මාත් එක්ක එකතු වෙන්න

Thursday, February 28, 2013

Depth of Field in Photography


 (DOF) එහෙම නැත්නම් ශේෂ්ත්‍ර ගැඹුර කියන්නේ මොකක්ද ?  කොහොමද මේ DOF එක පාලනය කරන්නේ ? කියන කරුණු ගැන ඉතාමත්ම සරලව සහ කෙටියෙන් කරුණු පහදා දෙන්න තමයි අද උත්සාහ  කරන්නේ.

මුලින්ම  අපි මේ  (DOF)  කියන්නේ මොකක්ද කියලා ටිකක් පැහැදිලි කරගමු, යම් ඡායාරුපයක, පැහැදිලි තාවයෙන් යුතු (sharp), කිට්ටුවෙන්ම සහ ඇතින්ම   ඇති වස්තුන් අතර දුර ශේෂ්ත්‍ර ගැඹුර එහෙම නැත්නම  (DOF) කියලා හදුන්වන්න පුළුවන්.  



පහත  ෆොටෝ එක වෙත අවධානය යොමු කරමු. එහි අපට ලඟින්ම  තියෙන මල් ගස් වල සිට  ඈතින් පෙනෙන ක්ෂිතිජය දක්වාම පැහැදිලිව දකින්නට පුළුවන්,ඒ අතර දුර තමයි  (DOF) කියන්නේ.  එහෙනම් එම ඡායාරුපය වැඩි DOF එකක් (Large DOF) සහිත ඡායාරුපයක් ලෙස දක්වන්න පුළුවන්.



දැන් අපි පහත ඇති  ෆොටෝ එක වෙත අවධානය යොමු කරමු.  එම ඡායරුපයේ අපිට පැහැදිලිව දකින්නට ලැබෙන්නේ සමනලයා සහ ඌ වසා සිටින මල් නටුව පමණයි. එම මල් ගසේම, ඊට මදක් එපිටින් ඇති අත්ත පවා පැහැදිලි තාවයෙන්  අඩු බව නිරීක්ෂණය කරන්න. එසේනම් මෙමෙ ඡායරුපයේ ඇත්තේ අඩු DOF එකක් . මෙමෙ අඩු DOF එකට අපි Shallow DOF එහෙම නැතිනම් Small  DOF කියලා කියනවා. 



මොකක්ද CIRCLE OF CONFUSION කියන්නේ?


මේ DOF එක ගැන සරලව කිවොත් , DOF  කියන්නේ ෆොටෝ එකේ පැහැදිලිව (sharp) පෙනෙන තියෙන කොටසේ පරතරය කියලා  දන්නවනේ. ඡායාරූපයේ මේ පැහැදිලි කොටසේ සිට අපැහැදිලි (un-sharp) කොටසට එකපාරටම වෙනස්වීමක්/ පැනීමක්  (jump) සිදුවන්නේ නැහැ., එය සිදුවන්නේ ක්‍රමයෙන්.  මේ විදිහට හිතන්න. අපි ෆොටෝ එකක් ගන්නකොට කැමරාව නාභිගත (Focus) කරන්නේ එක තලයකට. ඇත්තෙන්ම කියනවනම් ඒ තලය තමයි ඉතාම පැහැදිලිව තියෙන්නේ. එතැන් සිට දෙපැත්තට ක්‍රමයෙන් මේ පැහැදිලිතාවය අඩුවෙමින් යනවා. යම් දුරක් යනතෙක් අපේ ඇසට එම පැහැදිලි තාවයේ  අඩුවීම පෙනෙන්නේ නැහැ. මෙන්න මේ පැහැදිලිතාවය ලෙස අපේ අස රැවටෙන කොටස තමයි DOF  කියන්නේ, එමෙන්ම මේ අපැහැදිලිතාවය අපිට මුලින්ම පෙනෙන්න පටන් ගන්න අවස්ථාව තමයි Circle of Confusion කියන්නේ. 

ඉතින් ඇයි  මේකට මේ Circle of Confusion කියන්නේ කියලා හිතෙනවා ඇති නේද? මෙන්න මේලෙස මේ දෙය සරලව අර්ථ දක්වන්න පුළුවන්.

අපි හිතමු ලක්ෂ්‍යයක් (ලක්ෂ්‍යය  කියන්නේ අරයක් නැති තරම් සියුම් තිතකට) යම් තලයකට නාභිගත  (Focus) කළා කියලා. එහෙනම් ඒ තලයේදී එම ලක්ෂ්‍යය , ලක්ෂ්‍යයක් ලෙස නාහිගත වෙනවා. (අරයක් නොමැතිව)  දැන් මේ තලයේ සිට දෙපැත්තට ක්‍රමයෙන් මේ ලක්ෂ්‍යය විශාල වෙමින් යනවා, නමුත් අපේ ඇසට තවමත් මෙය පෙනෙන්නේ ලක්ෂ්‍යයක්  (අරයක් නැති) ලෙසයි. නමුත් දැන් එහි ඉතාම  කුඩා අරයක් තියෙනවා. මෙලෙස විශාල වෙමින් යන ලක්ෂ්‍යය  යම් අවස්ථාවක අපේ ඇසට ලක්ෂ්‍යය නොව වෘර්තයක් (එනම් අරයක් ඇති) ලෙස පෙනෙන්න පටන් ගන්නවා. අන්න එම අවස්ථාවේදී එය  Circle of Confusion කියා හදුන්වනවා. පහත රුප සටහන් දෙක බලන්න.






මේ රුපසටහන් හොඳින් අධ්‍යයනය කිරීමෙන් මේ ගැන පැහැදිලි වෙන්න ඇති කියල හිතෙනවා. මේ සිද්ධාන්තය මත තමයි මුළු ඡායාරුප  ශිල්පයම රැඳිලා තියෙන්නේ. මේ DOF  එක සහ Circle of Confusion කියන දේවල් ගණනය කිරීමට ඉතා සංකීර්ණ ගණිත සමීකරණ තියෙනවා. ඒ ගැන මෙහි සඳහන් කරන්නේ නැහැ.

විවිධ ප්‍රමාණ වල Circle of Confusion අගයන්  චායරුපය මුද්‍රණය කරන ප්‍රමාණය සහ නරඹන දුර අනුව වෙනස් වන බවද සිහි තබා ගන්න.

Depth of field පාලනය කිරීම.

විවිධ ප්‍රමාණ වල Circle of Confusion අගයන්  චායරුපය මුද්‍රණය කරන ප්‍රමාණය සහ නරඹන දුර අනුව වෙනස් වුවද, පහත කරුණු කැමරාවේ depth  of  field එක පාලනය කිරීමට මුලික වන අතර, අපට මේ මගින් depth  of  field එක පාලනය කිරීමට හැක.

  • කාච විවරය (Aperture)
  • කැමරාවේ සිට ඡායාරුප ගත කරණ වස්තුවට ඇති දුර 
  • කාචයේ නාභි දුර 

කාච විවරය (Aperture)
විශාල කාච විවරයක් (small  F-stop number) භාවිතා කිරීමෙන් ලැබෙන්නේ කුඩා DOF  එකක් (shallow DOF ) සහිත ඡායාරුපයක් වන අතර , කුඩා කාච විවරයක්  (big F-stop number) භාවිතා කිරීමෙන් ලැබෙන්නේ වැඩි  DOF  එකක් (large  DOF) සහිත ඡායාරුපයකි.




කැමරාවේ සිට වස්තුවට ඇති දුර 
කැමරාවේ සිට වස්තුවට ඇති දුර අඩුවන විට කුඩා DOF  එකක් (shallow DOF ) සහිත ඡායාරුපයක් ලැබේ. ඒ මෙන්ම කැමරාවේ සිට වස්තුවට ඇති දුර වැඩි වන විටදී ලැබෙන්නේ වැඩි  DOF  එකක් (large  DOF) සහිත ඡායාරුපයකි.


කාචයේ නාභි දුර (Focal  Length ) 
වැඩි නාභි දුරක් ඇති telephoto lens භාවිතා කිරීමෙන් DOF අඩු කරගත හැකිවන අතර අඩු නාභි දුරක් ඇති wide angle lens  භාවිතා කිරීමේදී වැඩි DOF එකක් ලැබේ.



ශේෂ්ත්‍ර ගැඹුර DOF පාලනය කල යුත්තේ  ඇයි ? 
මුලින්ම අපි බලමු අඩු  (shallow) DOF  එකක් අවශ්‍ය වන අවස්ථාවන්. විශේෂයෙන්ම අලේඛ්‍ය (portrait) ඡායාරුප ගැනීමේදී අඩු DOF  එකක් යොදාගන්නවා, එමෙන්ම අපේ ඡායාරූපයේ යම් කොටසක් ඉස්මතු කොට දැක්විය යුතු අවස්ථාවලදීද මෙලෙස අඩු DOF  එකක් භාවිතා  කල හැක. 

පහල  ඇති ෆොටෝ දෙක හොඳින් බලන්න 



මින් පළමු වන ෆොටෝ එක ෆෝන් කැමරා එකකින් ගත් නිසා DOF  එක අවශ්‍ය ලෙස පාලනය කල නොහැකි උන අතර දෙවෙනි ෆොටෝ එක බ්‍රිජ් කැමරාවකින් ගත්  එකක්. එහිදී අවශ්‍ය ආකාරයෙන් DOF එක අඩු කල හැකි වුන නිසා ම, එම ෆොටෝ එකේ මල සහ එහි සිටින කුඩා සමනලයා ඉතා පැහැදිලිව දැක ගත හැක.

නමුත් ස්වභාවික දර්ශන (scenery) ෆොටෝ ගැනීමේදී වැඩි  (large ) DOF  එකක් අවශ්‍ය වේ. පහත ඇති ෆොටෝ බලන්න.


ප.ලි.

මේ පොස්ට් එක ගොඩක් දිග වැඩි උනත්, කොටස් දෙකකට පල කිරීමෙන්  depth of  field  එක ගැන තේරුම් ගැනීමට අපහසු වෙතැයි  සිතුන.

කලින් දීල තිබුන නොමිලයේ ඩිජිටල් කැමරාවක් පොස්ට් එකේ Camera  Simulator  එකට නැවත වතාවක් ගිහින් මේ aperture, camera to  subject distance සහ focal length  යන සෙටින්ග්ස් වෙනස් කරමින් ෆොටෝ ටිකක් අරගෙන DOF ඒ අනුව වෙනස් වන ආකාරය බලන්න.  

Wednesday, February 27, 2013

යමරජු ගේ නඩු පොත


එක දිගටම ඡායාරුප ශිල්පය  ගැන කතා කරන්න ගියොත්, ඒ ගැන උනන්දුවක් නොදක්වන හිතවතුන්ට අසාධාරණයක් වෙයි කියලා හිතුන නිසා අද මේ කතාව කියවලා බලමු.

මිට කලින් මං  තුමා ළඟ තියෙන කඳුළු දුපතේ රජ කථා ඇතුලත් වටිනා පුස්තකයේ තිබුන කතා කීපයක් පල කලානේ.  මේ කතාවත් ඔය වටිනා දුර්ලභ පොතේ අවසාන හරියේ තියෙන කතාවක්. හොඳයි එහෙනම් කියවලා බලමු.

මිට කලින් පලකල කතාවල තිබුනේ කඳුළු දුපතේ රජකම් කල ජ.රා. ජරා ගැන කතා උනත් මේ  කතාවෙන් කියවෙන්නේ ඔය ජ.රා. රජාගෙන්  පස්සේ ජරාකම් වැරදුනා රජකම් කල රජතුමා ගැනයි. මෙයා  යුවරජ කලේ උන සිදුවීම මතක ඇතිනේ. මතක නැත්නම් මෙතනින් ගිහින් බලන්න 

 ඔන්න ඉතින් මේ රජතුමා ගේ කාලයේ රටේ බොහොම කැරලි කෝලාහල තිබුනා. රට උතුරෙන් දකුණෙන් දෙපැත්තෙන්ම යුද්ධ වලට මැදි  වෙලා තමයි තිබුනේ. ඔය කොහොම උනත් මේ රජතුමාත් අත හැරියේ  නැහැ. උතුරු පැත්තේ යුද්ධ කරපු කණ්ඩායමට  අවශ්‍ය කරන අවි ආයුධ මදි වෙයි කියලා හිතුන මේ රජතුමා ඒ ගොල්ලන්ට ආයුධ  එහෙමත් දුන්නා. බලන්න අප්පා කොච්චර කරුණාවන්ත රජෙක්ද කියලා? තමන්ට විරුද්ධව සටන් කරන එකාටත් ආයුධ දෙන්න මොන තරම් උණුවෙන හදවතක් තියෙන්න ඕනෙද?  නමුත් දකුණු පැත්තේ සටන් කරපු උන්ට නම් කිසිම සමාවක් දුන්නේ නැහැ. ඇයි  අප්පා ඉතින් යුද්ධ කරන හැම එකා ගැනමත් හිතන්න බැහැනේ.



ඔයවගේ ඉතින් රටේ ජරාකම් වැරදුනා රජකම් කරගෙන යන අතරේ පන්සලක මොකක් හරි තිබුනොත් මල් වට්ටියක් අරන් ඉස්සෙල්ලම එතන ඇති. රටේ තිබුන හැම පන්සලකටම මල්වට්ටි අරන් යන්න මෙයා හරි හපනා නිසාම පුෂ්ප කුමාර රජතුමා නමින් තමයි මහා ජනයා මෙයාව හැඳින්නුවේ.

ඔය කවුරු මොනවා කිවත් කරුමේ කියන එක වලක්වන්න බැහැ  නොවැ. මේ රජතුමා බොහොම විශ්වාස කරගෙන තමන්ගේ පරිවාර මාලිගයක නවත්වාගෙන හිටපු කෙනෙක් හිටියා. මේ කෙනා ඔය කලින් කියපු උතුරු පැත්තෙන් යුද්ධ කරපු කණ්ඩායමේ කෙනෙක් බව කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. දවසක් මේ හාදයා කබල් බයිසිකලයක බෝම්බයක් බැඳගෙන රජතුමා විදි සංචාරය කරන වෙලාවක රජතුමා ළඟටම ගිහිම් මේ බෝම්බය පුපුරවලා ඒ රජතුමා ඝාතනය කලා. ඒ පිපිරුමෙන් මේ පුද්ගලයගේත් ජීවිතය නැති උනා.

ඔන්න දරුවනේ මේ කතාවේ පෙරවදන. ඊට පස්සේ තමයි කතාව සිද්ධ වෙන්නේ. ඔන්න ඒකත් බලන්නකෝ.

දැන්  මේ රජතුමා ගේ ආත්මය සුදු ඇඳුමක් ඇඳගෙන ,  අතේ සුදු මල් වට්ටියක් අරගෙන දිව්‍ය ලෝකය කරා ගමන් ගන්නා මාර්ගයේ සෙමින් සෙමින් රජකීය ලීලාවෙන් ගමන් කරනවා. මේ මාර්ගය එකතැනකදී දෙකට බෙදෙනවා. එක පාරක් දිව්‍ය ලෝකය කරා, අනික අපාය කරා. මෙතන එක්තරා  දේව දුතයෙක් ඉන්නවා. එයා අතේ රත්තරන් පොතක් තියෙනවා. මේ පොතේ දිව්‍ය ලෝකය කරා ගමන් කිරීමට සුදුසු අයගේ නම සටහන් වෙලා තියෙනවා. ඉතින් මෙතැනදී නම පරික්ෂා කරලා තමයි දිව්‍ය ලෝකයට පිටත් කරන්නේ. යම් හෙයකින් ඔය පොතේ නම තිබුනේ නැත්නම් ඉතින් අපායට තමයි.

දැන් අපේ පුෂ්ප කුමාර රජතුමා මේ කියපු දේව දුතයා ඉදිරියේ , දැන් දේව දුතයා මෙලෙස ප්‍රශ්න කරනවා.

තමාගේ නම මොකක්ද? මොනවද කරලා තියෙන පින්?

මගේ නම පුෂ්ප කුමාර  රජතුමා, මම කඳුළු දුපතේ හැම පන්සලකටම ගිහින් තියෙනවා. මල් පුජා කරලා තියෙනවා. රන් වියන් හදවලා තියෙනවා. තව කොච්චර පින් වැඩ කලාද, හාමුදුරුවරු ටයර් සැයේ ආදාහනය කරන්න අණ  දිලා තියෙනවා. ආ වැරදුනා..  ඒවා කලේ මම නෙවේ. 

හ්ම්ම්. .. පොඩ්ඩක් ඉන්න මේ පොතේ නම තියෙනවද බලන්න.,................  නැහැ,  නම නැහැ අර අනිත් පැත්තෙන් අපායට යන්න.

මොනවා! මගේ නම නැහැ. වෙන්න බැහැ. අනේ කරුණා කරලා තව  සැරයක් පොත බලන්න, මගේ නම ඇති.

දැන් මේ දේව දුතයා පොත නැවත පරික්ෂා කරයි.

නැහැ, නම නැහැ මම අපහු බැලුව. දැන් කරන්න දෙයක් නැහැ අර පාරෙන් අපායට යන්න.

අනේ එහෙම කරන්න එපා. ඔය පොතේ මොකක් හරි වැරදීමක් ඇති.

හ්ම්ම් මටත් දැන් නම් හිතෙනවා මෙතන මොකක් හරි වැරදීමක් වෙලා කියලා.

අන්න හරි, ඇයි ඔබ තුමා එහෙම කියන්නේ ?


නැහැ දැන් ටිකකට කලින් කිලුටු  ඇඳගත්ත මිනිහෙක් අවා කබල් කැඩුණු බයිසිකලයක් තල්ලු කරගෙන. ඒ මිනිහගෙන්  මොනවද කරපු පින් කියලා ඇහුවම  දුන්න උත්තරේ තමයි;

"අනේ අප්පි පින් කොරලා නේ ෂාමි...., මම මේ එකෙක්ට මොම්බයක් ගහල මරලා එන ගමන්"

ඒ උනාට ඒ මිනිහගේ නම මේ පොතේ ලොකුවට ලියලා තිබුනා.








Tuesday, February 26, 2013

මොකෙන්ද ගත්තේ? මෙන්න උත්තරේ



ගිය සැරේ පොස්ට්  වන මොකක්ද හොඳ?  පොස්ට් එකේ අවසානයට පොඩි චැලේන්ජ් එකක් දුන්න නේ.  එක තමයි මේ දා ලා තියෙන ෆොටෝ දෙක අරගෙන් තියෙන්නේ මොන වර්ගයේ කමරවකින්ද? කියන එක.

ඔන්න අද එකට උත්තරේ දෙනවා. ඔය උත්තරේ බලන්න කලින් පොඩ්ඩක් කලින් පොස්ට් එක අපහු කියවලා බලන්න.

සමහර අයගේ උත්තර උනේ පලවෙනි එක bridge කැමරාවකින්,  දෙවෙනි එක DSLR  එකකින් කියලා, තවත් අය  ඔකේ අතීත පැත්ත කිවා. ඒ කියන්නේ පලවෙනි එක DSLR  කැමරාවකින්,  දෙවෙනි එක bridge එකකින් කියලා,  තවත් එක්කෙනෙක් කිව මේ දෙකම  bridge  කියලා.

chams කියලා තිබුනේ point and  shoot කියලා ,ඩුඩ් කියුවා point and  shoot හෝ ෆෝන් කැමරා කියලා. මේ දෙන්නගේ  ම පිළිතුරු  නිවැරදි ලෙස බාරගන්නවා. 

ඔය ෆොටෝ දෙකම Nokia C7 ෆෝන් කැමරා එකකින් ගත්ත ඒවා.


ඔන්න බලන්න ඔක තමයි මම කිවේ දැන් තියෙන හොඳ ෆෝන් කැමරා එකකින් point and shoot  කැමරා එකකින් තරමටම හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන් කියලා.

නමුත් bridge  හෝ DSLR  වලින් ගත්ත එකක් උනා නම් මිට වැඩ ගුණාත්මක භාවයෙන් ඉහලයි. 

මේ ලිපි මාලාවෙන් කැමරා ගැන යම් අවබෝධයක් ලබා ගන්න ඇති නේ ඒවගේම දැන් ඔයගොල්ලන්ට කැමරාවක් මිලදී ගැනීමේදී, තමන්ට සුදුසු වර්ගය මොකක්ද? යන එක ගැන තීරණයක් ගන්නත් පුළුවන් කියලා හිතනවා. 

එහෙමනම් කැමරා වර්ග ගැන කතා කිරීම මෙතකින් නවත්වනවා. ඡායාරුප කරණයේ පදනම වන depth of field  එහෙම නැත්නම් ශේෂ්ත්‍ර ගැඹුර පිළිබඳව ඉදිරි ලිපියකින් සරල අවබෝධයක් ලබා ගමු.  depth of field එක පාලනය කිරීම ගැන අවබෝධයක් ලබා ගැනීම කලාත්මක ඡායාරුපයක් නිර්මාණය කිරීමට ඉතාම වැදගත්.

Saturday, February 23, 2013

මොකක්ද හොඳ ?


කලින් පොස්ට් එකේ විස්තර කරලා තිබුනේ වෙළඳ පොලේ තියෙන ප්‍රධාන කැමරා වර්ග 4 ගැන නේ. නමුත් මේ පොස්ට් එකෙන් පස්ස Bridge කැමරා තියෙන අය DSLR  එකක්ම ගන්න නොහැකි වීම ගැන  ටිකක් කනස්සල්ලට පත් වෙලා කියලා තේරුනා. ඒ නිසා තමයි මේ පොස්ට් එක ලියන්න හිතුවේ.

මම ෆෝටෝග්‍රපි ගැන ලියපු මුල්ම පොස්ට් එක වන මං තුමාගේ ෆොටෝ සිහිනය පොස්ට් එ ක නැවත වතාවක් කියවන්න. එහි අවසානය මෙසේ නැවත සටහන් තබමි.


ඉතාම මිල  අධික පින්සල්, පාට, කැන්වස් ආදිය  අතට ගත්තත් චිත්‍රයක් ඇඳීමට දන්නේ නැති කෙනෙකුට කලාත්මක චිත්‍රයක් ඇඳීමට හැකියාවක් නැතුවා මෙන්ම, දක්ෂ චිත්‍ර ශිල්පියෙකුට ඉතාම බාල වර්ගයේ උපකරණ භාවිතයෙන් ඉතාමත්ම ඉහල නිර්මාණයක් කල නොහැකි උවද අනිකාට වඩා ගුණාත්ම නිර්මාණයක් ඉදිරිපත් කල හැක.

ඡායාරුප කරණයේ දීද මෙම කරුණ මෙලෙසින්ම බලපාන බව මගේ විශ්වාසයයි. 


ඕනෑම කාරණයක් සම්බන්දයෙන් මේ දෙය මේ ආකාරයෙන්ම බලපානවා, සංගීත භාණ්ඩයක්, වාහනයක්, කොම්පුටරයක්....  ඔය හැම දෙයක් සම්බන්දයෙන්ම එහෙමයි. අප අත  ඇති උපකරණය, අපගේ නිපුනතාවය සහ අප සිදුකරන කාර්යය කියන දේවල් වල සුසංයෝගය අවසාන පුතිපලය කෙරෙහි බලපානවා. 

මෙන්න මේ දේ පොඩ්ඩක් හිතන්න,මම දන්නා සමහර එකෙක්  ඉන්නවා ෆෝන් එකෙන් කරන්නේ හලෝ කියන එක විතරයි, මම පොඩ්ඩක් ඉල්ලගෙන බැලුවා ෆෝන් නම්බර් ටිකක්වත් මේකේ ස්ටෝර් කරලා නැහැ. නමුත් පාවිච්චි කරන්නේ Samsung Galaxy S3 . ඔය යකාට  Nokia 1100 එකක් හොඳටම ඇති. 

ඒ නිසා අද මේ පොස්ට් එකෙන් මම පෙන්නන්න යන්නේ Bridje  කැමරාවකින් සැහෙන්න හොඳ  ඡායාරුපයක් හදාගන්න පුළුවන් කියන එක . නමුත් එකේ හැකියාවන් සිමාසහිතයි. විශේෂයෙන් ෆොටෝ විශාල කිරීමේදී  (සෙන්සර් එක කුඩා බැවින්)  සහ ලෙන්ස් මාරු කිරීමේ හැකියාව නැති කම. ඒ නිසා bridje තියෙන අය ඒ ගැන කලකිරෙන්නේ නැතිව හොඳ ඡායාරුප ගැනීම සඳහා මේ තම කැමරාව භාවිතා කරන්න.

මේ පොස්ට් එකේ දාන ෆොටෝ ගැනීමට භාවිතා කලේ  Fuji S2950, Fuji  HS20  යන bridje  කැමරා සහ Nikon D 5100 කැමරාව මේ තියෙන්නේ ඒ කැමරා,
FUJI  S2950
Fuji  HS20

Nikon  D 5100
අපි මෙම කැමරා වල මෙගා පික්සල් ගණන බැලුවොත් පළමු කැමරාව මෙගා පික්සල් 14ක්  වන අතර අනිතුත් කැමරා  දෙකම මෙගා පික්සල් 16 බැගින් වේ. sensor formats සැලකීමේදී bridge කැමරා දෙකේ 1/2" හෙවත් 6.4  4.8 mm  වන අතර DSLR  කැමරාවේ senor  format  එක APS-C  හෙවත් 23.6 X 15.6 mm වේ. 

දැන් අමුලින්ම අපි බලමු මේ S 2950 කැමරාවෙන් ගත්ත ෆොටෝ කීපයක්. ෆොටෝ වල අයිතිය තියෙන්නේ මගේ පොඩි කොලුවට.  ඌ  ඒවාට උගේ හංවඩුව ගහලම දුන්නා. හික්... හික්...





වරදක් නැහැ නේද? ඔය ෆොටෝ 10" x 15" ප්‍රමාණයට enlarge කරලා ප්‍රින්ට් එකක්  ගන්න පුළුවන් කිසිම් ප්‍රශ්නයක් නැතිව. ඔය කැමරාව රු 25000/- කට තමයි මිල දී ගත්තේ.

දැන් බලමු මං  තුමා කලින් පාවිච්චි කරපු Fuji  HS20 කැමරාවෙන් ගත්ත ෆොටෝ ටිකක්. මම ගත්ත  ඒවගේ හංවඩුව ගහලා තියෙනවා "සවී" කියලා.





මොකද හිතෙන්නේ?  Bridge  කැමරා එක ගත්තේ අපරාදේ කියලා හිතෙනවද?  එහෙම නැත්නම් Bridge  එකකිනුත් හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන් කියලා හිතෙනවද?

බලන්න පලවෙනි ෆොටෝ එක ලුණු ගෙඩියේ වර්ණ සහ details ඉතාම හොඳින් තියෙනවා. දෙවෙනි එකේ බලන්න සුදු පාට මල් පෙති වල  සුදු පැහැයෙන්ම තියෙන details. අන්තිම එකේ බලන්න depth of field  එක අඩුකරලා තියෙන හැටි. (depth of field  එක ගැන පසුව කතා කරමු) මේ ෆොටෝ එහෙමත්  10" x 15" ප්‍රමාණයට enlarge කරලා ප්‍රින්ට් කරන්න පුළුවන් කිරීම දෝෂයක් නොපෙනෙන්න.

ඔය කැමරාව රැ. 58000/- උනා. දැන් මොකද හිතෙන්නේ මේ කැමරා දෙකෙන් ගත්ත ෆොටෝ සංසන්දනය කරලා බලනකොට 14 මෙගාපික්සල්  කැමරා එකෙන් ගත්ත ඒවාට වඩා 16 මෙගාපික්සල්  කැමරා එකෙන් ගත්ත ඒවා හොඳයි කියලා හිතෙනවද? නැහැ නේද? ඔන්න ඕක තමයි මෙගා පික්සල් කතන්දරේ. කැමරා දෙකෙන්ම ගත්ත ෆොටෝ එක හා සමාන quality  එකකින් යුක්තයි.

 නමුත් මේ HS 20 කැමරා එකේ manual controls ගොඩක් තියෙනවා, ඒ වගේම ලෙන්ස් එකේ aperture එක ලොකුයි. මේ හේතු නිසා මිල වැඩි වීම සාධාරණයි. 

හොඳයි දැන් අපි බලමු DSLR එකෙන් ගත්ත ෆොටෝ දෙකක් 



දැන් මොකද හිතෙන්නේ? Bridge කැමරා දෙකන් ම  ගත්  ෆොටෝ  ඉතාම  හොඳයි. නමුත් මේ DSLR  එකෙන් ගත්  ෆොටෝ වල ඊට වඩා  ගුණාත්මක බවින්  ඉහල බව පෙනෙනවා නේද? ඔය ෆොටෝවල තියෙන වර්ණ, සහ details ඉතාම් ඉහල මට්ටමක පවතිනවා.

මම කලින් කියූ විදිහට bridge  එකෙන් ගත්  ෆොටෝවක් 10" x 15" වගේ ප්‍රමාණයකින් මුද්‍රණය කර ඡායාරුප ප්‍රදර්ශනයකට පවා තැබිය හැකි මට්ටමින් පවතී.  නමුත් එම ෆොටෝවක් එම ප්‍රමාණයට වඩා විශාල කිරීමේදී ගැටළු මතුවන ආකාරය සහ DSLR  එකකදී මතු නොවන ආකාරයත් පහත කොටසක් පමණක් විශාල කරන ලද ඡායාරුප නිරීක්ෂණය  කිරීමෙන් තේරුම් ගන්න.

 Bridge  

 



DSLR 





මෙම වෙනසට හේතුව වන්නේ DSLR වල ඇති සෙන්සර් එකේ ප්‍රමාණය සහ ලෙන්ස් වල ඇති ගුණාත්මක භාවයයි. මෙම කැමරාවේ sensor format එක APS-C බව දන්නවනේ, මේක full frame sensor එකක් තියෙන කැමරාවකින් ගත්තොත් මීටත් වඩා විශාල කල හැකියි. 

සාරාංශය 
මේ පොස්ට් එකෙන් මට පෙන්වීමට අවශ්‍ය උනේ, ඡායාරුප ප්‍රදර්ශනයකට ඉදිරිපත්  කිරීමට තරම් ප්‍රමාණවත් ගුණාත්මක බාවයකින් යුත් ඡායාරුප ගැනීමට bridge කැමරාවක් භාවිතා කිරීමට හැකි බව සහ එහි ඇති සීමාවන් පෙන්වීමටයි 

එමෙන්ම ඡායාරුපයක්  ගැනීමේදී වඩා වැදගත් වන්නේ උපකරණ නොව එය හසුරවන ශිල්පියාගේ දක්ෂතාවය බවයි.

1. කැමරාවේ තත්වය ගුණාත්මක ෆොටෝ එකක් ගන්න ඉතාම වැදගත් වෙනවා.
2. ඉතාම හොඳ කැමරාවකින් ගන්න ෆොටෝ එකක image quality එක වැඩිවෙන එක ඇත්ත, නමුත් ඡායරුපමය වටිනාකමක් එයට ලැබෙන්නේ ගිල්පියගේ දක්ෂ්පවය අනුවයි.
3.ඉතාම පහල මට්ටමේ කැමරාවකින් දක්ෂ ශිල්පියෙකුට උවත් ඉතාම හොඳ ෆොටෝවක් නිර්මාණය කරන්න අපහසුයි 
4. කැමරාවක් මිලදී ගැනීමේදී තමන්ගේ මුදලට, කාර්යයට ගැලපෙන කැමරාව මිලදී ගැනීම වඩා සුදුසුය.

** මේ ගැන අනිවා හිතන්න. මේ අලුත්ම ඉහලම තාක්ෂණයෙන් යුත් කැමරා නිෂ්පාදනය කිරීමට පෙරත් ලෝකයේ ඉතාමත් ඉහල වටිනාකමකින් යුත් ඡායාරුප නිර්මාණය වූ බව.


අවසානයට පොඩි චැලේන්ජ් එකක්.
මෙහි පහත දක්වා ඇති ෆොටෝ දෙක අරගෙන තියෙන්නේ මොන වර්ගයේ කැමරාවකින්ද ?  





ඔබගේ උත්තරය කොමෙන්ට් බොක්ස් එකේ දාන්න. පිළිතුර දින 3 කින්  මෙහි පල කෙරේ 





Thursday, February 21, 2013

කැමරාවක් ඕනෙද? මේ ගැනත් සිතන්න


කැමරාවක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද? වෙළඳ පොලේ තියෙන කැමරා වර්ග මොනවද? වගේ විස්තර ටිකක් දෙන්න කියලා පහුගිය ලිපි බලපු අපේ කස්ටියගෙන් ඉල්ලීම් තිබුන නේ.  එනිසා අද මං  තුමා ඒ පිළිබඳව පොඩි විස්තරයක් කරන්න හිතුවා. අපි දැන් ඉන්නේ ඩිජිටල් ලෝකයේ නිසා ෆිල්ම් කැමරා ගැන කතා කරන්නේ නැහැ.

කැමරා වර්ග 

අපි ඉස්සෙල්ලම බලමු වෙළඳ පොලේ තියෙන කැමරා වර්ග මොනවද කියලා. (Brand  names  නෙවේ) ප්‍රධාන වශයෙන් කැමරා වර්ග 4 ක්  දක්වන්න පුළුවන් 
  • Point  & Shoot එහෙම නැත්නම් Compact Camera 
  • Prosumer Camera  නොහොත් Bridge Camera 
  • DSLR Camera 
  • Mirror-less Camera 
ඔය තමයි ප්‍රධාන කැමරා වර්ග 4 වෙන්නේ. 

Point  & Shoot / Compact Camera 




ඔය තියෙන කැමරා දෙක දැක්කම හැමෝම දන්නවනේ. මේ කැමරා වර්ග වල තියෙන්නේ ඉතාම කුඩා image sensor  එකක් ඒ නිසා මේ වගේ කැමරා වලින් ගන්න ෆොටෝ enlarge කරලා මුද්‍රනය කරන්න අමාරුයි.
මේ වගේ කැමරා එකක් ගන්නවානම් ඉතින් හිතන්න වෙන්නේ මෙගා පික්සල් ගණන ගැන තමයි.

මේ කැමරාව අපිට ෆොටෝ එක ගන්න අවශ්‍ය පැත්තට කැමරාව අල්ලලා පිටිපස්සේ තියෙන LCD  පැනල්  එකෙන් බලල ශටර් එක ඔබන්න විතරයි තියෙන්නේ. ඒ නිසාම තමයි මේ වර්ගයට  point & shoot කියලා කියන්නේ. ඔය වර්ගයේ කැමරාවල අපිට සකස් කරන්න පුළුවන් සෙටින්ග්ස් ප්‍රමාණය ඉතාම සිමා සහිතයි. ඒ නිසා මේ මගින් කලාත්මක ඡායාරුපයක් නිර්මාණය කරගන්න නම හැකියාවක් නැති තරම්.

මෙහි මිල ඉතාම අඩුයි,  ඒ වගේම ප්‍රමාණයෙන් කුඩා සහ සැහැල්ලු බැවින් යුක්ත නිසා ඕනෑම අවස්ථාවක ඡායාරුපයක් ගැනීමේ පරමාර්ථයෙන්  සැම  වෙලේම සාක්කුවේ දමාගෙන යන්න පුළුවන්. නමුත් මං  තුමාගේ පුද්ගලික අදහස නම මේ වර්ගයේ කැමරාවක් මිලදී ගැනීම වැඩකට නැති දෙයක් බවයි.  එහෙම කියන්නේ අද අපි හැමෝම අතේ තියෙන ෆෝන් කැමරා එකෙනුත් ඔයිට සමාන ෆොටෝ ගන්න පුළුවන් නිසා. මේ පහලින් තියෙන්නේ මං තුමාගේ ෆෝන් කැමරාවෙන් ගත්ත පින්තුර කීපයක්. හැම වෙලේම DSLR එක උස්සගෙන යන්න බැහැනේ?




පලවෙනි එක macro  එකක්, මොකක්ද මේ macro කියන්නේ කියලා පස්සේ දවසක කතා කරමු, දෙවෙනි එක මං  තුමා මාලිගා කන්ද අරණ්‍ය සේනාසනය බලන්න ගිහින් එනගමන් ෆෝන් කැමරා එකෙන් ගත්ත එකක්. අන්තිම එක මං  තුමාගේ කාර් එකට ඉස්සරහින් ගිය කාර් එකකට උන වැඩක්. මේ වගේ වෙලාවක අපි අතේ DSLR  එක නැහැ නේ. point & shoot එකකින් ගත්තත් ඔයිට වැඩ හොඳින් ෆොටෝ එකක් ගන්න බැහැ. 

Prosumer Camera  /Bridge Camera 



මේ bridge වර්ගයේ කැමරා නිෂ්පාදනය කරලා තියෙන්නේ  point & shoot සහ DSLR  කියන  වර්ග දෙකට අතරමැදි වර්ගයක් ලෙසයි. මේ නිසා තමයි මේ වර්ගයට bridge  කියන්නේ. ඒ වර්ග දෙක අතර පාලමක් වගේ. මෙම කැමරා DSLR  වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වෙනවා. මේවයේ  බොහෝ දුරට භාවිතා වන්නේ 1/2" හෝ 2/3" කියන කුඩා ප්‍රමාණයේ image sensor  එකක්. නමුත් DSLR  එකකින් කරන බොහෝ කාර්යයන් මේ කැමරාවකින් කරගන්න පුළුවන්. 

DSLR වලට වඩා Bridge හි ඇති අවාසි 
  • කුඩා සෙන්සර් එකක් තිබීම.
  • ලෙන්ස් මාරු කිරීමට නොහැකි වීම.
  • Optical  view finder  එකක් නොමැති වීම. (මෙහිදී අපිට දර්ශනය වන්නේ video එකකි)
  • බොහෝවිට ලෙන්ස් නිෂ්පාදනය කර ඇත්තේ ප්ලාස්ටික් වලින් වීම (DSLR  වල high  quality glass)
  • සමහර වර්ග වලට external flash  එකක් සවිකිරීමේ නොහැකි වීම.

මිල අතින් ගත්කල DSLR  එකකට වඩා අඩු වීමත්,  Manual  settings සාදාගැනීමේ හැකියාවත් වගේම  DSLR එකකින් කරගත හැකි වැඩ බොහොමක් කරගැනීමට හැකිවීමත් 10" x 15"  වැනි ප්‍රමාණයේ මුද්‍රණයක් ලබා ගත හැකිවීම වැනි හේතුන් මත,  අඩු මිලකට කැමරාවක් ගැනීමට බලාපොරොත්තු වන අයට  ද, ඒ  කැමරාවේ ඇති සිමාවන් තමන්ට ප්‍රමාණවත් යයි සිතන අයෙකුට මෙන්ම, ඡායාරුප ශිල්පයට  ආධුනිකයන් හටත් සුදුසු වර්ගයකි. (DSLR  එකක්ම මිලදී ගත හැකිනම් වඩා හොඳය.)

DSLR - Digital  Single  Lens Reflex 







මිල ඉතාම අධික  උනත් ඔන්න ඉතින් ගන්නවානම් බඩු.  DSLR  කැමරාව ගැන හැමෝම දන්නවනේ. මේකේ ලෙන්ස්  එකෙන් එන ආලෝකය කැමරා බොඩි එක ඇතුලේ තියෙන දර්පණයකින් (mirror) හරවලා ඊට පස්සේ ඉහල තියෙන pentaprism  එකෙන් නැවත හරවලා තමයි අපේ දර්ශනය ලබා දෙන්නේ. මේ නිසා view finder  එකෙන් බලන්න කැමරාව on  කරන්න ඕනේ නැහැ වගේම ඉතාම පැහැදිලි දසුනක් ලබාගන්න පුළුවන්. මේ පහල තියෙන රුපය බලන්න 

කලාත්මක ඡායාරුප කරණයේ මෙන්ම වෘත්තීය මට්ටමින් ඡායාරුප කරණය කිරීමට බලාපොරොත්තු වෙනවානම් ඔබ අනිවාර්යයෙන්ම මෙම වර්ගය මිලදී ගත යුතු වෙනවා. ලංකාවේ නම් බොහෝ සෙයින් ජනප්‍රිය වන්නේ Nikon  සහ Canon  කියන වර්ග දෙකයි. මෙම වර්ග දෙකම එක හා සමාන තත්වයෙන් යුක්ත වන අතර මෙම වර්ග තෝරා ගැනීම තමන්ගේ පුද්ගලික රුචිය අනුව සිදුවෙනවා. Nikon  භාවිතා කරන්නන් එම වර්ගයෙන් ගන්න ඡායාරුප වල  තත්වය හොඳයි කියන අතර Canon  භාවිතා කරන අය  කියන්නේ Canon  වලින් ගන්නා ෆොටෝ හොඳයි කියායි.


Mirror-less Camera 



මේ තියෙන්නේ අලුතෙන්ම හදුන්වා දී ඇති කැමරා වර්ගයයි. මෙම කැමරා වල DSLR  වල මෙන් mirror  එකක් නැහැ. මෙම කන්නාඩිය ඉවත් කිරීමෙන් නිෂ්පාදකයන් බලාපොරොත්තු වන්නේ කැමරාවේ විශාලත්වය සහ බර අඩුකිරීමයි. නමුත් එහි කන්නාඩියක් නැති නිසාම එයට optical view  finder එක අහිමි වී digital view  finder එකක් හිමි වී තියෙනවා. මෙය මෙහි ඇති ප්‍රධාන අවාසියක් වෙනවා. 

මෙම වර්ගයේ කැමරා වල ලෙන්ස් මාරු කිරීමේ හැකියාව ඇති නමුත්. ලබාගත හැකි ලෙන්ස් ගණන ඉතාම් සීමිතයි. ලෙන්ස් ප්‍රමාණ 2 -3 කට වඩා තවම නිෂ්පදානය කර නැහැ. 

මෙම කැමරා වල ඇත්තේ APS-C  වර්ගයේ සෙන්සර් එකක් නිසා තත්වයෙන් ඉහල ෆොටෝ ගන්න පුළුවන්. මෙම වර්ගය ඉතාම ලඟදි හදුන්වා  දුන් නිසාම  මිල ඉතාම අධිකයි.  නමුත් අනාගතයේදී මෙම වර්ගය Bridge  කැමරා අභිබවා ඉදිරියට යන බව විශ්වාස කරන අතරම, තවදුරටත් DSLR   කැමරා  ලෝකයේ රජු ලෙස තවත් බොහෝ කාලයක් වැජඹෙනු ඇත.

Bridge & DSLR Image Comparison 



පලවෙනි ෆොටෝ එක Fuji HS 20 Bridge  කැමරාවකින් ගත් එකක්  වන අතර අනික Nikon D5100 DSLR  කැමරාවකින් ගත්  ෆොටෝ එකක්. මේ ෆොටෝ දෙකම එකම ස්ථානයකදී එක හා සමාන ආලෝක තත්වයන් මත ගනු ලැබූ අතර DSLR එකෙන් ගනු ලැබූ ෆොටෝ එකේ image quality එක ඉතා ඉහල  බව පැහැදිලිව දැකගත හැක. 


කැමරාවක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු 

  • ඔබට කැමරාවක් මිලදී  ගත යුතුමද යන්න පළමුවෙන් විමසන්න.
    • බොහෝ දෙනෙක් නිකන් ගන්නන් වාලේ කැමරා මිලදී ගන්නවා. එකෙන් වෙන්නේ මුදල් නාස්තිවීමක්  පමණයි.
  • ඔබ මිලදී ගන්න කැමරාව පාවිච්චි කරන්නේ කොතරම් කලකට  සැරයක් ද? how  often use it?
    • සමහර අය  කැමරාව ආසාවට මිලදී ගෙන වසරකට වරක් හෝ දෙවරක් ගෙදර තියෙන මොකක් හරි උපන්දින සාදයක් වගේ දෙයක ෆොටෝ ටිකක් ගහනවා විතරයි. එහෙම නම් එකත් මුදල් අපතේ යැවීමක්. ඒ වෙනුවෙන් කැමරාවක් මිලදී නොගෙන ඡායාරුප ශිල්පියෙකුගේ සේවාව ලබා ගැනීම වඩා පලදායකය 
  • ඔබ ඒ වෙනුවෙන් වැයකරන මුදල පළමුව තීරණය කරන්න.
    • පළමුව වැයකරන මුදල තීරණය කරන්නේ නැතිව camera showroom  එකකට ගිය විට එතන ඉන්න salesmen  මොන මොනව හරි බොරු  ටිකක් කියලා, එක එක ජාති පෙන්නලා ඔබ බලාපොරොත්තු උනාට වඩා වැඩි මුදලක එකක් කොහොම හරි ඇඟේ  ගහනවා.
  • ඔබ කැමරාව භාවිතා කරන්නේ කුමන කරුණකට ද යන්න තීරණය කරන්න.
    • මෙන්න මේක තමයි deciding factor එක වෙන්න ඕනේ. දැන් ඔබ මේ කැමරා වර්ග ගැන දන්නා නිසා මොන වර්ගයෙන්ද ගන්න ඕනේ කියලා ඔබට තීරණය කරන්න පුලුවන්. ඔබට කලාත්මක එහෙම නැත්නම්  වෘත්තීය මට්ටමින් ඡායාරුප කරණය කිරීමට බලාපොරොත්තු වන්නේනම් අනිවාර්යයෙන් DSLR  එකක් මිලදී ගන්න.
  • කැමරා brand එක ගැනත් model  එක ගැනත් අන්තර්ජාලයේ තියෙන reviews  හැකිතරම් කියවන්න.
  • ඔබ මිලදී ගන්නේ DSLR  එකක් නම් සැම විටම ලෙන්ස් මිලදී ගැනීමේදී හොඳම වර්ගයෙන් (high quality optics) මිලදී ගන්න. කැමරා බොඩි එක යම් දිනක මාරු කලත් මේ ලෙන්ස් දිගටම පාවිච්චි කරන්න පුළුවන්.
  • අවසානයේදී ඔබ මිලදී ගන්නා කැමරාවෙන් සැහීමකට පත්වන්න. එයින් ප්‍රයෝජනයක් ගන්න.



************ *************