මාත් එක්ක එකතු වෙන්න

Saturday, March 30, 2013

ෆිල්ම් කැමරා එකේ වයිට් බැලන්ස්



වර්ණ උෂ්ණත්වය ගැන ලියපු කලින් පොස්ට් එකෙන් වර්ණ උෂ්ණත්වය ඡායරුපයකට සිදුකරන බලපෑම සහ ඩිජිටල් කැමරාවක් අදාල ආලෝකයට අනුව සුසර කරගැනීම ගැන කරුණු ඉදිරිපත් කළා. මේ පොස්ට් එකෙන් කතා කරන්නේ   "ෆිල්ම් කැමරා එකේ වයිට් බැලන්ස්  කරන්නේ කොහොමද " යන කරුණ.

දැන් බොහෝ විට  ෆිල්ම් භාවිතා නොකරන නමුත් දැනුම සඳහා මෙය වැදගත් වනවා මෙන්ම ෆිල්ම් රෝල් භාවිතා කරපු කාලේ අපි කාපු කට්ට ගැනත් මේ තුලින් යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්.

ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න පුලුවන්ද? - කැමරාවෙන් බැහැ 

ඒ කියන්නේ, ෆිල්ම් රෝල් වලට  වර්ණ උෂ්ණත්වයේ බලපෑමක් නැතිද ? - මේ විදිහෙම බලපෑමක් තියෙනවා 

ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න බැරි ඇයි ?, ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්නත් බැරිනම්, වර්ණ උෂ්ණත්වයේ බලපෑමත් තියෙනවා නම් ඉතින් කොහොමද ෆොටෝ ගත්තේ?

දැන් දීපන්කො උත්තර.

පළමුවෙන්ම අපි බලමු ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න බැරි ඇයි  කියලා. මේ ගැන තේරුම් ගන්න අපි නැවතත් ඩිජිටල් කැමරාව වෙත යමු. අපි දන්නවා ඩිජිටල් කැමරාවේ ඡායාව සටහන් කරගන්නේ එහි ඇති සෙන්සර් එක මගින් බව. මේ පොස්ට් දෙක කියවන්න බැරි උන අය  මෙතනින් කියවන්න. "කැමරාවේ මෙගා පික්සලේද? සෙන්සර් එක ද?" සහ "කැමරාවේ Sensor Format සහ Crop Factor"  ඉතා සරලව කිවොතින් ,මේ සෙන්සර් එක මතට වැටෙන ආලෝකය විද්‍යුත් ධාරාවක්  බවට පරිවර්තනය කර එය කැමරාවේ  ඇති ප්‍රොසෙසරය මගින් රුපයක්  බවට පරිවර්තනය කරනවා.  ඉතින් මේ ඩිජිටල් ක්‍රියාදාමය  තුලදී එයට නොයෙකුත් විධානයන් ලබා දී අපට අවශ්‍ය ලෙස රුපය සකසා ගත හැකියි.

නමුත්  ෆිල්ම් කැමරාවකට අපි දමන්නේ ෆිල්ම් රෝල් එකක්, ඒ ෆිල්ම් රෝල් එක නිශ්පාදනයේදීම එහි ISO  අගය, භාවිතා කලයුතු වර්ණ උෂ්ණත්වය තීරණය වෙලා ඉවරයි.  එහෙනම් අපි  කරන්න ඕන, අපිට අවශ්‍ය කරන ආලෝකයට අදාළ  වර්ණ උෂ්ණත්වය ඇති ෆිල්ම් රෝල් එකක් භාවිතා කිරීමයි. (ISO  අගයත් එහෙමම තමයි අවශ්‍ය වන්නේ අඩු ආලෝක තත්වයන් මත ෆොටෝ ගන්න නම් , වැඩි ISO  අගයක් සහිත රෝලක් ගන්න වෙනවා )


ඉහත රුපය බලන්න එම ෆිල්ම් රෝල් එකේ සටහන් කරලා තියෙනවා DAYLIGHT OR BLUE FLASH කියලා.

දැන් පහත රුපය බලන්න  එහි සටහන් කරලා තියෙනවා TUNGSTEN ලෙසට


එකල බොහෝ සුලබව  ලබාගත හැකිව තිබුනේ "DAYLIGHT" සහ "TUNGSTEN"යන වර්ණ උෂ්ණත්වයන් වෙනුවෙන් නිෂ්පාදිත  ෆිල්ම්රෝල්, නමුත් ඉතා කලාතුරකින් "FLUORESCENT " ලෙස ටියුබ් ලයිට් වෙනුවෙන් නිෂ්පාදිත ෆිල්ම් රෝල් තිබුනා.

දැන් ප්‍රශ්නේ හරි නේද? නැහැ,  තාම හරි නැහැ. අපි දන්නවා සුර්යාලොකයත් සවස් සහ උදේ කාලයේදී අඩු වර්ණ උෂ්ණත්වයක් ලබාදෙන බව. එහෙනම් ඉතින් Daylight  type  එකක් අරගෙන සවස් කාලයේදී එහෙම නැත්නම් උදේ කාලයේදී ෆොටෝවක් ගන්නේ කොහොමද? එහෙම ෆොටෝ එකක් ගත්තොත් මොකද වෙන්නේ?

පසුගිය පාඩම නැවත මතක් කරලා බලන්න එතකොට උත්තරේ ලැබෙයි, උදේ සහ සවස වර්ණ උෂ්ණත්වය අඩුවෙන නිසා මේ Daylight  type එකකින් ඒ වගේ වෙලාවක ෆොටෝ එකක් ගත්තොත් කහ පැහැයක් ගන්නවා. බැරි වෙලාවත් ෆ්ලෑෂ් කරන්නේ නැතිව ගේ ඇතුලේ තියෙන ලයිට් එළියෙන් ෆොටෝ එකක් ගන්න උනොත්? ෆිල්ම් රෝල මාරුකරලා Tungsten  type එකක් දමන්නත්  බැහැනේ. ඔන්න ඔතන දී තමයි මේ වර්ණ උෂ්ණත්වය සකස් කරන්න වෙන්නේ. නමුත් මේක කැමරාවෙන් කරන්න බැහැ කියලා දැන් අපි දන්නවනේ, එහෙනම් කොහොමද මේක කරන්නේ? මෙතැනදී අපිට කරන්න වෙන එකම දේ තමයි කැමරාවට ඇතුල්වන ආලෝකයේ වර්ණය වෙනස්කිරීම.

පළමුව මේ උදාහරණය බලමු.

 Daylight  type ෆිල්ම් එකකින් සවස් කාලයේදී ෆොටෝ එකක් ගැනීම, දැන් අපි දන්නවා අපි ගන්න ෆොටෝ එකේ අවසන්  පුතිපලය කහ පැහැය වැඩිවෙන බව.එතකොට අපි කරන්නේ කැමරා ලෙන්ස් එකට ඉදිරියෙන්  නිල්  පැහැ  ෆිල්ටර් එකක් එකතු කිරීම. එවිට කැමරාවට ඇතුල්වන ආලෝකයෙහි වැඩි නිල්  පැහැයක් ඇති බැවින් කහ පැහැය නැති වෙනවා.

මේ පහල තියන colour wheel එක බලන්න


දැන් තේරෙනවානේ වැඩේ, අපිට අඩුකරන්න ඕන වන වර්ණයට විරුද්ධ වර්ණය ඇති ෆිල්ටර් එකක් යෙදීමෙන් තමයි ඒ දවස් වල ඔය වැඩේ ගොඩ දාගත්තේ. නමුත් වැඩේ හිතන තරම් ලේසි නැහැ. අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කොපමණ ප්‍රමාණයක density එකක් තියෙන ෆිල්ටර් එකක්ද යොදාගන්න ඕන කියන එක. එහෙම නුනොත් වැඩේ සුං. අඩු density එකක් තියෙන ෆිල්ටර් එකක් දැම්මොත්  colour  cast  එක සම්පුර්ණයෙන් නැති වෙන්නේ නැතිව, අඩුවීමක් වෙනවා, වැඩි density එකක් තියෙන ෆිල්ටර් එකක් දැම්මොත්, ඒ දාන ෆිල්ටර් එකේ පාට colour  cast  එකක් එනවා.

ඉතින් ඉතාම ගැලපෙන නිවැරදි ෆිල්ටරය යොදන්න ඕන. ඒ දවස්වල කැමරාවට අමතරව මේ ෆිල්ටර් වෙනුවෙන්ද විශාල මුදලක් දැරීමට සිදුවුනා. මේ තියෙන්නේ ෆිල්ටර් කීපයක්.
Colour Filters 
මේ තියෙන්නේ Negatives 

ෆිල්ටරයක් තුලින් ආලෝකය ගමන් කිරීමේදී එම ආලෝකයේ යම් ප්‍රමාණයක අඩු වීමක් සිදුවෙනවා. මේ අඩුවන ප්‍රමාණය filter  factor  ලෙස නිෂ්පාදකයා විසින් ෆිල්ටරයේ සටහන් කර තියෙනවා. ඒ අනුව අනවරණයද සකස් කල යුතු වෙනවා.

ෆිල්ටර් භාවිතා කලේ මේ ලෙස වර්ණ උෂ්ණත්වයේ වෙනස නිසා ඇතිවන බලපෑම නිවැරදි කරගැනීමටම පමණක් නෙවේ. වෙනත් නොයෙකුත් කාර්යයන් සඳහා විශේෂයෙන් කලාත්මක ඡායාරුප සඳහා ෆිල්ටර් භාවිතා කිරීම සිදු උනා.

පසු සටහන:
ඔබේ  ලෙන්ස් එකේ ප්‍රමාණයට ගැලපෙන කලර් ෆිල්ටර් කීපයක් (විශේෂයෙන් නිල්  සහ කහ) සොයාගත හැකිනම්,  ඔබේ ඩිජිටල් කැමරාවේ වයිට් බැලන්ස් භාවිතා නොකර ෆිල්ටර් භාවිතයෙන්  වර්ණ උෂ්ණත්වය නිවැරදි කිරීමට උත්සාහ කර මේ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් ලබාගන්න.


Monday, March 25, 2013

වර්ණ උෂ්ණත්වය - White Balance


අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ ආලෝකයේ වර්ණ උෂ්ණත්වය ගැන සහ කැමරාවේ වයිට් බැලන්ස් කිරීම ගැන. මේ කරුණු ගැන අපි ඉතාමත්ම සරලව සලකා බලමු.

මොකක්ද මේ වර්ණ උෂ්ණත්වය?

අපිට  ලැබෙන ආලෝකය විවිධ වර්ණ වලින් යුක්ත බව ඔබ දන්නවා, අපේ  ප්‍රධාන ආලෝක  ප්‍රභවය වන සුර්යයා ගෙන් ලැබෙන ආලෝකයේ වර්ණය දවසේ ඒ ඒ වේලාවන් අනුව වෙනස් වන බව අපි දන්නවා. හිරු පායා එනවිට මෙන්ම, හිරු  බැසයන විටත් හිරු රැස්  රත් පැහැයක් ගන්නා බව අපි දැකලා තියෙනවා. නමුත් දවල් කාලයේ හිරු රැස්  ඉතා දීප්තිමත් සුදු පැහැයක් ගන්නවා.

දැන් ඉටිපන්දම් ආලෝකයක් මතකයට නගා ගන්න. එහි දැල්ල කහ පැහැයක් ගන්නවා. නමුත් සුත්‍රිකාව සහිත විදුලි බුබුලකින් ලැබෙන ආලෝකය කහ පැහැ උවත්, එය ඉටිපන්දම් දල්ලට වඩා දීප්තිමත් මෙන්ම එහි කහ පැහැය , සුදු පැහැයට වඩා සමීප බවක් දක්වනවා.  මේ බල්බයේ ආලෝකය ටියුබ් බල්බයක් සමග සංසන්දනය කළහොත් ටියුබ් බල්බයේ ආලෝකය වඩාත් සුදු පැහැයට ආසන්න බවක් පෙනෙනවා.

 බොහෝ දෙනෙක් දැකලා ඇති නේද පැට්‍රොල් මැක්ස්  කියන ලාම්බු වර්ගය, එහම නැත්නම් බන්සන් දාහකය.



මේ වර්ග වල  ලාම්පු පත්තුකරන ආකාරය දැකලා තියෙනවා නේද?  මේවා මුලින් පත්තු කල ගමන් කහ ආලෝකයක් ගන්නවා , නමුත් එහි උෂ්ණත්වය වැඩි කරන විට එම ආලෝකය නිල්  පැහැයක් ගන්නවා. ගෑස් ලිප උනත් එහෙම තමයි.

හොඳයි දැන් මේ කාරනා වලින් අපට තේරෙනවා විවිධ ආලෝක ප්‍රභවයන් ගෙන් ලැබෙන ආලෝකයේ වර්ණය වෙනස් බවත්,  එකම ආලෝක ප්‍රභවයක  උවත් ඒ ඒ අවස්ථා අනුව ලැබෙන ආලෝකයේ වර්ණය වෙනස් වන බවත් ( සුර්යාලෝකය) . එමෙන්ම ඒ ඒ ආලෝකයට අනුව එහි උෂ්ණත්වය වෙනස් වන බවත්.

මෙන්න මේ ආලෝකයේ ඇති උෂ්ණත්වය තමයි වර්ණ උෂ්ණත්වය කියන්නේ. මෙය මනින ඒකකය වන්නේ කෙල්වින් කියන ඒකකයයි. පහල තියෙන රුපය බලන්න 


මේ අනුව දැන් ඉතාම පැහැදිලි වෙනවා වැඩි වර්ණ උෂ්ණත්වයක් ඇති විටදී නිකුත් වන ආලෝකය නිල්  පැහැ  වෙන අතර අඩු වර්ණ උෂ්ණත්වයක් ඇති විටදී නිකුත් වන ආලෝකය රතු පැහැ වෙන බව.

වර්ණ උෂ්ණත්වය ඡායරුපයට සිදුකරන බලපෑම.

ලෝකයේ තියෙන  ඉතාම හොඳම කැමරාව වන අපේ ඇසට මෙම ආලෝකයේ ඇතිවන වර්ණ වෙනස එතරම් ප්‍රශ්නයක් නොවුවද, කැමරාවට මෙය දැඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා විවිධ වර්ණ උෂ්ණත්වයන් මත ඡායාරුප ගැනීමේදී  එම ආලෝකයට අදාළ වර්ණය මුළු ඡායාරුපය පුරා පැතිරී ඇති ආකාරයක් දකින්නට ලැබෙනවා. 
වැඩි වර්ණ උෂ්ණත්වයක් ලැබුන විට  නිල් පැහැ ගනී 

අඩු වර්ණ උෂ්ණත්වයක් ලැබුන විට  රත් පැහැ ගනී 
මේ දෝෂය මගහැරීම සඳහා,  කැමරාවට අප භාවිතා කරන ආලෝකයේ වර්ණ උෂ්ණත්වය ලබාදිය යුතු වෙනවා. එවිට ඒ අනුව කැමරාව, එම අගය සහිත වර්ණය සුදු වර්ණය ලෙස හඳුනා ගන්නවා.  එවිට අනිකුත් වර්ණ නිසි ලෙස සටහන් වෙනවා.  

උදාහරණයක් ලෙස මෙහෙම හිතන්න. අපි සුදු පැහැති  කමිසයක් ඇඳගත් කෙනෙකුගේ ඡායාරුපයක්, 1000 සිට 2000 දක්වා කෙල්වින් අගය ඇති ඉටිපන්දම් ආලෝකයකින් ගත්තා කියලා. එතකොට සිදුවන්නේ එම වර්ණ උෂ්ණත්වයට අදාළ වර්ණය වන රතු පැහැය මුළු ඡායාරුපය පුරාවටම දකින්නට ලැබීමයි. ඔහු ඇඳ සිටින සුදු කමිසය රතු පැහැයෙන් දැක්වෙනු ඇත.  නමුත් මේ අවස්ථාවේදී කැමරාව එම රතු ආලෝකය, සුදු පැහැ  ආලෝකයක් ලෙස දකිනවානම්, ඔහුගේ කමිසය රතු පැහැ  නොවී සුදු පැහැයෙන්  සටහන් වනු ඇත. එමෙන්ම මුළු ඡායාරුපය පුරාවටම දකින්නට ලැබෙන රත් පැහැ  ස්වභාවය නැතිවී යනු ඇත.

මෙන්න මේ දේ තමයි අපි White Balance  කරනවා කියලා කරන්නේ. බොහෝ කැමරා වල මේ වයිට් බැලන්සින්  කිරීම සඳහා කෙල්වින් අගයන් දෙන්නේ නැහැ. ඒ වෙනුවට නිෂ්පාදකයන්,  අපිට බොහෝවිට දකින්නට ලැබෙන ආලෝක ප්‍රභවයන් වෙනුවෙන් සංකේත ලබා දී ඒ වෙනුවෙන් කැමරාවේ අගයන්  සකසා තිබීමයි. (preset). ඉහත වර්ණ උෂ්ණත්වයන් සඳහන් කල සටහනේ එම සංකේත දක්වා ඇති ආකාරය බලන්න. 

නමුත් සමහර කැමරා වල මේ පෙර සැකසුම් අගයන්ට අමතරව තමන්ටද වයිට් බැලන්සින්  කිරීම සඳහා  option  එකක් ලබාදෙනවා. එවිට තමන් භාවිතා කරන ආලෝකය දෙසට සුදු පැහැ   කඩදාසියක් අල්වා එය සුදු ලෙස සටහන් වන ලෙස කැමරාව සුසර කරගත යුතු වෙනවා. නමුත් මේ සඳහා වඩාත් සුදුසු වන්නේ expodisk  නම් පහත උපකරණය කැමරාවට සවිකර කැමරාව වයිට් බැලන්ස් කිරීමයි.



මොකක්ද මේ Auto White Balance 

මෙම Auto  මෝඩ්  එක භාවිතයෙන් බොහෝ කැමරා වල වයිට් බැලන්ස් කිරීම කැමරාව මගින් ස්වයන්ක්‍රියව සිදු කෙරෙනවා. බොහෝ අවස්ථාවල මෙම auto මොඩ් එකෙන් සාර්ථක පුතිපල  ලබාගත හැක. ඉතාමත් විශේෂ අවස්ථාවකදී හැර අන් සියලුම අවස්ථාවන්හිදී මං  තුමා යොදාගන්නේ auto  මෝඩ්  එක.

පොඩි ක්‍රියාකාරකමක් 

පහත දැක්වෙන රුප පෙළ හොඳින් බලන්න. එහි අංක සහ එම අවස්ථාවේදී යොදාගත් වයිට් බැලන්ස් පෙරසැකසුම් සන්කෙතයත් දක්වා ඇත. මේ සියල්ලම රු ගත කලේ වලාකුළු සහිත, සවස එලි  මහනේදී.





මෙහි අංක 3 auto  මොඩ්  එකෙන් ගත්  රුපය ඉතා නිවැරදි ලෙස ගත හැක.  අංක 2 රූපයත් බොහෝ දුරට නිවැරදි වේ. නමුත් මේ වෙනසට හේතුව වන්නේ පෙර සැකසුම් අගය "Cloudy" වීමයි.  එම වස්තාවේදී කැමරාව බොහෝ විට සිතන්නේ දහවල් කාලයේ වලාකුළු සහිත අවස්ථාවක් ලෙසයි.

දැන් අපි අංක 6 රුප රාමුව බලමු 

මේ අවස්ථාවේදී වයිට් බැලන්ස් මොඩ්  එක භාවිතා කලේ බල්බ් ලෙසයි. එහෙමනම් මේ රුපය මෙතරම් නිල් පැහැ  උනේ කොහොමද? බල්බ් කියන්නේ කෙල්වින් 2500 - 3000 අතර අගයක් බව ඉහත සටහනේ පෙනෙනවා නේද? ඒ කියන්නේ මෙම අවස්ථාවේදී කැමරාව බලාපොරොත්තු වන්නේ කෙල්වින් 2500 - 3000  අතර අගයක්. නමුත් මේ ඡායාරුප ගනු ලැබුවේ වලාකුළු සහිත, සවස එලි  මහනේදී. එවිට එම අවස්ථාවේ වර්ණ උෂ්ණත්වය  සවස බැවින්, කෙල්වින් 6500 - 8000 ට වඩා මදක් අඩු බව සිතිය  හැක. (කෙල්වින් 5500-6000  විය හැක) . එනම් කැමරාව බලාපොරොත්තු වනවාට වඩා ඉතා වැඩි වර්ණ උෂ්ණත්වයක්  එම නිසා එම ෆොටෝ එක නිල්  පැහැ ගැනී  ඇත.

අංක 4 සහ 5 රුප රාමු එලෙසම සාපේක්ෂව නිල්  පැහැය වැඩි වී ඇති ආකාරය ඉහත උදාහරණය ඇසුරෙන් කල්පනා කරන්න.


අංක 1 රුපය රතු  වර්ණයට වඩා නැඹුරු වුයේ කෙසේද?

මෙමෙ ඡායාරුප ගනු ලැබූ අවස්ථාවේ වර්ණ උෂ්ණත්වය කෙල්වින් 5500 -6000 පමණ වන්නට ඇති බව උපකල්පනය කලානේ. මේ අංක 1 රුපය  ගනු ලැබුවේ Shade කියන මෝඩ්  එක භාවිතා කරමින්. ඉහත හටහන අනුව Shade අවස්ථාවේ වර්ණ උෂ්ණත්වය කෙල්වින් 6500-8000 පමණ වෙනවා. එනම් කැමරාව බලාබොරොත්තු වන්නේ එවැනි වූ අගයකින් යුත් ආලෝකයක්, නමුත් මෙය ඡායාරුප ගත කල අවස්ථාවේදී වර්ණ උෂ්ණත්වය ඊට වඩා මදක් අඩු බැවින් රුපය මද රත් පැහැයක් ගෙන තියෙනවා.


මේ පොස්ට් එක කියවීමෙන් වර්ණ උෂ්ණත්වයේ වෙනස ඡායරුපයට බලපාන්නේ කෙසේද යන කරුණු පැහැදිලි වන්නට ඇති. නමුත් ඡායාරුප ශිල්පය යනු ප්‍රායෝගික විෂයක් බැවින් ඔබගේ කැමරාවේ වර්ණ උෂ්ණත්වයන් වෙනස් කරමින් එය බලපාන ආකාරය ගැන මනා දැනුමක් ලබාගන්න.

Saturday, March 23, 2013

ගුවන් විහිළුවෙන් පරණ පිනක්.


පොඩ්ඩක් මතක් කොරලා බලන්න පින්වතුනි, කඳුළු දුපතේ රජ කතා නමැති වටිනා පුස්තකයේ තිබුන කතා වස්තුන් කොපමණ වටිනා කියන දේවල්ද කියලා.  ඒවා එහෙම කාලයත් සමග වැලලිලා  යන්න දෙන්න බැහැ නේද පින්වතුනි?  ඒ නිසා, මතු පරපුරට මේ අගනා කථා  වස්තුන් දායාද කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව තවත් කතාවක් අද ඉදිරිපත් කොරනවා.

පහුගිය කතාවෙන් කියවුනේ අපේ පුෂ්පකුමාර රජතුමා දිව්‍ය  ලෝකේ යන්න ගිහින් බැරි උන සිදුවිම කියලා මත ඇති නේ. අමතක නම් මෙතනට කොටලා බලාගෙනම එනවා හොඳයි. ඔය පුෂ්පකුමාර යුවරජු වෙලා ඉන්න කාලේ, එවකට රජකම් කල ජ. රා. රජා කොරපු කෙනහිලිකම් මතක ඇතිනේ. මෙතනින් ගිහිල්ල එකත් බලාගෙනම එන්නකෝ. දැන් මේ කියන්න යන කතාවට ඔය ඉතිහාසය බොහොම වටිනවා. ඒ නිසා නොවරදවාම ඒ සිදුවීම් දෙක කියවලා මතක්  කොරගන්න එක බොහොම වටිනවා. ඕන්  නොකීවයි කියන්න එපා .

ඉතින් ඔහොම කෙනහිලිකම් වලට ලක්වෙලා හිටපු පුෂ්පකුමාරට රජකම ලැබුන විට, එතෙක් තමා දරු යුවරජ පදවියට, යුවරජ කෙනෙක් පත් කොරන්න කල්පනා කොරා. නමුත් මේ රජුට, යුවරජකම පවරන්න තරම් විශ්වාසවන්ත කිසිම කෙනෙක් රාජ  සබාවේ සිටිනේ නැති නිසාම,  ගොළු, බිහිරි තත්වයේ සිටි මහලු ප්‍රාදේශීය පාලකයෙක්ට යුවරජකම දුන්නා. බලන්න පින්වතුනි පින පලදෙන ආකාරය. මේ යුවරජ හඳුන්වනු ලැබුවේ Deaf and Blind නමින්.

ඔන්න ඔහොම ටික කාලයක් යනකොට මේ පුෂ්පකුමාර රජතුමා අකාලයේ මිය පරලොව ගියානේ. ඉතින් පින්වතුනි දැන් අපේ Deaf and Blind යුවරජු නිකන්ම රජ උනා. ඔන්න පින්වතුනේ දැන් තමයි කතාව. මේ කඳුළු දුපතේ රාජකීය පාලනය යටතේ පැවැත්වෙන ගුවන් විහිළු සංස්ථාව කියලා එකක් තියෙනවා. මේ රජ පරපුරේ වන්දිභට්ඨ  සේවය සපයන්නේ මේ ගුවන් විහිළුවෙන්

මේ ගුවන් විහිළුවේ චාරිත්‍රයක් තියෙනවා රජ කෙනෙක් පත් වු විට, එම රජුගේ රාජකීය ලිලාවට ගැලපෙන සින්දුවක් දවස පුරාම ප්‍රචාරය කරන්න. ඉතින් මේ ගුවන් විහිළුවේ ලොකු පුටුව දරන කෙනා මේ අලුත්  Deaf and Blind රජු හමුවෙලා මෙහෙම කියනවා.

"රජතුමනි අපි චරිත්‍රානුකුලව කරන දෙයක් ලෙස ඔබතුමාගේ රාජකියත්වයට ගැලපෙන සින්දුවක් දවස පුරාවටම ප්‍රචාරය  කරන්න ඕනේ,  ඒ සඳහා ඔබ තුමා යෝජනා කරන්නේ කුමන සින්දුවද ?"

"ඕවා මට තේරෙන්නේ නැහැ, බොලට කැමති එකක් දාපන්"

"එහෙම හරියන්නේ නැහැ රජතුමනි,  කලින් රජවරු සින්දුව තෝරලා දුන්නා"

"එහෙනම් කියමුකෝ බලන්න කලින් හිටපු අය  දාපු සින්දු.. එතකොට මටත් අදහසක් එවි"

"අර හඳෙන් හාල් ගෙනාපු  රැජින, එයා කිවා රැජින මමයි අපේ රාජ්ජේ... ගීතය  දාන්න කියලා , එතකොට අර ධර්මිෂ්ට සමාජේ හදපු ජ. රා. රජු කිවා.  දන්නෝ බුදුන්ගේ...ගීතය දාන්න කියලා, එතකොට අර පුෂ්ප.."

"ඇති ඇති දැන් තේරෙනවා එහෙනම් දවස පුරාවටම දාපන් පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුනා... සින්දුව"


Wednesday, March 20, 2013

කැමරාවේ AUTO මෝඩ් එකෙන් Manual ගමු


අද පොස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ ඩිජිටල් කැමරා එකේ ඇති Exposure Compensation ඔප්ෂන් එක ගැන.   සෑම  ඩිජිටල්  කැමරාවකම (ෆෝන් කැමරා බොහොමයකත් ) මේ Exposure Compensation පහසුකම තිබුනත් බොහෝ දෙනෙක් මේ ගැන නොදන්නා නිසාම මේ පහසුකම භාවිතා කරන්නේ නැහැ.

බොහෝවිට ඡායාරුප ගැනීමේදී , නිවැරදි අනාවරණය ලබාගැනීම  සඳහා Auto, Shutter Priority, Aperture Priority, Programme වැනි ක්‍රමයන් ( modes) භාවිතා කරනවා.


ඩිජිටල් කැමරාවේ ඇති නිරවද්‍යතාවය නිසාම, මෙම අනාවරණ ක්‍රමයන් භාවිතයෙන් ඉතාම නිවැරදි අනාවරණය ලබාගත හැකි වුවත්,  සමහර අවස්ථාවන්හිදී එම ලැබෙන ඡායාරුපය, ඊට  මදක් සුළු ප්‍රමාණයකින් මන්ද අනාවරණයකට හෝ සුළු වශයෙන් අධික අනාවරණයකට ලක්වුවා නම් වඩා හොඳින් එහි අදහස ඉස්මතු වේයැයි ශිල්පියාට හැඟීයන අවස්ථා ඇත. එවැනි වූ අවස්ථාවන්හිදී Manual Exposure  එකකට නොයා මෙම Exposure Compensation ඔප්ෂන් එක මගින් අනාවරණයේ අවශ්‍ය වෙනස්කම කරගත හැක.

Exposure Compensation  වෙනස් කිරීමට ඇති button එක තෝරාගෙන තමන්ට අවශ්‍ය කරන ප්‍රමාණයට අනාවරණය අඩු හෝ වැඩි කරගත හැක. ඩිජිටල් කැමරාවල Exposure Compensation එක වෙනස් කිරීමට ඇත්තේ අනාවරණ කාලයෙන් කොටස් වශයෙනි. (Exposure Compensation step values)

මෙලෙස Exposure Compensation එක අගයකින් අඩු කළා යයි සිතමු. එවිට ඉහත auto ක්‍රමයන් මගින් ගන්න ඡායාරුප එක අගයකින් මන්ද අනාවරණයකට ලක් වේ. 

පහත රුපයෙන් දැක්වෙන්නේ Exposure Compensation අගයන් 1 බැගින් වෙනස් කරමින් ගත් ඡායාරුප එකතුවකි.


පහත රුපයෙන් දැක්වෙන්නේ Exposure Compensation අගයන් 1/3 බැගින් වෙනස් කරමින් ගත් ඡායාරුප එකතුවකි.



එම රුප දෙක හොඳින් නිරීක්ෂණය  කරන්න. 0 ලෙස සටහන් වී ඇත්තේ Exposure Compensation  අගය 0 වූ විට කැමරාව auto mode එකේදී ඡායාරුපය සටහන් කරගන්නා ආකාරය මෙන්ම ඒ අගයන් වෙනුවෙන්  Exposure Compensation  වෙනස් කලවිට එය ඡායාරුපය සටහන් කරගන්නා  ආකාරයත්ය .


මේ ආකාරයට Exposure Compensation ඔප්ෂන් එක භාවිතයෙන් වෙනස් අගයන් සහිත ෆොටෝ කීපයක් අරගෙන මෙය ප්‍රයෝගිකව තේරුම් ගන්න.


විවිධ කැමරා වල  Exposure Compensation button  එක විවිධ තැන් වල ස්ථානගත කර ඇති අතර සමහර කැමරා වල සහ විශේෂයෙන්ම ෆෝන් කැමරා වල මෙය menu  එක තුල දක්වා ඇත.







Exposure Compensation  දක්වන සම්මත සලකුණ 




Tuesday, March 19, 2013

ඩිජිටල් ඡායාරුප - කොයිබටද?


අද පොස්ට් එකෙන් මං තුමා සාකච්චා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩිජිටල් ඡායාරුපයක්, ෆොටෝෂොප්, ලයිට් රූම්  වැනි මෘදුකාංග භාවිතයෙන් එඩිට් කිරීම, කලාත්ම ඡායාරුප කරණයේදී  අනුමතද යන කාරණාව ගැන.

පසුගිය පොස්ට් කීපයේදීම බොහෝ දෙනෙක් නගපු ප්‍රශ්නයක් වුයේ ෆොටෝ එකක් ගත්තම ෆොටෝෂොප් වලින් එඩිට් කරන්න පුලුවන්ද? කලර් බැලන්ස් කරන්න පුලුවන්ද? වගේ ප්‍රශ්න.  ඒ නිසාම තමයි මේ පොස්ට් එක එලි දක්වන්න හිතුවේ.

කෙටිම පිළිතුර මෘදුකාංග භාවිතයෙන් එඩිට් කිරීම, කලාත්ම ඡායාරුප කරණයේදී  අනුමතයි යන්නයි. නමුත් සමහර ඡායාරුප තරග  වලදී, ඡායාරුපය එඩිට් කල හැකිද, නොහැකිද යන වගත්  එසේ එඩිට් කිරීම අනුමත නම් කොපමණ ප්‍රමානයකටද  යන වගත් සඳහන් කරනවා.

එඩිට් කිරීම කිවම කලර් බැලන්ස් කිරීම පමණක් නෙවේ මෘදුකාංග භාවිතයෙන් ෆොටෝ එකට නොයෙකුත් කොටස් එකතු කිරීම, ෆොටෝ එකෙන් කොටස් ඉවත් කිරීම් වැනි දේ තුලින් වෙනමම නිර්මාණයක් උවත් කල හැකියි.

මේ සඳහා හොඳම උදාහරණය ලෙස ලෝක ප්‍රකට ඡායාරුප ශිල්පියෙකු  වන බෙල්ජියම් ජාතික Ben Goossens ගේ ඉතා ප්‍රසිද්ධ ඡායාරුප කීපයක් ඉදිරිපත් කරනවා. 

Ben Goossens


For you're eyes only

Summer feeling

Break out

May the light shine bright in 2013

මේ ඡායාරුප බලන කෙනෙකුට කියන්න පුළුවන් " අයියෝ ඔක ෆොටෝෂොප්... සිම්පල් නේ " කියලා, නමුත් උත්සහ කරලා බලන්න ඒ සඳහා කොපමණ දස්කමක්, කැපවීමක් තිබිය යුතුද කියලා.

එඩිට් නොකළ ඡායාරුප උසස් නිර්මාණාත්මක තත්වයේ ඡායාරුප නොවේද? නොඑසේනම් එඩිට් කිරීමෙන් පමණක්ද, ඉහල නිර්මාණාත්මක ඡායාරුපය ලබාගත හැක්කේ? මෙහෙමත් හිතෙනවා නේද? නැහැ මේ ඡායාරුප කලාවේ අංශයන් දෙකක්.  එක්  අංශයක් මේ ලෙස එඩිට් කිරීමන් ඡායාරුප සැකසීමත් අනිත් අංශය එසේ එඩිට් නොකිරීමත් කරනවා. නමුත් කලර් බැලන්ස් කිරම වැනි සුළු වෙනස් කම් කල හැකියි.

වනජීවී චායරුප, ආලේඛ්‍ය ඡායාරුප, භුමි දර්ශන, මැක්රෝ  වැනි අංශ මෙලෙස එඩිට් නොකරන කොටසට ගන්න පුළුවන්.

මේ අංග දෙකෙන් කෝකද හොඳ? කුමන අංශයේ ශිල්පියාද දක්ෂ? මේකට දෙන්න තියෙන පිළිතුර තමයි, පිකාසොද? එහෙම නැත්නම් මයිකල් ඇන්ජලොද ? දෙදෙනාම එකහා සමාන වෙනස් ආරයන් දෙකක ශිල්පින්  නේද? 

බොහෝ ඡායාරුප සිල්පින්ද තම තමන්ගේ ගුරුකුල මතවාදයන්ට අනුව යනවා. මං  තුමා නිදහස් මත ධාරියෙක් ,  ඒ නිසා මන් තුමා ඔය අංශ දෙකම එක සේ රස විඳිනවා. නමුත් මේ අද කතා කල Ben Goossens නම් ඡායාරුප ශිල්පියාගේ දස්කම් වලට අලගු තියන්නවත් මං තුමාට බැහැ . එම නිසා මං  තුමා එවැනි නිර්මාණයන්  කිරමට නොයා ස්වභාවික නිර්මාණ (එඩිට් නොකරන) පැත්තට තමයි යන්නේ. නමුත් මෙවැනි වූ නිර්මාණ ඉතා උසස් ලෙස අගය කරනවා.


Monday, March 18, 2013

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්


පහුගිය දවස්වල මං තුමා පුංචි ඡන්දයක් පැවැත්වුවා. ඉතින් දැන් ප්‍රතිපල නිකුත් කරන්න තමයි ලැස්ති වෙන්නේ. ඔන්න එහෙනම් බලන්නකෝ ප්‍රතිපලේ 

ඔය ප්‍රතිපලේ දැක්කම මගේ මොලේ නිකන් මෙව්වා උනා. කෝ එතකොට මට අර  ඊ මේල එවපු උන් ? කොහොම හරි මං  තුමාගේ අවසාන තීරණය තමයි ඔය බ්ලොගේ කොරන් ගිය විදිහටම කොරනවා කියන එක.  ඒ විතරක් නෙවේ, ඔය හුට පට අස්සේ  වෙනම බ්ලොගක් පටන් ගත්තා. ෆොටෝග්‍රපි විතරක් ලියන.  මේ තියෙන්නේ එක. "I Know Foto (ඡායා රූ)" ඒ අඩවියේ මං  තුමා "shutter blade " කියන නමින් පෙනී සිටීමට තීරණය කළා. මෙම නව අඩවියට ලිපි එක්කිරීමට පෙර එම ලිපි අනිවාර්යයෙන්ම මෙම අඩවියේ පළකරනවා. 

මේ නව බ්ලොග් එක විශේෂයෙන්ම මම ෆොටෝග්‍රපි ගැන නොමිලයේ පාඩම් මාලාවක් කරන පාසලක් තියෙනවා ඒ පාසලේ දරුවන් සහ ඔවුන්ගේ යහළු යෙහෙලියන් සඳහා වෙන්කළා. ඒ නිසා ලිවීමේ  ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කළා..

ඒ විතරක් නෙවේ මේ පුංචි ඡන්දේ ප්‍රකාශ කල අයටත්, "කලාත්මක ඡායාරුප - අවසන්  කොටස" පොස්ට් එකට කොමෙන්ට් කරලා අදහස් දක්වපු අයටත්  බොහොම ස්තුතිවන්ත වෙනවා.

ඡායාරුප කරණය ගැන ඉදිරියට පලකරන්න හිතාගෙන ඉන්න පොස්ට් වල බරපතල තාක්ෂණික කරුණු නැහැ. ඩිජිටල් කැමරාවේ, බොහෝ දෙනෙක් භුවිතා නොකරන පහසුකම් කීපයක් සහ කුරුල්ලන්, සමනලුන් ඡයාරුප ගත කිරීමේදී මං  තුමා යොදාගන්න ක්‍රම වගේ දේවල් තමයි කතා කරන්න හිතාගෙන ඉන්නේ.  ආ ඒ විතරක් නෙවේ ඩුඩ්  ගේ අදහසට අනුව ඩිජිටල් ෆොටෝ එකක් කොහොමද සංරක්ෂණය කරන්නේ වගේ දේවල් ටිකකුත් කතා කරමු.

අවසානයට ෆොටෝ ගන්න කැමති හැමෝගෙම ෆොටෝ කීපය බැගින් බ්ලොග් එකේ දාලා සය්බර් එක්ෂිබිෂන් එකක් කරමුද? සිංහල බ්ලොග් ලෝකයේ පළමු වතාවට.


Sunday, March 17, 2013

අම්මා එනතුරු ...

අපේ මිදුලේ තියෙන  පේර  ගසටත් , ඒ අසලම තියෙන තවත් මල් ගසකටත් පනිමින්  අතු අතරේ  සැඟවී සිටින මෙම කොන්ඩ  කුරුළු පැටියා දුටු  ගමන්, කැමරාවත්  අරගෙන නිසොල්මනේ බලාගෙන හිටියා මෙයාගේ හැසිරීම  ගැන. ටික වෙලාවක් ඔහොම විපරමින්  ඉන්නකොට තේරුනා, විටින් විට අම්මා කෑම  ගෙනල්ල මෙයාට  කවන බව.  අම්මා කෑම ගෙනත් දීලා , ඉගිල ගිහින් නැවත එනකල් මෙයාගේ හැසිරීම් මම කැමරාවට අසුකරගත්තා. ඔන්න එහෙනම් ඒ ෆොටෝ කීපය  බලන්න . මේ ෆොටෝ ගත්තේ Fuji HS20 බ්‍රිජ් කැමරාවෙන්.

අතු අතර සැඟවෙමින් අම්මා එනකල් 

අම්මා කොහෙද දන්නේ නැහැ, පල්ලෙහවත් ඉන්නවද?

අම්මා පහල අත්තේ  නැහැ,   මේ පැත්තෙවත් ඉන්නවද?

අම්මා පෙනෙන්න නැහැ, කරදරයක් වත් වෙලාද?

තව ටිකක් වෙලා ඉඳලා බලමු....

ඈතින් කවුදෝ එනවා ...

ආ.. ඒ මගේ අම්මා...,  කෑම ගෙනෙනවා...

ඇති යාන්තන්, අම්මා ළඟ ඉනවානම් බයක් නැහැ.

හ්ම්ම්ම්ම්... හරිම රසයි අම්මේ.

අම්මා අපහු ගියා, අයෙත් තනියෙම ඉන්න වෙනවා.



Friday, March 15, 2013

අයිලාෂ්ගේ හිස පොඩි මැඩියා - අලුත්ම ගෙම්බා


ගාමිණීගේ  විජිතය ලියන අපේ ගාමිණී අයියා ලියලා තිබුන අලුත්ම පොස්ට් එක වන අලුත්ම පඳුරු මැඩියෝ අට දෙනෙක් ..! කියන පොස්ට් එක දැක්ක ගමන් තමයි මේ පොස්ට් එක ලියන්න හිතුනේ.  ඇයි  අප්පා අපි කොපමණ දේවල් හොයාගන්නවද? එහෙම කොලා කියලා කවදාවත් අපේ නමක් ගමක් කෙහේවත් සටහන් වෙන්නේ නැහැ නේ. ඒ නිසාම තමයි මං තුමා හොයාගත්ත මේ අපුරු උභය ජීවි විශේෂය ගැන ලියන්න හිතුවේ. කවුරු මොනවා කිවත් මේ ගෙම්බා නම් කරන්නේ මං  තුමා ගේ නමින්.. ඉස්සෙල්ලම දාන්නම්කො හිතාගෙන ඉන්න නම.

"අයිලාෂ්ගේ හිස පොඩි මැඩියා" කාටද ආඩම්බර, මීට වඩා හොඳ නමක් තියෙනව නම් යෝජනා කරමු බලන්න.

මේ මැඩියා එහෙම නැත්නම් ගෙම්බා ඔය ගාමිණී අයියා කියන ගෙඹි වර්ග 120ට අයිති නැහැ. ඒ නිසා මෙකාවත්  අනිවා ඔය ලිස්ට් එකට දාන්න පුළුවන්. ඔය කස්ටිය ඉතින් දන්නවනේ මං තුමා ඔය කැමරාව එල්ලගෙන හැමතැනම යන වග. ඔහොම යනකොට තමයි මේ අපුරු මැඩියා හමු උනේ. ඉතින් දීර්ග කාලින පරීක්ෂණයක් කළා විතරක් නෙවේ, මේ සම්බන්ධව පොත පත එහෙමත් කියවලා බැලුවා. උභය ජීවින් කියන්නේ දිය ගොඩ දෙකේම ජිවත් වෙන්න පුළුවන් උන්ට  නේ. මේ ගෙඹි විශේෂයත් කිසිම් ප්‍රශ්නයක් නැතිව පරිසර දෙකක ඒ පැත්තට , මේ පැත්තට  පැන පැන ජිවත් වෙන්න පුළුවන් විදිහට අනුවර්තනය වෙලා ඉන්නේ. වැඩියෙන් කන්න දෙයක් තියෙන  පරිසරය පැත්තට තමයි නිතරම පනින්නේ.  දැම්මම මේ ගෙම්බන් ගැන ලෝකයට එලි කරන්න හිතාගෙන හිටියේ නැති උනත්, ඔය ගෙම්බෝ ගැන හොයන පරීක්ෂක කණ්ඩායම මේ ගෙම්බව හොයාගත්තොත් මං  තුමාගේ සොයාගැනීම අහක යන නිසා වහාම මේ ගැන හෙළිකරන්න තීරණය කළා.

මේ ගෙම්බාගේ ශරීර ලක්ෂණ:

  • විශාල උදරයක් පිහිටීම 
  • ඉතා කුඩා හිසක් පිහිටීම 
  • ඉතාමත්ම කුඩා ක්ෂිනවි ගිය  මොලයක් පිහිටීම 
  • හිස සහ උදරය පැහැදිලි ලෙස වෙන්කර හඳුනාගත නොහැකි ලෙස මහත් වූ බෙල්ලක් පිහිටීම 
  • බොහෝ විට සුදු පැහැයෙන්  පෙනී සිටීම 


මේ ගෙම්බාගේ හැසිරීම් ලක්ෂණ:

  • ඉතා නිද්‍රාශීලි වීම 
  • පරිසරයට සංවේදී නොවීම 
  • මිනිසුන්ගෙන් ඇත්වී  ජිවත් වීම 
  • හැකි සෑම විටම පුම්බාගෙන  සිටීම 
  • ජරාව කෑමට මහත් රුචි වීම 
  • ඉතා ඉක්මනින්, කෑම  වැඩි පරිසරයට  පැනීම 

බොහෝවිට ගැවසෙන ස්ථාන:  දියවන්නාව අසල 




"අයිලාෂ්ගේ හිස පොඩි මැඩියා" 

Thursday, March 14, 2013

50 ගැසීම - පටන්ගැනීම ?


ඔන්න ඔහොම තමයි  ක්‍රිකට් ක්‍රීඩකයෝ ලකුණු 50ක් ගැහුවම ආචාර කරන්නේ. ක්‍රිකට් බෝලේ මොන වගේද කියලවත් උනන්දුවක් දක්වන්නේ නැති මං  තුමා, මොකද මේ එකපාරටම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ ෆොටෝ එකක් දාගෙන කියලා කස්ටිය බලනවා ඇති. වෙන මොකටවත් නෙවේ ඔන්න එහෙනම් මං තුමාත්  50ක් ගැහුවා. ඉතින් ඕගොල්ලන්ට ආචාර කරන්න තමයි මේ  පොස්ට් එක දාන්නේ.  මොකද ඔය ඇත්තෝ මං  තුමා එක්ක එකට නොසිටියානම්  .. මේ ලියන දේවල් කියවුයේ නැත්නම්, කොමෙන්ටුවක් කාරිය නොදමා සිටියානම්..... අනිවාර්යයෙන්ම  50ක් ගහන්න කලින් දැවී යනවාමයි.

ඉස්සෙල්ලම මේ බ්ලොග් එක පටන් ගත්තේ 2012 දෙසැම්බර් 19 දා. ඉතින්  මාස 3ක් වගේ කෙටි කාලයකින් පොස්ට් 50ක් පලකරන්න  හයිය හත්තිය දුන්න ඕගොල්ල ඔක්කොටම මගේ අර මොකෙන්ද එකේ පතුලෙන්ම පැන  නගින  ස්තුතිය පිරිනමනවා. "බලන්න හසන්ත මහත්තයෝ, බ්ලොග් අවකාශයේ මේ වගේ යෝධ පැටවූ මගේ මේ කබල් බ්ලොග් එකට ගොඩවුනේ නැතිනම්, මේ කෙලිය කොහොම කරන්නද ?"  සුවා-දීන එක  පැත්තේ ගියොත්  මමත් ඔහොම කියනවා.

පින් අනුමෝදන් කරනකොට නම්-ගම් කියලා පින් දෙන චාරිත්‍රයක් තියෙනවනේ ඉතින් ඒ පුරාණ වටිනා  කියන  චාරිත්තරේට අනුව එහෙනම් නම්-ගම් කියලම පින් දෙන්නයි යන්නේ.

පළමුවෙන්ම මෙහෙට ගොඩවෙලා කොමෙන්ටුවක් දැම්මේ මාරයා, ඉතින් ඊට පස්සේ, සංජය, සමනලීකෝරලේ මත්තයා, හසිත,  ඩුඩ් හෙවත් හෙන්රි , ගාමිණි විජිත්, සමි, සිත් කවි, de silva  ,චන්දන සහ අනු තමයි  මුලින්ම ගොඩ උන අය. මේ හැමෝටම පින් අනුමෝදන් කරනවා.

පොඩ්ඩක් ඉන්න තව කස්ටිය ඉන්නවා.   යාන්ත්‍රිකයා, නාඩියා ,සුදික, රෙහානි, වී පොකුරේ වියා, රතු රජරට, silentsahan, යසිත්, කියාගන්න බෑ , ලක්මාල් (අටමා), උමා (දසුන්), අවතාර්, සිරා,  morabba de morabba , දිලුම් ජයසිංහ, ඩිල්ෂාන්, AKM , මගේ දිනපොත.., DDT, මාතලන්, මඩිස්සලේ නිශාන්, චමි4යු, Prasan Palihawadana, Alexandar Cage, නලීන්, Gayani, Wedage, Ruwan Ranasinghe, දුකා, වෙනි, ශම්මි,  GRT_PORI, දේශකයා, සුජියා,  වන වදුල වගේම  miyuru එහෙමත් මේ පැත්තේ ගොඩවුනා, ඒ අයටත්  පින් දුන්නා.

ඊට පස්සේ ෆොටෝග්‍රපි ගැන ලියන්න ගත්තම ආපු කස්ටිය තමයි මේ   Blue lotus , කම්මල, අමාපැතුම්, ලිහිණි, විචාරක, Nirmala  Madushani, Chams, උකුස්සා, රජා, Nuwanjith , තිසර, ඉෂාන්, Deshan sam,  Amila Niroshana, කඳු  සහ ප්‍රසන්න ඔන්න ඉතින් ඔය ගොල්ලන්ටත් බොහොම පින්. 

කොමෙන්ට් කලේ නැතිව, පොස්ට් එක කියවලා  විතරක් ගිය  අයගේ නම් පින් පොතේ නැතත් පින් දෙනවා.



පින් දීලා  විතරක් මදි නේ , ඔන්න එහෙනම් 50 වැනි පොස්ට් එකෙන් මේ ගැනත් පොඩ්ඩක් බලමු.

පටන්ගැනීම යනු කුමක්ද?
ඉස්සෙල්ලම මේ බ්ලොග් එක පටන් ගත්තේ 2012 දෙසැම්බර් 19 දා කියලනේ ලියන්න ගත්තේ, ඇත්තටම මොකක්ද මේ පටන් ගන්නවා, එහෙම නැත්නම් ආරම්භ කරනවා  කියන්නේ? කවුරුවත් මේ ගැන කලින් හිතලා තිබුනද?

මට නම් හිතෙන්නේ පටන් ගැනීම යනු අවසානයේ පටන්ගැනීම බවයි. මෙහෙම හිතමු බලන්න මොනවද අපි පටන් ගන්නේ, ජීවිතය ඔව් ජීවිතය පටන් ගන්නේ උපතින්, මොකක්ද මේ උපත කියන්නේ, ජිවිතයේ අවසානය හෙවත් මරණයේ පටන්ගැනීම නොවේද? වසර 30ක් ජිවත් වුනා කියන්නේ ජිවිතයේ අවසානයට වසර 30කින්  ලඟාවීම නේද?

මෙහෙමත් හිතමු යම් කෙනෙක් මීටර 100 දුවන්න පටන්ගන්නවා කියලා,  ඒ කියන්නේ මීටර100 අවසානයට ලඟාවීම පටන්ගැනීම නේද? තව  කෙනෙක් පොතක් කියවීමට  පටන්ගැනීම යනු, පොත කියවා අවසන් අවසන්  කිරීමට පටන් ගැනීම නේද?

මේ  අනුව, හැම දෙයකම පටන් ගැනීම යනු  එහි  අවසානය පටන්ගැනීම බව මගේ විශ්වාසයි. ඒ අනුව මේ බ්ලොග් එක පටන් ගැනීම යනු මේ බ්ලොග් එකේ අවසානය පටන්ගැනීම නොවන්නේද? පොස්ට් 50ක් දැමීම යනු පොස්ට් 50කින් මේ බ්ලොග් එකේ අවසානයට ලඟාවීම  නොවේද?

Monday, March 11, 2013

කලාත්ම ඡායාරුප - අවසන් කොටස


කලාත්මක ඡායාරුපයක් නිර්මාණයේදී වැදගත් වන මුලික කරුණු වන ඡායරුපයේ සැකැස්ම  ගැන මෙන්ම ඡායරුප ගැනීමේදී එහි අනාවරණය  ගැන තොරතුරුත්  මිට කලින් පොස්ට් දෙකෙන් අපි ඉගෙන ගත්තා. අද  අපි කතාකරන්නේ ආලෝකය සහ කාච භාවිතා කලයුතු ආකාරය ගැන.

ස්වභාවික ආලෝකය. (available light)

හැකි සැම  විටම එම අවස්ථාවේ පවතින ස්වභාවික ආලෝක ප්‍රභවය භාවිතා කිරීමෙන් ඡායාරුපය ගැනීමට උත්සහ කරන්න. ෆ්ලෑෂ් (flash) ආලෝකය භාවිතා කිරීමෙන් එම අවස්ථාවේ ස්වභාවික තත්වය (intimate mood) විනාශ විය හැක.  (ෆ්ලෑෂ් ආලෝකය නිර්මාණශීලිව භාවිතය ගැන වෙනම කතා කරමු ) රාත්‍රී කාලයේදී  ද,  හැකිනම් ස්වභාවික ආලෝකයෙන් ඡායාරුපය නිර්මාණය කිරීමට උත්සහ ගන්න.
Fuji HS20 Camera :  1.5 sec , f 2.8,  ISO 200

Fuji HS20 Camera :  1/26 sec , f 2.8,  ISO 800


පැති ආලෝකය  භාවිතය. (using sidelight) 

හැකි සෑම  විටකම පැති ආලෝකයක් භාවිතා කරන්න. අලේඛ්‍ය (Portrait) ඡායාරුප වලදී කෙලින්ම ඉදිරිපසින් වැටෙන ආලෝකයෙන් ගැඹුර නොපෙනී යන අතර (flatten effect) කෙලින්ම හිස මතට ආලෝකය පතිත වීමෙන්, ඇස් සහ නිකට යට අඳුරු පැහැ  ගැනේ. උදයේ සහ සවස ඇති හිරු  එලිය පති ආලෝකය සපයන හොඳ ආලෝක ප්‍රභවයන් වේ. එමෙන්ම ජනෙල්, දොරවල් තුලින් ලැබෙන ආලෝකය පැති  ආලෝකයක් ලෙස යොදාගත හැක. පහත ඇත්තේ ජනේලයක් තුලින් ලබාගත් ආලෝකයෙන්  ගත්  ඡායාරුපයකි. 

Fuji S2950 camera: 1/30, f 5.3, ISO 800

Nikin D5100 camera: 1/250, f 5.3, ISO 250


Nikin D5100 camera: 1/30, f 5.3, ISO 800

Against the Light 

ඡායාරුප ගැනීමේ සම්මත ක්‍රමය වන්නේ, ආලෝක ප්‍රභවය ශිල්පියාට පිටිපසින් පිහිටන ආකාරයට වස්තුව ස්ථාන ගතකිරීමයි. නමුත් මෙම ක්‍රමයේදී කැමරාව ඉදිරියෙන් ආලෝක ප්‍රභවය පිහිටන ලෙස වස්තුව ස්ථාන ගත කෙරේ. මෙම ක්‍රමය Against the Light Photography  නැතහොත් silhouette Photography ලෙස හඳුන්වයි. මේ ගැන විස්තරාත්ම ලිපියක් පසුවට.

Fuji HS20  camera: 1/280, f 3.6, ISO 100

Flash Photography

ඉතා සුලබ ලෙස බාවිතා කරන කෘත්‍රීම ආලෝක ප්‍රභවය වන්නේ Flash Gun එකය. බොහෝවිට Flash කිරීමේදී  භාවිතා කරන්නේ කැමරාවෙහි ඇති ෆ්ලෑෂරය   හෝ අතිරේක  Flash Gun එක කැමරාවට සවිකර වන අතර,  එසේ direct flash  ලබා දීමෙන් කලාත්මක ඡායාරුප නිර්මාණය  අපහසු වේ.  නමුත් Flash Guns  කීපයක් භාවිතා කිරීමෙන්,  ෆ්ලෑෂ් කිරීමෙන් ලැබෙන  ආලෝකය පරාවර්තනය කර වස්තුව වෙත යොමු කිරීමෙන් සහ  කැමරාවට සවි නොකර flash  එක භාවිතයෙන් අපට අවශ්‍ය ලෙස ආලෝකය සපයා ගත හැක. මේ ගැනද වෙනම කතා කරමු.

Fuji S2950 camera: 1/50, f 4.2, ISO 100

කෘත්‍රිම ආලෝකය 

ෆ්ලෑෂ් ආලෝකය කෘතීම ආලෝකයක් උවද මෙහෙදී මා විශේෂ අවධානය යොමු කරනුයේ  රිෆ්ලෙක්ටර්  උපයෝගී කරගෙන ආලෝකය සැපයීමය.

මෙවැනි අවස්ථාවන් හිදී, ආලෝක ප්‍රභවය ලෙස CFL බල්බ්, flash ගන්ස් වැනි ආලෝක ප්‍රභවයන් භාවිතා කල හැක. ඔබ සතුව මෙවැනි උපකරණ කට්ටලයක් තිබේ නම් විවිධ පැති  වලින් ආලෝකය සපයා ඡායාරුප ගත හැක. පහත දක්වනුවේ එලෙස CFL  බල්බ් යොදා ගනු ලැබූ ආලේඛ්‍ය ඡායරුපයකි.

Fuji HS20 camera: 1/100, f 4.5, ISO 1600


උපයෝගී කරගන්නා  කාචය.

ඡායාරුප ගත  කිරීමේදී, ඒ සඳහා භාවිතා කරන කාචයේ නාභි දුර ගැන සැලකිලිමත් වන්න. දර්ගන (landscape, seascape ) සඳහා අඩු නාභි දුරක් ඇති කාච (wide angle lens) සුදුවූ වන අතර,  එමගින්  වැඩි  පරාසයක ඡායාරුපයක් ගැනීමට හැකි වීම මෙන්ම වැඩි ශේෂ්ත්‍ර ගැඹුරක් ඇති ඡායාරුපයක් ලබාගත් හැක. පළමුවෙනි ඡායාරුපය බලන්න.

අලේඛ්‍ය ඡායාරුප සඳහා මධ්‍යස්ත ප්‍රමාණයේ ටෙලි ලෙන්ස්  වඩා සුදුසු වේ. නාභි දුර 80 - 135 දක්වා. එයින් පසු බිම අපැහැදිලි කර රුපය ඉස්මතු කල හැක. 4 වෙනි ඡායාරුපය බලන්න.

වන ජීවී ඡායාරුප කරණයේදී මෙන්ම  sports photography  වලදී අනිවාර්යයෙන්ම අවම ලෙස මි.මි. 200 ක හෝ නාභි දුරකින් යුත් කාචයක් භාවිතා කල යුතු වේ.  නමුත් කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම සඳහා නම් අවම ලෙස මි.මි. 300 ක හෝ නාභි දුරකින් යුත් කාචයක් අවශ්‍ය බව මගේ අත්දැකිම වේ.


පසු සටහන.

පසු ගිය ලිපි 3ම ඡායාරූපකරණය පිළිබඳව ම  එක දිගට පලකලේ ඒ ලිපි අතර සම්බන්ධ තාවයක්  තිබු බැවිනි. මෙම ලිපි තුනම කලාත්මක ඡායාරුපයක් සකස්කර ගන්නේ කෙසේද යනුවෙන් එක මාතෘකාවක් යටතේ ගොනුකළ හැක.

ඡායාරුප කරණය ගැන පළවූ  මේ ලිපි කිහිපය පරිශීලනය කිරීමෙන් ආධුනිකයෙනුට සැහෙන තරම් අවබෝධයක් ලබාගත හැක. දිගින් දිගටම ඡායාරුපකරණය පිලිබඳ ලිපි පළකිරීම කල යුතුද යන්න පිලිබඳ  කුකුසක් ඇතිවී ඇත. මා වෙත ලැබුණු ඊ-මේල කීපයකින් කියා සිටියේ මේ විෂය සම්බන්ධයෙන් කරුණු දැක්වීම ප්‍රමාණවත් බවය.

ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබගේ වටිනා අදහස් ලබාගැනීමට අදහස් කරන අතර, ඒ සඳහා said  bar  එකේ ඇති මත විමසුමේ ඔබගේ මතය සටහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින අතර, එහි බහුතරයකගේ කැමැත්ත මත මෙම විෂය  සම්බන්ධයෙන් ඉදිරියට පොස්ට් පල කරන්නේද යන බව තීරණය කරමි.

කොහොමද මගේ පොරජා තන්තරේ ... ?

අවසන් වශයෙන් මේ ලිපි කීපය පලකිරීමට අවශ්‍ය වූ ඡායාරුප ලබාදීමෙන් සහ වරින් වර නිරුපන ශිල්පියෙකු වීමෙන්ද  අනගි සහයක් දුන් මගේ පුත්‍ර රත්නය වන චමිඳු විකුම්ශ්‍රී ට මගේ ස්තුතිය පිරිනමමි.







************ *************