ඩිජිටල් ඡායාරුප විනාශ වීමට නොදී රැකගන්නේ කෙසේද?
2. ඡායාරුප හොරුන්ගෙන් රැකගන්නේ කෙසේද?

ඩිජිටල් ඡායාරුප විනාශ වීමට නොදී රැකගන්නේ කෙසේද?

මං තුමා මුලින් කලේ  ඡායරූප සියල්ලම වෙනම හාර්ඩ් ඩිස්ක් එකකට කොපි කරලා තිබීම සහ CD තැටි වලට ඒවගේ බැකප් එකක් අරගෙන තිබීම.

ඔන්න ඔය විදිහට වසර ගණනාවක ඡායරූප එකතුවක් තිබුනා. එක දවසක් මේ හාර්ඩ් ඩිස්ක් එකට වැඩේ උනා. මොන සෙල්ලම දාලවත් ඒ හාර්ඩ් ඩිස්ක් එක ගොඩ ගන්න ලැබුනේ නැහැ. ඉතින් මක් කොරන්නද CD තියෙනවනේ කියලා හිත හදාගෙන, අළුත් හාර්ඩ් ඩිස්ක් එකක් සවි කරලා CD වලින් restore  කරන්න ගියාම තමයි දෙය්යෝ සිහි උනේ. CD වලින් 95% විතර වැඩ කරන්නේ නැහැ. අනිච්චේ දුක්ඛේ කියලා හිත හදා ගත්තා.

එදායින් පස්සේ මං තුමාගේ නැහැ CD සමග ගනු  දෙණු. දැන්නම් කරන්නේ හාර්ඩ් ඩිස්ක් එකේ තියාගන්නවට අමතරව sky drive කීපයකට upload කරණ එක. ඒ වගේම flicker එකටත් ඔබනවා. ගිය හකුරට නාඩා තියෙන හකුරවත් රැකගන්න ඕනනේ.

ඡායරූප හොරුන්ගෙන් රැකගන්නේ කෙසේද?

රැකගන්නවා කිවම මතුවෙන අනිත් ප්‍රශ්නේ තමයි මේ. අපේ ගොයියෝ හරික්ම දස්සයි අනුන්ගේ ෆොටෝ එකක් අරගෙන එක ගත්තේ කාගෙන්ද කියලාවත් සඳහන් කරන්නේ නැතිව පත්තරවල, සඟරාවල, කැලැන්ඩර් වල වගේ දමාගන්න.. අන්තර්ජාලයේ පලකරන  ඡායරූප මේ අවදානමට ලක් වෙනවා. දැන් ඉතින් මේකට මක් කොරන්නද?

මෙන්න කරන්න පුලුහන් වැඩ ටිකක්.
ඡායරූපයේ quality එක අඩුකර අන්තර්ජාලයේ පල කිරීම: නමුත් මටනම් මෙය කරන්න හිතෙන්නේ නැහැ එතකොට එය බලන කෙනාට නියම ආශ්වාදය ලබන්නට  බැහැ.

තමන්ගේ නම හෝ යම් signature එකක් දැමීම: මෙහෙම signature එකක් දැම්මත් යම් කෙනෙකුට සෑහෙන කට්ටක් කාලා එක අයින් කරන්න පුලුහන්. මමත් කලින් signature එක දාලා තමයි ෆොටෝ පල කලේ. දැන්නම් කරන්නේ නැහැ, වෙන මොකටවත් නෙවේ ඕක කොරන්න කම්මැලියි අප්පා.

නීති මාර්ගයෙන් කටයුතු කිරීම: "ඕන එකෙක් මගේ ෆොටෝ හොරකම් කරපිය දානවා නඩු" ඔන්න ඔහොම හිතාගෙන තමයි දැන් ඉන්නේ. 

හොඳයි එහෙමනම් අපේ හිතවතුන්ගේ අදහස් එහෙමත් කියමුකෝ බලන්න.


Tuesday, July 23, 2013

කහ කුරුළු කුඩුවක්

මේ තියෙන්නේ පසුගිය දිනක ඇස ගැටුන කහ කුරුල්ලෙක් ගේ කුඩුවක්. මේ කුඩුව පිහිටලා තිබුන ස්ථානය අනුව මට ඡායාරුප හත කිරීමට ලැබුනේ එකම කෝණයකින් පමණයි. එමෙන්ම එදා කාලගුණ තත්වයත් ඉතාම අයහපත්ව තිබුනේ. එම නිසා ඉතා සාර්ථක ඡායාරුප ගැනීමක් සිදු නොවුනා.

මගේ ජිවිතයේ පළමු වතාවට තමයි කහකුරුළු කුඩුවක්  දැක්කේ.  ඉතින්  මේ ෆොටෝ කීපය බ්ලොග් මිතුරන් සමග බෙදාගන්න  හිතුනා.

ගේ ඇතුලටම වෙලා ඉන්න කියලා අම්මා කිවා.. 

අම්මා කීවට බැහැ අප්පා.., පොඩ්ඩක් ඔලුව දාලා බලන්න ඕන.

ම්හු... මොනවත් පෙනෙන්න නැහැ.. තව ටිකක් බෙල්ල දික්කරලා බලමු ....

ඕන කෙන්ගෙඩියක් වෙච්චාවේ.. මම ඔන්න එලියටම ආවා....

පොඩ්ඩක් එලියට යන්න නැහැ...  අම්මා එතනට  ඇවිත් අපහු මාව ඇතුලටම දානවා.

කෑම හරිම රසයි අප්පා... 

ඊට පසු වෙනිදා කාලගුණ තත්වය යහපත් උන නිසා සියලුම කැමරා ආම්පන්න ටික උස්සගෙන් එතනට ගියා, නමුත්....... මහා පාළුවක් හිස්බවක් විතරයි .... කුරුළු පැටියා දකින්නට හිටියේ නැහැ. මහ කිරිල්ලි විටින් විට කුඩුව වෙත ඇවිත් කෑ ගැසුවා......

පරිසරය  සුන්දර කරන්න බිහිවූ වටිනා ජිවිතයක් අහිමි වී ඇති බව මට දැනුනා....

Friday, July 19, 2013

කැමරාවට හරියන බෑග් එක මොකක්ද ?


මෙතෙක් කල් ඡායාරුප ශිල්පය ගැන කතා කරාට වඩා ටිකක් වෙනස් නමුත් මේ ශිල්පයටම අදාළ මාතෘකාවක් ගැන තමයි අද කතා කරන්නේ. ඒ තමයි කැමරා බෑග් ගැන.  බොහෝ සුලබව භාවිතා වන කැමරා බෑග් වර්ග කීපයක් ගැන මෙම ලිපියෙන් සලකා බලමු. 

කැමරා බෑග් එකක් තෝරාගැනීම, කැමරාවක් තෝරාගැනීමටත් වඩා අපහසු කාර්යයක් බව මගේ අදහසයි. එයට හේතුව වන්නේ සෑම අවස්ථාවකටම ගැලපෙන ආකාරයේ කැමරා බෑග් එකක් සොයාගැනීමට නොහැකි වීමයි. මේ හේතුව නිසාම බොහෝවිට ඡායාරුප ශිල්පින් කැමරා බෑග් එකකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරනවා. 

කැමරා බෑග් එකක් තෝරා ගැනීමේදී පහත කරුණු ගැන සැලකිලිමත් වන්න.

1. ආරක්ෂාව - Safety
2. රැගෙන යාමේ  පහසුව - Comfort
3. කල් පැවැත්ම - Durability
4. පහසුවෙන් එහි ඇති කැමරා ආම්පන්න හැසිරවිය හැකි වීම - Accessibility
5. බෑගයේ ඇතුලත අවශ්‍ය පරිදි සකසාගත හැකි වීම  - Customize-able


ආරක්ෂාව - Safety 
කැමරා බෑගයක් තෝරා ගැනීමේදී  එහි මුලිකම කාර්යය විය යුත්තේ එය තුල අසුරා ඇති උපකරණ වල ආරක්ෂාව වේ. මේ සඳහා බැගය ඉතා හොඳින් පෑඩ් කල එකක් විය යුතුය.  ජලයට ඔරොත්තු දෙන  ලෙස නිමවා තිබීම හෝ  වැසි ආවරණයක් තිබීමද ඉතා වැදගත් වේ.

රැගෙන යාමේ  පහසුව - Comfort
ඔබගේ කැමරා ආම්පන්න අඩංගු බෑගය අනිවාර්යයෙන්ම කිලෝ ග්රෑම් කිහිපයක් බර වනු ඇත. බොහෝ  විට ඔබට මෙම  බැගය මුළු දවස පුරාවටම පැළඳ  සිටීමට සිදුවන අවස්ථාවන් උදාවනු ඇත. එබැවින් මෙම කැමරා බෑගය රැගෙන යාමේදී අනිවාර්යයෙන් එය ඉතා සුව පහසු එකක් විය යුතුමය.  එසේ නොවුනහොත් ඔබට ඉතා වෙහෙසකාරී බවක් ඇතිවීම නිසා, ඡායාරුප ගැනීම වෙනුවෙන් ඔබගේ මානසික ඒකාග්‍රතාවය ඇතිකරගැනීම අපහසු වනු ඇත.

කල් පැවැත්ම - Durability
බොහෝ විට තත්වයෙන් උසස් කැමරා බෑග් ඉතා අධික මිල ගණන් යටතේ අලෙවි වුවද, මිල අඩු තත්වයෙන් බාල බෑග් එකක් මිලදී ගැනීමේදී එහි කල්පැවැත්ම ඉතා අඩු බැවින්, ඉහල ප්‍රමිතියකින් යුත්, පිළිගත් සන්නාමයක්  සහිත කැමරා බෑග් එකක්ම තෝරාගැනීම වඩා පලදායක වනු ඇත. 

පහසුවෙන් එහි ඇති කැමරා ආම්පන්න හැසිරවිය හැකි වීම - Accessibility
ඉතා හොඳ කැමරා බෑග් එකක තිබිය යුතු තවත් ගුණාංගයක් නම් එය තුල අසුරා  ඇති කැමරාව සහ උපකරණ ඉතා ඉක්මනින් සහ පහසුවෙන් එයින් ඉවතට ගැනිමටත් නැවත ඇතුල් කිරිමටත් හැකියාව ය. ඉක්මනින් ඔබගේ කැමරාව බෑගයෙන් ඉවතට ගැනීමට නොහැකි වීමෙන්, බොහෝවිට  ඔබට  ඡායාරුපමය වටිනාමක් ඇති  අවස්ථාවන් අහිමි වීමට ඉඩ  ඇත.

බෑගයේ ඇතුලත අවශ්‍ය පරිදි සකසාගත හැකි වීම  - Customize-able
ඔබගේ කැමරා සහ ආම්පන්න වලට සුදුසු ලෙස බෑගයේ ඇතුලත සකස් කරගත හැකිවීම, කැමරා බැගයක අනිවාර්යය අංගයක් බව සලකන්න.

බොහෝ සෙයින් භාවිතා වන කැමරා බෑග් මාදිලි කිහිපයක් පිළිබඳව සලකා බලමු.

Waist pack / Belt pack

එක DSLR කැමරාවක් සහ කුඩා ලෙන්ස් 2ක් පමණක් රැගෙන යන්නේ නම් හෝ බ්‍රිජ් හෝ point and shoot වර්ගයේ කැමරා සඳහා මෙම බෑග් මාදිලිය සුදුසු වේ. මෙම මාදිලියේ බෑග් එකක් මිලදී ගැනීමේදී ප්‍රමාණයෙන් විශාල බෑග් මිලදී ගැනීමෙන් වලකින්න, වඩා විශාල බෑග් පැළඳ සිටීම අපහසු වනු ඇත.



Shoulder bag

මෙම මාදිලිය එක කැමරාවක්, ලෙන්ස් 2-3 ක් සහ ෆ්ලෑෂ් ගන් 1 සඳහා යෝග්‍ය වේ.  මෙම මාදිලියේ බෑග් එකක් මිලදී ගැනීමේදී එහි උරහිසට පළදින පටිය ඉතා හොඳින් පෑඩ් කල එකක් ගන්න. නැතිනම් එය  රැගෙන යාම ඉතා අපහසු වනු ඇත. 




Backpack

ඔබ වෙත  කැමරා ආම්පන්න වැඩි ප්‍රමාණයක් ඇත්නම් ඒ සඳහා වඩාත්ම සුදුසු වන්නේ බැක්පැක් වර්ගය වේ. මෙම මාදිලිය  රැගෙන යාමේ පහසුව  අතින් අනිකුත් සියලුම බෑග් මාදිලි වලට වඩා ඉහලින් සිටි.
කැමරා ආම්පන්න වැඩි ප්‍රමාණයක් අසුරා ඇති ආකාරය 


බැක්පැක්  එකක් පැළඳ ඇති ආකාරය ඉහත රුපයෙන් බලන්න. මෙම බැක්පැක්  එකෙන් කැමරාවක් හෝ උපකරණයක් ගැනීමට  සිදුවන සෑම විටම එය ගලවා බිම තබා එහි ඇති  උපකරණ හැසිරවිය යුතු වීම මෙහි ප්‍රධාන  අවාසිය වේ.

බැක්පැක්  මාදිලියේ ඇති හැසිරවීමේ අපහසුව මගහරවමින් ලොව අංක එකේ කැමරා බෑග් නිෂ්පාදකයන් වන lowepro බෑග් නිෂ්පාදකයන් නවතම නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත. එය නම්කර ඇත්තේ Slingshot නමින්.

Lowepro Slingshot
මෙයද බැක්පැක් වර්ගයක් උවද එය උරහිසේ එල්ලාගැනීම සඳහා ඇත්තේ එක උර පටියක් පමණි. එමෙන්ම එහි බර උරහිසට පමණක් නොලැබී සමසේ බෙදීයන ආකාරයට බඳ පටියක්ද ඇත. මෙම බැගය උරහිසේ රඳවා තිබුනත් එය කරකවා ඉදිරිපසට ගෙන කැමරා උපකරණ පහසුවෙන් හැසිරවිය හැකි ලෙසට නිර්මාණය කර ඇත.

Tripod එකක් හෝ mono-pod එකක් රඳවා තැබීමේ පහසුව. 

මෙම Slingshot මාදිලිය ප්‍රමාණ තුනකින් නිර්මාණය කර ඇති අතර එය තුලම සකසා  වැසි ආවරණය සහ ට්‍රයි පොඩ් එකක් හෝ මොනෝ පොඩ් එකක් රඳවා තැබිය හැකි වීම මෙහි ඇති තවත් විශේෂ වාසි වේ. 

මෙහි කැමරා බැගයක් සතුවිය යුතු සියලුම අංග ඇතුලත් වීම නිසා, මං තුමාත් මෙතෙක් කල් භාවිතා කල shoulder bag එකට විශ්‍රාම දෙන්න හිතාගෙන  මේ වර්ගයේ බෑගයක් ඇනවුම් කරා. 

Tuesday, July 16, 2013

මල්, පහන් , සුවඳ දුම් පුජාව


පසුගිය ලිපි කිහිපයකින් අපි ශ්‍රද්ධාව, තෙරුවන් සරණ, ප්‍රාණඝාත අකුසලය මෙන්ම නිවැරදි ලෙස නිවන් මග ගමන් කරන්නේ කෙසේද යන කරුණු පිළිබඳව සරල විමසීමක් කළා.  මෙම ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ මල් පුජාව, පහන් පුජාව සහ සුවඳ දුම් පුජාව සිදු කල යුත්තේ කෙසේද යන කාරණයයි.

 මිට පෙර පළවූ  නිවන් මග වැරදුනේ ඇයි  පොස්ට් එකේ තිබුන පින්තුරය මතකද? මේ පහල තියෙන ඒ පින්තුරය බලන්න. 
මේ පින්තුරය මම ගත්තේ කැළණි පන්සලේදී. ඔන්න බලන්න අපේ මිනිස්සු මල් පුජා කරණ ආකාරය.  මේකේ සුවඳ කුරු පත්තු කල   බවට ලකුණුත් පෙනෙන්නට තියෙනවා.

තව බොහෝ විට අපිට දකින්නට ලැබෙන දෙයක් තමයි අනිත් අය පෙරලගෙන බොහොම කලබලයෙන් පුජාසනය වෙත ඇවිත් මල් පුජාකරලා දුවන අය. මේ අය හිතගෙන ඉන්නවා ඇත්තේ ඒ මල් ටික පුජාකරන්න පරක්කු උනොත්  බුදුරජාණන් වහන්සේ තරහා වෙයි කියලා ද දන්නේ නැහැ.

ඔය වගේ කාරණා දිහා බැලුවහම හිතෙන්නේ අද බොහෝ දෙනෙක් මෙම පුජාවන් කරන්නේ නිසි අවබෝධයකින් නොවන බවයි.

මෙම පුජාවෙහි අනිසංස  සහ එය  නිසි අයුරින් කරන්නේ කෙසේද යන්න විමසා බලමු. මේ සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කරණ ලද දේශනාවක් විමසා බැලීම වටිනවා. එය තමයි අංගුත්තර නිකායේ සඳහන් වේලාම සුත්‍රය. අපි එය කෙටියෙන් විමසා බලමු.

"ගෘහපති  තුමනි, පෙර කල්හි වේලාම නමින් බ්‍රාහ්මණයෙක් සිටියේය. හෙතෙම මහා දානයක් දුන්නේය. එනම් රිදී පිරවූ රන් පාත්‍ර අසු හාරදහසක් දුන්නේය, රන් පිරවූ රිදී පාත්‍ර අසු හාරදහසක් දුන්නේය, අමු රන් පිරවූ පස්ලෝ පාත්‍ර අසු හාරදහසක් දුන්නේය, රනින් සැරසු ඇතුන් අසු හාරදහසක් දුන්නේය, රනින් සැරසු රථ අසු හාරදහසක් දුන්නේය, වටිනා අභරණයෙන්  සැරසු කිරි දෙනුන් අසු හාරදහසක් දුන්නේය,......... ................   ආහාර පාන, කැවිලි ආදිය ගැන කවර කතාද, එය ගඟක්  ගලන්නාක් මෙනි.

ගෘහපති  තුමනි, ඒ වේලාම නම්  බ්‍රාහ්මණ තෙමේ අන් කිසිවෙක් නොව තථාගතයන් වහන්සේමය. මම ම එම මහා දානය දුන්නෙමි.

ගෘහපති  තුමනි, එම දානය පිළිගැනීමට සුදුසු වූ  දක්ශිනාර්හ කිසිවෙක් නොවිය. එම දානය පිරිසිඳු කිරීමට හැකි කිසිවෙක් එයට නොපැමිණි යේය. ගෘහපති  තුමනි, වේලාම  බ්‍රාහ්මණ තෙමේ එබඳු වූ මහා දානයක් දුන්නේද, එයට වඩා එක් සෝතාපන්න උතුමෙකුට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, සෝතාපන්න උතුමන් සියයකට දෙන දානයට වඩා එක සකදාගාමී උතුමෙකුට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, සකදාගාමී  උතුමන් සියයකට දෙන දානයට වඩා එක අනාගාමි උතුමෙකුට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, සකදාගාමී  උතුමන් සියයකට දෙන දානයට වඩා එක රහතන් වහන්සේ නමකට  දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, රහතන් වහන්සේ  සියක් නමකට  දෙන දානයට වඩා එක පසේ බුදුරජාණන්  වහන්සේ නමකට  දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, පසේ බුදුරජාණන්  වහන්සේ  සියක් නමකට  දෙන දානයට වඩා එක සම්මාසම්බුදුරජාණන් වහන්සේ නමකට  දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, සම්මාසම්බුදුරජාණන් වහන්සේ  නමකට  දෙන දානයට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට  දෙන දානයට වඩා සතර දිගින් වඩින  මහා සංඝරත්නය උදෙසා විහාරයක් කරවා  පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, සතර දිගින් වඩින  මහා සංඝරත්නය උදෙසා විහාරයක් කරවා  පිලි ගැන්වීමට  වඩා යමෙක් පහන් සිතින් තෙරුවන් සරණ යන්නේ නම් එය මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, යමෙක් තෙරුවන් සරණ ගොස් පන්සිල් රකී නම් එය තෙරුවන් සරණ යාමටත් වඩා මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, යමෙක් මලක සුවඳ සිබින තරම් සුළු මොහොතක් මෙත් සිත වඩයි ද , එය තෙරුවන් සරණ ගොස් පන්සිල් රැකීමටත්  වඩා මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති  තුමනි, යමෙක් අසුරක් ගසන තරම් සුළු මොහොතක් අනිත්‍ය සංඥාව  වඩයි ද , එයම සියල්ලටම වඩා මහත්පල මහානිසංස වන්නේය."

භාග්‍යවතුන් වහන්සේගේ ඉහත දේශනාව අනුව දානයට වඩා ශීලය ද , ශිලයට වඩා සමථ භාවනාව ද , ඒ සැමට වඩා විදර්ශනා භාවනාව ද ආනිසංස වන බව පෙනෙනවා නේද? ඔබ මිට පෙර  කල්පනා කරලා තියෙනවද  ,මේ මල් පුජාව, පහන් පුජාව, සුවඳ දුම් පුජාව යන පුජාවන් මහානිසංස අනර්ඝ පුජාවක් බවට පත්කරගන්නා ආකාරය ගැන.

ඔබ අවංකව මල් පුජාව සිදුකරනවා නම් ඒ වෙනුවෙන් එක මලක් උවත් ප්‍රමාණවත්. සන්සුන් සිතින් යුක්තව මල අතට ගෙන එහි ස්වභාවය දකින්න. ඉන්පසු එය පුජාකර ඒ මල පරවියන ආකාරය සිතින් දකින්න. එම මල මෙන්ම තමන්ගේ කයද වෙනස්වන ආකාරය නුවණින් දකින්න. කය පමණක් නොව තමන්ගේ සිතුවිලි ද ස්ථිර තාවයක් නොමැතිව වෙනස්  වන ආකාර මෙනෙහි කරන්න. මේ අයුරින් මුළු මහත් විශ්වයෙහි ඇති සියලු දේම අනිත්‍ය බව මොහොතක් මෙනෙහි කරන්න. (මල් පුජාව වෙනුවෙන් කිසි විටකත් ප්ලාස්ටික් මල් භාවිතා කරන්න එපා) ඔබට වැඩි වෙලාවක් මල් ආසනය අසල මේ වෙනුවෙන් කාලය ගත කිරීමට හැකිනම්, ඔබ පුජා කල  මල් පරවී යන ආකාරය ඔබටම දැකගත හැක. නිවසක ඇති බුදු මැදුරක මල් පුජා කරන්නේනම් එය වඩා පලදායක බව මගේ වැටහීමයි. මන්ද යත් කාලය ගතවීම සමග ඒ මල් පරවී යන ආකාරය ඔබට විටින් විට දකින්නට ලැබෙන නිසාත්, එලෙස දකින සැම විටකම   ඔබට අනිත්‍ය මෙනෙහි කිරීමට හැකියාව ලැබෙන නිසාත්ය.

පහන් සහ සුවඳ දුම් පූජාවද මේ ආකාරයෙන්ම සිදු කරන්න. ඒ පහනේ තිරය දැවී ගොස් පහන නිවී යන ආකාර හෝ සුවඳ කුර දැවී නිවියන ආකාරය දකිමින් ඉහත සඳහන් කල ආකාරයටම  අනිත්‍ය මෙනෙහි කරන්න.  අවම වශයෙන් සුවඳ කුරක් දැල්වී අවසන් වන කාලය වැනි කාලයක් හෝ මේ වෙනුවෙන් ගත කරන්න.

මේ පුජාවන් මේ ආකාරයට කරන්නේ නම්, ඔබ විසින් කර ඇත්තේ ඉහලම කුසලය වන අනිත්‍ය සංඥාව වැඩීමය. මුළු මහත් නිර්වාණ මාර්ගයම තම සිත පිලිබඳ කලයුතු මහා ගවේෂණයක් බව මොහොතකට වත් අමතක නොකරන්න. මේ ආකාරයෙන් ධර්ම මාර්ගයේ ගමන් ගන්නා විට මුළු මහත් ලෝකයම යනු සිතුවිලි සමුදායක් පමණක් බව ක්‍රමයෙන් වැටහී යනු ඇත.

ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!



Saturday, July 13, 2013

මෙයා දැකලා තියෙනවද?

මේ කුරුළු කුවුව පහුගිය දවසක මට දැකගන්න ලැබුන එකක්. ඉත ඉහල අඹ ගහක අත්තක හදලා තිබුනේ. මේ කුරුල්ලන්ට කවුඩා, මාළු කුරුල්ලා, කරවල පෙන්දා වගේ නම් භාවිතා කරනවා. මෙයාට මාතර පැත්තේ කියන්නේ කපුටු බාලය කියලා ලු.

බොහොවිට කුරුළු කුඩු හදන්නේ අතු පතර හැඟවී තියෙන ආකාරයට, නමුත් මෙයාගේ කුඩුව ඉතා ඉහල අත්තක  බොහොම විවෘත තැනක හදලා තියෙන්නේ. එකට හේතුව මෙයා ටිකක් ගණන් කාරයෙක් නිසාම වෙන්ට ඇති. මෙයා  කපුටන්ට එලව එලවා පහර දෙන්න බොහොම දක්ෂයි.

 අම්මේ මෙන්න මූ හොරෙන් ෆොටෝ ගහනවා........

මල්ලී, උඹ ඔය පැත්ත බලහන් මම මේ පැත්ත බලන්නන්. අරූ ඔත්තු බලන්නේ අපිව අල්ලන් යන්න මොක්කු හරි එවන්නද දන්නෑනේ.

අම්මත් ආවා. මල්ලිටනම් ගානක්වත් නෑ. ඒත්... අරූ තාම ගහ මුල. මොන වදයක්ද මන්දා..

ශිහ්: අම්මටත් මෙව්වයේ බරක් පතලක් තේරෙන්නෑ. ආයෙත් ගියා රෝන්දෙ. දැන් මං එපෑ මුන් ටික බලාගෙන අරූගෙන් බේරිලා ඉන්න. වැඩිමලා උනාම තියෙන වදයක්.

අන්න එහෙම එන්නකෝ.... දැන් තමයි හිත පොඩ්ඩක් කූල් උනේ.. ඇති යන්තන්....


ප:ලි:
කතන්දරේ AKM ගේ කොමෙන්ටුවෙන්,  ස්තුතියි AKM.

Tuesday, July 9, 2013

Zoo Photography


වනජීවී ඡායරුපකරණය ඉතාම සිත්ගන්නා සුළු සහ අභියෝගාත්මක කාර්යයක් වුවද, ඒ සඳහාම  වන උයන් වෙත පිවිසීම වෙනුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදුවීමත්, කාර්ය බහුලත්වයත් නිසා බොහෝ ආධුනික ශිල්පින් වෙත මෙම අවස්ථාව අහිමි වී ඇත. එයට විකල්පයක් ලෙස ආධුනික ඡායාරුප ශිල්පින් හට සත්වෝද්‍යානයන් යොදාගත හැක. එබැවින් සත්වෝද්‍යානයක් තුල දී ස්වභාවික අයුරින් මෙම සතුන් ඡායාරුපගත කරගන්නේ කෙසේදැයි කෙටියෙන් විමසා බලමු.

1. කැමරා සහ ලෙන්ස් වර්ග 

ඔබ භාවිතා කිරීමට අදහස් කරන්නේ  DSLR කැමරාවක් නම් ඒ සඳහා මි.මි. 70 - 300 දක්වා වන zoom ලෙන්ස් එකක් යොදාගත හැකිනම් ඉතා මැනවි එමෙන්ම මැක්‍රෝ කාචයක් රැගෙන යාමද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු ඇත.. එමෙන්ම මේ වෙනුවෙන් බ්‍රිජ් හෝ Point and Shoot කැමරාවක් උවද හොදගත හැක. (මෙහි දැක්වෙන සියලුම ඡායාරුප ගනු ලැබුවේ Fuji HS20 EXR වර්ගයේ බ්‍රිජ් කැමරාවකින් ය)

2. Tripod එකක්

3. Lens Hood :

සත්වෝද්‍යානයක් තුල දී ඔබට ඡායාරුප ගතකිරීමට ලැබෙන කෝණයන් සීමාසහිත වේ. සමහර අවස්ථාවන්හිදී ඍජුවම හිරු එලිය ලැබෙන දිශාව වෙතටම කැමරාව යොමුකිමට සිදුවන අතර එවැනි අවස්ථාවන්හිදී ඇතිවන glare එක  මගහැරවීමට Lens Hood එක ඉතා ප්‍රයෝජනවත් වේ.


ඔබගේ ඡායාරුප ගනු ලැබුවේ ස්වභාවික පරිසරයක දී බව දැනෙන පරිදි රූ ගත කරන්න. ඒ සඳහා මිනිසා විසින් නිර්මාණය කර ඇති කිසිවක් ඔබගේ රූපරාමුවට හසු නොවන සේ  රූ ගත කරන්න. එසේ කිරීමෙන් ඔබගේ ඡායාරුප සත්වෝද්‍යානයක් තුලදී  ගන්නා ලද බව නොහැඟෙන අතර  එම ඡායාරුප ස්වභාවික පරිසරයක් තුලදී රූ ගත කල ආකාරයක් පෙන්නුම් කරනු ඇත.
  • ඔබගේ වස්තුවට  හැකිතරම් සමීප වන ලෙස zoom කරන්න.
  • මිනිසා විසින් නිර්මාණය කර ඇති කිසිවක් ඔබගේ රූපරාමුවට හසු නොවන සේ  කැමරාව හසුරුවන්න 
  • විශාල කාච විවරයක් දීමෙන් පසුබිම හැකිතරම් බොඳ කරන්න. 





සතුන්ට හිංසා කිරීමෙන් වලකින්න

කිසිවිටකත් ෆ්ලෑෂ් ආලෝකය භාවිතා නොකරන්න, ස්වභාවික ආලෝකයම යොදාගන්න. සත්වෝද්‍යානයක් තුල සිරගත වී ඇති මෙම අහිසක සතුන් කෙරෙහි ආදරය දක්වන්න, සමහර සත්ත්ව විශේෂ මිහිපිටින් තුරන්වී යාමේ තර්ජනයට පවා මුනුන දී ඇති බව කිසිව්ටකත් අමතක නොකරන්න.  ඔවුන්ගේ අවධානය ඔබ වෙත යොමුකර ගැනීම වෙනුවෙන් ඔවුන්ට හිරිහැර වන ශබ්ද කිරීම් ආදී කිසිවක් නොකරන්න.   ඔබගේ ඉවසිලිමත් භාවය ඉතා හොද ඡායාරුපයක් ගැනීමට උපකාරී කරගන්න.

Tuesday, July 2, 2013

නිවන් මග වැරදුනේ ඇයි


නිවන් මග වැරදුනේ ඇයි යන මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අප විසින් වරදවාගෙන ඇති ඉතාම සරල කරණා කිහිපයක්.  මෙම ලිපියේ කරුණු පැහැදිලි කිරීමේදී, පෙර ලිපි වල මෙන් සුත්‍ර උපයෝගී කර නොගෙන සරල උපමා කීපයක් තුලින් කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.


අද බොහෝ පන්සල්, විහාර ආදියෙහි බණ භාවනා කරමින් සිටින බොහෝ පිරිසක් දකින්නට හැකි උවත්, ගුණ දම් අතින් එතරම් දියුණුවක් නොපෙනෙන බව නොරහසකි. එයට හේතුව කුමක්ද? අකාලික වූ ධර්මයකින් ප්‍රතිපල නොලබන්නේ ඇයි?  මේ සඳහා පොඩි උදාහරණ කීපයක් ගනිමු.

වෙදදුරෙක්  සොයා යාම.

බොහොම තද බල මාරාන්තික රෝගයකින් පෙලෙන රෝගීන් පිරිසක් , තම මාරාන්තින රෝගය නිට්ටාවට සුවකළ හැකි වෙදදුරෙක් සොයාගෙන යනවා. මොවුන්ට  බොහොම ප්‍රසිද්ධ, එම රෝගය නිට්ටාවට සුවකළ හැකි වෙදදුරෙක් හමුවෙනවා. කරුණු කරණා විමසීමෙන් පසු මේ රෝගින්  දැනගන්නවා මේ වෙදදුරාට එම රෝගය සුව කල හැකි බව. දැන් මොවුන් බෙහෙත් වට්ටෝරුව ලබාගන්නවා. ඒ සමගම ඔවුනට  බෙහෙත් පාවිච්චි කල යුතු පිළිවෙල, පත්තියම්  වියයුතු ආකාරය වැනි කාරනා මෙම වෙදදුරා බොහොම කරුණාවෙන් කියලා දෙනවා. 
දැන් තම තමන්ගේ මේ බෙහෙත් වටෝරු අරගෙන මේ රෝගීන් පිරිස ගමට යනවා එහෙම ගමට ගිය එක් එක් අය හැසිරෙන ආකාර පහත දැක්වෙනවා.

වෙදාගේ ගුණ කීම

මින් කොටසක් තමන්ගේ බොහෙත් වට්ටෝරුව තබාගෙන. එම බෙහෙත් පාවිච්චියෙන් වැලකි වෙද  මහතාගේ ගුණ ගායනා කිරීම පටන් ගන්නවා. බොහොම කරුණාවන්ත, බොහෝ  ලෙඩුන් සනීප කරපු වේද මහත්තයෙක්, අනේ අපෙන් සල්ලි ගත්තෙත් නැහැ, ඉතාම ගුණ සම්පන්න උතුමෙක් ආදී වශයෙන්. නමුත් කවදාවත් වෙදමහතා දුන්න බෙහෙත පාවිච්චි කරන්නේ නැහැ.

බෙහෙත් වට්ටෝරුවේ ගුණ කීම

තවත් කොටසක් ඉන්නවා බෙහෙත් පාවිච්චි කරන්නේ නැහැ, අර දුන්න බෙහෙත් වට්ටෝරුව ගැන බොහොම පැහැදෙනවා, එහි අඩංගු ඖෂධ වර්ග වල වැදගත් කම, වටිනාකම ආදිය පිරික්සමින්, බෙහෙත් වට්ටෝරුවේ වටිනාකම කියමින්  සිටිනවා.

බෙහෙත් වට්ටෝරුව කියවීම

තවත් කොටසක් මේ බෙහෙත් පාවිචි නොකර උදේ සවස, බෙහෙත් වට්ටෝරුව කියවමින් ඉන්නවා. ඔවුනට අඩුම තරමේ මේ වට්ටෝරුවේ අඩංගු ඖෂධ වර්ග ගැන හෝ දැනීමක් නැහැ.

රෝගය නිසා බෙහෙත් නොබීම

මේ තවත් කොටසක්, ,මේ අය කියනවා අනේ ඒ වෙදමහතා හරිම හොඳයි, බෙහෙත් හරිම ගුණයි, ඒ බෙහෙත් බීපු හැමෝම නිට්ටාවට සනීප වෙලා. මගේ කරුමෙක මහත, මේ ලෙඩේ හින්දා මට මේ බෙහෙත වෙලාවට කරගන්න බැහැ. මේ ලෙඩේ නැතිනම් මේ බෙහෙත අපුරුවට බොන්න තිබුනා කියලා. ලෙඩේ නැතිනම් බෙහෙත් ඕන නැහැ කියලා මේ අයට තේරුමක් නැහැ.

බොන්න දුන්න බෙහෙත හිසේ ගෑම 

තවත් කොටසක් ඉන්නවා මේ වට්ටෝරුව අනුව බෙහෙත හදලා, බෙහෙත  බොන්නේ නැතිව හිසේ ගානවා.

පත්තියම් නොවන කොටස

මේ අය බෙහෙත් හදලා නියම ආකාරයට බොනවා, නමුත් වේද මහතා කියපු විදිහට පත්තියම් වන්නේ නැහැ. තමන්ට නුසුදුසුයි කියු දේවල්ම ආහාරයට ගන්නවා, පරිහරණය කරනවා.

බාගෙට බෙහෙත් බිම.

තවත් කොටසක් ඉන්නවා නියම ආකාරයට බොහෙත සකස් කරලා, නිවැරදි වෙලාවල් වලට බෙහෙත් බිලා, අගුණ ආහාර පාන ගන්නේ නැතිව, පත්තියම් වෙන කොටසක්. නමුත් ලෙඩේ ටිකක් සුව වේගෙන එනකොටම මේ අය බෙහෙත් බිම නවත්වනවා.


 සත් හට වන බව දුකට වෙදානන් 

 භව දුකට මහා වෙදනා  වූ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඖෂධය ගත්ත බොහෝ දෙනෙක්ට දැන් වෙලා තියෙන්නේ ඔය ටික. ඉතින් මදක් සිතන්න. ඔබ ඉන්නේ කොතනද?  ඔය කොටස් වලින් මිදී නිවැරදි ලෙස ධර්ම ඖෂධය පානය කරන්න.


මේ ධර්මයෙන් ප්‍රතිපල ලබාගැනීම ඉතාම පහසුයි. මේ ධර්මයෙහි ඔබ හැසිරෙන්නේ කොතරම්ද, එතරම් ප්‍රතිපල ඔබට ලැබෙනවා. නමුත් නිවැරදි ආකාරයට ධර්මය ග්‍රහණය කර නොගැනීම නිසා තමයි, එහි ප්‍රතිපල නොලැබී ගොස් තිබෙන්නේ. නිවැරදි පිරිසිඳු ධර්මය දැකිය යුතු වෙනවා. නමුත් බොහෝ දෙනෙක් කරන්නේ තමන්ගේ මතවාදයන් හිස මත තබාගෙන එයට අනුව ධර්මය ගලපන්නට යාමක්. එය සාර්ථක වන්නේ නැහැ.

මේ ධර්මය ඉතාම සියුම් දෙයක්, එහි සියුම් බව නිසාම තමයි මේ ධර්මය තමන්ගේ ජිවිත වලට ගලපාගන්න බැරිවෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකය ලෙස පනවලා තියෙන්නේ තමන්ගේ සරිරයයි, ලෝකය වටහා  ගෙන ලෝකයෙන් එතෙරවීම කල යුතු වන්නේ තමන් තුලින්මයි. තමන්ගේ සිතේ තියෙන ලෝභ, ද්වේශ, මෝහ ඉවත් කිරීම තමයි කල යුතු වන්නේ. එසේ  ඉවත් කිරීමට පෙර මේ ධර්මතා තමන්ගේ සිතේ තියෙන බවවත් දැනගත යුතු වෙනවා.

 බොහෝ දෙනෙක්ට තමන්ගේ සිතේ තියෙන මෙම ධර්මතා දකින්න තරම් පැහැදිලි නිරවුල් මනසක් නැහැ. ඒ අයගේ මනස එතරම් අවුල්, බොහෝවිට ද්වේශයෙන්, මෝහයෙන් පිරිලා. ඒ හේතුව නිසාම අන් අයට දොස් කියමින්, අන් අයගේ වැරදි සොයමින් ඔවුන් නිවැරදි කරන්න උත්සාහ ගන්නවා විනා, තමන්ගේ නිවැරදි වීම ගැන  හිතන්නේ නැහැ. ඒ අය හිතන්නේ තමන් නිවැරදි පිරිපුන් අය ලෙසයි.  එවැනි අයට කිසිදා මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ.

එබැවින් පළමුව නිරවුල් මනසක් ඇතිකරගන්න. තමන් කරණ,  කියන සැම ක්‍රියාවක් ම නුවණින් දකින්න උත්සාහ ගන්න. ඒ තුල ඇත්තේ ලෝභ, ද්වේශ, මෝහ (මෙම අකුසල මුලයන් තුනම එකවර එක සිතක නොයෙදේ, එකවර යෙදෙන්නේ ලෝභ, ද්වේශ හෝ ලෝභ, මෝහ පමණි. ද්වේශ සහ මෝහ එකවර එක සිතක නොයෙදේ)  ,යන අකුසල මුල්ද, නො එසේනම් අලෝභ, අද්වේශ, අමෝහ යන කුසල මුල්ද කියා විමසිලිමත් වන්න.

මෙය එකවර ඔබට කල නොහැකි වුවත් ක්‍රම ක්‍රමයෙන් පුහුණු කල හැක. මුලදී ඔබ යම් ක්‍රියාවක් සිදු කරණ විට මෙලෙස මෙනෙහි කිරීමට නොහැකි වේවි. නමුත් එම ක්‍රියාව කල පසු හෝ ඔබට එම ක්‍රියාව සිදු වුනේ අකුසල මුලයන් නිසාද නොඑසේනම් කුසල මුලයන් නිසාද කියා විමසිය හැකිනම්, ක්‍රම ක්‍රමයෙන් ඕනෑම ක්‍රියාවක් කිරීමට සිතෙන විටම ඒ ගැන මෙනෙහි කිරීමේ හැකියාව ලැබේවි. එවිට ඔබට අකුසල මුලික ක්‍රියා හඳුනාගෙන එයින් වැලකි සිටීමට හැකි වේවි. මෙලෙස ඔබගේ සිත පුහුණු කිරීමට තැනක්, වෙලාවක් අවශ්‍ය නොවන අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබගේ කැපවීම පමණි.

සැමට ධර්මාවබෝධය ලැබේවා !!!!

Thursday, June 13, 2013

සැබෑ බෞද්ධයා යනු කවරෙක්ද? සහ බල්ලෝ මරලා හරි නිවන් දැකීම...


මේ පොස්ට් එක  ආරම්භය සඳහා මිට කලින් මා විසින් පලකල දුශ්ෂිල භික්ෂුව කෙරෙහි ගිහියන් පිළිපැදිය යුතු අයුරු පොස්ට් එකේ කොමෙන්ට් එකකට ලියපු පිලිතුරකින්ම පටන් ගැනීමට සිතුවා.  පළමුව ඒ කොටස කියවා සිටින්න.

ඉදිරි පොස්ට් කීපයකින් ධර්ම කරුණු කීපයක් සරලව ඉදිරිපත් කරනවා එම පොස්ට් කියවීමේදී නිරවුල් මනසකින් කියවන්න.. භාග්‍යවතුන්  වහන්සේ කාලම සුත්‍රයේදී දේශනා කල අයුරින් විමසන්න, විමසීම සඳහා උන්වහන්සේ දේශනා කල ක්‍රමවේදය යොදාගන්න. 

පහත දැක්වෙන මානසික මට්ටම් වල සිටින අය හට ගැන බලන්න 

1 අධික ශ්‍රද්ධාව  පමණක් ඇති අය :

උදේ පාන්දර 5 පමණ සිට අඳුර වැටෙන තෙක්ම පන්සල් විහාර ආදියෙහි ගැවසෙමින් මල් පෙරහැරවල් පවත්වමින් ඒ මල් පෙරහැරේම නිවන් පුර රුවන් දොරටුව දක්වා බොහෝ පහසුවෙන් ගමන් කල හැකි බව විශ්වාශ කරන සැදැහැතියන්.

උම්බලකඩ කැබැල්ලට මෙන්ම හාල් මැස්සාගේ පටන් දියළුම මස් මාංශ වලට අධික මෛත්‍රියක්   පළකරමින්,පන්සලට ගෙන එනු ලබන දාන වේලක ඇති කට්ට සම්බෝලයක උවද උම්බලකඩ කැබැල්ලක් තිබුනොත්, එය ගෙනා තැනැත්තන් කෙරෙහි අධික කෝපයට පත්වන, බණ මඩුවේ බණ අසමින් සිටින විට අතක වසන මදුරුවා චප්ප කර දමන සැදැහැතියන්.

2. 
ශ්‍රද්ධාව  නොමැති අධික ප්‍රඥාවන්තයින් 

පටිච්චසමුප්පාදය, පංච උපාදනස්කන්ද වැනි තම නුවනින් විමසිය යුතු ඝම්භිර ධර්මයන් අනන්ත තිබියදී 
භාග්‍යවතුන් වහන්සේ මස් මාංශ වැළඳුවේ දැයි තමන්ගේ රුචි අරුචි කම් වෙනුවෙන් මුළු ත්‍රිපිටකයම පෙරලමින් සොයන්නන්.

තමන්ගේ මතයට අනුකුල වන අවස්ථාවන්හිදී එය බුද්ධ වචනය ලෙසත්, එසේ නොවන විට එය 
ත්‍රිපිටකයට   ඇතුලත් වූ බමුණු මත ලෙස දකින්නන්.

ආචාර්ය, මාහාචාර්ය පදවියක් ලැබූ විට එය 
භාග්‍යවතුන්  හන්සේගේ උතුම් සර්වඤතා ඤාණය ද ඉක්මවා යන්නක් බව විශ්වාෂ කරන සමහරක් අය ද (බොහෝ අය එසේ නොවේ)


තර්කය සඳහා ම වචන සොයමින්  අනවශ්‍ය තර්ක කරන අය .

3. හුදෙක් භෞතික වාදින් ද යන කොටස් වලට අයත් වන්නන් හට මේ ඉදිරි පොස්ට් කීපය ගෝචර නොවනු ඇත.

කිසියම් කාරනාවක් ගැන කතා කිරීමේදී පදනම් විරහිත ලෙස සිදුකිරීම නුසුදුසු වන අතර විශේෂයෙන් ධර්මය ගැන කතා කිරීමේදී පැහැදිලි පදනමක් මත සිටම කලයුතු වෙනවා.මේ වෙනුවෙන් මගේ පදනම වන්නේ 
භාග්‍යවතුන්  වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගැනීම, උන් වහන්සේ දේශනා කල ධර්මය පිළිගැනීම, ආර්ය මහා සංගරත්නය පිළිගැනීම සහ ත්‍රිපිටකය බුද්ධ වචන ලෙස පිළිගැනීම වේ.

එබැවින් ඉදිරි පොස්ට් කීපය නිරවුල් මනසකින් කියවන්න. එසේ නොමැති වූ විට සිදුවන දේ ගැන එක උදාහරණක් දෙන්නම්.
භාග්‍යවතුන් වහන්සේගේ චරිතය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ උන්වහන්සේ පිළිම වල දකින්නට ලැබෙනවා වගේ සමාධි සුවයෙන්ම වැඩසිටි කෙනෙක් ලෙස නමුත් උන්වහන්සේගේ චරිත ලක්ෂණ තුල දක්ෂ ගුරුවරයෙක්, සැබෑ යහළුවෙක්, සෙනෙහෙවන්ත පියෙක් දකින්නට ලැබුනේ නැතිද? මේ සිදුවීම සලකන්න 

එක් දවසක් මහා කාශ්‍යප  මහා රහතන් වහන්සේ, ඉතා වටිනා සිවුරක් පොරවාගෙන 
භාග්‍යවතුන්  හන්සේ හමුවෙන්න එනවා. ඒ අවස්ථාවේදී උන් වහන්සේ පොරවාගෙන ඉන්නේ පරණ වූ රළු සිවුරක්. උන් වහන්සේ සහ මහා කාශ්‍යප  මහා රහතන් වහන්සේ අතර මේ දෙබස බලන්න 
"
කාශ්‍යප  ඔබගේ සිවුර ඉතාම සියුමැලි අලංකාර එකක්"
"
භාග්‍යවතුන් වහන්ස මේ සිවුර පොරවා ගන්න සේක්වා, ඔබ වහන්සේගේ ඔය සිවුර මට දෙන්න"
"
කාශ්‍යප ඔබට මේ දළ සිවුර සුදුසුද?"
"
භාග්‍යවතුන් වහන්ස ඔබගේ දළ සිවුර මට ඉතා ප්‍රියයි "

ඉන්පසු ඔවුන් දෙදෙනා සිවුරු මාරුකර ගන්නවා.. බලන්න කොතරම් සමීප මිතුරන් ද කියා. මේ තුල කොතරම් දෙයක් ගන්න පුලුවන්ද කියලා. නමුත් අධික 
ශ්‍රද්ධාවන්තයට මේක දරන්න බැහැ. ඔවුන් කියන්නේ එලෙස හැඟීමක් බුදුරජානන් වහන්සේට ඇති වෙන්න බෑ ඕක අපහාස කරන්න බමුණන් ඇතුල්කල මතයක්.අනිත් කොටස කියන්නේ කෙලෙස් ඇති බවයි.(මේවා ගැන ඉදිරියේදී පැහැදිලි කරන්නම්)

මේ එක උදාහරණයක් පමණයි. මේ ධර්මය හඳුනා ගැනීම, බුද්ධ චරිතය හඳුනා ගැනීම ඉතා නිරවුල් මනසකින් කලයුත්තක්. 



දැන් පොඩි  කතාවක් කියන්න යන්නේ. මේ කතාව මට කිවේ මගේ පොඩි පුතා, ඒ ගොල්ලන්ගේ පන්තියේ යහළුවන්ගෙන් අහපු විහිළු කතාවක් විදිහට. නමුත් මේ කතාවේ ගතයුතු වැදගත් ආදර්ශයක් තිබෙන නිසා මේ කතාව මුලින් ම ලියන්න හිතුනා.

ඔන්න එක්තරා පලාතක මනුස්සයෙක් පෝය දවසට සිල් ගන්න ඕන කියලා හිතාගෙන පන්සලට ගියා. මෙයට අපි සිරිපාල කියලා කියමු. ඉතින් සිරිපාල  සිල් අරගෙන බොහොමයක් දෙනෙක් කරනවා වගේ බණ මඩුවේ මුල්ලක් අල්ලගෙන් වාඩිවෙලා හිටියා. ඔහොම ඉන්නකොට මෙයාට නොදැනීම නින්ද ගියා.  දැන් ඔය අතරේ හාමුදුරුවෝ ඇවිත් ධර්ම දේශනයක් පටන් ගන්න ලැස්ති වෙනකොට ම සිරිපාලට ඇහැරුනා. දැන් ඉතින් මෙයත් බණ  අහන්න ලැස්ති උනත් නැවතත් නින්ද ගියා. එහෙම උනත් සිරිපාලට   විටින් විට ඇහැරෙනවා.

ඔහ්න් ඔන්න ඉතින්දන් හාමුදුරුවෝ බන කියාගෙන යනකොට මෙතනට බල්ලෙක් ආවා. දැන් ඉතින් බණ  මඩුවේ ඉන්න මිනිස්සුන්ට මේ බල්ලගෙන් ටිකක් හිරිහැර නිසා හාමුදුරුවෝ මෙහෙම කිවා.

"කවුරු හරි කෙනෙක් ඔය බල්ලා එළවලා දැමුවොත් හොඳයි"

ඔය ටික කියනකොටම නිදි කිරමින් සිටි සිරිපාලට ඇහැරුනා, ඒ ගමන්ම මෙයාට බල්ලා  කියන එක ඇහුනා,   නමුත් අපහු නින්ද ගියා.

දැන් ඉතින් හාමුදුරුවෝ  මෙන්න මෙහෙම දෙයක් කියනවා.

"පින්වතුනි මව හෝ පියා මැරුවොත් නම් අනිවාර්යයෙන්ම ඊළඟ උපත නිරයේ .."

මේක  කියනකොට සිරිපාලට  අපහු සැරයක් ඇහැරුනා, ඒ ගමන්ම මෙයාට මැරුවොත් නම්  කියන එක ඇහුනා,  මේ වචන තදින් හිතට වැදුනා උනත්  අපහු නින්ද ගියා.

දැන් ඉතින් හාමුදුරුවෝ මේ විදිහට බණ  අවසන් කරනවා.

"පින්වතුනි ඔය කියපු ආකාරයට පවෙන් වැළකිලා සතිපට්ඨානය නියම ආකාරයට වැඩුවොත් නිවන් දකින්න පුළුවන්"

මේක  කියනකොට සිරිපාලට  අපහු සැරයක් ඇහැරුනා, ඒ ගමන්ම මෙයාට නිවන් දකින්න පුළුවන්  කියන එක ඇහුනා,  මේ වචන තදින් හිතට වැදුනා. දැන් ඉතින් බණ  ඉවරයි කට්ටිය ටිකක් නැගිටලා එලියට පහලට යන්න ගත්තාම් ළඟ හිටපු කෙනෙක් සිරිපාලගෙන් මෙහෙම් අහනවා.

"අපුරු බණ  ටික නේද? හොඳට ත්රුම් කරලා දුන්නා නේද?"

එතකොට සිරිපාල මෙහෙම කියනවා 

"අපොයි ඔව් අද තමයි මට හොදට තේරුනේ බල්ලා මැරුවොත් නම්  නිවන් දකින්න  පුළුවන් කියලා"

ඔන්න ඕක තමයි කතාව. පොඩ්ඩක් හිතන්න, අද බොහෝ දෙනෙක් බණ  අහන්නේ ඔය විදිහට, තේරුම් ගන්නේ ඔය විදිහට. ඉතින් කොහොමද මේ අපුරු ධර්මය තේරුම් ගන්නේ. 

සැබෑ බෞද්ධයා යනු කවරෙක්ද?

අද මේ රටේ බහුතරය බෞද්ධයන්  වී ඇත්තේ උපතින් මිස සැබෑ අවබෝධයකින් නොවේ.  අවබෝධයෙන් තෙරුවන් සරණ යාමෙන්ම එම පුද්ගලයා උපාසකයෙක් වේ. උපාසක යන නාමය භාග්‍යවතුන් වහන්සේ බෞද්ධයා හැදින්වීමට යොදාගත් නාමයයි.

යතෝ ඛෝ මහානාම බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සංඝං සරණං ගතො හොති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හොති. යන බුද්ධ වචනයෙන් මේ සරනාගමනයෙන්ම කෙනෙක් උපාසකයෙක් බව දක්වා ඇත.

සරණාගමනය යනු කුමක්ද යන බව ඉතා හොඳින් වටහා ගත යුතු වෙනවා. බොහෝ දෙනෙක් මේ සරණාගමනය ආශිර්වාදයක් හෝ ආශිර්වාද පාඨයක් කරගෙන ඇති බව දකින්නට පුළුවන්.  නමුත් බුද්ධං සරණං  ගච්ඡාමි යන්නේ අදහස් වන්නේ, බුදුරජානන් වහන්සේ ගමන්ගත් මග යන බව මිසක්, වෙනත් දෙයක් නොවේ.  බුදු සරණ ලැබීම යනු උන් වහන්සේ කියාදුන් නිවැරදි මග ඔස්සේ ගමන් කර තමන් විසින් තමන්ගේ  විමුක්තිය ලබාගැනීම මිස වෙනත් ආශීර්වාදයක් ලබාගැනීම නොවේ.  එසේ නොමැතිව මුළු දවස පුරාවටම බුද්ධං සරණං  ගච්ඡාමි කියමින් සිටියත් බුදු සරණක් නොලැබෙනු ඇත.

ධර්මය සහ ආර්ය මහා සංග  රත්නය සරණයැම ද මේ ආකාරයටම වටහා ගත යුතුය.

සරණාගමනය යනු කුමක්දැයි අපි සරලව දැනගත්තා,මෙය  ලෝකෝත්තර සරණාගමනය සහ ලෞකික සරණාගමනය ලෙස දෙවැදෑරුම් වෙනවා. ලෝකෝත්තර සරණාගමනය යනු මාර්ග ඵල අවභෝධයේදී  ඇතිවන්නාවු සරණාගමනයවේ, මාර්ග ඥාණයන් පහල වීමේදී ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇති සැකයන් පහා වීම නිසා ලෝකෝත්තර සරණාගමනය කිලිටි නොවනවා මෙන්ම එහි  බිදීමක් නොමැති වේ.

මාර්ග ඥාණයන්ට මෙපිටින් ඇති සරණාගමනය ලෞකික වේ. මෙහි කිලිටිවිමක් මෙන්ම බිදීයාම සිදුවිය හැක. තෙරුවන්  කෙරෙහි සැක  ඇතිවීමෙන්, තෙරුවන් කෙරෙහි දුර්මත ඇතිවීමෙන් සහ තෙරුවන් ෙකෙරෙහි  දැනීම මඳ  වීමෙන්  ලෞකික සරණාගමනය  කිලිටි වන අතර පහත කාරණා  නිසා එහි බිඳී යාම සිදු වේ.
1. ධර්මය ප්‍රතික්ෂේප කිරීමෙන්
2. අන්‍ය ආගමක් පිළිගැනීමෙන්
3. මරණයෙන්.

ආර්ය ශ්‍රාවකයන් මරණයෙන් මතු ද වෙනත් වූ දහමක් පිළිනොගන්නා බැවින් ලෝකෝත්තර සරණාගමනය මරණයෙන් හෝ බිඳී යමක් සිදු නොවේ.

මේ උපසකත්වය නැවත උපාසක චණ්ඩාල  සහ උපාසක රත්නය ලෙස කොටස් දෙකකට බෙදෙනවා. ඒ ගැන පසුව විමසා බලමු.

ශ්‍රද්ධාව යනු කුමක්ද?

ශ්‍රද්ධාව යනු කුමක් දැයි කියා ද පළමුව නිවැරදිව දැනගත යුතු වෙනවා. මෙය නොදනිම නිසාම බොහෝ දෙනෙක් ශ්‍රද්ධාව යනුවෙන් අර්ථ දක්වනුවේ ආමිස පුජාවන්ය . එමෙන්ම  ශ්‍රද්ධාව යනු කුමක්දැයි නොදන්නා කම නිසාම මේ ශ්‍රද්ධාව නම් වචනය ඇසු  පමණින් ක්‍රෝධය වපුරමින් ඒ කෙරෙහි ගර්හා කරන පුද්ගලයන්  ද බොහෝ සේ දැකගත හැකි වෙනවා.

"සද්දා  හති තථාගතස්ස බෝධි" ලෙස තමයි ශ්‍රද්ධාව හඳුන්වා දෙන්නේ. එනම් තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගැනීමයි.  සම්මා සම්බුද්ධත්වය  යනු කුමක් දැයි කෙටියෙන්  හඳුන්වාදීම ඇති දුෂ්කර කාර්යයක් උවත් අවම වශයෙන් උන් වහන්සේ ලෝභ, දේවේශ, මෝහ සම්පුර්ණයෙන්ම දුරුකලා යැයි  හෝ විශ්වාශ කල හැකි නම් එය  ශ්‍රද්ධාව ලෙස හඳුන්වන්න පුළුවන්. අවම ලෙස මේ අකුසල මුලයන් සම්පුර්ණයෙන්ම දුරුකලා යයි හෝ විශ්වාශ කල නොහැකි නම් උන් වහන්සේ තමන්ගේ සාස්තෘන්  ලෙස පිලි ගැනීමට නොහැකි වෙනවා.

ශ්‍රද්ධාව නැවත කොටස් දෙකකට බෙදෙනවා , අමුලිකා  ශ්‍රද්ධාව සහ ආකාරවතී  ශ්‍රද්ධාව යනුවෙන්. මෙයින් පළමු වැන්න හේතුවක්, මුලයක් ඇතිව නැතිව බොහෝවිට බාහිර දේවල් මත ඇතිවන්  ශ්‍රද්ධාවක්  බැවින් එයට අමුලිකා  ශ්‍රද්ධාව යයි කියනු ලබනවා.

නමුත් වඩා වැදගත් වන්නේ ආකාරවතී  ශ්‍රද්ධාවයි. එය ධර්මය අවභෝධ කර ගැනීම තුලින් හේතු සහගතව ඇතිවන  ශ්‍රද්ධාවක්. සමහර දෙනෙක් මේ ආකාරවතී  ශ්‍රද්ධාව ඇති වන්නේ සොවාහන් පුද්ගලයාට යයි කියනවා. එසේ  පැවසීමට හේතු වන්නේ මෙය කලින් කි ආකාරයට ධර්මය අවබෝධ කරගැනීම තුලින් ඇතිවන බව කියවෙන නිසා. නමුත් මගේ පුද්ගලික අදහස නම එය එසේ නොවන බවයි. ධර්මය අවබෝධ තම තම නැණ පමණින් දැනගත යුතු දෙයක් බැවින්, සෝවාහන්  පලය ලැබීමට  පෙරත් ක්‍රමානුකුලව වැඩි යන ධර්මය අවබෝධයක් තියෙනවා. එසේ නැතිව ගහෙන් ගෙඩි එන්නාක්  මෙන් සෝවාහන්  වීමක් වෙන්න හැකියාවක් නැහැ.

මේ අනුව ශ්‍රද්ධාවන්ත බෞද්ධයා යනු, බුදුරජාණන්  වහන්සේ  ගුරු උපදේශයන් රහිතව  ලෝභ, ද්වේශ, මෝහ සහ මුලින්ම දුරුකළ උත්තමයන්  වහන්සේ නමක් ලෙසද,  ශ්‍රී සද්ධර්මය යනු  ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මුලයන් සහමුලින් නැති කිරීම පිණිස උන් වහන්සේ දේශනා කල  ක්‍රමවේදය බවද, ආර්ය මහා සංග  රත්නය යනු එම ප්‍රතිපදාව අනුව යමින් එහි පල ලබාගත් උතුමන් බව පිළිගනිමින්, ඒ අනුව ගමන් කරමින් තමන් තුල ඇති ලෝභ,ද්වේශ, මෝහ දුරුකිරීමට උත්සාහ  ගන්නා පුද්ගලයාය.

ශ්‍රද්ධාව හා තිසරණය වරදවා ගෙන කටයුතු කරන ගිහි හෝ පැවිදි අය කරන කාර්‍යයන් දෙස බලා, ඔවුන් කෙරෙහි ද්වේශ සහගතව කටයුතු කිරීම  බෞද්ධ ප්‍රතිපදාව නොවන  (එසේ කිරීම තුලින් සිදුවනුයේ තමන්ගේ ලෝභ,ද්වේශ, මෝහ  තව තවත් වඩා වර්ධනය වීමයි.) අතර ඒ වැනි විටක කලයුතු වන්නේ ඔවුන් කෙරෙහිද ද්වේශ සහගත නොවී හැකිනම් ඔවුන්ටද නිවැරදි ධර්මය වටහා දීමට කටයුතු කිරීමයි.

ඉදිරි ලිපියකින් මස් මාංශ අනුභවය සහ ආහාරය පිළිබඳව සලකා බැලිය යුතු අයුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

සැමට ධර්මාවභෝධය ලැබේවා!!!


  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...